7/30/17

දස අකුසල් හා ඒවායේ විපාක


අප වැරදි අන්දමට පැවැතුණොත්, එ නම්, වැරැදි ලෙසට කෑම් පීම් ගත්තොත්, කිලුටු කරන දෑ ඇඟ ගා ගත්තොත් ඒවා ඇඟ ඇතුළට වැදෙන්නට ඉඩ හැරියොත් කිමෙක් වේ ද? සනීපය නැතිවෙයි, ලෙඩ හැදෙයි, ඇඟ නරක් වෙයි. එයින් ඇඟේ පොහොණිය නැති වෙයි. අඩු වයසින් ම මැරෙන්න ද වෙයි.
එ මෙන් ම අප වැරදි අන්දමට හිතන්නට පුරුදු වුණොත් කිමෙක් වේ ද? හිතේ සනීපය නැති වෙයි, හිත ලෙඩ වෙයි, හිත නරක් වෙයි. එයින් හිතේ වැඩි දියුණුව නැති වෙයි. හිත මුළු මනින් ම පහත වැටෙයි.
ඉතින් උඩ කී අන්දමට හිත නරක් වී කිලුටු වී තිබෙන විටෙක, එය මුල් ව යමක් කියතොත් කරතොත් ඒ කියන කරන දෑ හොඳ කියුම් හෝ හොඳ කැරුම් වෙන්න හැකි ද? නො හැකි ය. නරක සිතින් හොඳක් කියන්න කරන්න බැරි ය. නරක හිතෙන් කියන්නේ ම නරක කීමෙකි, කරන්නේ ම නරක කැරුමෙකි.
හිත නරක් කරන, හිතේ ඇති වන ලෙඩ ගති මොනොවා ද? යමෙක ඇත්ත ඇති හැටියට නො දැක් ම, නරක දෑ කරන්නට ලැජ්ජාවක් හෝ බයක් නැති කම, හිතේ කලබොල ගතිය, ලෝබය, මානය, තරහව, ඉරිසියාව මසුරුකම, ජීවිතයේ ඇති සැටිය වැරැදි අන්දමට දැකීම යන ආදිය යි. මේ වා ය හිතේ ලෙඩ ගති, හිත නරක් කරන ගති. මේවාට අකුසල් යැයි නමෙකි.
මේ නරක ගති හිතේ හැදී වැඩී හිතට පුරුදු වුණොත්, හිත නරක් වී එයින් නරක දෑ කියැවෙයි. ඒ වාට වචනයෙන් කරන අකුසල් යැයි කියති. හිත නරක් වීමෙන් කරන දැයට කයින් කරන අකුසල් යැයි කියති. හිත නරක් වී හිතේ ම ක්‍රියා කරන අකුසල්වලට හිතින් කරන අකුසල් යැයි කියති.
හිත නරක් වී කියන නරක කියුම් මොනවාද? බොරු කීම, කේලාම් කීම, රළු පරොස් බස් කීම, කිසිම වැද ගැම්මකට නැති දෙඩවිලි දෙඩීම යන මේ හතර වර්ගයේ නරක කියුම් ය. මේවාට යි වචනයෙන් කරන අකුසල් යැයි කියන්නේ. හිත නරක් වී කරන නරක කැරුම් මොනවා ද? සතුන් තැළුම පෙළුම මැරුම, අනුන්ගේ දෑ අයුතු අන්දමෙන් ගැනුම, පහත් ආශාවෙන් නො හොබිනාකම් කිරීම හා මත් පැන් බීම යන මේ තුන් වගේ නරක කැරුම් ය. මේවාට කයින් කරන අකුසල් යැයි කියති.
ලෝබ ආදි නරක ගති වැඩී ගොසින් තනි හිතින් ම කැරෙන නරක තුන් වගෙකි. එනම්, අනුන් ගේ දැයට ආශා කිරීම හෙවත් විෂම ලෝබය, සිතේ නපුරු බව, ජීවිතයේ සැටි වැරැදි අන්දමින් දැකීම යන තුන යි. මේ තුනට හිතෙන්ම කැරෙන අකුසල් යැයි කියති.
මෙසේ තනි සිතින් ම කරන අකුසල් තුනෙකි. කයින් කරන අකුසල් තුනකි. වචනයෙන් කරන අකුසල් හතරෙකි. ඔක්කෝ ම අකුසල් දහයෙකි. දස අකුසල්ය කියන්නේ මේවාට යි.
මේ අකුසල්වල තරමක විස්තරයක් දැන් මෙහි දැක්වේ.
අකුසල් දසයෙකි, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුන වාචා, ඵරුසා වාචා, සම්ඵ ප්‍රලාප, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන මොහු යි. ලොවැ මෙයට ඇතුළත් නො වෙන කිසි පවෙක් අකුසලෙක් නැත. නොයෙක් වැදෑරුම් සියලු අකුසල් ම මේ දහයට ඇතුළත් වේ.

01. ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය නම් සතුන් මැරීමයි. සතකු මරමි යි සිතේ ඇති වන චේතනාව ප්‍රාණඝාත අකුශල කර්ම නමි.
සතකු වීම ය,
සතකු බව දැනීම ය,
මරමි යි යන සිත ය,
එයට උපක්‍රම කිරීම ය,
දිවි නැසීම ය.
යන අංග පස ම නො අඩු ව ඇති වූකල අකුසලය සම්පූර්ණ වේ.

මෙහි විපාක වශයෙන් (විපාකයට ඉඩ ලැබුණු විට) මෙහි දී ම වධ බන්ධන විඳීම, ලෙඩ රෝග ඇති වීම, ආයුෂ මද වීම් ආදි හිරිහැර ඇති වේ. මරණින් මතු අපායෙහි ඉපිද බොහෝ කල් දුක් විඳින්නට වේ. නැවත එයින්මිදී මිනිසත් බවක් ලද කල්හි ද ඇස් ආදිය විකල වීම, ආයුෂ මද වීම, රෝග බහුල වීම, ලොවට අප්‍රිය වීම, අශෝභන කය ඇති වීම ආදි විපත් ඇති වේ.

02. අදත්තාදානය

අන් සතු දෑ අයුතු සේ ගැන්ම අදත්තාදානය නමි.
අදත්ත (අදින්න) යනු නො දුන්න දැයි.
ආදාන යනු ගැන්ම යි.
මෙසේ අදත්තාදාන (අදින්නාදාන) යනු අයිති කරු විසින් නො දුන් දෑ සොරකමින් හෝ බලහත්කාරයෙන් හෝ රැවැටිල්ලෙන් හෝ වෙන යම් මොන ම අයුතු අන්දමෙකින් ගැන් ම යි.

මෙහි අකුසලය සම්පූර්ණ වීමට අංග පසෙකි. එනම්, අන් සතු දැයක් වීම, අන් සතු බව දැන්ම, අයිතිකාරයාට නො දන්වා හෝ බලයෙන් හෝ රවටා හෝ ගනිමි යි යන සොර සිත, එයට උපක්‍රම කිරීම, එසේ ම එය ගැන්ම යනු ඒ අංග පස යි.
මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත්, මේ අත්බව්හි දීත් මතු උපන් කලත් ධන හානිය, දිළිඳු බව, සොර සතුරු උවදුරු, සිතූ දෑ ඉටු නො වීම ආදී නපුරු විපාක ලැබේ. මරණින් මතු අපායවල ද ඉපි ද බොහෝ කල් දුක් විඳින්නට සිදු වේ.

03. I කාමමිථ්‍යාචාරය

කාමයෙහි වැරදි වූ හැසිරීම කාමමිථ්‍යාචාරය නමි. පිරිමියෙකු අනුන්ගේ බාරයේ සිටින ස්ත්‍රීන් සේවනය කිරීම ද, ස්ත්‍රියක සිය සැමියා හැර අන් පුරුෂයන් සේවනය කිරීම ද මෙයින් දැක්වේ.

අන්සතු ස්ත්‍රියක වීම,
ඇය හා සේවනයට අදහස,
එයට උපක්‍රමය,
සේවනය කිරීම
යන අංග සතර ඇති වීමෙන් පිරිමියට කාමමිථ්‍යාචාරය අකුසලය පිරේ.
සිය සැමියාගෙන් අන්‍ය පුරුෂයකු වීම,
ඔහු සේවනයට කැමැත්ත,
එයට උපක්‍රමය,
සේවනය
යන සතර අංග සම්පූර්ණ වූ විට ස්ත්‍රියට කාමමිථ්‍යාචාරය සම්පූර්ණ වේ.
මේ අකුසලයෙහි විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස විඳීම, බියකරු ලෙඩ රෝග වැළැඳීම, හදිසි විපත්වලට අසු වීම, ආංඩුවෙන් ද¼ඬුවම් ලැබීම ආදී කරදර ද, මරණින් පසු අපායෙහි ඉපිද බොහෝ දුක් විඳීම ද වේ. අපායෙන් මිදී මිනිසත් බවක් ලදොත් ස්ත්‍රී වීම, නපුංසක වීම, සතුරන් බහුල වීම, ප්‍රිය භාර්යාවක නො ලැබීම ස්ත්‍රියක් නම් ප්‍රිය සැමියකු නො ලැබීම යන විපාක ඇති වේ.

