6/20/17

බෝධ්‍යංගය වැඩිය යුතු නො වැඩිය යුතු කාලයන් ...


සියලු ම යෝගාවචරයන් විසින් බෝධ්‍යංග වැඩිය යුතු වුව ද සෑම බෝධ්‍යංගයක් ම සැම අවස්ථාවේදී ම වැඩිය යුතු නො වේ. ඒ ඒ බෝධ්‍යංගය නො වැඩිය යුතු වැඩිය යුතු කාලයන් දැන ගෙන කාලයට සුදුසු පරිදි බෝධ්‍යංග වැඩීම කළ යුතු ය.
“යස්මිං භික්ඛවෙ සමයෙ ලීනං හොති චිත්තං, අකාලො තස්මිං සමයෙ පස්සඬිසම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො සමාධි-සම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො උපෙක්ඛා-සම්බොජ්ඣංගස්ස භාවනාය”
යනුවෙන් යම් සමයෙක් හි සිත හැකිළී පවත්නේ නම් (අලස වී තිබෙන්නේ නම්) එය පස්සද්ධිසම්බොජ්ඣංගය වැඩීමට ද, සමාධිසම්බොජ්ඣංගය වැඩීමට ද උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීමට ද නුසුදුසු කාලය බව වදාරා තිබේ. සිත අලස වී තිබෙන අවස්ථාවෙහි ඒවා නො වැඩිය යුත්තේ ඒ බෝධ්‍යංගයන්ට අලස වූ චිත්තය නඟා සිටුවන්නට නුපුළුවන් බැවින් ඒ බෝධ්‍යංගයන් වැඩීමේ දී අලස වූ චිත්තය සමහර විට වඩාත් අලස බවට පැමිණිය හැකි බැවිනි.

“යස්මිං ච භික්ඛවෙ, සමයෙ ලීනං හොති චිත්තං, කාලෙ තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ය භාවනාය, කාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය.”
යනුවෙන් යම් සමයක සිත හැකිළී පවත්නේ නම් එය ධම්මවිචයසම්බොජ්ඣංගය වැඩීමට ද විරියසම්බොජ්ඣංගය වැඩීමට ද, පීතිසම්බොජ්ඣංගය වැඩීමට ද සුදුසු කාලය, සුදුසු අවස්ථාව බව වදාරා තිබේ. සිත අලස බවට පැමිණ තිබෙන අවස්ථාව ධම්මවිචයාදි බොජ්ඣංග තුන වැඩීමට සුදුසු අවස්ථාව වන්නේ, ඒවා වැඩීමෙන් අලස ගතිය දුරු වී සිත වේගවත් වන බැවිනි. ධම්මවිචයාදි බොජ්ඣංගයෝ දුබල වූ සිත නඟා සිට වන බොජ්ඣංගයෝ ය.

“යස්මිං භික්ඛවෙ, සමයෙ උඬතං චිත්තං හොති අකාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො විරියසම්බොජ්ඣංගස්ස භාවනාය අකාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය.”
යනුවෙන් යම් කලෙක සිත නො සන්සුන්බවේ ද ඒ අවස්ථාව ධම්මවිචයසම්බොජ්ඣංගය වැඩීමට ද, විරියසම්බොජ්ඣංගය වැඩීමට ද, පීතිසම්බොජ්ඣංගය වැඩීමට ද නුසුදුසු අවස්ථාව බව වදාරා තිබේ. නො සන්සුන් සිත සන්සිඳවීමට ඒ බෝධ්‍යංගයෝ සමර්ථ නො වෙති. සිත නො සන්සුන් අවස්ථාවෙහි ධම්මවිචයසම්බොජ්ඣංගාදි තුන වැඩීම මහ ගිනිකඳකට තවත් දර දමා පවන් සැලීම වැනි ය. එයින් සිත වඩාත් නො සන්සුන් බවට පැමිණෙන්නේ ය.

“යස්මිං භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො සමාධි-සම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස භාවනාය.”
යනුවෙන් යම් සමයෙක්හි සිත නො සන්සුන් වේ ද එය පස්සඬි සම්බොජ්ඣංගය වැඩීමට ද සමාධිසම්බොජ්ඣංගය වැඩීමට ද, උපෙක්ඛාසම්බොජ්ඣංගය වැඩීමට ද කාලය ය යනු එහි තේරුමයි. පස්සඬි සම්බොජ්ඣංගාදි ඒ බොජ්ඣංග තුන සැලෙන්නා වූ නොසන්සුන් වූ සිත සන්සිඳවීමට සමර්ථ බෝධ්‍යංගයෝ ය. වතුර ඉසින කල්හි ඇවිලෙන ගින්න නිවී යන්නාක් මෙන් ඒ බෝධ්‍යංග වැඩීමෙන් නො සන්සුන් සිත සන්සිදෙන්නේ ය.

