6/22/15

1.4 අනන්තකාය ප්‍රශ්නය



4. එකල්හි මිළිඳු රජුට මේ අදහස ඇතිවිය.'මේ භික්ෂූන් වහන්සේ ප්‍රඥා සම්පන්න වන සේක.මා සමග කතාබස් කිරීමෙහිලා ප්‍රතිබල සම්පන්න වන සේක.මා විසින් විමසිය යුතු බොහෝ දේවල් ඇත්තේය.යම්තාක් නොවිමසූ දේවල් ඇද්ද, ඒවා විමසන්නටත් අවස්ථාවක් ලැබෙන්නේය.නමුත් දැන් හිරු අවරට යයි.ඒ නිසා හෙට ඇතුළු රජගෙයිදී මා කතාබස් කිරීම කළ යුත්තේය.'

එවිට මිළිඳු රජු දේවමන්ත්‍රී අමාත්‍යයා ඇමතුවේය."එසේ වී නම් දේවමන්ත්‍රීනි, හෙට ඇතුළු රජගෙයිදී රජු සමග කතාබස් කිරීම සිදුවන්නේය යි කියා තෙරුන් වහන්සේට දැනුම් දීම හොඳයි."

මෙසේ පැවසූ මිළිඳු රජු අසුනෙන් නැගිට නාගසේන තෙරුන් වහන්සේ සමග කතාබස් කොට රථයට නැගී 'නාගසේන...නාගසේන...' යන වචනය මුමුණමින් පිටත්ව ගියේය.එවිට දේවමන්ත්‍රී ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ සමග මෙය පැවසුවේය.

"ස්වාමීනි, ඔබවහන්සේ හෙට රජගෙයිදී මිළිඳු රජු සමග තවදුරටත් කතාබස් කිරීම සිදුවන්නේය."

"යහපතැයි" කියා තෙරුන් වහන්සේ අනුමෝදන් වූ සේක.

ඉක්බිති ඒ රාත්‍රිය ඇවෑමෙන් දේවමන්ත්‍රී ද, අනන්තකායද, මංකුර ද, සබ්බදින්න ද යන අමාත්‍යවරු මිළිඳු රජු වෙත පැමිණියාහුය.මිළිඳු රජුට මෙය පැවසූහ."මහරජාණන් වහන්ස, භදන්ත නාගසේනයන් වහන්සේව වඩම්මවන්නද?" "එසේය, උන්වහන්සේ වඩිත්වා !"

"භික්ෂූන් වහන්සේලා කී නමක් සමග වඩම්මවන්නද?"

"අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා !"

එවිට සබ්බදින්න තෙමේ මෙසේ කීවේය."මහරජාණන් වහන්ස, භික්ෂූන් වහන්සේලා දහනමක් සමග වඩම්මවන්නද?"

දෙවෙනි වතාවේද රජු මෙසේ පැවසුවේය."අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා !"

දෙවනුව ද සබ්බදින්න තෙමේ මෙසේ කීවේය."මහරජාණන් වහන්ස, භික්ෂූන් වහන්සේලා දහනමක් සමග වඩම්මවන්නද?"

තෙවෙනි වතාවේද රජු මෙසේ පැවසුවේය."අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා !"

තෙවනුව ද සබ්බදින්න තෙමේ මෙසේ කීවේය."මහරජතුමනි, භික්ෂූන් වහන්සේලා දහනමක් සමග වඩම්මවන්නද? හැම සත්කාරයක්ම සූදානම් කොට තිබේ."

එවිට රජු මෙසේ පැවසීය."මමයි පවසන්නේ, අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් වහන්සේලා සමග වඩිත්වා ! කියා.නමුත් මිත්‍රවරුනි, මේ සබ්බදින්නයා වෙන එකක්ම දොඩවයි.කිම? භික්ෂූන් වහන්සේලාට දන් පුදන්න අපට හැකියාවක් නැද්ද?" මෙසේ පැවසූ විට සබ්බදින්න තෙමේ වැටහීම් රහිතව සිටියේය.

එවිට දේවමන්ත්‍රී ද, අනන්තකාය ද, මංකුර ද ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ වෙත පැමිණියාහුය.පැමිණ ආයුෂ්මත් නාගසේනයන් වහන්සේට මෙසේ පැවසූහ."ස්වාමීනි, මිළිඳු රජාණන් වහන්සේ මෙසේ පවසති.'අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද, ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා'යි."

එවිට ආයුෂ්මත් නාගසේනයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය ගෙන අසූ දහසක් භික්ෂූන් වහන්සේ සමග සාගල නුවරට වැඩි සේක.

ඉක්බිති අනන්තකාය තෙමේ ආයුෂ්මත් නාගසේනයන් සමග යන්නේ නාගසේනයන් වහන්සේට මෙය පැවසුවේය.

"ස්වාමීනි, නාගසේනයන් වහන්ස, 'නාගසේන' යන නමින් යමක් පැවසූ සේක් ද, එහිලා 'නාගසේන' කවරහුද?"

තෙරුන් වහන්සේ පෙරළා මෙසේ ඇසූ සේක."මෙහිලා 'නාගසේන' යනු කවරෙක් කියා ද ඔබ අදහස් කරන්නේ?"

"ස්වාමීනි, අභ්‍යන්තරයේ යම් වාතයක්, ජීවයක් පිවිසෙයි ද, නික්මෙයි ද මා 'නාගසේන' යනුවෙන් අදහස් කරන්නේ එම වාතයයි, එම ජීවයයි."

"එසේ නම් ඒ වාතය එළියට ගොස් යළි ඇතුළට නොපිවිසියොත්, ඇතුළට ගොස් එළියට නොපැමිණියහොත් ඒ පුරුෂයා ජීවත් වන්නේද?" "නැත, ස්වාමීනි."

"ඉඳින් මේ සක් පිඹින්නෝ සක් පිඹිද්දී වාතය පිට කරත්.ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේද?" "නැත, ස්වාමීනි."

"එලෙසින් මේ බටනළා පිඹින්නෝ බටනළා පිඹිද්දී වාතය පිට කරත්.ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේද?" "නැත, ස්වාමීනි."

"ඒ අයුරින් මේ අං වලින් පිඹින්නෝ අං පිඹිද්දී වාතය පිට කරත්.ඔවුන්ගේ ඒ වාතය යළි ඇතුළට පිවිසෙන්නේද?" "නැත, ස්වාමීනි."

"එසේ නම් කුමණ කරුණක් හේතුවෙන් ද ඔවුන් නොමැරී සිටින්නේ?"

"අනේ ස්වාමීනි, මම ඔබවහන්සේ වැනි කෙනෙකුන් සමග කතාබස් කරන්නට ප්‍රතිබල ඇති කෙනෙක් නොවෙමි.ස්වාමීනි, මේ ගැටළුව විසඳන සේක්වා!"

"මේ ශරීරයෙහි ජීවය හෙවත් ආත්මය කියා දෙයක් නැත.ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරයක් පමණක් මෙහි පවතී." යි පවසා තෙරුන් වහන්සේ මේ ගැඹුරු ධර්මය පැවසූ සේක.එවිට අනන්තකාය තෙමේ උපාසක බවට ප්‍රතිඥා දුන්නේය.

සිව්වෙනි අනන්තකාය ප්‍රශ්නයයි.