5/22/18

බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප



සකල ලෝක සත්වයා සංසාරගත දුකින් සදහටම මුදා උතුම් වූ නිවන් සුව අවබෝධ කරවීම පරමාර්ථය කරගනිමින් උතුම්වූ බුදු පදවියට පත්වීම පිණිස සම්බුදුරජාණන් වහන්සේලා දීර්ඝ කාලයක පටන් පහළවීම ලෝක ධර්මතාවක්‌ වේ. මෙම ලිපිය තුළින් සාරාංශ වශයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ නියත විවරණ ලැබීම, බුදුවරුන් ලොව පහළවන කල්ප, එක්‌ එක්‌ බුදුරජාණන් වහන්සේලා පුරන ලද පාරමිතා කාලවකවානු ආදිය තේරුම් ගැනීම සඳහා සංක්‍ෂිප්ත ලෙස දක්‌වනු ලැබේ.


. ▬▬▬▬▬▬▬▬ . 01. බුදුපියාණන් වහන්සේලා පාරමිතා පිරීමේ කාලය

. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පිණිස පෙරුම් පුරන බෝසතුන් වහන්සේ විසින් තමන් ප්‍රගුණ කරනු ලබන පාරමී ශක්‌තිය වන 'ප්‍රඥව, වීර්යය, ශ්‍රද්ධාව' යන කරුණු මුල් කර ගනිමින්,
. - පාරමිතා
- උප පාරමිතා
- පරමත්ත පාරමිතා
වශයෙන් දාන, සීල, නෛෂක්‍රම්‍ය ප්‍රඥ, වීර්යය, ක්‌ෂාන්ති, සත්‍ය, අධිෂ්Aඨාන, මෛත්‍රී හා උපේක්‌ෂා, සමතිස්‌ (30) පෙරුම් පිරිය යුතුය. පාරමී බලයට අනුව ප්‍රඥ අධික, ශ්‍රද්ධා අධික හා වීර්යය අධික වශයෙන් බුදුවරු තිදෙනකි.

. - සම්මා සම්බුදුබව (ප්‍රඥ අධික) සඳහා පිරිය යුතු පාරමි කාලය 'අසංක්‍ය කල්ප ලක්‌ෂ හතරයි'. (සාරා සංඛ්‍ය කල්පලක්‌ෂයක්‌)

. - සම්මා සම්බුදු බව (ශ්‍රද්ධා අධික) සඳහා පිරිය යුතු පාරමිතා කාලය 'අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 8 යි' (අටා සංඛ්‍යා කල්ප ලක්‌ෂයක්‌)

. - සම්මා සම්බුදු බව (විර්යය අධික) අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 16 යි. (සොලොසා සංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌) පාරමිතා ශක්‌තිය අනුව බුදුවරු ලබන පාරමි කාලය වේ.

. - පාරමිතා යනුවෙන් අදහස්‌ කරනු ලබන්නේ තම වස්‌තුව පිළිබඳව නිරපේක්‌ෂාව පාරමී පිරීම වේ.

. - උප පාරමිතා නම් තම ශරීරයේ අංගයන් පිළිබඳව නිර්පේක්‌ෂාව පාරමී පිරීම වේ. තම ශරීරයේ කොටස්‌ දන්දීම. (ලේ, වකුගඩු, මාංශ, ඇස්‌, පටක කොටස්‌, නහර ආදී ශරීරාංග වේ.)

. - පරමත්ත පාරමිතා යනු - තම ජීවිත පූජාවෙන් පාරමී පිරීම වේ. තම ශරීරය මරණයෙන් පසු වෛද්‍ය විද්‍යාලය ආදී අධ්‍යාපන ආයතනවලට පරිත්‍යාග කිරීම ද මේ පාරමිතාවේ අංගයක්‌ වශයෙන් සඳහන් කළ හැකිය.



