3/16/19

මහාසීව තෙරුන් වහන්සේගේ වීර්‍ය්‍යය.



මහාසීව තෙරුන් වහන්සේ මහා ධර්මධරයෙකි. උන්වහන්සේ ගෙන් ධර්මය උගෙන අවවාදානුශාසනා ලබා රහත් වූ භික්ෂූහු ම තිස් දහසක් පමණ වූහ. එක් දිනක ඒ රහතුන් අතුරෙන් එක් නමක් තමාගේ ආචාර්යයන් වහන්සේගේ තතු කෙසේ දැ යි විමසී ය. ආචාර්ය්‍යයන් වහන්සේ තවමත් පෘථග්ජන බව දුටු ගෝල රහත් නම ආචාර්ය්‍යයන් වහන්සේට පිහිට වන්නට සිතා අහසින් ගොස් විහාර සමීපයේ බැස මහාසීව තෙරුන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක සිටියේය. “කුමක් නිසා පැමිණියෙහිදැ” යි මහාසීව තෙරුන් වහන්සේ විසින් විචාල කල්හි එක් අනුමෝදනා බණක් ඉගෙන ගන්නට ආමි’යි ගෝල රහත් නම කීය. මහාසීව තෙරුන් වහන්සේ “ඇවැත්නි, එය කරන්නට කාලයක් නැතය” යි කීහ. ගෝල නම දවසේ සියලු ම කාලයන් ගැන වෙන වෙන ම විචාළේ ය. සැම වේලාවේ ම ඉගෙන ගන්නා අය ඇති බැවින් අනවකාශ බව කීහ. එකල්හි රහත් නම “ස්වාමීනි, යෝනිසෝමනස්කාරයෙන් වැඩ කිරීමට කාලයක් කාටත් තිබිය යුතු ය. නුඹ වහන්සේට මැරෙන්නටවත් කාලයක් ඇත්තේ ද? නුඹ වහන්සේගේ අනුමෝදනාවෙන් කම් නැත” යි කියා අහසට නැඟ ගියේ ය.

අතවැසි නම එසේ කියා ගිය පසු මහාසීව තෙරුන් වහන්සේ සිතන්නාහු “මේ ඇවිත් ගිය නම උගෙනීමකින් වුවමනාවක් ඇතියෙක් නොවේ. ඒකාන්තයෙන් ම ඒ නම පැමිණෙන්නට ඇත්තේ මට පිහිටවීම පිණිස විය යුතු ය. මා ද ඒ නම සේ රහත් විය යුතු ය. මට දැන් ම ඒ සඳහා පිටත් වන්නට අවකාශයෙක් නැත. දවාලෙහි හා රාත්‍රියේ ප්‍ර‍ථම මධ්‍යම යාම දෙක්හිත් භික්ෂූන්ට උගන්වා මම පශ්චිම යාමයෙහි යම්කිසි විවේකස්ථානයක් ලබා පිටත් වෙමි.” යි සිතා පා සිවුරු ද ළඟ ම තබාගෙන සිට එදින පශ්චිම යාමයෙහි උගෙන ගිය භික්ෂුවක් සමග ම කාහටවත් නො දන්වා පිටත් වූහ. උගෙන ගෙන ගිය භික්ෂුනම ද මහාසීව තෙරුන් වහන්සේ නො හැඳින ගත්තේ ය. සමීපයේ සිටි අතවැසියෝ ද ආචාර්ය්‍යයන් වහන්සේ යම්කිසි කටයුත්තක් සඳහා පිටත යන්නාහ යි සිතා ගත්හ. උන් වහන්සේ අතවැසියන්ට නොදන්වා ම එසේ පිටත් වූයේ තමන්ට දෙතුන් දිනකින් රහත් ව ආපසු පැමිණිය හැකි වෙතියි සිතා ය.

උන්වහන්සේ ගියේ ඇසළමස පුර තෙළෙස්වක දිනක ය. උන්වහන්සේ ගාමන්තර පබ්භාර නම් තැනට ගොස් සක්මන් මලුවට ගොඩ වී භාවනා කරමින් සක්මනට පටන් ගත්හ. එහෙත් එදින රහත් නොවූහ. දෙවන තුන්වන දිනවල දී ද රහත් නොවූහ. සතරවන දිනය පෙරවස් එළෙඹෙන දිනය ය. රහත් නොවිය හැකි වූයෙන් උන්වහන්සේ එහි ම වස් විසූහ. එහි වෙසෙමින් පවාරණ දිනය තෙක් මහෝත්සාහයෙන් භාවනා කළහ. කිසි විශේෂයක් නොවීය. මම දෙතුන් දිනකින් රහත් වන්නට සිතා ආමි. එහෙත් තෙමසකින් ද රහත් නොවිය හැකි වීමි. මාගේ බොහෝ සබ්‍ර‍හ්මචාරීහු අද රහත් ව විශුද්ධිපවාරණය කරන්නාහ යි සිතන කල්හි උන්වහන්සේගේ නෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය.

ඉක්බිති මහාසීව තෙරුන් වහන්සේ සිතන්නාහු මට සතර ඉරියව්වෙන් කල් ගෙවා රහත් නොවිය හැකි ය. අද පටන් මම නින්ද හැර අනික් තුන් ඉරියව්වෙන් පමණක් වෙසෙමින් භාවනා කරමිය, අර්හත්වයට නො පැමිණ ඇඳක පිට නොතබමිය, පාද නො සෝදමි ය” යි දැඩි කොට ඉටා, ඇඳ කෙළින් කොට තබා තුන් ඉරියව්වෙන් වෙසෙමින් මහණදම් පුරන්නට පටන් ගත්හ. එහෙත් උන්වහන්සේට රහත් නොවිය හැකි විය. දෙවන වස පවාරණ දිනයෙහි ද උන් වහන්සේගේ නෙත් වලින් කඳුළු වැගිරිණ. එයින් උන්වහන්සේ පසුබට නො වූහ. වීර්ය්‍ය නො හළහ. උන්වහන්සේ එකුන්තිස් වසක් ම එසේ නො නිදා උත්සාහ කළහ. පා නොසෝදා බෝකල් ගත වීමෙන් උන්වහන්සේගේ පා පුපුරන්නට විය. සමහර අවස්ථාවලදී එහි පැමිණි ගම් දරුවෝ උන්වහන්සේගේ පාවල පැළුම් කටුවලින් මැසූහ. ගම් දරුවෝ විනෝදය පිණිස නුඹේ පා මහාසීව හාමුදුරුවන්ගේ මෙන් පැළේවායි ඔවුනොවුන්ට කියා ගන්නට වූහ. තිස්වන වසරේ පවාරණ දිනයෙහි මම දැන් තිස් වසක් වීර්ය්‍යය කෙළෙමි. එහෙත් රහත් නුවූයෙමි. මේ ජාතියේ නම් මට සබ්‍ර‍හ්මචාරීන් හා විශුද්ධිපාවාරණය කරන්නට ලැබෙන්නේ නැතය” යි උන්වහන්සේට සිතිණි. එයින් බලවත් දොම්නසක් ඇති වී කඳුළු ගලන්නට විය. එකල්හි උන්වහන්සේට නුදුරු තැනක සිටි දෙව්දුවක් ද හඬන්නට වූවාය. එකල්හි තෙරුන් වහන්සේ “මෙහි හඬන්නේ කවුදැ”යි ඇසූහ. “ස්වාමීනි, මම දෙව්දුවක් මි”යි ඕ පිළිතුරු දුන්නා ය. “කුමට හඬන්නී දැ”යි ඇසූ කල්හි හඬා මඟ පල ලැබිය හැකි නම් මා ද එයින් එකක් දෙකක් ලබා ගැනීමට යයි කීවා ය.

එකල්හි තෙරුන් වහන්සේ “මහාසීවය, නුඹට දෙවියෝ ද විහිළු කරන්නාහ, පසුබට වීම නුඹට නුසුදුසු ය” යි තමන්ට අවවාද කරගෙන වීර්ය්‍යය අඩු නොකොට ඉදිරියටත් භාවනාවෙහි යෙදුණාහ. උන්වහන්සේගේ වීර්ය්‍යය හිස් නො වීය. තිස් වසරක් නො නවත්වා කළ ඒ මහා වීර්ය්‍යයෙන් උන්වහන්සේ අර්හත්වයට පැමිණියහ. අර්හත්වයට පැමිණියා වූ මහාසීව තෙරුන් වහන්සේ පා සෝදන්නට වාඩි වූ කල්හි පා සෝදා දීම සඳහා උන්වහන්සේගේ අතවැසි තිස් දහසක් රහත්හු පැමිණියෝ ය. සක්දෙව් රජ ද පැමිණියේ ය. මේ නෛර්‍ය්‍යාණික සර්වඥ ශාසනයෙහි කෙතරම් දීර්ඝ කාලයක් වුවත් උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් නො වන බව, මේ කථාව අනුව තේරුම් ගනිත්වා! මහාසීව තෙරුන් වහන්සේගේ චරිතය ද ආදර්ශයට ගනිත්වා!!

තමන් ද කිසි වැඩෙක නො යෙදී අලසකමින් කාලක්ෂේපය කරමින් යම්කිසි වැඩක යෙදෙන අය ඉන්නා තැන්වලට ගොස් ඔවුන් හා පලක් නැති තිරශ්චීන කථා කරමින් අනුන්ගේ වැඩ ද පාළු කරන පුද්ලයන් කොටසක් ගිහි පැවිදි දෙපක්ෂයේ ම ඇත්තාහ. වැඩ කැමති පැවිද්දන් ඔවුන් හා ආශ්‍රයෙන් ද වැළකිය යුතු ය.

“පරිත්තං දාරුමාරුය්හ යථා සීදේ මහණ්ණවේ,
ඒවං කසීතමාගම්ම සාධුජීවීපි සීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං.
පවිවිත්තේහි අරියේහි පහිතත්තේහි ඣායිහි,
නිච්චං ආරද්ධවිරියේහි පණ්ඩිතේහි සහාවසේ.”

(සෝමමිත්ත ථෙර ගාථා)

තේරුම:

“කුඩා ලී කැබෙල්ලකට නැඟි තැනැත්තා යම් සේ මහසයුරෙහි ගිලේ ද එමෙන් කුසීත පුද්ගලයා නිසා ඔහු ඇසුරු කරන හොඳින් ජීවත්වන තැනැත්තා ද සසර සයුරෙහි ගිලේ. එබැවින් වීර්‍ය්‍ය නැති කුසීත පුද්ගලයා වර්ජනය කරන්නේ ය.

විවේකය භජනය කරන්නා වූ නිවනට හෝ භාවනාවට යොමු කළ සිත් ඇත්තා වූ භාවනා කරන්නා වූ නිතර ම වීර්‍ය්‍ය කරන්නා වූ පණ්ඩිත වූ ආර්‍ය්‍යයන් හා එක්ව වාසය කරන්නේ ය.”

3/15/19

බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.



වරක්‌ ලිච්ඡවී පුත්‍ර සුනක්‌ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්‌සේරු කළ අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්‌ෂතා දැක්‌වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්‌තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්‌තරාත්මකව පැහැදිලි කර දුන්හ.