03. (III)රහමෙර බීම

රහමෙර බීම රස කාමයෙහි වරදවා හැසිරීම යි. එ බැවින් එය ද කාමමිථ්‍යාචාර යන්නෙහි ම ඇතුළත් වෙයි.
රහමෙර වීම ය, රහමෙර බව දැනීම ය, බොනු කැමැත්ත ය, එය පීම ය යන සතර අංග ඇති වූ කල අකුසලය සම්පූර්ණ වේ.
මෙහි විපාක වශයෙන් ඉන්ද්‍රිය දුර්වල වීම, උමතු වීම, ලෙඩ බහුල වීම, ආයුෂ මද වීම, දුබල දරුවන් ලැබීම, ධන හානිය, නින්දා අපහාස ලැබීම, නෑයනට පවා අප්‍රිය වීම ආදි නොයෙක් විපත් මෙහිදීත් වේ.
මරණින් මතු චේතරණී ආදි නිරයවල ඉපිද නො පමණ දුක් විඳීම ද, ඉන් මිදී මිනිසත් බව ලද කල්හි ලජ්ජා නැති බව, උමතු බව විරූප බව ආදිය ද වේ.
04. මුසාවාදා

මුසා යනු නො සිදු වූ දැය යි. වාද යනු කීම යි. නො වූවක්, වූයේ යැ යි. නැති දැයක් ඇතැයි අන්හට පිළිගන්වන අදහසින් වචනයෙන් හෝ හිස සෙලැවීම් ආදි නියායෙකින් හෝ ඇඟැවීම මුසාවාදා නමි.
නො සිදු වූවක් බව ය,
රවටමි යන අදහස ය,
එය ඇඟැවීමට උපක්‍රම ය,
අසන්නහු එය පිළිගැන්මය
යන අංග සතර ඇති වූ විට මුසාවාද අකුසලය සම්පූර්ණ වේ.

බොරු කීමේ විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස ලැබීම, ලොවට අප්‍රිය වීම් යන ආදිය වේ. මරණින් මතු අපායේ උපදී. ඉන් මිදී මිනිසකු වූ කල්හි මුව දුගඳ වේ ලෙඩ බහුල මුඛය ඇත්තෙක් වේ. දරුවන් නැත්තෙක් වේ. ලබතත් ගැහැණු දරුවන් ම ලබයි.

05. පිසුනා වාචා

උනුන් ප්‍රිය බව (සමගිය) නැති කරන බස පිසුනාවාචා නමි. කේලාම් කීම යි. බිඳෙන පුද්ගලයෙකු ඇති බව, ඔහු අනෙකා ගෙන් බිඳුවන අදහස, තමා ඔහුට ප්‍රියවන සිත, තමා කියන කේලාම් ඔහු පිළිගැන්ම යන අංග සතර ඇති වීමෙන් අකුසලය සම්පූර්ණ වේ.

මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත් මෙහි දී ම හිත මිතුරන් නැති වීම් ආදිය ද, මරණින් පසු අපාය දුක ද, නැවත මිනිසකු වූ කල මිත්‍රයන් අඩු වීම ද, ඇති වූ මිතුරන් කරුණක් නැතිව ම බිඳී යෑම ද වේ.

06. පරුෂ වචනය

පරුෂ නම් කර්කශ රළු දැයි. පරුෂ වචන යනු කර්කශ රළු බස යි. අනුන් ගේ සිත් රිදුවන ඇනුම් බැනුම් ගැරැහුම් මෙයින් දැක්වේ.
ගැරැහුම් ලබන්නකු ඇති බව, රළු සිතැති බව,, බැණීම යන අංග තුන ඇති කලැ අකුසලය සම්පූර්ණ වේ.
්‍යවහාරයේ මිහිරි වූ වචනයක් වුව ද කිපුනු සිතින් ඇනුම් බැණුම් වශයෙන් කියා නම් ඒ ද පරුෂ වචන යැ යි ද ත යුතු. පෙර ඇතැම් රජහු සොරුන් මරවනු කැමැති ව ‘මොවුන් සුව සේ නිදිකරවු’ යි කියති. වධකයෝ ඔවුන් මරති. මෙහි එ රජුන් කියන වචන කණට රළු නො වුවත් ‘මොවුන් මරවු’ යන අදහස ම උඩ කියන බැවින් පරුෂ වචන ම ය. පෙර බුරුම රජුන් මරණ තීන්දුව ලීවේ ‘කම්මං සත්තේ විභජති (කර්මය සත්ත්වයන් බෙදයි)’ යන බුද්ධවචනය ලිවීමෙනි. එහෙත් එයින් මැරීම අදහස් කළ බැවින් එය ඒ අවස්ථාවෙහි පරුෂ වචනයෙක් ම ය.
ඇතැම් විට මව දරුවාට ආදරයෙන් දැඩි වචන කියයි. සිතෙහි බිඳකුත් කෝපයක් නැති ව බලවත් සෙනෙහයෙන් කියන බැවින් ඒ පරුෂ වචන සංඛ්‍යාවට නො යෙයි.
ඉහත කී පරිදි පරුෂ වචනයෙන් මෙහි දී ම ජනයාට අප්‍රිය වීම ද, කුෂ්ට කිලාසාදි ලෙඩ ඇති වීම ද, මරණින් පසු අපායෙහි ඉපැදීම ද නැවැත මිනිසත් බව ලත් කලක් වුවොත් අප්‍රිය දැකුම් ඇති, විකාර මුඛ ඇති, විවර්ණ කය හා රළු කටහඬ ඇති, ජනයාට ප්‍රිය නො වන දීනයකු වීම ද යන විපාක ඇති වේ.

07. සම්ඵප්‍රලාප

දියුණුව නැති කරන හිස් බස් සම්ඵප්‍රලාප නමි. වැඩකට නැති කථා බව ය, ඒවා කීම ය (අසන්නවුන් ඒ පිළිගැනීමය) යන අංග ඇති කල අකුසලය සම්පූර්ණ වේ.
සම්ඵප්‍රලාප
දොඩන මිනිසා මෙ ලොව දී ම ලෝ වැස්සාට පිළිකුල් වේ. මෙය බලවත් ව දෙඩුයේ මරණින් පසු අපායේ උපදී. නැවැත මිනිස් ව උපන්නේ ද අනුන් විසින් නො පිළිගන්නා වචන ඇතියෙක් වේ.

08. අභිධ්‍යාව

අනුන් අයත් දැය ගැන ‘මෙය මට ඇත් නම් මැනැවැ’යි ඇති කැරැගන්නා දැඩි ලෝභය අභිධ්‍යා නම් වේ.
අනුන් සතු දැයක් වීම,, එය තමාට අත් කැරැ ගැන්මේ සිත, යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
දැඩි ලෝභයෙන් මඩනා ලද්දේ මෙහි දී දුර්වර්ණ බව ආදියට පැමිණේ. මරණින් පසු ලෝභයේ දැඩි කම වූ පරිදි ප්‍රේතාදි වූ අපාය දුකට ගොදුරු වේ. නැවැත මිනිසත් බව ලද කල්හි දුගී බව ද, සම්පත් සිත්සේ භුක්ති විඳිය නො හැකි බව ද ආදි දුර්විපාක විඳී.

09. ව්‍යාපාද

අනුන් ගේ සිත සැපය වනසන, තමාත් විරූප බවට පමුණුවන සේ දැඩි වූ දෙවෂය ව්‍යාපාද නමි.

අන් සතකු වීම, ඔහු පෙළෙතොත් නැසෙතොත් මැනැවැයි සිතීම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ. අන් හට විපත් කැමැති වන්නෝ මෙහි දී ලොවට අප්‍රිය වීම් ආදි කටුක විපත් ද මරණින් පසු අපායයෙහි ඉපැත්ම ද මිනිස් ව උපන් කල විරූප බව ආදී අනිෂ්ට විපාක ද ලබත්.

