10/15/20

කසළ ගොඩක මුණින් වැටී පිරිණිවන් පෑ රහතන්වහන්සේ

 


සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ මොහොතයි.ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා.බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්.පුදුම සහගතයි.මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්.මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ.එවැනි අසිරිමත් ධර්මයක් කණ වැකුණු සැණෙකින් සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.

ඉස්සර කාලෙ බොහෝ මිනිස්සු වෙළඳාම් පිණිස නැව්වලින් මුහුදු ගමන් යනවා.සමහර අවස්ථාවන්හීදී ඒ නැව් අනතුරුවලට ලක්වෙනවා.කුණාටුවලට හසු වෙනවා.මුහුදෙ මැද ඒ නැව් බිඳෙනවා.මිනිසුන් ජල රකුසාට බිලිවෙනවා.

එක්තරා වෙළඳ පිරිසක් නැවක නැගී වෙළඳාමේ ගියා.ඒ නැව මුහුද මැද අනතුරකට බඳුන් වුණා.ඒ නැවේ එක් පුරුෂයෙක් හිටියා.ඔහුගේ නම බාහිය. බාහිය ගේ පිනකට ඔහුට කොටයක එල්ලීගන්න පුළුවන්කම ලැබුණා. දවස් කිහිපයක්ම මුහුදේ පාවෙමින් තිබුණු කොටය ගොඩ බිමකට ළඟා වුණා. කොටයේ එල්ලීගෙන ගොඩ බිමකට ඇවිදින් ජීවිතේ බේරගත්ත බාහියට ඇඟේ නූල් පොටක්වත් ඉතුරු වුණේ නැහැ. ඇඳගෙන හිටිය ඇඳුම් පවා ගැලවිලා ගිහින් තිබුණා.

ඉතින් මේ බාහිය කියන තරුණයා ඒ අසල වනාන්තරයට ඇතුළු වෙලා ගස්වල පට්ට, දර පතුරු එකතු කරලා ඇඳුමක් හදාගත්තා. කැලේ මැදින් නන්නාඳුනන ගමකට එක පාරටම ඇතුළු වෙන්න තිබුණු භය නිසාදෝ කැලේ තිබෙන අල වර්ග, පළතුරු ආදිය ආහාරයට ගනිමින් ටික කාලයක් කැලේ ජීවත් වුණා.

යම් යම් කටයුතු සඳහා වනාන්තරයට ඇතුළුවන මිනිස්සු බාහියව දැකලා, දර පතුරුවලින් ඇඳුමක් හදාගෙන වනාන්තරයට වෙලා හුදෙකලාව ජීවත් වන මේ පුද්ගලයා නම්, සාමාන්‍ය කෙනෙක් නොවෙයි, රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා දාන මාන රැගෙන විත් පුද සත්කාර කරන්න පටන් ගත්තා. ඔය අතරේ දර පතුරු ඇඳගෙන හිටපු බාහිය දාරුචීරියටත් හිතුනා, මේ ලෝකයේ රහතුන් වැඩ සිටිනවා නම්, මමත් ඒ අය අතර එක්කෙනෙක් වෙන්න ඇති කියලා. වංචනික ලෙස රහතන් වහන්සේ නමක හැටියට බොරුවට රඟපාමින් මිනිසුන් මුළා කරන්න පටන් ගත්තා.

බාහිය දාරුචීරියට අනුකම්පා කරපු එක්තරා දෙවි කෙනෙක් දාරුචීරිය ඉදිරියේ පෙනී සිට කියා හිටියා, “බාහිය නුඹ රහත් ;කනෙක් නෙවෙයි. නුඹ රහත් වන මාර්ගයටවත් පැමිණිච්ච කෙනෙක් නොවෙයි” කියලා. අන්න ඒ වෙලාවේදී කම්පාවට පත්වෙච්ච බාහිය දාරුචීරිය, “මේ ලෝකයේ රහතන් වහන්සේලා වැඩ සිටිනවා ද? උන්වහන්සේලා වැඩසිටින්නේ කොහේ ද? “ කියලා ඇහුවා. ඒ දෙවි කෙනා දාරුචීරියට පිළිතුරු දුන්නා, “බාහිය, රහතුන් පමණක් නෙවෙයි, රහත් වන මාර්ගයත් ලෝකයට පෙන්වලා දෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් දැන් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ වැඩ සිටින්නේ, උතුරු ජනපදයේ සැවැත් නුවර කියන නගරයේ. අන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කොට අරහත්වයට පත්වීම පිණිස ධර්මය දේශනා කරනවා” කියලා.

මේ පණිවිඩය ඇහුණට පස්සේ බාහිය දාරුචීරියට ඉවසුම් නැතිව ගියා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සුප්පාරක පටුන කියන ප්‍රදේශයේ ඉඳන් උතුරු ප්‍රදේශයේ සැවැත්නුවර දක්වා කිලෝ මීටර් දහසකටත් වඩා වැඩි දුරක් පයින් දුවන්න පටන් ගත්තා. දවස් ගණනක් දුවගෙන දුවගෙන සැවැත්නුවර හොයාගෙන බාහිය දාරුචීරිය ජේතවනාරාමයට පැමිණියා. එදා උදෑසන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සැවැත්නුවර ජේතවනාරාමයේ එළිමහන් භූමියේ සක්මන් කරමින් සිටියා. දුවගෙන දුවගෙන ආපු බාහිය දාරුචීරිය. “අනේ ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටිනව ද? උන්වහන්සේ වැඩසිටින්නේ කොහේ ද?” කියලා ඇහුවා.

ඒ වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස නගරයට වැඩම කරලයි හිටියේ. ඒ බව දැනගත්ත බාහිය, නගරයේ වීදියක්, වීදියක් පාසා බුදුරජාණන් වහන්සේව සොයමින් දුවගෙන ගියා. සොයමින් යද්දි ශාන්ත ඉඳුරන්ගෙන් යුතුව පාත්‍රයක් අතින් දරාගෙන පිණ්ඩපාතය වඩින බුදුරජාණන් වහන්සේව දකින්නට ලැබුණා. දුටු සැණින් දාරුචීරිය හඳුනගත්තා, මේ නම් ඒකාන්තයෙන්ම නිවන් මඟ පෙන්වා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේම තමයි කියලා.

මහ මඟ විවර වූ දහම් ගඟ...

බාහිය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා පාමුල වැඳ වැටී, “අනේ ස්වාමීනි, මට බොහෝ කාලයක් හිත සුව පිණිස ධර්මය දේශනා කරන සේක්වා! සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා!” කියල ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරියට වදාළා, “බාහිය, මේ පිණ්ඩපාතය කරන වෙලාවයි. බණ කියන වෙලාව නොවෙයි. ටිකක් ඉවසලා ඉන්න” කියලා. එතකොට පින්වතුනි, දාරුචීරිය කියනවා, “අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ජීවිතයට අනතුරක් වෙයි ද කවුද දන්නේ?, මගේ ජීවිතයට අනතුරක් වෙයිද කවුද දන්නේ? ඒ නිසා මට අවබෝධය පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන සේක්වා!” කියලා. දෙවැනි වතාවෙදීත් බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය මේ බණ කියන වෙලාව නෙවෙයි, තථාගතයන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාව යි” කියලා. දාරුචීරිය, තුන්වන වතාවෙදීත් ඒ විදිහටම පෙරැත්ත කරමින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන්න කියල ඉල්ලා හිටියා.

තුන්වැනි වතාවෙදි බුදුරජාණන් වහන්සේ දාරුචීරියගේ කර්මයේ ස්වභාවය ගැනත් ධර්මය අවබෝධ කිරීමේ හේතු සම්පත් ගැනත් බුදු නුවණින් විමසලා බැලුවා. බාහිය දාරුචීරියට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික වෙලාවයි. නමුත් ඔහුට කෙටියෙන් ධර්මය පැවසුවත්, ඒ ධර්මය විස්තරාත්මකව අවබෝධ කරගැනීමට තරම් කුසලතාවයක් ඇති කෙනෙක්. පිණ්ඩපාතය වඩින අතරතුර පාත්තරය අතේ දරාගෙන තමන් ඉදිරියේ වැඳ වැටී සිටින දාරුචීරියට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මය දේශනා කළා.

සංක්‍ෂිප්ත කොට වදාළ නිවන් මඟ...

බුදුරජාණන් වහන්සේ වදාළා, බාහිය, ඔබ මේ විදිහට හික්මෙන්න ඕන. “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤානෙ විඤ්ඤානමත්තං භවිස්සතී’ති”

“දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි, සිතුවොත් සිතුවා පමණයි” කියලා.