“සති ඛ්වාහං භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමි” යි වදාළ හෙයින් සිත අලස ව පවත්නා වූ ද නො සන්සුන් ව පවත්නා වූ ද සැම කල්හි ම සිහිය වුවමනා ය. එබැවින් සතිසම්බොජ්ඣංගය සියලු කල්හි පැවැත්විය යුතු ය. මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

6/7/17

පීති සම්බොජ්ඣංගය ඇති වීමට හේතු


“අත්ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣංගට්ඨානියා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්-ඣංගස්ස භාවනාය පාරිපූරිය.”

තේරුම :-
මහණෙනි, පීතිසම්බොජ්ඣංගයට හේතු වන ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් ගැන කාරණානුකූලව මෙනෙහි කිරීම් බහුල බව නූපන් පීතිසම්බොජ්ඣංගයේ ඉපදීමට ද උපන් පීතිසම්බොජ්ඣංගයේ වැඩීමට හා සම්පූර්ණ වීමට ද හේතු වන්නේ ය. මෙහි පීතිසම්බොජ්ඣංගස්ථානීය ධර්ම වශයෙන් දැක්වෙන්නේ ප්‍රීතිය ම ය. සත්ත්වයනට ප්‍රීතිය මහත් වූ මිහිරකි. වරක් එය ලැබූ තැනැත්තා නැවත නැවතත් ලැබීමට කැමති වෙයි. එබැවින් පළමු පළමු ඇති වූ ප්‍රීතිය ම මතු මතුයෙහි ප්‍රීති ඇති වීමට හේතු වෙයි. ප්‍රීති සම්බොජ්ඣංගස්ථානීය ධර්මයන් ගැන යෝනිසෝමනිසාකාරය ය යනු යම් යම් ආකාරයකින් සිතන කල්හි ප්‍රීතිය ඇති වේ නම් ඒ ඒ ආකාරයෙන් සිතීම ය.
ප්‍රීතිය, සාමිෂ ප්‍රීතිය ය නිරාමිෂ ප්‍රීතිය යයි දෙවැදෑරුම් වේ. එයින් ධනධාන්‍ය පුත්‍ර‍දාරාදීන් පිළිබඳ ව ඇති වන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය ය. භික්ෂූන් ගේ වශයෙන් කියත හොත් සිවුපසය සම්බන්ධයෙන් හා දායක ගෝල බාලාදීන් සම්බන්ධයෙන් ඇති වන ප්‍රීතිය සාමිෂ ප්‍රීතිය ය. එය නිවනට හේතු වන ප්‍රීතියක් නො වේ. එය මේ බෝධ්‍යාංග කථාවෙහි අදහස් කරනු නො ලැබේ. මෙහි අදහස් කරනුයේ බුද්ධගුණාදිය සම්බන්ධයෙන් ඇති වන නිරාමිෂ ප්‍රීතිය ය. එය ලැබීමට බුද්ධගුණාදිය සිතිය යුතු ය. ඒ නිරාමිෂ ප්‍රීතියේ උසස් බව ගැන හෝ සිතිය යුතු ය. එසේ සිතීම ප්‍රීති සම්බෝධ්‍යාංගස්ථානීය ධර්මයන් පිළිබඳ යෝනිසෝමනස්කාරය ය. අටුවාවෙහි ප්‍රීති සම්බොජ්ඣංගයට හේතු එකොළොසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:-

