2/25/19

බුද්ධ ගුණය


සම්මාසම්බුද්ධ - බුද්ධ යන පදයෙහි අර්ථය එකිනෙකට වැඩි වෙනසක් නො මැත. ඒ පද දෙකින්ම තථාගතයන් වහන්සේ විසින් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කළ බව කියැවේ. සම්මාසම්බුද්ධ පදයෙන් පරෝපදේශ රහිතව ස්වශක්තියෙන් මැනවින් අවබෝධ කළ බව විශේෂයෙන් කියවේ. එසේ තිබියදි මේ බුද්ධගුණ පාඨයට බුද්ධ යන පදය නැවත ද ඇතුළු කර ඇත්තේ, චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමෙන් පමණක් නො නැවතී ඒ ධර්‍මය අන්‍ය සත්වයන්න්ට ද අවබෝධ කරවීම වූ ගුණය දැක්වීම සඳහා විය යුතු ය. බුද්ධ යන පදයෙන් අවබෝධ කරවීම ද කියැවේ. ධර්මය අවබෝධ කර ගත් සැම දෙනම ඒ ධර්මය අනුන්ට අවබෝධ කරවිමට සමත් නො වෙති. පසේ බුදුහු ද චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගනිති. එහෙත් ඔවුහු ඒ ධර්මය සෙස්සන්ට අවබෝධ කර විමට සමත් නො වෙති. ලොවුතුරා බුදුහු තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සෙසු දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවා බොහෝ සත්වයන් දුකින් මුදවති. බොහෝ සත්වයන් නිවනට පමුණුවති. ලොවුතුරා බුදුනට අන්‍යයන් හට චතුස්සත්‍යය අවබෝධ කරවීමෙහි ඇති සාමාර්ථ්‍යය පුරිසදම්මසාරථී සත්ථාදේවමනුස්සානං යන ගුණපද විස්තර කිරිමෙහි දි දැක්විණ. මෙතැන්හි විශේෂයෙන් විස්තර කළ යුත්තේ තමා ලත් දෙය දොර වසා ගෙන අනුභව කරන මසුරකු මෙන් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය සඟවා ගෙන ආත්මාර්ථය පමණක් බලා ගෙන සුවසේ නො සිට තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මහෝත්සාහයෙන් සෙසු දෙවිමිනිසුන්ට ද බෙදා දෙන බව ය.

“සබ්බදා සබ්බසත්තානං - හිතාය ච සුඛාය ච
උස්සුක්කො අකිලාසු ච - අහො අච්ඡරියො ජිනො”

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදුව ජිවත් වූ පන්සාලිස් වස මුළුල්ලෙහි ම දෙව්මිනිසුන්ට ධර්මය අවබෝධ කර දීමෙන් - ඔවුන් දුකින් මිදවීමෙහි - ඔවුන්ට නිවන් දැක්වීමෙහි මහෝත්සාහයෙන් යෙදුන සේක. උන් වහන්සේ ඒ ඒ දිනයන් හි ධර්මය අවබෝධ කර ගැනීමට සමත් වන්නෝ කවරහුදැ යි බලා ඔවුනට තමන් වහන්සේ අවබෝධ කර ඇති ධර්ම දේශනය කළ සේක. ධර්මය අවබෝධ කර ගැනීමට සමත් සත්වයන් දැක උන් වහන්සේ ඔවුන් කර බොහෝ දුර පා ගමනින් ම වැඩම කළ සේක. එක් වරක් යාමෙන් ධර්ම අවබෝධය කර දිය නො හෙන ඇතැම් පුද්ගලයන් කරා උන්වහන්සේ නොයෙක් වර වැඩම කොට ඔවුනට චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරවූ සේක. එක් මිසදිටු බමුණකුට ඔහු මිත්‍ර කරගෙන ධර්මය අවබෝධ කරවීම සඳහා තථාගතයන් වහන්සේ ඔහු වෙත බොහෝ වාර ගණනක් වැඩම කළ සේක. මහාකප්පින රජු හා ඔහුගේ පිරිසට දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පා සිවුරු තමන් වහන්සේ විසින් ම ගෙන එක්සිය විසියොදුන් මඟ ගෙවා එකලාව වැඩම කළ සේක. පුක්කුසාති රජු පැවිදි වී බුදුරදුන් සොයා එන කල්හි තමන් වහන්සේ විසින් ම පා සිවුරු ගෙන පන්සාලිස් යොදුන් මඟ පාගමණින්ම වැඩම කොට ඔහු හා කුම්භකාරශාලාවෙක්හි රාත්‍රිය ද ගත කල සේක. පිරිනිවන් පාන දිනයෙහි පිරිනිවන් මඤ්චකයෙහි සයනනය කරමින් සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසු සේක.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

2/24/19

ධර්ම ශ්‍රවණය


තථාගතයන් වහන්සේ විසින් දේශිත අපාදුක් ගිනි නිවන, සසර දුක් දුරලන, සග මොක් මඟ හෙළි කරන සුපරිශුද්ධ ධර්මය ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍ර‍වණ කුශලය ය. මෙකල ඇතැම් බෞද්ධයෝ බණ ඇසීම නැටුම් බැලීමක් සේ විනෝද ක්‍රියාවක් කරගෙන සිටිති. ඔවුහු මහ හඬින් හෝ මිහිරි හඬින් හෝ දේශනය කළහොත් හොඳ බණකැ යි කියති. කෙනකුට ගර්හා කරමින් කෙනකුට පසසමින් සිනාසිය හැකි විහිළු කථා කියමින් දහම් දෙසුව හොත් බොහොම හොඳ බණකැයි කියති. ස්තුතිවලින් තොර වූ ගර්හාවලින් තොර වූ විසුළු කථාවලින් තොර වූ ශුද්ධ බුද්ධ ධර්මය දෙසුව හොත් එයට නින්දා කරති. බෞද්ධයන් මේ තත්ත්වයට වැටී සිටීම සංවේග ජනකය. තථාගතයන් වහන්සේ ධර්මය රාගය පිණිස නො ව විරාගය පිණිස දෙසන ලද්දකි. එබැවින් එයින් නැටුම් බැලීමකින් මෙන් විනේාදයක් ලබන්නට නො සිතා ඉතා ගෞරවයෙන් එය ශ්‍ර‍වණය කළ යුතු ය. විනෝදය පිණිස දහම් අසනවාට වඩා නො ඇසීම ම යහපති. ඇතමෙක් දේශකයාගේ සමත්කම මනිනු පිණිස ද ඇතමෙක් ඇද පලුදු සොයනු පිණිස ද දහම් දෙසති. ඒ ද නො මැනවි. බණ අසන කල්හි යම්කිසි දෙයක් දැන ගැනීමේ අදහසින් අවවාදයක් අනුශාසනයක් ලබා ගැනීමේ අදහසින් ම එය ඇසිය යුතු ය. ඇතමෙක් උසස් ය යි සම්මත කෙනකුගෙන් මිස සාමාන්‍ය කෙනකු දහම් දෙසන කල්හි අසන්නට නො කැමති වෙති. එ ද නො මැනවි. බුදුන් වහන්සේ ද තමන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ගේ දහම් දෙසුම් ගෞරවයෙන් ඇසූ සේක. නුවණින් අගතැන් පත් සැරියුත් මහරහතන් වහන්සේ සාමනේර නමකගේ අනුශාසනය ගෞරවයෙන් පිළිගත් සේක. කරුණු එසේ හෙයින් දේශකයාගේ උස් මිටි කම් නො බලා කවරකු විසින් වුව දෙසන දහම ගෞරවයෙන් ඇසිය යුතු ය.