දැක්කොත් දැක්කා පමණයි කියන්නේ, ඇසින් දකින රූප මුල් වෙලා රාග, ද්වේෂ , මෝහ ආදී කෙලෙස් හටගන්න පුළුවන්. කෙලෙස් හටගන්න රූපයන්ගේ නිමිති සටහන් හෝ නිමිත්තක කොටසක් හෝ මතක තියාගෙන අයෝනි සෝ මනසිකාරයන් සිහිකිරීම තුළ තමයි, යළි යළිත් සිත තුළ කෙලෙස් ඇතිවෙන්නෙ. සම්පජානයෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණකින් කටයුතු කරන ශ්‍රාවකයෙකු හට ඇසින් රූපයක් දැක්කට පස්සේ කෙලෙස් හටගන්න නිමිති සටහන් මතක තියාගන්නෙ නැතුව,”දැක්කොත් දැක්කා පමණයි” කියලා ඒ ඒ තැනම සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම තමයි, පි‍්‍රය මනාප කෙලෙස් හටගන්න ශබ්දයක් කනින් ඇසුණට පස්සේ එහි නිමිති සටහන් මතක තබාගෙන අයෝනි සෝමනසිකාරයෙන් යුතුව සිහිකිරීම නිසා සිත තුළ නූපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වර්ධනය වෙනවා. කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් වාසය කරන ආර්ය ශ්‍රාවකයෙකුට “ඇසුණොත් ඇසුණා පමණ යි” කියලා සම්පජාන විදර්ශනාව තුළින් ඒ ඒ තැනම කනින් අසන ශබ්ද හරහා සිත තුළ ඇතිවිය හැකි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්.

ආයතන හය ඉදිරිපිට සිහිනුවණ...

නාසයට දැනෙන ගඳ සුවඳ හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. දිවට දැනෙන රසය හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. කයට දැනෙන පහස හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියාගන්නවා. අයෝනි සෝමනසිකාරයෙන් යුතුව, එම නිමිති සටහන් සිහිකිරීම නිසා නූපන් කෙලෙස් සිත තුළ උපදිනවා. උපන්නා වූ කෙලෙස් ඇත්නම් ඒවා තව තවත් වර්ධනය වෙනවා. “දැනුණොත් දැනුණා පමණ යි” කියලා නාසයට දැනෙන ගද, සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ආදිය හරහා සිතට ඇතුළු විය හැකි කෙලෙස් සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව ඒ ඒ තැනම ප්‍රහාණය කරන්න පුළුවන්.

ඒ වගේම තමයි, කෙලෙස් හටගන්න සිතුවිලි අපි සිතින් සිත සිතා, කොයිතරම් නම් නූපන් කෙලෙස් සිත තුළ උපද්දව ගන්නවා ද? උපන්නා වූ කෙලෙස් කොයිතරම් නම් අපේ සිත තුළ අයෝනි සෝමනසිකාරයෙන් යුතුව වර්ධනය කරගන්නවා ද? “සිතුවොත් සිතුවා පමණයි” කියලා සිතේ හටගන්න සිතුවිලි මුල් කරගෙන සිත තුළ කෙලෙස් ඇතිවෙන්න ඉඩ නොදී කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සම්පජාන විදර්ශනාවෙන් වාසය කිරීම තුළ සිතේ හටගන්න යම් අකුසල ධර්මයන් ඇද්ද, ඒවා ඒ ඒ මොහොතේදී ම ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

නොපිහිටි විඤ්ඤාණය නිරුද්ධ වීම...

බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය ඔබ “දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි,සිතුවොත් සිතුවා පමණයි” කියලා. ඒ ඒ මොහොතේදී ම ඔබේ හිතේ හටගන්නා ළාමක අකුසල ධර්මයන් සියල්ල ප්‍රහාණය කළොත්, තතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ එතන බැඳී නැත. යතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ වෙන තැනක ද බැඳී නැත. තතො Àවං බාහිය තත්‍ථ,යතො ත්වං බාහියන තත්‍ථ, තතො Àවං බාහිය තෙවිධ, න හුරං, න උභයමනතරෙ එසෙවනෙතා, දුක්ඛස්සා ති” බාහිය, ඔබ එතැන බැඳිල නැත්නම්, වෙන තැනකද බැඳිල නැත්නම්, ඒ අතර ද ඔබ බැඳිල නැහැ. එවිට ඔබ මෙලොව පරලොව කිසි තැනක නොපිහිටි සිතින් යුතුව සියලු දුක් කෙළවර කරනවා කියලා.

මෙන්න මේ ආකාරයට කෙටියෙන් ධර්මය දේශනා කර බුදුරජාණන් වහන්සේ පාත්තරේ අතැ’තිව පිණ්ඩපාතය පිණිස ඉදිරියට වැඩම කළා. බාහිය දාරුචීරිය මහ පාර අයිනේ දණ ගහගෙන ඒ ධර්මය නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය හා ගළපා බලමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අරහත්වයට පත්වුණා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි බව ලබාදෙන සේක්වා!"

"පින්වත් බාහිය, පැවිදි වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු තියෙනවාද?"

"ස්වාමීනි, මං එහෙනම් පාත්‍රා සිවුරු සොයාගෙන එන්නම්" කියලා බාහිය දාරුචීරිය රහතන් වහන්සේ පිටත් වුණා.බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩියා.

බාහිය දාරුචීරිය රහතන් වහන්සේට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ.යක්ෂාවේශ වූ එක්තරා ගවදෙනක් උන්වහන්සේ පිටුපසින් වේගයෙන් දුවගෙන ඇවිත් ඇනගෙන ගියා.උන්වහන්සේ එතනම වැටුණා.සසරේ සියලු දුක් නිමා කොට පිරිනිවන් පෑවා.

බුදුරජාණන් වහන්සේට මේ බාහිය දාරුචීරියගේ හදිසි අනතුර ගැන සැලවුණා.උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග ඒ ස්ථානය වැඩම කළා.බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ මෘත ශරීරය කසළ ගොඩක් අසළ මුණින් අතට පෙරළී තිබුණා.

"පින්වත් මහණෙනි, මේ සිරුර ඇඳකට නංවා ගන්න.නගරයෙන් බැහැරට ගෙන ගොස් ආදාහනය කරන්න.ඒ අළු තැන්පත් කොට ස්ථූපයක් හදන්න."

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ මෘත ශරීරය රැගෙන ගොස් ආදාහනය කළා.කුඩා ස්ථූපයක් තැනුවා.මල් පූජා කළා.බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්.අද තමයි එයා මෙහෙ ආවේ.සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමග සුළු වෙලාවක් මොහු කතා කළ බව.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?"

"පින්වත් මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුටයි අයිති වුණේ.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ.සැණෙකින් ධර්මය අවබෝධ කළා.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය තමයි වහා ධර්මාවබෝධ කළ මාගේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ."

භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් වුණා."අද උදේ තමයි මොහු ඉතා දුර බැහැර සිට සැවැත් නුවරට ආවේ.හරි පුදුමයි.කොයි වෙලාවෙද මොහු බණ ඇහුවේ...? අපි දැක්කේ නෑ....හැබැයි සමහර භික්ෂූන් දැක තියෙනවා මොහු පාරේ වඩින භාග්‍යවතුන් වහනේ ළඟ වැඳ වැටී සුළු මොහොතක් කතා කරන අයුරු.එතකොට ඒ සුළු වෙලාවෙදි අරහත්වයට පත්වීමට තරම් ධර්මයක් කොහොමද මොහු ඇහුවේ?"

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

සහස්සම්පි චේ ගාථා - අනත්ථපදසංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

දහසක් ගාථා කිව්වත් හැඩකොට
පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් ගාථාවක් මැනවින් ඇසුවිට
අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා විට එලෙසට
උතුම්ය එක් ගාථාවක් එම

ධම්ම පදයේ තිබෙන සෑම ගාථාවකම ඒ උතුම් බව තියෙනවා. කොතරම් ලස්සනට ගාථා හැදුවත්, කොතරම් මිහිරි හඬින් ඒවා ගායනා කළත්, අර්ථයක් නැත්නම් ඒ ගාථාවලින් පලක් නෑ.බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවල ජීවිතය අවබෝධ කරවීමේ හැකියාව තියෙනවා.ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරා ගාථාවල ඇති වටිනාකම පෙන්වා දුන්නා.එය ඇසූ බොහෝ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වුණා.

10/13/20

ඔබවහන්සේගේ ධර්මය මට සරලව කියා දෙන්න



මානවකය : බුදු හිමියනි. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

මානවකය : ඔව්, ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඔව්. ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඉන්නවනේ හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

මානවකය : එසේය හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

මානවකය : ඔවුනේ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

මානවකය : නෑ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

ඔබට දැන් වැටහුනා නේද .... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්.. ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්
අතර වෙනසක් නැත්තේමය....

7/28/20

දිව්‍යමය අසපුව අතහැර යාම.


මෙසේ එදින රාත්රිය පුරාවට තමා විසින් කරන ලද අභිණික්මන ගැන සිතමින්, සියලු පහසුකමින් යුතු වූ ගෘහයකට කොටුවීම සත්ය ගවේෂණයට පළිබෝධයක් ලෙස සිතා පාන්දර යාමයේම ඒ අසපුවෙන් නික්මෙන්නට තීරණය කරනු ලැබුවා. තපස් පිරිකර ද රැගෙන එළියට පැමිණි සුමේධ තාපස තුමා තවුතිසා පුෂ්පයෙන් එලිය කල ඒ කුඩා මාවත ඔස්සේ අසපුව හැරදා වනය තුලට පියමැන්නේ තවත් පියවරක් ඉදිරියට තබමින්.
එදින පාන්දර යාමයේ ඉතා හොඳින් වැඩුණු රුක්මුලක් හමුවී විඩා නිවීම සඳහා එහි නතර වුවා. එවිටම සංසාරයේ බොහෝකල් නිවන් මග සොයා ගිය කල පිහිට වූ සෙවන දුන් ඒ ඒ වෘක්ෂයන්ගේ පොදු ආනිසංස දහයක් මතකයට එන්නට පටන් ගත්තා. එය මෙලෙසයි.

