10/23/17

තණ්හාවට ආහාරය අවිද්‍යාවයි

මම මුලින්ම මතක් කරන්න යන්නේ දුක ඇතිවෙන්නේ තණ්හාව නිසයි, තණ්හාව නැතිවුනොත් දුක නැතිවෙනවා. ඒ තණ්හාව නැතිවෙන්නේ අවිද්‍යාව නැමති වැස්ම දුරු වුනොත්. අවිද්‍යාව නැමති වැස්ම දුරු වෙන්නේ විද්‍යාව නැත්තම් සම්මා දිට්ඨි, නැත්තම් ඇත්ත ඇති හැටිය දැක්කොත්. ඒ නිසා මොකක්ද ඇත්ත ඇති හැටිය දැක්ක යුත්තේ කියන කාරණාවයි පෙන්වන්නේ. ඇත්ත ඇති හැටිය දැක්ක යුත්තේ වෙන කොහෙවත් නෙමෙයි අපි සියළු දෙනාගේ ජීවිතය මුල් කරගෙන පවතින ස්පර්ශ ආයතන හයේ. ස්පර්ශ ආයතන හය කියල කියන්නේ ඇහැට රූපයක් පෙනෙන, පෙනෙන රූපය සිහිවෙන තැන සිහි නුවණ යෙදිය යුතුයි ඇත්ත දැක්ක යුතුයි. කනට ශබ්දයක් ඇහෙන අවස්ථාවේ හා අහපු දේ සිහි කරන අවස්ථාවට ඒ වගේම නාසය-ගන්ධය, දිව-රස, කය - පොට්ඨබ්බ, මන- ධම්ම කියන මේ ආයතන පරිහරණය කරනකොට හා ඒවායෙන් ගත්ත අරමුණු සිහි කරන අවස්ථාවට ඒ අරමුණු එක්ක පවතින සැබෑම ඇත්ත ඇති හැටිය අපි දැක්ක යුතුයි. ඒ ඇත්ත දැක්කහමයි තණ්හාව නැතිවෙන්නේ.

හොඳයි අපි බලමු ඉස්සෙල්ලාම ටිකක් සම්මර්ශනය කරලා ඇහෙන් පෙනෙන රූපයක් ගැන, ඒ පෙනෙන දේ ගැන මෙනෙහි කරලා අපිට අරමුණක් ඕනේ නිසා අපි පහසු අරමුණක් ගමු. ඔබට මෙතන ඉඳල සිහිපත් කරන්න පුළුවන් තමන්ගේ අම්මා, තාත්තා, අයියා, අක්කා, දුවා, පුතා, සහෝදරයෝ නෑදැයෝ ඕනේ තරම් අය,දේවල් සිහිපත් කරන්න පුළුවන්. ඒ සිහිපත්වන අරමුණු අතර තමන්ට ඇලීමට බැඳිමට ආසාව ඇතිවීමට හේතුවෙන අරමුණු තියෙනවා වගේම තමන් කෙරෙහි අප්‍රිය අමනාප ගැටීම් ඇතිකරවන අරමුණුත් තියෙනවා. ඒ වගේ වෙලාවට මේ ප්‍රශ්නය විසදන්න තියෙන්නේ එකම එක තැනකින්. ඇලෙන අරමුණෙ ඇලෙන්නේ නැතුව ගැටෙන අරමුණෙ ගැටෙන්නේ නැතුව ඒ අරමුණෙ තතු විමසිය යුතුයි. සම්මා දිට්ඨි කියල කිව්වේ ඇත්ත දැක්ක යුතුයි. විදර්ශනා කියල කියන්නෙත් ඒක. තමන්ට මේ වගේ දැනුමක් ඇතිවුනේ කොහොමද කියන කාරණාව මෙනෙහි කලයුතුයි. ඒ අරමුණ ඇත්ත වෙලා ඒ අරමුණට උත්තර සැපෙව්වා කියල මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. අපිට දරුවා කියන එක සිහිවෙලා දරුවා කියන එක ඇත්ත වෙලා දරුවා කියන එක සිහිවුනේ මනසින්නේ ඒ මනෝ ස්පර්ශය නැතිවෙනකොට නැතිවෙනවා නේද කියල බැලුව කියල ඒ වැරැද්ද ඇති කරපු හේතුව නැතිවෙන්නේ නැහැ.

