12/8/16

ශ්‍රී බුද්ධ චරිතය





සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය ඇසුරෙන් මෙම Mobile app එක නිම කරන ලදී. වර්තමානය කුඩා දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය දුරස් වීම කණගාටුවට කරුණකි. ඔවුන් තාක්ෂණික මෙවලම් වලට දැඩි නැබුරුතාවයක් දක්වන බැවින් දහම් අධ්‍යාපනය ජංගම මෙවලම් තුලින් ලබාදීම යෝග්‍ය යැයි මා හැඟේ. මෙය මා තැබූ ප්‍රථම පියවර නිසා අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඉදිරියේදී තවත් දියුණු කරමින් දහම් අධ්‍යාපනය Mobile application මගින් මට හැකි අයුරින් ලබා දෙන්නෙමි. https://play.google.com/store/apps/details?id=com.wasu.lifeoflordbuddha





11/19/16

රහතන් වහන්සේලා පිලිබඳ අප්‍රසිද්ධ තොරතුරු




බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වශයෙන් සැලකෙනුයේ නිවන යි. වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් ථේරවාදී ඇදුරෝ විස්තර කරති. තෘෂ්ණාව හෙවත් ආශාව මුල්කොට ඇති කෙලෙසුන් ප්‍රහීණ කළ පුද්ගලයා රහතන් වහන්සේ ය.

රහත් යන්න අර්හත් යන පදය හා සම්බන්ධ ය. එය ‘ අර්හ’ යන ධාතුවෙන් නිපදී තිබේ. එයින් අදහස් කරනුයේ යෝග්‍ය, සුදුසු පුද්ගලයා යන්න යි. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි මග්ගයෙහි දැක්වේ. රහතන් වහන්සේ යන අරුත දීමට ක්‍ෂීණාශ්‍රව යන්න ද වහරට පත් ව ඇත. ක්‍ෂීණ වූ - පහ වූ ආශ්‍රව ඇති තැනැත්තා යනු එහි අරුත යි. කාම, භව, දිට්ඨී සහ අවිජ්ජා වශයෙන් ආශ්‍රව සතර යි. රහත් බවට පත් වීමේදී මේ ආශ්‍රව සියල්ල ඔහුගේ සන්තානයෙන් බැහැර වේ. එවිට ඔහු නිවනට පැමිණුණා වේ. “ඛිණා ජාති වූසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය” යනුවෙන් දැක්වෙන පරිදි එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජාතිය හෙවත් උපත පහකොට ඇත. ඒ සඳහා බඹසර හැසිර ඇත. කිරීමට තවත් යමක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත.

නිවන අවබෝධ කිරීමේ මාර්ග තුනක් බුදු දහමේ විස්තර වී ඇත. බුද්ධ, පච්චේකබුද්ධ, අරහත් යනු ඒ මාර්ග තුන යි. රහතන් වහන්සේ අරිය යන නාමයෙන් ද හැඳින්වේ. සියලු පුද්ගලයෝ පෘථග්ජන හා ආර්ය වශයෙන් කොටස් දෙකකට බෙදෙති. කෙලෙස් සහිත පුද්ගලයා පෘථග්ජන වශයෙන් සැලකෙන අතර, උතුම් මගපලයකට පත් පුද්ගලයා ආර්ය නාමයෙන් හැඳින්වේ. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අර්හත් යනුවෙන් ආර්ය භාවයට පත් වීමේ අවස්ථා හතරක් ඇත. මේ එක එකක් මාර්ග සහ ඵල වශයෙන් දෙකොටසකට බෙදේ.

මිහිඳු මාහිමියන් ලංකාවේදී දේශනා කළ පළමු සූත්‍රය වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ප්‍රකාශ වූ පරිදි බුද්ධ ශ්‍රාවකයා ආරම්භයේ සිට චූළ මජ්ඣිම හා මහා ශීලයන් සපුරා සිත සමාධියට නැඹුරු කළ යුතු ය. ප්‍රථමාදි ධ්‍යාන වැඩිය යුතු ය. අභිඥා උපදවා ගත යුතු ය. ත්‍රිලක්ෂණ අවබෝධය මුල්කොට ඇති විසපස්සනා භාවනාවට සිත යොමු කළ යුතු ය. පුබ්බේනිවාසය, දිබ්බචක්බු හා ආසවක්ඛය යන ත්‍රිවිද්‍යාව මගින් සියලු කෙලෙස් ප්‍රභිණ කළ යුතු ය.

නිවන් අවබෝධය සම්බන්ධ පළමු පියවර සෝතාපන්න නම් වේ. මෙහිදී සක්කායදිට්ඨී විචිකිච්ඡා හා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්‍රභීණ කෙරේ. කාමරාග සහ පටිඝ යන සංයෝජන දෙක සකදාගාමී මාර්ගයේදී යටපත් කෙරේ. අනාගාමී මාර්ගයේදී මුළුමනින් ම පහ කෙරේ. සෙසු සංයෝජන පස අර්හත් මාර්ගයේදී පහ කෙරේ. එකී සංයෝජන නම් රූපරාග, අරූපරාග, මාන, දිට්ඨී සහ අවිජ්ජා යනු යි. මෙසේ සියලු සංයෝජන ප්‍රහීණ කිරීමෙන් අර්හත් බවට පත් වේ. සංයෝජන නමින් දැක්වෙන්නේ පුද්ගලයා සසරට බැඳ තබන කෙලෙස් බැමි ය. සෝවාන් ආදි මගපලවලට පැමිණීමෙන් මේ බැමි බිඳහළ හැකි බව ථේරවාදීන්ගේ අදහස යි.

මිහිඳු මාහිමියන් ලංකාවට බුදුදහම හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වූයේ සියලු කෙලෙසුන් ප්‍රභීණ කිරීමෙන් ලබන රහත් බව පසක් කිරීමට මග පෙන්වීම ය. මේ සඳහා බුදු දහමේ නිර්දිෂ්ට අනුපූර්ව ප්‍රතිපදාව ලංකාදීපයෙහි බෞද්ධයන්ට ප්‍රගුණ කරවූ අතර, ඒ මග අනුයමින් ඔවුහු මගපල පසක් කළහ. එකල ලක්දිව දහස් ගණන් රහතන් වහන්සේගෙන් පිරී පැවති බව අටුවාවන්හි දැක්වෙයි. සංයුක්ත නිකාය අටුවාවේ සඳහන් පරිදි රුවන්මැලිසෑය දෙස බලමින් දකුණු වාහල්කඩ සිට භික්ෂුන් තිස් දහසක් දෙනා රහත් වී ඇත. එසේ ම සෙසු වාහල්කඩවල සිටිමින් සෑය දෙස බලා සිට තිස් දහස බැගින් වූ භික්ෂූන් ද රහත් වී ඇත.

තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ විසිහතරදාහක් රහත් භික්ෂූන් විසුහයි විහංග අටුවාවේ සඳහන් වේ. සුප්‍රසිද්ධ අරියවංශ දේශනාවන්හිදී ද රහත් බවට පත් අපමණ භික්ෂූන් සම්බන්ධ තොරතුරු මූලාශ්‍රයවලින් දත හැකි ය. මේ රහතන් වහන්සේලාගේ ස්වරූපය කෙබඳු ද, උන් වහන්සේ තුළ පැවති ආධ්‍යාත්මික ශක්තිය කෙබඳු වී ද, ඔවුන් සමාජය සමග එක් ව සිදු කළ මෙහෙය කෙබඳු ද යන කරුණු කෙරේ අප අවධානය යොමු වීම ස්වාභාවික ය. මේ පිළිබඳ අටුවා හා වෙනත් මූලාශ්‍රයවලින් ලැබෙන තොරතුරු ද ඇසුරු කර පිළිගත හැකි විස්තරයක් වල්පොළ රාහුල හිමියන්ගේ ‘ලංකාවේ බුදුසමයේ ඉතිහාසය’ නමැති කෘතියේ (හිස්ටරි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්, කොළඹ, 1956, 217 පිටේ සිට ඉදිරියට) දැක්වේ. එකී විස්තරය හා වෙනත් මූලාශ්‍රයන් අනුව පෙනී යන කරුණක් නම් රහතන් වහන්සේලා ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් අත්‍යන්ත විවේකකාමී, අල්පේච්ඡ වූ ද යථාලාභ සන්තුෂ්ටියෙන් යුක්ත වූ ද පිරිසක් බවයි. රහතන් වහන්සේ හැම දෙනම ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් වූ හ යි මින් අදහස් නො කෙරේ.

