4/21/17

ප්‍රේත ලෝකය


සසර විඳි දුක් දන්නෝ වහා ම නිවන් මඟ ම තෝරාගනිති. මේ ලිපි පෙළ මගින් සිදු කැරෙනුයේ සසර දුක හඳුන්වාදීම ය. ඉන් පසු නිවන් මගට වැටීම ඔබේ කාර්යය ය.

අප ඉපදුණේ අපායේ පමණක් නොවෙයි; මහ පොළොවේ වැලි කැට ගණනට වඩා වැඩි වාර ගණනක් පේ‍්‍රතයන් වෙලත් ඉපදුණා. පේ‍්‍රතයන් වී ඉපදුණාට පස්සේ, අවුරුදු දහස් ගණන්, දසදහස් ගණන්, සමහර විට බුද්ධාන්තර ගණන් බොන්නට වතුර ටිකක් නැතිව අපි පිපාසයෙන් පිච්චුණා. කෑමට ආහාරයක් නැතිව කුසගින්නෙන් දැවුණා. අඳින්නට වස්ත්‍රයක් නැතිව, ඉන්නට තැනක් නැතිව බොහෝ දුක් විඳවිඳ බුද්ධාන්තර ගණන් හිටියා. කෑමට බීමට දෙයක් නැතිව ‘ඛුප්පිකාසික’ පේ‍්‍රතයන් වෙලා අපි මෙහෙම කොච්චර නම් දුක් විඳලා තිබෙනවාද?
අපි පේ‍්‍රතයන් වෙලා ඉපදිලා සමහර විට ආහාරයට ගත්තේ මිනිසුන් ඉවතට දමන කෙළ, සෙම්, සොටු ටිකක්; නැත්නම් මිනිසුන්ගේ හරි තිරිසන් සතුන්ගේ හරි අසූචි; නැත්නම් ඔවුන්ගේ මළකුණු; එහෙමත් නැත්නම් පිඟන්, කෝප්ප ආදිය සෝදලා ඉවත දාන තැන්වල තිබුණු බත්හුළු, තවත් සමහර අවස්ථාවලදී තමන්ගේ ම ඇඟ සූරාගෙන, එසේත් නැත්නම් වණ තුවාලවලින් ගලනා ලේ සැරව.

මීට අමතරව, කවුරුහරි පින් දුන්නොත් කන්නට බොන්නට දෙයක් ලැබෙන ‘පරදත්තූපජීවක’ පේ‍්‍රතයන් වශයෙනුත් අනන්ත අප්‍රමාණ වාර ගණන් අපි ඉපදී දුක් වින්දා. ඒ කාලයේ අපි හිටියේ අතිශයින් දීර්ඝ කාලාන්තර ගණන් තිස්සේ කන්නට බොන්නට දෙයක් නොමැතිව, සාපිපාසා ගිනි මැද අතිශය දුක් විඳිමින්.
මෙපමණක් නොවෙයි. අපි ‘කාලකඤ්ජි’ පේ‍්‍රතයන් වෙලත් බොහෝ වාර ගණන් ඉපදුණා. ඒ පේ‍්‍රතයන්ගේ ශරීර හරි උසයි; ඇස් දෙක තිබෙන්නේ හිස මත; කට ඉදිකටු සිදුරක් විතර අති; තුනටිය ඉතාමත්ම සිහින්. කෙළ සෙම් සොටු ටිකක් සොයසොයා ඇවිදලා, ඒවා කොතැනක හරි තිබෙනවා දැකලා, ගන්නට නැමෙන විට තුනටිය ළඟින් දෙකට කැඩී යනවා. කර්ම ශක්තිය නිසා නැවතත් ඉපදෙනවා; නැවතත් පෙර සේ ම දුකට පත් වෙනවා. මෙහෙම ඉපදිලා අපි කොච්චර නම් දුක් විඳලා තිබෙනවාද?

ලක්ඛණ සංයුක්තයේ දක්වා තිබෙනවා සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවල ස්වරූපය සහ ඔවුන් කළ අකුශල කර්ම. බුදු රජාණන් වහන්සේ වදාළේ ඔවුන් කළ ඒ ඒ අකුශල කර්මවල විපාක වශයෙන් අපායේ ඉපදී අතිදීර්ඝ කාලාන්තරයක් එහි දුක් විඳ, අපායෙන් මිදුණාට පසුව මෙලෙස ඔවුන් ඉපදී සිටිනවා කියලයි. අපායේ ඉපදුණු පමණින් කළ අකුශල කර්මවල විපාක ගෙවා නිම කරන්නට බැහැ. ඒවායේ ප්‍රවෘත්ති විපාක පිරිනිවන් පාන මොහොත දක්වාම පල දෙන්නට පුළුවන්.

සමහර පේ‍්‍රතයන්ගේ ඇඟේ සම නැහැ. ශරීරය තනිකරම මස්වැදැල්ලක් වගේ. ඔවුන්ට කොටන්නට එන යක්‍ෂ ගිජුළිහිණියෝ, උකුස්සෝ, ඔවුන් පසුපස හඹා ඇවිත් මස් වැදලි කඩකඩා කනවා. වේදනාවෙන් කෑගසමින් ඒ පේ‍්‍රතයෝ දුවනවා.

සමහර පේ‍්‍රතයන්ගේ තිබෙන්නේ ඇටසැකිලි විතරයි. යක්‍ෂ ගිජුළිහිණියෝ, උකුස්සෝ ඒ ඇටසැකිලි පසුපස එළවඑළවා, කඩකඩා කන විට, ඒ පේ‍්‍රතයෝ දුක ඉවසිය නොහැකිව විලාප දෙනවා.

සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවලින් ගින්දර විහිදෙනවා. ඔවුන්ගේ ශරීර ඇතුළතිනුයි පිටතිනුයි ඇති ගින්දරවලින් ඒ පේ‍්‍රතයෝ මැරෙන මොහොත දක්වාම ගිනි ගෙන දැවෙනවා. ‘නිජ්ඣාමතණ්හික’ පේ‍්‍රතයන් කියලයි මොවුන් හඳුන්වන්නේ.