“එකාදස ධම්මා පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදාය සංවත්තන්ති. බුද්ධානුස්සති, ධම්ම - සංඝ - සීල - චාග - දේවතානුස්සති, උපසමානුස්සති, ලූඛපුග්ගලපරිවජ්ජනතා. සිනිද්ධපුග්ගලසෙවනතා, පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා, තදධිමුත්තතාති.”
(1) බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ය,
(2) දහම් ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ය,
(3) සඟ ගුණ නැවත නැවත සිහි කිරීම ය,
(4) තමා ගේ ශීලගුණය නැවත නැවත මෙනෙහි කිරීම ය,
(5) තමා ගේ ත්‍යාග ගුණය නැවත නැවත මෙනෙහි කිරීමය,
(6) දේවත්වයට පැමිණීමට හේතු වන තමා ගේ ශ්‍රඬාදි ගුණයන් නැවත නැවත මෙනෙහි කිරීම ය,
(7) තමා ගේ සන්සුන් කෙලෙසුන් නැවත නැවත මෙනෙහි කිරීම ය,
(8) රළු පුඟුලන් ආශ්‍ර‍ය නො කරන බැහැර කරන බවය,
(9) මොළොක් ගුණැති අය ආශ්‍ර‍ය කරන බවය,
(10) ප්‍ර‍සාදයට හේතු වන සූත්‍ර‍ ධර්මයන් මෙනෙහි කරන බවය,
(11) ප්‍රීති සම්බෝධ්‍යාංගයෙහි නැමුණු සිත් ඇති බව ය
යන මේ කරුණු එකොළොස අටුවාවෙහි දැක්වෙන ප්‍රීති සම්බෝධ්‍යාංග හේතූහු ය.
ප්‍රීතිය සැම දෙනාට ම වුවමනා දෙයකි. සාමාන්‍ය ජනයා ගේ ප්‍රීතියට හේතු වන අඹු - දරු, නෑ - මිතුරු ආදීන් හා වතු කුඹුරු, ඇඳුම් - පැළඳුම්, මිල - මුදල්, යාන - වාහන, ගරු නම්බු තනතුරු ආදිය ද, උසස් යෝගාවචරයන්ට පෙනෙන්නේ නින්දේ දී දක්නා සිහින බඳු, කැඩපත්වල පෙනෙන රූප බඳු, මස් නැති ඇටකටු බඳු නිස්සාර දේ ලෙසට ය. කඩු කිනිසි උල් පිහියා තුවක්කු ගිනි අඟුරු බඳු භයානක දේ ලෙසට ය. වල් අලි වල්හරක්, කොටි, වලස් නයි පොළොන් ආදීන් සේ භයානක සැටියට ය. වැසිකිලි වළවල් සේ පිළිකුල් ලෙසට ය. උසස් යෝගාවචරයන් ඒ කාමයන්ට බියවන තරම කාමයන් ගැන සලකන සැටි භිස ජාතකයෙන් තේරුම් ගත හැකි ය.

මතු සම්බන්ධයි! රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

භිස ජාතකය


එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයනට දන් දී තපස් කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගිය හ. දාසියක් ද දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කරගෙන සෑම දෙන ම පැවිදි ව මහ බෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණ දම් පුරන්නට වන්හ.
ඵලාඵල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසූ දුටු දෑ සම්බන්ධයෙන් කථා කරමින් පලවැල නෙළන්නට වීමෙන් ඒ වනය ද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ “අසූ කෙළක් ධනය හැර පියා ආ අපට මේ වනයෙහි මෙසේ ලෝභයෙන් පලවැල සෙවීම නො හොබනේ ය. සෙස්සන්ට මෙහි ම මහණදම් පුරමින් සිටින්නට හැර මම වනයට ගොස් සැම දෙනාට ම ඵලාඵල නෙළාගෙන එමි” යි සිතා සවස් කාලයේ දී සරම දෙනා ම රැස් කරවා ඒ බව ඔවුනට දැනුම් දුන් හ.
එකල්හි සෙස්සෝ කියන්නාහු, ආචාර්‍ය්‍යයන් වහන්ස, අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝ වෙමු. නුඹ වහන්සේ මෙහි ම මහණ දම් පුරමින් වැඩ සිටින සේක්වා, නැගණිය ද මෙහි ම සිටීවා, දාසිය ද නැඟණිය වෙත වෙසේවා, අපි අටදෙන වාරයෙන් වාරය ගොස් පලවැල සොයා එන්නෙමුය” යි කියා මහබෝසතාණන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පලවැල සොයා අවුත් ගල්පුවරුවක් මත එකොළොස් කොටසකට බෙදා තබා ගෙඩිය ගසා තමන්ගේ කොටස ගෙන යන්නේ ය. සෙස්සෝ ද අවුත් තම තමන්ගේ කොටස් ගෙන තම තමන් වසන තැන් වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලෙක දී ඒ තාපසවරු පලවැල සෙවීමත් නවත්වා එක් විලෙකින් නෙළුම් අල ගෙනැවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත් හ.
උන් වහන්සේලාගේ ශීල තේජසින් ශක්‍ර‍භවන ද සැලිණ. ශක්‍ර‍යා ද උන් වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයන් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැතිව සිටි කල්හි සැම දෙනා ම ගුණවන්තයෝ ය. කෙනකු ගේ හොඳ නරක බව, දුර්ගුණ ඇති නැති බව, තේරුම් ගත හැකි වන්නේ ආභ්‍යන්තරික දුර්ගුණ එළිබසින කරුණු ඇති වන කල්හි ය. අරණ්‍යවල එබඳු කරුණු අඩු ය. එ බැවින් ආරණ්‍යකයන් ගේ ගුණාගුණ දැන ගැනීමට දුෂ්කර ය. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස, එළිබසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එළිබසින වැඩක් කෙළේ ය. එනම් මහ බෝසතාණන් වහන්සේට තැබූ නෙලුම් අල කොටස පිට පිට තෙදිනක ම සැඟවීම ය.
පළමු වැනි දිනයේ ගෙඩි හඬ අසා මහබෝසතාණන් වහන්සේ පලවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේ ගේ කොටස නුදුටහ. උන් වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇත ය යි සිතා තුෂ්ණීම්භූත වූහ. දෙවන දවසේ දී ද කොටස නො ලැබූ බෝසතාණෝ මාගේ යම් කිසි වරදකින් කොටස නො තබති යි සිතූහ. තුන් වන දවසේ දී ද කොටස නො ලැබ වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි යි සිතා සවස් කාලයේ දී ගෙඩිය ගසා පිරිස රැස් කරවා කාරණය පිරිසට දන්වා ඒ ඒ දිනවල පලාඵල නෙළීමට ගියවුන් ගෙන් තමන් වහන්සේට කොටස නො තැබීමේ හේතු විචාළහ. සියල්ලෝ ම ඒ ඒ ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ.
එකල්හි බෝසතාණන් වහන්සේ කියන සේක් “මේ පින්වත්හු මාගේ කොටස තැබූ බව කියන්නාහු ය, මට නම් එය නො ලැබුණේ ය. එසේ වීමට මෙහි සොරකු විය යුතු ය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසු ය. මෙය කළ තැනැත්තා කවරේ දැ යි දත යුතු ය” කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නො මනා දෙයක් සිදු වීම ගැන සැම දෙනා වහන්සේ ම මහත් සංවේගයට පැමිණියෝ ය. සක්දෙවිඳු ද තාපසවරුන් ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නො පෙනී සිටියේ ය.
එකෙණෙහි මහබෝසතාණන් වහන්සේගේ දෙටු සොහොයුරු උපකඤ්චන තාපසයෝ නැඟිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ ශුද්ධිය පැවසීමට අවසර ගෙන මෙසේ ශාප කළහ.