බණ ඇසීමේ අනුසස්

කෙනකුට යහපත් කෙනකු වීමට ඇත්තා වූ උසස් ම හේතුව බුද්ධ ධර්මය ඇසීම ය. මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත් ඈත් වූ පමණට ගුණ හීනයෝ වෙති. ධර්මය ඇසුරු කළ කළ පමණට ගුණවත් වෙති. ශිල්පශාස්ත්‍ර‍ කොතෙක් දැන සිටියත් කොතෙක් ධනය තිබුණත් නෑයන් මිතුරන් කොතෙක් සිටියත් ගුණයෙන් හීන තැනැත්තේ සුවඳින් තොර වූ කෑල මල සේ නො වටනා පුද්ගලයෙකි. විරූප වුවත් දිළිඳු වුවත් ශිල්ප ශාස්ත්‍ර‍ නො දනිතත් ගුණවතා පූජ්‍ය පුද්ගලයෙකි. සැවැත්නුවර වීථිවල කසළ ඉවත් කරන්නකු වූ සුනීත ගුණවතකු වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නෙක් විය. ගෞරවයෙන් බණ අසණ තැනැත්තේ ක්‍ර‍මයෙන් පව් නො කරන පින් කරන ගුණවතෙක් වේ. එය දහම් ඇසීමේ එක් අනුසසකි.

“පඤ්චිමේ භික්ඛවෙ ආනිසංසා ධම්මසවණෙ, කතමේ පඤ්ච? අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කංඛං විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ධම්ම සවණෙ”

යනුවෙන් නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසිදු වීමය, සැක දුරුවීමය, දෘෂ්ටිය සෘජුවීමය, සිත පැහැදීම ය යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබෙන පව ප්‍ර‍කාශිත ය.

“සද්ධම්ම දෙසනා කාලෙ - සාධු සාධූති භාසතො
මුඛතො නිබ්බන්ති ගන්ධො - උප්පලංව යථොදකෙ”

යනුවෙන් දහම් දෙසන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇති වන බව කථා වස්තුවත් සමඟ මනෝරථ පූරණි නම් වූ අංගුත්තර අටුවාවේ දක්වා තිබේ.

චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්‍ර‍කරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුශල බලයෙන්න දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා.

පැරණි සැදැහැතියන් ගෞරවයෙන් බණ ඇසූ සැටි

මේ ලක්දිව අනුරාධපුරයේ කාල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ විසින් කළු තිඹිරි ගස යට කාලකාරාම සූත්‍රයෙන් රාත්‍රිය මුළුල්ලෙහි දෙසූ ධර්මය සැදැහැතිස් රජතුමා බණ අසන පිරිසෙන් පිටත අඳුරේ සිට ගෙන සිටි පිය නො සොලවා රාත්‍රිය මුළුල්ලේ ම ගෞරවයෙන් ඇසී ය.

ගවරවාල අඞ්ගණයෙහි එක්තරා පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ කෙනෙක් රාත්‍රියේ පිරිසෙන් පිටත සිට බණ අසන්නාහු සර්පයකු විසින් දෂ්ට කරන ලදහ. උන් වහන්සේ තමන්ට වූ විපත කිසිවකුට නො දන්වා බණ හමාර කරන තුරු බණ ඇසූහ.

අත දරුවා ද ගෙන සිතුල්පව් විහාරයට ගොස් දරුවා ගසක් මුල නිදි කරවා බණ ඇසූ ස්ත්‍රියක් දරුවා සර්පයකු විසින් දෂ්ට කර යනු දැක ද ඒ බව කිසිවකුට නො දන්වා ගෞරවයෙන් රාත්‍රිය මුළුල්ලෙහි ම බණ ඇසුවා ය.

මාගම තිස්ස මහා විහාරයේ විසූ තරුණ භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙස්සන්තර ජාතකය ඇසීමට පයින් ම නව යොදුන් මඟ ගෙවා දිගා වැවට ගිය හ.

උල්ලභ කෝල කණ්ණික නැමති ගම ස්ත්‍රියක බණ අසනු පිණිස එක් දිනකින් ම පස් යොදුන් මඟ ගෙවා පයින් ම ගමන් කොට රාත්‍රිය මුළුල්ලේ ම බණ ඇසුවා ය.

මතු සම්බන්ධයි! රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මරණානුස්මෘති භාවනාව


උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් සත්ත්වයෝ ද උපන් තැන පටන් නැවතීමක් නැති ව මරණය කරා ගමන් කරන්නෝ ය. නො මැරෙන ජීවිතයක් ඇති සත්ත්වයේක නැත. කවර අවස්ථාවක දී වුව ද ජීවිතය නැති විය හැකි ය. එය ඉතා දුබල දෙයකි. දුබලවූ නැසෙන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැති ව දැල්වෙන පහනක් බඳු ය. උදයේ තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් වැනි ය. දිය බුබුළක් වැනි ය. පෙණ පිඬක් වැනි ය. මැටි බඳුනක් බඳු ය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙළවර වන්නාක් මෙන් ජීවිතය ද ඒකාන්තයෙන් මරණයෙන් කෙළවර වන්නේ ය. සත්ත්වයනට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන වාක්‍යය පාඩම් කර ගෙන භාවනා කරනු.

භාවනා වාක්‍යය

ජීවිතය අස්ථිර ය. මරණය නියත ය. සත්ත්වයන්ගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයෝ මරණය අරගෙන ම උපදින්නෝ ය. මරණය අරගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් උපන් තැන පටන් නො නැවතී මරණය කරා ගමන් කරති. මම ද මරණය ගෙන උපන්නෙමි. මම ද දිවා රෑ දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මහා සම්මතාදි මහා සම්පත් ඇති රජ දරුවෝ ජෝතිය ජටිලාදි මහ පිනැති සිටුවරු ද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහා නුවණැතියෝ ද මරණ ප්‍රාප්ත වූහ. මා වැනියකුට කෙසේ ඉන් ගැලවිය හැකි ද? නො හැකි ම ය. මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි.

මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නො නැමේ. පිනට නැමේ. ඔහුට තෘෂ්ණාව ද අඩු වේ. මරණ බය ද අඩු වේ. බොහෝ සත්ත්වයෝ තමන් මැරෙන බව නො සිතා අජරාමර වූවන් සේ සිට මරණ කාලය පැමිණි කල්හි බිය පත් වී සිහි මුළාවෙන් කළුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේ දී එය ගැන සෙස්සන්ට මෙන් බියක් හට නො ගන්නා බැවින් සිහි නුවණින් යුක්ත ව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වේ. ඥාතීන් ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේ ද මරණය සත්ත්වයාට හිමි දෙයක්බව කලින් නො මෙනෙහි කිරීම නිසා ය. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එබඳු අවස්ථාවලදී ද අන්‍යයන් මෙන් දුක් නොවී සැනසී විසිය හැකි ය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පඤ්චස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි ය. තදනුසාරයෙන් දුඃඛ ලක්ෂණය හා අනාත්ම ක්ෂණය ද වටහා ගත හැකි ය. එය සතර මඟ සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ම කරුණු වන්නේ ය.

මෙතෙකින් භාවනා විස්තරය නිමියේ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

2/19/19

විදර්ශනා භාවනාව


ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණ කෙලෙසුන් නසා නිවන් දැකිය හැකි වන භාවනාව විදර්ශනා භාවනාව ය. ශමථ භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීම ය. ශමථ භාවනාවෙන් සමාධිය දියුණු කර ගත කල්හි විදසුන් වඩා මඟ පළ ලැබීම පහසු ය. සමාධිය නැති තැනැත්තාට එය අපහසු ය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට ශමථ භාවනාවක් කොට සමාධිය හා ශ්‍ර‍ද්ධාදිය දියුණු තියුණු කර ගෙන පසුව විදර්ශනා කෙරෙති. ප්‍ර‍ථමයෙන් ශමථ භාවනා කොට විදසුන් වඩා නිවන් දුටුවෝ බොහෝ වූහ. විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදි ලක්ෂණ තුන ද දක්නා ඥානය දියුණු කිරීම ය. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍යාදි ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යි ද කියනු ලැබේ.

අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනෙකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හි ම නො පවත්නා බව ය. කලක් පැවැතී නැසෙන බව ය. දුඃඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවය ය. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය, හෙවත් කිසිවකුගේ කැමැත්ත අනුව නො පවත්නා බව ය.

පිළිකුල් භාවනාව පහසුවෙන් ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවෙකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමති පින්වතා විසින් ඉහත කී පරිදි පස් මස් පසළොස් දිනක් පිළිකුල් භාවනාව සජ්ඣායනා කර එය ප්‍ර‍ගුණ කර ගෙන ඒ ශාරීරික කොට්ඨාසයන්ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය.

හිසකේ සෑම කල්හි ම නො නැසී පවත්නා දෙයක් නොව කාලයක දී වෙනසට පැමිණෙන්නා වූ ද තවත් කලෙක දී සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණය යි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැති කර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක් ය. පැසීම ගැලවී යෑම යන මේවා ද හිසකේ නිසා ඇතිවන දුක් ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇති කර දෙන බව හිසකෙස්වල දුඃඛ ලක්ෂණය ය. කොට කර කැපූ හිසකේ දික් නො වන ලෙසට ද, කළු හිසකේ කිසිවකුට නො පැවැත්විය හැකි ය. ස්වභාව ධර්මයේ සැටියට මිස කිසිවකු ගේ අදහසේ සැටියට හිසකෙස්වල නො පවත්නා ස්වභාවය හා දැනුමක් නැති වුව ද ඒවායේ අනාත්ම ලක්ෂණය ය. එසේ සියලු කොටස්වල ම අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය සලකමින් මෙසේ භාවනා කරනු.

භාවනා වාක්‍යය

මේ ශරීරයේ කේශයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට පීඩා කරන බැවින් දුඃඛයෝය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

මේ ශරීරයේ ලෝමයේ නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

නිය, දත්, සම් ආදි ඉතිරි කොටස් ගැන එසේ ම වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. කොටස් සමූහය වූ සකල ශරීරය ගැන ද භාවනා කරනු. ශරීරය ගැන කරන භාවනාව රූප භාවනාව ය. ශරීරය වූ රූප සමූහයෝ හෙවත් රූපස්කන්ධයා ගේ ලක්ෂණත්‍ර‍ය වැටහුණු පසු ශරීරය හසුරුවමින් ශරීරය ඇසුරු කර ගෙන පවත්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධ සතර ද සොයා ගෙන තේරුම් ගෙන ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ පිළිබඳව ද,

මේ ශරීරය ඇසුරු කර පවත්නා වූ නාමයෝ බිඳි බිඳී යන බැවින් නොපවත්නා බැවින් අනිත්‍යයෝ ය. පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකු ගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ යයි භාවනා කරනු. නාම රූප දෙක ම එක් කොට ගෙන සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. දුඃඛයෝ ය. අනාත්මයෝ ය යි ද භාවනා කරනු.

මෙසේ භාවනා කිරීමෙන් වන්නේ ද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදුවීම පමණකි. කිසිම තේරුමක් නැති ව යම් කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමි යි කියන්නාහට ලැබෙන ඵලයක් නැත. (විදර්ශනා භාවනාව මනා කොට කරනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම පොතක් වූ “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බලා භාවනා කරත්වා.)

2/17/19

පිළිකුල් භාවනාව


පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදි කොටස් පිළිබඳ භාවනාව ය. එයට අශුභ භාවනාවය, කායගතාසති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාවය යන නම් ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අන්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේ ම භාවනාවෙකි. තථාගතයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් වර්ණනා කළා වූ ද භාවනාවෙකි. මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය. බඹයක් පමණ වූ මේ මිනිස් සිරුර කොටස් දෙතිසකින් යුක්ත ය.

(1) කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය,
(2) මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩුව ය,
(3) හදවත ය, අක්මාව ය, දළබුව ය, ඇලදිව ය, පපු මසය.
(4) අතුණු ය, අතුණුබහන් ය, ආහාර ය, මල ය, මොලය ය.
(5) පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද තෙල ය.
(6) කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුලු ය, මුත්‍ර‍ ය.