හැමවෙලාවෙම කටයුතුයි යම් දැනුමක් තමන්ට ඇතිවුනේ කොහොමද කියන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි මතක් කළා මෙහෙම ඉන්නකොට අම්මා තාත්තා,දුවා දරුවා ගෙවල් දොරවල් ගැන සිහි කල හැකියි කියල. මේ සිහින්කරන්න පුළුවන්කම අපිට ඇතිවුනේ කොහොමද, මොකක් හරි ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනෙනේ. දැන් මෙතන ඉඳල අපිට ගෙදර ඉන්න කෙනෙක් ගැන සිහි කරන්න පුළුවන්. සිහි කරලා ඇලෙන බව, ගැටෙන බව පැත්තකින් තබන්න. ඇලෙන්න ගැටෙන්න ඉස්සෙල්ලා මෙහෙම සිහි කරන්න පුළුවන්කම අපිට ඇති වුනේ කොහොමද කියන එක සෙවිය යුතුයි. එහෙම හොයන්න ගියහමයි අවිද්‍යාව නැතිවෙන්නේ, විද්‍යාව පහල වෙන්නේ. එතකොට තමයි මේ වැරැද්ද හමුවෙන්නේ. මෙතන ඉන්න ඔබට ඔබේ අම්මා සිහිවෙනවා.සමහරවිට ජීවත්වෙනවා වෙන්න පුළුවන් එහෙම නැත්තම් මිය ගිහින් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අරමුණෙ ස්වභාවය එකමයි, වැස්ම තුල යථාර්තය එකමයි.

වර්තමානයක වේවා, අතීතයක වේවා, අනාගතයක වේවා තණ්හාවට ආහරය එකම තැනක තියෙන්නේ. අම්මා සිහි වෙනකොට අම්මා ගෙදර ඉන්නවා කියල සිහිවෙන්න පුළුවන්, එහෙම නැත්තම් අනේ අම්මා මැරිලානේ කියල හිතෙන්න පුළුවන්, නැත්තම් අම්මාව බලන්න යන්න පුළුවන්නේ කියල හිතෙන්න පුළුවන් කියන අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලයකම ඔබට අම්මා හම්බ වෙයි. දැන් ඔබට අම්මා කියන අරමුණ සිහිවෙනකොට ඒ අරමුණත් එක්ක දුක් වෙන්නෙත් නැතුව සතුටු වෙන්නෙත් නැතුව අම්මව සිහිපත් කරන්න පුළුවන් දැනුමක් ඇතිවුනේ කොහොමද මට කියල විද්‍යාවෙන් යුක්ත විය යුතුයි. යම් ක්‍රමයක් තියෙන්න ඕනෙනේ මේ අම්මා කියන දැනුම ඇතිවෙන්න ඒ හේතුව සෙවිය යුතුයි. එබඳු වූ නුවණින් යුක්තව ඔබ මේ අරමුණෙ මුලට යා යුතුයි ආපහු. අම්මා කියල ජීවිතයට දැනුම එකතු වෙච්ච මුලට යා යුතුයි. අපි අම්මා කියල හිතාගෙන ඉන්න රූපය තියෙන තැනට සිහි නුවණ අරගෙන ගිහිල්ලා හොඳට ඒ රූපයේ යථාභූත ස්වභාවය හිතට පෙන්වන්න ඕනේ.

යථාභූත ස්වභාවය කියල කියන්නේ ඇත්ත ඇති හැටිය වූ දේ වූ පරිදි පෙන්වන්න ඕනේ. ඒ රූපේ තියෙනවා කෙස්. කෙස් කියන්නේ ඒ රූපේ තියෙන පඨවි ධාතු ස්වභාවයක්. පඨවි කියන්නේ තද ස්වභාවය. බාහිර ගස්වැල් වල තියෙන තද ස්වභාවය, ගලක තියෙන තද ස්වභාවය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ නෙමෙයි. ඒක ධර්මතාවයක්. එබඳු ස්වභාවයක් තමයි කෙස්, එබඳු වූ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියල පඨවි කොටස් විස්සක් ඒ ශරීරයේ තියෙනවා. හොඳට ඒ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් ටිකේ තද ලක්ෂණය හිතට අරගෙන බාහිර ධර්මයන්ගේ තියෙන ධාතුවට සම කරලා බලන්න ඕනේ. පෙන්නන්නටම ඕනේ. එතකොට තමයි ගස්වැල් වල තියෙන තද ස්වභාවය කෙනෙක් පුද්ගලයෙක් නොවෙනවා වගේ ඒ ශරීරයේ තියෙන තද ගතියෙන් යුක්ත කොටස් විස්ස කෙනෙක් නෙමෙයි.