බුද්ධ කාලයේ ම රහතුන් දෙකොටසක් විසූ බවට සාධක ලැබේ. ඉන් එක් කොටසක් අභිඥාලාභීන් වශයෙනුත් එක් කොටසක් ශුෂ්ක විදර්ශක වශයෙනුත් හැඳින්විණ. අහසින් යෑම, අහසේ පලක් බැඳ වැඩ සිටීම, දියෙහි මෙන් පොළොවෙහි ද කිමිදී යෑම වැනි විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් අභිඥාලාභී රහතන් වහන්සේ සතුව පැවතුණි. ශුෂ්ක විදර්ශකයෝ හුදෙක් විදර්ශනා වඩා කෙලෙසුන් නැසූ උතුමන් වූ අතර, ඔවුන්ට යට කී ආකාරයේ ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නො වී ය. ධම්මපදට්ඨ කථාවේ විස්තර වන චක්ඛුපාල හිමි ශුෂ්ක විදර්ශකයෙක් විය. ඔහුට ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නො වී ය. බුදු සමයේ පණිවිඩය රැගෙන ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් මෙහි වැඩියේ අහසින් බව කියැවේ. උන් වහන්සේ අභිඥාලාභී රහත් නමක් වූ හ. උන් වහන්සේගේ පණිවිඩයක් ද රැගෙන දම්සෝ රජු හමුවට ගිය සුමන සාමණේරයන් වහන්සේ ද ධාතූන් වහන්සේ රැගෙන ලංකාවට වැඩියේත් ධාතු සඳහා ඉන්දියාවට වැඩියේත් ඍද්ධියෙන් බව මහාවංශයේ දැක්වේ. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ පිණ්ඩෝල භාරද්වාජ නමින් ප්‍රසිද්ධ රහත්නමක් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයක් පිළිබඳ විස්තරයක් ධම්මපදට්ඨකථාවේ එයි. ඒ අයුරින් සකසන ලද වඩාත් නිර්මාණාත්මක රචනයක් බුත්සරණේ ද දැක්වෙයි. එහි දැක්වෙන පරිදි බොහෝ දෙනා බලා සිටියදී ඍද්ධියෙන් අහසට නගින භාරද්වාජ රහත්නම සැටරියන් ලීයක පිහිටුවන ලද පාත්‍රය ද රැගෙන බිමට බැස්සේ ය. මේ සිද්ධිය බුදුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර, මෙබඳු කරුණෙහි ප්‍රාතිහාර්ය පෑම ද තහනම් කරන ලදි.

ජනතාවගෙන් ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ ආශාවෙන් හෝ තමාගේ ප්‍රාතිහාර්ය මහිමය පෙන්වීම සඳහා හෝ ඉන් පසු භික්ෂූහු පෙළහර පෑමෙන් වැළකුණහ. තමන්ගේ රහත් ගුණය හෝ සෙසු ආධ්‍යාත්මික ශක්තිය ප්‍රදර්ශනය කිරීමට රහත්හු නොකැමති වූහ. එමෙන් ම අත්‍යන්ත විවේකය පි‍්‍රය කළහ. මංගනවාසී බුජ්ජතිස්ස තෙරුන්ගේ කථාවෙන් මේ සඳහා තොරතුරු ලැබේ. උන් වහන්සේගේ රහත් ගුණය අසා වරක් සද්ධාතිස්ස රජු එතුමන් බැහැදැකීමට පැමිණි සැටිත් ඒ අවස්ථාවේ ඇඳේ වාඩි වී බිම ඉරි අඳිමින් සිටි සැටිත් රජු කලකිරී ආපසු ගිය සැටිත් එම කථාවෙන් කියැවේ. තමා බැහැදැකීමට රජුගේ පැමිණීම පවා මුන් වහන්සේ නොරිස්සූ අයුරු මෙයින් පැහැදිලි වේ.

රහතුන් තුළ පැවැති සංචරය පිළිබඳ කථා පුවතක් විසුද්ධි මාර්ගයේ එයි. වරක් භික්ෂූන් කීපනමක් විහාරචාරිකාවේ යමින් කරඬු ලෙනට පැමිණ, එහි සත්බුදුවරුන්ගේ දැකුම්කලු සිතුවම් බලා එහි වැසි භික්ෂුවට මේ ගැන දක්වා ඇත. සැට අවුරුද්දක් එහි සිටි භික්ෂුව එය එතෙක් නොදැන සිටි බව එහිදී හෙළි විය. උන් වහන්සේ එතරම්ම ඉන්ද්‍රිය සංවරය පුහුණු කර ඇත. ඇතැම් කතාවක එන තොරතුරු අනුව මහජනතාවගේ ශ්‍රද්ධාව වැඩෙන පරිද්දෙන් ප්‍රාතිහාර්ය පෑමට ඇතැම් රහත්හු ඉදිරිපත් වී ඇත. කලින් සඳහන් කළ මංගනවාසී බුජ්ජතිස්ස තෙරුන්ගේ ආදාහන ශිවිකාව අනුරාධපුරයට අහසින් පැමිණි විට දහස් ගණන් සැදැහැවත්හු සැදැහැයෙන් ඉපිලී සාධුනාද පැවැත්වූ හ. මෙය ඇසූ ලෝහපාසාදවාසී (ලෝවාමහාපාය) මහාව්‍යග්ඝ රහතන් වහන්සේ ද එබඳුම උදාර අන්දමේ ආදාහනයකට කැමැති වූහ. මේ අනුව පෙනී යන්නේ ඇතැම් රහතුන්ගේ මේ ආකාර අභිලාෂයක් පැවැති බවයි.