යන මේ දෙතිස ශරීරයේ කොටස් ය. මේ භාවනාව කරන කල්හි කොටස්වල පැහැය ය, සටහන ය, පිහිටි දිශාව ය, පිහිටි ස්ථානය ය, පර්‍ය්‍යන්ත පරිච්ඡේදය ය යන කරුණු පස හා වර්ණය ය, සටහනය, ගන්ධය ය, නිඃශ්‍රියය, අවකාශය ය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බව ද සජ්ඣායනා කරමින් භාවනා කළ යුතු ය. සජ්ඣායනා කිරීම නම් ඇසෙන සේ කීම ය. “ඉමස්මිඤ්හි පටික්කූලමනසිකාර කම්මට්ඨානෙ යොපි තෙපිටකො හොති තෙනාපි මනසිකාර කාලෙ පඨමං වාචාය සජ්ඣායො කාතබ්බො” යි මේ ප්‍ර‍තිකූල මනස්කාර කර්මස්ථානය ත්‍රිපිටකධරයකු විසින් වුව ද සජ්ඣායනා කරමින් ම භාවනා කළ යුතු බව දක්වා තිබේ. එබැවින් සිතින් මෙනෙහි කිරීම ම ප්‍ර‍මාණ වෙතැයි වරදවා නො ගත යුතු ය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍ර‍මය ඉතා දීර්ඝ බැවින් එකවර උගෙන එකට ම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග සයකට බෙදා භාවනා කිරීමට නියමිත ය. මෙහි කොටස් දෙතිස දැක්වූ තැන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කරගත යුතු ආකාරයට ය. එහි කොටස් පස බැගින් ඇති වර්ග සතරක් හා කොටස් සය බැගින් ඇති වර්ග දෙකක් ද ඇත්තේ ය.

භාවනා කිරීමේ දී පළමු වන වර්ගය අනුලෝම වශයෙන් (මුල සිට අග දක්වා කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. ප්‍ර‍තිලෝම වශයෙන් (අග පටන් මුලට කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “මස්” ආදි කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතුය.

ඒ වර්ග දෙක භාවනා කිරීමට මසක් ගත වේ. දෙවන මාසයේ දී ඒ වර්ග දෙක ම එක්කොට එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “හදවත” ආදි කොට ඇති තුන්වන වර්ගය උගෙන කියන පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

තුන් වන මාසයේ දී පළමු භාවනා කළ වර්ග තුන ම එක්කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළයුතු ය.

ඉක්බිති “අතුණු” ආදි කොට ඇති සතර වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සතර වන මාසයේ දී පසු කළ වර්ග සතර ම එක් කොට කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “පිත” ආදි කොට ඇති පස් වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් දින පසළොසක් භාවනා කළ යුතු ය.

පස්වන මාසයේ දී පසු කළ වර්ග පස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති සවන කොටස උගෙන කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සවන මාසයේ දී කොටස් දෙතිස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

භාවනාව සම්පූර්ණ කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වන්නේ ය. මේ කාලයේ දී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නො විය යුතු ය. මුලින් පටන් ගත්තා ම නැවතීමක් නැති ව අග දක්වා ද අගින් පටන් ගත්තා ම පැකිළීමක් නැතිව මුල දක්වා ද මෙනෙහි කළ හැකි වේ නම් භාවනාව ප්‍ර‍ගුණ වූ සැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ඣායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතු ය. කොටස් හොඳින් නො වැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් පසළොස් දිනක් සජ්ඣායනා කළ යුතු ය. ශරීරය දිශා වශයෙන් බෙදන කල්හි නාභිය (පෙකනිය) මධ්‍යස්ථානය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේ දී හෙට්ඨිම දිශාවය (යට දිගය) යි කියනුයේ නාභියෙන් යට කොටසය. උපරිම දිශාවය (උඩ දිගය) යි කියනුයේ නාභියෙන් උඩ කොටසට ය.

භාවනා වාක්‍යය (මෙය පාඩම් කරගෙන භාවනා කරනු)

පළමු වන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයෙහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. ඒ කේශයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද නිඃශ්‍රයෙන් ද අවකාශයෙන් ද පිළිකුල් යහ. (මතු දක්වන කොටස්වලට ද මෙසේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ඣායනා කරනු).

2. මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල් බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම පිහිටියා වූ ශරීරය වසා සිටිනා සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයෙහි “නිය” සුදු වූ මාලු කොට බඳු සටහන් ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ, ඇඟිලි අග පිහිටියා වූ, තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.

4. මේ ශරීරයේ “දත්” සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන් ගෙන් ම ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “සම” කළු සුදු ඈ නොයෙක් පැහැ ඇත්තා වූ, රූපයක් වසා සිටිනා සැට්ටයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

කෙස්වලින් පටන් ගෙන සම දක්වා පිළිවෙලින් සජ්ඣායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍ර‍මය ය. සමින් පටන් ගෙන කෙස් දක්වා ආපසු සජ්ඣායනා කිරීම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ඣායනා කිරීම අනුලෝම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය.

දෙවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “මස්” රත් පැහැ ඇත්තා වූ, දි බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ, දෙදිශාවෙහි ම ඇත්තා වූ තුන් සියයක් පමණ ඇටවල පිහිටියා වූ යටින් ඇටවලින් ද උඩින් සමෙන් ද සරසින් මස් පිඩුවලින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “නහර” සුදු වූ ගසක් වෙළා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ, කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “ඇට” සුදු වූ දික් බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ මුළු සිරුරෙහි ම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුළුවලින් හා උඩින් හා සරසින් මස්වලින් හා ඔවුනොවුන්ගේ අක් මුල් වලින් වෙන්වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “ඇට මිදුළු” සුදු වූ, තම්බා හුණ පුරුක් බට පුරුක්වල ලූ වේබඩ බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හටගත්තා වූ ඇට තුළ පිහිටියා වූ ඇටවල ඇතුළු පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “වකුගඩුව” මඳක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹ ගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හට ගත්තා වූ ගලවළුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

තුන්වන පසළොස් දිනයේ කියන ලද වර්ග දෙක එක් කොට අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දින බැගින් භාවනා කරනු.

සතරවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “හදවත” මඳක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුළක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුළ දෙතන අතර පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “අක්මාව” මඳක් රත් පැහැ ඇත්තා වූ, කොබෝලීල පතකට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර දකුණු පස පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “දළබුව” සුදු පැහැ ඇත්තා වූ, වස්ත්‍ර‍යක් බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හට ගත්තා වූ, හදවත හා අක්මාව වසා සිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “බඩදිව” නිල් පැහැ ඇත්තා වූ, වස්සකුගේ දිව බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, හදවතට වම් පසින් පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “පපුමස” රතු වූ, නො සම කොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන් ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ පපුව තුළ එල්ලී තිබෙන්නා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

පෙණහල්ල යනු ද මෙයට නමෙකි. ඇතුළත පිහිටි කොටස්වල සැටි ඡායාරූපාදිය බලා තේරුම් ගත යුතු ය. පස්වන පසළොස් දිනයේ දී කෙස්වල පටන් බඩදිව තෙක් ඇති කොටස් පසළොස එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

සවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “අතුනු” සුදු වූ ලේ ඔරුවක දරණ ගසා ලූ හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ ගළවළුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “අතුනුබහන්” සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳ ගෙන එය අතර පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “නො පැසුණු ආහාරය” වැළඳූ ආහාරයේ පැහැය ම ඇත්තා වූ පෙරහනක ලිහිල් කොට බැඳි සහල් බඳු වූ මතු දිශාවෙහි ඇත්තා වූ උදරයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “මල” පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “මොළය” සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ, හිස් කබල තුළ පිහිටියා වූ එහි පර්‍ය්‍යන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

මෙය පසළොස් දිනක් භාවනා කොට සත්වන පසළොස් දිනයෙහි කෙස්හි පටන් මොළය දක්වා ඇති කොටස් සියල්ල ම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

අටවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “බද්ධපිත්තය” (කෝෂයෙහි පිහිටි පිත) බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත් කෝෂයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. “අබද්ධ පිත්තය” (ශරීරයේ පැතිර සිටිනා පිත) මැළවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “සෙම” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ හට ගත්තා වූ උදර පටලයේ පිහිියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “සැරව” මඳක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවේ ම හටගත්තා වූ ගෙඩි වණවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “ලේ” රතු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “ඩහදිය” තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ රෝම කූපයන් පුරා සිටින්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

6. මේ ශරීරයේ “මේද තෙල” කහ පැහැ ඇත්තා වූ වස්ත්‍ර‍යකට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හට ගත්තා වූ, සම් මස් දෙක අතර පිහිටියා වූ, උඩින් සමින් හා යටින් මසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

නව වන පසළොස් දිනයේ දී කී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරනු.

දසවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “කඳුළු” තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශායෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “වුරුණු තෙල” පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ අතුල් පතුල් පිටි අලු පිටිපතුල් නළල නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “කෙළ” පෙන පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, මුව තුළ පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “සොටු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ නාස් පුඩු පුරා සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “සඳමිඳුළු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හටගත්තා වූ ඇට සන්ධිවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

6. මේ ශරීරයේ “මුත්‍ර” තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිකුරු කොට තැබූ කුඩා කළයක දිය බඳු සටහන ඇත්තා වූ යටි දිශාවෙහි හටගත්තා වූ වස්ති කෝෂයෙහි පිහිටියා වූ වස්ති කෝෂයේ යටි පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

එකොළොස් වන පසළොස් දිනයේ දී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස් මස් පසළොස්දිනක් භාවනාව සජ්ඣායනා කළ කල්හි එය ප්‍ර‍ගුණ වී නම්, කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ඣායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම්කිසි ඵලයක් ලැබෙන තුරු ම නො නවත්වා එය කර ගෙන යා යුතු ය. කොටස් දෙතිස ම හොඳින් නො වැටහේ නම් නො වැටහෙන කොටස් හැර දමා වැටහෙන කොටස්වල මනස්කාරය පැවැත්විය යුතු ය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානය ය. අනලස ව ක්‍ර‍මානුකූලව භාවනාව කරගෙන යන කල්හි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍ර‍තිලාභයට හා අනාගත භවයන්හි ධ්‍යාන ලැබීමට ද හේතු වන්නේ ය.

මතු සම්බන්ධයි!

තථාගත කර්මස්ථානය - ආනාපානසති භාවනාව


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ලොව පහල වීම අතිශය දුර්ලභය. එසේ පහල වූ ශාසනයක පමණක් ඇති කර්මස්ථානයකි මෙම ආනාපානසති කර්මස්ථානය. අප මහා තථාගත අරහත් සම්මා සම්බුධු පියාණන් වහන්සේ මහත් ලෙස නොයෙක් තැන වලදී මෙම භාවනාව වැඩීමේ ආනිසංස දේශනා කරන ලදී. සම්මා සම්බුද්ධත්වය ලැබීමටද මුලික කර්මස්ථානය මෙම අනපනසති භාවනාව බැවින් මෙයට තථාගත කර්මස්ථානය ලෙස කියනු ලැබේ. මහත් පල මහානිසංස ආනාපානසති භාවනාව ධ්‍යාන මට්ටම තෙක් දියුණු කරන ආකාරය ඉතා පැහැදිලි ලෙස මෙම ධර්ම දේශනයේ සදහන් ය. නිර්වායන පිණිස විදර්ශනා භාවනාව අනිවාර්ය සහ ඒකායන භාවනාවයි. විදර්ශනාව ඉතා සියුම් බැවින් එය ග්‍රහණයට අප සිත සමාධිමත් වියයුතුය. උපචාර, අර්පණා සමාධි ලබා විදර්ශනාව පටන් ගන්නා යෝගාවචරයන් ද සිටි නමුත් ආනාපානසති භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන මට්ටම දක්කවා සිත දියුණු කොට එතැන් පටන් සතර සතිපට්ඨානවා සම්පුර්ණ කිරීම සාර්ථක ක්‍රමයක් ලෙස දැක්විය හැකිය. වීර්ය වඩත්වා! මෙම දේශනාව ඇසීමට හිත සැකසේවා! මෙම ධර්ම දානය මගේ මාර්ගපල නිර්වාණය පිණිසම හේතු වේවා!

>>>>පළමු කොටස<<<<



>>>>දෙවන කොටස<<<<



මාර්ගපල නිර්වාණය ම සාක්ෂාත් වේවා!


2/15/19

මහා කාශ්‍යප මහරහතන්වහන්සේ


කෙළෙස්, ප්‍රහීණ කිරීම සඳහා අනුගමනය කළ යුතු අංග ධුතංග යනුවෙන් හැඳින්වෙන මේවා පංශුකුලික, තේවීවරික, පිණ්ඩපාතික ආදී වශයෙන් අංග දහතුණකින් යුක්තයි. අප බුදුරදුන්ගේ ශාසනයෙහි ‘ඒතදග්ගං භික්‍ඛවේ මම සාවකානං භික්‍ඛුනං ධුතවාදීනං සදිදං මහා කස්සපො” යනුවෙන් මහා කාශ්‍යප හිමියන් ධුතංගධාරී භික්‍ෂූන් අතර අග්‍රයයි බුදුරදුන් උසස් ස්ථානයෙහි තබා වදාළා. මේ මහා කාශ්‍යප හිමියන්ගේ චරිතය මහා පුදුම අපූර්ව එකක්.