ආශ්‍රවයන් ක්‌ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා ශ්‍රාවක පිරිස අතර වෙනසක්‌ නොමැති වුවද රහතන් වහන්සේලා හා සාධාරණ නොවන තථාගතයන් වහන්සේට පමණක්‌ විශේෂිත ඥාන ශක්‌තීන් සමුදායක්‌ පැවැතුණි. ඒවා දස බල ඥාන හා චතුර් වෛශරාද්‍ය නොහොත් විශාරද ඥාන යනවෙන් පැහැදිලි වේ. බුදුරදුන් ම.නි. මහා සීහනාද සූත්‍රය තුළින් සිංහයකු අන්සතුන් අභිබවා සිංහනාද පවත්වන්නා සේ සිංහ නාද පැවැත්වූ ආකාරය පැහැදිලි වේ. බුදුහිමි එලෙස සිංහනාද පැවැත්වූයේ බුදුහිමිටම පමණක්‌ සීමාවූ දසබල ඥාන හා චතුර් වෛශරාද්‍ය ඥාන තුළින් බව පැහැදිලි වේ.

ඒ අනුව බුදුරදුන්ගේ එම සුවිශේෂී ගුණ පිළිබඳ වර්තමාන ගිහි - පැවිදි ශ්‍රාවකයින්ද දැන හඳුනාගෙන නව අරහාදී ගුණයන්ගෙන් හෙබි බුදුරදුන් පිළිබඳ තව තවත් ගෞරවය, ශ්‍රද්ධාව වැඩි දියණු කර ගත යුතුව ඇත. ලොව බිහිවූ කිසිදු ශාස්‌තෘවරයකුට නොමැති බුදුරදුන්ට පමණක්‌ සීමාවූ ඥාන සමුදායක්‌ පිළිබඳ දේශනාව තුළ පැහැදිලි වේ. ඒ අතර සුවිශේෂී ඥාන ශක්‌තීන් දෙකක්‌ වශයෙන් දසබල ඥාන හා චතුර් වෛශාරද්‍ය ඥාන හැඳින්වීමට පුළුවන. එම ඥාන හඳුනාගෙන බුදුරදුන් පිළිබඳ තව තවත් ගෞරවය, ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගනිමින් නිවන් මගට පිවිසීමට උත්සුක විය යුතුය. එම දස බල ඥාන නම්,

▬▬▬▬

දස බල ඥාන,

1. හේතු ඵල්‍යානුකූලව විය හැකි දේ දැන ගැනීමේ හැකියාව.

2. අතීත, වර්තමාන හා අනාගත කර්මය සමාදානයෙන් කාරණා වශයෙන් හේතු වශයෙන් තතු පරිදි දැනීම.

3. සුගති දුග්ගති ආදී සෑම තැන්වලම සත්වයා යොමුවන ප්‍රතිපදාවන් යථාභූත වශයෙන් දැනීම.

4. සංචාර ලෝකයේ ධාතුනානත්වය පිළිබඳ ඇති සැටියෙන් දැකීම.

5. පුද්ගලයාගේ විවිධ මානසික වූ චරිත ස්‌වභාවයන් පිළිබඳ ඇති සැටියෙන් දැකීම

6. සත්වයන්ගේ නිර්වාණාවබෝධයට අවශ්‍ය සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඥා යන ඉන්ද්‍රියයන් වැඩීමේ අඩු වැඩි බව දැකීමේ හැකියාව.

7. ධ්‍යාන විමෝක්‍ෂ (විමුක්‌ති) සමාධි සමාපත්තීන්ගේ කිළිsටි වීම, පිරිසිදු වීම, නැගීසිටීම ඇති සැටියෙන් දැකීම.

8. නොයෙක්‌ ආකාර වූ පෙර විසූ ස්‌කන්ධ පිළිවෙළ සිහිකිරීමේ හැකියාව.

9. මනුෂ්‍ය ඇස ඉක්‌මවා ඇති දිව්‍යමය වූ ඇසින් කර්මානුරූපීව සුගතියට හෝ දුගතියට හෝ පත්වන සත්වයන්ගේ චුතියන් උපපාතයන් දැකීම.

10. ආශ්‍රවයන් ක්‌ෂය වීමෙන් අනාශ්‍රව වූ ෙච්තෝ විමුක්‌තියත් පඤ්ඥා විමුක්‌තියත් මේ අත්බැව්හිදීම දිට්‌ඨධම්මික වශයෙන් තමාම විශේෂයෙන් දැන සාක්‌ෂාත් කොට එම ඥානයට එළඹ වාසය කිරීම.

මේ දස බල ඥාන පිළිබඳ පැහැදිලි කිරීමේදී එම ඥාන ශක්‌තීන් තේරුම් ගැනීමේ පහසුව තකා මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීම වැදගත් වේ.

පුරුෂයන් 10ක බලය කලාවක ඇතෙකුටද,

කලාවක ඇතුන් 10ක බලය ගංගෙය්‍ය ඇතෙකුටද,

ගංගෙය්‍ය ඇතුන් 10ක බලය පණ්‌ඩර ඇතෙකුටද,

පණ්‌ඩර ඇතුන් 10ක බලය හම්බ ඇතෙකුටද,

හම්බ ඇතුන් 10ක බලය පිංගල ඇතෙකුටද,

පිංගල ඇතුන් 10ක බලය ගන්ධ ඇතෙකුටද,

ගන්ධ ඇතුන් 10ක බලය මංගල ඇතෙකුටද,

මංගල ඇතුන් 10ක බලය හේම ඇතෙකුටද,

හේම ඇතුන් 10ක බලය උපේසථ ඇතෙකුටද,

උපෝසථ ඇතුන් 10ක බලය ඡද්දත්ත ඇතෙකුටද,

ඡද්දත්ත ඇතුන් 10ක බලය තථාගත කාය බලයටද සමාන වේ.

සමසතයක්‌ වශයෙන් ගත්කල සාමාන්‍ය ඇතුන් කෝටි 10ක බලයටද සාමාන්‍ය පුරුෂයන් නම් කෝටි දස දහසක බලයටද සමානය.

▬▬▬▬

චතුර් වෛශාරද්‍ය ඥාන

මේ කරුණු හතර බොරු කළ හැකි සමතෙක්‌ ලෝකයේ නැත. මේ ගැන නුවණින් සිතන විට උන්වහන්සේගේ සිතෙහි ඇතිව සතුට ඉන් ගම්‍යමාන වේ. එම චතුර් වෛශරද්‍ය ඥානනම්,

1. සම්මා සම්බුද්ධයෙමියි ප්‍රතිඥ කරන මට මේ මේ ධර්ම නුඹ විසින් අවබෝධ කර නැතැයි කිසිවකු කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ යන්න මම නොදනිමි. මම සම්බුදු බව ලැබුවෙමි.

2. ආශ්‍රවයන් ක්‌ෂය කර ඇත්තෙමියි ප්‍රතිඥා කරන මට මේ මේ ආශ්‍රව නුඹ විසින් ක්‌ෂය කර නැතැයි කිසිවකු කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ යන්න මම නොදනිමි - මම රහත් කෙනෙක්‌මි.

3. මාර්ග ඵලයන්ට අන්තරායික වූ ධර්මයන් ප්‍රකාශ කරන මට ඒ කරුණු අන්තරාය පිණිස නොවේ යෑයි කරුණු සහිතව කිසිවෙක්‌ ප්‍රතිචෝදනා කරන්නේය යන කරුණු මම නොදනිමි. මේ දහම් සඟමොක්‌ සැපතට බාධා කරයි.

4. ඔබ විසින් යම් අර්ථයක්‌ පිණිස දහම් දෙසන ලදද ඒ ධර්මය අනුව පිළිපදින තැනැත්තාගේ දුක්‌ මැනවින් කෙළවර කිරීම පිණිස නොවේ යෑයි කරුණු සහිතව කිසිවෙක්‌ ප්‍රතිචෝදනා කරන්නේය යන කරුණු මම නොදනිමි. මේ දහම් නිවනට හිතකරය.

මෙම කරුණු බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂී හැකියාවන් වේ. බුදුහිමි ගුරුවරයකු නොමැතිව තම උත්සාහයෙන් හා ඥාන ශක්‌තියෙන් අවබෝධ කරගත් එම දස බල ඥාන හා චතුර් වෛශරාද්‍ය ඥාන එසේ නොවේ යෑයි කීමට සමත් මිනිසෙක්‌, ශ්‍රමණයෙක්‌, බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, බ්‍රාහ්මණයෙක්‌ මේ තුන් ලෝකයේම නොමැත්තේය. තිලොවටම තිලකයක්‌ බඳු බුදුර¹ණෝ අනන්ත අපරිමිත ගුණ සමුදායකින් සමන්විත වූහ. එම උතුම් ගුණ සමුදායට ගරු කිරීමත් එම ඥාන ශක්‌තීන් අවබෝධ කර ගැනීමත් බුද්ධ ශ්‍රාවකයන් හා සියලු සත්වයන් විසින්ම සිදු කළ යුතු වන්නේය.

මාස්‌පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්‌ථානවාසී, කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති,
ගලගෙදර රතනවංශ හිමි

3/12/19

ශුන්‍යතාවය ඉක්මවා යමින් නිවනට සිත පත්වන්නේ කෙසේද?


භාවනාව සමථ, විදර්ශනා ලෙසින් ආකාර දෙකකි. භාවනාව ආරම්භ කරන කෙනෙකුට සමථ භාවනාව මුලින් වඩා පසුව එය විදර්ශනාවට නැඟිය හැක. නැතහොත් මුල සිටම විදර්ශනා භාවනාව සිදු කළ හැක. එසේම යුගනන්ද ආකාරයෙන් සමථ හා විදර්ශනා ක්‍රම දෙකම එකවර කළ හැක. විදර්ශනා භාවනාවකින් සිදු කරනුයේ සංස්කාර වල යථා ස්වරූපය නුවණින් දැකීමයි.

නිවන ලැබීමට නම් නාමරූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය යුතුය. එනම් දුක්ඛ නිරෝධ සත්‍යයි.

රූපයේ යථා ස්වරූපය නුවණින් දකිමින් භාවනා කරන යෝගාවචරයකුට එය සතර මහා භූතයන්ගෙන් නිර්මිත වූ, අසුභ වූත්, අසාර වූත් පිළිකුල් සහගත දෙයක් බවත්, ක්ෂණයක් පාසා අනිත්‍යයට යන බවත්, අවබෝධ කරගත හැකිය. මේසයක් ගත් කළ එය මුලදී ඝන වස්තුවක් ලෙසින් සිතට වැටහෙයි. නමුත් යතුගෑවිට එය දූවීලි අංශු බවට පත්වී වාතයට මිශ්‍ර වෙයි. මුලදී මේසයක් ලෙසින් ගත් සංඥාව එවිට සිතින් ගිලිහී යයි. මේසය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙන් නිර්මිත දෙයකි. විදසුන් ඇසින් මේ ධාතූන් විසුරුවා බැලු විට එතන මේසයක් ලෙසින් ගන්නට දෙයක් නොමැත.