ඇතැම් පෘථග්ජන සුසිල්වත් භික්ෂූන් ද රහතන් වහන්සේලා වශයෙන් වරදවා පිළිගෙන තිබුණු බැව් දැක්වෙන කථා මෙන් ම රහත් වීමට තරම් ආධ්‍යාත්මික දියුණුවක් ලබා සිටි එහෙත් රහත් බවට නොපත් හිමිවරුන් ගැන තොරතුරු දැක්වෙන කථාපුවත් ද අපේ අටුවාවන්හි හමු වේ. සුප්‍රසිද්ධ තලංගරවාසී ධම්මදින්න තෙරුන් වහන්සේ වරක් සිය ආචාර්යවරයා වූ උච්චාලිකාවාසී මහානාග තෙරුන්ගේ මගපල අවබෝධය ගැන සොයා බලා පිහිට වීමට උන් වහන්සේ හමුවට ගියහ. මූලික සාකච්ඡාවෙන් පසු ලද අධිගමය ගැන විමසූ විට හැට වසරකට පෙර රහත් බව ලැබිණැයි මහානාග හිමියෝ පළ කළහ. සමාධියට සමවැදී ඍද්ධියෙන් ඇතකු මවන ලෙස ධම්මදින්න හිමියෝ අයැදියහ. මහානාග තෙරුන් තමාම මැවූ ඇත්රුවට බිය වී දුවන්ට සූදානම් වූ විට සිවුරින් අල්ලා කමටහන් දුන්නෙන් කෙටිකලකදී රහත් බව පසක් කිරීමට ඒ හිමිට හැකි විය. මෙහි එන මහානාග හිමියෝ අභිඥාලාභියකු වූ හෙයින් රහත් වී ඇතැ යි සිතා සිටියහ. විසුද්ධිමග්ගයෙහි එන තවත් කථාවක දැක්වෙන පරිදි, මහාසංඝරක්ඛිත නම් වූ අසූ හැවිරිදි භික්ෂුවක් සුසිල්වත් හිමිනමක් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව විසූ හ. මහජනතාව සිතා සිටියේ උන් වහන්සේ රහත් නමක ලෙසිනි. උන් වහන්සේ මරණාසන්න ව සිටින බව ඇසූ දොළොස් යොදුනක මහජනයා එහි රැස් වූ හ. උන් වහන්සේගේ අධිගමය ගැන විමසූ විට තමන් තවත් පෘථග්ජන භාවයෙහි සිටින බව යට කී සංඝරක්ඛිත හිමියෝ ප්‍රකාශ කළහ. එමගින් තමන්ට අගෞරවයක් වන බව උපස්ථායක භික්ෂුව මහතෙරුන්ට දැන්වූයෙන් මොහොතක් තමාට අවකාශ දෙන ලෙස මහතෙරහු කීහ. කාමරයෙන් පිටවෙන්ට සූදානම් වන විට ම අසුරු ගසා උපස්ථායකයා කැඳවූ මහාසංඝරක්ඛිත තෙරුන් වහන්සේ තමන් ඒ මොහොතේ රහත් වූ බව දැක්වූ හ. තමන් එතෙක් රහත් බව ගැන කල්පනා නොකළේ මෛත්‍රිය බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තුව සිටි හෙයිනැයි දැක්වූ හ. මේ කථාවෙන් අනාවරණය වන්නේ රහත් බව ආසන්නයට ම ළං වන පරිද්දෙන් එතුමා කෙලෙසුන් යටපත් කර තිබූ බවකි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසක් යන තුරු අධිගමය පවත්නා බව පිළිගෙන ඇත. එතෙක් සෝවාන් ආදි මගපල අවබෝධයට ඉඩ ඇත. දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පරිදි භික්ෂූන් නියම ලෙස ප්‍රතිපත්ති පූරණයෙහි නිරත වතොත් ලොව රහතුන්ගෙන් හිස් නො වේ. එසේ නම් අද ද මගපල පසක් කළවුන් නැතැ යි කිය නොහැකි ය. අටුවා හා ජනකතාවලට අනුව ලංකාවේ අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන්නේ මලියදේව තෙරුන් වහන්සේ ය. උන් වහන්සේ පිළිබඳ විසිතුරු කතාපුවත් අසන්ට ලැබේ. කෝට්ටේ යුගයේ වැඩ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලළිහිණි සන්දේශයේ එන පද්‍යයක් රචනා කර ඇත්තේ එබඳු ජනප්‍රවාදයක් ඇසුරෙනි:

ගිලිය නොදී සැට මහණන් බව මහණ

මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ

දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ

බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ

කැලණි විහාර භූමිය තුළ මෙකී ඓතිහාසික සිද්ධිය අනුස්මරණය කෙරෙන ගොඩනැගිල්ලක් පැවති බව මින් අනාවරණය වෙයි.

මෙහි සඳහන් මලියදේව හිමියන් වාසය කළ කාලපරිච්ඡේදය නිරවුල්ව හඳුනාගෙන නැත. අටුවා කථාවල දැක්වෙන විස්තර තොරතුරු අනුව සුප්‍රසිද්ධ මලියදේව හිමියන් දුටුගැමුණු සද්ධාතිස්ස රජුන්ගේ කාලයේ වැඩ සිටියහයි සැලකේ. පසුකාලයේ මේ නමින් හැඳින්වුණු වෙනත් හිමිවරුන් ද විසූ බව පෙනේ. පාලි රසවාහිනියේ ද එහි අනුවාදයක් වූ සද්ධර්මාලංකාරයේ ද මලියදේව හිමි නමක් ගැන තොරතුරු දැක්වෙන කතාපුවතක් එයි.

සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන අන්දමට මෙකී මලියදේව හිමි දැදුරු ඔයට නුදුරුව පිහිටි සුලුගලු නම් විහාරයට ඍද්ධියෙන් වැඩ එහිදී සුලුගලු උපාසකයාගේ බෙහෙත් කැඳක් ලැබ දිගුකලක් තිස්සේ පැවැති උදරාබාධය සුවපත් කරගෙන ඇත. උපාසකයා බෙහෙත් පිළියෙල කරන අතරතුර ම තෙරුන්ගේ ඍද්ධ්‍යනුභාවයෙන් චුල්ලගල්ලත් සමග තව්තිසා භවනයට ගොස් සිළුමිණි සෑය ද වන්දනා කොට මෙතේ බෝසතුන් හමු වී යළි එම විහාරයට පැමිණ ඇත. මේ ගමනේ දී මෙතේ බෝසතුන්ගෙන් චුල්ලගල්ල ලැබූ මහඟු සළු යුගලය මහජනයාට පෙන්වා ඔවුනුදු පැහැදවූ බව මේ කතාවේ වැඩිදුරටත් විස්තර වේ (සද්ධර්මාලංකාරය, බෙන්තර සද්ධාතිස්ස සංස්කරණය, 1934, 695 පිට සිට ඉදිරියට). කලින් ද සඳහන් කළ පරිදි රහතුන් වහන්සේලා අතර අභිඥාලාභීන් මෙන් ම ශුෂ්ක විදර්ශකයන් ද සිටින බව ප්‍රකට කරුණක් වූව ද සිංහල බෞද්ධයන් වැඩිදෙනා රහතන් වහන්සේ ලෙස සලකනුයේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි සමත් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා ය.

මහාචාර්ය පූජ්‍ය ගතාරේ ධම්මපාල හිමි

10/6/16

අවාස කුටියේ වර්තමාන තත්වය








මේ අවාස කුටියේ වර්තමාන තත්වයයි. දායක උනු සහ වන ඔබ සියළු දෙනාගේ මුදලින් ද තවත් කළණ මිතුරන් රැසකගේ දායකත්වයෙන් සාර්ථකව ඉදිකෙරමින් පවතින බව ඉතා සතුටින් දැනුම් දෙමි. මෙම අවාස කුටියට 
කුඩා විහාර මැදුරක්
ධර්ම විනය ඉගෙනීමට කියවීම් ශාලාවක්
වැඩ හිඳීමට ආවාස ශාලාවක්
සක්මන් භාවනාවට සක්මන් මළුවක්
වැසිකිලි පහසුකම්
පැන් පහසුවට හා ගිලන්පස සකස් කරගන්නා කොටසක්
ඇතුලත් වේ. අප සියල්ලෝම ධනවත් උවන් නොවෙතත් පොඩි මුදලකින් හෝ දායක වී කුසලයන් අතින් මහා ධනවතුන් වෙමු.


