6/22/15

1.5. පැවිදි ප්‍රශ්නය



5. එකල්හි ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ මිළිඳු රජහුගේ මාළිගයට වැඩි සේක.වැඩමකොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.ඉක්බිති මිළිඳු රජ තෙමේ සංඝයා සහිත වූ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සිය අතින් සතප්පවා, මැනවින් පවරා සෑම භික්ෂූන් වහන්සේ නමකටම සිවුරු පිණිස වස්ත්‍ර යුගලය බැගින් පිළිගන්වා ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට තුන් සිවුරු පූජා කොට මෙසේ පැවසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, භික්ෂූන් වහන්සේලා දස නමක් සමග මෙහි වැඩ සිටින සේක්වා ! අවශේෂ භික්ෂූන් වහන්සේලා වඩින සේක්වා !"

එවිට මිළිඳු රජු දන් වළඳා අවසන් වූ නාගසේනයන් වහන්සේ සමීපයෙහි එක්තරා කුඩා අසුනක් ගෙන එකත්පස්ව වාඩි විය.මිළිඳු රජ තෙමේ නාගසේනයන් වහන්සේට මෙය පැවසීය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අප කතාබස් කළ යුත්තේ කුමන කරුණක් ගැනද ?"

"මහරජාණෙනි, අපි අර්ථවත් කතාවෙන් ප්‍රයෝජන ඇති උදවිය වෙමු.එනිසා අර්ථවත් කතාබහ ඇති වේවා !" රජු මෙසේ විමසීය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුඹවහන්සේලාගේ පැවිද්දෙහි ඇති අර්ථය කුමක්ද ? නුඹවහන්සේලාගේ පරමාර්ථය කුමක්ද ?"

එවිට තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන් සේක."මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වෙයි ද, යළි අන්‍ය වූ දුකක් නූපදින්නේ ද, මහරජාණෙනි, අපගේ පැවිද්ද තිබෙන්නේ ඔය අර්ථයටයි.එනම් අපගේ පරමාර්ථය නම් කෙලෙස් රහිතව පිරිනිවන් පෑමයි."

"කිම ? ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සියල්ලෝම ඔය අරුත සඳහා පැවිදි වෙත්ද ?"

"නැත මහරජාණෙනි, කිසියම් කෙනෙක් ඔය අර්ථය සඳහා පැවිදි වෙත්.තව කෙනෙක් රජයට බියෙන් පැවිදි වෙත්.තව කෙනෙක් සොර සතුරු බියෙන් පැවිදි වෙත්.තව කෙනෙක් ණය ගෙවා ගත නොහැකිව පැවිදි වෙත්.තව කෙනෙක් ජීවිකාව පිණිස පැවිදි වෙත්.නමුත් යමෙක් මනාකොට පැවිදි වෙත් නම් ඔවුන් පැවිදි වෙන්නේ මේ අර්ථය සඳහා පමණි."

"එසේ නම් ස්වාමීනි, නුඹවහන්සේ ඔය අර්ථයෙන්ද පැවිදි වුණේ ?"

"මහාරජාණෙනි, මම කුඩා අවදියෙහි පැවිදි වූ කෙනෙක්මි.'මේ අර්ථය සඳහා පැවිදි වන්නේමි'යි යන කරුණ එකල මම නොදැන සිටියෙමි.නමුත් මෙවැනි අදහසක් මා තුළ තිබුණි.එනම් 'මේ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා ඤාණවන්තයහ.උන්වහන්සේලා මා මේ පැවිද්දෙහි හොඳින් හික්මවන්නාහුය' කියා ය.ඉතින් උන්වහන්සේලා විසින් හොඳින් හික්මවන ලද මම පැවිද්ද තිබෙන්නේ මේ අර්ථය උදෙසා බව දනිමි.දකිමි."

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

පස්වෙනි පැවිදි ප්‍රශ්නයයි.