🌼 දශ ආනිශංසයෙන් යුතු රුක් මුල.

1. සුළු ඇරඹුමක් පමණක් ඇති බව එකකි. ( රුක් මුල වෙත් පැමිණීම පමණකි.)
2. සම වුවද අසම වුවද පරිභෝගයට සුදුසුය.
3. අනුන් විසින් නැගිට විය නොහැකි බව තෙවැන්නැයි.
4. තම වරද සැඟවිය නොහැකි බව සිව් වැන්නයි.
5. රුක්මුලදී එළිමහනේ මෙන් කය රූක්ෂ නොවේ. මෙය පස්වැන්නයි.
6. මමත්වය අල්ලා නොගන්නා බව සයවෙනි ගුණයයි.
7. ගෙවල් පිළිබඳව ආලය අත්හැරීම හත්වෙනි ගුණයයි.
8. බොහෝ දෙනෙකුට සාධාරණ වූ ගෘහයේ මෙන් ප්රතිසංස්කරණයක් නැතිවීම අටවෙනි ගුණයයි.
9. රුක්මුල වඩන්නාට ප්රීති සහිතව විසිය හැකි බව නව වැන්නයි.
10. රුක්මුල් සෙනසුන් හි ගිය ගිය සැම තැන එක හා සමාන සුලං සෙවන සනීපය නිසා එක් රුක් මුලක් ගැන පමණක්ම අපේක්ෂාවාක නැති බව දශ වැනි ආනිශංසයයි.

🌼 පිණ්ඩපාතය සඳහා ග්රාමයට පැමිණීම.

ඉන් අනතුරුව දහවල් පිණ්ඩපාතය උදෙසා මිනිස් වාසයක් කරා සෙමින් සෙමින් පියමැන්නා. ඒ වනවිටත් දීපංකර බුදුරජාණන් වහන්සේගේ ලොව පහල වීම ආසන්නයටම පැමිණි සිටියේ. ඒ නිසාම නිවන් සොයා යන්නන් ගෙන් සියලු ගම් දනවු පිරී පැවතුනා. එහෙයින්ම සුමේධ තවුසාගේ පැමිණීමද ඒ ග්රාමයට අලුත් දෙයක් වුයෙන් නැහැ. ඔවුන් හැකි උපරිම අයුරින් ඉමහත් වූ ශ්රද්ධාවෙන් ඔහුට දානය පිළිගන්වනු ලැබුවා.

🌼 ස්වයංජාත ඵලයන්ගේ ගුණ දැක පිණ්ඩපාතය අතහැරීම.

ඒ ප්රණීත ආහාර රැගෙන නැවතත් රුක්මුල වෙතට පැමිණි බෝධිසත්වයන් නැවතත් වහන්සේ මෙලෙස සිතන්නට වුනා. මම අහාර ලැබීම සඳහා පැවිදි වුවෙකු නම් නොවේ. මෙම ප්රණීත අහාර මානය හා පුරුෂ මදය වඩවයි. අහාරය මුල් කොටගෙන ඇතිවෙන දුක්වලද කෙළවරක් නැත. මම මින් ඉදිරියට සියලුම වැපුරූ ධාන්ය හා පැල සිටවූ ධාන්ය අත හැර හෙට සිටම කැලයේම ඇති ස්වයං ජාත ඵල අනුභවයෙන් ජීවත් වනවානම් කොතරම් හොඳද? ඔන්න වෝය ලෙසයි අප මහා බෝසතුන් ඒ රාජ මාළිගාවත් දිව්ය මාළිගාවත් පිණ්ඩපාත දානයත් අතහැරියේ.
🌼 පිඬු සිඟා වැඩීමෙන් ලද ප්රණීත අහාර ප්රත්යවේක්ෂාවෙන් යුතුව වැළඳු සුමේධ තවුසාණන් ඒ ශාන්ත පරිසරයේ වූ රුක්ෂ මුලයක වැඩ සිටිමින් එතැන් පටන් වැපුරූ හෝ සිටවන ලද පැල වලින් හට ගන්නා අහාර අතහැර කැලයේම ඇති වූ විවිධ අනිසංසයන්ස්වගෙන් යුතු සවයංපතිත ඵලවැල වළඳමින් මෙම සසරින් මිදෙන අයුරු සොයමින් ප්රධාන විර්යය කරන්නට වුනා. මෙසේ භාවයනායෝගිව සිත වැඩීමෙන් දින සතක් ඇතුළත ධ්යාන අෂ්ඨ සමාපත්ති සහ පංඤ්ච අභිඤ්ඤා ඉපදවා ගන්නට සමත්වුනා.

🌼 සුමේධ තාපසයෝ මෙසේ අෂ්ඨ සමාපත්ති , පංඤ්ච අභිඤ්ඤා බල ලබාගෙන සමවත් සුවෙන් කල්ගත කරන කල්හි දීපංකර බුදුරජාණෝ ලොව පහල වුනා. ඒ බුදු රජුන්ගේ පිළිසිඳ ගැනීම, ඉපදීම, බුදුබවට පත්වීම, දම්සක් පැවැත්වීම යන අවස්ථා වලදී දස දහසක් සක්වළ කම්පා වන්නටත් වෙවුලන්නටත් විය. මහා හඬින් ශබ්ද නැගීය. එසේම දෙතිස් පෙරනිමිති පහළවිය. එහෙත් සුමේධ තවුසාණන් සමවත් සුවෙන් සිටි හෙයින් ඒ ශබ්ද නො ඇසූහ. ඒ පෙර නිමිතිද නුදුටුහ.

  දෙතිස් පෙර නිමිති

01. දසදහසක් සක්වළ කම්පිත ප්රකම්පිත වේ.
02. දසදහසක් සක්වළ දෙවියෝ එදින එක් සක්වළකට රැස්වේ.
03. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරුණේ ය.
04. සිර කරනු ලැබූ සියලු සත්වයෝ විලංගු, සිරගෙවල් ආදියෙන් මිදුණාහ.
05. අධි ශීත, අධි උෂ්ණ සම වේ.
06. සුළං කුණාටු ඇති නොවේ.
07. ගංගාවෝ ගලා නොයත්.
08. එකනෙහිම සියලු ගොඩ දිය පිපෙන මල් පිපේ.
09. තුරු ලිය ඵල බර වේ.
10.අකාස ගත වුද පොළවෙහි වුද සියලු රුවන් දිළිසේ.
11. මිනිස් හා දීව්ය තුර්ය භාණ්ඩ ඉබේ එකවර වාදනය වේ.
12. නා නා වර්ණ මල් වරුසා අහසින් වසී.
13. මහා මුහුදු රළ සංසිදී ලුණු රස පහවගොස් මිහිරි රැසක් ඇතිවේ.
14. පහන් සිත් ඇති දෙවිවරු සිය දිව්ය විමන්වල නැටුහ. ගැයුහ. වැයුහ. කොඩිදැමුහ. ඔවුහු ක්රීඩා කළහ. එකෙනෙහිම මහකවුළු දොර තෙමේම විවරවිය.
15. නිරයවල ගිනි නිවේ.
16. බුද්ධාන්තරයකුත් දියත්තක් නොලත් ප්රේත ලෝකයෙහි පිපාසය
පහවේ.
17. හිරු දීප්තිමත්ව බබලයි. සියලු තාරකාවෝ පෙනෙති.
18. වැසි නො වැසම පොළොවෙන් ජල දහර උඩට නගී.
19. තරු සමූහය සමග නැකත් තරු අහසේ බබළයි.
18. සඳ විසාවේ නැකත් හා යෙදේ.
20. පෘථිවියේ ගුහාවල වාසය කරන සත්වයෝ එකවර නික්මෙති.
21. සියලු සත්වයන්ගේ උකටලී බව නැති වී සතුටු වුවන් වේ.
22. උපතින්ම අන්දවුවන් හට පෙනීම ලැබුණි. බිහිරෝ ශබ්ද ඇසුහ. මානසික
අභාධිතයනට සිහි එළඹුණි. කොර වුවෝ පයින් ගමන්කළහ.
23. සියලු සත්වයන්ගේ රෝග හා සාගිනි දුරුවේ.
24. සියලු බය දුරුවේ.
25. දුහුවිලි ඉහළට නොනැගේ.
26. අමිහිරි සුවඳ නැති වී මිහිරි සුවඳ හමා යයි.
27. එකෙනෙහිම අරූපී බඹුන් හැර සියලු දෙවු බඹුන් පෙනේ.
28. සියලු නිරය මිනිසුන්ට පෙනේ.
29. අධික දුකින්ද මහත් අඳුරින්ද ගහණ වූ ලෝකාන්තර නිරයේ මහත් විපුල
ආලෝකයක් උපදී.
30. බිත්ති ජනෙල් පර්වත අනාවරණය වී අහස මෙන් විය.
31. නිත්ය වෛරී සත්වයෝ පරම මෛත්රී සිත් ලැබුහ. කවුඩු බකමුහුණෝ එක්ව හැසුරුණහ. විසඝෝර සත්තු මුගටින් හා සමග ක්රීඩා කළහ.ගෙවලමියෝ බළලුන් හා සෙල්ලම් කළහ.
32. එක්ෂන්යෙහි සත්වයන් චුති ප්රතිසන්ධි නොවේ.