“අස්සං ගවං රජතං ජාතරූපං
භරියඤ්ච සො ඉධ ලභතං මනාපං
පුත්තේහි දාරෙහි සමංගි හොතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද, හෙ තෙමේ අශ්වයන් ද ගවයන් ද රිදී ද රන් ද මනාප භාර්‍ය්‍යාවන් ද ලබාවා, අඹු දරුවන් ගෙන් යුක්ත වේවා” ය යනු එහි තේරුම යි.
අශ්වගවාදි ප්‍රිය වස්තූනි නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබා ද, හේ ඒවා නැති වීමන් පසු ව එපමණ ම හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුඃඛයක් ලබන්නේ ය. එය ප්‍රිය වස්තූන් නිසා සිදු වන එක් නපුරෙකි. ඒවා නිසා සිදු වන තවත් දුක් බොහෝ ය. තාපසයන් වහන්සේ සොරා අශ්වගවාදි කාමයන් ලබාවා යි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන් ගේ සැලකීමේ හැටියට ඒවා ලබා ගෙන සිටීමට වඩා තවත් නපුරක් නැත. එය අසා ගෙන සිටි සෙස්සෝ “පින්වත, එසේ නො කියනු මැනව, ඔබගේ ශාපය ඉතා දරුණු ය” යි කියා කන්වල ඇඟිලි ගස් ගත් හ. එතුමා ශාප කොට තමා ගේ පිරිසිදු බව ප්‍ර‍කාශ කොට හිඳ ගත් පසු දෙවන සහෝදර තාපසයෝ ද තමන් ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාප කළෝ ය.

“මාලඤ්ච සො කාසිකචන්දනඤ්ච
ධාරෙතු පුත්තාස්ස බහූ භවන්තු,
කාමෙසු තිබ්බං කුරුතං අපෙක්ඛං
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ අල කොටස පැහැර ගත්තේ ද හේ මල් ද කශීරට සඳුන් ද දරාවා, ඔහුට දරුවෝ බොහෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා” ය යනු එහි තේරුමයි. අනතුරු ව සෙස්සේා ද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි ශාප කළහ.

“පහූතධඤ්ඤො කසීමා යසස්සි
පුත්තෙ ගිහී ධනිමා සබ්බකාමෙ,
වයං අපස්සං ඝරමාවසාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍ර‍යන් ලබාවා, ගිහියෙක් වේවා, බොහෝ ධනය ඇත්තේ වේවා, රූපාදි සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නො බලා මහලු කල ද ගිහිකම් කරන්නෙක් වේවා යනු එහි තේරුමයි.

“සො ඛත්තියො හොතු පසය්හකාරි
රාජාභිරාජා බලවා යසස්සී,
ස චාතුරන්තා මහිමා වසාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ අනුන් පෙළන්නා වූ ක්ෂත්‍රියයෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, හෙතෙමේ සියලු පොළොවට අධිපති වේවා” ය යනු එහි තේරුම යි.

