නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
‘කාමා භික්ඛවෙ වේදිතබ්බා
කාමානං නිදාන සම්භවො වේදිතබ්බො කාමානං වේමත්තතා වේදිතබ්බා කාමානං විපාකො වේදිතබ්බො
කාම නිරෝධො වේදිතබ්බො
කාම නිරෝධ ගාමිණී පටිපදා වේදිතබ්බො’ ති
ශ‍්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියළු දෙනා දැන් මේ සූදානම් වෙන්නෙ අද පුර පොහෝ දිනයෙ පෙහෙවස් සමාදන් වෙලා, ඒ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ‍්‍රවණය කරන්ට. හැම දෙනාම බොහෝම උවමනාවෙන්, ශ‍්‍රද්ධාව පෙරටු කරගෙන, මේ අවස්ථාවේ දී මේ ධර්මය ශ‍්‍රවණය කරන්නට ඕන. අපි ඊයේ සන්ධ්‍යා භාගයේදිත් කතා කළා යම් කිසි කෙනෙක් කාමයේ තණ්හාව නැතිකරලා මවු කුසකට නැවත නොපැමිණෙන්නේ නම් ඒ කොහොම ද කියන කාරණාව.
අද අපි ටිකක් කතා කරන්න හදන්නෙ, මේ දේශනාවෙන් පෙන්නන්නට බලාපොරොත්තු වෙන්නේ, අපි ජීවිතේ සාර වශයෙන් හිතාගෙන ඉන්න, මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්න මේ කාම වස්තූන්, කාමයන්ගෙ ස්වභාවය තේරුම් කරගන්ට පුළුවන් විදියෙ දේශනාවක්. අංගුත්තර නිකායෙ නිබ්බේධික පරියාය කියලා සූත‍්‍රයක් තියෙනවා. ඒ සූත‍්‍රයෙ කරුණු හයක් පෙන්නනවා. එයින් එක කරුණක් තමයි මේ කාමය සම්බන්ධව දහම් කරුණු විවරණය කරලා පෙන්වන පරියාය. ඒකෙදී බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා,
‘කාමා භික්ඛවෙ වේදිතබ්බා
කාමානං නිදාන සම්භවො වේදිතබ්බො කාමානං වේමත්තතා වේදිතබ්බා
කාම විපාකො වේදිතබ්බො
කාම නිරොධො වේදිතබ්බො
කාම නිරොධ ගාමිණී පටිපදා වේදිතබ්බො’
යම්කිසි කෙනෙක් කාමයන්ගෙන් මිදෙනවා නම්, කාමයන්ගෙන් වෙන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, එබ`දු කෙනා මෙන්න මේ හය ආකාරය දත යුතුයි. මොකක්ද? ‘කාමානං භික්ඛවෙ වේදිතබ්බා’ කාමය කියන්නෙ මොකක් ද කියලා දත යුතුයි කියනවා. ‘කාමානං නිදාන සම්භවො වේදිතබ්බො’ කාමයන් ඇති වෙන්නෙ කොහොමද කියලා දැනගන්ට කියනවා. ඊට පස්සෙ ‘කාමානං වේමත්තතා වේදිතබ්බො’ කාමයන්ගේ නානත්වය වෙනස් බව මොකක් ද කියලත් දැනගන්න ඕන. ‘කාමානං විපාකො වේදිතබ්බො’ කාමයන්ගේ විපාකය මොකක්ද කියලත් දැනගන්නට ඕන. ඊට පස්සෙ කාම නිරෝධය මොකක් ද කියලත් දැනගන්නට ඕන. කාමය නිරුද්ධ කරන, නැති කරන ප‍්‍රතිපදාව මොකක් ද කියලත් දැනගන්ට ඕනෙ.
මෙන්න මේ ධර්මතා හය දැනගත්ත කෙනාට පුළුවන්, දැකගත්ත කෙනාට පුළුවන්, කාමයෙන් වෙන්වෙලා කාමය නිරුද්ධ කරලා, නැවත මවු කුසකට නොපැමිණෙන්නට.