දෙතිස් පෙර නිමිති පහළවීමට හේතු.

එහි දසදහසක් සක්වළ එක පැහැර කම්පා වීම සර්වඥතාඥාන ප්රතිවේධයට පෙරනිමිත්ත ය. අන්ධයෝ රූප දැකීම දිවැස් ලැබීමට පෙරනිමිත්ත ය. බිහිරෝ ශබ්ද ඇසීම දිවකන ලැබීමට පෙරනිමිත්ත ය. සිහිමුළා වූවෝ සිහි ලැබීම සතිපට්ඨාන ප්රතිලාභයට පෙරනිමිත්ත ය. පිල්ලු පයින් ගමන් කිරීම සතර ඍද්ධිපාද ප්රතිලාභයට පෙරනිමිත්ත ය. බැමි ඉබේම සිඳී යෑම අස්මිමාන ඡේදයට ද, ගෝර නිරාගිනි නිවී යෑම එකොළොස් කෙලෙස් ගිනි නිවීමට ද, තිරිසනුන්ට කිසි බියක් නො වීම සිව්බඹ විහරණ ප්රතිලාභයට ද, සියලු රෝග ඉබේම පහව යෑම සිව්සස් ලාභයට ද, තූර්ය්ය භාණ්ඩයෝ තමතමන් ම නාද පැවැත්වීම දහම් බෙර ඇසීමට ද, දසදිසාවෝ පහන් වීම විමුක්ති සුවයෙන් සුවපත් වීමට ද, සිසිල් සුළං හැමීම දෙසැටක් මිත්යාදෘෂ්ටි නැති කිරීමට ද, නො කල් වැසි වැසීම මහා ධර්ම වර්ෂාවට ද, පක්ෂීන් තුටුපහටු ව පොළොවට බැස සිටීම අවවාද අසා මහජනයාගේ දිවිහිමි කොටැති සරණාගමනයට ද, ගංගාවන්හි ජලය නිසල වීම චතුවිශාරද ඤාණ ලැබීමට ද, සාගරයේ කරදිය ජලය මිරිදිය වීම නිවන් එකම රසයෙන් යුක්ත වීමට ද, ගස්වැල්හි මල් පිපීම විමුක්ති කුසුමින් යුක්ත බවට ද, අහසේ දිව්ය තූර්ය්ය නාද වලින් නාද වීම බුදුව උදන් ඇනීමට ද, සියලු දසදහසක් ලෝක ධාතුව අතිශයින් සෞභාග්යමත් වීම ආර්ය්ය සෞභාග්යයක් ඇති බවට ද පෙරනිමිති ය. සෙසු විශේෂතා සෙසු බුදුගුණ ලැබීමට පෙරනිමිති ද වේ.

7/25/20

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා


ගිහිගෙයි දොස් දැකීම.

 

මගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත් මරණයෙන් මෙලොව හැර යාමේදී කිසිවක් ගෙනයාමට නොහැකි වී තියනවා. සියල්ලම අතහැර ගිහින්. එසේනම් මෙම ධනය රැස් කිරීමේ සුරැකීමේ ඵලය කුමක්ද? ඒ සඳහා වැය කරන කාලය මරණයත් හා සමග ගෙනයාහැකි ධනයක් රැස් කිරීමට යොදවන්න ඕනේ. ඒ විතරක් නෙවි. මෙම ජීවිතය ඉපදීම ලෙඩවීම වයසට යාම, මරණය යන මේ උවදුරන් ස්වභාව කොට ගත්තක්. එසේනම් මෙය පිටුදැකිය හැකි ධර්මයක් වේද එය සොයා යා යුතයි. හරියටම එය මේ වගේ දෙයක්. දුක තිබේනම් එයට ප්රතිපක්ෂව සැප තියනවා වගේ උණුසුම ඇති කල්හි සීතල ද ඇති සේ, පාපය ඇති කල්හි කුසලයද ඇති සේ මේ සියලු දුක් ගෙනදෙන ඉපදීමක් ඇත්ද එයට ප්රතිපක්ෂව සියලු දුකින් තොර නොඉපදිමක්ද, නිවනක්ද තිබිය යුතුම බවයි.

 

එසේම අසුචියෙන් ගිලුණු මිනිසෙකු පිරිසිදු ජලාශයක් දැක වත පිරිසිදු කර ගැනීමට එහි නොයන්නේ නම් එය ජලාශයේ දෝෂයක් නොව ඔහුගේම දෝෂයක් වන්නාසේම, රෝගී වූ මිනිසෙකු ඒ රෝගය සුවකලහැකි වෛද්යවරයා වෙත නොයන්නේනම් ඒ වෛද්ය වරයාගේ වරදක් නොව ඔහුගේම වරදක් සේම, කෙළෙස් රෝග දුකින් පෙළෙන පුරුෂයා ඒ රෝග දුකින් මිදෙන නිවන් මග දක්වන ගුරුවරයා වෙත නොයන්නේනම් එය ගුරුවරයාගේ වරදක් නොවන බව සිතා මෙලෙස නොයෙක් උපමා උපමෙයන් සිහියට නගමින් සිත සකසා ගනිමින් ඒ මහා නෙක්කම්ම නික්ම යාමට තීරණය කරනු ලැබුවා.

 

ගිහිගෙයින් නික්මීම.

 

මෙසේ සිතමින් සියලු වස්තුකාමයන්ද රාගාදී ක්ලේශ කාමයන්ද අතහරිමින් ඔහුටවත් සිතා ගැනීමට බැරි තමා සතු ප්රමාණ කල නොහැකි අපමණ ධන සම්පත් දුගී මගී යාචකයනට දන් දෙන්නට නියම කොට ඒ මනරම් අමරවතී නුවරටත්, මාළිගාවටත් සමුදුන්නා. ඒ ගෝෂාකාරී අමරවතී නුවරට සමු දී හිමවත පාමුල ඇති ධම්මික නම් පර්වතයට පිය නගන්න වුනා. මෙතෙක් කලක් අතට පයට ලැබුණු සියලුම සත්කාර වෙනුවට තමා විසින්ම සියල්ල සපයාගත යුතු බව මතක් වෙන්නත් ඇති. එහෙත් දුක කෙලවර කිරීමේ සතුට ඒ සියලු අභියෝගයන් ඉවතලන්නත් ඇති. දැන් ඔබට පෙන්න ඕනේ බෝසත්වරයෙකුගේ සෑම ආත්ම භවයක ම දස පාරමිතා එකක් නොව දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා ආදී වශයෙන් සියල්ලම වගේ වැඩෙන ආකාරය.

 

සක්දෙවිඳුගේ අසුන රත්වීම සහ මනරම් අරන්යයක් මැවීම.

 

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී ශක්ර දෙවිඳුගේ ආසනය උණුසුම් වන්නට වුනා. ඒ ඇයිදැයි විමසා බලද්දී තමයි සුමේද කුමාරයාගේ ගිහිගෙයින් නික්මීම දකින්නට ලැබුනේ.

 

සක්දෙවිඳුගේ සිත ප්රීතියෙන් පිනා ගියා. ඒ මතු බුදුවන තවත් බෝධිසත්වයෙකුගේ ප්රථම නියත විවරණ සඳහා ගිහිගෙයින් නික්මීම සඵල වීම යන කාරණය දැකීමෙන්. එහෙත් අනේකවිධි සැප සම්පත් විඳිමින් ගතකල රජ මාලිගයකින් නික්ම කිසිත් අහුහරනයක් නැති මහා වනයක් වෙත යන මෙම ඓතිහාසික ගමනට උදවු කිරීම අත්යාවශ්ය කාරණයක්ම මෙන්ම තමන්ගේ යුතුකමක් ලෙසද වැටහුණා. දෙවු රජ තව මොහොතක්වත් ප්රමාද වුනේ නැහැ. ඒ මොහොතේම විශ්වකර්ම දෙවිපුත් එහි කැඳවනු ලැබුවා. ඉන්පසු සුමේධ පඬිතුමා ආරණ්ය ගතවීම සඳහා ගිහිගෙයින් නික්ම හිමවතහි ඇති ධම්මික පර්වතය වෙත පිය නගන බවත් ඔහුට වාසය කිරීමට සුදුසු අරන්යයක් තනා දෙන ලෙසටත් නියම කරනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ධම්මික පර්වතය වෙත ගමන් කරනා කාලය අතර තුර සක්දෙවිඳුගේ අණ පරිදී විශ්වකර්ම දෙවියන් විසින් සිත්කළු අසපුවක්ද, ආරක්ෂා සහිත පන්සලක්ද, මනරම් දෝෂ පසකින් තොර සක්මන් මලුවක්ද මවනු ලැබුවා. මෙම අසපුව මවන ලද්දේ අභිඤ්ඤා බලය සහ විපස්සනා බලය ලබා ගැනීමට සුදුසු ලෙසම කියලයි දේශනාවේ තියෙන්නේ.