ඊටපස්සේ ඒ රූපේ තිබුන පිත, සෙම, සැරව, ලේ, දහඩිය කියන මේ වගේ ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයෙන් යුක්ත මේ වගේ ආපෝ කොටස් දොළහක්. බාහිර ළිං වැව් පොකුණු වල තියෙන ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයට කියනවා ආපෝ කියල. අපි ජලය කියල කියනවා නමුත් ජලය කියන තැනට වඩා අපෝ කියන්නේ ගලන වැගිරෙන බැඳෙන ස්වභාවයට. ළිං වැව් පොකුණු වල තියෙන ආපෝ ඒ කියන්නේ ඇලෙන බැඳෙන වැගිරෙන ස්වභාවය පුද්ගලයෙක් සත්වයෙක් නෙමෙයි වගේ පිත ටිකක් ගත්තොත් සෙම ටිකක් ගත්තොත් සැරව ටිකක් ගත්තොත් ලේ ටිකක් ගත්තොත් කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. (මේ අහල තියෙන දේවල්මනේ කියන්නේ කියල හිතන්නේ නැතුව හොඳට අහගෙන ඉන්න). ඊටපස්සේ ඒ ශරීරයේ තියෙනවා කනබොන ආහාරපාන දිරවන, ශරීරයේ ඉන්ද්‍රීය මුහුකුරවන, ශරීරයේ පැවැත්මට උපකාරිවෙන උෂ්ණ ස්වභාවයක්. ඒ උෂ්ණ ස්වභාවයට පාලියෙන් කියන්නේ තේජෝ කියල. බාහිර හිරු රශ්මිය, ගිනි ගොඩක් හෝ පහනකින් එන රස්නයක් තියේ නම් බලන්න සත්වයෙක් පුද්ගලයෙක් නෙමෙයි. එබඳු වූ සත්ව පුද්ගල නොවන උෂ්ණ ස්වභාව, තේජෝ ස්වභාව හතරක් තමයි ඒ රූප මිටියේ තිබුනේ.

(අපි මේ විමසන්නේ අම්මා කියල දැනුම ආපු හැටි.). අම්මගේ කියල හිතන රූප මිටිය අපි මේ නුවණින් මෙනෙහි කරනවා. ඒ රූපේ තියෙනවා වායෝ කොටස් හයක්. උද්ධංගම වාතය, අධෝගම් වාතය, කුච්ඡීත වාතය, කොට්ඨාස වාතය, අංගමන්ගානුසාරි වාතය, ආස්වාස ප්‍රශ්වාස වාතය කියල මේ වායෝ ධාතුව නම් කරලා තියෙන්නේ කරන වැඩ වලින්. මළ මුත්‍ර බැහැර කරන්න උපකාරිවෙන වාතයට අධෝගම් වාතය, ඉක්කාව ඔක්කාරය එන වාතයට උද්ධංගම වාතය, කනබොන ආහාර පෙරලන්න හේතුවෙන වාතය කොට්ඨාස වාතය, බඩවැල් දරන එහාට මෙහාට කරන බඩ අතුලේ තියෙන වාතය කුච්ඡීත වාතය, අතපය දිගහරින්න හකුළුවන්න උපකාරිවෙන වාතය අංගමන්ගානුසාරි වාතය., ආශ්වාස ප්‍රශ්වාස වාතය කියල වායෝ කොටස් හයක් තියෙයි. බාහිර ගස්වැල් සොලවමින් උදුරමින් හමන සුළඟ පුද්ගලයෙක් සත්වයෙක් නොවෙනවා වගේ ඒ වායෝ කොටස් හයත් පුද්ගලයෙක් සත්වයෙක් නෙමෙයි ධර්මතාවයක්.

අපි ඒ රූප මිටිය හොඳට විමර්ශනය කලහම පඨවි ආපෝ තේජෝ වායෝ කියල කොටස් හතරක් අපිට හම්බවුනා. අවකාශ ධාතුව අහුරාගෙන රාශි වෙච්ච සතර මහා ධාතු රූප මිටිය අපේ ඇස් ඉදිරිපිටට ආවේ. ඇස් ඉදිරිපිටට රූපයක් ආවහම හැඩ සටහනක්, වර්ණ ස්වභාවයක් පෙනෙනවා කියන එක ධර්මතාවයක්. ඒ හැඩ සටහනක් වර්ණ ස්වභාවයක් පෙනෙන බවට කියනවා රූප සංඥාව කියල. ඇහැට ඔබ්බෙන් තියෙන රූපය හොඳට විමර්ශනය කලහම පංච මහා භූතයි. පඨවි ආපෝ තේජෝ වායෝ, අවකාශ කියන මේ පහ තමයි තියෙන්නේ. එබඳු වූ රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට හැඩ සටහනක් වර්ණ සටහනක් පෙනෙයි ඒකට කියනවා රූප සංඥාව කියල. මේ රූපය බඳුම සංඥාවත් අනාත්මයි. රූපය අනාත්ම නිසා සංඥාවත් අනාත්මයි. මේ පෙනෙන සංඥාවට මේ මගේ අම්මා නේද කියල හිතුවහම, මගේ අම්මගේ නම මේකයි කියල හිතුවහම ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට අපි හිතපු විස්තරයත් එක්ක අර හැඩ සටහන විඤ්ඤාණයේ අත්දැකීමට දෙනවා මේ හැඩය අම්මගේ කියන දැනුමක් අපිට ඇතිවෙනවා.

