6/1/15

අසූමහා ශ්‍රාවක චරිත 06



අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි ආශ්චර්යවත් කුලීන භික්‍ෂූන් අතර අගතනතුර ලැබීමේ ප්‍රාර්ථනය ඇතිව ක්‍රියා කිරීමෙන් පදුමුත්තර බුදුරදුන්ගෙන් නියත විවරණ ලබා ගැනීමට භද්දිය මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබුණි. තවදුරටත් ඒ උසස් අගතනතුර ලැබීමට කවර පින්කම කළ යුතුදැයි කල්ප ලක්‍ෂයකට පෙර භික්‍ෂූන් වෙතින් විමසුවා. එහි දී කළ යුතු ප්‍රධාන පින්කම, ධර්මාසන පිදීම, ධර්මාසනයන්ට ඇතිරිලි පිදීම, ධර්ම දේශයකයන්ට විජිනිපත් පූජා කිරීම. සුදුසු පරිදි ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම දේශකයන් වහන්සේ සඳහා කළ යුතු වතාවත් සිදු කිරීම, ධර්මශාලා, විහාර සංඝාවාස, පොහොය ගෙවල් සඳහා පහන් පූජා කිරීම ඇතුළු පින්කම් සිදු කළ යුතු බව ඒ අවස්ථාවල පෙන්වා දුන්නා.

ආසන පූජා කිරීම මහා කුසලයක්. ඒකාසනදායක හිමියන් පියමතුරා බුදුරදුන්ට දඬුමැස්සක ආසනයක් පනවා දීමේ පිනෙන් බොහෝ වාර ගණනක් සක් දෙව් තනතුර හා සක්විති තනතුර ලැබූ බව අපදාන පාලියෙහි සඳහන් වෙනවා. හේමක හිමියන් පියදස්සි බුදුරදුන්ට රන් පුටුවක් පූජා කිරීමෙන් දෙව්ලොව හා මිනිස් ලොව අපමණ උසස් සම්පත් ලබා ගත්තා. ඇතිරිලි සහ විජිනිපත් (වටාපත්) පූජා කිරීමත් මහත් ආනිසංස ලැබෙන පුණ්‍ය ක්‍රියාවන් වශයෙන් දැක්වෙනවා. ලෞකික වශයෙන් කායික හා මානසික දාහ ගති නැති වීමටත් අධික ශීත හා උෂ්ණයන්ගෙන් ආරක්‍ෂා වීමටත් විජිනිපත් පූජාව හේතු වෙනවා. විශේෂයෙන් සලකන විට පේනවා සත්වයා නිරන්තරයෙන් පෙළෙන රාග, ද්වේෂ මෝහ ආදි එකොළොස් මහා ගින්න පහ කිරීමට මේ විජිනිපත් පූජාව හේතු වන බව.

දස පුණ්‍යක්‍රියාවන්ගෙන් එකක් වූ ධර්ම දේශනය සුවිශේෂ පින්කමක්. සාමාන්‍ය සමාජයක් උසස් තත්ත්වයට පත් කිරීමට පමණක් නොව නිවන් අවබෝධ කර ගන්නා කෙනෙකුට ඒ සඳහා ද ධර්ම දේශනයකට සවන් දීම වැදගත් වෙනවා.අර්ථවත් වූ යහපත් ධර්ම දේශනයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතු බව අපේ ධර්ම ග්‍රන්ථයන් මගින් පෙන්නා දී තිබෙනවා. ඒවා නම් අනුපිළවෙල අනුව දෙසීම, අර්ථයට අදාළ කරුණු දක්වා දේශනා කිරීම, අනුකම්පාවෙන් දේශනා කරන්නන් වීම, ආමිෂයක් බලාපොරොත්තු නොවී කරන දේශනයක් වීම, තමා උසස්කොට අන් අය පහත් කොට පවත්වන දේශනයක් නොවීම යන ඒවායි.

ඕනෑම කෙනෙකුට මග ඵල ලැබීමට පරතෝසොස ප්‍රත්‍යය හෙවත් අනුන් කියන බණ පදයක් හෝ කණ වැටෙන්නට ඕන.ධර්මය ඇසීමෙන් මග ඵල ලබන ක්‍රම සතරක් ගැන අපේ ධර්ම ග්‍රන්ථ, සඳහන් කරනවා. උද්ඝටතඥ යනුවෙන් පළමුව දැක්වෙන්නේ කෙලෙස් ප්‍රහීණ කිරීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ වූවෙකු බණ පදයක් කණ වැටීමත් සමග මග ඵල ලැබීමයි. විපඤ්චිතඥ ගණයට අයත් වන අය ධර්ම දේශනාවක් නිමවීමත් සමග මගඵල ලබනවා .දිගු කලක් බණ ඇසීමෙන් පසු ධර්මය අවබෝධ කර ගන්නා අය නෙය්‍ය නමින් හඳුන්වනවා. ඒ එක් ආත්මයකදී ම නොව සසර කවර හරි අවස්ථාවක ධර්මාවබෝධය කරන අය පදපරම නමින් දැක්වෙනවා. මෙවැනි ගුණයන් ළඟා කර දෙන දේශනයක් පැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්නා පුටුව, ඇතිරිල්ල, වටාපත ආදි සැම දෙයක්ම පූජා කළ අයට නිරන්තරයෙන් මහත් වූ අනිශංස ලැබෙනවා.

මහා පින්කම සිදු කරමින් සසර සැරිසරමින් අවුත් අප ගෞතම බුදුරදුන්ගේ කාලයෙහි කිඹුල්වත් නුවර “කාළිඝෝධා” නමැති රජ කුමරියක කුසෙහි පිළිසිඳ දසමස් ඇවෑමෙන් බිහිවූ කුමරු භද්දිය නමින් හැඳින්වූවා. මහා සම්පත් හිමිවූ ඔහු රජකමටද පත් වූවා. පෙර කරන ලද කුසල් ඇති භද්දිය රජතුමා තම හිතවත් යහළුවෙකු වූ අනුරුද්ධ කුමාරයන් හා එක්ව ගොස් ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුන් ද උපාලි කපුවා ද සමග බුදුරදුන්ගෙන් පැවිද්ද ලබා වැඩිකලක් ගත වීමට පෙර රහත් භාවයට ද පත් වූවා. නිවන් අවබෝධ කිරීමත් සමග බුදුරදුන්ගේ අගතනතුරක් ලැබීමට කළ ප්‍රාර්ථනය අසීමිතව සිදු කළ පින්කම් වල බලයෙන් සම්පූර්ණ කර ගත් භද්දිය හිමියන්ගේ චරිතය අප බෙහෙවින් අගය කරන්න ඕනෑ.

තෙරුවන් සරණයි!

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!