සමහර පේ‍්‍රතයෝ සිටිනවා අසූචි වළවල්වල එරිලා. මහා ගිනි කබල් හිස මත තබාගෙන පිච්චිපිච්චී ඔවුන් සිටින්නේ.
සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවල ලෝම හරියට අවි ආයුධ වගේ. ඒවායින් ඔවුන්ගේම ඇඟවල් කැපිකැපී, කැපිකැපී යනවා.
සමහර පේ‍්‍රතයන්ගේ ලෝම ඉදිකටු වගෙයි.
යකඩ උල් ඇනෙන්නා සේ ඒ ලෝම ඇනි ඇනී ඒ පේ‍්‍රතයෝ මහත් දුක් විඳිනවා.
අපිත් අතීත සංසාරයේදී මෙවැනිම පේ‍්‍රතයන් වෙලා පමණක් නොවෙයි, මීට අමතරව දසදහස් ගණන් වෙනත් ආකාරවලිනුත් විවිධ පේ‍්‍රතයන් වෙලා ඉපදිලා, අප්‍රමාණ අසීමිත කිව නොහැකි තරම් දුක් වින්දා. එසේ විඳින ලද දුක් මොනම ආකාරයකින්වත් කියලා, හිතලා නිම කරන්නට බැහැ. විශේෂයෙන්ම මේ අය අවධාරණය කර මතක තබාගත යුතුයි සෝවාන් වත් වී නැති කිසිවෙක් පේ‍්‍රත ලෝකයෙන් මිදිලා නැති බව.

ලක්ඛණ සංයුක්තයේ දැක්වෙන මේ ආදි පේ‍්‍රතයන් සහ ඔවුන් කළ කර්ම පිළිබඳ ලැයිස්තුවක් මෙහෙම දක්වන්න පුළුවන්:

01. ඇට සැකිල්ලක් පමණක් ඇති පේ‍්‍රතයන්: ගවඝාතක කර්ම.

02. මස්වැදැල්ලක් පමණක් ඇති පේ‍්‍රතයන්: ගවඝාතක කර්ම.

03. මස්පිඩක් වූ පේ‍්‍රතයන්: කුරුල්ලන් මරා විකිණීම.

04. සම නැති පේ‍්‍රතයන්: බැටළුවන් මරා විකිණීම.

05. අසිපත් වැනි ලොම් ඇති පේ‍්‍රතයන්: ඌරන් මරා විකිණීම.

06. ඊතල වැනි ලෝම ඇති පේ‍්‍රතයන්: වධකයකු ලෙස කටයුතු කිරීම.

07. ඉදිකටු වැනි ලොම් ඇති පේ‍්‍රතයන්: කේළාම් කීම.

08. කළගෙඩි පමණ අණ්ඩකෝෂ ඇති පේ‍්‍රතයන්: අල්ලස් ගෙන අයුතු ලෙස නඩු විසඳීම.

09. අසූචි වළක හිස සහිත මුළු සිරුර ම ගිලුණු පේ‍්‍රතයන්: පරදාර සේවනය.

10. අසූචි වළක එරී දෑතින්ම අසූචි කන පේ‍්‍රතයන්: දානයට ඇරියුම් කර අසූචි කන්නැයි භික්‍ෂූන්ට ප්‍රකාශ කිරීම.

11. සම නැති පේ‍්‍රතියන්: වෙශ්‍යාකම් කිරීම.

12. අතිශයින් දුගඳ හමන, පිළිකුල් පේ‍්‍රතයන්: යකැදුරුකම් කිරීම.

13. ගින්නෙන් පිච්චුණු ශරීර ඇති, දාඩිය වැගිරෙන, ශරීරය ගිනි අඟුරින් වෙළීගත් පේ‍්‍රතයන්: තම සැමියාගේ හොර බිරිඳට ගිනි අඟුරු දැමීම.

14. හිස නැති ප්‍රේතයන්: (ඔවුන්ගේ ඇස් සහ කට පපුවේ ඇත:) රාජ්‍ය සේවය සඳහා සොරුන් මැරීම (වෝර ඝාතක කර්මය)

15. ගිනි ගත් සිවුරු, ගිනි ගත් පාත්‍ර, ගිනි ගෙන දැවෙන ශරීර ඇති ශ්‍රමණ පේ‍්‍රතයන්, ශ්‍රමණ පේ‍්‍රතියන්, සාමණේර පේ‍්‍රතයන්, සාමණේරී පේ‍්‍රතියන්: කාශ්‍යප බුද්ධ ශාසනයේ පවිටු ලෙස මහණකම් කිරීම.

මොවුන් මේ තත්ත්වවලට පත් වූයේ, ඔවුන් කළ අකුශල කර්ම විපාක වශයෙන් අපායේ ඉපදී බොහෝ කලක් අපායේ දුක් විඳ, අපායෙන් මිදුණු පසුවයි.

සතර අපායෙන් එකක් වන අසුරයන් වශයෙන් ද අපි ඉපදී අතීත සංසාරයේ අනන්තවත් දුක් විඳ තිබෙන බවත් මේ අය අවබෝධ කරගත යුතුයි.

දෙවියන් මෙන්ම ආනුභාව සම්පන්න, දේව කොට්ඨාසයන්ටම අයත්, ‘වේපචිත්ති, රාහු, පහාරද’ වැනි අසුරයන් සහ පහළම දිව්‍ය ලෝකය හා සම්බන්ධ එහෙත් එතරම් ආහාරපානාදිය නොලබන ‘විනිපාතික අසුරයන්’ සතර අපායට අයත් වන අසුරයන් වශයෙන් සැලකෙන්නේ නැහැ. අපායට අයත් වන අසුරයන්, සැතපුම් ගණන් ඉතා උස, නිරන්තරයෙන්ම සා-පිපාසාවෙන් පෙළෙන, නැගිටින්නට වත් බැරි තරමට ඉතාමත්ම දුර්වල, ඉතාම සිහින් ශරීර ඇති සත්ත්ව කොට්ඨාසයක් බව යි පොත්වල සඳහන් වන්නේ.

‘කාලකඤ්ජි’ පේ‍්‍රතයන්ට වඩා විශාල ශරීර තිබෙන මොවුන් ඉපදුණු දවසේ සිටම සිටින්නේ සා-පිපාසාවෙන් දුක් විඳිමින්. මොවුන්ගේ ශරීර මස්-ලේ සිඳී ගිය, වේළිච්චි සමකින් වැසී ගිය ඇටසැකිලි වගේ. සෙම් සොටු ටිකක් වැනි දෙයක් ගැනීමට නැමුණොත් මොවුන්ගේ ශරීර කැඩී යනවා. එහෙත් මොවුන්ගේ කර්ම ශක්තිය නිසා නැවතත් කලින් සේම සිරුර හැදෙනවා. කිසි දිනක කන්නට බොන්නට කිසිවක් නොලැබෙන මොවුන් විඳින දුක වචනවලින් කියා නිම කරන්නට බැහැ.

මෙවැනි අසුරයන් වෙලා අපි ඉපදුණු වාර ගණන් පොළොවේ වැලි කැට ගණනටත් වඩා වැඩියි. කොපමණ නම් දුකක් අපි ඒ විධියට විඳලා තිබෙනවා ද කියලා සිතා බලන්න.

