8/29/16

භාර්යා වර්ගීකරණයයි ඔවුන්ගේ චරිත ලක්‍ෂණයි


.
සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.
එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family) ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.
වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා - සොර භාර්යාව
අය්‍යසමා – ආර්ය්‍යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා - සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය
භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.
එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්‍ෂණ මෙසේය.
▬▬▬▬
1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම
▬▬▬▬
2. චෞර භාර්යාව
1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම
▬▬▬▬
3. ආර්ය්‍යා භාර්යාව
1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම
▬▬▬▬
4. මාතු භාර්යාව
1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම
▬▬▬▬
5. භගිනි භාර්යාව
1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම
▬▬▬▬
6. සඛී භාර්යාව
1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්‍රතාව රක්‍ෂා කිරීම
▬▬▬▬
7. දාසි භාර්යාව
1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්‍ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම
මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආය¸ා භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.
මෙම ලක්‍ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.
“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්‍රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.
එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්‍රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.
උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.
සත්තභරියා සූත්‍රය ඇසුරෙනි
.
මුදුන පිටුවෙනි

මේ ධර්මය තියෙන්නේ කාටද ?


මේ ධර්මය ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මේ ධර්මය තියෙන්නේ වීර්යවන්ත කෙනාට. සතිමන්ත කෙනාට. ප්‍රඥාවන්තයාට. මේ දේවල් නැති කෙනාට ඇතිකරගන්න පුළුවන්. අනේ ඕවා එකක්වත් නැහැ කියල අල්ලලා දාන්න එපා. අල්ලලා දැම්මත් කමක් නැහැ හැබැයි මතක තියාගන්න මම පැත්තකට දැම්මේ නිදුක්බව, මගේ අජරාමර බවයි පැත්තකට දැම්මේ. ධර්මය නෙමෙයි පැත්තට දැම්මේ. ගැඹුරුයි කියල පැත්තකට දැම්මේ මගේ විමුක්තිය,මගේ අජරාමර බව කියල. මගේ නිවීම කියන එක මතක තබාගන්න. ඒ හේතුවෙන් මම මගේ නිවීම පැත්තකට දැම්මා නම් අජරාමර බව පැත්තකට දැම්මා නම් මම අරගෙන තියෙනවා ජරාමරණ. එහෙනම් මම දුකට දුක යැයි නොකිය යුතුයි. එහෙනම් දුකේ නොහැඩිය යුතුයි එන්න වෙනවා . නමුත් එහෙම නොවී ඉන්න බැහැ.
මේ මනුස්ස ලෝකේ තියෙන දුකට විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දුක කියල කිව්වේ. සතර අපායේ තියෙන දුකත් එක්කයි. ප්‍රේත, ඇසුර, නිරි, තිරිසන් කියන සතර අපායේ තියෙන දුකටත් එක්කයි. මේ මනසේ තියෙන ගති ටික නිසා කර්ම කෙලෙස් ටිකේ නිරෝධයට පිලිනොපැමිණීමේ අදීනව ලෙස දුක් විඳින චරිත තමයි මේ ඔක්කොම සමස්තයක් වශයෙන් ලෝකෙම. ඇස් නැති, කන් නැති, අත් නැති , කකුල් නැති මිනිස්සු සත්වයෝ දකිනකොට මාවත් ගත්ත හැකි ඕනේ නම්. මේ රූප වල හැටි. මේ හැම රූපයකින්ම කථාවක් කියනවා. මේ රූපය මම නම් මට ගොඩක් දුක හිතෙයි. මේ රූපය මම නම් මට ලැජ්ජා හිතෙයි. නමුත් මේ සතර මහා ධාතු රූපයේ හැටි නම් මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලොන්ටත් පුළුවන් ඒ තත්වයට එන්න. මේ රූපය මම වෙනකොට මේ රූපය මගේ වෙනකොට, මේ රූපය මගේ ආත්මය වෙනකොට ඒ නිසා දුක් දොම්නස් එනවා. ශෝක පරිදේව එනවා. උහුල ගන්න බැරි වෙහෙස වේදනා එනවා.
රූපය මම නෙමයි නම්. රූපය මගේ නෙමෙයි නම්, රූපය මගේ ආත්මය නෙමෙයි නම් ඒ විමුක්තිය සැම විටම එළඹ නොසිටියත් ඒ විමුක්තිය ලබාගන්න හුරු පුරුදු වෙනවා නම් ඒ තුලින් ඇතිවෙන සැනසීම මෙන්න මෙච්චරයි කියල කියන්න බැහැ. මම මේ කියන්නේ හැම කෙනෙක්ටම පෙනෙන මානයේ සිද්ධියක් ගැන. ඕගොල්ලෝ හොදට තර්ක විතර්ක කරලා නුවණින් බැලුවොත් ඕගොල්ලෝ හැමෝටම මේ ටික උපදවා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා කියන එක මතක් කරනවා. නොතේරෙන්නේ නම් මනසේ තියෙන නීවරණ ධම්ම නිසා කියන එකත් තේරුම් අරගෙන සීලයක පිහිටලා හිත වඩමින් විදර්ශනා කරන්න. ඔය විදිහට විදර්ශනා කරනකොට සීල, සමාධි, ප්‍රඥා නිසා විමුක්තිය ලැබෙනවා. ආශ්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා. සතර මහා ධාතුව දකින කොට ඒවා අම්මා, තාත්තා , දුව, පුතා කියන ගති ටික මනසේ මිදෙනවා. මිදෙන කොට අනිමිත්ත, ශුන්‍යත, අප්පණීහිත කියන චේතෝ විමුක්ති සාක්ෂාත් වෙනවා.මිදුනාම මිදුනා කියන ඥාණ දර්ශනය ලැබෙනවා. ඒ නිසාම සළායතන නිරෝධය මේ ජීවිතේම අත්විදින්න පුළුවන්.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2016-06-22 වැනි දින මාකඳුර ශ්‍රී සරණංකරාරාමයේදී පැවැත්වූ සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ දර්ශනය කෙබදු වේද යන්න පිලිබදව පැවැත්වූ ඉතා වටිනා දේශනාව ඇසුරෙන්
සම්පුර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://www.mediafire.com/…/2016-06-22_Sri_Saranankararamaya…
දේශනාවේ වීඩියෝව නැරඹීමට
https://www.youtube.com/watch?v=MVF795a15Yw