 

සක්මන් මලුවක ඇති දොස් පස.

 

1. තද බව සහ විසම බව. - එම නිසා සක්මනේ ගමන් කරන්නාගේ පා රෙදෙයි. සිතෙහි එකඟ බවක් නොල් ලබයි. කමටහන සඵල නොවේ.

 

2. ඇතුලත ගස් ඇති බව - සක්මනේ ඇතුලත හෝ මැද හෝ කෙළවරේ හෝ ගසක් තිබීමෙන් අමතක වීමකින් හෝ නළලෙහි හෝ හිසෙහි ගැටීමෙන් කමටහනට බාධා ඇතිවිය හැක.

 

3. කැලෑවෙන් වැසුණු බව - තණ ගස්වැල් ආදියෙන් ගැවසුණු සක්මනෙහි සක්මන් කිරීම නිසා උරග ආදී සත්තු පෑගීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීම වගේම ඔවුන් දෂ්ට කිරමෙන් විපතට පැමිණීමද විය හැක.

 

4. ඉතා ලුහුඬු බව - රියනක් හෝ රියන් භාගයක් පමණ පළලින් යුතු සක්මනෙහි සක්මන් කරන්නෙකුගේ පය පැටලීමෙන් නිය, පය හෝ ඇඟිලි බිඳිය හැකිවීම.

 

5. ඉතා විශාල බව - ඉතා විශාල සක්මනෙහි සක්මන් කරන්නා ඔබමොබ දුවයි. සිතෙහි එකඟ බවක් නොලබයි. විශාල බව පස්වෙනි දෝෂයයි.

 

මෙම දෝෂ පහෙන් තොර වූ සක්මන් මලුවක්ද මවා බෝසතාණන් වහන්සේගේ පැමිණීමට පෙරාතුව විශ්වකර්ම දේවරාජෝත්තමයන් වහන්සේ අන්තරස්දහන වුනා.

 

අසපුවෙහි අලංකාරය , බාධක නවයකින් යුතු වස්ත්රය, දොළොස් ගුණයකින් යුතු වැහැරි සිවුර, අට දෝෂයෙන් යුතු පන්සල, ආනිශංස දහයකින් යුතු රුක්මුල, අට වැදෑරුම් පැවිදි සැප, වස විස නැති ස්වයංජාත ඵලවැල. දීපංකර බුදුන් ලොව පහලවීම….

 

 

මෙතෙක් වත දරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සළුපිළි හිස්වැසුම් වේද මේ සියල්ල මුණි වැලෙහි බහා තබා දිව්යමය හස්තයකින් මවන ලද කොටකරඩු මල් දමක් වැනි වූ රතු වූ වැහිරි සිවුර ගෙන හැඳ ඒ මත්තෙහි රන්වන් වැහැරී සිවුරක් පොරවා දොඹ මල් ඇතිරිල්ලක් වැනි කුර සහිත අඳුන් මුව සම එකාංග කොට ජටා මඩුල්ල මුදා කෙස්වැටිය සමග නිසල බව සදහා හරහිද්ද ගසා මුතුලැල් සමග සාල්ලෙහි පබුලුවන් කෙණ්ඩිය බහා තෙතැනකින් නැමුණු කද ගෙන කදෙහි එක් කොණක කෙන්ඩියද, අංකුෂ පැස හා ත්රිදණ්ඩාදිය ද එල්ලා කද් බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයෙටිය ගෙන පන්සලින් නික්ම සක්මන් මළුව වෙත පිය මනින්නට වුනා.

 

මෙලෙස ගෙනා කද බර සක්මන මැද තිබු ගල් තලාවේ බහා තබා සක්මන් මළුවේ ඔබ මොබ සක්මන් කරමින් තමන්ගේම පැවිදි වේශය දෙස බලමින් මෙසේ සිතන්නට වුණා. "මගේ මනදොළ සඵල වුනා. මේ පැවිද්ද ඉතාමත් පැහැපත්.මේ පැවිද්ද වනාහි බුද්ධාදී සියලු උතුමන් පසස්නා ලද්දක්. මගේ ගිහි බන්ධන සිඳීණී. අභිනික්මණ කළෙමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදී. මහණ දම් පුරමි. මග ඵල ලබමි."

 

මෙසේ සිතමින් පැමිණ සක්මන මැද නිමවූ ගල් තලාවේ රන් පිළිමයක් මෙන් හිඳිමින් අට වැදෑරුම් පැවිදි සැපය ගැන සිතන්නට වුනා.

 

අට වැදෑරුම් පැවිදි සැපය.

 

1. ධන ධාන්ය අයිතිය නැති බව.

2. නිවැරදි පිඬු සිගීමෙන් අහර සෙවීම.

3. නිවුණු ආහාර වැළඳීම.

4.රජවරු රටවැසියන් පෙලා කහවුණු ලබා ගනිද්දී එවැනි රට වාසින් පෙලීමේ ආශාවක් නැති බව.

5. පරිභෝග වස්තුවල කැමැත්තක් නැති බව.

6. සොරුන් පැහැර ගනිතැයි බියක් නැති බව.

7. රජ ඇමති ආදීන් හා සබඳතා නැති බව.

8. සිවු දිගින්ම නිර්භය බව.

 

මෙසේ දවස් භාගයක්ම පැවිදි සුවය ගැන මෙනෙහි කරමින් සිටිමින් ගත කොට සවස් කාලයේ නැවතත් පන්සල වෙතට පිය මැන්නා.

 

ඒ පන්සල මවා තිබුනේ අමුතුම ආකාරයට. හිමවත සිට ගලාගෙන පැමිණි මද වියලි සුළඟ රැගෙන පැමිණි පිරිසිදු වාතය ට ගිරි මුදුන්වල වැවෙන නානාවිදී පුෂ්පයන්ගේ සුවඳ තැවරිලයි තිබුනේ. ඒ සුවඳ මුළු පන්සලම සුවඳවත් කරමින් එක් පසෙක සිට අනෙත් පසට ගලා ගියා නිරන්තරයෙන්ම. තවුතිසා වෙහි පැවති මල් වර්ගයක් ඒ සුළඟ වැදී රිදී සීනුවක හඬ නංවනු ලැබුවා. ඊට අමතරව ඒ සදෙවූ සල් ගස් වල පිපි සල්මල් රැය පුරා විදිලුබුබුළු දල්වලා වගේ එලිය දෙනවා. ඒ එළියෙන් මුළු පරිසරයම දැල්විලා. ඔබ මොබ ඇවිදින රන් මුවන්ගේ ඇඟ විනිවද පේනවා. මෙම සදෙවූ අසපුවේ සිරි නරඹමින් පැමිණි සුමේධ තවුසා එහි ඇති වැල් හාන්සි පුටුවක දිගාවුණා. දිගා වෙලා මෙලෙස හිතන්න පටන්ගත්තා.

 

එදා රාජ රාජ අමාත්යවරු හඬා වැටී නැවත නැවත ඇවිටිලි කරද්දීත් රජකම අත් හැරියා පමණක් නෙවෙයි කැමති කෙනෙකුට කැමති ලෙස ගෙනයන්න කියා සියලු භාණ්ඩාගාර විවර කරණු ලැබුවා. ඒ ගිහිගෙයි ආදීනව දැක ප්රමාණ කල නොහැකි දනය සහ යසස අතහැර වනයට පිවිස නිවන් මග සොයන්නට පැවිදි වූ මට තවත් විහාර කුමකටද? මෙතැන් පටන් තව දුරටත් ප්රමාදීව විහාරවාසීව හැසිරීම සුදුසු නොවේ. දැන් මම කාය හා චිත්ත විවේකය වර්ධනය කරන්නට පටන් ගන්න ඕනේ. මෙම බෙලිඵල වර්ණයෙන් පිරියම් කරන ලද රිදී මෙන් බිත්ති ඇති කොළ සෙවිළි කල පියස්ස පරෙවි පිය වර්ණ ඇති අසපුව මගේ රජ ගෙදර තිබු ගිහි සැපයටත් වඩා සැප ඇති තැනකි. නිවන් මගට බාධාවක්. ඒ නිසා මෙතැනින් ඉක්මණට නික්මෙන්න ඕනේ. මෙලෙස සිතමින් පන්සලේ ඇති දෝෂ අටක් දකින්නට වුනා.

 

දෝෂ අටකින් යුතු පන්සල.

 

1. එය නිම කිරීමට මහත් උත්සාහයෙන් දැව ආදී ද්රව්ය රාශියක් සෙවිය යුතු බව එකකි.

2. තණකොළ මැටි ආදිය වැඩුණු වැටුණු පසු නැවත ප්රතිසංස්කරණය කල යුතු බව තවකෙකි.

3. සෙනසුන් වනාහි වැඩිමහල්ලන්ට ලැබිය යුතුය. අවේලාවෙහි නැගිටවන කල්හි සිතේ එකඟ බවක් නැති වෙයි. මෙසේ නොකල්හි නැගිටිය යුතු බව එකකි.