1019 5706 1623 
වාසුර එදිරිසුරිය
සම්පත් බැංකුව
පිළියන්දල ශාඛාව

9/20/16

ඇට සැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව



“පවිටා ලද යම් දැනුමක් වෙයි නම් – ඒ තුළිනුත් ඔහු වැනසෙන්නේ…”
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයත් කලින් කථාව වගේම එකක්. මුගලන් මහරහතන් වහන්සේම තමයි මේ ප්‍රේතයාවත් දැක්කේ. එදාත් ලක්ඛණ රහතන් වහන්සේ එතන හිටියා. මුගලන් මහරහතන් වහන්සේට සිනහ පහළ වුණා. කාරණාව ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි මේක අහන්න ඕන කියලා කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි.
“පින්වත් මහණෙනි, මට ඔය ප්‍රේතයාව ගයාවේ බෝධි මූලය ළඟත් දකින්නට ලැබුනා. ඒත් ඔය පෙරේතයා මයි. නමුත් මං කිසි කෙනෙකුට කිව්වෙ නෑ. දැන් මේ මුගලන් දැකපු නිසා මං කියන්නම්.
ඔය පෙරේතයා පුදුමාකාර දුකක් විඳින්නේ. තනිකරම ඇටසැකිල්ලක්. ගිනියම් වුණු යකඩ කුළුගෙඩි හැටදහසක් ඔහුගේ ඔළුවට එකවරටම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුළුගෙඩිවලින් ඔලුවට වදිනවා. ආයෙමත් හාවෙනවා. මේක ඉවරයක් නෑ. දැන් අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔය පෙරේතයා ඔය දුක විඳිනවා. මේක සිද්ධ වුණේ මේ පුද්ගලයා අත්හදා බලන්න ගියපු කාරණයක් නිසයි.
ඉස්සර කාලෙ අවුරුදු දහස් ගණනකට කලින් එක කොරෙක් හිටියා. ඔහු ඇඟිල්ලෙන් කරකැවිලා යන්න ගල්කැට විදිනවා. ඉතාමත් දක්ෂ විදිහට විදිනවා. ඕනම දෙයක් සිදුරු කරගෙන යනවා. මොහු හිටියේ බැරණැස් නුවර. රජ්ජුරුවොත් මෙයාට ප්‍රශංසා කළා. රජ්ජුරුවන් ඉදිරියේ ශිල්ප දක්වා තෑගි බෝග ලැබුවා. ඒක වුණේ මෙහෙමයි.
රජ්ජුරුවන්ට ඉන්නවා මහා මුඛරි කටක් තියෙන පුරෝහිත බමුණෙක්. ඔහුගෙන් කිසිම බේරිල්ලක් නෑ. කතාව පටන්ගත් විට ඉවරයක් නෑ. හරිම වදයක්. දවසක් රජතුමා අර පුද්ගලයා කැඳවලා කිව්වා,
“නුඹ පුළුවන්නම් මේ පුරෝහිත බමුණාගේ කටවහල දීපන්” කියල.
“හොඳමයි දේවයන් වහන්ස, මට එළුබෙටි නැළියක් ගෙනත් දෙන්න” කිව්වා.
රජතුමාත් මොහුට එළුබෙටි නැළියක් ගෙනත් දුන්නා. එදා රජතුමා සමඟ පුරෝහිත බමුණා කතා කර කර සිටිද්දී මේ පුද්ගලයා එක එක එළුබෙට්ට අර බමුණාගේ කටට විද්දා. ඒත් බමුණා කතාව නවත්වන්නේ නෑ. එළු බෙටි නැළිය ඉවර වෙන කම්ම එක එක විද්දා. රජතුමාට අර පුද්ගලයා දැනුම් දුන්නා එළුබෙටි ඉවරයි කියලා.
“එම්බා පුරෝහිතය, දැන්වත් කට වහගන්නවා. දැන් තමුසේ එළුබෙටි නැළියක්ම ගිලලයි ඉන්නේ.”
“ඈ….” කියල පුරෝහිත බමුණා අත් දෙකෙන් කට වහගත්තා. ඇස් ලොකු කරගත්තා. නිශ්ශබ්ද වුණා. එදා ඉඳලා ඔහුගේ කට වැහුණා. ඒකට සතුටටයි රජතුමා ඔහුට තෑගි දුන්නේ.
දවසක් තරුණයෙකුට මොහුගෙන් ශිල්ප ඉගෙනගන්න ආසා හිතුණා. මොහු ඒ ආබාධ පුද්ගලයා ළඟට ගිහින් නොයෙකුත් ඇවිටිලි කළා. සැලකිලි සම්මාන කළා. ශිල්පය උගන්වන්න කිව්වා. ඉගැන්නුවේ නෑ.

ඊට පස්සේ ඔහු තවත් මහන්සි වෙලා සැලකිලි සම්මාන කරලා අමාරුවෙන් අර පුද්ගලයාගේ හිත දිනාගත්තා. ඔහු මේ තරුණයාට තම ශිල්පය ඉගැන්නුවා. මේ තරුණයා හරි දක්ෂයි. ඈත ඉඳලා ගස්වල කොළවලට ගල්කැට විදිනවා. විදලා එක එක රූප හැදෙන විදිහට ඒ කොළ සිදුරු කරනවා. මිනිසුන්ට හරි පුදුමයි.
දවසක් තරුණයා මෙහෙම කල්පනා කළා.
‘මං මේ ශිල්පය අත්හදා බලන්න ඕන. ඒත් කොහොමද කරන්නෙ. ගවයෙක් මැරුණොත් කහවණු සීයක් දඩගහනවා. මිනිහෙක් මැරුණොත් දාහක් දඩගහනවා. මොකද මං කරන්නේ? මව්පියන් නැති වගකීම් නැති කෙනෙක්ව මැරුවොත් නඩු පවරන්න කවුරුවත් නැහැ නෙවැ’ කියල හිතුවා.
ඒ දිනවල සුනෙත්ත නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් බරණැස් නගරය ඇසුරු කොට එක්තරා කුටියක වාසය කළා. කාත් කවුරුවත් නැති, වගකීමක් නැති, භාරකාරයෙක් නැති නිදහසේ සැරිසරන මේ ශාන්ත ශ්‍රමණයන් වහන්සේව අර පුද්ගලයාට දකින්න ලැබුණා. එතකොට ඔහු මෙහෙම හිතුවා.
“මෙන්න ඉන්නවා කෙනෙක්. මෙයාට ගල විදින්න ඕන. හරිගියත් කමක් නෑ. වැරදුනත් කමක් නෑ. නඩු පවරන්න කවුරුත් නෑ නෙව. බලමු. මං ඉගෙන ගත්ත ශිල්ප හරිද කියලා.”
ඉතින් ඔහු අතට ගලක් ගෙන කරකැවිලා යන්න විද්දා. ඒ ගල් කැටය “රූං….” යන හඬින් ශබ්ද කරගෙන වේගයෙන් ගිහින් පසේබුදුරජාණන් වහන්සේගේ දකුණු කනට රිංගුවා. වම් කනෙන් පිටවුණා. පසේ බුදුරජාණන් වහන්සේ එතනම හිටගත්තා. පිඬුසිඟා යන්න ලැබුණෙ නෑ. කන් දෙකෙන්ම ලේ වැගිරෙද්දී ඉර්ධි බලයෙන් ආපහු කුටියට වැඩියා. පිරිනිවන් පෑවා.
මේ පුද්ගලයා ඒ කර්ම විපාකයෙන් මරණින් මතු නිරයේ උපන්නා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ කෝටි ගණනක් නිරයේ දුක් විඳලා තමයි ඒ කර්මයේ ඉතිරි විපාක විඳින්න ඇටසැකිලි ප්‍රේතයෙක් වෙලා ඉපදිලා ඉන්නෙ.”
මේ කාරණය අරභයා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.
යාවදේව අනත්ථාය – ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං – මුද්ධමස්ස විපාතයං
පවිටු කෙනා උගතමනා – සිප් සතරක් දැනගත් විට
පවිටා ලද සියලු දැනුම – විපතටමයි හරවන්නේ
ඔහු තුළ යම් හොඳක් ඇද්ද – එයත් එයින් වනසාගෙන
සියලු නුවණ නැති කරගෙන – විපතටමයි පත් වන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ නිසා කෙනෙක් යම් දක්ෂකමක් ඇතිකරගත්තා කියලා ඒ ගැන ආඩම්බර වෙන්න හොඳ නෑ. හිතට ගන්න හොඳ නෑ. දුර දිග නොබලා අත්හදා බලන්න යන්නත් හොඳ නෑ.
ඉස්සර අපේ රටේ වුනත් සමහර මන්තර ශාස්ත්‍ර දන්න අය ඒවා අත්හදා බලන්න ගිහින් මිනිසුන්ට හරියට විපත් කරනවා. කරදර කරනවා. දුකට පත් කරනවා. එහෙම දේවල් කරලා නොදන්නවා වගේ ඉන්නවා. අර අහිංසකයින් අනන්ත දුකකට පත්වෙනවා. ඒ සෑම පවක්ම තමන්ට ආපහු ලැබෙනවා.
ඒ තමන් උගත් ශිල්පයමයි තමන්ව විනාශ කළේ. තමන්ගෙ දක්ෂතාවමයි තමන්ව විනාශ කළේ. තමන්ගෙ හැකියාවමයි තමන්ව විනාශ කළේ. ඒක කොහොමද වුණේ? තමන් අඥාන පුද්ගලයෙක් නිසා. හොඳ නරක පිළිගන්නෙ නැති කෙනෙක් නිසා. පින් පව් නොපිළිගන්න නිසා. අපාය විශ්වාස නොකරන නිසා. දෙව්ලොව විශ්වාස නොකරන නිසා. ඒ වගේම සිල්වතුන් ගුණවතුන් නොපිළිගන්නා නිසා. වැඩිහිටියන්ට නොසලකන නිසා. ධාර්මික නැති නිසා. ඒ වගේම දුර කල්පනා නොකරන නිසා. දන්න ශිල්පය තුළින් අහංකාර වන නිසා.
එම නිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, කවරදාක වත් තමන් දන්න දෙය අනුන්ගේ අයහපතට යොදවන්න එපා! විපතකට යොදවන්න එපා! කරදරයකට යොදවන්න එපා! ඒ ශිල්පයෙන් ආඩම්බර වෙලා හිතට ගන්න එපා! අහංකාර වෙන්න එපා! නුවණැති කෙනාට තමන් දන්න ශිල්ප ශාස්ත්‍ර පවා පින්කර ගන්න උදව්වක්මයි. එහෙම කෙනෙක් වෙන්න.