ඇස් ඉදිරිපිටට ආපු රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි, අවකාශ ධාතුව අහුරාගෙන තියෙන්නේ. එබඳු රූපයක් විතරයි ඇස් ඉදිරිපිටට එන්නේ. ඒ නිසා පෙනෙන හැඩ සටහනට කියනවා රූප සංඥාව අනාත්මයි. අනාත්මයි කියන්නේ සත්වයෙක්ගේ පුද්ගලයෙක්ගේ නොවූ ධර්මතාවයක්. ඔන්න ඇහෙන් එපිට බාහිර පුද්ගලයෙක් ඉන්නවා නෙමෙයි. ඒ සංඥාව අරඹයා අම්මා කියල හිතුවොත් එහෙම නැතිනම් ප්‍රඥප්තියක් අවශ්‍ය නැහැ කෙනෙක් පුද්ගලයෙක් කියල විදිහකින් ඊට නැඹුරු වෙලා හිත හැසිරෙව්වොත් තමන්ගේ හිත යම් විදිහකටද ඒ හැඩය එක්ක හසුරුවන්නේ ඇස් ඉදිරිපිටින් ඒ රූපය අයින් වෙනකොටම ඒ හැඩය, ඒ සංඥාව අරගෙන මනෝ විඤ්ඤාණය උපදිනවා අපේ අර හිතේ හැසිරීමත් එකතු කරලා. ඔන්න දැන් මට සිහි කරන්න පුළුවන් ඒ දැකපු දේ. දකින වෙලාවේදී ඒ පෙනෙන හැඩ සටහනට අම්මා කියල නම් හැසිරුනේ සිහි කරනකොට අම්මා කියන හැඟීමත් ඒකෙ තියෙයි. ඔබ ප්‍රඥප්තියකින් තොරව කැමැත්ත ඇතිවෙන විදිහට නම් ඒ නිමිත්තේ හැසිරුනේ ඒක සිහි කරනකොට ඒ කැමැත්තෙ ගතියත් එක්කමයි සිහි වෙන්නේ.

ඇහැට පෙනෙන රූ සටහනේ ඔබ අකමැත්තෙන් නම් හැසිරුනේ ඒ නිමිත්ත මනෝ විඤ්ඤාණයෙන් සිහි කරනකොට අකැමැති ගතියත් එක්කමයි සිහිවෙන්නේ. දැන් ඔබට අම්මා කියන දැනුමක් කැමැත්ත ඇතිවෙන්න හෝ අකැමැත්ත ඇතිවෙන්න තියෙනවා. මෙන්න මේ අම්මා කියන දැනුම ඔබට ඇතිවුනේ ඔබේම අවිද්‍යාවේ කෘත්‍යයක් හැටියට. ඔබ දන්නේ නැහැ ඇස් ඉදිරිපිටට ආපු සතර මහා ධාතු රූපයක් නිසා පහල වෙන හැඩයක් නේද, මේ අරඹයා මොන විදිහකට හෝ හිත හැසිරුවොත් ඇහැ අහකට යනකොට රූපය අහකට යනකොට මගේ හිතේ තියෙන ගති ටිකත් එකතු කරලා මනෝ විඤ්ඤාණයෙන් එහෙම නැතිනම් සිතින් ආපහු ඔසවලා ගන්නවා ඒක මගේ මනසේ තුල හැපී හැපී පවතිනවා නේද කියල ඔබ දන්නේ නැහැ. ඔන්න ඕක තමයි අවිද්‍යාව. මේ ලෝකයාට හොයාගන්න බැරි. මෙන්න මේ ස්වභාවය ඔබ නොදන්නකොට මනසෙන් සිහි වුනහම (ඇත්ත නොදන්නකමෙන් වැරදි හැසිරීම නිසානේ දැන් මනසේ සිහි වුනේ) සිහි කරනකොට ඔබ හිතන්නේ දැකපු දේයි සිහිවෙන්නේ කියල. ඊගාවට දකිනකොට හිතපු දේ ආයේ සිහිවෙනවා.