මෙපරිදිම මේ ලෝකයේ යම්තාක් රූප තිබේ නම්, ඒවාද සිතින් මෙලෙසින් ධාතු වශයෙන් වෙන් කරමින් බැලිය හැක. එවිට ලෝකයේ රූප ලෙසින් ගන්නට කිසිඳු දෙයක් නොමැති, ධාතු හතරක්ම බවත් වැටහී යයි. මෙය කෙටියෙන් දැක්වූවද, විස්තරාත්මකව හදවතින් දකිමින් භාවනාව කළ යුතුය.

තවත් ආකාර කිහිපයකට මෙලෙස රූපය විදර්ශනා කළ හැක. පිළිකුල් ආකාරයෙන් දැකීම එවැනි තවත් ක්‍රමයකි. දෙතිස් කුණප කොටස් ලෙසින් ලෝකයේ පවතින් ජිවී රූප විදර්ශනාවට නැඟිය හැක. මෙලෙස රූපයේ ඝන සංඥාව සිතින් ගිලිහී යන ලෙසින් ලෝකයේ පවතින් ජීවී අජීවී සියලු රූපයන්ගේ යථා ස්වරූපය නුවණින් විමස විමසා බැලිය යුතුය. රූපය සිතින් විසිරුවා බැලිය යුතුය. එය කෙසේද යත් වැලි ගොඩක් සුළඟින් විසිරුවා ගිය පසු එහි යළි වැලි ගොඩක් ලෙසින් ගන්නට කිසිත් නොමැති පරිද්දෙනි. සියුම් වැලි අංශු ගොඩ ගසා තිබූ ආකාරය අනුව අප එයට වැලි ගොඩ යන නාමය සම්මුතියෙන් දැමූ පරිදිම, රූපයද නිර්මිත වී ඇති ආකාර අනුව නම් යොදා ගෙන ඇත. මෙය හඳුනා ගැනීමේ පහසුව පිණිස අතීතයේ පටන් පැවත ආ දෙයකි. එනම් එය සම්මුතියකි. අත, කකුල, පපුව,බඩ, දත්, කට, දිව, ඇස් යන සියල්ල එසේ පනවා ගත් සම්මුතින්ය. නමුත් නුවණින් දක්නා විට මේ සියළු රූපයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේම නිමවීම්ය.

මේ ආකාරයෙන් සමාධිමත් සිතින්, විදර්ශනා කරන යෝගාවචරායකුට, ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන අභ්‍යන්තර හෝ බාහිර හෝ වශයෙන් පවතින රූපයන්හි යථා ස්වරූපය සිතට අවබෝධ වූ පසු, එනම් එහි සත්ව පුද්ගල ආත්ම ආදී කිසිවක් නැති, නිරන්තර අනිත්‍යට පත්වන, හේතූන් නිසා හටගත් දේවල් බව අවබෝධ වූ පසු, ඒවා කෙරෙහි සිතේ පවතින වටිනාකම් සිතින් ගිලිහී යයි. මේ ලෝකයේ පවතින යම්තාක් රූප වලට වටිනාකමක් අත්වන්නේ අපේ සිතින් ඒවා අරමුණු කරගෙන ඇති කරගන්නා සිතිවිලි නිසා පමණි. සිතින් ඒවා ස්පර්ශ නොකරන කල්හි ඒවා සිතට අරමුණක් නොවෙයි. එනම් ඒවා අපේ සිතට අනුව ශූන්‍ය වේ. මේ අවබෝධයෙන් යුතුව, යම්තාක් පවතින රූප සිතින් අත හැරී ගිය කල, සිතට කිසිදු රූපාරම්මණයක් නැති හිස් බවකට සිත පත්වෙයි. මේ සඳහා සමාධිය වැඩී තිබීම අත්‍යවශ්‍ය වේ. මෙය රූපයන්ගේ යථා ස්වරූපය විදර්ශනාවෙන් අවබෝධ වීමෙන් පත්වන තත්වයකි.

එනම් සිතට කිසිදු රූප නිමිත්තක් අරමුණු නොවන ස්වභාවයකට සිත පත්වේ. බාහිර රූපයන්ද, තමාගේ රූපයද සිතින් කොතෙක් අරමුණු කළද අරමුණු නොවන ස්වභාවයකි. සැබවින්ම රූපය කෙනකුට අරමුණක් වන්නේ සිතින් එය ස්පර්ශ කරන තාක් පමණි. එම මනෝ ස්පර්ශය සිතින් ගිළිහී යත්ම සිතින් රූපය ගිළිහී යයි. ශුන්‍යතාවයක් ලෙස හඳුන්වන්නේ මෙවැනි තත්වයකි. එවිට රූපය නිරුද්ධ වීමක් සිදුවේ. එම අවස්ථාවේ සිතට පවතින එකම අරමුණ ශුන්‍යතාවය ලෙසින් හඳුනවන එම හිස් බව පමණි. එතනදී නාම ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පවතී එවැනි ශුන්‍යතාවයකට හිත පත්වූ පසු ඒ අවස්ථාවේ සිතට පවතින අරමුණ එම හිස් බව පමණි. හිස් බවත්, ඒ හිස් බව අරමුණු වන සිතකුත් පවතී. එවිට ඒ හිස් බව රූපය ලෙසත්, හිස් බව අරමුණු වන සිත නාමය ලෙසත් ගත හැකිය.

හිස් බවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍යට යයි. එය දක්නා සිතත් එලෙසින්ම අනිත්‍යට යයි. එනම් නාමයත් රූපයත් දෙකම අනිත්‍යට යයි. මෙය කිසිවකු විසින් කරන දෙයක් නොව හේතුන් මත ඇති වී නැතිවී යන ක්‍රියාවලියකි. මෙම අනිත්‍ය දර්ශනය තුළින් අනාත්මය පැහැඳිළිව අත්දක්නා යෝගාවචරයකුට අනෙකුත් ඉන්ද්‍රිය ධර්මයන්ද ( ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ) අවශ්‍ය පමණින් වැඩී ඇති අවස්ථාවක එම නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය හැක.

මෙය එක් ක්‍රමයක් පමණි. ඒ අවස්ථාවේ නාම ධර්මයන් වෙන් වෙන්ව දකිමින්, ඒවයේ අනිත්‍ය, අනාත්ම බාවයද දකිමින් කෙනකුට භාවනාව වැඩිය හැක. එනම් විඥ්ඥාණ, සංඥා, වේදනා, සංස්කාර යන නාමයන්ගේ ක්‍රියාවලියයි යථා ලෙසින් දකිමිනි. එම නාම ධර්මයන්ගේ අනිත්‍ය බව, අනාත්ම බව සමාධියෙන් දැකිය හැකි නම්, ( ඉන්ද්‍රිය ධර්මයන්ද නිසි පරිදි වැඩි ඇතී යෝගාවචරයකුට ) එම නාමයන්ගේද නිරෝධය අත් දකිමින් නාමරූප නිරෝධයකට සිත පත්වෙමින් සියළු සංස්කාර සංසිඳී ගියා වු නිවනට සිත පත් කර ගත හැකිය.

මෙහිදී නිවන අවබෝධ වීමට සංස්කාර අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දැක දැකා භාවනාවේ යෙදුණු විට මාර්ග සත්‍යද ( එනම් දුක්ඛ නිරෝධ ගාමීණී පටිපදාව ) , නාමරූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකිමින් නිරෝධ සත්‍යද අවබෝධ වෙමින් ඒ ඒ මාර්ගයට අනුව සංයෝජනයන් නිරුද්ධ වී යයි. ඒ ඒ මාර්ගයට අනුව අවිද්‍යාවද තුනි වී යයි.

එනම් "ආත්මයක් ඇත" යනුවෙන් ගන්නා මෝඩකම, සෝවාන් ඵලයට සිත පත්වීමත් සමඟම සක්කාය දෘෂ්ටිය නිරුද්ධ වීමෙන් නැවත නූපදින ලෙසම නිරුද්ධ වී යයි. මේ ආකාරයෙන් සකදාගාමි, අනාගාමි ඵල වලදී කාම රාගයත්, පටිඝයත් නිරුද්ධ වී, රහත් වීමේදී සියළු සංයෝජන ධර්ම මුළුමනින්ම නැතිවී යයි. "මම" යැයි කෙනකු පවතිනවා යැයි ගත් අස්මි මානය දුරු වීමත් සමඟම සියළු උපාදානයන්ද සමඟම අවිද්‍යාව මුළුමනින්ම දුරු වී යයි. එවැනි කෙනකු තුළ පංචස්කන්ධයේ ක්‍රියාවක් පැවතීම හැර, ඒවා උපාදානයෙන් අල්ලා නොගැනීම නිසා පංචුපාධානස්කන්ධයක් නොමැත. පරිනිර්වාණයේදී අවසන් කයත්, ඒ හා බැඳි නාමයත් නිරුද්ධ වී, උපාදාන සම්පූර්ණයෙන්ම නැති කර සිටින බැවින් යළි වෙනත් භවයක ගොස් එල්ඹ ගැනීමකින් තොරව, යළි නූපදින ලෙසින්ම විඥ්ඥාණය නිරුද්ධ වී යයි.. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව යනු එයයි.. දුකේ සදාකාලික කෙළවර නිමාව එයයි. එතනින් මෙහා දුකෙහි පැවැත්ම පවතී.

සමථය පමණක් භාවිතා කරමින් ශුන්‍යතාවයකට හිත පත්කර ගැනීමට නම් අරූපාවචර ධ්‍යාන මට්ටමකට සිත දියුණු කරගත යුතුවේ. එසේ වුවද නිවනට සිත පත් කර ගැනීමට අනිවාර්යයෙන්ම සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂව සමාධියෙන් අත්දැකිය යුතුවේ. මුල සිටම විදර්ශනා භාවනාවකින් හෝ, යුගනන්ද භාවනාවකින් හෝ, සමථය මූලිකව වඩා එය විදර්ශනාවට නඟා හෝ නිවන අත්දැකිය හැක.

කුමන ආකාරයකින් පුහුණු කළද අවසානයේ නිවන දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය, අනාත්ම දර්ශනය තුළින් නිරෝධ සත්‍ය පසක් කර ගැනීමෙනි.

චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගනිමින් නිවන අත්දකින කෙනකු විසින් ඕනෑම මොහොතක තමන් පත්වූ ඵලයට නැවත පත් විය හැක. සියළු සංස්කාර සංසිදී ගියා වූ උතුම් නිරාමිස නිවන් සුව මේ ජීවීතයේදීම අත්දැකීමට සියළු දෙනාම ආරම්භ කොට ගත් වීර්‍යයෙන් යුක්තව, නොපසුබටව ක්‍රියාත්මක වේවා යි පතමු.