9/19/16

මහත්ඵල ගෙන දෙන දානයන් පිළිබඳ සූත්‍ර පිටකයේ දැක්වෙන අයුරු



වේලාම බ්‍රාහ්මණයාගේ දානය
රිදීයෙන් පිරවූ 84,000 ක් රන් පාත්‍ර
රනින් පිරවූ 84,000 ක් රිදී පාත්‍ර
අමු රනින් පිරවූ 84,000 ක් කස්ලෝ පාත්‍ර
ස්වණාලංකාර ඇති රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු 84,000 ක් ඇතුන්
සිංහ සම්, ව්‍යාඝ්‍ර සම්, දිවි සම්, පඩු ඇඹුල් ඇතිරූ රනින් අලංකාර කළ රන් දද ඇති රන් රසු දැලින් ගැවසුණු 84,000 ක් රිය
දුහුල් රෙදි ඇතිරූ කස්ලෝ කොසු ඇති 84,000 ක් දෙනුන්
මිණි කොඩොල් පැළඳි 84.000 ක් කන්‍යාවන්
කොඳු පළස්, සුදු ඇතිරි, ඝන පුප් එළුලොම් ඇතිරි අතුළ සෙකෙල් මුව සමින් කළ උතුම් පස තුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කණ්වයින් ඇති 84,000 ක් පළඟ
සියුම් කොමු පිළි, කොසෙය්‍ය පිළි, කම්බිලි, කපු පිළි කෝටි 84,000 ක් වස්ත්‍ර
නදී මෙන් ගලන අන්නපාන, ඛාද්‍ය, භොජ්‍ය, ලෙහ්‍ය පෙය

  1. එක් සෝවාන් වහන්සේ නමක් වැළඳවීම වේලාම බ්‍රාහ්මණයාගේ දානයට වඩා මහත්ඵලයි.
  2. එක් සකෘදාගාමී වහන්සේ නමක් වැළඳවීම සෝවාන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි.
  3. එක් අනාගාමී වහන්සේ නමක් වැළඳවීම සකෘදාගාමී වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි.
  4. එක් රහතන් වහන්සේ නමක් වැළඳවීම අනාගාමී වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි.
  5. එක් පසේබුදුන් වහන්සේ නමක් වැළඳවීම රහතන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි.
  6. එක් සම්මා සම්බුදුන් වහන්සේ නමක් වැළඳවීම පසේ බුදුන් වහන්සේලා සියයක් වැළඳවීමට වඩා මහත්ඵලයි.
  7. සම්මා සම්බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැළඳවීම සම්මා සම්බුදුන් වහන්සේ වැළඳවීමට වඩා මහත්ඵලයි.
  8. සිවු දිග්හි භික්ෂූන් වහන්සේලා උදෙසා වෙහෙරක් කරවීම ඉහත දානයට වඩා මහත්ඵලයි.
  9. පහන් සිතින් තිසරණ සරණ යාම ඉහත දානයට වඩා මහත්ඵලයි.
  10. පහන් සිතින් පංචශීල ශික්ෂා පද සමාදන් වීම ඉහත පුණ්‍යකර්මයට වඩා මහත්ඵලයි.
  11. ගඳක් සිඹිනා කාලයක් මෛත්‍රිය වැඩීම ඉහත පුණ්‍යකර්මයට වඩා මහත්ඵලයි.
  12. අසුරක් ගසනා කාලයක් අනිත්‍යය මෙනෙහි කිරීම ඉහත පුණ්‍යකර්මයට වඩා මහත්ඵලයි.

පුද්ගලික වශයෙන් දිය හැකි දානයන්
  1. තිරිසනුන් විෂයෙහි සියක් අනුසස් ඇති දක්ෂිණායෙක්
  2. පෘථග්ජන දුසිල්වතුන් විෂයෙහි දහස් අනුසස් ඇති දක්ෂිණායෙක්
  3. පෘථග්ජන සිල්වතුන් විෂයෙහි සිය දහසක් අනුසස් ඇති දක්ෂිණායෙක්
  4. කාමයෙහි වීතරාගී වූ බාහිරක තාපසයන් විෂයෙහි කෙළ ලක්ෂයක් අනුසස් ඇති දක්ෂිණායෙක්
  5. සෝවාන් ඵල පසක් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා විෂයෙහි අසංඛ්‍යෙය අනුසස් ඇති දක්ෂිණායෙක්
  6. සෝවාන් තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  7. සකෘදාගාමී ඵල පසක් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  8. සකෘදාගාමී තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  9. අනාගාමී ඵල පසක් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  10. අනාගාමී තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  11. රහත්ඵල පසක් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  12. අර්හත් තථාගත ශ්‍රාවකයා විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  13. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)
  14. අර්හත් තථාගත සම්‍යක් සම්බුද්ධයන් විෂයෙහි අනන්ත අප්‍රමාණ අනුසස් ඇති දක්ෂිණායෙක් (කවර කථාද)

සාංඝීක වශයෙන් දියහැකි දානයන්
  1. තථාගතයන් වහන්සේ ප්‍රමුඛ උභතො සංඝයා විෂයෙහි
  2. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභතො සංඝයා විෂයෙහි
  3. භික්ෂු සංඝයා විෂයෙහි
  4. භික්ෂුණී සංඝයා විෂයෙහි
  5. ප්‍රමාණ වශයෙන් භික්ෂු සහ භික්ෂුණී සංඝයා විෂයෙහි
  6. ප්‍රමාණ වශයෙන් භික්ෂු සංඝයා විෂයෙහි
  7. ප්‍රමාණ වශයෙන් භික්ෂුණී සංඝයා විෂයෙහි

සත්පුරුෂ දානය
  • පිරිසිදු දෑ දෙයි.
  • ප්‍රණීත දෑ දෙයි.
  • සුදුසු කල්හි දෙයි.
  • කැපවූවක් දෙයි.
  • පරීක්ෂා කොට දෙයි.
  • නිරතුරු දෙයි.
  • පහන් සිතින් දෙයි.
  • දුන්පසු සතුටු වෙයි.