ඉතින් පින්වතුනි, අපි පොඞ්ඩක් මේ ධර්මය සම්මර්ශනය කරන්නට පෙර ජීවිතාවර්ජනාවක් කරමු. පින්වතුනි, මේ ඉමක් කොණක් පරක් තෙරක් නැති අනවරාග‍්‍ර වූ සංසාරෙ ඉපදෙමින් මැරෙමින්, මැරෙමින් ඉපදෙමින් අපි හැම කෙනෙක් ම, මේ තෙරක් නොපෙනෙන ගමනක එනවා. ඒකට හේතුව බෙහෙවින් ම මේ කාමය කියන එක පිරිසිඳ නොදන්නා කම. කාම තණ්හාවෙන්, කාම ස්නේහයෙන් යුක්ත වෙච්ච නිසා නැවත නැවත මේ මවු කුසට පැමිණෙන්නෙ, අබුද්ධොත්පාද කාලවල වගේ අපි යම් යම් අවස්ථාවල ධ්‍යාන අභිඥා ලබාගෙන කාමයෙන් තාවකාලිකව මිදිලා ඕන තරම් ඉන්ට ඇති. නමුත් කාමය කියන ධර්මතාවය පිරිසිඳ නොදැක්ක නිසා, මනාව අවබෝධ නොකළ නිසා, සම්පූර්ණයෙන් ම කාමයෙන් මිදෙන්නට පුළුවන් කමක් අපිට ලැබුනෙ නෑ. ඉතින් මේ කාමයේ ස්වභාවය පිරිසිඳ දැකලා, කාමයෙන් මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නෙ බුද්ධෝත්පාද කාලෙක, අපිත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවහම, ඒ කාමය පිරිසිඳ දකින සද්ධර්මයත් දේශනා කරලා තියෙන යුගයක. ඉතින් ඒ වටිනා අවස්ථාව අද අපිට ලැබිලා
තියෙනවා. මේ කාමයන්ගෙ ස්වභාවය අවබෝධ කරගත්ත ලොවුතුරා
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක්, ඒ කාමයන්ගෙන් නික්මීම සඳහා දේශනා කළ ධර්මයත් පවතින යුගයක්. ඒ ධර්මය තේරුම් කරගෙන ජීවිතේට ළං කර ගන්න පුළුවන් විදියෙ ආත්ම භාවයකුත් අපිත් ලබාගෙන තියෙනවා. මේ වටිනා කාරණා ටික එක්රැුස් වෙච්ච වෙලාවෙදි අපේ මේ ජීවිතේ තියෙන යම් යම් කාරණා දිහා නොබලා මේ ධර්මය අපේ සන්තානයෙ උපදවාගන්ට උත්සාහවත් වෙන්ට ඕනෙ. එහෙම ධර්මය අපේ සන්තානය තුල උපදවාගන්ට අපිට උපකාරයක් වෙන්නෙ ධර්මය පිලිබඳ ඇති අවබෝධය. ඒ නිසා සසර ගෙවාගන්න ඕනෙ කියන අදහසින් අපි හැම දෙනාම මේ දහම ටිකක් සම්මර්ශනය කරලා බලමු.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘කාමා භික්ඛවෙ වේදිතබ්බා’ කියලා. කාමය කියන්නෙ මොකක් ද කියලා දත යුතුයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පංච ඉමෙ භික්ඛවෙ කාම ගුණා’ මහණෙනි, මේ කාමගුණ පහක් තියෙනවා. මොකක්ද? චක්ඛු විඤ්ඤෙය්‍ය රූපා ඉට්ඨා, කාන්තා, මනාපා, පිය රූපා, කාමුපසංහිතා, රජනීයං, පළවෙනි කාරණාව තමයි. ඇසින් දත යුතු රූප තියෙනවා මොකක් ද? ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ, පි‍්‍රය ස්වභාවයෙන් යුක්ත වූ, කාමය ඇසුරු කළාවූ, කෙලෙසුන්ට හිත වූ රජනීය කෙලෙස් රජස් ඇතිවෙන්ට හිත වූ රූප තියෙනවා.