3/10/19

ඉන්ද්‍රිය භාවනාව කල යුතු සැටි හා අනුසස්


ඉන්ද්‍රිය භාවනාව කළ යුත්තේ සද්ධින්ද්‍රියෙහි පටන් ය. එය කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තථාගතයන් වහන්සේ අර්හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධය යනාදීන් බුදු ගුණ උගත යුතු ය. හොඳින් තේරුම් ගත් තැනැත්තාහට බුදුන් වහන්සේ ගැන හා බුදුසස්න ගැන ද ඇත්තා වූ සැක දුරු වෙයි. මතු සැක නූපදී. ඒ සැක දුරු වීම සිදු වන්නේ සද්ධින්ද්‍රිය ඇති වීමෙනි. බුදුන් වහන්සේ ගේ දේශනය අනුව පිළිපැදීමට කැමැත්ත ඇති නො වන්නේ - උත්සාහය ඇති නොවන්නේ - පටන් ගතුයේ ද පසු බසින්නේ ශ්‍ර‍ද්ධාව මඳ නිසා ය. ශ්‍ර‍ද්ධාව නැති බව ප්‍ර‍තිපත්තියට මහත් බාධාවෙකි.

සද්ධින්ද්‍රියය ඇති කර ගත් තැනැත්තා හට ඒ බාධාව නැති බැවින් ඔහුට නූපන් අකුශලයන් ගේ නූපදීම සඳහා වීර්‍ය්‍ය කළ හැකි ය. උපන් අකුසල් දුරු කිරීම සඳහා වීර්ය කළ හැකි ය. ඇති කර ගත් කුසල් දියුණු කිරීම සඳහා වීර්‍ය්‍ය කළ හැකිය. නූපන් අකුසල් නූපදවීම ආදිය සඳහා කරන වීර්‍ය්‍යය විරියින්ද්‍රිය ය. එසේ කොට විරියින්ද්‍රිය දියුණු කර ගත යුතු ය. විරියින්ද්‍රිය දියුණු වූ තැනැත්තාට කුශල පක්ෂය අමතක නො වන්නේ ය. ඒ කුශල පක්ෂය අමතක නො වීම සතින්ද්‍රිය ය. සතර සතිපට්ඨානයන්හි සිහිය පැවැත්වීමෙන් එය දියුණු වන්නේ ය. සිහියෙන් යුක්ත වන්නා වූ තැනැත්තා හට සිහියට අනුව සමාධිය වැඩෙන්නේ ය. එය සමාධින්ද්‍රිය ය.

ශ්‍රඬාව වැඩුණා වූ වීර්‍ය්‍යය වැඩුණා වූ ස්මෘතිය වැඩුණා වූ සමාධිය වැඩුණා වූ සත්පුරුෂයා හට “අවිද්‍යා නීවරණය හා තෘෂ්ණා බන්ධනය නිසා සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයන් ගේ සංසාරයෙහි පටන් ගැනීමක් නැත්තේ ය, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීම, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක්හි නිරෝධය ශාන්ත නිර්වාණයය” යන ඥානය ඇති වන්නේ ය. එය පඤ්ඤින්ද්‍රිය ය. එය දියුණු කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වන්නේ ය. ඉන් පසු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හා “මම පෙර මේ ධර්මයන් ඇසීමෙන් පමණක් දැන සිටියෙමි. දැන් මම ඒවා ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන සිටිමි” යි අචල ශ්‍රඬාව ඇති වේ.

ඉන්ද්‍රිය පස අතුරෙන් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය යන මේ තුන අප්‍ර‍ධානය. සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙක ප්‍ර‍ධාන ය. යෝගාවචරයන්ට වුවමනා ඒ ඉන්ද්‍රිය දෙකය. ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තුන වුවමනා වන්නේ ප්‍ර‍ධාන ඉන්ද්‍රිය දෙක දියුණු කිරීමට ය. ප්‍ර‍ථමධ්‍යාන සමාපත්ත්‍යාදි සමාපත්ති අට සමාධින්ද්‍රිය යා ගේ ලෞකික වශයෙන් දියුණුව ය. සුඤ්ඤත සමාධි, අනිමිත්ත සමාධි, අප්පණිහිත සමාධි යන තුන ලෝකෝත්තර වශයෙන් සමාධින්ද්‍රියයා ගේ දියුණුව ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි ඥානයෝ ය. සුඤ්ඤතානුපස්සනාදි අනුපස්සනා තුන ය, විදර්ශනාඥාන දශය ය, මාර්ග ඥාන සතරය, ඵල ඥාන සතර ය, ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෝ ය යන මොව්හු ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව ය.

සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙකින් ද පඤ්ඤින්ද්‍රිය ප්‍ර‍ධාන වේ. සත්ත්වයා නිවනයට පමුණුවන්නේ පඤ්ඤින්ද්‍රියයෙනි. එ බැවින් “සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති” යනාදීන් බොහෝ සූත්‍ර‍ ධර්ම වල පඤ්ඤින්ද්‍රියයා ගේ අග්‍ර‍භාවය වදාරා තිබේ. “මහණෙනි, දඹදිව යම් පමණ වෘක්ෂයෝ ඇත්තාහු ද, ඒවායින් දඹ ගස අග්‍ර‍ යයි කියනු ලැබේ. එ පරිද්දෙන් යම් පමණ බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද ඒවායින් පඤ්ඤින්ද්‍රිය අග්‍ර‍ය යි කියනු ලැබේ ය.” යනු ඉහත දැක් වූ සූත්‍ර‍පාඨයේ තේරුම ය.

ඉන්ද්‍රිය භාවනාවෙහි අනුසස්

“පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්‍රියානි, කතමානි පඤ්ච? සඬින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි, ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමි හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරි හොති, තතො මුදුතරෙහි සඬානුසාරි හොතීති.”

මෙය ඉන්ද්‍රියසංයුත්තයේ මුදුතරවග්ගයේ දෙවන සූත්‍ර‍ය ය. එහි තේරුම මෙසේ ය.

“මහණෙනි, මොවුහු පස්දෙන ඉන්ද්‍රියයෝ ය, කවර පස් දෙනෙක් ද යත්? සද්ධින්ද්‍රිය ය, විරියින්ද්‍රිය ය, සතින්ද්‍රිය ය, සමාධින්ද්‍රිය ය, පඤ්ඤින්ද්‍රිය ය යන මොවුහු ය. මහණෙනි, මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණයෙන් වැඩීමෙන් රහත් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් අනාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සකෘදාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සෝවාන් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි.” යනුයි.

ඉන්ද්‍රිය විස්තරය නිමි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/6/19

වර්තමානයේ නිවන් මාර්ගයේ ගමන්ගන්නා විර්යවන්තයෙක්





නිවන් මාර්ගයේ ගමන්ගන්නා විර්යවන්තයෙකුගෙන් ඔවදනක්. මෙය අප වෙත නිර්නාමිකව ලැබුණු ලිපියකි. නිවන් මග යන යෝගවචරයකුගේ වචන බැවින් ඔබට උපකාර වනු ඇතැයි සිතා මෙත් සිතින් ඔබට පිළිගන්වමි.

පරම නිෂ්ඨාව සත්‍යයෙන්ම නිවනයි. ඔබ ඔබෙන් අසන්න ඇයි ඔබට නිවන් දැකීමට අවශ්‍ය? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල නිසාම ද? එසේත් නැතිනම් අපායේ දුක් මේ අකාරයේයි සිතා නිවන පැතීම ද? තිරිසන් ලෝකයේ දුක් මේ ආකාරයෙයි කියා නිවන පැතීම ද? මේ සියල්ලම දැනුම මත පදනම් වන හේතු සාධක පමණයි. නිර්වාණය නම් වූ උත්තම නිෂ්ඨාවට පත්වීමට මෙම දැනුම හා දෙයක මතුපිට දකින දුක තුලින් ඇතිවන කම්පාව හේතු නොවන්නේ ය.

පින්වත, මෙම මාර්ගය අදටත් ඔබට විවරයි හෙටටත් ඔබට විවරයි. බුදුවරුන් විසින් කලින් කලට අවුත් මෙම මාර්ගය පෙන්වීම සිදු කල ද මාර්ගය කිසි දිනක නොනවතින්නකි. ධර්ම දැනුමෙන් ඔබ පෝෂණය බව මම දනිමි. එම නිසා මා මාර්ගය පිලිබඳ කතා කරමි.

පින්වත, ඔබ මේ අසන්නේ මේ මහා බද්‍ර කල්පයේ අතිශය දුර්ලභ වූ වටිනා වූ වචන කිහිපයකි. ඔබගේ ප්‍රාණය තිබෙන තුරාවට මේ කියන දෙයින් පිටට යන්න එපා ඔබ හරියට කලොත් මේ ජීවිතයේම මාර්ගපල ලබනවා ඇත. ප්‍රථමව ඔබගේ ශරීරය සෝදා පිරිසිදු වෙන්න. පිරිසිදු සැහැල්ලු ඇදුමක් ඇදගෙන ශුන්යගාරයකට යන්න. ප්‍රබල ආලෝක වලින් ඉවත් වන්න. පසඟ පිහිටුවා වැඳ සීලයක් සමාදන් වන්න පන්සිල් හෝ අජීව අෂ්ටමක සීලය. ඔබගේ ජිවිතේ බුදුරජාණන්වහන්සේට පුජා වේවා යයි සිතන්න.

ඔබගේ ජිවිතේ කරන ශ්‍රේෂ්ඨතම අධිෂ්ඨානය මෙසේ සිදු කරන්න.

“ මගේ ශාස්තෘ වූ අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන්වහන්ස, ඔබ වහන්සේ දේශනා කල මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සත්‍යයි. බුදු මුවින් පිට වුනා වූ සියලුම බුද්ධ වචනය සත්‍යයි. මම ඔබවහන්සේ දේශනා කල මෙම උතුම් මාර්ගයේ ගමන්ගන්නා එක යෝගවචරයෙක් වෙමි. සම්මා සම්බුදුපියාණන් වහන්ස ඔබවහන්සේගේ ශ්‍රී පාදයට පෑ ගුන වැලි කැටයක් තරම්වත් මම නොවටිනා පුත්ගලයෙක් වෙමි. රහතන්වහන්සේලා, මග පල ලාභී උතුමන්ගේ පයට පෑගුන වැලි කැටයක් තරම් මම නොවටිනා වෙමි. බුදුපියාණන් වහන්ස, ඔබ දේශනා කල මේ උතුම් මාර්ගයේ මම ඔබ වහන්සේ දෙසු අයුරින් ගමන් කරමි. මහා වීර්යයෙන් මගපල නිවන සාක්ෂාත් කරගමි. මේ මොහොතේ පටන් ආරම්භන මගේ වීර්ය නිවන තෙක්ම වේවා! ශරීරය වහරුනත්, නහර දිය උනත්, අතපය කකුල් කුණු වී ගියත්, මම විර්යය අත නොහරිමි. දන හිසින් හිට හෝ සිටගෙන හෝ බිම වැතිර හෝ භාවනාව අත නොහරිමි. නිවන තෙක් වීර්ය වඩමි. අතීතයේ බුදුරජාණන්වහන්සේලා, පසේ බුදුරජාණන්වහන්සේලා, රහතන්වහන්සේලා විසින් යම් කුසලයක් කෙරේ ද ඒ සියල්ල මට අනුමෝදන් වෙත්වා! මාර්ගපල නිවනම ලැබේවා! මා මින් පෙර අත්මභාව වල සමත භාවනා ධ්‍යාන දක්වා වඩා ඇතිබව සත්‍යයි නිර්වාන මාර්ගපල දක්වා වූ කරන ලද පාරමිතා ප්‍රකට වේවා! මාර්ගපල නිවනම වෙත්වා! “

පින්වත, ඔබ දැන් සීලයෙන් පිරිසිදුයි. අවට ශබ්දය හා ආලෝකය රහිත කරගන්න. කිසි දා බිය නොවන්න. ඔබ ගමන් කරන්නේ මේ ලෝකයේ සිටින විර්යවන්තයින් ගමන් ගන්නා වූ උත්තම මාර්ගය ක. බිය නොවනු ධර්මය, සීලය ඔබ ආරක්ෂා කරනු ඇත.