4. ශිතෝෂ්ම වැළකීම නිසා සිරුරෙහි ඇති වන සුකුමාල බව එකකි.

5. ගෙය තුල සිටින්නාට දොස් සහිත දෙය කිරීමට පහසුය. මෙසේ වරද සැඟවිය හැකි බව පස්වෙනි දෝෂයයි.

6. මමත්වයෙන් අල්ලා ගැනීම සයවෙනි දෝෂයයි.

7. ගෙයක හිමිබව දෙවැන්නෙකු සමග සිටීමකි. මේ සත්වෙනි දෝෂයයි.

8. උකුණු මකුණු හිකනළු ආදී ගෘහස්තයන්හි වෙසෙන නානාවිධි සතුන් අටවෙනි දෝෂයි.

 

මේ සියල්ල ගැන මනා ලෙස මෙනෙහි කරමින් හෙට උදැසනම මෙම පන්සල අතහැර දස ආනිසංසයෙන් හෙබි රුක්මුලට යායුතු බව තීරණයට එළඹුනා.

 

ආනිශංස දහයකින් යුතු රුක්මුල, වස විස නැති ස්වයංජාත ඵලවැල. දීපංකර බුදුන් ලොව පහලවීම, බුදු කෙනෙකුන් පහළවීමේදී ඇතිවෙන දෙතිස් පෙර නිමිති, බුදුබව පැතීම, නියත විවරණ සඳහා පුර්ණ කල යුතු අෂ්ඨ ධර්ම. නියත විවරණ ලැබීම, දෙවියන් ඹබුන් ප්රීතිඝෝසා පැවැත්වීම. දස දහසක් සක්වල කම්පාවීම. ....

 


7/24/20

රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව


( බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්රී ආත්ම භාවය යැයි අනුමාන කරනු ලබන වෘත්තාන්තය )

ඒ අසම සම වූ සූවිසි බුදුපියාණන් වහන්සේලා ඇතුළු භාග්යවත් වූ අමාමෑණී වූ අපගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
එමෙන්ම මෙම බුදුමග පිළිබඳව කරනු ලබන විස්තරයේ යම් වරදක් අඩුපාඩුවක් වූවානම් මා හට කමා කරනු සේක්වා!! සාදු සාදු සාදු !!

බුදු කෙනෙකුගේ ගුණ සමුදාය තවත් බුදුන් වහන්සේනමක් විසින් අනිකක් නො වදාරමින් කල්පයක් මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහිම නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තියෙනවා. ඒ උත්තරීතර වූ බුද්ධ ගුණය අනන්තය. සාමාන්ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද නොදන්නා වූ බොහෝ බුදු ගුණ ද තියනව බව සඳහන් වෙනවා. එසේනම් අප ගැන කුම් කතාද? මෙම උත්සාහය අප බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ කාලය තුල කරනු ලැබූ කැප කිරීම්, පරිත්යාග, උට්ඨාන වීර්ය අප වෙනුවෙන් පෑ මහා කරුණාව ආදී අනේක විදි ගුණ ධර්ම පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමය. ඒ මගින් අපගේ බුදු පියාණන් වහන්සේගේ මෙන්ම නියත විවරණ ලබා දුන් අනෙකුත් බුදුපියාණන් වහන්සේලා පිළිබඳවද ඔබ නොදත් බොහෝ කරුණු දැන ගත හැකිවනු ඇත. එමගින් බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවත්, ඒ අවබෝධය තුලින් හදපත්ලෙන් නැගෙනා මහත් වූ ගෞරවාදරයෙන් ම මින් මතුවට පසඟ පිහිටුවා වැඳීමට මෙන්ම, සියලු ප්රත්යන් දොහොත් මුදුනින් පිළිගැන්වීමටද පසුබටු නොවනු නොවනුමානය.



අපේ අටවිසි බුදුවරුන්ටත් පෙර සොළසා සංඛ්ය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් සපිරූ බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලොව පහළ වී සිටියා. නියත විවරණ ලබාදුන් දීපංකර බුදුපියාණන් වහන්සේත් සිටින නිසා ඒ බුදුහාමුදුරුවන්ට පුරාණ දීපංකර බුදුහාමුදුරුවෝ කියලත් කියනවා. ඒ කාලේ අප මහ බෝසතුන්ට (සුමේධ තවුසාට) පළමු වරට නියත විවරණ දුන් දීපංකර බුදුරදුන් ද තාපසයෙකුව ඉපදී උන්නා. මේ දීපංකර තාපසයා පුරාණ දීපංකර බුදුන්ට අබ තෙල් පහන් පුදා මතු කලෙක තමන්ද එනමින්, එලෙසින් ම බුදුවන ලෙසට අධිෂ්ඨාන කෙරුවා. ඒ අනුව සෑම දිනකම මේ දීපංකර තවුසා පුරාණ දීපංකර බුදුන්ට අබ තෙල් ගෙන ගොස් පුජා කිරීම සිදු කළා.

එක් දිනක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයා ගන්නට බැරි වුණා. ඒක නිසාම දීපංකර තාපස තුමාට රජමාලිගාවට තෙල් සොයාගෙන යන්න සිදී වුනා. එකල රූපවතී නොහොත් ඉති කුමාරි මේ රජ මැදුරේ සිටි කුමාරිකාවක්. ඇගේ සිය ඥාති සොයුරා තමයි පුරාණ දීපංකර බුදුන්වහන්සේ. ඇය ඒ වනවිටත් බොහෝ පින්දහම් කරමින් සිටියේ. ඒ බුදු බව අපේක්ෂාවෙන්. එක සංසාරෙන් ගෙනා පාරමිතාවක් නිසා කුමන ලිංගත්වයක් ලැබුවත් අධිෂ්ඨානය හීන වෙන්නේ නැහැ. ඒ වනවිටත් නියත විවරණ ලබන්න පාරමිතා සම්පුර්ණ වී තිබුනේ නැහැ. ඇය ඒ වනවිටත් බඩගින්නේ සිටි දරුවෙකුට තම පියයුර කපා බඩගින්න නිවාලන්න දන් දී තිබූ බව රූපාවති ඉංග්රීසි පරිවර්තනයේ මම කියවූවා. ඒ කෙසේවෙතත් ඒ තරම් උදාර ස්ත්රියක් වූ කුමාරිකාව නොපැකිළිව අබ තෙල් ගෙනවිත් තාපසයා වෙත දෙනු ලැබුවා. එම අවස්ථාවේ දී ඇය විසින් තමන් තුළ ද මතු බුදු බව ප්රාර්ථනා කිරීමට ඇති අතිමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුන්ට දැනුම් දෙන ලෙසත් පවසනු ලැබුවා. එලෙස රජ මැදුරේ කුමරියක වී පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේට සිද්ධාර්ථ තෛලය පූජා කළේ, අප ගෞතම බුදුපියාණන් වහන්සේමයි.

අපේ දීපංකර බුදුපියාණන් වහන්සේ ඒ පණිවිඩය පුරාණ බුදුපියාණන් වහන්සේට දැන්වුවත් ඇයගේ ස්ත්රී භාවය නියත විවරණයකට බාධාවක් බව උන්වහන්සේ දන්වා සිටියේ මතුවට ලැබීමට ඇති නියත විවරණ පුර්ණය සඳහා අවැසි ස්ත්රී අත්මයෙන් මුදවන්න වෙන්න ඇති. පලවෙනි නියත විවිරණයට කියනවා "අභිණිහාරය" කියලා. ඒ සඳහා අංග අටකින් පරිපූර්ණ විය යුතයි. ඒ තමයි
(1) මනුස්සත්ත, (2) ලිංගසම්පත්ති, (3) හේතු, (4) සත්ථාර දස්සන, (5) පබ්බජ්ජා, (6) ගුණසම්පත්ති, (7) අධිකාර, (8) ඡන්දතා යන අංගයි.

ලිංගසම්පත්ති යනු පිරිමි බවය. පිරිමියකු මිස ගැහැනියක් කවදාවත් බුදු වෙන්නේ නැහැ. ඒ නිසා ස්ත්රී නපුංසක පණ්ඩකාදීන් ව සිට කරන ප්රාර්ථනය සිදු වන්නේ නැහැ. ප්රථම ප්රාර්ථනය පුරුෂත්වයේ සිට ගෙන ම කළ යුතු ය. බුදු බව පතනු කැමති ස්ත්රීන් විසින් පිරිමි බව පතා පින් කොට පිරිමියකු වී බුදු බව පැතිය යුතු බව උන්වහන්සේ වදාරා සිටියා.

මේ කාරණය කන වැකුණු ඉති කුමරිය ශෝකයටත් කම්පනයටත් පත්වුණා. පුජා කිරීමට සැකසූ අබ තෙල් තම ශරීරයේ වත්කොට ගිනි තියාගත්තා.


