7/26/15

භාවනාව යනු කුමක්ද ?


බුදු දහමේ ප්‍රායෝගික හරය ගැබ්වී ඇත්තේ භාවනාවෙහිය. භාවනාව යන වචනයේ මූලික අර්ථය වැඩීම යන්නයි. එනම් සිතේ වැඩීමයි. සිත යම් අරමුණක පිහිටුවා සංවර්ධනය කිරීම මෙහි කාර්යයි.
වැඩීම යනු “භාවනා” යන පාලි වචනයේ අදහසයි. සිතේ සමාධිය හෙවත් එකඟ බව වැඩීම වේ. එය සමථ සහ විපස්සනා වශයෙන් දෙවැදෑරුම්වේ. “භාවේතිති භාවනා භාවේති ඒතායාති භාවනා” හිත හදා ගැනීම හිත වර්ධනය කර ගැනීම භාවනාව යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වන්නට බොහෝ පෙරදි භාරතය හෙවත් ඉන්දියාවේත් යවන ලෝකය හෙවත් ගී‍්‍රසියේත්, චීනයේත්, ඇතැම් බටහිර රටවලත් පැවතින. ථෙරවාද ධර්මයේ දැක්වෙන පරිදි සියලු භාවනා ක්‍රම සමථ සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදේ. සමථ භාවනා මගින් කෙලෙස් යටපත් වන අතර, ධ්‍යාන නමින් හැඳින්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල සිතේ එකඟ බව මෙහි සමාධිය වේ. නමුත් විදර්ශනා භාවනාවෙන් කෙලෙසුන් යටපත්වීමද ස¼ිදීම ද එයින් නිර්වාණය අවබෝධ කිරීමද සිදුවේ. ඇතැමෙකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් වනු ඇත්තේ ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං” සීලයෙහි පිහිටා සිතත් ප්‍රඥාවත් වැඩිය යුතුය යන දේශනාව අනුව භාවනාවේ අඩිතාලම සීලයයි. භාවනාවෙන් කෙරෙනුයේ සිත හා ප්‍රඥාව දියුණු කිරීමයි.
සීලය වැඩි දියුණු කර ගත යුතුය. සීලයෙන් භාවනාව ද භාවනාවෙන් ප්‍රඥාවද, ප්‍රඥාවෙන් සීලයද දියුණුවේ. භාවනාව මානසික වශයෙන් පමණක් නොව, මානසික හේතුන් මත ඇතිවන කායික අපහසුතාවයන් සම්බන්ධයෙන්ද සහනයක් ලබා ගත හැකි ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැකිය. තමන් කරන භාවනාව අන් හැම දෙයකටම වඩා උසස් දෙය හැටියට සලකා ගෙන ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන් ඕනෑකමින් එය කළ යුතු ය. අත්හදා බැලීමට කියා හෝ පින් සිදු කර ගැනීමට කියා හෝ සසරට පුරුදුවීමටය කියා හෝ නොව අද අදම නිවන් දකින්නට භාවනා කරමිය යන අදහසින් ම භාවනා කිරීම උතුම් දෙයකි.
භාවනාමය කුසලය වනාහී කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි.දාන සීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නොලැබීය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගයද භාවනාවමය. “චිත්තං සමෙතිති සමථො” සිත සන්සුන් කරන්නේ භාවනාවයි. සමථ භාවනාවට යොදා ගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. එය කර්මස්ථාන හෙවත් කමහටන් යැයි කියනු ලැබේ. ඒවා නම්, දස කසින (10), දස අසුභ (10), දස අනුස්සති (10), බ්‍රහ්ම විහාර, (4), චතුරාරුප්ප (4), ආහරේ පටිකුල සඤ්ඤාව, සහ චතුධාතුවවත්තානය, යන අරමුණු හතළිස කර්මස්ථාන ලෙස හැඳින්වේ.
විදර්ශනා භාවනා ක්‍රමය තුළ සප්ත විශුද්ධියක් දක්වා ඇත.