පර්යන්කයේ වාඩි වී ඇස් පියාගනු. ඔබගේ ශරීරය දෙස මනසින් බලනු. දෙඇස් තද කර නොගනු. අපහසු කම් ශරීරයේ වේදනා ඇති තැනවෙත සිත පිහිටුවා ඒවා හරිගස්ස ගනු. මද වෙලාවක් භාවනා ආසනයට ශරීරය හැඩ ගසගනු. විතක්ක විචාර ප්‍රකට කරගනු “ නිවනටම වීර්ය වඩමි, නිවනටම වීර්ය වඩමි, නිවනටම වීර්ය වඩමි” මෙලෙස තමාටම මනසින් කියා ගනු. පින්වත, ලෝකධතුවෙන් එපිට වූ අතිශය සුඛය වෙත ඔබගේ ගමන අරබනු. බුදුරජානන්වහන්සේ පිළිබඳව මදක් මෙනෙහි කරනු. අනන්ත ගුණ කදම්භය මෙනෙහි කරනු. සම්මා සම්බුදුපියාණන් වහන්සේ දේශනා කලේ “ මා වෙත කරනු ලබන නියම උපස්ථානය නම් මා දේශනා කල අර්යෂ්ටන්ග මාර්ගයේ ගමන් ගැනීමය” දැන් ඔබ කරන්නේ බුදුපියනන්වහන්සේට කරන මගඟු උපස්ථානය බව තරයේ සිහියට ගනු.

මහා පින්වත, අනන්ත කාලයක් පෙරුම්පුරා ලොවට පහල වන බුදුපියනන්වහන්සේ කෙනෙකුගෙන් පමණක් විවර වන ආනාපානසති කර්මස්ථානය අරබනු. සාමාන්‍ය ලෙස හුස්ම ගනු පිට කරනු. හුස්ම ගන්නා විට හුස්ම ගනිමි ලෙසත් පිට කරන විට පිට කරමි ලෙසත් සිතනු. හුස්ම වදින ස්ථානය ගැන දැන්ම සිහියට නොගනු. හිතේ විසිරෙන ස්වභාවය බහුල නම් හුස්ම ගන්නා විට “ එක එක එක ලෙසත් පිට කරන විට “එක එක එක” ලෙසත් නැවත “දෙක දෙක දෙක” ලෙසත් අට දක්වා පමණක් කරනු. මෙලෙස මද වෙලාවක් කරනු සිතේ පිට යන ස්වභාවය අඩුනම් අංක අමතක කොට හුස්ම ගැනීම ප්‍රකට වන ස්ථානය මනසින් බලනු. එය නාසයේ දොරටුව හෝ උඩු තොල ආශ්‍රිත වේ ඔබට ප්‍රකට වෙන ආකාරයෙන් බලනු. මේ දේවල් නොකරනු

සිතා මතා හුස්ම ගැනීම. හුස්මේ මුල සෙවීම මැද හෙවත් පපුව ප්‍රදේශය අග හෙවත් බද ප්‍රදේශය වෙත සිහිය පිහිට නොකරනු. නාස් දොරටුව මත පමණක් සිහිය පිහිටවනු.

මෙය දිනකට භාවනා කරන කාල එකතුව පැයතුනකට අඩු විය යුතු. පැය තුනකට වඩා කරන්න නොයනු. ඉදිරියට යාමට හදිසි නොවනු. නමුත් සැමවිටම වීර්ය වඩනු.

මෙය සති තුනක් පමණ හොදින් පුරුදු කරනු. කිසිම දිනයක් භාවනාව නොකර අපතේ නොයවනු. අසාධ්‍ය ලෙඩක් වුවොත් පමණක් සුව වන තෙක් නවතනු නමුත් හැම මොහොතේම වීර්ය වඩනු. වීර්ය අඩුවීම මේ මග ගමන් ගැනීමට ඇති බාධාව බව සිහියට ගනු.

මෙලෙස ඔබ භාවනාව කරන විට යම් දිනයක යම් මොහොතක ඔබට හුස්ම ගැනීම පිට කිරීම ඉතා හොදින් ප්‍රකට වනු ඇත. එක නාස් සිදුරකින් හුස්ම ගැනීම පිටවීම සිදුවන බව දැනෙනු ඇත. මේ ප්‍රකට වීමත් සමග ශරීරයේ බර ගතිය නොදෙනී යනු ඇත. ඔබ මෙය ප්‍රථමව අත්දකින විට සතුටු වී නොනගිටිනු. හුස්ම කෙරෙන් සිත අහකට නොගනු. කිසිම බොහොතක හුස්ම කෙරෙන් සිත අහකට නොගනු. මෙලෙස දිගටම කරනු එක මොහොතක හුස්මෙහි දිග කෙටි ස්වභාවය පෙර හුස්ම සමග සසදා බැලීමට සිහිය දියුණු වනු ඇත. මෙලෙස හුස්මෙහි දිග කෙටි ස්වභාවය බලනු. හුස්මෙන් සිත අහකට නොගනු. හුස්ම සියුම් වනු ඇත ඉතාමත සතිමත්ව හිදිනු. මේ මොහොත ග්‍රහණයට ඔබ මෙය සිදු කරනු. ඇවිදින විට ඇවිදින බව, හිටගෙන සිටින විට හිටගෙන සිටින බව ලෙස ඉරියවු පිලිබඳ සිහිය පර්යන්ක භාවනාව නොකර වෙලාවල් වල පුරුදු කරනු මෙයින් සතිය දියුණු වේ. ආනපසතිය එන්න එන්නම සියුම් වන භාවනාවකි එම නිසා සතිය අතිශය දියුණු විය යුතුය. මෙලෙස හුස්මෙහි දිග කෙටි භාවය බලන විට ඔබට ශරීරයේ යම් කොටස් ටිකක් පමණක් ප්‍රකට වනු ඇත නහය,පපුව, බඩ එකම හුලන් පිරුන ස්වභාවයක් ගෙන පිම්බි හැකිලෙන බව පෙනෙනු ඇත. මේ මොහොතේ ඔබ සිහිය තිබිය යුත්තේ ඔබට හුස්ම නිසා ශරීරයේ ප්‍රකට වන ස්ථාන වෙතය. මෙලෙස වඩනු. යම් මොහොතක ශරීරයේ දැනීම සම්පුර්ණයෙන් නවතිනු ඇත. මේ මොහොතේ අධික සතුටක් දැනෙනු ඇත. සතුට වැඩි කමට නැගිටින්නට හිතුනද නොනගිටිනු. නොනගිටිනු. කයේ දැනීම නැති වන්නේ ඔබ දැන් සිත ඉතා ප්‍රබල මට්ටමක පවත්වාගෙන සිටිනු ඇත. සිතට අරමුණු වන්නේ ඔබගේ සියුම් හුස්ම පමණක් නිසා වින්ඥානය විසින් අනික් අරමුණු ගැනීම නවත්වා ඇත. මෙතනින් පසු ඔබ ශුන්‍ය ස්වභාවයකට පත්වනු ඇත. බිය නොවනු. ප්‍රභාශ්වර ආලෝක, වලාකුළු මෙන් දුම් ස්වභාව පෙනෙනු ඇත. හදිසි නොවනු. ඔබ ලබන්නේ නිවනට අසලකවත් නොමැති එක සුඛ ස්වභාවයකි. ඔබට දැනෙන සුඛය මෙලෙස නම් නිවනෙහි සුඛය කෙලෙස ඇතිදැයි ඔබට සිතෙනු ඇත. මේ සිතිවිල්ල අති ප්‍රභලය මෙය ප්‍රත්‍යක්ෂ ලෙස ඔබ ලබාගත් අත්දැකීමකින් පහල වන සිතුවිල්ලකි.

පින්වත, නිතර භාවනාවෙහි යෙදෙන්න. මේ භාවනාව ඔබට නිවනට අවශ්‍ය අත්තිවාරම සදනු ඇත. මතු යම් දිනෙක නැවත ඔබට ලියන්නෙමි. හදිසි නොවනු, මානයක් ඇතිකර නොගනු. නිවන්මග ගමන්ගන්නා නිහතමානී විය යුතුය. මානය දුරලිය යුතුය. භාවනාවේ යෙදෙන විට යම් දිනයක් මම ජිවිතයේ කිසිදු දිනෙක සතෙක් නොමරමි මෙලෙස සිල් පද කෙරෙහි චිත්තයක් පහල වනු ඇත. මෙය සැබෑ සීලය රැකීමේ ආරම්භය වනු ඇත. මේ සියල්ල ඔබ නිවන වෙත ලංවන සංඥා බව සලකනු. පින්වත. දැන් දැන්ම භාවනාව අරබනු. සතියෙන් වාසය කරනු. සිත පරිසම් කරනු. භාවනාව අවසාන කරන හැමමොහොතකම මාර්ගපල නිවනම උදසා අනුමෝදන් වෙනු භාවයන්ගේ සැප නොපතනු. තමා ආරක්ෂා කරන දෙවි දේවතාවුන්ට ඒ සියලු පින් අනුමෝදන් කරනු, මවු පියන්ට නෑදෑයින්ට අනුමෝදන් කරනු.

පින්වත, මම නවතිමි. නැවත යම් දිනයක ඔබට ලියමි. එතෙක් මා කිවූ වචනය සුරකිනු. භාවනාව වඩනු. මාගේ නම මා පල නොකරමි. අනාගතයේද පල නොකරමි.මා වචන ගොඩක් ලෙස දකිනු මා කියූ දෙය කරනු එය දෙවෝති දේව අසම සම අරහත් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුවින් උපන් ධර්මය යි මාර්ගයයි. මේ මාර්ගය වඩනු මාර්ගපල ලාභිව මේ ජිවිතයෙන් අර්ථය ගනු. වීර්ය වඩත්වා! තෙරුවන් සරණයි.!

3/4/19

පින් කිරීමේ ක්‍රම

එයින් මුලින්ම පෙන්නපු කාරණාව තමයි දාන පරමිතාව. දන් දීම. දස පාරමිතා, සම ත්‍රිංශත් පාරමිතා ගත්තොත් බලන්න ඒ පාරමිතා අතර මුලට ම තිව්වේ දාන පාරමිතාව යි. දසරාජ ධර්ම ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ඒ වගේම සතර සංග්‍රහ වස්තු ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ත්‍රිවිධ පුණ්‍යකිරියවත්‍ථු ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ඇයි ඒ? මනුස්‍සයෙක් හැටියට, මනුස්‍සයෙකුට වඩා උත්තරීතර ගුණදහමක් පුරන කෙනෙක් හැටියට පය ගහලා ලෝකයේ ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ඕනෑවට වඩා ලෝකය තුල කිඳා බහින්නේ නැති, මසුරුමල අඩුවෙච්ච මනසකටයි.