අසත්පුරුෂ දානය
රූක්ෂ හෝ ප්‍රණීත හෝ වේවා සකස් නොකොට දීම, ගරු නොකොට දීම, සියතින් නොදීම, නිරතුරු නොදීම, කම්ඵල අදහා නොදීම හේතුවෙන් එම දානයේ විපාක පහළ වූ විට උදාර භෝජනය පිණිස, වස්ත්‍ර දැරීම, වාහන පරිහරණය පස්කම් ගුණයෙහි භෝගය පිණිස හිත නොනැමෙයි. ඔහුගේ පුත්‍රයන්, අඹුවන්, දාසයන්, මෙහෙකරු, වහලූන්, කම්කරුවන්, ඔහුගේ වචන අසනු නොකැමති වෙයි. සවන් නොදෙයි.

දාන දීමට හේතු
  • වෙතට පැමිණ දෙයි.
  • බියෙන් දෙයි.
  • මට දුන්නේ යැයි සිතා දෙයි.
  • මට දෙන්නේ යැයි සිතා දෙයි.
  • දීම මැනව යැයි සිතා දෙයි.
  • මම පිසමි, මොවුහු නොපිසත්, ඒ නිසා දියයුතු යැයි සිතා දෙයි.
  • මේ දානය නිසා උපන් කීර්තියක් ලැබේ යැයි දෙයි.
  • සිතෙහි අලංකාරය පිණිස දෙයි.

දාන විශුද්ධීන්ගේ ප්‍රභේද
  • දුස්සීල ප්‍රතිග්‍රාහකයාට සිල්වත් දායකයා දෙන දානය – විශුද්ධ වේ.
  • සිල්වත් ප්‍රතිග්‍රාහකයාට දුස්සීල දායකයා දෙන දානය – විශුද්ධ වේ.
  • දුස්සීල ප්‍රතිග්‍රාහකයාට දුස්සීල දායකයා දෙන දානය – විශුද්ධ නොවේ.
  • සිල්වත් ප්‍රතිග්‍රාහකයාට සිල්වත් දායකයා දෙන දානය – විශුද්ධ වේ.
මූලාශ්‍ර – 2500 බුද්ධ ජයන්ති ති්‍රපිටක ග්‍රන්ථ මාලාව,
අංගුත්තර නිකාය 9.1.2.10     – වේලාම සූත්‍රය (පි.435)
මජ¯ම නිකාය 3.4.12                  – දක්ඛිණවිභංග සූත්‍රය (පි.521)
අංගුත්තර නිකාය 8.1.4.7       – සප්පුරිස දාන සූත්‍රය (පි.165)
අංගුත්තර නිකාය 8.1.4.1       – දාන සූත්‍රය (පි.151)

කර්ම වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී.

9/18/16

ප්‍රාණඝාතයෙන් වැලකී නොහැකි පෙදෙසක ජිවත් වන ඔබට.


මෙය “බුදුදහම නො දත් දිවි රැක ගැනුමට කුමක් වුවත් කළ යුතු ය.” යන හැඟීම ඇති ඇතැම් අය නගන ප්‍ර‍ශ්නයෙකි. බුදු දහමේ සැටියට නම් මොන ම කරුණක් නිසාවත් සතකු මැරීමට නිදහසක් නැත. ලෝකයෙහි අනුන්ට ආහාර වී අනුන් ගේ දිවි රැක දීම පිණිස උපදනා සත්ත්වයෙක් නැත. සියලු ම සත්ත්වයන් උපදින්නේ එක්තරා කාලයක් මේ ලෝකයෙහි ජීවත්වීම පිණිස ය. ඔවුනට තමන් ගේ ජීවිතය තරම් අගනා අන් දෙයක් නැත. මරණයට වඩා බියක් මරණයට වඩා දුකක් ද ඔවුනට නැත. තමා ජීවත්වීම සඳහා, මරණයට බිය; ජීවත්වීමට කැමති අන් සතකු මැරීම ඉමහත් අධර්මයෙකි. තමාට මස් නැතිව ජීවත්විය නො හැකිය කියා අන්‍ය සත්ත්වයන් මැරීමේ අයිතියක් කාහටවත් නැත. කෙනකුට ජීවත් නො විය හැකිවීම ගැන අනික් සත්ත්වයෝ පළිකාරයෝ නො වෙති. අනුන්ට හිංසා නො කොට තමා ජීවත් වන සැටි තමා විසින් ම බලා ගත යුතු ය. එසේ ජීවත් විය නො හැකි නම්,
“ජීවිතඤ්ච අධම්මෙන ධම්මේන මරණඤ්ච යං
මරණං ධම්මිකං සෙය්‍යො යං චෙ ජීවෙ අධම්මිකං”

යන දේශනාව සිහිපත් කර ගත යුතු ය. “අදමින් ජීවත් වීම ය. දහැමින් මිය යාමය යන දෙකින් දැහැමි මරණය ම උතුම් වන්නේය” යනු එහි තේරුම ය. අඹුදරුවන් ජීවත් කරවා ගැනීමටය කියා සතුන් මැරීමට නිදහසක් නැත. බොහෝ දෙනකුන් මරා ටික දෙනෙක් ජීවත් කරවීම මහත් අපරාධයෙකි. අඹුදරුවන් ගේ දිවි රැකදීමට තබා මාපියන් ජීවත් කරවා ගැනීමටවත් තවත් ප්‍රාණයක් නො නැසිය යුතු ය. මාපියන් පෝෂණය කිරීම බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ක්‍රියාවෙකි. උසස් පින්කමෙකි. එහෙත් සතුන් මරා කනවා නම් එය උතුම් ක්‍රියාවක් නොව පාප ක්‍රියාවෙකි. සතුන් මරා මාපියන් පෝෂණය කිරීමට වඩා නො කිරීම ම උතුමි. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අනුව පිළිපදින්නෝ සිය දිවි රැකීම පිණිසවත් මාපියන් රැකීම පිණිසවත් ප්‍රාණඝාතය නො කෙරෙති. ඒ බව මතු දැක්වෙන කතාවලින් දත යුතු ය.
මේ ලක්දිව උතුරු වඩුන්නාව නමැති ගමෙහි ගොවියෙක් වාසය කෙළේ ය. ඔහු අම්බරිය විහාරයේ පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී ගොවිකම් කෙළේ ය. දිනක් ඔහු ගේ ගොණකු නැතිවිය. ගොණා සොයනු පිණිස ඔහු උතුරු වඩ්ඪමාන පර්වතයට නැංගේ ය. එහි දී ඔහු පිඹුරකුට හසුවිය. පිඹුරා ඔහු ගේ ශරීරය වෙළන්නට පටන් ගති. ඔහුට බොහෝ වේදනා ඇති විය. ඔහු අතෙහි කැත්තක් ද තිබිණ. පිඹුරා මරා දමා දිවි රැක ගන්නට ඔහුට සිතිණ. තමා සමාදන් වී සිටින සිකපද බිඳීමට නුසුදුසු ය යි ඔහු නැවතුණේ ය. වේදනාව වැඩිවන කල්හි නැවතත් ඔහුට පිඹුරා මරන්නට සිතිණ. එහෙත් සිකපද බිඳීම නුසුදුසු බව සිතා ඒ වරද නැවතිණ. වේදනාව වැඩි වීමෙන් තෙවන වරත් පිඹුරා මරන්නට සිතිණ. එකල්හි ඔහු ජීවිතය පරිත්‍යාග කෙරෙමි, සිකපද නො බිඳිමි යි ස්ථිර වශයෙන් ම සිතා කර තබා ගෙන සිටි කැත්ත ඈතට වීසි කෙළේ ය. එකෙණෙහි පිඹුරා ඔහු හැර ගියේ ය.
මේ ලක්දිව චක්කණ නම් උපාසකයෙක් විය. තරුණ කාලයේ දී ඔහු ගේ මව රෝගාතුර වූවා ය. වෙදමහතා ඇගේ රෝගය සුව කිරීමට අලුත් හා-මස් වුවමනා බව කීය. එකල්හි චක්කණ ගේ අයියා සාවන් සොයනු පිණිස ඔහු කුඹුරට යැවීය. චක්කණ කුඹුරට ගිය කල්හි පැළ ගොයම් කන්නට පැමිණි සාවෙක් ඔහු දැක පළා යන්නේ වැළක පැටළී හැඬී ය. චක්කණ එහි ගොස් සාවා අල්ලා ගත්තේ ය. ඔහු මවට බෙහෙත් කිරීම පිණිස සාවා මරන්නට සිතා, නැවත ‘මව ගේ දිවි රකිනු පිණිස අනිකකු ගේ දිවි නැසීම සුදුසු නැතය සිතා, සාවා අත හැරියේ ය. ගෙදරට ආ විට සහෝදරය සාවකු ලදදැයි ඇසූ කල්හි චක්කණ ඔහුට ඒ ප්‍ර‍වෘත්තිය කීය. එකල්හි සහෝදරයා ඔහුට දොස් කීය. චක්කණ මව සමීපයට ගොස් “මම උපන් දා පටන් මේ වනතුරු කවදාවත් ප්‍රාණඝාතයක් නො කෙළෙමි. ඒ සත්‍යානුභාවයෙන් මෑණියෝ සුවපත් වෙත්වා” යි සත්‍යක්‍රියා කෙළේ ය. එකෙණෙහි ම මව ගේ රෝගය සුවවිණ. මේ කථාවලින් අතීතයේ අප රට විසූ හොඳ බෞද්ධයන් අඹුදරුවන් රැකීමට තබා මාපියන් රැකීමටවත් සිය දිවි රැකීමටවත් සතුන් මැරීම නො කළ බව දත යුතු ය. ප්‍රාණඝාතය කිනම් කරුණක් නිසා වුවත් කළහොත් ඒ පාපයෙන් ඔහුට නො අනුමානව බොහෝ අනිෂ්ට විපාක සිදුවන බව බුදු දහම අනුව කිය යුතු ය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