1. ශීලය විශුද්ධිය
2. චිත්ත විශුද්ධිය
3. දෘෂ්ඨි විශුද්ධිය
4. කාංක්ෂා විතරණ විශුද්ධිය
5. මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය
6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය
7. ඥාන දර්ශන විශුද්ධිය යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙන්නකි. තවද සතිපට්ඨාන සූත්‍රය භාවනාව සම්බන්ධව ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත්, සතුටුවීම් හා අසහන වලටත්, කතා වලටත්, සිතිවිලි වලටත්, බුද්ධිමය කාර්ය වලටත් එය සම්බන්ධය.
බුදුදහමට අනුව භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම, නැත්නම් සිත දියුණු කිරීමයි. නිවැරදි ශ්‍රද්ධාව තුළින්, සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වලින් සිත මුදාගෙන පිරිසුදු කර, චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන හොඳ අධිෂ්ඨානයකින් යුතුව වීර්ය වඩා ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ධර්මාවබෝධයට පත්වීම බුදුදහමේ පෙන්වා දෙන භාවනාව වේ.
තෙරුවන් සරණයි!
බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

7/21/15

සක්වල විස්තරය.....


මුලින්ම ඔබ යොදුන පිළිබද අවබෝධයක් ලබා සිටිය යුතුය.
වියත් 2 = රියන් 1
රියන් 7 = යෂ්ඨි 1
යෂ්ඨි 20 = ඉස්බ 1
ඉස්බ 80 = ගවු 1
ගවු 4 = යොදුන් 1
මිනිසාගේ ආයුෂය - මිනිසාගේ ආයුෂය නියමයක් නැත්තේය.ඒ ඒ කාල පරිච්ඡේද තුළ වෙනස් වේ.මිනිසාගේ ආයුෂය දස වර්ෂයේ පටන් අසංඛ්‍යෙ (ගැනිය නොහැකි සංඛ්‍යාවක්)දක්වා වැඩිවී නැවත දසවර්ෂය තෙක් පිරිහීමට ගතවන කාලය අන්තංකල්ප නම් වේ.
සැලකිය යුතුය - සතර අපායික සත්වයින්ගේ ආයු ප්‍රමාණ නියමයක් නැත.නරකයේ උපන් සත්වයින්ට කර්මයේ ප්‍රමාණය ආයු ප්‍රමාණය වේ.සෙසු අපායික සත්වයිනටද එසේමය.බූමාටු දෙවියන්ටද කර්මය අනුව ආයුෂය ප්‍රමාණ වේ.එහෙත් සමහර බූමාටු දෙවියන් සතියක්,අඩමසක්,මාසයක් ඇතැම්හු කල්පයක්ද සිටින්නාහ.
බඹ තලයේ සිට මනුලොවට දුර උපමා කොට දැක්වීම - අනුරපුර ලෝහ ප්‍රසාදය තරම් ශෛලමය පර්වතයක් පළමු බඹ තලයේ සිට මහපොළොවට හෙළන ලද්දේ නම් සතර මාසයකින් මිහිපිට පතිත වන බව දැක්වේ.
මහ පොළොවේ පිහිටීම - මනුෂ්‍ය,ප්‍රේත,අසුර,තිරිසන් හා අපායගාමීන්ගේ වාසස්ථානය මහ පොලොව ඝනයෙන් යොදුන් 240000 කි.මෙය 480000ක් යොදුන් ජල පොළොවෙන් උසුළා සිටී.මෙම ජල පොලොව යොදුන්
960000 ක් ඝන වා පොලොවෙන් උසුලා සිටී.ඒ වාතය උසුලා සිටින අජටාකාෂය අනන්ත අපරියන්තයි.
තල එකිනෙක පිළිබ‍ද විස්කරය මෙතැන් සිට....
මෙම සක්වල කොටස් 3කට බෙදිය හැක.ඒ නම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝකයි.කාම ලෝක 11 ක්ද රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
පඤ්චස්කන්ධය පවතී*.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.
කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.
රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.
දැන් එකිනෙක විස්තර කර ගනිමු.