රාග, ද්වේශ, මෝහ අධිකව උත්සන්න වුණහම ඒකට කියනවා අපායගාමී මට්ටම කියලා. අපායගාමී රාගය, අපායගාමී ද්වේශය, අපායගාමී මෝහය. අපි ඉස්සෙල්ලා කථා කළා වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ එබඳු වූ රළු මානසික මට්ටමකයි. පින්වතුනි,මෙන්න මේ රළු ගති ටික සම්පූර්ණයෙන් නො දන්නවා වුණාට මේ දානය කියන එකෙන් අතහරවනවා. දානය කියන එක ලේසි කෙනෙකුට කරන්න බැහැ. යම් තමන් සතු දෙයක් දෙන්න හදනකොට ඒක නො දෙන බවට, නො ගන්න බවට, ඒකේ දොස් දකින බවට, නො කිරීමේ වටිනාකම ගැන කියන්න හිත ඇතුළේ ඉඳගෙන දාහක් කථා තමන්ගේ මනසින්ම තමන්ට කියනවා. එහෙම කියන සිතට ප්‍රතිවිරුද්ධව, කෙලේසයට ප්‍රතිවිරුද්ධව බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි කුසල ධර්ම සිද්ධ කරන්නේ, සිද්ධ වෙන්නේ. ඒකයි ඒකට කුසල කියලා කියන්නේ. කුසල් කියලා කියන්නේ දක්‍ෂයි කියනවා. අපි කියන්නේ හොඳ කුසලතාවයක් තියෙනවා කියලා. දක්‍ෂතාවයක්, හැකියාවක්. කුසල් කියන හැම දෙයකම එයා දක්‍ෂයෙක්.

පින්වතුනි, මේ ලෝකය හරියට මාරයා විසින් මවපු, මංමුළා වැල්වල තියෙන ගෙඩි වගෙයි මේ කාමය. කාමය පරිභෝජනය කළහම මිනිසුන්ට යනඑන මං පෙනෙන්නේ නැහැ. යනඑන මං තේරෙන්නේ නැහැ. මේ ඔක්කෝම සම්පත්තිය, ඔක්කෝම දේ මේ අවුරුදු පනහ හැට නැත්නම් මේ අවුරුදු සීය දක්වා විතරයි නේද කියන එක පෙනෙන්නේ නැහැ. ඒක ඇත්ත වෙනවා. ඒක ජීවිතය වෙනවා. ඊට පස්සේ කුසල ධර්ම කරනවා තියා ඒකට ඉඩක් වත් නැහැ.

මේ රළු මානසික මට්ටම නැති කරවනවා දන් දීමෙන්. ඒ නිසා හැමදෙනාම ජීවිතයේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ජීවිතයට පිහිටක්, රැකවරණයක් කර ගන්නවා නම්, තමන් සතු බත්පත හෝ තව කෙනෙකුට නො දී කන්න එපා. නැත්නම් තව කෙනෙක් කන දිහා බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම් බඩගින්න විඳගෙන, ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨකම.

අන්න ඒ වගේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ දීමට සේදූ අත් ඇතිව ඉන්න. මනුෂ්‍ය අපට යමක් තියෙනවා නම් අනෙක් අයටත් ඒක සාධාරණයි කියන තැනකින් හිතන්න කියලා කියනවා මේ නිවන් දකින කෙනාට. ඉතින් මේවා ඉස්සෙල්ලාම මුලික මට්ටම, හිතලා පුද්ගලභාවයෙන්ම ඇති කරගන්න ඕනේ මානසික මට්ටම්. හිතේ ඇතිවෙන ගති වලට ප්‍රතිවිරුද්ධව ඉඳලා දෙන්න අකමැත්ත හිතේ යෙදෙන කොට ඒ අකැමැත්ත හඳුන ගන්න නම් හොඳට පුළුවන්කම තියෙන්න ඕන.‘නැහැ, මම උඹව දිනනවා. මම ඔය ගතිය දිනනවා. මම මේක නෙවෙයි, මීට වඩා දෙනවා. මම මගේ බත් පිඟානත් දෙනවා’ කියන තැනකින් හිතන්න පුළුවන් නම්ඇතුලේ ඉඳගෙන හැමදාම මේ පින්වතුන්ට එරෙහි වෙන්නේ නැහැ. ඒ එරෙහි වෙන කම හුරු කරලා හින්දා. දෙන්න අකැමැතිකම හුරු කරලා හින්දයි මොනවා හරි දෙයක් දෙන්න හදනකොට මනසේ ඒකට තියෙන අකැමැතිකම එන්නේ.

ඒ නිසා හැම වෙලාවේම ඒ කෙලේසය අඩු කරලා දානාදී කුසල ධර්ම සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මා භිකඛවෙ පුඤඤානං භායිතථ සුඛසෙසතං භිකඛවෙ අධිවචනං යදිදං පුඤඤානනති’ - මහණෙනි, පිනට භයවෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. ඒ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ලෝකය තුල යම් සැපක් කියලා යමක් තිබේ නම්, සැප විපාකයක් තිබේ නම්, ඒ මේ කුසල ධර්මයන් තුලින්, කුසල ධර්මයන් නිසයි. එයින් ද මේ දානාදී කුසල ධර්මය බොහෝම ශ්‍රේෂ්ඨ වෙනවා.

පින්වතුනි, නිවන් දකින එකේ භාගයක් බර උසුලන්නේ දානයෙන් කියලා මේ පින්වතුන් දන්නවා ද? අපි සමහර විටක හිතන්නේ නැහැ අප්‍රමාදී ජීවිතයටත් සුදුසුයි කියලා. ඒක සුදුසුයි, නමුත් අප්‍රමාදීව දානාදී කුසල ධර්මත් සිද්ධ කළ යුතුයි.

කවදා හරි ධර්මය සම්මර්ශනය කිරීමෙන් ලෝකෝත්තර මාර්ගයකට උත්සාහවත් වෙනකොට ඒකේ ඵලය වෙන්නේ ලෝකෝත්තර ප්‍රතිඵලයක් ලැබෙන එක යි. ඒකට හැකියාවක් නැහැ මනුස්සයෙක්, දෙවියෙක් වෙලා උත්පත්තිය ලබා දෙන්න. උත්පත්තිය පිණිස පවතින්නේ නැහැ. නමුත් මේ පින්වතුන් දන්නවා ද, මේ පින්වතුන්ට නිවන් දකින්න පුළුවන් මේ වටපිටාව ලබා දුන්නේ මේ පින්වතුන් කළ කුසල ධර්මයට, ලෝකය තුල කළ දානාදී කුසල ධර්මයන්ටයි කියලා. දානාදී කුසල ධර්මයන් තමයි මනුෂ්‍ය ආත්මභාවයක් ලබලා දෙන්නේ.

එතකොට බුද්ධෝත්පාද කාලයක් තියෙන වටපිටාවක සත්පුරුෂ ඇසුර ලබලා දෙන්නේ දන් දීලා නිවන් ප්‍රාර්ථනා කළහම. ඒකේ ප්‍රතිඵලය මොකක් ද? නිවනට උපකාරී වටපිටාව ලැබෙන්නේ දානයෙන්.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, කිසිම කලෙක ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසල මූලයකින් මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදින්නේ නැහැ. හැම වෙලාවේම අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයකින් ම යි මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදින්නේ.”

ඉතින් ඒ නිසා දානාදී කුසල ධර්මයන් සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්න.

තව පැත්තකින් ගත්තහම ධර්මයේ සඳහන් වෙන්නේ දන්දීම කියලා කියන්නේ හරියට ගිනි ගත්ත ගෙයකින් යමක් එළියට විසිකරලා දානවා වගෙයි කියලා. ගෙයක් ගිනි ගන්න කොට ගේ ඇතුළේ තියෙන වටිනානොවටිනා, ලොකුකුඩා හැම දෙයක්ම පිච්චිලා, අළුවෙලා ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්‍වයට පත්වෙනවා. ඒ ගිනි ගන්න ගේ ඇතුළෙන් යමක් කමක් ජනේලයකින් හරි, දොරකින් හරි එපිටට විසි කරගත්තොත්, පසුව ඒ පුද්ගලයාට ඉතුරු වෙන්නේ එළියට විසි කරගත්ත දේ විතරයි.

ධර්මයේ සඳහන් වෙන්නේ මේ ලෝකයා රෑ දවාලේ මොන තරම් දුක් මහන්සියෙන් භෞතික යමක් හරි හම්බ කළා නම්, ගෙවල්දොරවල්, යානවාහන, ඉඩකඩම්, මිළමුදල්, දූදරුවෝ කියලා,මේ හැම දෙයක්ම ජරාව, මහලු බව, මරණය කියන ගින්න අභියස‍ දී ඒ ගින්නට හසුවෙලා, ඒ හරිහම්බ කළ හැමෝටම මේ දේවල් අහිමි වෙනවා ලු. ජරා මරණ නමැති ගින්නට හසුවෙලා, ජරා මරණ ධර්මතා එක්ක ගේ ඇතුලෙයි මේ ඔක්කෝම තියෙන්නේ. ඒ ගින්න අභියස‍ දී ගින්නට හසුවෙලා මේ හම්බ කරපු සියලුම දේ අතහැරෙනවා කියනවා.

යම්කිසි කෙනෙක් ඒ දුක්මහන්සියෙන් හරිහම්බ කරපු දේ දුගීමගී යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා පූජා බුද්ධියෙන්, ශ්‍රද්ධා බුද්ධියෙන් පූජා කළොත්, මෙන්න මේ ටිකවිතරක් එයාට ඉතුරු වෙනවා, හරියට ගිනිගත්ත ගෙයකින් යමක් එළියට විසිකර ගත්තා වගේ.

ඒ නිසා, කිසිම වෙලාවක දී කුසල ධර්මය අවතක්සේරුකොට හිතන්න එපා. සමහර අය මට ඇහිලා තියෙනවා “කුසල ධර්ම කරන්න එපා, අකුසලයත් අවිජ්ජා පච්චයා සංඛාරා, කුසල ධර්මත් අවිජ්ජා පච්චයා සංඛාරා, අවිද්‍යාව නිසා ඇති කරගන්න කර්ම සසර දික් කරනවා. ඒ නිසා කුසල නොකට යුතුයි.” කියලා.