මගධ රටෙහි මහා තිත්ථ ගමේ මේ කාශ්‍යප හිමියන් කපිල බමුණාත් එම බැමිණියත් මව්පියන් කොට ‘පිප්පලි’ නමින් උපත ලබා විසිවයස් වූ කල්හි මවුපියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයට කැමැත්ත දුන්නා. අතීත ආත්මභාව රාශියක් ම මේ පිප්පලි මානවකයාට භාර්යාව වීමට ප්‍රාර්ථනා තබා එක්ව සසර සැරිසැරූ, මේ වන විට මදුරට සාගල නුවර විසූ කාමයෙහි ඇලීමට මද හෝ ආසාවක් නො තිබූ ‘භද්දාකාපිලානී’ කුමාරිය සමඟ මව්පිය හිතවතුන්ගේ උපක්‍රම මත සරණ මංගල්‍යය සිදු කෙරුණා. විවාහ පත් වූ දින සිට කාමරයක් තුළ එක් ඇඳක මැදින් සුවඳ මල් දමකින් වෙන් කොට අල්ප වූ ද රාගික හැඟීමක් නැතුව මුළු ගිහි ජීවිත කාලය ගත කළ යුවලක් ගැන ලෝක ඉතිහාසයේ සෙව්වහොත් මේ පිප්පලී හා භද්‍රකාපිලානි යුවල හැර වෙනත් කිසිවෙකු සොයාගත නොහැකියි. ඒ තරමට ම කාමයන්ගෙන් වෙන් වූ ජීවිතයක් ගත කොට මව්පියන් කළුරිය කිරීමෙන් අනතුරුව සියලු සම්පත් හැර දැමූ මේ දෙදෙන නිවන් සොයා නික්ම වෙන් වී ගියා.

පසු දිනක වේළුවනාරාමයෙන් තුන් ගව්වක් දුරින් පිහිටි ‘බහුපුත්‍රක’ නුගරුක මුල බුදුරදුන් වැඩ සිටියදී පිප්පලි තවුසාණන්ට බුදුරදුන් මුන ගැසුනා. එහිදී ලජ්ජා භය ඇතිව නිහතමානීව හැසිරීමේ අගයත් උතුම් ධර්මය මනා අවධාරණයෙන් ඇසීමත්, ශරීරයෙහි ලක්‍ෂණ ගැන නොසිතා කායගතාසතිය වැඩීමේ අගයන් යන කරුණු තුන මුල්කොට දෙසූ ධර්ම දේශනාව අසා පැහැදුනු පිප්පලි තවුසාණන් බුදුරදුන් වෙතින් මහණ උපසම්පදාව ලබා මහා කාශ්‍යප නමින් ප්‍රසිද්ධියට පත් වුණා. අනතුරුව කෙළෙස් ධුතාංග සමාදානයෙන් සත් දිනක් ඉක්මයාමත් සමග සිව්පිළිසිඹියා සහිත රහත් භාවයට පත් වූවා.

චරිත ලක්‍ෂණ, රූප ලක්‍ෂණ සහ ගුණ ලක්‍ෂණ යනුවෙන් මහා කසුප් තෙරණුවන් පිළිබඳ වැනිය හැකි අගනා ගුණ තුනක් පැවතුනා. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර වැඩ සිටිය පදුමුත්තර බුදුරදුන්ගේ කාලයේ දී ‘වේදේහ’ නමින් උපත ලබා මහදන් පවත්වා අප ගෞතම බුදුරදුන් සමයෙහි ධුතංගධාරී භික්‍ෂූන් අතර අගතනතුර ලබන බවට විවරණ ලබා ගත්තා. එතැන් පටන් ඒ ප්‍රාර්ථනය සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ කුසල ක්‍රියාවන් සිදු කළා. විපස්සි බුදුරදුන්ගේ අවධියේ ඔහුටත්, භාර්යාවටත් උඩුකය වැසීමට තිබූ එකම සළුව බුදුරදුන්ට පුදා එකල පාලකයා වූ බන්ධුම රජතුමාගෙන් මහා සම්පත් ලබා ගත්තා.

එසේ ලැබූ සම්පත් පවා පැහැදුනු සිතින් පරිත්‍යාග කළා. මෙවැනි චරිතයක් අතීත ආත්ම වල සිට පැවතුණා. මහා කාශ්‍යප හිමියන්ගේ ශරීරය පුදුම තරම් ලස්සනයි. බුදුරදුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලකුණු වලින් සතක්ම තිබූ එකම ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේයි. එක්තරා දිනක බුදුරදුන් මහා කාශ්‍යප හිමියන් හා මාර්ගයේ වැඩමවද්දී බුදුරදුන්ට විවේක ගැනීම සඳහා පටපිළියෙන් කළ අගනා සියුම් සගල සිවුර නවා අසුනක් පැනවූවා. බුදුරදුන් ඒ සිවුර අත ගා මෙය ඉතා සිනිදු සියුම් එකකැයි වදාළා. ඒ අවස්ථාවේ තම සිවුර බුදුරදුන්ට පොරවන්ට පූජා කොට උන්වහන්සේ පොරවා ගෙන සිටි ඝන පාංශුකුල සිවුර ගෙන මහත් සතුටින් පොරවා ගත්තා. ශ්‍රාවකයන් වහන්සේ සමග ඇඳී සිවුර මාරු කරගත් එකම අශ්චර්යවත් අවස්ථාව මෙයයි. තම පරිනිර්වාණයෙන් පසු තම ආයු ප්‍රමාණයෙන් එකසිය විසිවසරක් වැඩ සිටිමින් තමා දෙසූ ධර්මය ආරක්‍ෂා කර ගැනීම සඳහා ප්‍රමුඛව කටයුතු කරන බව බුදුරදුන් දිවසින් දැක මෙසේ සිවුරු පොරවා ගැනීමෙන් ගෞරව දැක් වූ බව පැහැදිලිය.