ඊට පස්සෙ සෝත විඤ්ඤෙය්‍ය ශබ්දා. කණින් දත යුතු ශබ්ද
තියෙනවා. ඝාණ විඤ්ඤෙය්‍ය ගන්ධා, නාසයෙන් දත යුතු ගන්ධයෝ
තියෙනවා. ජිව්හා විඤ්ඤෙය්‍ය රසා, දිවෙන් දත යුතු රස තියෙනවා. කාය විඤ්ඤෙය්‍ය පොට්ඨබ්බා. කයෙන් දත යුතු පොට්ඨබ්බයෝ තියෙනවා. මෙන්න මේ දේවල් වලට කියනවා මොකක් ද? කාම ගුණ කියලා. එතකොට මෙතෙන්දි මෙහෙම කාරණාවක් පෙන්නනවා. ‘නේතෙ භික්ඛවෙ කාමා අපිච කාම ගුණා නා මෙතෙ අරියස්ස විනයෙ’ බුදු රජාණන් වහන්සෙ දේශනා කරනවා, මහණෙනි, මේ කාමෙ නෙමෙයි. ආර්ය විනයෙ මේකට කාම ගුණයි කියලා කියනවා. මෙන්න මෙතෙන්දි හොඳ කාරණාවක් තේරුම් කරගන්නට ඕනෙ. ආර්ය විනයටයි මේවා කාම ගුණ වෙන්නෙ. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෙ. මේ අපිට එහෙම කාම ගුණ නෙමෙයි. චක්ඛු විඤ්ඤෙය්‍ය රූප, සෝත,
විඤ්ඤෙය්‍ය ශබ්ද, ඝාණ විඤ්ඤෙය්‍ය ගන්ධ. ජීවිහා විඤ්ඤෙය්‍ය රස. කාය විඤ්ඤෙය්‍ය පොට්ඨබ්බය, කාම ගුණ කිවුවෙ කවුද? ආර්ය විනයේ ආර්ය ඥාණ දර්ශනයට අනුවයි. අපිට ඒවා මොනවද? කාමය, ඒ නිසයි මේ කියන්නෙ කාමයෙන් යුක්ත කෙනාටයි. කාමය දෙකට බෙදනවා. මොකක් ද? වස්තු කාම, ක්ලේශ කාම කියලා වස්තු කාම කියලා කියන්නෙ මොනවාද? දැන් මේ කතා කරන්නෙ අපේ මට්ටම. කාම භූමියෙ ඉන්න කෙනාගෙ මට්ටම. අපිට කාම වස්තූන් වෙන්නෙ මොනවාද? ඇහැට පෙනෙන රූප. කණට ඇහෙන ශබ්ද. නාසයට දැනෙන ගන්ධ. දිවට දැනෙන රස. කයට දැනෙන ස්පර්ශ. තව පැත්තකින් ගත්තහම ගෙවල් දොරවල්, ඉඩ කඩම්, හරකා බාන, වතුපිටි, යාන වාහන, මිල මුදල් කියන මෙන්න මේවට කියනවා මොනවාද? වස්තු කාම කියලා. ක්ලේශ කාම කියලා කියන්නෙ? ඒ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් අරබයා, දුවා දරුවො අරබයා අපේ හිතේ යම් ඡුන්ද රාගයක් ඇතිවෙනවා නම් යම් කැමැත්තක් ඇති වෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා මොකක් ද? ක්ලේශ කාමය කියලා.