10.මිථ්‍යාදෘෂ්ටිය

ඇති සැටිය තබා වරදවා දැකීම මිථ්‍යාදෘෂ්ටිය නම්.
වරදවා දැක්ම, එසේ ම වටහා ගෙන දැඩි කොට සිතින් ගැන්ම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
මිථ්‍යාදෘෂ්ටිය වනාහි අහේතුක දෘෂ්ටි, අක්‍රිය දෘෂ්ටි, නාස්තික දෘෂ්ටි යැ යි තුන් වැදෑරුම්.
“සත්ත්වයා කෙලෙසීමටත් පිරිසිදු වීමටත් හේතුවක් නැතැයි. එය ඉබේ ම වන දැයෙකැ”යි වරදවා දැක්ම අහේතුක දෘෂ්ටි යි.
කුශලාකුශල කර්මවල කිසි ම විපාකයෙක් නැතැ යි වරදවා ගැන්ම අක්‍රිය දෘෂ්ටි නම්.
දානාදියේ ඵල විපාක නැතැයි, මව යැ පියා යැ යි විශේෂ යෙන් සැලැකියැ යුතු කෙනෙක් නැතැ යි මෙලොව පරලොව කියා දැයෙක් නැතැ යි යන ආදීන් වැරැදි ලෙස දැක්ම නාස්තික දෘෂ්ටිය යි.
මේ මිත්‍යාදෘෂ්ටි ගත් අයට එහි ඵල වශයෙන් මෙහිදීත් සිහි මුළාවීම් ආදිය ද, මරනින් පසු අපායේ ඉපැත්ම ද, මිනිස් ව උපන් කල නුවණ මඳ බව, සුව කළ නො හැකි කල් පවත්නා ලෙඩ ඇති බව ආදි හිරිහැර ද වේ.

------------------ත්‍රිභෙදය-----------------

සියලු අකුසල් කායික, වාචසික, මානසික යැයි කොටස් තුනකට බෙදේ. කායික යනු කයින් කරනු අකුසලි. වාචසික යනු වචනයෙන් කරන අකුසලි. මානසික යනුසිතින් පමණක් කරන අකුසලි.

කයින් කරන (කායික) අකුසල් නම් – ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුන යි.
වචනයෙන් කරන අකුසල් නම් – මුසාවාද, පිසුනවාචා, පරුෂා වචන, සම්ඵ ප්‍රලාප යන සතර යි.
සිතින් ම කරන අකුසල් නම් – අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන තුන යි.
සාවධාතා භෙදය
අල්ප සාවද්‍යා යනු ස්වල්ප දුක් විපාක දෙන කර්ම යි. මහා සාවද්‍ය යනු මහත් දුක් විපාක දෙන කර්මයි.

-----------බුද්ධ භක්තිය------------

ප්‍රාණඝාතයෙහි වනාහි කුඩා ම සතුන් මැරීම අල්ප සාවද්‍ය වේ. වඩ වඩා ලොකු සතුන් මැරීම වඩ වඩා මහා සාවද්‍ය වේ. එයට කරුණු නම් කුඩා සතුන් මැරීමට යෙදෙන ප්‍රයෝගය, ගන්නා උත්සාහය ස්වල්ප වීමත්, මහත් සතුන් මැරීමට යොදන ප්‍රයෝගය, ගන්නා උත්සාහය මහත් වීමත් ය.

එක සමාන සතුන් අතුරෙහි ද, ගුණයෙන් වැඩි සතා මැරීම මහා සාවද්‍ය වේ. ගුණයෙන් අඩු සතා මැරීම අල්ප සාවද්‍ය වේ.
තිරිසන් සතුන් මැරීමට වඩා මිනිසුන් මැරීම මහාසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි බවත්, මැරීමට කරන ප්‍රයෝගයේ මහත් බවත් එයට කරුණු යි. ගුණ හීන මිනිසුන් මැරීමට වඩා මහ ගුණවත් මිනිසුන් මැරීම මහාසාවද්‍ය යි. ගුණයෙන් මහත් බැවිනි.
මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු රජුන් ගේ ඇඟේ ලේ සෙලැවීම යන මේවා අන් හැමටම වඩා දරුණු වූ ආනන්තර්ය අකුසල් කොටසට අයත් දෑය.
ආනන්තර්ය අකුශල යනු වෙන කොතරම් පින් කළත් ඒවායේ ශක්තියෙන් වසා ලිය නොහැකි මෙයින් මැරෙනු සමග ම ඒකාන්තයෙන් අවීචි මහා නිරයට පමුණුවා ලන අකුසල් ය. අනත්තර හෙවත් මී ළඟ ම අත් බව්හි විපාක දෙනුයේ ආනන්තර්ය යි.
ගුණයෙන් අඩු සතුන් මැරීමේ අකුසලය ඇතැම් විට මහ කුසල් කිරීමෙන් මැඩ පවත්වා, විපාක දීමට ඉඩ නො දෙන්නට පිළිවන.
අදත්තාදානයේ අල්ඵ සාවද්‍ය මහා මහා සාවද්‍ය බව වනුයේ සොරා ගන්නා බඩු වේ වටිනා නො වටිනා කමේ හැටියටත් වස්තු හිමියන් ගේ ගුණවත් බවේ අඩු වැඩි කමේ හැටියටත්ය.
සාමාන්‍ය කෙනෙකු සතු නො වටිනා දැයක් ගැන්මට වඩා එ බඳු ම කෙනෙකු සතු වටිනා දෙයක් සොරා ගැන් ම මහා සාවද්‍ය වේ. එහෙත් ගුණයෙන් වැඩි කෙනෙකු ගේ නො වටිනා බඩුවක් වුවත් ගුණ අඩු කෙනෙකු ගේ වටිනා බඩුවක් ගැන්මට වඩා මහා සාවද්‍ය වේ. එහි ද සොරා ගැන්මට කරන උපක්‍රමයේ කුදු මහත් බැවිනුත් කර්මයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව මැන්න යුතු ය.
නො දැහැමි ධනවතකු ගේ දැයක් ගැන්මට වඩා අහිංසක දිළින්දකු ගේ දැයක් ගැන් ම ද මහාසාවද්‍ය වේ. ගනු ලබන බඩුවේ වටිනාකම ද, වස්තු හිමියාගේ ගුණ ප්‍රමාණය ද, සොරා ගැනීමෙහි උපක්‍රම ප්‍රමාණය ද යන තුන ම බලා අල්පසාවද්‍ය බව හා මහාසාවද්‍ය බව නිශ්චය කළ යුතුයි.
කාමමිථ්‍යාචාරයෙහි – ගුණ හීන ස්ත්‍රියක කෙරෙහි කාමයෙහි වරදවා හැසිරීමට වඩා ශීලාදි ගුණවලින් වඩා දියුනු වූ ස්ක්‍රියක වැරැදි සේ සේවනය කිරීම මහාසාවද්‍ය වේ. තවද නෑකමේ හැටි හැටියට ද නගුන් නැන්දැණියන් මවුන් හා කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම් ක්‍රමයෙන් වඩ වඩා මහාසාවද්‍ය වේ. ගුරුවරයා ගේ භාර්යාව, මෑණියන්, බ්‍රහ්මචාර්යාව රක්නා ස්ත්‍රීන් හා කාම සේවනය එක් සමාන සේ මහාසාවද්‍ය වේ.
සුරාපානයේ අල්ප මහා සාවද්‍යතා මෙසේ ය. - කෑම කන විට ආහාරයේ අවයවයක් වශයෙන් හෝ සිහි මුළා නො වන පමණට හෝ මත් පැන් බීම අල්ප සාවද්‍ය වේ. මත් වීම වැඩි වැඩි වූ පමණට ද, එයින් කරන දරුණු ක්‍රියාවේ වැඩි වැඩි පමණට ද වඩ වඩා මහා සාවද්‍ය වේ.
මුසාවාදයෙහි වනාහි ඒ බොරුවෙන් වන, එය පිළිගන්නවුනට වන හානියේ වන අඩු වැඩි කමේ පමණට අල්පසාවද්‍ය හෝ මහා සාවද්‍ය බව වේ.
තමා සතු, ඇති දැයක් නො දෙන අදහසින් නැතැයි කීම අල්ප සාවද්‍ය යි. අනුනට අලාභ කරනු පිණිස බොරු කීම මහාසාවද්‍ය යි.
නාන්නට ගොස් පොකුණෙහි දිය සිඳී තිබෙනු දැක අවුත් සිනා සෙන අදහසින් සෙස්සනට අද ළිඳ උතුරා යෙතැ යි කියන සේ වූ බොරු අල්පසාවද්‍ය යි. සිල්වත් ගුණවත් අයට කවට කම් වශයෙන් වුව ද නැති දෙයක් නගා කීම මහාසාවද්‍ය වේ.
පිසුන වාචායෙහි (කේලාම් කීමෙහි) කේලාම් අසා බිඳෙන පුද්ගලයා ගුණ අඩු කෙනෙක් වී නම් අල්පසාවද්‍ය වේ. ගුණ වැඩි කෙනෙක් නම් ගුණ පමණට ඒ කේලම මහා සාවද්‍ය වේ.
පරුෂ වචනයෙහි ඇනුම් බැනුම් අසන්නා ගුණයෙන් අඩු වූ පමණට ඒ කර්මය අල්පසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි වූ පමණට මහාසාවද්‍ය වේ.
සම්ඵ ප්‍රලාපය මද වශයෙන් දෙඩීම අල්පසාවද්‍ය වේ. වඩ වඩා දෙඩීමෙන් මහා සාවද්‍ය වේ.
අභිධ්‍යායෙහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය බව ඉහත අදත්තාදානයට කී පරිදිම ය.
ව්‍යාපාදයෙහි අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ඉහත පරුෂ වචනයට කී පරිදි ම ය.
මිත්‍යාදෘෂ්ටියෙහි නියත මිථ්‍යාදෘෂ්ටියක වීම මහා සාවද්‍ය වේ. අනියත මිථ්‍යාදෘෂ්ටියක බව අල්පසාවද්‍ය වේ.