9/16/16

බිනර පුර පසළොස්වක පොහෝ දිනය


වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි.
බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීම සුවිශේෂී ය. එදා කිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන්ගේ පාද මූලයේ වැඳ වැටුණු මහා ප්‍රජාපතී ගෝතමිය බුදු සසුනෙහි පැවිදිවීමේ අවසරය තෙවරක්ම ඉල්ලා සිටියාය. එහෙත්, ඒ නොසිඳුනු අධිෂ්ඨානය නැවතත් සාක්ෂාත් කර ගැනීමට සිතූ මහා ප්‍රජාපතී ගෝතමිය සමඟ භද්දවග්ගිය කුමාරවරුන්ගේ පන්සියයක් පමණ බිසෝවරු හිස මුඩු කර කසාවතින් සැරසුණහ.
බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම බිසෝවරු හඬමින් වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව ඉල්ලමින් බැගෑපත් වූහ. මෙයින් දුකට පත් වූ ආනන්ද තෙරණුවෝ බුද්ධ මාතාව වූ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම තෙවරක්ම බුදුරදුන්වෙත සැලකර සිටියහ.
සසුන් ගත වන කාන්තාව විදසුන් වඩන්නී නම් ඇයට මාර්ගඵල වෙත එළැඹිය හැකි දැ’ යි අසමින් එසේ නම් භික්ෂුණී ශාසනයට ඉඩ සලසන්නැ’ යි නැවත නැවතත් ඉල්ලා සිටි ආනන්ද තෙරණුවෝ ප්‍රජාපති ගෝතමියගේ මවු ගුණ ගැයූහ. මහා ප්‍රජාපතී ගෝතමිය කුඩා සිදුහත් කුමරාට අහිමි වූ මවු සෙනෙහස බිඳකුඳු අඩු නොකරමින් ලේ කිරි කර පෙවූ ආදරණීය සුළු මෑණියන් වූවාය. ඇය අප්‍රමාණ දීර්ඝ වූ සංසාර ගමනෙහි ද සෙවණැල්ලක් සේ හිඳිමින් සිදුහත් කුමරා ඇති දැඩි කළ ආදරණීය මෑණියන්දෑය. ප්‍රජාපතී ගෝතමියගේ මාතෘ ගුණයටත් ආනන්ද තෙරුන් වහන්සේගේ බලවත් ඉල්ලීමත් සලකා බැලූ බුදු පියාණන් වහන්සේ පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් පිරූ අෂ්ට ගරු ධර්ම පැනවූහ. මේ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුණී කක්ඛන්ධකයෙහි ද සඳහන්ය.
පැනවූ අෂ්ට ගරු ධර්ම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමිය පස්වනක් ප්‍රීතියෙන් පන්සියයක් කාන්තාවන් සමඟ බුදු සසුනෙහි පැවිදි වී උපසම්පදා ලැබීමෙන් භික්ෂුණී ශාසනය ඇරැඹුණේ අද වැනි බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. පසුකලෙක විදසුන් වඩා රහත් ඵල ලබා ගත් ඇය භික්ෂුණී ශාසනය තවත් බබළවා චිර රාත්‍රඥ භාවයෙන් අග්‍රස්ථානය ද ලැබූ සේක. නන්දකෝවාද සූත්‍රය ශ්‍රවණය කළ අනෙකුත් භික්ෂුණීහු රහත් ඵල ලබා ගත්හ. ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියන් වහන්සේ නිසා බුදුසසුනට ඇතුළත් වූ බහුතරයක් කාන්තාවන්ට ලැබුණු ආධ්‍යාත්මික සුවය අපමණය. යශෝධරා, උප්පලවණ්ණා, ධම්මදින්නා, පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා වැනි කාන්තාවන් ද පසුකාලීනව පැවිදි වූ සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේ ද බුදු සසුන බැබළවීමට දැක්වූ මෙහෙවර අති මහත්ය. මෙසේ උදා වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය බුදු සසුනේ විශේෂ සිදුවීම් රැසකට ද මූලික වී තිබෙයි.
බුදුරදුන්ගේ ලළාට ධාතූන් වහන්සේ නිධන් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පවත්වන්නේද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
බුදුරදුන්ගෙන් ලබා ගත් කේශ ධාතු නිධන් කරවා තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදි කළ ගිරිගඬු සෑයෙහි වාර්ෂික පින්කම යෙදී ඇත්තේ ද බිනරපුර පසළොස්වක පොහොය දිනකදී ය.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදිවූ ලොවේ ඉපැරැණි ස්මාරකයක් වූ මහියංගණ මහ සෑය මූලික වී වාර්ෂික පවත්වන වැදි පෙරහරින් අසිරිමත් වන්නේ ද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.
මෙසේ විශේෂිත වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය සමස්ත වනිතාවගේම හදවතෙහි පර නොවන සේ හැඟුම් මල් පුබුදු කළ බැතිබර දිනයයි. ලොවුතුරා පහන් ටැඹේ ආලෝකයෙන් නිවන් මගට පිවිසෙන විමුක්ති මාර්ගය පෙන්වා දුන් මහා ප්‍රජාපතී ගෝතමියගේ ශ්‍රී නාමයට පූජෝපහාර වශයෙන් අද වැනි පොහොය දිනක කුසල් දම් පුරමින් කෘත ගුණ සැලකීම බෞද්ධ කාන්තාවන්ගේ පරම යුතුකමකි.
සමස්ත සැදැහැති බෞද්ධයා මෙම මාතෘ උදාරත්වයේ විශිෂ්ටත්වය සදා මතකයේ රඳවා ගත යුතුම ය.
තෙරුවන් සරණයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

9/14/16

නො දැන කරන පව්කම් වලින් විපාක ලැබෙනවද?