මෙන්න මේ අරමුණ ඇතිවෙන හැටි නොදන්නාකමයි තණ්හාවට ඉඩ තියෙන්නේ. ඔබ අම්මා කියල බොහෝ සෙයින් තණ්හාව ඇතිවෙන විදිහට හැසිරෙන්නේ නැහැ බාහිර තියෙන අනාත්ම වූ සතර මහා ධාතුව නිසා අනාත්ම සංඥාවක් පේන්නේ. ඒ අරඹයා මේ මගේ අම්මා නේද කියල හිතලා ඒ විදිහට හැසිරුනොත් නිමිත්ත මනසෙන් ඔසවලා අරගෙන සිහි කර කර පවතිනවා කියල දැනගත්තොත් ඔබ දන්නවා තමන්ම කෙනෙක්ව හදාගෙන කෙනෙක් එක්ක ඇලෙන ගතියක් මේ සිතේ තියෙන්නේ නේද කියල එහෙම වුනොත් ඒක දිගට යන්නේ නැහැ. නමුත් සිහි කරනකොට ඒ සිහි කරන මනසට අරමුණ ඇතිවෙච්ච හැටි නොදන්නාකම ඇතිතාක් ඔබ සිහි කරන කෙනා හෝ දේවල් සතර මහා ධාතුවට අයිති කියන අදහසයි ඔබේ තියෙන්නේ. සතර මහා ධාතු රූපය තියෙන තැනට ඔබේ මනස යොමු කරනවා. එතකොට ඔබට බාහිර ඉන්න කෙනෙක් තියෙන කෙනෙක් හම්බවෙනවා. ඒ ඉන්න කෙනා තියෙන කෙනෙක් ගැන කැමැත්ත ඇතිවෙන තාක් හිතනවා, අකැමැත්ත ඇතිවෙන තාක් හිතනවා.

මෙන්න මේ හිතීම මතයි තණ්හාව බොහෝ සෙයින් වැඩිවෙන්නේ. ඒ නිසයි දුක ඇතිවෙන්නේ. දුක ඇති කරන තණ්හාව නැමති හේතුව හැදෙන තැන දක්වා වර්ධනය වෙන්නේ අරමුණක ඇතිවෙන ස්වභාවය නොදන්නාකමයි. ඔය වූ දේ වූ විදිහට නොදැන වෙන දුක නැති කරන්න යන්න දශමයකවත් තැනක් නැහැ.වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මීට එහා සත්‍යයක් නැහැ. ඔබේ මනසේ උපදින නිමිත්තට මොන විදිහට ප්‍රතිකර්ම කලත් හරියන්නේ නැහැ. ඒකෙ ඇතිවීම බැලුවත් හරියන්නේ නැහැ, නැතිවීම බැලුවත් හරියන්නේ නැහැ, ඇතිවීම නැතිවීම දෙකම බැලුවත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ නිමිත්ත ඇත්ත වෙලා. ඒකෙන් මතක් කලේ මේ මනෝ සම්ඵස්සය නිසා හටගත්ත එකක් නේද කියල බැලුවත් වැඩක් නැහැ මනෝ සම්ඵස්සය නැතිවෙනකොට නැතිවෙනවා කියල බැලුවත් වැඩක් නැහැ අවිද්‍යාව හිඳෙන්නේ නැහැ. අවිද්‍යාව නැතිවෙන්නේ ඇලෙන අරමුණ ඇතිවුනේ කොහොමද කියන විමසීමෙන්මයි. අකැමැත්ත ඇතිවෙන, ගැටීම ඇතිවෙන අරමුණ ඇතිවුනේ කොහොමද කියන එක විමසීමෙන්මයි අවිද්‍යාව නැතිවෙන්නේ.

මතු සම්බන්ධයි...

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2017.03.18 දින බලංගොඩ දී සිදු කරනලද පළමු දේශනාව ඇසුරෙන්

සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට http://www.mediafire.com/file/13z4cd92b8h1bka/2017-03-18_Balangoda_1_Morning_Deshana.mp3


දෙවන දේශනාව ශ්‍රවනය කිරීමට http://www.mediafire.com/file/u9a630657jh593r/2017-03-18_Balangoda_2_Bhavana_Upades.mp3


තුන්වන දේශනාව ශ්‍රවණය කිරීමට http://www.mediafire.com/file/cpsbqfkygk85t6g/2017-03-15_Balangoda_Discussion.mp3