. ▬▬▬▬▬▬▬▬ . පාරමී පුරන කල්ප සංකල්පය

. 'අන්තඃකල්පය - සද්ධර්ම රත්නාවලියෙහි විග්‍රහ කරන ආකාරයට ගුණ ධර්මවලින් පිරිහෙන මනුෂ්‍ය ආයුෂ ප්‍රමාණය වසර 10 කින් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අසංඛ්‍ය ආයුෂයට විත් යළි එතැන් පටන් ආයුෂය පිරිහී ගොස්‌ නැවත වසර 10 දක්‌වා අඩුවන තෙක්‌ අතර වූ කාලය අන්තඃකල්පය ලෙස සඳහන්ව ඇත. (පරි. 9 වන 207 වැනි පිට) මෙය ධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථ පද විවරණයේද එලෙසින්ම සඳහන්ව ඇත. (ධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථිපදය - පිට - 119)

. උපමා ලෙස දක්‌වා ඇත්තේ මහා පොළොවෙහි අඟලක්‌ වැඩීමට ගත වන කාලය වසර '1000' ක්‌ වේ. එලෙස වර්ධනය වන පොළොව එක්‌ යොදුන් (සැතපුම් හතරක්‌ යොදුනක්‌ වේ) තුන් ගව්වක්‌ සැදීමට ගතවන කාලය අන්තඃකල්පයක්‌ බවය.

. - අන්තඃකල්පය විවිධ විපර්යාසයන්ට ලක්‌වනු ලබයි.

. - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික ලෝභයට පත්වීම හේතුකොට ගෙන රෝගපීඩාදියෙන් විනාශයට පත්වෙයි. එය රොගාන්තඃකල්පය වෙයි.

. - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික ද්වේශයෙන් පෙළෙන්නේ නම් ආයුධ මගින් විනාශවෙයි. එය ශස්‌ත්‍රාන්තඃකල්පය වෙයි.

. - යම් යුගයක මිනිස්‌ ප්‍රජාව අධික මෝහයෙන් මුලාවූයේ නම් එය දුර්භික්‍ෂාන්තඃකල්පය වෙයි.

. - අසංඛ්‍ය කල්පය - 1. සද්ධර්මරත්නාවලියට අනුව අන්තඃකල්ප 20 ක එකතුවකින් සෑදෙන කාලය එක්‌ අසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ ලෙස දැක්‌වෙයි. (ධ.ර. 9 වැනි පරි. 208 පිටුව)

. 2. සද්ධර්මලංකාර දක්‌වන්නේ අන්තඃකල්ප 64 ක එකතුවෙන් අසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ සැදෙන බවයය. (ධ.ලං. 2 වැනි පරි. 64 වැනි පිට) . අසංඛ්‍ය කල්පය වෙනස්‌වන ආකාරය අනුව ප්‍රභේද හතරකි.

. 1. කල්පය නස්‌සා කාලය - ස්‌වභාවික හේතූන් පදනම් කරගනිමින් හටගත් විශ්වය ස්‌වභාවික හේතූන්ගේම විවිධ විපර්යාස නිසා විනාශයට පත්වෙන අතර එය සිදුවන්නේ,

. අ. ගින්නෙන් දැවී විනාශවීම
. ආ. ජලයෙන් විනාශ වීම
. ඇ. සුළඟින් විනාශ වී යැම සිදුවේ.
. එවිට කෙළ ලක්‌ෂයක්‌ පමණ වූ මුලු සක්‌වල ප්‍රාණීන්ගෙන් තොරව ඒක ඝනාන්ධකාරය පැතිර පවතී. මෙසේ පැවතී යළි සම්පත් මේඝය ආරම්භ වන තෙක්‌ පවත්නා යුගය එක්‌ අසංඛ්‍ය කල්පයක්‌ වෙයි.

. 2. කල්පය නැසී සිටින කාලය, සමස්‌ථ විශ්වයම ගින්නෙන්, ජලයෙන් වායුවෙන් නැසී ගොස්‌ යළි සම්පත් මේඝය ආරම්භ වන කාලය දක්‌වාවූ කාලය අසංඛ්‍ය කල්පයක්‌ වේ.

. 3. කල්පය හටගන්නා කාලය, සම්පත් මේඝය ආරම්භවී හිරු-සඳු පහළවන තෙක්‌ ගතවන කාලය අසංඛ්‍ය කල්පයක්‌ වෙයි. මෙම අසංඛ්‍ය කල්පය තුළදී යළිත් මනුෂ්‍ය, සදිව්‍යලෝක, බ්‍රහ්මලෝක ආදිය පෙර තිබූ අයුරින් පහළ වෙයි.

. 4. කල්පය හටගෙන සිටින කාලය සමස්‌ථ විශ්වය යථා පරිදි යළි හටගත් පසු කාලයක්‌ ගතවී යලිත් කල්ප විනාශයක්‌ එනම් විපත් මේඝය උදාවනතෙක්‌ අතර කාලය අසංඛ්‍ය කල්පයක්‌ වෙයි.

. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ කල්ප සංකල්පය දේවවාදීන් සුරංගනා නිර්මාණවාදයට වඩා නූතන නවීන විද්‍යාව පවා මවිතයට පත්කරන ලද සත්‍ය සංකල්පයකි. ඉහත කී අසංඛ්‍ය කල්ප හතරක එකතුවෙන් මහා කල්පයක්‌ වේ. මේ ක්‌ප සංක්‌පය තුළින් අප තේරුම්ගත යුත්තේ ලොව පහළවන්නාවූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ දීර්ඝ කාලයක්‌ සංසාර සාගරය තුළ පාරමිතා පුරමින් ලෝක සත්වයාට උතුම්වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරලීම පිණිස මොන තරම් වෙහෙසක්‌ දරා කැපකිරීමක්‌ කරන්නේද යන්නය.

. මෙම අතිදීර්ඝ කල්ප තුළ පෙරුම් පුරන බෝධි සත්ත්ව උතුමෝ පහළ වන අසංඛ්‍ය කල්ප, අශුන්‍ය කල්ප' නමිනුත් බුදුවරුන්, පසේ බුදුවරුන්, මහරහතුන් වහන්සේලා හා සක්‌විති රජදරුවන් පහ නොවන කල්ප 'ශුන්‍ය කල්ප' නමිනුත් ප්‍රභේද කර දක්‌වයි.

. අප ගෞතම අමාමෑණියන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 7 ක්‌ තිස්‌සේ 125,000 ක්‌වූ (එක්‌ ලක්‌ෂ විසිපන්දහසක්‌) බුදුපියාණන් වහන්සේ හමුවෙත්, අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 9 ක්‌ තිස්‌සේ 387,000 ක්‌ වූ බුදුපියාණන් වහන්සේ හමුවෙත්, අසංඛ්‍ය කල්ප ලක්‌ෂ 4 ක්‌ 'තණ්‌හංකර බුදුපියාණන් වහන්සේගේ' පටන් කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දක්‌වා වූ 27 නමක්‌ බුදුවරුන් හමුවෙත් පෙරුම් දම් පුරා ඇත.


. ▬▬▬▬▬▬▬▬ . බුදුපියාණන් වහන්සේගේ පහළවීම අනුවද කල්පය විග්‍රහ කළ හැකිය.

. 1- ශුන්‍යකල්පය තුළ බුදුවරු පහල නොවේ.
. 2- සාරකල්පය තුළ එක් බුදු කෙනෙකුන් පහළ වේ.
. 3- මණ්‌ඩ කල්පය තුළ බුදුවරු දෙනමක් පහළ වේ.
. 4- වර කල්පය තුළ තුන් නමක්නමක්‌ බුදුවරු පහළ වේ.
. 5- සාර මණ්‌ඩ කල්පය තුළ බුදුවරු සතර නමක් නමක්‌ පහළ වේ.
. 6- මහා භද්‍ර කල්පය තුළ බුදුවරු පස්‌නමක්‌ පහළ වේ. 'මේ මහා භද්‍ර කල්පය තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රීය (මතු බුදුවන බුදුපියාණෝ) යන බුදුපියාණන් වහන්සේලා'.

. ▬▬▬▬▬▬▬▬ . ගෞතම බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය පිණිස විවරණ ලැබීම -

. අප ගෞතම අමා මෑණියෝ බුද්ධත්වයට පත්වීමට පෙර ඒ සඳහා අසංඛ්‍ය කල්ප ලක්‌ෂ හතරක්‌ (සාරා සංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌) කාලය ලොව පහළ වූ බුදුවරුන් විසිහත් නම ඇතුළත්ව බුදුවරුන් හමුවේ විවරන ලැබූවද ගෞතම බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබුවේ 'දීපංකර බුදුපියාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුපියාණන් වහන්සේ දක්‌වාවූ විසිහතර නමකගෙන් පමණක්‌ බව සඳහන් වේ. 'තණ්‌හංකර, මේධංකර, සරණංකර යන බුදුපියාණන් වහන්සේ ඊට ඉහතින් වූ කාලයේ 'අනියත විවරණ' ලැබූ බුදුපියාණන් වහන්සේය.


. ▬▬▬▬▬▬▬▬ බුදුබව පැතූ ක්‍රමයන් අනුව ගතවූ කල්ප සංඛ්‍යාව

- 'මනෝ ප්‍රණිධානය' -සිතින් පමණක්‌ බුදුබව පැතීම අසංක්‍ය කල්ප ලක්‌ෂ හතකි. බුදුවරු සංඛ්‍යාව එක්‌ලක්‌ෂ විසිපන්දහසකි.