---------------විපාක----------------

ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක යැයි විපාක දෙවැදෑරුම්. යම් තැනැක ඉපැදැවීම ප්‍රතිසන්ධි විපාක නම්. උපන් පසු දෙන විපාක ප්‍රවෘත්ති විපාක නම්.

---------------කර්ම කර්මපථ---------------

උඩ කී ඒ ඒ අකුසල් අංග සම්පූර්ණ ව කැරුණේ කර්මපථ වේ. (හෙවත් අපායවල උපදවා දුක් දීමට සමත් වේ) එ සේ අංග සම්පූර්ණ නො වූයේ කර්ම මාත්‍ර ම වේ. එයින් ප්‍රවෘත්ති විපාක (උපන් පසු යම් යම් දුක් හිරිහැර) දෙවෙයි.

-----------------අනුන් ලවා කැරැවීම---------------

ඉහත කී අකුසල් අනුන් ලවා කැරැවීමේ දී, අණ ලත් පරිදි ම කිසි අඩුවක් නැති ව ම එය කරන්නවුනට ද අණ කළ අයට ද යන දෙපක්ෂයට ම එක සේ අකුසල් සිදු වේ. කී සැටියෙන් වෙන් ව කළොත් අණ ලැබූ තැනැත්තාට (එය අංග සම්පූර්ණ කර්මයක් වී නම්) අකුසල කර්මපථ වේ. අණ කළාහට කර්ම මාත්‍ර ම වේ.

-------------------අකුසල් මුල්----------------------

ලෝභය, ද්වේෂය (තරහව) මෝහය (ඇති තතු නො දැන්මය) යන තුන් දෙන අකුසල් වල මුල්ය.

ප්‍රාණඝාතය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුත් සිතින්කැරේ. එසේ නම්, මස් ලොබින් සතුන් මැරීම ලෝභ – මූලික නොවේ ද ? නොවේ.

සතා කෙරේ ලෝභය තිබේ නම් ඌ මැරිය නො හැක්ක. සතාගේ ජීවිතයට විරුද්ධ බැවින් ම එය නසයි. ඔහු ලෝභ කරනුයේ උගේ මසට ය. මෙ සේ නම් මස් ලොබින් සතුන් මැරීම කෙසේ වන්නක් ද ? එය මස් ලොබ සහිත සිත් මුලින් සැදි සැදී අවුත් එයින් රුකුල් ලැබ හටගත් ද්වේෂ සහිත සිතින් කරනකර්මයෙකි. මෙයට ලෝභ ප්‍රත්‍යය ද්වේෂ මූලික සිතින් කැරෙන්නෙකැ යි කිය යුතු යි’ මෙ බඳු තැන ද්වේෂ මූලික යැ යි මෝහය හැම අකුසලෙකම ඇති එකක් බැවින් එය එකක් පාසා නො කීවාට වරදෙක් නැත.
අදත්තාදානය ලෝභ - මෝහ දෙක මුල් වද, ද්වේෂ මෝහ දෙක මුල්ව ද උප දී.
කාමමිථ්‍යාචාරය ලෝභ - මෝහ යන දෙ මුලක් ඇති එකෙකි.

මුසාවාදය වස්තුලෝභාදියෙන් බොරු කීමේ දී ලෝභ - මෝහ යන දෙ මුලෙකින් යුක්ත ද, අනුනට ක්‍රෝධයෙන් බොරු චෝදනා නැංවීම ආදියේ දී ද්වේෂ මෝහ යන දෙ මුලින් යුක්ත ද වේ.

පිසුන වාචාවත් සම්ඵප්‍රලාපයත් දෙක ද මුසාවාදය සේ ම විටෙක ලෝභ මෝහ යන දෙ මුලින් ද විටෙක ද්වේෂ මෝහ යන දෙ මුලින් ද ඇති වේ.
පරුෂ වචනය ද්වේෂ මෝහ යන දෙ මුලින් ඇති වේ.
අභිධ්‍යාව ත් මිථ්‍යාදෘෂ්ටිය ත් ලෝභ මෝහ යන දෙ මුලින් යුක්ත වෙති.
ව්‍යාපාදය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුක්ත ය.
ඉහතින් විස්තර කැරුණු දස අකුසලින් වෙන්වීම දස කුසල් නම්.

------------------------කුසල්----------------------

දස පින් කිරිය වත් පිරීම කුසල් සිතින්ම කැරෙන්නක් බැවින් එය ද කුසල් කම් නමින් සලකති.
පින් කිරිය වත් නම් – දාන සීල භාවනා අපචායන චෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා ධම්මදෙසනා ධම්මසවණ දිට්ඨුජුකම්ම යන දශය යි. මේවා කිරීමට ;හ්තු වන කුසල් මුල් තුනෙකි. ඒ අලෝභ අද්වේෂ අමෝහ යන තිදෙන ය. කුසල හේතු යැ යි ද මුනට බැවහැර වේ. ලෝභයට කෙළින් ම විරුද්ධ වූ ස්වභාවය අලෝභය යැ යි ද, දත යුතු ප්‍රාණඝාතාදී අකුසලින් වැළකීමේ දී එනම් - ශීලාදී පින් දහම් වැඩීමේ දී මේ කුසල් මුල් ඇති වේ.
කුසල් කිරීමේ දී සමහර විට අලෝභ අද්වේෂ අමෝහ යන තුන් කුසල් මුල් ම සිතේ ඇති වේ. එ බඳු සිතින් කරන කුසල් ත්‍රිමූලික හෝ ත්‍රිහේතුක කුසල් නම් වේ. කුසල් කරන සමහර විටෙක කුසල් මුල් අතුරෙන් අලෝභ අද්වේෂ දෙක පමණක් ඇතිව කරත්, එසේ වූ කුසල් විමූලක හෝ ද්විහේතුක කුසල් නම් වේ.