පින්වතුනි, අපට බුදුරජාණන්වහන්සේට වඩා නුවණ තියෙනවා වෙන්න බැහැ. ඒක අපි තීරණය කරගන්න ඕනේ. අපට සර්වඥතා ඥානය නැහැ. ඊට වඩා වැඩි ප්‍රඥාවක් තියෙන්න බැහැ. බුදුරජාණන්වහන්සේගේ බුදු නුවණට පෙනුණ කාරණා අපට පෙනෙනවා වෙන්න බැහැ. බුදුරජාණන්වහන්සේ දැක්කේ අකුසලය විතරයි ජීවිතයට අහිතකර. ඒ නිසා සබබ පාපසස අකරණං කියලා දේශනා කළා. කුසලස්ස උපසමපදා - කුසල් කරන්න කියලා දේශනා කළේ කුසලකින් යහපතක් වෙන නිසා. ටිකක් හරි, අබ ඇටයක් තරම් හෝ අවැඩක් ජීවිතයකට වෙනවා නම් ඒක කරන්න කියලා බුදුරජාණන්වහන්සේ පැනෙව්වේ නැහැ.

නුවණක් තියෙන කෙනාට කුසලය නෙවෙයි පින්වතුනි, අකුසලයවත් සසර දික් කරන්නේ නැහැ. කුසලය ගැන කවර කථා ද, අකුසලයවත් සසර දික් කරන්නේ නැහැ.අකුසල විතර්කයක් ඇති වුණොත් ඒකේම අනිත්‍ය බලලා, ඒකට ප්‍රතිවිරුද්ධව කුසල සිතක් උපදවලා, එයා ඒ අකුසලයම උපකාර කරගෙන සසරෙන් මිදෙයි.

නමුත් නුවණ නැති කෙනාට නම් නුවණ නැතිකම නිසා, අකුසලයයි කුසලයයි දෙකම නිසා සසර දික් වෙනවා. කුසලයේ නෙවෙයි තියෙන ප්‍රශ්නය, අකුසලයේ නෙවෙයි තියෙන ප්‍රශ්නය, නුවණ නැතිකම හා ඇතිකමයි ප්‍රශ්නේ. නුවණ කියන කාරණාව නැති කෙනාට සසර දිගයි.

දීඝා ජාගරතො රතති,
දීඝං සනතසස යොජනං.
දීඝො බාලානං සංසාරො
සදධමමං අවිජානතං -

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා නින්ද නො යන කෙනාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවා ලු. වෙහෙස දැනෙන කොට යොදුන ගොඩාක් දිගයි වගේ තේරෙනවා ලු. ඒ වගේ

දීඝො බාලානං සංසාරො
සදධමමං අවිජානතං-

සද්ධර්මය නො දන්නා වූ බාලයාට සසර ගොඩාක් දිගයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළා. කුසලය නිසා සසර දික්වෙනවා කියලා බුදුරජාණන්වහන්සේ කොහේවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ සද්ධර්මය නො දන්නා අනුවණ කමටයි සසර දික්වෙන්නේ කියන කාරණාව යි.

ඒ නිසා ලෝකයාගේ වචනය ගන්න එපා. මම ඔතනදි මතක් ‍කළේ ධර්මයේ ඇතුල් පැත්ත හිතන්න නුවණ නැති වුණොත් ඒ මෝඩකමට කියන කථා තවම අපේ මනස මෝඩ නිසා පිළිගන්න පුළුවන්කම තියෙන කම තියෙන නිස යි. ඒ නිසා කුසලය කියන එක ජීවිතයට කවදාවත් හානියක් වෙන, හානියක් කරන දෙයක් නෙවෙයි. කුසලය කියන එකට පසුබට වෙන්නට එපා. මේ පින්වතුන්ගේ ජීවිතයකට රැකවරණය ලැබෙන්නේ කුසලයකින් මයි කියන කාරණාව ගන්න.

බොහෝ දේ එපා, අපි නො සිතුවාට අපේ ජීවිතයට ඔප්පු කරලා පෙන්නලා තියෙයි. මේ පින්වතුන් ඕනේ තරම් ඔය ඇස් දෙකෙන් ජීවමානව දැකලා ඇති මහා විමාන වගේ, මාළිගා වගේ මහා විශාල ගෙවල්දොරවල් වලට හිමිකාර වුනුමහා ධනවතුන්. ඒ වගේම එදිනෙදා ජීවිතයේ ජිවත්වෙන්න වටපිටාවක්වක් නැති, ඉන්න තැනක් නැති, පොල්අතු සෙවිලි කළ, කටුමැටි පැළවල් දැකලා ඇති. අපි නො හිතුවාට, අපට නිහඬව ඒ දේවල් වලින් හොඳ ධර්ම දේශනාවක් කරනවා.

අපි ලෝකය තුළ පුද්ගලභාවයෙන් රණ්ඩු කරනවා, ‘නිර්ධන පන්තිය, ධනපති පන්තිය’ කියලා. නමුත් නිර්ධන පන්තිය, ධනවත් පන්තිය නෙවෙයි, ඒක එහෙම වුණේ කොහොමද කියන කාරණාවක් තියෙනවා. ඕකෙන් කියනවා පින්වතුනි කුසල, අකුසලයන්ගේ භේදය. ‘කුසල් කළ කෙනෙකුගේ ජීවිතය මෙන්න මේ වගෙයි’ කියලා දකින්න කියන එක මේ පින්වතුන්ට නො කියා කියනවා. ‘දානාදී කුසල ධර්ම නො කළ එකක විපාකය අද මම මේ විදියට විඳිනවා, මේක දකින්න’ කියලා මේ ලෝකයේ හැම කෙනෙක්ම අපට නිහඬව ධර්ම දේශනා කරනවා.

මේ පින්වතුන්ට යනකොට හිතන්න දේවල් බොහෝ ධර්මතාවයකින් තියෙයි. ඉතින් මහා ධනවතුන්, නිර්ධනයි කියන එකෙන් අපට පෙන්වනවා, ‘දානාදී කුසල ධර්ම කළ කෙනාගේ ජීවිතය මතු මෙන්න මෙහෙමයි, දානාදී කුසල ධර්ම කරන්න බැරි වුණොත් හෙට දවසේ ඔබේ චරිතය, ඔබේ ආත්මභාවය, ඔබලාගේ ගෙදර මෙන්න මෙහෙමයි මනුස්සයෙක් වුණොත්. දානාදී කුසල ධර්ම කරනවා නම් ඔබට හෙට දවසේදී ලැබෙන ගෙදර මෙන්න මෙහෙමයි’ කියලා වටපිටාව අපට කියනවා. වටපිටාව පෙන්වනවා. ඇයි අපි කුසලය කියන එක අවශ්‍ය නැහැ කියන්නේ? ඕනේ නැහැ කියන්නේ? කුසලය කියන එක ඕනේ නැත්තේ නැහැ, ඕනේ.

ඒ නිසා කුසලය කියන ධර්මතාවය පූර්ණ වශයෙන් සිද්ධ කරන මුල්ම කාරණාව තමයි දානය කියන කාරණාව. ඒක ජීවිතයෙන් හදා ගන්න කියන එක මතක් කරනවා.

මේ කුසලය කියන එක ජීවිතයකට මොන තරම් වටිනවා ද, කුසලයක් ජීවිතයට මොන තරම් උපකාර ද කියන කාරණාව අතීතයේ හිටිය සත්පුරුෂයෝ පවා දැනගෙන හිටියා. ඒ නිසා ඒ අය කුසල ධර්‍ම කරන්න නිමිති හොය හොයා හිටියා.යං කිඤ්චාරම්මණං කත්‍වා දජ්ජාදානං අමච්ඡරි - නොමසුරු පුද්ගලයා කුමන හෝ අරමුණක් චූටි දේක චූටි අරමුණක් ඇති එයාට ටක් ගාලා දානාදී කුසල කර්‍මයක් කරන්න.

ඕකට හොඳ කතාවක් තියෙනවා: බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නා කාලයේ බුදුරජාණන්වහන්සේට උපස්ථාන කරපු අග්‍ර උපස්ථායක තුමා තමයි අනේපිඩු සිටු තුමා. මේ අනේපිඩු සිටු තුමාගේ හිටියා මිනිපිරියක්. දරුවෙක් ගේ දරුවෙක්. මේ මිනිපිරිය දවසක් ගේ ඇතුලේ සෙල්ලම් කර කර ඉන්න ගමන් කුස්සිය පැත්තට ගියා. යනකොට කුස්සියේ වැඩ කරන කුස්සි අම්මා පිටිවලින් කෑමක් හද හදා ඉන්නවා. මේ පුංචි දරුවා ඒ දිහා බලාගෙන ඉන්නකොට ආදරේ හිතිලා අර කුස්සි අම්මා මොකද කළේ, පිටිවලින් පොඩි බෝනික්කෙක් හදලා දුන්නා. මේ පොඩිදරුවා ‘දුව’ යන සංඥා ඇතුව කොට්ටයේ තියාගෙන අර පිටි බෝනික්කා නලව නලවා ඉන්නවා. ඉතින් වඩාගෙනත් ඉන්නවා. හදිස්සියේ අතපසුවීමකින් පිටි බෝනික්කා වැටිලා කැඩුණා.

මේ ළමයා, ‘මගේ දුව මැරුණා, මගේ දුව මැරුණා’ කියලා අඬන්න ගත්තා. ගෙදර කිසි කෙනෙකුටවත් නවත්තගන්න බෑ. අනේපිඩු සිටුතුමා මොකද කරන්නේ. මිනිපිරියට කිව්වා වඩාගෙන, ‘හා පුතේ අඬන්න එපා. අපි ඔයාගේ මැරිච්ච දුව වෙනුවෙන් දානයක් දෙමු. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ගෙදරට වඩම්මලා,දුව එන්නකො මා එක්කලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න’ කිව්වහම ළමයා ඇඬීම නැවැත්වුවා.

බුදුරජාණන්වහන්සේ ඉන්න තැනට ගියා අනේපිඩු සිටුතුමා මිනිපිරියක් එක්ක. ගිහිල්ලා කියනවා.‘ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස,මේ දරුවාගේ පිට්ඨි ධීතිකාව හදිස්සියේ මැරුණා. ඉතින් එයාට පින් සිද්ධ වෙන්න අපේ ගෙදර දානයක් දෙන්න ඕන. හෙට දවසෙදි භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අපේ ගෙරට දානයට වඩින සේක්වා’ කියලා ආරාධනා කළා. භාග්‍යවතුන්වහන්සේ නිහඬව ඉවසුවා. ඉතින් ගෙදර ප්‍රණීත වූ කෑම බීම බොහෝ හදලා දානය පිළියෙල කළා. භාග්‍යවතුන්වහන්සේ මහා සංඝරත්නයත් එක්ක නිවෙසට වැඩියා.වැඩියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයට ප්‍රණීත ආහාර පාන වළඳවලා, ඒ වගේ ම පිරිකර පූජා කරළා, පින්කම බොහෝ ම සරුවට කරළා, මිය ගිය පිට්ඨි ධීතිකාවටත් පින් අනුමෝදන් කළා. දෙවෙනි දවසෙත් ආරාධනා කළා. මෙහෙම අනේපිඩු සිටුතුමාගේ ගෙදර මාසයක් මියගිය පිට්ඨි ධීතිකාව වෙනුවෙන් දන් දුන්නා කියලා සඳහන් වෙනවා.