ඒ එක්කම, තවත් එක් පණිවිඩයක් විශේෂයෙන්ම පුරුෂ අධිපත්වයෙන් හිස උදුම්මාගත් සමහර ගිහි පැවිදි පුරුෂ පාර්ශවයටත් මෙයින් ලැබෙනවා. ඒ තමයි කල්ප කෝටි ගණනක් පෙරුම් පුරමින් ලොව්තුරා බුද්ධත්වය සඳහා යන බෝසතුන් වහන්සේලාටත් නියත විවරණ ලබනාතුරු ස්ත්රී අත්මභාවයෙන් ගැලවීමක් නොවන බව. එය සනාථ වන්නේ විශ්වාෂණීය මුලාශ්රයක් නැති රුපවතියගේ නොහොත් ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දීපංකර විවිරණයේ දී අභිණිහාරයට පරිපූර්ණ විය යුතු ලිංගසම්පත්ති යන කරනාවෙනුයි. එයත් සිතේ තබාගෙන ඉතිරිය කියවන්න.

ස්ත්රීභාවය බුදුබව සඳහා ලබන නියත විවිරණයට බාධාවක් බව කන වැකුණු ඉති කුමාරි නොසිතු ලෙස ඇති වූ ශෝකයෙන් හා කම්පනයෙන් බුදු හාමුදුරුවන් වෙනුවෙන් සැකසු අබ තෙල් වතෙහි ලා ගිනි තබා ගැනීමට උත්සාහ කරා කියන තැනින් තමයි ඉවර කලේ. ඒත් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙය දිවසින් දැක බුද්ධ ආනුභාවයෙන් ගිණි ඇවිලෙන්න ඉඩ හරියේ නැහැ. ඇය ගිනි තබාගන්න කොතරම් උත්සාහ කලත් ගිණි අවිලුණේ නැහැ. සිය දිවි නසා ගැනීම බුද්ධත්වයට හෝ ස්ත්රී භාවයෙන් නික්මයාමට ආධාරයක් නොවන බව මහා කාරුණිකයන් වහන්සේ ඉමහත් වූ මෛත්රියෙන් බුද්ධ වචනයෙන් ඇය හට ශ්රවණය වෙන්න සැලැස්සුවා. ඉන් පසුවයි ඇයට සිහි එළඹුනේ. ඒ මොහොතේම ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙත යන්නට පිය මැන්නා.

ඒ බුදුවරයෙකුගේ සහ මතු බුදුවරු දෙදෙනෙකුගේ අහඹු හමුවක්. ඒ මතු බුදුවරුන් දෙදෙනාගේ කෙනෙකු ස්ත්රියක් කෙනෙකු පුරුෂයෙක්. දීපංකර බෝසතාණන් වහන්සේ ලෞකික භූමියෙන් නික්ම ලෝකෝත්තර ශ්රී විභූතිය විදහාපාමින් තපසෙකු ලෙස එක් පසෙක. අපේ බෝසතාණන් වහන්සේ ලෞකික ශ්රී විභූතියෙන් අගතැන්පත්ව දිව්යමය ස්ත්රී රූපයකින් රාජ කුමරියක් ලෙස තවත් පසෙක. එහෙත් දෙදෙනාගේම චිත්ත සන්තානයේ අරමුණු ඒකක්ව දෙපසක. ඒ බුද්ධත්වය. පුරාණ දීපංකර බුදුන් මෙම දෙපාර්ශවයටම අනුග්රහ කරමින් සවණක් රැස් විහින්දවමින් නිහඬව.

ඉති කුමාරිගේ නිලිපුල් දෑසින් කඳුළු කැට දෝරේ ගලනවා.

පුරාණ බුදුපියාණන් වහන්සේ හඬ අවදිකලා.

නැගෙණිය, ඔබ අද කඳුළු සලන්නේ තුන් ලෝකයක් නිවා සැනසීමට. ඒ වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි ඔබ මතු දිනක ප්රථම නියත විවරණ ලබන්නේත් මේ ඔබ ඉදිරියෙන් සිටිනා තාපස තුමාගෙන්. එවැනි නියත විවිරණයන් සඳහා මින් ඉදිරියට ඔබ ස්ත්රී ආත්මයෙන් මිදිය යුතයි.
ඉති කුමරියේ හඬ අවදි කලේ මේ වෙලාවේ - අවසරයි භාග්යවතුන් වහන්ස, ඒ සඳහා කලයුත්තේ කුමක්ද ?

පුරාණ දීපංකර බුදුපියාණන් - ඔබ වැනි සුකුමාල ස්ත්රියකට එය පහසු කටයුත්තකුත් නෙවෙයි. එහෙත් ඔබ මෙතෙක් කල් පිරූ පාරමී ඒ සුකුමාලත්වය පරයා යාවි. ඔබ මතු බුදුවන බෝසත් වරියක්. ඒ බෝසත් ගුණය ශක්තිය මොට කරන්න ස්ත්රිභාවයට බැහැ. එම නිසා මෙම කරණයත් ඔබට පාරමිතාවක් වේවි.

ඉති කුමරිය - එසේමයි භාග්යවතුන් වහන්ස. එය මොනයම් අභියෝගයක් වුවත් ජයගැනීමේ චිත්ත ශක්තිය බලය මා සතුයි.

පුරාණ දීපංකර බුදුපියාණන් - පින්වත් නැගෙණිය මෙය හොඳින් අසන්න. නැළියක් පුරවා අබ ඇට ගන්න. ගවුවකට එක අබ ඇටයක් බැගින් දමමින් යන්න. අවසාන අබ ඇටය හෙලන තැන මුණ ගැසෙන නිවසෙහි පුරුෂයා හා විවාහ වන්න. එන සෑම බාදක ප්රශ්න අමතක කොට ඔහුට හොඳින් සළකන්න. යම් දිනයක් ඒවි ඔහුගේ මුවින්ම ඔබට ආශීර්වාද කරන. ඒ ආශීර්වාදය වන්නේ මින් මතු ආත්මභවයන්හි ස්ත්රියකට අවේනික දුක් නොවිඳ පිරිමි ආත්ම භාවයක් ලබන්න යනුවෙනුයි. ඒ ආශීර්වාදය සඵල වන්නේ ඔහුගේ පුන්යවන්තභාවය නිසා නොව ඔබගේ දසපාරිමිතා ගුණය ඒ කාලයේදී ඉස්මතු වීමෙන්.

සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ යුතු වනවා. ඒ සියල්ලටම මුල්වන අධිෂ්ඨාන පාරමිතා සහ වීර්ය පාරමිතාවන් සසර පුරා වඩා සිටි ඒ බෝසත් චරිතයට එය අභියෝගයක් වුනේ නැහැ කොහොමටවත්.

ඇය පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේට පසඟ පිහිටුවා වැන්දා. ඊට පස්සේ දීපංකර තවුසාණන් හටත් වැන්දා. ඒ සුකුමාල පාද පෙරට තියා නැගී සිටින විට මුළු පෘතුවි තලයම සෙලවී යන්න ඇති. ඒ තරම් ම අදිස්ඨාන ශක්තියක් ඒ ඉදිරියට තිබු පියවරේ ගැබ්වෙලා තිබුනා. මෙය කියවන ඔබත් ගැහැණියක් විය හැකයි. අදිෂ්ඨානය ප්රබලම නම් ස්ත්රීභාවය බුද්ධත්වයට පැමිණීමට පවා බාධාවක් වන්නේ නැහැ.

පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙතින් නික්ම රජමාළිගයට ගිය ඇය තම අභිලාශය ඉෂ්ඨ කරගන්න යායුතු දුෂ්කර ගමන යෑමට සැරසුණා. ඇය සුකුමාලත්වය පසෙකළා මහා පෞරුෂත්වයකින් ඒ භාරදුර කටයුත්ත සඳහා පිටව ගියා. ඒ කියූ අකාරයට දින සති මාස පසු කරමින් අබ ඇට ගව්වුවට එක බැගින් දමමින් යන්න කොතරම් කාලයක් ගතවන්න ඇතිද? ඒ මෘදු පාද ගැන හිතන්න. ලේ වැගිරෙන්න ඇති. අවසානයේ අන්තිම අබ ඇටය ඉතිරි වන තෙක් ඒ සංසාරික ප්රාර්ථනාව ලුහුබැන්දා. අවසානයේ ඒ දෛවෝපගත අබ ඇටය ඉතිරි වුනේ රජමාලිගාවක් අසල නෙවෙයි. එඬේරෙකුගේ දුප්පත් පැලක් ඉදිරියේ. ඇය ඒ දූගී පැල්පතට ගියත් කිසිවෙක් හිටියේ නැහැ. දැන් වගේ දොරවල් වසා තිබුනෙත් නැහැ. අනෙක එඬේරුකුගේ ගෙදර මොනවද ගන්න තියෙන්නේ.

අවසානයේ නුහුරු දෑතින් අවුල් වී තිබුන මුළු නිවසම පිළිවෙල කළා. ගෙදර ඉතිරිව තිබූ ධාන්ය වලින් රෑට කෑමත් සදා නිමකළා. කළුවර වැටෙන්න ආසන්නයේ තමයි දවසේ වැඩ නිමවී ඒ වියපත් ගොපල්ලා නිවසට පැමිණියේ. ප්රථමයෙන්ම ඔහු හොඳටම බිය වුනා. මෙතරම් තේජාන්විත සත්රියක් දැකීමෙන් බිය වීම පුදුමයට කරුණක් නෙවෙයි. ඇය කාරුණිකව දන්වා සිටියා ඇයව තමන්ගේ බිරිඳ ලෙස සලකන හැටියට. ටික වේලාවකට පසු වෙනයම් අනතුරක් නැති බව තහවුරු කරගත් ඔහු ඇයගේ ආරාධනය පිළිගත්තා.