අපි කියමු. ඇහැ කියන එක වස්තු කාමය. ඇහැ අරබයා ඇති කැමැත්ත ක්ලේශ කාමය. රූපය කියන එක වස්තු කාමය. ඒ අරබයා ඇති තණ්හාව, ක්ලේශය, ක්ලේශ කාමය, කණ, ශබ්දය කියන එක වස්තු කාමය. ඒ අරබයා ඇති ඇලීම නැත්නම් තණ්හාව කියන එක ක්ලේශ කාමය. එතකොට මෙන්න මේ විදියට වස්තු කාම ක්ලේශ කාම කියලා අපිට හම්බ වෙන මේ ධර්මතා ටික ගත්තහම, ක්ලේශ කාමය කියන එක පවතින්නෙ කුමක් ඇසුරු කරගෙන ද? වස්තු කාමය ඇසුරු කරගෙන. එතකොට යම්කිසි කෙනෙකුට වස්තු කාමයෙන් මිදිලා ඉන්න පුළුවන්. නමුත් ක්ලේශ කාමයෙන් මිදුනෙ නැත්නම් ඒත් කාමයෙන් මිදුනා කියන්නෙ නෑ. වස්තු කාමය තියෙන තැන අනිවාර්යයෙන් ම ක්ලේශ කාමය තියෙනවාමයි. මඩ සහිත තැනක මඩගඳ තියෙනවාමයි. මඩ තියෙද්දි මඩගඳ අයින් කරන්න පුළුවන් ද? බෑ. යම් තැනක මඩ නෑ. නමුත් මඩගඳ තියෙන්න පුළුවන් නේද? මඩ තිබුනත්, මඩ ගඳ තිබුණත් දෙකම කිලිටුමයි. මඩ වගේ දකින්න වස්තු කාමය. මඩ ගඳ වගේ දකින්න ක්ලේශ කාමය. එතකොට මඩ තියෙද්දි කවදාවත් මඩගඳ අයින් කරන්න පුළුවන් ද? බෑ. වස්තු කාමය ඇසුරු කරද්දි ක්ලේශ කාමය එතන ඉබේමයි තියෙන්නෙ. වස්තු කාමය ඇසුරු කරමින් ක්ලේශ කාමයෙන් මිදිලා ඉන්න ක‍්‍රමයක් නෑ. ඒ කාමනීය වූ වස්තූන් ඇසුරු කරන
බවම ක්ලේශය වෙනවා. නමුත් කෙනෙකුට වස්තු කාමෙන් මිදිලා ක්ලේශ කාමය තුල පවතින්ට පුළුවන්. යම් කිසි කෙනෙක් ගිහි ගෙවල්වල ආදීනව දැකලා, ආදීනව හිතලා සමහර විට පැවිදි ප‍්‍රවුර්ජා භූමියට පත්වෙලා හෝ යම් ව‍්‍රත සමාදානයකින් යුක්තව, ඉතා ප‍්‍රාන්ත කැලේකට ගිහිල්ලා වාසය කරනවා නම්, එයා ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, ඉඩ කඩම් කියන මේවයින් වෙන් වෙලා තියෙනවා. වස්තූන්ගෙන් වෙන්වෙලා තියෙනවා. නමුත් ඒවා අරබයා පවතින මනස දුරුවෙලා නැත්නම්, ඒවා පුන පුනා හිතෙන ගතිය තියෙනවා නම්, ඒවට තියෙන සෙනෙහස ඇලීම කියන එක හිතේ පවතිනවා නම් මෙයා වස්තු කාමයෙන් මිදුනට ක්ලේශ කාමයෙන් මිදිලා නෑ. මඩ නෑ. නමුත් මඩ ගඳ තියෙනවා වගේ.