ඉතින් මේ මාසය පුරාවට ම කොසොල් රජ්ජුරුවන්ගේ රජ මාලිගාවට භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ නැහැ. කොසොල් රජ්ජුරුවෝ අහලා බැළුවා ඇයි කියලා. බලනකොට මේ පිටිඨි ධීතිකාවට පින් දෙන්න අනේපිඩු සිටුතුමා දානයක් දීලා.කොසොල් රජ්ජුරුවෝ හිතුවා,‘හරි.ඒ අනේපිඩු සිටුතුමා ගේ මිනිපිරියගේ මිය ගිය පිට්ඨි ධීතිකාවට පින් පිණිස මාත් දන් දෙනවා මාසයක්’ කියලා,කොසොල් රජ්ජුරුවොත් මාසයක් දන් දුන්නා.

නගර වැසියෝ කල්පනා කළාදැන් මාස දෙකකින් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ නැහැ.ඇයි?බලනකොට මේ කතාව ආරංචි වුනා.කට්ටිය කතා වෙලා,‘අපිත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවා මේ පිට්ඨි ධීතිකාවට පින් පිණිස’ කියලා.නගර මධ්‍යයේ මහ විශාල මණ්ඩපයක් කරවලා ඒක සරසලා ධජ පතාකයන් හිටවලා.සුවඳ විළවුන් අතුරලා.මහා දානයක් කළා.

පින්වතුන්ට හිතෙනව ද,එදා හිටපු අයට සචේතණික,අචේතණික වස්තු තෝරාගන්න බැරිකමක් තිබුණා කියලා.නෑ ඒ අය අපිට වඩා හොඳට සචේතණිකඅචේතණික වස්තු තේරුම් ගත්තා.මිය ගිය පිට්ඨි ධීතිකාවට පින් අනුමෝදන් කරන්න කියලා හරි පින් කරන්න ගියාම කාට ද පින් සිද්ධ වෙන්නේ?තමන්ට බව දැනගෙන හිටියා.කුසලයක වටිනාකම දැනගෙන හිටියා.

යං කිඤ්චාරම්මණං කත්‍වා දජ්ජාදානං අමච්ඡරි- නො මසුරු පුද්ගලයා කුමන හෝ අරමුණක් අරමුණු කරගෙන දානාදී කුසල ධර්ම සිද්ධ කරනවා. දරුවාගේ විවාහය කියලා හරි, උපන් දිනය කියලා හරි, මගුල්ගෙදරක් කියලා හරි, මළගෙදරක් කියලා හරි, කුමක් හෝ අරමුණු කරගෙන එයාට ඕනේ හැම වෙලාවේම ජීවිතයට කුසල ධර්ම කරගන්න නිමිත්තකුයි එයා හොය හොයා යන්නේ. කුමන හෝ නිමිත්තක් ආපු ගමන් ඒක උදව් කරගෙන කුසල ධර්මයක් කරනවා.

අතීත උත්තමයෝ දැනගෙන හිටියා සම්පත්තිය කියන එක අතින් අතට මාරුවෙන කාසියක් වගෙයි කියලා. අද දවසේ අපි ගාව තියෙන මේ සම්පත්ති හෙට දවසේ තව කෙනෙක් ගාව. ඊ ගාව දවසේ තව කෙනෙක් ගාව. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියා තමන් අතට ආපු වෙලාවේ මේකෙන් තමන් වැඩක් අරගෙන මිසක අත්හරින්න හොඳ නැහැ. මේ පින්වතුන් ‘මගේ, මගේ’ කියලා හම්බකරන දේවල් පෙට්ටියක දාලා තියාගන්න, රැස්කරලා ගෙදර තියාගන්න, ගොඩගහගෙන කොච්චර කල් තියාගන්න පුළුවන් වෙයි ද? අවුරුදු සීයක් ඕනේ නම් තියාගනියි. ඊටපස්සේ ඕවා අනිත් අය අතට පත්වෙනවා.

තමන් ගාවට ආපු දේ තමන්ගේ ජීවිතයට අර්ථයක් සිද්ධ කර නො ගෙන, වැඩක් සිද්ධ කර නො ගෙන, යවන්න එපා කියන එක මතක් කරනවා.

ඒ නිසා මේ දහමෙන් ජීවිතයට බොහෝම වටිනා අර්ථයක් ලැබෙයි. දන් දුන්නහම ඒ දන් දුන්න නිසා එයා යම් තැනක උපදියි නම් දෙවියෙක් වෙලා, දෙ‍වියෙක් වුවත් මහේශාක්‍යවටපිටාවකින් යුක්ත, මහත් වූ විමන්වලට අධිපති මහේශාක්‍ය දෙ‍වියෙක් වෙලා උපදිනවා. දන් දෙන කෙනා මනුෂ්‍ය ලෝකයේ උපදියි නම්, රාජරාජ මහාමාත්‍යදීන්ගේ මහේශාක්‍ය මහාසාරකුලයක මයි උපදින්නේ. හීන තැනක උපදින්නේ නැහැ. ඒ නිසා දානාදී කුසල ධර්ම නිතරම කළ යුතුයි.

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

3/3/19

සත්ත්වයන් උපදනා ස්ථානයෝ


සත්ත්වයන් උපදනා ස්ථානයෝ

තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය,මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.

එහි අපාය භූමි සතරය යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.

නරකය

සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

කාලසූත්‍ර‍ නරකය

උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

සඞ්ඝාත නරකය

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

රෞරව නරකය

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

මහා රෞරව නරකය

අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.

තාප නරකය

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.

ප්‍ර‍තාප නරකය

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

මහා අවීචි නරකය

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

කුඩා නරකයෝ

ගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර‍ වන නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය, යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුන ගස්, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කුල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර‍ වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.

ලෝකාන්තරික නරකය

ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුර පුපුරා ශීතලයෙන් බැදෙති.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/2/19

කෘත්‍ය කාර්ම චතුෂ්කය


කර්ම යනු පින් පව් දෙවර්ගයට ම සාධාරණ නාමයෙකි. කර්මයෝ ඔවුන් විසින් සිදු කරන්නා වූ කෘත්‍යයන්ගේ වශයෙන් ද විපාක දෙන ආකාරයාගේ වශයෙන් ද විපාක දෙන කාලයාගේ වශයෙන් ද විපාක දෙන ස්ථානයන් ගේ වශයෙන් ද ප්‍රභේදයට පැමිණෙති.

1. කෘත්‍ය කර්ම චතුෂ්කය

ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය යි කෘත්‍ය වශයෙන් කර්මය සතර වැදෑරුම් වේ.

ජනක කර්මය

මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට උපදවන්නා වූ කුශලාකුශල කර්මය ජනක කර්මය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මය ජනක කර්ම නම් වේ. අංග සම්පූර්ණ වී බලවත් වූ කුශලාකුශලයෝ ජනක කර්ම වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නො පැමිණෙති. ප්‍ර‍තිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ, ජනක කර්මයකින් භවයෙහි උපන් සත්ත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන් ම නොදී අභාවයට යෙති.

සුගති දුර්ගතීන්ට පැමිණවීමේ ශක්තිය ඇති බොහෝ ජනකකර්ම එක් පුද්ගලයකුට ඇත්තේ ය. එයින් එක් වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයෙකි. ජනකකර්ම බොහෝ ගණනකට එකවර විපාක දීමට අවකාශයක් නැත. සත්ත්වයකු එක් එක් භවයක ජීවත් වන කාලය එක් ජනක කර්මයක විපාකය ලබමින් සිටින කාලය ය. මරණයට පැමිණීමෙන් ඒ භවය කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේ දී ඉදිරිපත් වූ ජනක කර්මයකින් සත්ත්වයා නැවත සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.

කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය

මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.

විශේෂයෙන් සැලකිය යුතු කරුණක්

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.

උපස්තම්භක කර්මය

කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් උපන් සත්ත්වයාහට ජීවත්වීමට උපකාර වන්නා වූ කුශල වූ ද අකුශල වූ ද කර්ම උපස්තම්භක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධියක් දීමට තරම් බලවත් නො වූ කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් දීමට අවස්ථාව එතෙක් නො පැමිණි ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපස්තම්භක කර්මයෝ වෙති. අකුශල කර්මයන්ගේ උපස්තම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සඳහා ජීවත් කරවීම ය. සත්ත්ව සන්තානයට පමණක් නොව කර්මයෝ කර්මයන්ට ම ද උපස්තම්භක වෙති. යම්කිසි කුශල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුයේ යහපතක් ය යනාදීන් කළ පින්කම් නැවත නැවත සිහි කොට ප්‍රීති වේ නම් කළ කුශලය ගැන සතුටුවීම් වශයෙන් පසු ව ඇති වන්නා වූ කුශල චේතනාවන්ගේ අනුග්‍ර‍හයෙන් පළමු කර්මය බලවත් වේ. පසු ව ඇති වන්නා වූ ඒ කුශල චේතනාවන්ගෙන් අනුග්‍ර‍හය ලැබූ කුශලය පළමු අල්ප විපාකයක් ඇති කරන දුබල පිනක් ව තුබුණේ ද පසුව උසස් පල දීමට සමත් කුශලයක් වේ. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය යි.

උපපීඩක කර්මය

නොයෙක් රෝග ඇති කිරීම, තනතුරුවලින් පහකිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත් වතු පාළු කිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින්වර සත්ත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධි දානයට නො සමත් දුබල කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් එතෙක් ඇති නො කළා වූ ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහු ය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසු ව බොහෝ කරන ලද්දේ නම්, පසු ව කළා වූ කුශල බලයෙන් කලින් කළ බලවත් අකුශලය දුබල වේ. පසුව කළා වූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.

උපඝාතක කර්මය

ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්ත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදි ගුණවතුන්ට කරන්නා වූ අපරාධයෝ බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. ප්‍ර‍තිසන්ධිය දෙන කල්හි ඔවුහු ම ජනක කර්මයෝ ද වෙති. ඒවායින් ද ඉතා බලවත් වූ කර්මය ම උපඝාතකත්වයකට පැමිණ සත්ත්වයාගේ ජීවිතය නසන්නේ ය. කුශල පක්ෂයේ ද උපඝාතක කර්ම ඇත්තේ ය. නරකයෙහි උපන් පසු කළ පින් සිහි වී ඉන් ච්‍යුත ව දෙව්ලොව උපදනා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් ප්‍රේතත්වයෙන් මිදී සුගතියෙහි උපදනා ප්‍රේතයන්ගේ ද වශයෙන් කුශලෝපච්ඡේදක කර්මය කිය යුතු ය. උපඝාතක කර්මයන්ගෙන් ඇතැමෙක් සත්ත්වයා නසා ජනකත්වයෙන් දෙවන ජාතියේ විපාකත්වයට පැමිණෙති. ඇතැමෙක් උපච්ඡේදනය පමණක් කෙරෙති. මරණාසන්නයේ දී සුගති දුර්ගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකය දෙන කර්මය ද කර්මයන් නසන්නා වූ උපඝාතක කර්මයකැයි කිය යුතු ය. උපච්ඡේදක කර්ම යනු ද උපඝාතක කර්මයට ම ව්‍යවහාර කරන අන් නමෙකි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.