- වාක්‌ ප්‍රණිධානය - වචනයෙන් ද බුදුබව පැතීම) අසංඛ්‍ය කල්ප ලක්‌ෂ නවයකි. බුදුවරු සංඛ්‍යාව තුන්ලක්‌ෂ අසූහත් දහසකි.

- කාය ප්‍රණිධානය - කයින්ද බුදුබව පැතීම. අසංඛය කල්ප ලක්‌ෂ හතරකි. (සාරා සංඛ්‍ය කල්ප ලක්‌ෂයකි) බුදුවරු සංඛ්‍යාව විසිහතර නමකි. (දීපංකර බුදුපියාණන් වහන්සේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තෙක්‌ වූ බුද්ධංකුර පිරීම.

ලොව්තුරා බුදුවරු පාරමිතා ධර්ම බුද්ධත්වය පිණිස මේ ආකාරයෙන් සංසාර සාගරයේ අති විශාල කාල සංඛ්‍යාවක්‌ දානාදි වශයෙන් පුරනු ලබයි. ඒසා විශාල කැපකිරීමක්‌ තුළින් ලබන උතුම් බුදු පදවි ලබාගත් බුදුවරයෙක්‌ගේ ශාසනය පවතින කාල පරාසය මිනිස්‌ සත්වභවයක ඉපදීම ද ඒ බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනයේ සරණ යැමද මහත්වූ කුසලානුබවයක්‌ බව නිතර නිතර සිහිකර කුසල් වැඩිය යුතු වේ.

3/4/18

බුදුවරුන්ගේ විශේෂතා



සියළු බුදුවරු ගුණයෙන් හා නුවණින් සමාන වේ. එහෙත් බුදුවරුන්ගේ වෙනස්කම් අටක් ඇත්තේ ය. එනම්;

01. ආයු වෙනස
02. ප්‍රමාණ වෙනස
03. කුල වෙනස
04. ප්‍රධන් වෙනස
05. රශ්මි වෙනස
06. යාන වෙනස
07. බෝධිවෘක්‍ෂ වෙනස හා
08. පර්යංක වෙනස යනුවෙනි.

. එහි ආයු වෙනස නම් සමහර බුදුවරු දීර්‍ඝායුෂ වෙති. සමහරු අල්පායුෂ වෙති. ප්‍රමාණ වෙනස නම් සමහරු උස් වෙති. සමහරු මිටි වෙති. කුල වෙනස නම් සමහරු ක්‍ෂත්‍රීය කුලයේ උපදිත්. සමහරු බමුණු කුලයේ උපදිත්. ප්‍රධන් වෙනස නම් සමහරු අප මහා බෝසතාණන් වහන්සේ මෙන් දිගුකලක් ප්‍රධන් වඩති. සමහරු කෙටි කලක් ප්‍රධන් වඩති. අවම වශයෙන් සතියක් වත් ප්‍රධන් වඩති. රශ්මි වෙනස නම් සමහරුන්ගේ රශ්මිය බඹයක් පමණ දුර පැතිරේ. සමහරුන්ගේ රශ්මිය මංගල බුදුන්ගේ මෙන් දසදහසක් සක්වළ පැතිරේ. යාන වෙනස නම් සමහරු ඇත්යානයකින් අබිනික්මන් කරත්. සමහරු අස් රථ, ප්‍රාසාද, සිවිකා හෝ පයින් ම නික්මෙති. බෝධිවෘක්‍ෂ වෙනස නම් බුද්ධත්වයට පත්වීමට උපකාරී වන වෘක්‍ෂයන්ගේ වෙනසයි. පර්යංක වෙනස නම් බුදුවන විට අතුරණ තණ ඇතිරිල්ලේ ප්‍රමාණ වෙනසයි.

. ▬▬▬▬ අවිජහිත ස්ථාන ▬▬▬▬

. තවද සියළු බුදුවරයෝ ම අත් නොහරින ස්ථාන සතරක් ඇත.

. 01. සියළු බුදුවරයන්ගේ බෝධි පර්යංකය අත් නොහරින ස්ථානයකි. එනම් බුද්‍ධගයා බෝධිමණ්ඩලයයි.
02. එසේම සියළු බුදුවරු ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසති. මෙය ද අත් නොහල ස්ථානයකි.
03. දේවාරෝහනයේ දී සංකස්ස පුර දොරටුවේ පළමු පා තැබීම ද අත් නොහල ස්ථානයකි.
04. ජේතවනාරාමයෙහි ගඳකිළිය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් ම අත් නොහල ස්ථානයකි. මේ ස්ථාන සතර සියළු බුදුවරයෙක් ම අත් නොහරින ස්ථාන වේ.