දුගති භූමි 4 (සතර අපාය)- දස අකුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී(අපුණ්‍යාභි සංස්කාර).‍මුලින් කීවා සේම මොවුන්ගේ ආයුෂ
කර්මය වේ.මෙහි ප්‍රේත,අසුර,තිරිසන් කියන අපායවල් ඇත්තේ මේ මනුස්සයන් ජීවත් වන තලයේමය.තිරිසනුන් හා බොහෝ ප්‍රේතයන් ගොඩබිම ඇසුරු කරමින්ද අසුරයන් මහමුහුද ඇසුරු කරමින්ද වාසය කරයි.නමුත් මෙහි විශේෂිතම අපාය වන්නේ නිරයයි.ප්‍රධාන නරකයන් 8කි.සංජීවය,කාල සූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,
ප්‍රතාපය,අවීචිය යනු ඒවාය.ඒ සෑම නිරයක්ම වටා ඔසුපත් නිරයන් 16 බැගින් නිරයන් 128 පිහිටා ඇත.එවිට සියලුම නිරයන් ගණන 136ක් වේ.නරකයන් අතරින් පළමු නරකය වන සංජිවය පිහිටා ඇත්තේ මනුෂ්‍ය තලයේ සිට යොදුන් 15000 ක් පහළිනි.ඉන්පසු පවතින අනිකුත් නරකයන්ද එකිනෙකට යොදුන් 15000ක් පහළින් පහළට පිහිටා ඇත.
සුගති භුමි 7 = දිව්‍ය ලෝක 6 + මනුෂ්‍ය භූමිය
මේ සුගති භූමි වල උපදින්නේ දස කුසල කර්ම විපාක තුළිනි(පුණ්‍යාභි සංස්කාර).අප මුලින්ම කීවා සේ මනුෂ්‍යයාගේ ආයුෂ නම් දස වර්ෂයේ සිට
අසංඛ්‍යෙය දක්වා වේ.දිව්‍ය ලෝක සයෙහි මුල්ම දෙව් ලොව පිහිටා ඇත්තේ (චාතුර්මහා රාජිකය)මනුෂ්‍ය තලයට වඩා යොදුන් 42000 ක් ඉහළිනි.ඉන්පසු පවතින අනික් දිව්‍ය ලෝකය පිහිටා ඇත්තේ ඊටත් යොදුන් 42000ක් ඉහලිනි.එසේ සියලුම දිව්‍ය ලෝක එම දුර ප්‍රමාණයම සහිතව පිහිටා ඇත.
දැන් එකින් එක දිව්‍ය ලෝක වල ආයුෂ විමසා බලමු.
චාතුර්මහා රාජිකය - දිව්‍ය වර්ෂ 500කි.(මනුෂ්‍ය වර්ෂ 90,00000)
තාවතිංස - දිව්‍ය වර්ෂ 1000කි.(මනුෂ්‍ය වර්ෂ 3,60,00000)
යාම - දිව්‍ය වර්ෂ 2000කි. (මනුෂ්‍ය වර්ෂ 14,40,00000)
තුසිත - දිව්‍ය වර්ෂ 4000කි.(මනුෂ්‍ය වර්ෂ 57,60,00000)
නිම්මාණරති - දිව්‍ය වර්ෂ 8000කි. (මනුෂ්‍ය වර්ෂ 230,40,00000)
පරිනිම්මිත වසවත්ති - දිව්‍ය වර්ෂ 16000ති. (මනුෂ්‍ය වර්ෂ 921,60,00000)
රූප භූමි දහසය
මේවා රූපාවචර බ්‍රහ්ම ලෝක යනුවෙන්ද හදුන්වයි.(පුණ්‍යාභි සංස්කාරමය)මෙහිදි පඨම,ද්විතීය,තෘතික,චතුත්ථ යන රූප ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩූවන්ය.ඉතිරි පඥචම ධ්‍යාන භූමි පසෙහි (ශුද්ධාවාස රූප භූම් පසෙහි)උපදින්නේ අනාගාමී වූ උත්තමයන්ය.අනික් කරුණ නම් ශුද්ධාවාස බ්‍රහ්ම තල හැර අනිකුත් ධ්‍යාන තළ පරීත්ත,මධ්‍යම,ප්‍රණීත යනුවෙන් කොටස්වලට බෙදේ. ප්‍රථම ධ්‍යාන භූමිවල වල පළමු තළය වන බ්‍රහ්මපාරිසජ්ජය, පරනිම්මිත වසවර්තියට වඩා යොදුන් 5508000 ඉහලින් පිහිටා ඇත.අනිකුත් සියලු බ්‍රහ්ම ලෝකද ඒ ඒ තල වලට ඉහළින් පිහිටා ඇත්තේ ඒ දුර ප්‍රමාණය සහිතවමය.