මේ පමණක් නොවෙයි, අපි ලෝකාන්තරික නරකවලත් ඉපදී අනන්තවත් දුක් වින්දා. පොත්වල සඳහන් වන විධියට ලෝකාන්තරික නරක තිබෙන්නේ ලෝක ධාතු දෙකක් අතර. ඝන අන්‍ධකාරයෙන් වැසිලයි තිබෙන්නේ. අතිශයින්ම දරුණු ශීතලක් ඒවායේ තිබෙනවා. ඒ නරක වළ පතුලේ තිබෙන ජලයත් ඒ වගේම ශීතල යි.

මෙම ශීතලෙන් දුක් විඳිමින්, කිසිම ආහාර පානයක් නොමැතිව පීඩිතව, මේ නරකවල සත්ත්වයන් සිටින්නේ වවුලන් වගේ එල්ලිලා. මොවුන් බිමට වැටුණොත් වැටෙන්නේ යට තිබෙන අතිශයින් ශීතල ජලයට. එහෙම වැටුණට පස්සේ ‘චිටි චිටි’ ගාමින් ඔවුන් පුපුරපුපුරා ගියත්, නැවත එහිම ඉපදිඉපදී අනන්තවත් දුක් විඳිනවා. අතීත සංසාරයේ අපි මෙහෙම කොච්චර නම් දුක් විඳලා තිබෙනවා ද? ද

කම්මට්ඨානාචාර්ය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

4/2/17

චක්‍රවර්ති සීහනාද සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළෝය. භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීන් වහන්ස’ යයි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාසය දේශනා කළහ.

“මහණෙනි, තමන්ම ආරක්ෂාස්ථාන කොට තමන්ම පිහිට කොට වාසය කරව්, එයින් අනෙක් පිහිටක් නැත්තෝව වසවු. ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිට කොට වසව්, එයින් අනෙක් සරණක් නැත්තෝව වසව්.

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිට කොට අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්:

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, කෙළෙස් තවන විර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව, ස්කන්ධ ලෝකයෙහි ඇලීමත් මානසික දුකක් දුරලා වාසය කෙරේ.

වෙදනාවන්හි වෙදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව, ධර්මයන්හි ධර්ම අනුව බලන්නෙක්ව කෙළෙස් තවන වීර්යය ඇතිව යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ. මහණෙනි, මහණ තෙමේ තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිටකොට, අන්‍ය පිහිටක් නැතිව ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිටකොට අන්පිහිටක් නැතිව මෙසේ වාසය කරන්නේය.

මහණෙනි, පියාගෙන් තමන්ට උරුමව පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නොලබන්නේය. මාර තෙමේ අරමුණක් නොලබන්නේය. මහණෙනි, මෙසේ කුශල ධර්මයන්ගේ සමාදානය හේතුකොට ගෙන පින් වැඩෙන්නේයයි වදාළේය.

මුළු සුත්‍රයම කියවන්න -> http://pitaka.lk/17120/cs,aps

සූත්‍රයේ අග කොටස මහණෙනි, එකල්හි ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. අපි අකුශලධර්මයන්හි යෙදුනබැවින් මහත්වූ මෙබඳුවූ නැදෑයින් විනාසයට පැමිණියෝ වමු. අපි කුසල්කරන්නෙමු නම් යහපති. කවර කුසලක් කරන්නමුද? අපි ප්‍රාණඝාතයෙන් වළකින්නමු නම් මැනවි. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නෝවමු’ කියායි. ඔව්හු ප්‍රාණඝාතයෙන් වළකින්නාහුය. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නාහුය. ඔව්හු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන්ද වැඩෙන්නාහ. වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ.

මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසෙක් වන්නේය. ‘අපි වනාහි කුශලධර්ම සමාදන්ව ආරක්ෂා කිරීම නිසා ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙමු. අපි අතිශයින් කුසල් කරන්නමු නම් ඉතා යහපත්ය කියායි. කවර කුසලක් කරන්නමුද? අපි හොරකමින් වළකින්නමු නම් ඉතා යහපති. කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, ඵරුස වචනයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නමු නම්, තද ආසාව දුරුකරන්නමු නම්, ක්‍රොධය දුරුකරන්නමු නම්, මිථ්‍යාදෘෂ්ටිය දුරුකරන්නමු නම්, අධර්මරාගය (මව් පිය නැදි මයිල් ආදි අයුතු තැන උපදවන රාගය), විසම ලොභය (පරිභොග කළ යුතු වස්තුවෙහිද ඉතා බලවත් ආශාව), මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිද, ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිද උපදවන රාගය) යන තුන දුරුකරන්නමු නම් යහපති. අපි මව කෙරෙහි, පියා කෙරෙහි, ශ්‍රමණයන් කෙරෙහි, බ්‍රාහ්මණයන් කෙරෙහි, මනාකොට පවත්නෝ වමු. කුලදෙටුවන් පුදන්නෝ වමු නම් යහපතැයි සිතා, මහණෙනි, ඔව්හු මව කෙරෙහි, පියා කෙරෙහි, ශ්‍රමණයන් කෙරෙහි, බ්‍රාහ්මණයන් කෙරෙහි මනාකොට පවත්නෝ වන්නාහුය. කුලදෙටුවන් පුදන්නෝ වන්නාහුය. මෙසේ කුශලධර්ම සමාදන්ව පවතිත්. ඔව්හු කුසල ධර්ම සමාදන්ව පැවතීමෙන් ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද, වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ විසි අවුරුද්දක් පරමායුෂ කොට ඇති ඒ මිනිසුන්ට අවුරුදු සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සතලිසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූවක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු අසූවක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු එකසිය හැටක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු එකසිය හැටක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු තුන්සිය හැටක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු තුන්සිය හැටක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු හයසිය සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු හයසිය සතලිසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු දෙදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු දෙදහසක් ආයු ඇති මිනිසුන්ට අවුරුදු සාරදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සාර දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අට දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු අටදහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු විසිදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු විසිදහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.

මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි අවුරුදු පන්සියයක් වයස්වූ කුමාරිකාවෝ ස්වාමි කුලයට යායුතු වන්නාහ.

සඩ්ඛ රජ උපත 106 
මිනිසුන් අතර අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, බත්මතය, මහළුවීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි. මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි මේ දඹදිව අතිශයින් සමෘද්ධ වූයේද, සම්පත්තියෙන් පිරුණේද වන්නේය. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි එකිනෙක සම්බන්ධව පවත්නේය. මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි මේ දඹදිව උන වනයක් බට වනයක් මෙන් මිනිසුන් ගෙන් අතුරු සිදුරු නැති වන්නේය.

මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ ඇති කල්හි මේ බරණැස් නුවර, දියුණුව බොහෝ ජනයන්ගෙන් ගැවසී ගත්තාවූ බොහෝ ආහාර ඇතිවූ කෙතුමතී නම් රාජධානියක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර අසූ දහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි මේ දඹදිව කෙතුමති රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාර දහසක් නගරයෝ වහළෙන් වහළයට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ. මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කෙතුමතී නම් නුවර ධාර්මිකවූ සාගර හතර කෙළවර කොට ඇති මුළු පොළොව ජය ගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායකරත්නය යන රත්න හතෙන් යුක්තවූ සඩ්ඛ නම් චක්‍රවර්ති රජෙක් වන්නේය. ඒ රජුට සූරවූ, වීරවූ, පරසෙනා මර්දනය කරන්නාවූ දහසකට අධික පුත්‍රයෝ වන්නාහ. ඒ රජ තෙමේ දඬුවම් නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.

මෛත්‍රෙය බුදු උපත 107 
මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි, මම දැන් යම් සේ ලෝකයෙහි උපන්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූවූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවිමිනිසුන්ට ශාස්තෘවූ බුද්ධවූ භාග්‍යවත් වූයේ යම්සේද එසේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලොකවිදූ වූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවි මිනිසුන්ට ශාස්තෘවූ, බුද්ධවූ, මෛත්‍රෙය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. මම දැන් දෙවියන් සහිත, මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද යම්සේ දැන ප්‍රකාශ කෙරෙම්ද එසේය. මම යම්සේ දැන් මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්වසම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙම්ද එසේ ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කරන්නේය. යම්සේ මම දැන් නොයෙක් සියගණන් භික්ෂු සංඝයා පරිහරණය කෙරෙම්ද එසේ ඒ බුදුරජාණන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරන්නේය.

108 
මහණෙනි, එකල්හි සඩ්ඛ නම් රජතෙමේ මහාපනාද නම් රජහු විසින් කරවනලද ගංගා නදියෙහි ගිලී පවත්නා ප්‍රාසාදය මතුකොට ගොඩට නංවා එහි කලක් වැස එය අන්‍යයනට හැරදමා මහණ, බමුණු, දුගී, මගී, යාචක, ආදීන්ට දන්දී මෛත්‍රෙය නම් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදිවූ හෙතෙමේ තනිව අප්‍රමාදව කෙළෙස් තවන වීර්යයෙන් යුක්තව නිවන් පිණිස යොමු කරන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උසස්වූ බ්‍රහ්මචර්‍ය්‍යය අවසාන කොට ඇති ඒ අර්හත් ඵලය තමාම ඉතා උසස් ඥානයෙන් අවබොධ කොට එයට පැමිණ වාසය කරන්නේය.

109 
මහණෙනි, තමාම ආරක්ෂාස්ථාන කොට තමාම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්. ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැත්තෝව වසව්. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමාම ආරක්ෂාස්ථාන කොට තමාම පිහිටකොට, අනෙක් සරණක් නැතිව ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැතිව වෙසේද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙළෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මෙහි යෙදී වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ තමාම ආරක්ෂාස්ථාන කොට, තමාම පිහිට කොට, අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැතිව වසනුයේ මෙසේය.

භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා 110 
මහණෙනි, (බුදුරජාණන් වහන්සේ) නමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරෙව්, සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නාහු ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සුවයෙන්ද සම්පත්තියෙන්ද, බලයෙන්ද වැඩෙන්නාහුය. මහණෙනි, භික්ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි, වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. වීමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඍද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ ආයුෂයට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ වර්ණයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ වෙයි. ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත වූයේ ආචාර ගොචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍ර වරදෙහිද භය දක්නා සුලු වූයේ වාසය කරයි, ශික්ෂා පද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්ෂුවගේ වර්ණයට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්‍යාන යන ධ්‍යානවලට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සැපයට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ සම්පතට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක් එසේ උඩයට සරස සියලු තැන, සියලු ලෝකය මහත්වූ, අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින්ද, මුදිතා සහගත සිතින්ද, උපෙක්ඛා සහගත සිතින්ද එක් දිසාවක්, දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක්, උඩ යට සියලු තැන, සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සම්පතට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ බලයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබොධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ බලයට කාරණයයි.

මහණෙනි, මාර බලය තරම් මැඩපැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඩපැවතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඬේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළෝය. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු වූහ.

විසිහය වැනිවූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේයි.

ලොව දැකීම 02 (රෝහිතස්ස සූත්‍රය)


රෝහිතස්ස සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් පැවැත්වූ දේශනයක දෙවැනි කොටසයි මේ. සංයුක්ත නිකායේ ආනන්ද සූත්‍රය, රාධ සූත්‍රය වැනි සූත්‍ර ගත්තහම බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවොත්, රාධ හාමුදුරුවොත් ගිහිල්ලා අහනවා: “භාග්‍යවතුන් වහන්ස, ලෝකය ලෝකය කියනවා. කොපමණකින් ලෝකය වෙනවද?” කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, “ආනන්ද, ඇහැ ලෝකයයි. චක්ඛු විඤ්ඤාණය ලෝකයයි. කන ලෝකයයි. සෝත විඤ්ඤාණය ලෝකයයි...”

මේ ආකාරයට අටළොස් ධාතුව ගැනම පෙන්නලා “බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය පනවමි” කියලා දේශනා කළා. ලෝකය යනු අටළොස් ධාතුව බව රාධ සූත්‍රයෙනුත් පෙන්නුවා. මේ සූත්‍ර දෙක එකට ගත්තහම අපිට හම්බ වෙනවා මේ පෙන්නන කාරණා ටික බඹයක් පමණ ශරීරය තුළින් දැකිය යුතුයි කියලා. එක සූත්‍රයකින් පෙන්නුවා බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය දැකිය යුතුයි කියලා. අනිත් සූත්‍රයෙන් පෙන්නුවා ලෝකය කියන්නේ අටළොස් ධාතුව කියලා. මේ සූත්‍ර දෙක එක ළඟට ගත්තහම මේ බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය දැකිය යුතුයි කියන උත්තරය ආවා.

මෙසේ සූත්‍ර අනුව ගළපලා ගන්න උත්තර පෞද්ගලික අදහස් නොවන නිසා කවදාවත් වරදින්නේ නෑ. ඔබත් අර්ථ ගැනීමේදී මේ විදියට ගන්න පුරුදු වෙන්න.