. ▬▬▬▬ සතර අන්තරාය කළ නොහැකි ධර්‍ම ▬▬▬▬

. 01. සියළු බුදුවරයන් වහන්සේලා උදෙසා එළවන ලද සිව්පසයට අන්තරාය කිරීමට කිසිවෙකුට නො හැක.
02. එසේම ආයුෂයට අනතුරක් කිසිවෙකුට කළ නො හැක. එහෙයින් අනුන්ගේ උපායකින් තථාගතයන් වහන්සේගේ දිවි තොර කළ නො හැක.
03. එසේම බුදුවරුන්ගේ දෙතිස් මහා පුරිස ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජන වලට කිසිවෙකුට අන්තරායක් කළ නො හැක.
04. බුදුරැස්වලට කිසිවෙකුට අන්තරායක් කළ නො හැක. මේ සතර අන්තරාය නොකළ හැකි ධර්‍ම වේ.

. ▬▬▬▬ සමතිස් ධර්‍මතා ▬▬▬▬

. තවද සියළු බුදුවරුන්ට ආවේණික වූ ධර්‍මතා 30ක් ඇත්තේ ය. එනම්;

. 01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුත්ත ව මව්කුසින් බිහිවීම.
02. මව්කුස පිටත බලා පලක් බැඳ සිටීම.
03. බෝසත්මව් සිටිපියෙහි සිට බෝසතුන් බිහිකිරීම.
04. අරණෙහි දී බෝසතුන් බිහිකිරීම.
05. උපන් කෙණෙහි උතුරු දිගට සත් පියවරක් ගොස් සිංහනාද කිරීම.
06. සතර පෙරනිමිති දැක පුත් කුමරකු උපන් දා මහබිනික්මන් කිරීම.
07. පැවිදි ව යටත් පිරිසෙන් සත් දිනක් හෝ ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීම.
08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
09. තණ ඇතිරියෙහි හිඳ සර්‍වඥතාඥානය ලැබීම.
10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන වැඩීම.
11. මරුන් පැරදවීම.
12. බෝධිපර්යංකයෙහි දී ම ත්‍රිවිද්‍යාදී ගුණ ප්‍රතිලාභය.
13. සත්සති ගෙවීම.
14. මහබඹුහුගේ අයදුමෙන් දහම් දෙසීම.
15. ඉසිපතන මිගදායෙහි දී ම දම්සක් දෙසීම.
16. නවම් පොහෝදින ප්‍රථම ප්‍රාතිමෝක්‍ෂය දෙසීම.
17. දෙව්රම් වෙහෙර තැන්හී ම නිබඳ වාසය.
18. සැවැත්නුවර දොර යමාමහ පෙළහර පෑම.
19. තව්තිසාවේ අභිධර්‍ම දේශනා කිරීම.
20. සංකස්සපුර දොරට දෙව්ලෝවින් බැසීම.
21. නිරතුරු ඵලසමාපත්තියට සමවැදීම.
22. ධ්‍යාන දෙක්හි වෛනෙය ජනයා බැලීම.
23. කරුණක ඇති කල්හි ම විනය ශික්‍ෂා පද පැනවීම.
24. කරුණක ඇති කල්හි ජාතක දේශනා කිරීම.
25. ඥාති පිරිස මැද බුද්‍ධවංශ දේශනාව පැවැත්වීම.
26. ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කිරීම.
27. දිනපතා පඤ්ච බුද්ධකෘත්‍යය කඩ නොකොට කිරීම.
28. ආරාධනයෙ වස් වැස දායකයන්ට නොදන්වා නොවැඩීම.
29. පරිනිර්‍වාණ දිනයෙහි මාංශරස භෝජනය වැළඳීම.
30. සූවිසිකෙළලක්‍ෂයක් සමවතට සමවැද පිරිනිවීම.

යන මේ කරුණුයි. . බුද්‍ධවංසට්‍ඨකථා\බුඳ්‍ධපකිණ‍්ණකකථා

. මුල් ලිපියේ සබැඳිය http://swethapradheepa.blogspot.com/p/buduvarunge-visheshat…

2/12/18

කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය




මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.



විශේෂයෙන් සැලකිය යුතු කරුණක්



මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.