“සො බ්‍රාහ්මණො හොතු අවීතරාගො
මුහුත්තනක්ඛත්තපථෙසු යුත්තො,
පූජෙතු නං රට්ඨපතී යසස්සී
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ නැකැත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා, යසස් ඇත්තා වූ රජ ඔහු පුදාවා.”

“අජ්ඣායකං සබ්බසමත්තවෙදං
තපස්සිනං මඤ්ඤතු සබ්බලොකො,
පූජෙතු තං ජානපදා සමෙච්ච
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස ගත්තේ ද, හේ සියලු වේදය හදාරන එකෙක් වේවා, සකල ලෝකයා හේ සිල්වතෙක් යයි සිතාවා, ජනපද වැසියෝ එක් ම ඔහු පුදත්වා.”

“චතුස්සදං ගාමවරං සමිඬං
අන්නං හි යො භුඤ්ජති වාසවෙන,
අවීතරාගො මරණං උපෙතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ මිනිසුන් ද ධනය ද දර ද දිය ද යන මේ සතර උත්සන්න වූ ද, ශක්‍ර‍යා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘඬ ගමක් භුක්ති විඳීවා, එහි ආලය දුරු කර නො ගෙන මරණයට පැමිණේවා.”

“සො ගාමිණී හොතු සහායමජ්ඣෙ
නච්චෙහි ගීතෙහි පමොදමානො,
මා රාජතො ව්‍යසනමලත්ථ කිඤ්චි
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍ර‍ධානයෙක් වේවා, යහළුවන් මැද ගී නැටුම්වලින් සතුටු වී සිටින්නෙක් වේවා, හේ රජුගෙන් කිසි ව්‍යසනයක් නො ලබාවා.”
නැගණිය ගේ ශාපය මෙසේ ය :-

“යං එකරාජා පඨවිං විජෙත්වා
ඉත්ථි සහස්සස්ස ඨපෙතු අග්ගං
සිමන්තිනීනං පවරා භවාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යා අහාසි.”
“බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබ ගේ නෙළුම් අල පැහැර ගත්තී ද, ඇය මුළු පොළොව දිනූ අගරජ තෙමේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍ර‍ධාන කොට තබා ගනීවා, ඕ තොමෝ ස්ත්‍රීන්ට අග්‍ර‍ වේවා.”
ඉක්බිති දාසිය ද මෙසේ ශාප කළා ය.

“ඉසිනං හි සා සබ්බසමාගතානං
භුඤ්ජෙය්‍ය සාදුං අවිකම්පමානා,
චරාතු ලාභෙන විකත්ථමානා
භිසානි තෙ බ්‍රාහ්මණ, යා අහාසි.”
“බ්‍රාහ්මණය, නුඹ වහන්සේ ගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැර ගත්තා ද ඕ තොමෝ එක්රැස් වූ තාපසවරුන් මැද කිසි පැකිළීමක් නැති ව, උතුම් රසය අනුභව කරාවා, ලාභය නිසා කුහක කම් කරාවා” යනු එහි තේරුමයි. දාසිය මෙසේ ශාප කරන ලදුයේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසි දාසයනට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි. එතැනට පැමිණ සිටි අසපුවේ දෙටු රුකේ දෙවියා ද මෙසේ ශාප කෙළේ ය.

“ආවාසිකො හොතු මහා විහාරෙ
නවකම්මිකො හොතු කජඞ්ගලායං
ආලොකසන්ධිං දිවසා කරොතු
භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ ලොකු පන්සලක වාසය කරන්නේ වේවා, කජංගලා නම් නගරයෙහි නවකම් කරන්නේ වේවා, එක් දිනයකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා” යනු එහි තේරුම යි.
ඒ දෙවියා කසුප් බුදුන් සමයෙහි කජංගලා නම් නගරයක පරණ මහ පන්සලක අධිපතියකු වී එහි ප්‍ර‍තිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් එය සිහි කොට එසේ ශාප කෙළේ ය. කලක් මිනිසුන්ට හසු වී සිටි ඔවුන් ගේ මිදී, වනයට ඇවිත් සිටින ඇතෙක් ද කලින් කල එහි පැමිණ තාපස වරුන්ට වඳින්නේ ය. ඌ ද මේ වේලාවේ එහි ඇවිත් සිට මෙසේ ශාප කෙළේ ය.

“සො බජ්ඣතං පාසසතෙහි ජම්හි
රම්මා වනා නීය්‍යතු රාජධානිං
තුත්තෙහි සො හඤ්ඤතු පාචනෙහි
භිසානි තෙ බ්‍රාහ්මණ යො අහාසි.”
“බ්‍රාහ්මණය, ඔබතුමාගේ නෙළුම් අල යමෙක් පැහැර ගත්තේ ද හේ බොහෝ පාසයන් ගෙන් සය තැනින් බඳිනු ලබාවා, සිත්කලු වනයෙන් රාජධානියකට ගෙන යනු ලබාවා, කනමුල විදිනා කටුවලින් හා කෙවිටිවලින් විදිනු ලබාවා.”
එහි අහිගුණ්ඨිකයකු ගේ අතින් මිදී පලා ආ රිළවෙක් ද විය. ඌ ද මෙසේ ශාප කළේ ය.