7/6/17

විදසුන් වැඩීම


බුද්ධාගමේ හැටියට හැමකෙනෙකුම ශීල, සමාධි, පඤ්ඤා යන තුන් දහම් පිරිය යුතුය. අඩුම ගණනේ ගිහියා පන්සිල්වත් රැක්ක යුතුය. භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය රැක්ක යුතුය. මනාව සිල් රැක්ක තැනැත්තේ දෙව් මිනිස් සුගතියෙහි උපදනේය. එහෙත් මෙම ලෞකික ශීලය සත්වයා නරක ආදී සතර අපාය කෙරේ මුළුමනින් නවත්වන්නට සමත් නොවේ. එබැවින් ලෝකෝත්තර ශීලයද වැඩිය යුතුය. මෙය නම් මාර්ගඵල ශීලය යි. මේ මාර්ග ඵල ශීල පිරූ තැනැත්තේ සතර අපා දුකින් මිදුනාක් වෙයි. සසර ඉන්නා තුරු හෙතෙම සුගතිවලම හැසිරෙයි. එහෙයින් හැම තැනැත්තකුම ලෝකෝත්තර ශීලය පිරීමට උත්සාහවත් විය යුතුය.
මාර්ග ඵල ශීලය පමණක් නොව සමාධියද වැඩිය යුතුය. සමාධි නම් සිතේ තැන්පත් බවය. දමනය නොකළ සිත ඒ ඒ අරමුණු ඔස්සේ දිවැ ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය (සිත) රූපාදී අරමුණක් හෝ ධර්මාලම්භනයක් හෝ ඔස්සේ දුවයි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට, තෝරා ගත් අරමුණකම දිගටම සිත බැඳ තැබිය යුතුය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන්පත් වෙයි. එවිට දුන් අරමුණෙහිම සිත රැඳෙයි. මෙය සමාධිය යි.
සමාධි දෙවර්ගයකි. ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙනි. මේ දෙකින් ආනාපාන, කසින, මෙත්තා ආදී කමටහන් අනුව සමථ භාවනාව වැඩීමෙන් සතර රූප ධ්‍යානත්, සතර අරූප ධ්‍යානත් ලබත හැකි වේ. මේවා වැඩීමෙන් බ්‍රහ්ම ලෝකයක උපදිත හැකිය. බඹලොව පරමායු බොහෝ දික්ය. එක් කල්පයක්, කල්ප දෙකක්, තුනක්, කල්ප හතරක්, අටක් යනාදී වශයෙන් වැඩිව ගොස් කල්ප අසූහාර දහසකටද නැගේ. එහෙත් පරමායුෂයේ අවසන බ්‍රහ්මයෙක් මැරී මිනිහෙක්ව හෝ දෙවියෙක්ව හෝ උපදී.
දැහැමි ලෙස ජීවත්වුවහොත් හැම කල්හිම සැපවත් වන්නේය. එහෙත් කෙලෙසුන්ගෙන් නොමිදුණු බැවින් නොයෙක් විට අකුසල්ද ඔහුගෙන් සිදුවන්නේය. එසේ වීමෙන් ඒ අකුසල්වල නපුරු විපාක වශයෙන් නරකාදී දුගතිවල උපදින්නේය. මේ ලෞකික සමාධිය ඒකාන්ත ආරක්ෂාවක් නොවේ. එබැවින් ලෝකෝත්තර සමාධියම වැඩිය යුතුය. එනම් මග්ග සමාධිය, ඵල සමාධිය දෙකයි. මේ දෙසමාධීන්ම වැඩීමට ප්‍රඥාව වැඩිය යුතුය.
ප්‍රඥාව ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. පරහිංසා ඇති නොකරන ධාර්මික ශිල්ප ශාස්ත්‍ර අතේ දැනීම ද, දහම් පොතපත අතේ මනා දැනීම ද යන මේ ශ්‍රැතමය ප්‍රඥාවද, කරුණු සිතා බැලීමෙන් ඇති වන චිත්තාමය ප්‍රඥාවද යන මාර්ග ඵල අවස්ථාවට නොමුහු කළ ලෞකික ප්‍රඥාව වැඩීමෙන් සුගති සැප ලබත හැකිය. එහෙත් මුළුමනින්ම අපාය දුකින් මිදුණකු විය නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව වැඩීමෙන්ම අපාය දුකින් සදහටම මිදෙත හැකි වෙයි.
ලෝකෝත්තර ප්‍රඥා යනු මාර්ග ඵල ප්‍රඥාය. මෙය ලැබීමට විපස්සනා භාවනාව වැඩිය යුතුය. මෙය හොඳටම වැඩුණු පසු සීල සමාධි දෙකද ඒ සමගම වැඩුණෝ වෙති.
මේ ප්‍රඥාව ලැබීම පිණිස කළ යුත්තේ නාම රූප දෙක ඇති සැටි ලෙස දැකීම දියුණු කිරීම ය. මේ කාලයෙහි භෞතික විද්‍යාව උගන්වන තැන්වල රූප ධර්මයන් යන්ත්‍ර උපකරණ මගින් බෙද බෙදා බැලීම කරනු ලැබේ. එහෙත් එයින් සිතේ තතු දත හැකි නොවේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට ඒ බාහිර උපකරණ වුවමනා නැත. බෞද්ධ ක්‍රමයෙන් සාර්ථක ලෙස නාම රූප දෙකම බෙදා බලත හැක්ක. සිතත් කයත් දෙක ඒ ඒ මොහොතෙහි ක්‍රියා කරන සැටිය තියුණු ලෙස තම සිත යොදා බැලීම කළ යුතුය. දිගටම මෙය කරගෙන යාමෙන් සමාධි ලැබේ. සමාධිය තියුණු වූ පසු නාමරූපයන් හැදි හැදී දිගටම පැවැත්ම ප්‍රකට වෙයි.
ආත්ම භාවය මේ නාමස්කන්ධ, රූපස්කන්ධ දෙකින් සෑදුණු එකකි. ශරීරයට අයත් කොටස් සියල්ලම රූපස්කන්ධයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, සෝත ආදී රූප විසි අට කොටසක්ම මෙයට ඇතුළත් වෙයි. කොටින්ම කියතොත් ශරීරයම රූපස්කන්ධය යි. මැටියෙන් හෝ පිටියෙන් හෝ හැදූ රූපය මැටි ගොඩක්ම, පිටි ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශරීරයද එසේම රූප ධාතු ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශීත, ඌෂ්ණ, සා පිපාසා ආදියෙන් රූප පෙරැළේ. මේ රුප්පනය හෙවත් පෙරැළීම නිසා ශරීරයෙහි වු දෙයට රූප යන නම පාලියෙන් බැහැර විය. එහි අරමුණු ගන්නා කිසිම ධර්මයෙක් අඩංගු නැත.
එසේ නම් අරමුණු ගන්නා දැය කිමෙක්ද? එය නම් රූපයේ ආධාරයෙන් පහළ වන චිත්ත චෛතසිකයන් ය. මොවුනට අරමුණු කරා නැමෙන බැවින් නාම යැයි ව්‍යවහාර වේ. සිතට චිත්තය, විඤ්ඤාණය කියාද බැහැර වේ. පහත දැක්වෙන පරිදි සිත රූපයේ ආධාරයෙන් උපදනේය.
ඇසෙහි චක්ඛු විඤ්ඤාණය ද, කනෙහි සෝත විඤ්ඤාණය ද, නාසයෙහි ඝාන විඤ්ඤාණය ද, දිවෙහි ජිව්හා විඤ්ඤාණය ද, කයෙහි කාය විඤ්ඤාණය ද පහළ වේ. මේ සියල්ල චිත්ත ධාතූහු ය. රූපාදී අරමුණු දැනගන්නෝ ය. එහෙත් රූපයේ නම් අරමුණු දැනගත්තෝ නොවෙති.
දකින්නේ ඇස යැයි මිනිසුන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. ඔහු ඇසෙන් දැකීමත් එකක් කොට සිතයි. දැක්ම මම ය. මම ඒ ඒ දෑ දකිමි. ඇසත්, දැකීමත්, මමත් යන තුන්දෙනාම එකක්ම ය. එකම තැනැත්තාම යැයි ඔවුන්ගේ පිළිගැනීම ය. ඇත්ත නම් මෙසේ නොවේ. ඇස එකකි. දැකීම අනෙකකි. මෙහි මම ය, තැනැත්තා ය, තමා ය කියා කිසි සාරයක් එහි නැත. ඇස නිසා පහළ වන දැකීම පමණක් එහි ඇත. දැන් කාරණයක් පැහැදිලි ය. එනම්, දැකීම කරන හැම මොහොතේම ඇස නමැති රූප ධාතුවත්, චක්ඛු විඤ්ඤාණය නමැති නාම ධාතුවත්, මේ දෙක හැර තවත් බාහිර වූ රූපාලම්බනයක්ද ඇති බව ය.
සමහර විට රූපාලම්බනය තමා කෙරෙහිම ඇති එකක් විය හැකිය. නැතහොත් බාහිර රූපයක් විය හැකිය. මෙසේ රූපාලම්බනත් සමග ධාතු තුනකි. එයින් චක්ඛු ධාතුව (ඇස ද) රූප ධාතුව ද (රූපාලම්බනය) යන දෙකම රූප ධර්ම කොටසට අයත් ය.
ඇසත්, රූපයත් දෙකම රූප ධර්ම බැවින් අරමුණු දැන ගැනීමේ ශක්තිය නැත්තෝ ය. දර්ශන හෙවත් දැකීමේ ක්‍රියාව මානසික එකක් බැවින්, එයටම රූප අරමුණත් එහි සැටි ආදියත් දැක ගත හැකි වෙයි. රූප ධාතු ද, නාම ධාතු ද යැයි ධාතු දෙවර්ගයක් ඇති බවත් ඔවුන් දෙදෙනාගේ ඝට්ටනයකින් දැකීම සිදුවන බවත් දැන් පැහැදිලි ය.
විදර්ශනාව අතේ පළපුරුද්දක් නැති අය දකිමි කියා හෝ, දකිනුයේ තමා යැ, ආත්මය, පුද්ගලයා කියා හෝ සලකති. දකින්නා මම යැයි මම දකිමි ය, මම දනිමි ය යැයි ඔවුහු සිතති. මෙසේ වූ පිළිගැන්ම සක්කාය දිට්ඨිය නම් වේ. සක්කාය නම් විද්‍යාමාන වූ නාමරූප දෙකයි. දිට්ඨි නම් වැරැදි දැක්මයි. වැරැදි පිළිගැන්ම යි. සක්කාය දිට්ඨි නම් වැරැදි දැක්ම වැරැදි පිළිගැන්ම යි. ඇත්තා වූ නාමරූප දෙක වැරැදි ලෙස දැක්මයි.
මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන තුරු අපා දුකට වැටීමෙන් මිදී ගත හැකි නොවෙයි. පෙර පින් බෙලෙන් දෙව්ලොව හෝ මිනිස් ලොව ඉපිද සිටියත් අකුසල් විපාකයක් මතු වූ විට අපාය දුකට වැටෙයි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් "සක්කාය දිට්ඨිප්පහානය සතෝභික්ඛු පරිබ්බෙජේ - සක්කාය දිට්ඨිය දුරලනු පිණිස සිහි ඇති මහණ තෙමේ විදසුන් වඩන්නේය"යැයි වදාරණ ලද්දේ ය.
යමක් දැකීමේ දී තමා තුළ පවත්නා ධාතූන්ගේ ස්වභාවය සලකා බැලීම පළමු කොට කළ යුතුය. හැම දැකීමකදී ම, දැකීමය දැකීම යැයි මෙනෙහි කළ යුතුයි, එසේ මෙනෙහි කරමින් වරෙක දකිනු ලබන රූප අරමුණ සලකා බැලිය යුතුය. වරෙක ඇස දැකීමට ආධාර වූ ස්ථානය සේ සැලකිය යුතුය. මේ තුනින් කොයි එකක් හෝ (ඇස, රූපය, රූපාලම්බනය) පැහැදිලි ලෙස සලකා බලන්නට හැකි නම් එය සෑහේ.
එසේ නොකොළොත් මේ දැකීම නමැති ක්‍රියාව නිසා, දකින්නකු දැකීම අයත් පුද්ගලයකු ඇති සේත්, ඔහු නිත්‍ය හෝ සැප හෝ ආත්ම වූවක් සේත් සලකන්නට වීමෙන් සක්කාය දිට්ඨිය ඇති වේ. එයින් තෘෂ්ණාව ඇති වේ. එයින් කර්ම කිරීම ඇති වේ. ඒ කර්ම පුණ්‍යයෙන් නැවත ඉපදීම ඇති වේ. මෙසේ සසර ගමන දිග් ගැහේ. දැකීම නිසා සංසාර ගමන ඇති නොවන පිණිස හැම දැකීමේ ක්‍රියාවෙහි දී ම දකින්නකු නොව දැකීම ම, දැකීම් මාත්‍රය ලෙස සලකා බැලිය යුතුය.
මෙසේම ශ්‍රවණ ක්‍රියාවෙහි දී ද එකක් අනෙකට වෙනස් නාම රූප දෙවර්ගයක් ඇති වේ. කන නිසා ඇසීම පිළිබඳ හැඟීම වේ. කනත් ශබ්දයත් දෙකම රූප ධාතූන් වන අතර ශ්‍රෝත විඤ්ඤාණය නාම ධාතුවෙක් වේ. මේ රූප දෙවර්ගයෙන් කවර එකක් හෝ පැහැදිලි ලෙස දකිනු අසන හැම විටම, ඇසීම ඇසීම යැයි සැලකිය යුතුයි.
මෙසේම යමක් ආඝ්‍රාණය කරන හැම විටම, ආඝ්‍රාණය ආඝ්‍රාණය යි ද යමක් රස විඳින හැම විටම, රස විඳීම රස විඳීම යැයි ද මෙනෙහි කළ යුතුය. මේ පරිදිම සිරුරෙහි යමක් හැපීමෙහි දී (ස්පර්ශයේ දී), හැපීම හැපීම යැයි සලකා බැලිය යුතුය. ඇඟ හැපෙන සියල්ලේ දී, හැපීම හැපීම යැයි සලකිය යුතුය. ඇඟ හැපෙන හැම දෙයක්ම පිළිගන්නා කාය ප්‍රසාද නම් රූප ධාතුවෙක් ඇත. ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ සියලු පොට්ඨබ්බාරම්මණය කාය ප්‍රසාදයෙහි හැපී කාය විඤ්ඤාණය ඇති වේ. පොට්ඨබ්බාරම්මණයන් ස්පර්ශ කරන හැම විට, කාය ප්‍රසාදයත්, පොට්ඨබ්බාරම්මණයත් යන රූප ධාතු දෙකක් හා සසම්ප්‍රයුක්ත කාය විඤ්ඤාණ නම් නාම ධාතුවක් ද ඇති බව දැන් පැහැදිලි ය. ස්පර්ශ කිරීම ස්පර්ශ කිරීම යයි මෙනෙහි කිරීමෙන්, මේ නාම, රූප ධාතූන් වෙන්කොට දැක්ක හැකි වෙයි.
මේ කියන ලදුයේ පොට්ඨබ්බ විඤ්ඤාණය ගැන ය. එයට තද බව, වෙහෙස, උෂ්ණය, කැක්කුම යනාදී දුක් වේදනා ඇති කරන, අරමුණු ඇඟ හැපීමේ දී පහළ වන, දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ද ඇත. එය පහළ වීමේ දී වේදනාව බලවත් බැවින් උණුසුම, වෙහෙස, කැක්කුම ආදිය දැනේ. අත්පා ආදිය නැවීම, දිගු කිරීම ආදී ඒ ඒ අවස්ථාවන්හි නා නා විධ කායික වේදනා පහළ වන බව කිය යුතු වේ. අත් දිගු කිරීම් ආදිය කිරීමට සිතින් ඕනෑ කළ බැවින් ම ඒ ක්‍රියා සිදුවේ. කය නැවීම් ආදිය ද ඉරියව් පැවැත්වීම ද ඒ ඒ අවස්ථාවන්හි පහළ වන සිතින්ම කරනු ලැබේ. අත් ආදිය හකුළන්නට කැමැත්ත ඇති වන විට ඒ අවයවය තමා දෙසට නවා ගැනීම සිදුවේ. දිගු කිරීම්, යෑම් ආදියට කැමැත්ත ඇති වූ විට අවයව තමාගෙන් පිටතට යැවීමේ ක්‍රියාව සිදු වේ. ඒ ක්‍රියාව සිදුවී එතැනම නිරුද්ධ වේ. අත් නැවීම් ආදී ක්‍රියාවෙහි දී ඒ පිළිබඳව සිත් වැලක්ම ඇති වේ. ඒ හේතුවෙන් අත් නැවීම් ආදිය සිදුවේ. මේ අවස්ථාවල දී පොට්ඨබ්බ අරමුණ කාය ප්‍රසාදයෙහි ගැටීම නිසා කාය විඤ්ඤාණය පහළ වේ. එයින් පොට්ඨබ්බ අරමුණ දැනීම් වේ.
මෙසේ අත්පා නැවීම් ආදී ක්‍රියාවලදී කාය විඤ්ඤත්ති රූප බලවත්ව ක්‍රියාත්මක කැරෙන බව පැහැදිලි ය. මෙය මෙසේ තේරුම් නොගතහොත්, මම අත් නවමි, අත් දිග හරිමි යනාදී සක්කාය දිට්ඨිය ඇති වේ. නැවීම්, දිග හැරීම්, සැලීම් ආදී වශයෙන් ඒ නැවීම් ආදියෙහි මෙනෙහි කිරීම පුරුදු කළ යුතු වන්නේ මේ සක්කාය දිට්ඨිය ඇති නොවනු පිණිස ය. වස්තු රූපය ආශ්‍රය කොට ගෙන නා නා විධ සිත් ඇති වේ.
කොටින් කියතොත් මානසික ක්‍රියාවන් කය ඇසුරු කොට ඇති වෙතැයි කිය යුතුය. පරමාර්ථ වශයෙන් ඒ හැම එකක්ම නාම රූප සංයෝගයෙන් පැවතී ගෙන යන ධර්ම පරම්පරාවකි. එහි කය නම් රූප පරම්පරාවකි. සිත් හා චෛතසික (සිතුවිලි) නම් නාම පරම්පරාවකි. නාම රූප දෙක වෙන් කොට තේරුම් ගැනීම පිණිස, සිතීම සිතීම කියා හෝ කල්පනාව කල්පනාව කියා හෝ අදහස අදහස කියා හෝ ඒ ඒ මොහොතට ගැළපෙන පරිදි මෙනෙහි කළ යුතුය.
ටික කලක් මේ මෙනෙහි කිරීම පුරුදු කළ පසු සමාධිය තරමක් දුරට වැඩේ. සිත් ඒ මේ අත නොදුවන බව ද ඔහුගේ සිත අරමුණේ නිශ්චලව පිහිටන බව ද ඔහුට දැනේ. අරමුණ සලකා ගැනීමේ ශක්තිය වැඩී ඇති බව ඔහුට වැටහේ. මේ හැම මොහොතකම නාම පරම්පරාවකුත්, රූප පරම්පරාවකුත් ම මෙහි ඇති වෙවී නැති වෙවී දිගට පවතිතැයි දැනේ. තවදුරටත් මේ මෙනෙහි කිරීම දියුණු වූ පසු ඔහුට කිසිම නාමයක්වත්, රූපයක්වත් ස්ථිර නොවන බවත්, ඒ සියල්ල අනිත්‍ය බවත් වැටහේ. අලුත් අලුත් අරමුණු සිතට නැගෙන්නට විය හැකිය. එවිට ඒ මෙනෙහි කළ විට නැති වී යයි. එවිටම තව අරමුණක් සිතට නැගෙන්නට පුළුවන. එය ද මෙනෙහි කළ විට නොපෙනී යයි. මෙසේ පහළ වීම්, නැතිවීම් වැල දිගට පැවතීමෙන් අනිත්‍යතාව පැහැදිලි වෙයි. මේ හැදීම, නැතිවීම තමාටම දැනුණු බැවින් ඒ සියලු නාම රූපයන් අනිත්‍ය බව ඔහුට නිසැක ය. මේ අනිච්චානුපස්සනා ය.
මේ හැදීම, නැසී යෑම සුවයක් නොවන බව ඔහුට වැටහේ. මේ දුක්ඛානුපස්සනා යි. තව ද සිතට කයට දැනෙන වෙහෙසීම ආදිය දුක් බව නුවණින් සැලකීමේ දී, මේ දුක් රැසක් බව ඔහුට දැනෙන්නට වෙයි. මේ ද දුක්ඛානුපස්සානා යි.
මෙසේ මෙනෙහි කිරීමේ දි නාම රූපයත් ඒ ඒ මොහොතේ ඇති වන හේතු ප්‍රත්‍යයන්ට අනුකූලව හැදි හැදී යනු මිස, තම සිතේ කැමැත්තට අනුව නොහැදෙන බව පෙනේ. මේවා ධාතු මාත්‍රයෝ ය. මේවා සිය වසයෙහි නොපවත්නෝ ය. මේවා ආත්ම හෝ පුද්ගල නොවෙතියි හෙතෙම දකී. මේ අනත්තානුපස්සනා ය.
මේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ලක්ෂණ තුන පිළිබඳව දැනීම දියුණු කිරීමෙන් මාර්ග ඵල ඥාන ලැබීමෙන් නිවන් ප්‍රත්‍යක්ෂ වේ. නිවන් ප්‍රත්‍යක්ෂ කරන පළමු අවස්ථාවේදී අපාය දුකෙන් සදහටම මිදුණෙක් වේ. තවදුරටත් විපස්සනාව වැඩුවොත් දෙවැනි තුන් වෙනි අවස්ථා ද ඉක්මවා රහත් බව ලැබීමෙන් හෙතෙම මුළුමනින් ම සසර දුකින් මිදුණෙක් වන්නේ ය.
සාර්ථකව මේ භාවනාව වැඩීමට සුදුසු කර්මස්ථානාචාර්ය වරයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය බව සැලකිය යුතුය.
සියල්ලෝම ඉහත දුන් උපදෙස් පරිදි විපස්සනාව වඩා සාන්දෘෂ්ටික වූ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගනිත්වා!

7/5/17

නාලක තෙරුන් වහන්සේ - මෝනෙය්‍ය වත නම් වූ උසස් ප්‍රතිපත්තිය


බුදුසස්නෙහි මෝනෙය්‍ය වත නම් වූ උසස් ප්‍රතිපත්තියක් ඇත්තේ ය. ඉතා දුෂ්කර වූ ඒ ප්‍රතිපත්තිය පුරන්නේ එන් බුදුසසුනක එක් ශ්‍රාවකයකු විසින් පමණෙකි. ඒ ප්‍රතිපත්තිය උත්කෘෂ්ට ලෙස පුරන ශ්‍රාවකයකුට සත්මසකට වඩා ජීවත් විය නොහේ. මධ්‍යම ප්‍රමාණයෙන් පුරන්නකුට සත්වසකට වඩා ජීවත් විය නොහේ. ලිහිල් ලෙස පුරන්නකුට සොළොස්වසකට වඩා ජීවත් විය නොහේ. අප බුදුසස්නෙහි ඒ ප්‍රතිපත්ති පිරුවේ නාලක තෙරුන් වහන්සේ විසිනි.

නාලක තෙරුන් වහන්සේගේ කථාව මෙසේය:-
ශුඬෝදන රජතුමාගේ පියා වූ සීහහනු රජුට අසිත නම් පුරෝහිත බ්‍රහ්මණයෙක් විය. ශුඬෝදන රජුට ශාස්ත්‍ර උගැන් වූ ගුරුවරයා ඔහුය. සිහහනු රජුගේ ඇවෑමෙන් ශුද්ධෝදන කුමර තෙමේ රජ විය. අසිත එතුමාගේ පුරෝහිත විය. ඔහු දිනපතා උදය සවස රාජෝපස්ථානයට එන්නේය. රජතුමා ඔහුට පෙර සේ ගරු බුහුමන් නොකොට දෙ අත් එකතු කොට වැඳීම පමණක් කරයි. එයින් කළකිරුණු අසිත, පුරෝහිත බව හැර පැවිදි වන්නට සිතුවේය. හේ රජුට ඒ අදහස දැන්වීය. රජතුමා ඔහු නො වැළැකිවිය හැකි බව දැන “ආචාර්‍ය්‍යයෙනි, එසේ නම් පැවිදිව අපට නිතර දැකිය හැකි වීමට අපගේ උයනෙහි ම විසූව මැනය” යි කීය. හේ “එසේ වේවා‘යි රජුට ප්‍රතිඥා දී ඍෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව රජුගෙන් උපස්ථාන ලබමින් රජඋයනෙහි වෙසෙමින් කිසුනු පිරියම් කොට අෂ්ට සමාපත්ති හා පඤ්චාභිඤා උපදවා ගත්තේය. ඔහුට සතළිස්කපක් අතීතයන් සතළිස්කපක් අනාගතයන් පෙනෙන්නේය. මහාබෝසතාණාන්ගේ උපත එතෙක් සිදු වී නො තිබිණ. මේ කාලයේ නාලක අසිත තවුසාගේ නැගෙණියගේ කුස ඉපිද තුරුණු වියට පැමිණ සිටියේ ය. ඔහු මෙයින් කල්පලක්ෂයකට ඔබ ලොව පහළ වූ පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි එතැන් පටන් කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ඇති පිනැති පුද්ගලයෙකි. අසිත තාපස තෙමේ සුදොවුන් රජුගේ මාළිගාවෙහි වළදා හිමවත හෝ දිව්‍යලෝකයෙහි හෝ දවල් කාලය ධ්‍යානසුඛයෙන් ගත කරයි. හේ එක් දිනක දවල් කාලයේ විසීම සඳහා තව්තිසා දෙව්ලොවට ගොස් දෙව්විමනකට පිවිස දිව්‍යමය වූ රුවන්පළඟක සාමාධි සුවය විදිමින් හිඳ, සවස් කාලයේ සමාපත්තියෙන් නැගී විමන් දොර සිට ඔබ මොබ බලන්නේ ඉමහත් ප්‍රීතියකින් බෝසත් ගුණ කථනය කරමින් ක්‍රීඩා කරන දේවසමුහයා දුටුයේ ය. තපසතුමා “දෙවියනි, අද තෙපි කිනම් කරුණක් නිසා මෙසේ ප්‍රීති වන්නහු දැ’යි ඇසීය.

