6/22/15

01. 1 - ප්‍රඥප්ති ප්‍රශ්නය



1. එකලිහී මිළිඳු රජතුමා ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ වෙත පැමිණියේය.පැමිණ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහේ යෙදුණේය.එකත්පස්ව වාඩිවූයේය.ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ ද පිළිසඳර කතාබහෙන් මිළිඳු රජතුමාගේ සිත සතුටු කළේය.එවිට මිළිඳු රජතුමා ආයුෂ්මත් නාගසේනයන් වහන්සේගෙන් මෙසේ විමසීය.

"පින්වත් භවතාණන් ප්‍රසිද්ධ කවර අයුරින්ද ? ස්වාමීනි, නුඹවහන්සේ කවර නමකින් හඳුන්වන්නහුද?"

"මහරජාණෙනි, මම 'නාගසේන' නමින් ප්‍රසිද්ධ කෙනෙක්මි.මහරජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට 'නාගසේන' යනුවෙනුත්, 'සූරසේන' යනුවෙනුත්, 'වීරසේන' යනුවෙනුත්, 'සීහසේන' යනුවෙනුත් නම තබා තිබෙත්.එසේ නමුත් මහරජ, මේ 'නාගසේන' යන නාමය හුදෙක් ව්‍යවහාර මාත්‍රයකි.පැණවීමකි.හැඟවීමකි.නාම මාත්‍රයකි.මෙහිලා පුද්ගලයෙකු ගත නොහැකිය."

එවිට මිළිඳු රජු වටපිට බලා මෙසේ පැවසුවේය.

"භවත් පන්සියයකි ග්‍රීක පිරිසත්, මේ අසූ දහසක් භික්ෂූන් වහන්සේලාත් මට සවන් දෙත්වා ! මේ නාගසේනයන් වහන්සේ මෙසේ පවසති.'මෙහිලා පුද්ගලයෙකු ගත නොහැකිය' කියා මේ කතාව පිළිගත හැකි දෙයක්ද?"

එසේ පැවසූ මිළිඳු රජතෙමේ ආයුෂ්මත් නාගසේනයන්ට මෙසේ පැවසීය.

"ඉඳින් ස්වාමීනි නාගසේනයන් වහන්ස, මෙහිලා පුද්ගලයෙකු ගත නොහැකි නම්, චීවර, පිණ්ඩපාත, ගිලන්පස, බෙහෙත් පිරිකර සොයා හැසිරුණේ කවරෙක්ද? ඒවා දුන්නේ කවුරුන්ද? ඒවා පරිභෝග කළේ කවරෙක්ද? සිල් රකින්නේ කවුරුන්ද? භාවනා කරන්නේ කවුරුන්ද? මගඵල නිවන් සාක්ෂාත් කරන්නේ කවුරුන්ද? සතුන් මරන්නේ කවුරුන්ද? සොරකම් කරන්නේ කවුරුන්ද? වැරදි කාමයේ හැසිරෙන්නේ කවුරුන්ද? බොරු කියන්නේ කවුරුන්ද? මද්‍යපාන කරන්නේ කවුරුන්ද? පංචානන්තරීය කර්ම කරන්නේ කවුරුන්ද? එසේ නම් කුසලයක් ද නැත්තේය.අකුසලයෙකුත් නැත්තේය.කුසලාකුසල කර්මයන් කරන්නෙක් වත්, කරවන්නෙක්වත් නැත්තේය.කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාක නැත්තේය.

එසේ නම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් නුඹවහන්සේව මරණයට පත් කළොත් ඒ ඔහුට ප්‍රාණඝාතය සිදු නොවන්නේය.ස්වාමීනි නාගසේනයන් වහන්ස, මෙසේ ඇති කල්හි නුඹවහන්සේට ගුරුවරයෙකුත් නැත්තේය.උපාධ්‍යායන් වහන්සේ නමක්වත් නැත්තේය.උපසම්පදාවකුත් නැත්තේය.

"මහරජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේන යැයි ආමන්ත්‍රණය කරත්ය කියා කරුණක් පවසන ලද්දේය.මෙහිලා ඒ නාගසේන කවරහුද? කිම ස්වාමීනි, ඔය කියන නාගසේන වනාහී කේශයෝද?" "නැත මහරජාණෙනි."