“අලක්කමාලි තිපුකණ්ණවිද්ධො
ලට්ඨිභතො සප්පමුඛං උපෙතු,
සක්කච්චබද්ධො විසිඛං චරාතු
භිසානි තෙ බ්‍රාහ්මණ, යො අහාසි.”
“බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙල එළ වරා මාලය පළඳවනු ලදුව කනෙහි ඊයම් ආභරණ පළඳවන ලදුව කෝටුවලින් තළනු ලබමින් සර්පයා ගේ ඉදිරියට යන්නට සිදු වේවා” ය යනු එහි තේරුම යි.
රිළවා මේ කියන්නේ අහිගුණ්ඨිකයාට හසු වී සිටි කාලයේ දී විඳින්නට සිදු වූ දුක ගැන ය. මෙසේ ඒ තෙළෙස් දෙනා ම ශාප කොට අවසන් වූ කල්හි මහ බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී යයි බොරු චෝදනාවක් කළහ යි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතති යි තමන් වහන්සේ ගේ ශුද්ධිය පැවසීම් වශයෙන් මෙසේ ශාප කළහ.

“යො චෙ අනට්ඨං නට්ඨන්ති චාහ
කාමෙ ච සො ලභතං භුඤ්ජතඤ්ච
අගාරමජ්ඣෙ මරණං උපෙතු
යො වා භොන්තො සංකති කිඤ්චිදෙව.”
“පින්වත්නි, යමෙක් නැති නො වූ තමා ගේ ආහාර කොටස නැති වූයේය යි කියා නම් හෙතෙමේ රූපාදි කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහිගෙයි ම ඔහුට මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.
මෙසේ තවුසන් විසින් ශාප කළ කල්හි ශක්‍ර‍යා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය’ යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරින් වෙහෙසී කාමයන් සොයති, කාමයෝ බොහෝ දෙනාට ඉතා ප්‍රිය වෙති, ඒ කාමයන් කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙතිදැ” යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