එතකොට යම්කිසි තැනක පිරිසිදුයි කියලා කියන්නෙ, මඩත් නැතිවෙන්ට ඕන. මඩ ගඳත් නැතිවෙන්න ඕන. නේ ද? එතකොට අපිට වතුුරක් වුනත් බොනවා නම් මඩ නෑ. නමුත් මඩ ගඳ, පල් ගඳ තියෙනවා නම් ඒ වතුර බොන්න පුළුවන් ද? අමාරුයි නේද? එතකොට මඩ ගඳත් නෑ. මඩත් නැතිනම් ඒ වතුර පිරිසිදුයි කියනවා අපි නේ. ඒ වගේ යම් සිතක් පිරිසිදුයි. ප‍්‍රභාශ්වරයි යන ගණයට යන්නෙ එයාගෙ හිතේ කාමය නමැති මඩත් නැතිනම්, ඒ මඩ ගඳත් නැතිනම්, කාමය අරබයා තියෙන ක්ලේශයත් නැත්නම් ඒ හිත තමයි ප‍්‍රභාශ්වරයි කියලා කියන්නේ. දැන් ඔය ප‍්‍රථම ධ්‍යානය වගේ ධ්‍යාන මට්ටම් ගත්තහම හැම වෙලේම කාමයන්ගෙන් මිදිලා. ඒකයි ප‍්‍රථම ධ්‍යානය වගේ තැනක් හ`දුන්වන්නෙ ‘විචිච්චේව කාමෙහි, විවිච්චේව අකුසලේහි ධම්මෙහි, සවිතක්කං, සවිචාරං, විවේකජං, පී‍්‍රති සුඛං පඨමධ්‍යානං උපසම්පජ්ජ විහරති,’ කියලා කියන කොට විවිච්චේව කාමෙහි, විවිච්චේව අකුසලේහි කියලා කියන කොට විවිච්චේව කාමෙහි කියලා කිවුවෙ කොතෙන්ට ද? අන්න මඩට. වස්තු කාමයට විවිච්චේව අකුසලේහි ධම්මෙහි කියලා කිවුවෙ මඩ ගඳට කෙලේසයට. වස්තු කාම ක්ලේශ කාම කියන දෙකෙන් මිදිලා තමයි ප‍්‍රථම ධ්‍යාන මට්ටම ලබන්න වෙන්නෙ. ඒ නිසයි, එතකොට අපි මෙතෙන්දි මේ කතා කළේ යම්කිසි කෙනෙකුට වස්තු කාමයෙන් මිදිලා ඉන්න පුළුවන්, නමුත් අපහසුයි බොහෝ දුරට ක්ලේශ කාමයෙන් මිදෙන්ට. ක්ලේශ කාමයෙනුත් තදංග වශයෙන් විෂ්කම්භන වශයෙන් මිදෙන්ටත් පුළුවන් කෙනෙකුට. නමුත් සමුච්ෙඡ්ද වශයෙන් මිදෙන්නට බෑ. තදංග වශයෙන් කියලා කියන්නෙ
අවස්ථාවකට. සමහරවිටක දැන් අපි බණ අහනකොට මේ අවස්ථාවේ දී ගෙවල්, දොරවල්, ඉඩකඩම්, දරුවො ගැන අපි කයෙන් ඇසුරු කරන්නෙත් නෑ. හිතෙන් ඒවා ඇසුරු කරන්නෙත් නෑ. තාවකාලිකව මේ මොහොතට විතරක් මිදිලා. ඒකට කියනවා තදංග විමුක්තිය කියලා. ඒ අවස්ථාවට විතරක් අපි කාමයෙන් මිදිලා ඉන්නවා. නමුත් මේ බණ ටික ඉවර වෙන කොට ආපහු අපේ මනස පතිත වෙන්නෙ අර කාමනීය ධර්ම කෙරෙහිමයි. ඒ මඩ වල කෙරෙහිමයි. සමහර කෙනෙක් ලෞකික ධ්‍යාන ලබලා ප‍්‍රථම ධ්‍යානයෙ ඉඳලා, ඊට උඩ ධ්‍යාන ලබලා, විෂ්කම්භණ වශයෙන් කාලෙකට කෙලෙස් යටපත් කිරීම් වශයෙන් ධ්‍යාන උපදවාගෙන ඉන්නවා. වස්තු කාමයෙන් මිදිලා, ක්ලේශ කාමය යටපත් කරගෙන ඉන්නවා. ඒකෙ උපරිම ඉන්න පුළුවන් කොච්චර කල්ද? කල්ප අසූහාරදාහක් ඉන්න පුළුවන්. හැබැයි කල්ප අසූහාරදාහකින් පස්සෙ හරි ආපහු මතු වෙනවා. එතකොට ඒකට කියනවා විෂ්කම්භන ප‍්‍රහාණය කියලා. තදංග ප‍්‍රහාණය, විෂ්කම්භණ ප‍්‍රහාණය, සමුච්ෙඡ්ද ඒ කියන්නෙ ඉතිරි නොවන විදියට සි`දුනෙ නැති වුනොත් ආපහු ආපහු උපදිනවා. ආපහු ආපහු ඇතිවෙනවා.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!