දැන් රූප ලෝක එකිනෙකෙහි ආයුෂ විමසා බලමු.
බ්‍රහ්මපාරිසජ්ජ - අසංඛ්‍ය කල්ප 1/3
බ්‍රහ්මපුරෝහිත - අසංඛ්‍ය කල්ප 1/2
මහා බ්‍රහ්ම - අසංඛ්‍ය කල්ප 1
පරිත්තාභ - මහා කල්ප 2
අප්පමාණභ - මහා කල්ප 4
ආභස්සර - මහා කල්ප 8 (මෙම බඹ ලොවෙන් පහළ 7 වරක් ගින්නෙන් විනාශ වේ.පහළ යනු පෙර සදහන් කල ඒවාය)
පරිත්ත සුභ - මහා කල්ප 16
අප්පමාණ සුභ - මහා කල්ප 32
සුභකිණ්න - මහා කල්ප 64 (8 වෙනි වර ජලයෙන් මෙම බඹ ලොවෙන් පහළ විනාශ වේ)
වෙහප්ඵල - මහා කල්ප 500 (64 වෙනි වර මෙම ලොවින් පහළ සුළගින් විනාශ වේ)
අසඤ්ඤසත්ත - මහා කල්ප 500 (*මෙය ඒක වෝකාර භූමියක් හෙවත් එක් ස්කන්ධයක් පමණක් ඇති ලොවකි)
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක
අවීහ(ශ්‍රද්ධාදිකයෝ) - මහා කල්ප 1000
අතප්ප (වීර්යාදිකයෝ) - මහා කල්ප 2000
සුදස්ස (ස්මෘත්‍යාධිකයෝ) - මහා කල්ප 4000
සුදස්සී (සමාධි අධිකයෝ) - මහා කල්ප 8000
අකනිට්ඨ (ප්‍රඥාධිකයෝ) - මහා කල්ප 16000 (බොහෝ බුද්ධ දේශනා ශ්‍රවණය කොට මෙම අකනිටා බඹ ලොව
දක්වාම සියලුම දෙවියන් සාධුකාර දෙන බව ධර්මයෙහි ඇතැම් දේශනා වලින් ප්‍රකට වේ.නමුත් එක් බුදුවරයෙකුගේ ආඥා
චක්‍රය අප මේ කතාකරමින් සිටින සක්වල කෝටි ලක්ෂයක් පුරා පැතිර ඇත)
අරූප ලෝක
ආනෙඤ්ජාභි සංස්කාර හෙවත් අරූප ධ්‍යාන වැඩූ භාවනා කුසල කර්ම විපාක තුළින් මේවායේ උපදී.අරූප බ්‍රහ්ම තල 4කි.මේවා චතුවෝකාර භූමි ලෙස හදුන්වයි.(ඇත්තේ ස්කන්ධ 4කි)‍.අකනිට්ඨක රූප බඹ ලොවට යොදුන් 5508000 ක් ඉහළින් මෙහි පළමු අරූප ලෝකයවනආකාසානඤ්චායතනය පිහිටා ඇත.ඉන්පසු යොදුන් 5508000 බැගින් ඉහළට වන විට අනෙකුත් බඹ ලෝක හමුවේ.අපේ සක්වලෙහි ඉහලින්ම ඇත්තේ නේවසඤ්ඤානාසඤ්ඤයතන නම් අරූප ලොවයි.
දැන් මේ එක් එක් අරූප ලෝකයන්හි ආයුෂ විමසා බලමු.
ආකාසානඤ්චායතනය - මහා කල්ප 20000
විඤ්ඤාණඤ්චායතන - මහා කල්ප 40000
ආකිඤ්චඤ්ඤායතන - මහා කල්ප මහා කල්ප 60000
නේවසඤ්ඤානාසඤ්ඤයතන - මහා කල්ප 84000
‍එක් සක්වලක ඇත්තේ පෙර පැහැදිලි කල තල 31ක ප්‍රමාණය පමණි.