"ඔය නාගසේන ලෝමයෝද?" "නැත මහරජාණෙනි." "නියපොත්තෝද?"...( පෙ )...දන්තයෝද?...( පෙ )...සමද?...( පෙ )...මස්ද?...( පෙ )...නහරද?...( පෙ )...ඇටද?...( පෙ )...ඇට මිදුළුද?...( පෙ )...වකුගඩුද?...( පෙ )...හදවතද?...( පෙ )...අක්මාවද?...( පෙ )...කිලෝමකයද?...( පෙ )...පිහකයද?...( පෙ )...පෙණහළුද?...( පෙ )...බඩවැල්ද?...( පෙ )...අතුණු බහන්ද?...( පෙ )...ආමාශයද?...( පෙ )...අසූචිද?...( පෙ )...පිතද?...( පෙ )...සෙමද?...( පෙ )...සැරවද?...( පෙ )...ලේද?...( පෙ )...ඩහදියද?...( පෙ )...තෙල්මන්දද?...( පෙ )...කඳුළුද?...( පෙ )...වුරුණුතෙල්ද?...( පෙ )...කෙළද?...( පෙ )...සොටුද?...( පෙ )...සඳමිදුළුද?...( පෙ )...මූත්‍රද?...( පෙ )...ඔය නාගසේන යනු හිස්මොළද?" "නැත මහරජාණෙනි."

"එසේ නම් කිම ස්වාමීනි, ඔය නාගසේන රූපයද?" "නැත මහරජාණෙනි."

"නාගසේන යනු වේදනාවද?" "නැත මහරජාණෙනි."
"නාගසේන යනු සඤ්ඤාවද?" "නැත මහරජාණෙනි."
"නාගසේන යනු සංස්කාරද?" "නැත මහරජාණෙනි."
"නාගසේන යනු විඤ්ඤාණයද?" "නැත මහරජාණෙනි."

"එසේ නම් කිම ස්වාමීනි, නාගසේන යනු රූප, වේදනා, සඤ්ඤා, සංසකාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයද?" "නැත මහරජාණෙනි."

"එසේ නම් කිම ස්වාමීනි, නාගසේන යනු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ කෙනෙක්ද?" "නැත මහරජාණෙනි."

"ස්වාමීනි, ඒ මම ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කරද්දී ඔය කියන නාගසේන නොදකිමි.එතකොට ස්වාමීනි, නාගසේන යනු නිකම්ම ශබ්ද මාත්‍රයක්ද? "නැත මහරජාණෙනි."

"එසේ නම් මෙහිලා නාගසේන ඉන්නේ කොහේද? ස්වාමීනි, ඔබවහන්සේ පවසන ලද්දේ නැති දෙයකි.පවසන ලද්දේ බොරුවකි.නාගසේන නමින් කිසිවෙක් නැත්තේය."

එකලිහි ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ මිළිඳු රජු හට මෙසේ පැවසූ සේක.

"මහරජාණෙනි, ඔබ ක්ෂත්‍රීය වංශික සුකුමාල කෙනෙකි.අත්‍යන්තයෙන්ම සුකුමාල කෙනෙකි.මහරජාණෙනි, ඒ ඔබ මධ්‍යාහ්න සමයෙහි රත් වූ භූමියෙහි, රත් වූ වැල්ලෙහි, රළු පරොළු පොළොවෙහි, සිව්මැලි පා යුගවලින් යද්දී පාදයෝ රිදෙත්.කය ක්ළාන්ත වෙයි.සිත පෙළෙයි.දුක් සහගත කාය විඤ්ඤාණයක් උපදියි.කිම? මහරජාණෙනි, ඔබ මෙතැනට පැමිණියේ පා ගමනින්ද? නැතහොත් වාහනයකින්ද?"

"ඉදින් මහරජාණෙනි, ඔබ පැමිණියේ රථයෙන් නම් ඒ රථය ගැන මට කරුණු කිව යුතුය.මහරජාණෙනි, එසේ නම් ඒ රථය වනාහී ඒරියාකඳද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රෝද සම්බන්ධ කළ අක්ෂය හෙවත් අලවංගුවද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රෝදද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී මැදිරියද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රථදණ්ඩද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී වියදණ්ඩද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී රැහැනද?" "නැත ස්වාමීනි." "එසේ නම් ඒ රථය වනාහී කෙවිටි ලීයද?" "නැත ස්වාමීනි." "එසේ නම් මහරජාණෙනි, ඒ රථය වනාහී ඒරියාකඳ, අලවංගුව, රෝද, මැදිරිය, රථදණ්ඩ, වියදණ්ඩ, රැහැන, කෙවිටි ලීය යන මෙයින් බැහැර වූ දෙයක්ද?" "නැත ස්වාමීනි."