“කාමෙසු වෙ හඤ්ඤරෙ බජ්ඣරෙ ච
කාමෙසු දුක්ඛඤ්ච භයඤ්ච ජාතං
කාමෙසු භුතාධිපතී පමත්තා
පාපානි කම්මානි කරොන්ති මොහා.
තෙ පාපධම්මා පසවෙත්වා පාපං
කායස්ස භෙදා නිරයං වජන්ති,
ආදීනවං කාමගුණෙසු දිස්වා
තස්වා ඉසයො නප්පසංසන්ති කාමෙ.”
“ශක්‍ර‍ය, කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහරනු ලබති. බඳිනු ද ලබති. කාමයන් නිසා කායික මානසික දුඃඛය ද අත්තානුවාදාදි භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස්කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍ර‍ශංසා නො කෙරෙති” ය යනු එහි තේරුමයි. ශක්‍ර‍යා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් ක්ෂමාව ගෙන දෙව්ලොවට ගියේ ය. තාපස සමූහයා ද ධ්‍යාන වඩා බඹලොවට ගියෝ ය.
බුද්ධගුණාදිය යෝගාවචරයන්ට නිරාමිෂ ප්‍රීතිය උපදවා ගැනීමට ඇත්තා වූ කරුණු ය. එයිනුත් බුද්ධ ගුණය යෝගාවචරයන්ට විශේෂයෙන් ම ප්‍රීතිය හා උත්සාහය ඇති කරවන්නකි. යෝගාවචරයෝ දිනකට දෙතුන් වරක් රත්නත්‍ර‍ය වන්දනා කරති. වන්දනා කරන අවස්ථාව බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවෙකි. “ඉතිපි සො භගවා අරහං” යනාදි බොහෝ ගුණ කොටින් අසු කර තිබෙන්නා වූ ද, වටහා ගැනීමට දුෂ්කර ගැඹුරු ගුණ ඇතුළත් කර ඇත්තා වූ ද පාඨ කියා වඳින්නා වූ තැනැත්තාට ප්‍රීතියක් ඇති නොවේ. ප්‍රීතිය ඇති වන්නේ තමාට හොඳින් වැටහෙන, තමාගේ සිතට ප්‍රිය ගුණයන් තමාට තේරෙන භාෂාවකින් කියන සිතන කල්හි ය. පාළි භාෂාව සිය බස සේ පුරුදු වී තිබෙන පින්වතුන්ට කීමට මෙනෙහි කිරීමට පාළි ගාථා ද හොඳ ය. පාළි භාෂාව නො තේරෙන අය විසින් භාවිත කළ යුත්තේ සිය බසින් සැපැයුණු බුදු ගුණ පාඨයෝ ය. බුදු ගුණ දැක්වෙන ගාථා ශ්ලෝක ගී කවි වාක්‍යයන් නොයෙක් පොත්වල බොහෝ ඇත්තේ ය. ඒවායින් තමන්ට ප්‍රිය ගාථාදිය තෝරා ගෙන හෝ තමා විසින් ම සම්පාදනය කරගෙන හෝ සජ්ඣායනා කිරීමෙන් බුද්ධාලම්භන ප්‍රීතිය වඩ වඩා ඇති කර ගත හැකි ය.
ශීලය මෙනෙහි කිරීමෙන් යෝගාවචරයන් විසින් දිනකට වරක් වත් කළ යුත්තකි. භික්ෂුවකට සෑම කල්හි ම කුඩා ඇවැත්වලින් මිදී වාසය කරන්නට නුපුළුවන් වුවත් පරිජි ඇවැතට නො පැමිණ දීර්ඝ කාලයක් උපසම්පදාව නො නසා පවත්වා ගත හැකි වුවහොත් එය ද ඉතා උසස් දෙයකි. තමන් ගේ අතීතය මෙනෙහි කොට මම මෙපමණ වර්ෂ ගණනක් උපසම්පදාව නො නසා පවත්වා ගතිමි යි ප්‍රීති විය හැකි ය. උපසම්පදා ශීලය බොහෝ සිකපද ඇති ශීලයක් වන බැවින් එක ම වරදකට වත් කිසි දිනක නො පැමිණෙන ලෙස ඒ ශීලය රක්ෂා කළ හැකි අය ලෝකයෙහි දුර්ලභ ය. පෘථග්ජනයන් තබා සමහර විට රහත්හු ද ඇවැතට පැමිණෙති. පෘථග්ජන භික්ෂූන් ඇවැත්වලට පැමිණීම ගැන කියනුම කිම?
බොහෝ යෝගාවචරයන් තමන් ගෙන් රැකෙන සිකපද මහා සමූහය ගණන් නො ගෙන කඩවන සිකපද කිහිපයක් ගැන තැවෙති. කඩවන සිකපද ගැන තැවෙන්නට පුරුදු කර නො ගෙන රැකෙන හරිය ගැන සතුටු වන්නට පුරුදු කර ගත යුතු ය. ශීලයෙන් ප්‍රීතියක් ලැබිය හැක්කේ එකල්හි ය. නුවණ ඇත්තේ නම් පාරාජිකා නො වූ කවර භික්ෂුවකට වුව ද තමා ගේ ශීලය මෙනෙහි කොට ප්‍රීතිය ඇති කර ගත හැකි ය. භික්ෂුවක් අතින් යම් කිසි සුළු වරදක් වුවත් කෙරෙනවා නම් ඒ වරද ම මතු කොට ගෙන ඒ භික්ෂුව ගේ ගුණ සියල්ල අවලංගු කරමින් දුශ්ශීලයෙක කියා ඒ භික්ෂුවට ගර්හා කිරීම මෙකල ගිහි පැවිදි බොහෝ දෙනකුට ම පුරුදු වී තිබෙන ඉතා ම නො මනා සිරිතකි. මේ සස්නෙහි දුශ්ශිල යන නම දෙන්නේ පරිජි ඇවැතට පැමිණ සම්පූර්ණයෙන් මහණකම නැති කර ගත් අයට ය. බුදුන් වහන්සේ වැඩ සිටින සමයෙහි කීටාගිරියෙහි අස්සජි, පුනබ්බසුක යන භික්ෂූන් දෙදෙන ස්ත්‍රීන් හා එක අසුනෙහි හිඳ ගැනීම, එක් යහන්හි නිදා ගැනීම, එක භාජනයේ ආහාර ගැනීම, ස්ත්‍රීන් හා නැටීම, නාටිකාවන්ට එය මතුයෙහි නැටීමට තමන් ගේ සිවුරු බිම අතුරා දීම, විකාලයෙහි ආහාර ගැනීම, සුරාපානය කිරීම යනාදි බොහෝ නො මනා කම් කළහ. එතෙක් වැරදි වැඩ කරන ඒ නො හික්මුණු භික්ෂු දෙනම ද දුශ්ශීලය යි කියා විනයයෙහි නැත.
ඒ භික්ෂූන් හැඳින්වීමට පාරාජිකපාළි නම් වූ විනය පොතෙහි එන්නේ “අලජ්ජිනො පාපභික්ඛු” යන වචන දෙකය. (පාරාජිකා පාළියේ සංඝාදිසේස කාණ්ඩයේ තෙළෙස්වන සංඝාදිසේසයේ නිදාන කථාව බලනු.) එපමණ මහත් වරද කළ අස්සජී පුනබ්බසුකයන්ට වත් නො කිය යුතු දුශ්ශිල කථාව මුදල් ටිකක් ළඟ තබා ගැනීම, කරත්තයකින් යාම යනාදි සුළු දෙයක් කරන්නකුටත් කීම ඒ අය කරන වරදට වඩා මහත් වරදක් බව කිය යුතු ය. “සුළු ඇවතකට වුව ද පැමිණෙන භික්ෂුව දුශ්ශිලය” යන වැරදි හැඟීම වනගත ව වෙසෙන ඇතැම් යෝගාවචරයන්ට ද නැත්තේ නො වේ. වනගත ව වෙසෙන භික්ෂුවට වුව ද කිසි ම ඇවැතකට නො පැමිණෙන ලෙස ශීලය සැම කල්හි නො රැකිය හැකි ය.
සමහර විට තමන් ද ඇවැත්වලට පැමිණෙන බැවින් ඉහත කී වැරදි හැඟීම ඇති, වනගත යෝගාවචරයන්ට ද තමා ගේ ශීලය ගැන ප්‍රීතියක් නො ලැබේ. ඒ වැරදි හැඟීම් නැති කර ගෙන සමහර විට තමන් අතින් යම් යම් වැරදි සිදු වුව ද ඒවා ගැන කුකුස් උපදවන්නේ නැතුව තමන් අතින් රැකෙන කොටස උසස් කොට සලකා ශීලය මෙනෙහි කර ප්‍රීතිය ඇති කර ගන්නට යෝගාවචරයන් විසින් උගත යුතු ය. සිදු වූ වරදට ප්‍ර‍තිකාර කර ගත යුතු ය. ප්‍ර‍තිකාර කර ගන්නට නුපුළුවන් වුව හොත් හැකි වූ විටෙක එය කර ගන්නට බලාපොරොත්තු විය යුතු ය. සිදු වූ වරදවලට ප්‍ර‍තිකාර කර ගැනීමේ බලාපොරොත්තුව නො හළ යුතු ය. ගිහි පැවිදි කා විසිනුත් ත්‍යාග ගුණයෙහි ද පිහිටිය යුතු ය. ධනය හැර, ධන සැපයීමේ නො යෙදෙමින් වෙසෙන යෝගාවචරයන් හට දීමට ධනය නම් නැත. එහෙත් ඒ යෝගාවචරයෝ ද තුණුරුවන් විෂයයෙහි මල් පූජා පහන් පූජා ආදිය කෙරෙති. ඒවා ද ත්‍යාග සංඛ්‍යාවට ම ඇතුළත් වේ. “මා විසින් මෙතෙක් මල් පුදා තිබේය, මෙතෙක් පහන් පුදා තිබේ ය” යනාදීන් මෙනෙහි කොට යෝගාවචරයන්ට තමන් ගේ ත්‍යාගය පිළිබඳව ප්‍රීතිය ඇති කර ගත හැකි ය. මෙකල වෙසෙන ඇතැම් යෝගාවචර භික්ෂූහු නගර ග්‍රාමයන්හි වෙසෙන භික්ෂූන්ට ද වඩා ලාභ ලබති. එබැවින් ඒවායින් ඒ යෝගාවචරයනට ද දන් දිය හැකි ය. අල්පලාභී තැනැත්තන් විසින් තමන්ට ඇති සැටියෙන් දෙන අල්ප දානය ද කුශල පක්ෂයෙන් අල්ප නො වේ. එය ධනවතුන් දෙන මහා දානයකට නො දෙවෙනි ය.

“අප්පස්මෙකෙ පවෙච්ඡන්ති - බහුනෙකෙ නදිච්ඡරෙ.
අප්පස්මා දක්ඛිණා දින්නා - සහස්සෙන සමං මිතා.”
යනුවෙන් දුගියකු ගේ රුපියලක් අගනා දානය ධනවතකු දහසකින් දෙන දානයට සමාන වන බව ප්‍ර‍කාශිත ය. එබැවින් යෝගාවචර භික්ෂුව විසින් තමා සිඟා ලබන ආහාරයෙන් දෙන දානය ද, කුඩා දානය ද, දහසකින් ප්‍ර‍මාණ කළ යුතු දානයක් බව කිය යුතු ය. ප්‍ර‍තිග්‍රාහකයකු ලද හොත් පිඬු සිඟා වළඳන පැවිද්දාට ද එයින් දන් දී මහා බෝධිසත්ත්ව අකීර්ති තාපසයන්ට මෙන් මහා ප්‍රීතියක් ඇති කර ගත හැකි ය. මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.