දැන් ඔන්න අපට තවත් ප්‍රශ්නයක් පැන නගිනවා. ඇහැ - චක්ඛු විඤ්ඤාණය, කන - සෝත විඤ්ඤාණය. බඹයක් පමණ ශරීරයෙන් දකින්න පුළුවන්. එහෙත් රූපය, ශබ්දය මේ ශරීරය තුළින් දකින්නේ කොහොමද කියලා සාධාරණ ප්‍රශ්න ටිකක් එනවා. දැන් අපේ පර්යේෂණය වෙන්න ඕන මම කොහොමද රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්භ හා ධම්ම කියන ටික මේ බඹයක් පමණ ශරීරයෙන් දකින්නේ කියලා. ඔය ටික දකින ක්‍රමයයි

හොයාගන්න ඕන. ආයතන ටිකේ පහළවීම ම ලෝකයේ පහළවීමයි, ආයතන ටිකේ පැවැත්ම ලෝකයේ පැවැත්මයි, ආයතන ටිකේ නිරෝධයම ලෝකයේ නිරෝධයයි කියන තැනට අපේ මනස ගන්නට ඕන. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස,පොට්ඨබ්භ, ධම්ම කියන බාහිර ආයතන ටික ආධ්‍යාත්මික ශරීරය තුළින්ම දකින තැනට ඉබේම ඔබගේ මනස නිර්මාණය වෙනවා; ආයතන ටිකේ ඉපදීමම ලෝකයේ ඉපදීමයි, ආයතන ටිකේ පැවැත්මම ලෝකයේ පැවැත්මයි, ආයතන ටිකේ නිරෝධයම ලෝකයේ නිරෝධයයි කියන දර්ශනය ඉබේටම එනවා.

පටිච්චසමුප්පාදය හේතුවෙන් මෙසේ සිදු වන බවයි දේශනා කළේ. පුරුක් එකින් එකට සම්බන්ධ වෙලා දම්වැල හැදෙනවා වගේ, එකින් එක සම්බන්ධ වීමක් මේකේ තියෙනවා. මෙන්න මේ සම්බන්ධතාව ඔස්සේයි මනස ගෙනියන්නට ඕන. හැම වෙලාවෙම පටිච්ච සමුප්පාදය ගවේෂණය කරද්දී ඉස්සරහට විතරක් බලන්නට එපා. පිටිපස්සටත් බලන්න. “අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා පටන් ගත්තට, අර්ථය ගනිද්දී අනිත් පැත්තටත් බලන්ට.

“අවිජ්ජා පච්චයා සංඛාරා.” මේ සංඛාරය එහෙනම් කුමක් හා බැඳිලද, කුමක් හා ගැටිලද, කුමන ගතියකින්ද තියෙන්නෙ, කියලා සංඛාරයේ ගති හැටියට මේ පින්වතුන්ට අවිද්‍යාව අහු වෙන්නට ඕනෑ. විඤ්ඤාණය කියන්නේ මොකක්ද, ඒකේ ගති මොනවාද, ඒක ඇති වුණේ කොහොමද, විස්තර කරන්නේ කොහොමද, කියලා බැලුවම සංඛාරය හසු වෙන්ට ඕන.
“තණ්හා පච්චයා උපාදානං” කියලා තණ්හාව තියෙන අරමුණේම උපාදානය දකින්න එපා. ඒක අනිත් පැත්තටයි දකින්න ඕන.

අපි ඔක්කෝම මුහුදේ නැවක යනකොට නැව කැඩිලා මුහුදුබත් වුණොත් අපි වතුරට වැටෙනවා කියලා හිතන්න. වතුරට වැටුණාම ළඟටම පා වෙලා ආපු ලී කොටයක් හරි, රබර් කෑල්ලක් හරි මොනවා හරි අපි අල්ලාගන්නවා. දැන් බලන්න පා වෙලා ආවේ අශූචි බේරෙන පණුවො ගහපු කොට කෑල්ලක් කියලා. ඔය කොටේට කවුරුත් තණ්හා කරන්නේ නෑ. තණ්හාවෙන් අල්ලාගන්නේ නෑ. මෙහෙට, මේ ජීවිතයට තියෙන තණ්හාව නිසයි මෙහේ කොටය ඇල්ලුවේ.
වතුරට වැටුණ නිසා, කොටේ අල්ලන්න හේතු සකස් වුණ නිසා අල්ලනවා වගේ අර්ථයකින් බැලුවොත් මේකෙ අර්ථය බලාගන්න පුළුවන්.

මෙතැනදී “අච්ජ්ජා පච්චයා සංඛාරා” කියන තැනට මම එක පාර්යායක් කියලා දෙන්නම්. අපි කවදාවත් ම දැනගෙන හිටියේ නෑ. අහලත් නෑ. ආයතන ටිකේ ඉපදීමමයි ලෝකයේ ඉපදීම; ආයතන ටිකේ නිරෝධයමයි ලෝකයේ නිරෝධය කියලා. ඇත්ත ඇති හැටියෙන් දන්නෙම නෑ (අවිද්‍යාව) කියනකොට ඔය දර්ශනය නොදන්නාකමයි කියන තැනටම යනවා. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන් සංඛාරය යනු, ඉපදෙන කොටත් තිබුණා. ඉපදුණාට පසුවත් තියෙන දේම ඇසුරු කරනවා. අපි මැරුණාට මේ දේ තියෙනවා කියන මට්ටම තමයි අපිට තියෙන්නේ. ඔය සන්තති වශයෙන් මම කරගත්ත එකේ තියෙන ඔය ලක්ෂණය හැදුණෙ ක්ෂණිකව ක්ෂණිකව අරමුණෙහි ඇති වන මෝඩකම නිසයි. ඒ කියන්නේ හැම අරමුණකම තිබුණ, තියෙන දේමයි දකින්නේ. අපි ගියාට දැකපු දේ තියෙනවා කියන මට්ටමයි හැම අරමුණක් ගානෙම තියෙන්නේ. එහෙම ක්ෂණිකව ඇති වන මෝඩකම තමයි සන්තතියක් හැටියට අහු වෙන්නේ.

ඒ වාගේ ක්ෂණික ක්ෂණික අරමුණු ටිකේ ඇත්ත නොදකින කොට ජීවිතය කියල එකක් හැදිල සතිය හැදෙනවා. ඊට පස්සෙ මාස අවුරුදුවලින් ජීවිතය කියන එක මනිනවා. කුඩා කාලයේ ඉඳලම අපිට ලෝකය හැදුණෙ ඔහොමයි.
කෙනෙකුට ඔන්න අද ඉර පායලා, බැස්ස. ඉවරයි. දවස් එකයි. හැබැයි එක ගාවට දෙකක් නෑ. එකයි එකයි දිගටම. එකක් කියන්ටත් බෑ. එකක් කිව්වොත් නේ දෙකක් කියන්නට වෙන්නේ!
ඊගාව දවසෙදිත් ඉර පායනවා බහිනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙවී ජීවත් වෙනවා. දින, සති, මාස නෑ. මේ කිව්වෙ සිද්ධ වෙන යථාර්ථයයි.
එහෙත් ලෝකයේ එහෙම වෙන්නේ නෑ. ලෝකය ප්‍රඥප්තියක්, සම්මතයක්. ඒ ලෝකය කියන බොරුව හඳුනාගන්නයි මෙහෙම පෙන්නන්නෙ.