දැන් ඒ ඒ විශේෂිත ලෝකයන්හි කෙටි අර්ථ දැක්විමකට යොමු වෙමු.
1.අපාය භූමි - පුණ්‍ය සම්මත අය කෙරෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ.
2.සුගති - අනේකවිධ සැපත් ඇතිව යා යුතු ,ඉපදිය යුතු තැන සුගතියයි.
3.තිරිසන් - සැපයට හරස් වූ තැන බැවින්ද,සැම ඉරියව්වක්ම හරහට පැවතෙන බැවින්ද තිරිසන් නම් වේ.
4.මනුෂ්‍ය - ස්මෘතිය,ශූර භාවය,බ්‍රහ්මචර්යාවට සුදුසු බව ආදි ගුණයෙන් උසස් මනසක් ඇති බැවින්ද මනුෂ්‍ය නම් වේ.
5.චාතුර්මහා රාජිකය - සතරවරම් දෙවිවරුන්ගේ වාසස්ථාන භූමිය වූ බැවින්
6.තාවතිංස - මඝ මානවක තුමා සමග කුසල් රැස්කල තෙතිස් දෙනා උපන් භූමිය (ශක්‍ර භූමිය)
7.යාම - දුකින් ඉවත් වූවෝ යන අර්ථයෙන්
8.තුසිත - ස්වකිය සැප සම්පත් වලින් තුෂ්ඨිමක් වූවෝ යන අර්ථයෙන්
9.නිම්මාණරති - තමන් මවාගත් සම්පත්තියෙන් සතුටු වන ඇලුම් කරන යන අර්ථයෙන්
10.පරිනිම්මිත වසවත්ති - අනුන් මවා දෙන සම්පත් විදින
11.බ්‍රහ්මපාරිසජ්ජ - මහා බ්‍රහ්මයන්ගේ පිරිවර වසන
12.බ්‍රහ්මපුරෝහිත - මහා බ්‍රහ්මයන්ගේ පුරෝහිත ස්ථාන
13.මහා බ්‍රහ්ම - ප්‍රථම ධ්‍යානාදී ගුණ ප්‍රණීත ලෙස වැඩුනු බැවින්
14.පරිත්තාභ - ආභස්සර බහ්මයන්ට වඩා අඩු ආලෝක ඇති බැවින්
15.අප්පමාණභ - පරිත්තාභ බ්‍රහ්මයන්ට වඩා අප්‍රමාණ ආලෝක ඇති බැවින්
16.ආභස්සර - හාත්පස නිරතුරුවම විහිදෙන ආලෝක ඇති බැවින්
17.පරිත්ත සුභ - ඒක ඝන වූ ආලෝක උපරිතල බ්‍රහ්මයන්ට වඩා අඩු බැවින්
18.අප්පමාණ සුභ - පර්ත්තාභ සුභ වාසීන්ට වඩා ඒක ඝන ආලෝක ඇති බැවින්
19.සුභකිණ්හක - ශරීරාලෝකයෙන් අතිශයින් අකීර්ණක බැවින්
20.වෙහප්ඵල - විපුල වූ ධ්‍යනානිශංස ඇති බැවින්
21.අසඤ්ඤසත්ත - සංඥා විරාග භාවනාවෙන් නිරුද්ධ වූ චිත්ත සන්තාන ඇති බැවින්
22.සුද්ධාවාස - අනාගාමී ශුද්ධවන්තයින්ගේ වාසස්ථාන භූමි වූ බැවින්
23.අවීයහ - සුලු කලකින් ස්ථාන අත් නොහරින බැවින්
24.අතප්ප - තැවීම් කිසිත් නැති බැවින්
25.සුදස්ස - පරම සුන්දර සැප ඇති බැවින්
26.සුදස්සී - අතිශයින් පිරිසිදු දැකිම් ඇති බැවින්
27.අකනිට්ඨ - කිසිවෙකුට කනිටු නොවන බැවින්
සක්වල විභංගය අවසානයි.මෙම ලිපිය නිර්මාණය කල අපටත් කියවු ඔබටත් නිවනින්ම සදා සැනසෙන්නට හැකියාව ලැබේවා...
සාධු.....සාධු.......සාධු...