එකල්හි දෙවියෝ “සුදොවුන් රජතුමාට මතු බුදුවන මහ පිනැති පුත් කුමරෙක් උපන්නේය. ඔහු මතු බුදු වී අපමණ ලෝසතුන් නිවන් දක්වන්නේ ය. ඒ නිසා අපි මෙසේ සතුටු වන්නෙමුය‘යි කීහ. ඔවුන්ගේ බස් ඇසූ අසිත තාපස තෙමේ වහා දෙව් ලොවින් බැස රජ ගෙදරට ගොස් පනවන ලද අසුනෙහි හිඳ රජතුමා පැමිණ වැඳ සිටි කල්හි “මහරජ ඔබට පුත් කුමරෙක් උපන්නේය’යි ඇසීමු. ඔහු දක්නට කැමැත්තෙමි‘යි කීය. එකල්හි රජතුමා පුතු සරසවා ගෙන්වා ඔහු ලවා තාපසයන් වැන්දවීමට තැත් කෙළේය. බුදුවන ජාතියේ මහබොසත් කෙනෙකුගෙන් වැඳුම් ලැබිමට සුදුස්සකු ලොව නැත්තේය. එබැවින් එකෙණෙහි බෝසත්තුමාගේ පායුවල ඉබේ ම තාපස තුමා දෙසට හැරී ඔහුගේ ජටාවෙහි සැපී සිටියේ ය. තාපස තෙමේ ද වහා අසුනෙන් නැඟී තමාට වැන්දවීමට ගෙන ආ සිඟිති දරුවාට දෙ අත් එක් කොට වැන්දේය. ඒ ආශ්චර්‍ය්‍යය දුටු රජතුමා ද පුත්කුමරාට වැන්දේය, අතීතානාගත දෙකින් අසූ කපක් දක්නට සමත් නුවණ ඇති තාපස තෙමේ දෙවියන් කී පරිදි “මේ කුමරා ඒකාන්තයෙන් අනාගතයේ බුදුවන්නේදැ’යි බලනුයේ බුදුවන බව දැක, මොහු ආශ්චර්‍ය්‍ය පුරුෂයෙකැයි සිනාසුණේය. ඉක්බිති “තමාට කුමරු බුදු වී සිටිනු දක්නට ලැබේදෝ’යි බලනුයේ එතුමාගේ බුදුසිරි දක්නට එතෙක් කල් ජීවත් වීමට තමාට ආයු නැති බව දැක, “මේ අසිරිමත් පුරුෂයාගේ බුඬශ්‍රීය දැකිමේ භාග්‍යය මට නැත්තේය‘යි ශෝකයෙන් කඳුළු සැළිය. ඉක්බිති තාපස තෙමේ තමාගේ නෑයන් අතරවත් බුදුසිරි දැකිමේ වාසනාව ඇතියෙක් ඇත්තේ දැයි බලනුයේ නැගෙණියගේ පුත් නාලක කුමරු දැක, වහා නැඟණියගේ නිවසට ගොස්, නාලක කුමරු කොහිදැයි අසා ඔහු ගෙන්වා “දරුව, ශුඬෝදන රජුගේ ගෙයි දරුවෙක් උපන්නේය. ඔහු පන්තිස් වසකින් ලොව්තුරා බුදු වන්නේ ය. ඒ බුදුන් දක්නට මට ආයු නැත්තේය. නුඹට ඔහුගේ බුදුසිරි දක්නට, ඔහු විසින් බෙදා දෙන දහම් අමාරසය වළඳන්නට ආයු ඇත්තේය. ගිහිව විසුවහොත් ඒ බුදුන් වෙත යාමට ඉඩ නො ලැබී යන්නටත් පිළිවන. එබැවින් ඒ බුදුන් උදෙසා නුඹ අද ම “පැවිදිවන්නය”යි කීය. තවුස් තුමාගේ කීම ඇසූ නාලක දරුවා තමාට අනාගතයෙහි හිමිවන්නට මාපිය සතු සත් අසූකෙළක් ධනය ඇත ද, “මාගේ මාමා වන මේ තාපසතුමා අනථියක නම් මා යොදවන්නේ නැත. මුන් වහන්සේගේ කීම පිළිගැනිමෙන් මට යහපතක් ම වනු ඇතැයි’සිතා එයට කැමති විය. ඉක්බිති වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍රයක් ගෙන්වා තාපස ප්‍රවෘජ්‍යාවෙන් ඔහු පැවිදි කරවා, “බුඬ යන ඝෝෂාව යම් කලෙක ඇසුණේ නම්, යම් කළෙක ඒ සුදෝවුන් රජුගේ දරුවා ලොවුතුරු බුදුව දහම් අමා වැසී වස්සන්නට වී නම්, එකල්හි එතුමා වෙත ගොස් එතුමා යටතේ මහනදම් පුරවා’යි ඔහුට අනුශාසනා කෙළේය. නාලක පැවිදි ලෝකයෙහි යම් උත්තම පුද්ගලයෙක් වේ නම් මාගේ පැවිද්ද ඔහු උදෙසා ය’යි සිතමින් මහබෝසතාණන් වෙසෙන දිශාවට පසඟ පිහිටුවා වැඳ, පාත්‍රය-ථවිකයෙහි ළා උරයෙහි එල්වා ගෙන හිමාල වනයට ගොස් බෝසතුන් බුදුවන තුරු එහි විසුයේ ය. සිදුහත් කුමරු පස්මරුන් පරදවා ලොව්තුරා බුදුබවට පැමිණ දම්සක් පැවැත් වූ දිනයෙහි නාලක තවුසාගේ යහපත කැමති දෙවියෝ ඔහු වෙත ගොස් ඒ බව කීහ. නාලක තාපස, තමා කලක් තිස්සේ බලාපොරොත්තු විසු ආරංචිය අසනු ලැබිමෙන් ඉමහත් ප්‍රීතියට පැමිණ මෝනෙය්‍ය ප්‍රතිපත්තිය බුදුරජුන්ගෙන් විචාරනු පිණිස උන් වහන්සේ දක්නට පිටත් විය “බුදුරජාණන් වෙත මෝනෙය්‍ය ප්‍රතිපත්ති ඇසිමට පැවිද්දෙක් එන්නේ ය” යන ඝෝෂාව දෙවියන් අතර පැතිර ගියේ ය. නාලක තාපස ක්‍රමයෙන් මඟ ගෙවා අවුත් දම්සක් පැවැත්වීමෙන් සත්වන දිනයෙහි බුදුරදුන් හමුවට පැමිණියේ ය. තථාගතයන් වහන්සේ කලින් ම නාලක තවුස් තමන් වහන්සේ වෙත එමින් සිටිනු දැක ඔහු පිළිගැනීමට ඉසිපතනයෙහි පනවන ලද බුඬාසනයෙහි වැඩ සිටි සේක. නාලක තවුස් එහි පැමිණ බුදුරදුන් දැක දර්‍ශනයෙන් ම සියලූ සැක දුරුකර ගෙන ප්‍රසන්න වූ සිතින් තථාගතයන් වහන්සේ වැඳ

“අඤ්ඤාතමෙතං වචනං - අසිතස්ස යථා තථං,
තං තං ගොතම පුච්ඡාමි – සබ්බධම්මානපාරගුං,
අනගාරියුපෙතස්ස - භික්ඛාචරියං ජිගිංසතො,
මුනි පබ්‍රෑහි පුට්ඨො - මොනෙය්‍යං උත්තමං පදං”

යනුවෙන් උත්තම වූ මෝනෙය්‍ය වත විචාළේය. එකල්හි තථාගතයන් වහන්සේ:
“මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං - දුක්කරං දුරභිසම්භවං
භන්ද තෙ නං පවක්ඛාමි - සන්ථම්භස්සු දළ්හො භව”
යනාදීන් මෝනෙය්‍ය වත ඔහුට වදාළ සේක. දැනගැනීමට වුවමනා අය එය සුත්තනිපාතයේ නාලක සුත්‍රයෙන් බලාගත යුතුය. ග්‍රන්ථය මහත් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. මෝනෙය්‍ය වත රහත් වීමෙන් කෙළවර වන ප්‍රතිපත්ති ක්‍රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේ දී ම කිසි ම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නො දිය යුතුය. එබැවින් එය පිරිම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප්‍රතිපත්තිය අකුරට ම පිළිපැද්දේ ය. නාලක තාපස මෝනෙය්‍ය සූත්‍ර දේශනාවසානයෙහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේ වැඳ වනයට පිවිසියේ ය. ඉන් පසු ඔහු නැවත බුදුරදුන් දැකිමේ ආශාවක් ද නො කළේ ය. නැවතත් බුදුරදුන්ගෙන් දහම් අසන්නට ද ආසා නො කෙළේය. නැවත මෝනෙය්‍ය වන අසන්නට ද ආසා නො කෙළේ ය. නැවත ඔහු බුදුරදුන් දක්නට නො පැමිණියේ ය. වනයට පිවිසි හෙතෙමේ එක් වන ලැහැබක රාත්‍රි දෙකක් ගත නො කළේ ය. එක් ගසක් මුල දෙදිනක් නො සිටියේ ය. එක් ගමකට දෙදිනක් පිඬු පිණිස නො පිවිසියේ ය. එසේ වනයෙන් වනයට, ගසින් ගසට, ගමින් ගමට යෙමින් එතුමා සව් කෙළෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය. මෝනෙය්‍ය වත උත්කෘෂ්ට වශයෙන් ම පිරූ බැවින් එතුමාට ජිවත් විය හැකි වූයේ සත් මසකි. සත්මසක් ඇවෑමෙන් තමන්ගේ ආයුසංස්කාරය පිරිහි ඇති බැව් දුටු තෙරණුවෝ ජලස්නානය කොට හැඳ පොරවා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන දිශාවට පසඟ පිහිටුවා වැඳ පර්වතයකට හේත්තු වි දොහොත් නඟා තථාගතයන් වහන්සේට වැඳගෙන සිටගෙනම පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ ඒ බව දැක භික්ෂුන් හා එහි වැඩම කොට තෙරණුවන්ගේ සිරුර ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් ද කරවූහ. (රහත්ව පිරිනිවියා වූ ප්‍රථම බුද්ධශ්‍රාවකයා නාලක තෙරුණුවන් විය හැකිය.) (සුත්තනිපාතට්ඨකථා)

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.