බුදුරදුන්ට පමණක් දෙවැනි වූ ධුතංගධාරි භික්‍ෂූන් පන්සියක් නිති පිරිවර ඇතුව වැඩ සිටි ශාසනයේ එකම භික්‍ෂු නම වූ මහා කස්සප හිමි සියලු දෙනා කෙරෙහි නිරන්තරයෙන් කාරුණික වුණා. සෑම දෙනටම අනුකම්පාවෙන් පිහිට වුණා. මේ නිසා බොහෝ දිනවල නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් අනතුරුව ජනතාවට පින් වැඩිවීම අරමුණු කොට සිවු පසය පිළිගත්හ. දිනක් ලාදුරු රෝගියෙකු පාත්‍රයට දත් පිළිගන්වද්දී ඔහුගේ ඇඟිල්ලක් ගැලවී පාත්‍රයට වැටුණත් පිළිකුල් නොකොට ඔහුට පින් ලබා දීමට ඒ ආහාරය වැළඳුවා. එක් දිනක් උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටි උපාසිකාවක් උන්වහන්සේ යැයි රැවටී බුදුරදුන්ගේ පාත්‍රයට පිණ්ඩපාතය බෙදුවා. මද වේලාවකින් මහකසුප් තෙරණුවන් පිණ්ඩපාතයේ වැඩි විට තමාට වැරදුනු බව සිතා දුව ගොස් බුදුරදුන්ගේ පාත්‍රයට අතපොවා තම පූජාව ආපසු ගෙනවිත් මහාකාශ්‍යප හිමියන්ට පිදුවා. රූපය නිසා හට ගත් මෙවැනි ගැටලු නිසා සංවේගයට පත්ව හිමාල වනයට වැඩියා.

බුද්ධ පරිනිර්වාණය ගැන දැනගත් මහකසුප් හිමියන් භික්‍ෂූන් සමග කුසිනාරා නුවරට වැඩමවා ආදාහන කටයුතු සිදු කළා. බුදුරදුන් කෙරෙහි උරණ වී සිටි සුභද්‍ර නම් මහළු මහණෙකු උන්වහන්සේගේ පිරිනිවීම ගැන කළ අමනොඥ කතාවෙන් සංවේගයට පත්වී අදාහනයෙන් තෙමසක් ගතවීමත් සමඟ ධර්මය නොනැසී මනාව ආරක්‍ෂා කිරීමේ අරමුණින් රජගහ නුවර සත්තපර්ණී ගුහා දොරටුවේ දී ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා ප්‍රධානත්වය ගෙන උන්වහන්සේ කටයුතු කළා. ධර්මය පිටකත්‍රයව බෙදා ආරක්‍ෂා කිරීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිදු කළ සේවය සදා අප ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

තෙරුවන් සරණයි!

බුද්ධ රත්නය


නමෝ තස්ස භගවනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයාගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තේ බෞද්ධ නම් වේ. සරණ යාමයි කියනුයේ ඒ පිළිගැනිමට යි. රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක් වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැදින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්යය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකළ බෞද්ධයන් විසින් තරමක් වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා තරමට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

බුද්ධ ගුණය අනන්ත. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහොත් බොහෝ බුදු ගුණ ඇත්තේ ය. දත කෙනෙකුට වුවද බුදු ගුණ කියා නිම කිරිමට කාලයක් නැත්තේ ය.

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ
ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ
වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස

යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයකි.

සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක් සෝවාන් පුදුගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමින් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුඬ මහා කච්චානා මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද, ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලූ පසේ බුදුවරුන්ගේ බුඬගුණඥාණයට මහත් වු බුඬගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය.

නුවණැතියන්ගෙන් අඟතැම්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වූව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නව යොදුන් බැඟින් අටලොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නක් මෙන් ද, නොගත් ජලය බොහෝ වන්නක් මෙන් ද, මහාපොළොව ඇගිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇගිකල්ලට ආ පස් අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොව පස් බොහෝ වන්නක් මෙන් ද, මහා සයුරට ඇගිල්ලක් දිගුකළ කල්හි ඇගිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බව ද, සම්පසාධනීය සුත්තට්ඨ කථාවෙහි ම දක්වා තිබේ. සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා ලද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය. (දීඝනිකායට්ඨ කථා)

ඒ මෙසේය :

ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ඬො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුඬො, භගවාති.
ඒ පාඨයේ තේරුම මෙසේ ය:

1. සො භගවා අරහං
ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලොකොත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනිමට සුදුසු වු සේක.

2. සො භගවා සම්මා සම්බුද්ඬො
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, සකළ ධර්ම සමුහය අනිකකුගෙන් අසා ගැනිමක් නොකොට තමන් වහන්සේ විසින් ම කිසිදු වැරදිමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක.

3. සො භගවා විජ්ජා චරණ සම්පන්නො
ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන් ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

4. සො භගවා සුගතො
ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක.

5. සො භගවා ලොකවිදු
ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.

6. සො භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි
ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘඬිබලාදියෙන් මත්ව ප්‍රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමඟට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.

7. සො භගවා සත්ථා දේවමනුස්සානං
ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක.

8. සො භගවා බුඬො
ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක.

9. සො භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරිමට සුදුසු වන සේක.

මෙසේ සැකවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

ත්‍රිවිධ ලෝකය


සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි ද ලෝකය තෙවැදැරුම් වේ. සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වේ. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නමි. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වෙති.

රූපාදීන්හි ඇලී සිටින්නෝ ය යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ත්ව නම් වෙති. ‘ලෝකීයති එත්ථ කුසලාකුසලං තබ්බිපාකොචාති ලොකො’ යි දැක්වෙන පරිදි කූශලාකුශලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ත්ව සමූහය ලෝක නම් වේ. සත්ත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළොව-කඳු-ගස්-ගල් ආදිය ලෝක නම් වේ. ‘ලූජ්ජති පලූජ්ජතීති ලොකො’ යි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පලූදු වීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ‘ලෝකවිදු’ නම් වන සේක.

‘සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො’ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති වන්නේ සත්ත්වයන් කෙරෙහි ය. එබැවින් සත්ත්වයෝ ම විඥානස්ථීතීහු නම් වෙති.

නානත්වකාය නානත්වසඤ්ඤීහු ය, නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය, ඒකත්වකාය නානත්වසඤ්ඤීහුය, එකත්වකාය එකත්ව සඤ්ඤීහුය, අකාසානඤ්චායතනූපගයෝ ය, විඤ්ඤාණඤ්චායතනූපගයෝ ය, ආකිඤ්චඤ්ඤායතනූපයෝග ය කියා විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වයෝ සත් කොටසක් වෙති.

කයෙහි හා ප්‍රතිසන්දි සංඥාවෙහි වෙනස්විම් ඇති සත්ත්වයෝ නානත්වකාය නානනත්වසංඤී සත්ත්වයෝය. මනුෂ්‍යයෝ ය, චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝක සයෙහි දෙවියෝ ය, ඇතැම් විනිපාතිකයෝ ය යන මොවුහු නානාත්වකාය නානාත්වසංඤීහු ය.

අනන්ත චක්‍රවාළයන්හි වෙසෙන සියලූම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථානාදියෙන් එකිනෙකට වෙනස් වෙති. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැතහ. නිවුන් දරුවෝ ද ඔවුනොවුන් බෙහෙවින් සමාන වතුදු සර්වාකාරයෙන් සම නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන් ද ඔවුහූ එකිනෙකා වෙනස් වූවෝය. එබැවින් සියලුම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්වසංඤීහූ වෙති, කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද නොයෙක් පැහැ ඇත්තෝ ය. නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිභේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය. එබැවින් ඔවුහු නානත්වකාය නාවත්වසංඤීහූ ය.