"මහරජාණෙනි, ඒ මම ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කරද්දී ඔය කියන රථ්ය නොදකිමි.එතකොට මහරජාණෙනි, රථය යනු නිකම්ම ශබ්ද මාත්‍රයක්ද?" "නැත ස්වාමීනි."

"එතකොට මෙහිලා රථය තියෙන්නේ කොහේද? මහරජාණෙනි, ඔබතුමා පවසන ලද්දේ නැති දෙයකි.

පවසන ලද්දේ බොරුවකි.රථය කියලා දෙයක් නැත්තේය.

මහරජාණෙනි, ඔබ සකල ජම්බුද්වීපයෙහි අග රජු නොවේද? ඔබ මෙසේ බොරු පවසන්නේ කා හට නම් භය වීමෙන්ද? භවත් පන්සියයක් ග්‍රීක පිරිස ද, අසූ දහසක් භික්ෂූන් වහන්සේලා ද, මට සවන් දෙත්වා ! මේ මිළිඳු රජ තෙමේ 'මම රථයෙන් පැමිණියෙමි' යි පැවසුවේය.ඉදින් මහරජාණෙනි, රථයෙන් නම් පැමිණියේ මා හට රථය ගැන විස්තර කරන්නැයි විමසූ කල්හි මෙතුමා රථය පෙන්වා නොදේ.මෙය පිළිගත හැක්කේ කෙසේද?"

මෙසේ වදාළ කල්හි පන්සියයක් ග්‍රීක පිරිස ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට සාදුකාර දී මිළිඳු රජු හට මෙසේ පැවසුවාහුය.

"මහරජාණෙනි, නුඹවහන්සේ දැන් හැකි සේක් නම් මෙකරුණට පිළිතුරු සපයනු මැනව."

එවිට මිළිඳු රජ තෙමේ ආයුෂ්මත් නාගසේනයන්ට මෙය පැවසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මම බොරු නොකියමි.ඒරියාකඳ, අලවංගුව, රෝද, මැදිරිය, රථදණ්ඩ, වියදණ්ඩ, රැහැන, කෙවිටි ලීය යන මේවායේ හේතු ප්‍රත්‍යයෙන් රථය යන පිළිගැනීම, සම්මුතිය, පැණවීම, ව්‍යවහාරය නාමමාත්‍රිකව පවතී."

"මහරජාණෙනි, රථය ගැන ඒ අයුරින් දැනගත් අයුරු ඉතා මැනවි.මහරජාණෙනි, මගේත් කෙස් නිසාත්, ලොම් නිසාත්,...( පෙ )...හිස්මොළ නිසාත්, රූපය නිසාත්, වේදනාව නිසාත්, සඤ්ඤාව නිසාත්, සංස්කාර නිසාත්, විඤ්ඤාණය නිසාත් 'නාගසේන' යන පිළිගැනීම, සම්මුතිය, පැණවීම, ව්‍යවහාරය නාමමාත්‍රිකව පවතී.

මෙහිලා නොවෙනස්වන දෙයක් වශයෙන්, ජීවයක් වශයෙන් පුද්ගලයෙක් නොලැබේ.මහරජාණෙනි, වජිරා භික්ෂුණිය විසින් මාරයා හට පවසන ලද කරුණ අප භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ මෙලෙසින් පවසා තිබේ."

යථාහි අංගසම්භාරා - හෝති සද්දෝ රථෝ ඉති
ඒවං ඛන්ධේසු සන්තේසු - හෝති සත්තෝති සම්මුති

( වජිරා සූත්‍රය - සංයුත්ත නිකාය 2 - භික්ෂුණී සංයුත්තය )

යම් සේ රථයකට අදාළ අංගෝපාංගයන් එක් වූ කල්හි 'රථය' යන ව්‍යවහාරය ඇතිවෙයිද, ඒ අයුරින්ම උපාදානස්කන්ධයන් ඇති කල්හි 'සත්වයා' යන පිළිගැනීම ඇතිවේ.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අසිරිමත්ය.ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඉතා අද්භූතය.ප්‍රශ්නය විග්‍රහ කොට විසඳූ අයුරු අතිවිචිත්‍රය.ඉදින් බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක් නම් සාදු නාද පවත්වන සේක් ම ය.සාදු ! සාදු ! නාගසේනයන් වහන්ස, ප්‍රශ්නය විග්‍රහ කළ ප්‍රතිහානය නම් අතිවිචිත්‍රය."

පළමුවෙනි ප්‍රඥප්ති ප්‍රශ්නයයි.