දැන දැන ම අලජ්ජි දිශ්ශිල ශ්‍රමණයන්ට දැන් දීම අදින් අනුබල දෙන යට එයින් පාපය නොවේ ද ?


ඇතැම් ගෘහස්ථයෝ අලජ්ජි දුශ්ශීල ශ්‍ර‍මණයන් හා එක් වී ඔවුන් ගේ අලජ්ජිකම් දුසිල්කම්වලට අනුබල දෙමින් ඒ භික්ෂූන්ගෙන් ප්‍රයෝජන ලබති. පව්කම්වලට අනුබලදීමක් වශයෙන් දන් දෙන්නා වූ එබඳු ගිහියන්ට ඒ දන් දීමෙනුත් පව් සිදුවිය හැකි ය.
යමෙක් සංඝරත්නය සලකා ගෙන පින් සිදු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ භික්ෂූන්ට දන් දේ නම් ඔහුට එයින් පින් සිදු වේ.
“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා. තෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති. තදාපාහං ආනන්ද, සංඝ ගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි”
යනුවෙන් “ආනන්දය, අනාගතයෙහි ශ්‍ර‍මණ නාමය පමණක් ඇත්තා වූ කාසාවකණ්ඨක දුශ්ශීලයෝ ඇති වන්නාහ. ඔවුන්හට ද සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය, එකල්හිත් සංඝිකදානයා ගේ විපාකය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය බව කියමි” යි වදාරා ඇති බැවින් සංඝරත්නය සලකාගෙන දුශ්ශීලයන්ට වුව ද දෙන තැනැත්තාට මහා පුණ්‍ය සම්භාරයක් අත්පත්වන බව කිය යුතු ය. දුශ්ශීලයන්ගේත් ගුණ නැත්තේ නො වේ. ඔවුන් කෙරෙහි ඇත්තා වූ යම්කිසි ගුණයක් සලකා දුශ්ශීලයනට පෞද්ගලික වශයෙන් දන් දෙන්නා වූ තැනැත්තාට ද පින් මිස පාපයක් සිදු නො වන්නේ ය. පව් සිදුවන්නේ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබලදීමේ අදහසින් දන් දෙන්නා වූ තැනැත්තන්ට පමණෙකි. පින් ලැබීමේ බලාපොරොත්තුවෙන් දන් දෙන බෞද්ධයෝ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබල දීමේ අදහසින් දන් නො දෙති.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.