කෙනෙකුට ඒ ඒ දවසෙ ජීවත් වෙන්ට වුණොත් එයාට සති, මාස, අවුරුදු කියලා හමු වන්නේ නෑ වගේ, දකින්ට ඉස්සර වෙලත් තිබුණා නොවෙයි, දැක්කයින් පස්සෙත් තියෙනවා නොවෙයි, අවස්ථාවට හැදිලයි පෙනෙන්නේ කියල කෙනෙකුට මේ වගේ දර්ශනයක් ලැබුණොත්, ක්ෂණික ස්පර්ශයක නිරෝධය හමු වුණොත් එයාට මේ වාගේ ජීවිතයක් නෑ. ක්ෂණික නිරෝධයක් මිස පවතින ජීවිතයක් හමු නොවෙයි. එහෙම වුණොත් තරුණ කාලය, කුඩා කාලය, මහලු කාලය කියලා නැති වෙයි එයාට. අර දිනවලින්, සතිවලින්, මාසවලින් හා අවුරුදුවලින් ගන්නේ නැත් නම් මේ දුක එන්නේ නෑ.
“අවිජ්ජා පච්චයා සංඛාරා” කියන තැන ලක්ෂණය තමයි, දකින්නට ඉස්සර වෙලත් ඒ වස්තු තිබුණා, දැක්කට පස්සෙත් ඒ වස්තු තියෙනවා කියන-එක.

“සංඛාරා පච්චයා විඤ්ඤාණං” කියනකොට අපි මෙහෙම ජීවත් වෙලා මරණාසන්න මොහොතට පත් වෙනකොට, ඔය කලින් දැකලා තියෙනවා කියන ගෙවල්දොරවල්, ඉඩකඩම්, අම්මතාත්තා, දූදරුවෝ ආදි මේ අප්‍රමාණ දේවල්වලින් එකක් තමයි මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙනේනේ.

ඒ මරණාසන්න මොහොතෙදි සිහි වෙන දේට තමයි කර්ම නිමිත්ත කියන්නේ. මේ වගේ, ආයතනවල නිරෝධය නොදැක; ‘ඔක්කොම තියෙනවා’ කියන මට්ටමක අපි ජීවත් වෙන කොට, මරණාසන්න මොහොතෙදී ‘තියෙනවා තියෙනවා’ කිව්ව නිමිත්තක් ඉදිරිපත් වීම තමයි කර්මය කර්ම නිමිත්ත කීවෙ. ඒ නිමිත්ත දිහා බලාගෙන ඉන්න කොට, ඒ නිමිත්ත කෙරෙහි තිබෙන කැමැත්ත නිසාම, නැවතත් එබඳු දෙයක්ම ඕන කරන නිසාම, ඒ වාගේ දෙයක් ලබා දෙන්න පුළුවන් මට්ටමටයි ප්‍රතිසන්ධි විඤ්ඤාණය හැදෙන්නේ. ඒ කාරණය වෙනම ටිකක් විස්තර කරන්නම්.

ඊට පස්සේ ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය බැසගත්තාට පස්සේ ඒ ප්‍රතිසන්ධි සිතේ තිබෙන ලක්ෂණවලට අනුවම තමයි නාම රූප දෙක හැදෙන්නේ. ඒ නාම රූප දෙකේ ගති ලක්ෂණවලට අනුව තමයි ආයතන සකස් වෙන්නේ. ස්පර්ශයේ ගති ලක්ෂණ මට්ටම වෙනස්කම මතමයි වේදනාව වෙන්නේ. වේදනාව - අපි විඳින තැන – විඳින්නට වෙන්නේ තවදුරටත් අබ ඇටයකින් කෝටියකින් පංගුවක තරම්වත් ලෝකයේ තිබෙන දෙයකින් නොවෙයි.

“සළායතන පච්චයා ඵස්සො - ඵස්ස පච්චයා වේදනා.” අපි යමක් විඳිනවා නම් විඳින්නේ ස්පර්ශය මතයි කියන-එක මෙයින් කියවෙනවා. ඒ වගේම සළායතන පච්චයා ඵස්සො කියන-එකෙන් කියැවෙනවා වෙන කිසිම ආකාරයකට හරි. තමන්ට කැමැති කැමැති ක්‍රමයට හරි, ස්පර්ශය කියන-එක සිද්ධ වෙන්නේ නෑ. ආයතනවල මට්ටමටයි ස්පර්ශය වෙන්නේ කියල. ඒ නිසා ස්පර්ශය හැකියාව බලය තියෙන්නේ ආයතන මතයි.

“නාමරූප පච්චයා සළායතනං.” මගේ ඇහැ පවත්වන්න මට ඕන විදියට බැහැ. මේ ආයතනවල බලය පවතින්නේ නාම රූප දෙකේ මට්ටමටයි.

“විඤ්ඤාණ පච්චයා නාමරූපං.” නාම රූප දෙක අපිට ඕන විදියට පවත්වාගන්න බැහැ. සිතට (විඤ්ඤාණයට) අනුවයි නාම රූප දෙක හැදෙන්නේ.

“සංඛාර පච්චයා විඤ්ඤාණං.” විඤ්ඤාණය පවත්වාගෙන යන්න කාටවත් ඕන විදියට බැහැ. කර්මයට අනුව එය සිදු වන්නේ.

“අවිජ්ජා පච්චයා සංඛාරා.” කර්මය කියනකොට තමන්ට ඕන විදියට බෑ. අවිද්‍යාවේ මට්ටම මතයි එය සිදු වන්නේ.
මේ සිද්ධියෙන් කියැවෙනවා පුරාණ කර්මය මතම හැමෝම විඳිනවා මිසක අර මුලින් කිව්වා වාගේ අබමල් රේණුවක තරම්වත් ලෝකයේ දෙයක් කවුරුත් වින්දෙත් නෑ. විඳින්නෙත් නෑ.