ඔහු සේවයේ කලේ ඒ පළාතේ සිටි ධනවත්ම සිටුවරයා ළඟ. ඔහු කලේ සිටුවරයාගේ සතුන් බලාකියා ගැනීමයි. පසුදින ඔහු සේවයට යනවිට ඉති කුමරිය ඔහුට බත් මුලක් බැඳ දෙන්න අමතක කරේ නැහැ. ඒ නිසාම ඔහුට එදා සිට සිටුවරයාගේ මාළිගාවෙන් දිවා අහාරය ඕනේ උනේ නැහැ. ඔහු ඒ වෙනුවට වේලාසන ගෙදර යාමට අවසර ඉල්ලුවේ අලුත් බිරිඳක් ගෙදර ඉන්න නිසා. එක අහලා සිටුවරයට හොඳටම තරහා ගියා. එහෙනම් හෙට ඉඳන් උඹ ගෙදරම හිටපන් කියල රැකියාවෙන් පහකළා. ඒ කාලේ එහෙමයි. තීරණය සාධාරණ උනත් නැතත් නැවත වෙනස්වීමක් වෙන්නේ නැහැ. ඔහු පහුවදා ගෙදර ආවේ රැකියාවත් අහිමි වෙලා.

ඉති කුමරියගේ ප්රඥාවට විර්යයට පුණ්ය බල මහිමයට ඒවා ප්රශ්නයක් වුනේ නැහැ. ඇය ඔහුට මෙහෙම කිවා. හෙට ගිහින් හොයාගෙන එන්න පුරන්වී අතහරිනු ලැබූ හිස් ඉඩමක්. එවිට ඔහු කිවා. මට මේ පළාතේ ඉඩම් හොයන්න දෙයක් නැහැ. අඟලක් ගානේ දන්නවා සත්තුත් එක්ක ඇවිදලා. එවිට දේවිය මෙහෙම කිවා. එහෙනම් ඔබ හෙට උදෙන්ම ගොසින් ගම්වාසීන්ට කියන්න ඒ පුරන් වෙච්ච් ඉඩමට තමන්ගේ ගවයන් ගෙනත් බඳින්න මම බලාගන්නම් කියල. ඔහුද ඉතාමත් කීකරුව ඒ පණිවිඩය ගමට ලබා දුන්නා. අවසානයේ ගවයන් දහස් ගණනක් එම භුමියේ බඳිනු ලැබුවා. ඔවුන්ගේ පයට පෑගීමෙනුත්, ගව මුත්රා වලිනුත් ඒ පස බුරුල් වුනා පමණක් නෙවෙයි ගොම තැවරීමෙන් භුමිය ශරාවත් වෙන්න පටන් ගත්තා. මිනිසුන්ගෙන් ඒ සඳහා යම් දීමනාවකුත් ලැබෙන්න ඇති. දැන් අවශ්ය බීජ පමණයි. කුමරිය ඒකටත් පිලියමක් යෙදුවා. හෙට යන්න ඔබ සේවය කල සිටුවරයා ලඟට. ඔබ කල සේවයට ගරු කිරීමක් වශයෙන් බිත්තර වී ටිකක් ඉල්ලන්න නයට. ඔහුත් ඒ කියූ අයුරින්ම මාළිගයට ගොස් සිටුතුම හට කරණය සැලකොට සිටියා. ඒ වනවිටත් ඔහුගේ තරහා හිතෙන් තුරන් වී තිබුනේ නැහැ. ඔහු සරු බිත්තර වී වෙනුවට අයින් කොට තිබු බෝල් වූ බිත්තර වී ඔහුට දෙනු ලැබුවා. කවමදාවත් වගා කටයුතු කොට පළපුරුද්දක් නොතිබූ ඔහු ඒ ගැන නොදැන ගෙදර ගෙනවිත් පසුව පස සකස් කොට සිටවනු ලැබුවා.

අවසානයේ ඒ බොල් වී අතර හොඳ තත්වයේ තිබූ වී පැල වෙනවා. ඒ ගොයම පැසුනට පස්සේ ඒවා කපලා ගොයම් කොලයක් ගහන්න කියලා කුමරිය කියනවා. ගොපල්ලත් එලෙසම කරනවා. කුමරිය ඒ වී ටිකෙන් ටික පාගන්න පටන්ගන්නවා. ඇයගේ පුණ්ය මහිමයට වී ඇට වලින් පිටවෙන්නේ මුතු ඇට. ඒ මුතු සිටු වරයට දීලා වී වලට මාරුකරගන්නවා. එලෙස පාගන හැම වී ඇටයක්ම මුතු බවට පත්වෙනවා. අවසානයේ සිටුවරයාගේ ධාන්යාගාරයේ වී නැතිවෙනවා මුතු වලට මාරු කරන්න. ඔවුන් ඒ මුතු විකුණා කුඩා සිටු මාලිගාවක් ගන්නවා පිරිහුණ සිරුවරයකුගේ. මෙලෙස දවසින් දවස දියුණුවට ගොස් රටේ ධනවත්ම සිටුවරයා බවට පත්වෙනවා.

පුන්යමහිමය කියන දේ හරිම පුදුමයි. එය තමන්ගේ සෙවනැල්ල වගේ පසු පසින් එන දෙයක්. සුපුරුදු ලෙස මුදල් නිසා අන්ධභාවයට පත්වන සිටුවරයාට මුල අමතකවෙන්න වැඩි කලක් යන්නේ නැහැ. ඔහු තම ධනයෙන් බලයෙන් අනියම් ස්ත්රියන් සමග කම් සැප ලබන්න පුරුදු වෙනවා. ඔහු කොතරම් සල්ලාලයෙක් වුනාද කිවහොත් අවසානයේ ඔහු නැවතත් දුප්පතෙකු බවට පත්වෙනවා. ඉති කුමරිය මේ සියලු දුක් පීඩා සොලතැවුල් උපේක්ෂාවෙන් විඳදරාගන්නේ දස පාරමිතා පුරන්නා වූ අර්ථයෙන්. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දීත් ඉති කුමරිය ඔහුට නොපිරිහෙලා සියලු යුතුකම් ඉෂ්ඨ කරන්නේ මෛත්රියෙන්. ඉති කුමරිය ඔහුව ගොපලු ජිවිතයෙන් මුදවා සිටුවරයෙකු දක්වා ගෙනා මග ඔහුට සිහිවන්නට වන්නේ අවසානයේ. සිතේ තමා කෙරෙහිම ඇතිවුන කලකිරීම ඔහුටම දරාගන්නට බැරිවෙනවා. ගැහිණියක් වී ඉපදීම තුල ඇයට ලද කරදර සෝතැවුල් දුක් පීඩා ද, තමාගේ දහසකුත් එකක් වැරදි තිබියදීත් ඇය විසින් කල සියලු යුතුකම් ගැන ද සිතා ඇය මෙතෙක් කල් බලාපොරොත්තු ව සිටි කෙටි වචන පෙළ වා තලයට එක් වෙනවා.

රූපාවතිය ඔබ මෙතෙක් දුක් වින්දේ ගැහුණු ආත්මයක් ලද නිසා. මා හට නොපිරිහෙළා යුතුකම් ඉටුකළ පිනෙන් ඔබ මතු ඉපෙදෙන සෑම ආත්ම භාවයකදිම පිරිමියෙක් වී ඉපෙදෙන්නට කියා පතනවා. ඇයට ඇති වූ නිරාමිෂ සතුට ඔබට සිතාගන්නට පුළුවන් ඇති. ඉන්පසු ඇය එම ආත්මභාවයෙන් මිදී කල්ප කාලාන්තරයක් බොහෝ දිව්ය බ්රහ්ම ලෝකවල සැරිසරා අමරවතී නම් නුවර සුමේද නමින් උප්පත්තිය ලබනවා. ඊළඟට කොටස එතැන් සිට.

උපකාරක ලිපි -

අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමිපාණන් වහන්සේ විසින් බුදුසරණ පුවත්පතට සපයා තිබූ ලිපියක්ද
Journal of the International Association of Buddhist Studies යන ආයතනය විසින් ක්රිස්තු වර්ෂ 2000 නොවැම්බර් මස පළකරනු ලැබු මාසික සඟරාවට ආචාර්ය රෙයිකෝ ඔනුමා විසින් ඔහුහේ ආචාර්ය උපාධිය සඳහා "ජනකාල මාලි ඇසුරෙන් " ලියනු ලැබූ "The Story of Rupavati: A Female Past Birth of the Buddha" යන කෘතියේ උපුටා ගැනීමේ කොටසක්ද, ත්රිපිටකාචාර්ය දිගන සුගතවංශ අපගේ ගුරුදේවයාණන් වහන්සේ විසින් රචිත පොතපතෙන්ද, උන්වහන්සේ සමග කල පෞද්ගලික සාකච්චා මගින්දය.
මාගේ කල්යාණ මිත්ර වින්සන් අළහකොන් මහතා.
මෙම ග්රන්ථද බලන්න - ජනකාල මාලි, සීමා විසෝදනී පාඨ