විනිපාතිකයෝ නම්, ප්‍රේතයන්ට ද අයත් නොවන, දෙවියන්ට සේ යස ඉසුරු නැති, සෑහෙන තරමට ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, චාතුර්මහාරාජිත දිව්‍යලෝකයට අයත් වන මේ මිනිස්ලොව ම හැසිරෙන දුප්පත් සත්ත්ව කොට්ඨාසයෙකි. ඔවුහු නානාවර්ණ ඇත්තෝය. නොයෙක් සටහන් ඇත්තෝ ය. ඇතැම්හු කෘෂයෝ ය. ඇතැම්හු ස්ථුලයෝ ය. ඇතැම්හු කුඩා සිරුරු ඇත්තෝ ය. ඇතැම්හු මහත් සිරුරු ඇත්තෝය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුකයෝ ය. ඇතමෙක් ද්විහේතුකයෝ ය. ඇතමෙක් ත්‍රිහේතුකයෝ ය. එබැවින් ඔවුහු ද නානත්ත්වකාය නානත්වසංඤීහූ ය, විනිපාතිකයන් දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් වුව ද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෝ මඟ පල ද ලබති. උත්තරමාතා නම් විනිපාතිකාව අනුරුදු තෙරුන් වහන්සේගේ ධර්මසජ්ඣායනාවක් අසා සෝවාන් වූ බවද, පුනබ්බසුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයා ද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දි සෝවාන් වූ බව ද යක්ඛසංයුත්තයේ දක්වා තිබේ.

ඔවුනොවුන්ට වෙනස් කය ඇති ව එක ම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය එකත්වසංඤීහු ය. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙහි බ්‍රහ්මයන් හා සතර අපායට අයත් සත්ත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇති සත්ත්වයෝ ය.

බ්‍රහ්මපාරිසජ්‍යවාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත භූමි වාසින්ට ඇත්තේය. ඔවුන්ගේ කයට ද මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරිරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැම දෙනම පිළිසිඳ ගන්නේ ප්‍රථමධ්‍යාන විපාක සංඥාව නමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු ය. සතර අපායෙන් නරකයෙහි ඇතැම් සත්ත්වයන්ගේ ශරීරිය ගව් පමණ වේ. ඇතැමෙකුගේ ශරීරය අඩ යොදුන, යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුගෙන් ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝ ය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝ ය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝ ය. අනේක සටහන් ඇත්තෝ ය. ප්‍රේතයෝ ද එසේම ය. ඇතැම් ප්‍රේතයෝ සැටරියන් පමණ කය ඇත්තෝ ය. ඇතැම්හු අසුරියන් පමණ කය ඇත්තෝ ය’ දීඝපිට්ඨික නම් සැට යොදුනක් කය ඇති ප්‍රේතයන් ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානාප්‍රකාර වන ඔවුන් සැම දෙනම පිළිසිඳ ගන්නේ අකුශලවිපාකාහේතුක සංඥාව නමැති එකම සංඥාවකිනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු වෙති.

පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන ද්වීතීයධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරිරයෙන් සමාන වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිසිඳ ගන්නේ ද්විතීයධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමෙකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතියධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්තසඤ්ඤීහු ය.

පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණ යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. සෑම දෙනම රූපාවචර චතූර්ථධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. වේහප්ඵල භූමියෙහි බ්‍රහ්මයෝ ද සමාන ශරීර ඇත්තෝය. පඤ්චමධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ද ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිවිඥානයක් නොලැබෙන බැවින් එහි සත්ත්වයෝ මේ විඥානස්ථිති විභාගයට නොගන්නා ලදහ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝකසිණ භාවනාවෙන් චතූර්ථධ්‍යානය උපදවා එයින් නැගිට සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපති, වධබන්ධනාදි අනේක දුක් නැතය’යි සලකන යෝගීහු’ ධී චිත්තං ධී චිත්තං යි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමති ව කාලක්‍රියා කොට අසංඥ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපද කල්ප පන්සියයක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චල ව ජීවත් වෙති. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන ශුද්ධාවාසභූමිහු අනාගාමී, අරහත් ආර්යයන්ගේ වාසස්ථානයෝ ය. අනාගාමින් හා රහත්හු ලෝකයෙහි සැම කල්හි නැතහ. ඒවායේ වෙසෙන අනාගාමී, රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයෙහි බුදු කෙනකුන් පහළ නොවුව හොත් ඒ භූමි සිස් වන්නේය. සෑම කල්හිම ඒ භූමින්හි සත්ත්වයන් නැති බැවින් ඒවා මේ විඥානස්ථිති විභාගයට නොගත යුතුයයි ද කියති. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්න, වේහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය එකත්වසංඤී සත්ත්වයන් වශයෙන් ගත යුත්තාහ යි ද කියති. නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප භූමියෙහි, සත්ත්වයනට ඇතය යි ද නො කිය හැකි, නැතය යි ද නො කිය හැකි ඉතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්ත්වයෝ ද විඥානස්ථිති විභාගයට නො ගන්නා ලදහ. මෙ සේ සත්ත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන්නාහ.

කාමභවය - රූපභවය - අරූපභවය - සංඥාභවය - අසංඥාභවය - නේවාසඤ්ඤානාසඤ්ඤාභවය - ඒකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය යන නව වැදැරුම් භවන්ගේ වශයෙන් ලෝකය දැන වඳාළ හෙයින් ද, ලාභය - අලාභය - යශය - අයශය - නින්දාය - පසංසාය - සුඛය - දුඃඛය යන අෂ්ටාලෝක ධර්මය අනුව ලෝකය පරිවර්තනය වීම දැන වඳාළ හෙයින් ද , සත්ත්වයන්ගේ ආශය - අනුශය - චරිත - අධිමුක්ති දන්නා හෙයින් ද , අල්පරජස්ක - මහාරජස්ක - තීක්ෂණේන්ද්‍රීය - මෘද්වින්ද්‍රීය - ස්වාකාර - ද්වාකාර - සුවිඥාප්‍ය - දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය වශයෙන් සත්ත්ව ලෝක විභාග දන්නා හෙයින් ද, ස්වාභාව සමුදය නිරෝධ නිරෝධූපාය වශයෙන් ලෝකය දැන වඳාළ හෙයින් ද, තථාගතයන් ද වහන්සේ ලෝකවිදු නම් වන සේක.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.