මෙතැනදී කෙටියෙන් මතක් කළොත්, ඔබ දන්නේ නැතිව ඇති අපි මේ ක්ෂණික අරමුණුවල නිරෝධය නොදන්නාකම නිසයි මේ සන්තතිය කියලා එකක් තියෙන්නේ. ක්ෂණික අරමුණුවල නිරෝධය නොදන්නාකම තමයි අවිද්‍යාව, අවිද්‍යාවෙන් හටගත්ත සංඛාරය තමයි අපි දකින්නට ඉස්සර තිබුණා දැක්කයින් පස්සෙත් තියෙනවා, තියෙන දේ අපිට හමු වෙනවා කියන-එක. ඔය අද අපි දකින මට්ටමයි.

ඔන්න මරණාසන්න මොහොත ළං වන කොට ප්‍රතිසන්ධි වශයෙන් මව් කුසකට බැසගන්න සිතේ අර කරපු කියපු කර්මයේ සියලු ගති එහෙමම තියෙනවා සංඛාර පච්චයා විඤ්ඤාණං කියපු තැන මේ විඤ්ඤාණය නිකම්ම විපාක සිතක් නොවෙයි. ඒ කරපු කර්මයේ, කුසලයේ හෝ අකුසලයේ, තියෙන එම කර්මවල සියලු ගති ස්වභාවයන් සියල්ලම ප්‍රතිසන්ධි සිතේ තියෙනවා. ප්‍රතිසන්ධි වශයෙන් මේ විඤ්ඤාණය රූපයකට බැසගත්තට පස්සේ රූපය කියන කොට ඒ අවස්ථාවේදී පවතින බීජ කළලයේ ප්‍රමාණය පෙන්නනවා, අශ්ව ලෝමයක් තල තෙලේ ඔබලා දාහත් වතාවක් ගැසුවහම ඉතිරි වන තෙල් ප්‍රමාණය වැනි ඉතා සියුම් ප්‍රමාණයකුයි රූප කළලයේ ප්‍රමාණය කියලා. ඔන්න ඔතෙන්ට තමයි අපි දැන් එන්නේ.

සම්පූර්ණයෙන්ම කර්මයේ ගතිස්වභාවය තියෙන්නේ ඒ සිතේ තමයි. කර්මයේ තියෙන ගතියට අනුව ප්‍රතිසන්ධි සිත ඇති වුණහම ඒ සිතේ නාම රූප දෙක හදන්න ඕන හැකියාව තියෙනවා. සිතේ තියෙන වේදනා, සංඥා, චේතනා කියලා නාම ධර්ම ටිකේ රූපී ස්වභායක් තියෙනවා, නුවණින් දැනගත යුතු කිසිම අවස්ථාවක ගැටෙන්නේ නැති, රූපී ස්වභාවයක් පවතින ඉත්ථී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය හා ජීවිත ඉන්ද්‍රිය රූප තුනක් නාම ධර්ම ඇසුරු වෙලා තියෙනවා. කනබොන ආහාරයෙන් රූපය කියන-එක තීරණය වන්නේ ඔය ඉන්ද්‍රිය රූපවලට අනුවයි.

ඒක උපමාවකින් බලමු: නුග ඇටයක් ගත්තොත්, ඒ නුග ඇටය පොළොවේ පස්වල ඇති ඕජා සාරය උරාගෙන ගහ හැදිලා, අතු ඉති බෙදිලා, මහ විශාල ගහක් බවට පත් වෙනවා. ඒ වාගේම තල් ඇටයක්, පොල් ගෙඩියක් හිටෙව්වොත් පොළොවේ සාරය උරාගෙන අතු ඉති බෙදෙන්නේ නැති ගහක් හැදෙනවා.

මේ අනුව අපිට පෙනෙනවා, පොළොවේ තියෙන සාරයට (ආහාරයට) මේ ගහ අතු ඉති බෙදෙන විදියට හෝ අතු ඉති නොබෙදෙන විදියට හදන්න කිසිම හැකියාවක් නෑ. ඒකෙන් කරන්නේ ගහේ වැඩීමට උදව් කරන-එක පමණයි. පොළොවේ තිබෙන ඕජා සාරය උරාගෙන අතු ඉති බෙදෙන විදියට හෝ නොබෙදෙන විදියට ගහ හදන්න හැකියාව තියෙන්නේ බීජයේයි. අපි ගහක් කියලා හඳුන්වන්නේ ඒ බීජයේ තියෙන ගතියත් පොළොවේ තිබෙන සාරයත් කියන දෙක නිසා හැදුණ ඵලයයි.
ඒ තමයි බීජ ගතිය කියලා ඔහොම හැදිච්ච ගහ තුළින් දකින්ටත් එපා. ඒ ගහ පැවැත්මට උපකාර වෙච්ච පොළොවේ සාරය, ආහාරයේ ගතිය හැටියට දකින්නටත් එපා. මේ දෙන්නා නිසාමයි ගහ හැදුණේ. අතු ඉති නොබෙදී, පොළොවේ සාරය අරගෙන, ගහ හදන්න ඕන ශක්තිය තියෙන්නේ, ඒ තල් ගෙඩිය හෝ පොල් ගෙඩිය ඇතුළේයි.

ඒ වාගේ අපි කෙනෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කරවන්න. කන බොන බත්, පාන්, කව්පි, මුං ඇට වැනි ආහාරවලට කිසිම හැකියාවක් නෑ. කෙස් ඇති වෙන්න ඕන, රැවුල් ඇතිවෙන්න ඕන කියලා ආහාරයට බෑ ඒවා කරවන්න. කනබොන ආහාරපාන ටික අරගෙන මේ රූපය හදන්න ඕන මේ විදියටයි කියන හැකියාව තියෙන්නේ අර ප්‍රතිසන්ධි විඤ්ඤාණය කියන බීජය ඇතුළෙයි. ඒකයි විඤ්ඤාණ පච්චයා නාමරූපං කියනකොට කියනවා, ඒ ප්‍රතිසන්ධි සිතත් ඒ සිතේ පැවැති නාමරූප ධර්මවලටත් අනුවයි මේ රූපය හැදෙන්නේ කියලා.

ප්‍රතිසන්ධි විඤ්ඤාණයට අනුවයි නාම ධර්ම. ඒ නාම ධර්මවලට අනුවයි රූප ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැටියට අත් නැතිව, කන් නැතිව, ඇස් නැතිව, කකුල් නැතිව කියලා බෙදීම්වලට බෙදලා රූප හදන්නේ ඒ නාම ධර්මවලට අනුවයි.
ඒ අනුව රූපය හැදීමේ බලය තියෙන්නේ විඤ්ඤාණයටයි.

ප්‍රතිසන්ධි වශයෙන් එනකොට ආපු සිතේ නාම ධර්ම ටිකක් තියෙනවා, ඉත්ථී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය හා ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒ තුළ මුළු ජීවිතයම හදන්ට ඕන හැටි තියෙනවා. ගන්න ආහාරවල ඕජාව රාශි වෙන්නේ ඒ ඉන්ද්‍රිය රූපවලට අනුවයි.
හැබැයි හොඳට දකින්න විඤ්ඤාණය සකස් වෙලා තියෙන්නේ කර්මයට අනුවයි. සිතේ තියෙන්නේ කර්මයේ තිබෙන ලක්ෂණයයි. නාම රූප දෙක හැදෙන්නේ ඒ සිතේ තියෙන ලක්ෂණයට අනුවයි. දැන් ඇහැ, කන, දිව, නාසය යන ආයතන ටික හැදෙන්නේ මේ නාම රූප දෙකේ හැදුණු විදියටයි. ස්පර්ශයේ වෙන්නේ ආයතනවල හැටියටයි. විඳින්නට වෙන්නේ ස්පර්ශයේ හැටියටයි.

අපි හැම කෙනෙක්ම විඳින්නේ අපේ කර්මය කියලා මෙතැනින් කියවෙනවා.
ප්‍රතිසන්ධි සිත හැදුණේ අපේ කර්මයට අනුව නම්, නාම රූප දෙක හැදුණේ ප්‍රතිසන්ධි සිතට අනුව නම්, ඒ ආයතන හැදුණේ නාම රූප දේකට අනුව නම්, ස්පර්ශයේ හැදුණේ ආයතනවල හැටියට නම්, විඳින්නට වෙන්නේ ස්පර්ශයේ හැටියට නම්, කියන මේ සිද්ධිය නොදන්නාකමම හේතු වෙනවා, වේදනාව මගේ මගේ කියලා තණ්හා ඇති කරන්නට. ඒකම ආපහු කර්මයක් බවට පත් වෙන්න හේතු වෙනවා.

මෙතැනදී මේ මතක් කළේ මේ ලෝකය හැදුණේ, ලෝකය හම්බ වුණේ මේ ස්පර්ශය කියන තැන හැදුණේ මේ ආයතන ටික නිසයි. ආයතන හැදුණේ මෙහෙමයි කියල පෙන්නල දීලා තියෙන මේ පටිච්ච සමුප්පාදයෙන් කියැවෙන්නේ අපි ලෝකයේ විඳින්නේ, අපිට ලෝකය කියලා හම්බ වෙන්නේ දශමයක්වත් බාහිරය නිසා නොවෙයි. මෙහෙ තියෙන (අධ්‍යාත්ම) කාරණා නිසයි. එනම් කිසිම බාහිර දේකින් නොව, තමා තුළම තිබෙන තණ්හාව නිසා බවයි.

ඕකට උපමාවක් කිව්වොත්: අපි කියමු, දැනට ලංකාවේ තියෙන උසම ගොඩනැගිල්ල කොළඹ තියෙන ලංකා බැංකු ගොඩනැගිල්ල කියලා. අපි මෙහෙ ඉඳලා වාහනයකින් එතැනට ගිහිල්ලා. ලිෆ්ට්-එකෙන් ඒ තියෙන තට්ටු තිස් ගණනම නැගලා, උඩටම ගිහිල්ලා බැලුවොත් අපට ඈත පෙනෙයි. එහෙම ඈත බලාගෙන ඉන්නකොට, මේ ඈත පෙනෙන සිද්ධිය, පෙනෙන බව, ඇති වුණේ කුමක් නිසාද – අපට හිතෙන්නේ එක්කෝ මුහුද නිසා, මිනිස්සු නිසා, මුහුදෙ තියෙන බෝට්ටු ටික නිසා, කියලා නේ. ඒ පෙනෙන දේට තණ්හාව නැතුව ඉන්නට ඕන කියලා, අපි කරන්න ඕන, ‘අනේ ඔය මුහුදත් අනිත්‍යයි, මුහුදෙ තියෙන බෝට්ටුත් අනිත්‍යයි නේ’ කිය-කිය හිතන-එකද? හොඳට බලන්ට, නුවණක් තියෙන කෙනෙකුට නම්, මේ පෙනෙන දේ අනිත්‍ය දකින්න මෙහෙම පුළුවන්ද? පෙනෙන දේ ඇති වීම නැති වීම දකින්ට නම් බෝට්ටු, මුහුද, මිනිස්සු නිසා පෙනෙනවා; ඒවා නැති වෙන කොට පෙනෙන දේත් නැති වෙනවා කියලා හිතුවොත් හරි යයිද? නෑ. මෙතැන බලන්නට වෙන්නේ අනිත් පැත්තටයි.

හොඳට බලන්ට; ගොඩනැගිල්ලට නැගුණු නිසාම පෙනෙනවා, ගොඩනැගිල්ලෙන් බැස්සහම පෙනිච්ච දේ නැති වෙනවා කියලා කිසියම් වෙලාවක පෙනෙන දේත්, පෙනෙන දේ ඇති වෙන හැටිත්, නැති වෙන හැටිත් බලන්න ගියොත් පෙනෙන දේට නැඹුරු වන්ට මට බැරි වෙයි. ඉදිරියෙන් තිබෙන දේ නිසයි පෙනෙන්නේ, පෙනෙන දේ ඉදිරියෙන් තියෙනවා කිව්වොත්, එහෙම කියන්නේම, පෙනෙන දේ ඇති වෙච්ච හැටි හා නැති වෙච්චි හැටි මම දන්නෙ නැති නිසයි.

එතකොට මම රූපයට නැඹුරු වෙලා. රූපයේ පටිච්ච සමුප්පන්න බව බලන්න මම යොමු වෙලා නෑ. ඒ ගැන හිතලාම නෑ. මොකද, පෙනෙන දේ ඇති වුණේ මුහුද නිසා, අහස නිසා නොවෙයි නේ. මුහුදත්, බෝට්ටුත් තිබුණේ නැත් නම් හිස් බව හරි අහසේ පෙනෙයි මට. එතැන තියෙන ධාතු නිසා පෙනුණේ කියන-එක මෙතැනට අදාළ වෙනනේ නෑ.

මේ වගේ උපමාවක් ගත්තේ උස ගොඩනැගිල්ලක් වගේ තැනකට නැග්ගත්, ඈතින් ඉස්සරහ ඉන්න අයයි තියෙන දේවලුත් තමයි පෙනෙන්නේ කියනවා මිසක්, සැබැවින්ම ඒ පෙනීම ඇතිවෙච්චි හැටි මේ පින්වතුන් දන්නේ නැති බව කියන්නයි.
කම්මට්ඨානාචාර්ය මාන්කඩවල සුදස්සන හිමි
ලබුනෝරුකන්ද
ආරණ්‍ය සේනාසනය