පරලොවක් ඇති බව අසා නැති, පින් පව් ගැන අසා නැති, පින් පව්වල විපාක අසා නැති සමහරු ඒ නො දැනීම නිසා පවක් කරමිය යන හැඟීමක් නැතිව සතුන් මරති. සොරකම් කරති. කාමයෙහි වරදවා හැසිරෙති. බොරු කියති. මත්පැන් බොති. උතුමන්ට අගෞරව කිරීම් ආදී තවත් නොයෙක් පව්කම් කරති. නො දැන කරන පව්කම්ය කියන්නේ ඒවාට ය. ලෝකයෙහි නො දැන කරන වරදට සමාව දෙන සිරිතක් ඇත්තේ ය. දඬුවම් දුන්නත් එය ලිහිල් කොට දෙන ස්වභාවයක් ඇත්තේ ය. මේ ප්‍ර‍ශ්නය අසන්නේ ඒ ලෝකස්වභාවය අනුව ය. ලෝකයෙහි වරද කළවුන්ට දඬුවම් කරන රාජාදීන් ඇතිවා සේ, පින්පව්වල විපාකය ගෙන දෙන - ඒවාට අධිපතියෙක් නැත්තේ ය. පව්වලට විපාක ඇති කරන පුද්ගලයකු ඇති නම්, නො දැන කරන පව්වලට ඔහුගෙන් සමාවක් ලබන්නට ද ඉඩ ඇත්තේ ය.
අඳුරු කාමරයක පහනක් දැල්වුව හොත් ඒ හේතුවෙන් එහි ආලෝකයක් ඇති වේ. ඒ ආලෝකය ඇති කරන පුද්ගලයෙක් නැත. පහන නිවූ කල්හි ඒ හේතුවෙන් එහි නැවත අඳුර ඇති වේ. කාමරයට අඳුර ගෙනෙන පුද්ගලයෙක් නැත. එමෙන් පින් පව් කළවුන්ට පින කළ නිසා එහි බලයෙන් ඉෂ්ට විපාකත්, පව් කළවුන්ට පව නිසා එහි බලයෙන් අනිෂ්ට විපාකත් ඇති වෙනවා මිස ඒවා ඇති කරන පුද්ගලයකු නැත්තේ ය. එබැවින් නො දැන කළ පාපයට සමාවක් නො ලැබිය හැකි ය. රාත්‍රියේ කාමරයක දැල්වෙන පහන නිවුවහොත්, අඳුර ඇතිවන බව නො දැන නිවුවත් දැන නිවුවත්, අඳුර ඇතිවීම පිළිබඳ වෙනසක් සිදුවන්නේ නැත. එමෙන් පාපය දැනගෙන කළත් නො දැන කළත් විපාකය ඇතිවීම සම්බන්ධයෙන් වෙනසක් සිදු නො වේ.
ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුශල් මුල් තුනක් ඇත්තේ ය. මෝහයෙන් තොරව කරන අකුශලයක් නැත්තේ ය. නො දැන පව්කම් කරන තැනැත්තා ගේ මෝහය වඩාත් බලවත් ය. මෝහය බලවත් වන කල්හි එය හා ඇතිවන අකුශල චේතනාවත් බලවත් ය. එබැවින් නො දැන පව් කරන තැනැත්තා කරන අකුශල් වඩා බලවත් බව කිය යුතු ය. අකුශලය බලවත් වූ පමණට එයින් ලැබෙන අනිෂ්ට විපාකය ද බලවත් වේ. මිනිසුන් බොහෝ දෙනකුන් එකතුව පහර දී එක සතකු මැරුව හොත් සැම දොනට ම නො වෙනස්ව ප්‍රාණඝාත අකුශලය සිදුවේ. එකම සතකු මැරීමේ අකුශල කර්‍මය හේතු කොට මරණින් මතු ඒ සැම දෙනා ම එක තැනක උපදින්නාහු නො වෙති. ඒ පාපකර්මයෙන් ඔවුන්ගෙන් එකකුට තිරිසන් යෝනියෙහි උපදින්නටත්, එකකුට ප්‍රේතව උපදින්නටත්, එකකුට කුඩා නරකයක එකකුට මහා නරකයක උපදින්නටත් සිදුවිය හැකි ය. එකම ක්‍රියාවෙහි විපාකය මෙසේ වෙනස් වන්නේ ඒ ඒ තැනැත්තාට ඇති වූ අකුශල චේතනාවේ බලවත්කම හා දුබලකම අනුව ය. අකුශලය බලවත් වීමට මෝහයේ බලවත්කම එක් හේතුවකි. අකුශල ක්‍රියා විෂයෙහි මෝහය බලවත් වන්නේ නො දැන පව් කරන්නා හට ය. එබැවින් දැන දැන පව් කරන තැනැත්තාට සිදුවන අකුශලයට වඩා බලවත් අකුශලයක් නො දැන පව් කරන්නවුන්ට ප්‍රාණඝාතාදි ක්‍රියා කිරීමේ දී සිදු වන බව කිය යුතු ය.
ලෝක සම්මුතියේ සැටියට නම්, දැන දැන පව්කම් කිරීම මහත් වරදෙකි. එහෙත් ඒ දැන ගැනීම කර්මය දුබල වීමට මිස බලවත් වීමට කරුණක් නො වේ. පව් හඳුනන පව්වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නො කර බැරිකමකින් මිස කැමැත්තකින් නො වේ. ඔහු පව් කරන්නේ නිතර ම පසු බැස බැස ය. එබැවින් බලවත් සම්මෝහයෙන් පව්කම් කරන්නවුන්ට ඇතිවන තරමට බලවත් අකුශල චේතනා දැන දැන පව් කරන්නවුන්ට ඇති නො වේ. එබැවින් නිතර ම නො දැන පව් කරන්නා ගේ පාපයට වඩා දැන දැන පව් කරන්නා ගේ පාපය කුඩා ය.
මේ කාරණය මිළින්දප්‍ර‍ශ්නයෙහි මෙසේ දක්වා තිබේ. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එකෙක් දැන දැන පව්කම් කරන්නේය, එකෙක් නො දැන පව් කම් කරන්නේය, මේ දෙදෙනාගෙන් වඩා පව් සිදු වන්නේ කාටදැ”යි මිළිඳු රජු විචාළේ ය. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ “මහ රජ, යමෙක් නො දැන පව් කෙරේ නම් ඔහුට වඩා පව් සිදුවන්නේ ය”යි වදාළ සේක. එකල්හි මිළිඳු රජ කියනුයේ; “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එසේ නම් අප ගේ පුත්‍ර‍යකු හෝ ඇමතියකු හෝ නො දැන වරදක් කෙළේ නම් ඔහුට දෙගුණයක් දඬුවම් කරමි”යි කීය. නාගසේන ස්ථවිරයන් වහන්සේ “මහරජ, ගිනියම් වූ ලොහො ගුලියක් එකෙක් දැනගෙන අල්ලන්නේ ය. එකෙක් නො දැන අල්ලන්නේ ය. ඒ දෙදෙනාගෙන් කවරකු ගේ අත වඩා දැවෙන්නේ දැ” යි විචාළ සේක. “නො දැන අල්ලන තැනැත්තා ගේ අත වඩා දැවෙන්නේය” යි රජ කීය. “මහරජ, එපරිද්දෙන් නො දැන පව්කරන්නහුට බොහෝ පව් වන්නේය” යි නාගසේන තෙරුන් වහන්සේ වදාළ සේක.
ගමන් කරන කල්හි කුඩා සත්තු නො දැනී ම පෑගී මැරෙති. ඒවා නො දැන කරන පව්කම්වලට අයත් කොට නො ගත යුතු ය. සතුන් මරන්නට ඕනෑය යන අදහසක් යන තැනැත්තාට නැති බැවින් නො දැනී පෑගී මැරෙන සතුන් නිසා පාපයක් නො වේ. පාපය වන්නේ මැරීමේ අදහසින් සතකු පාගා මැරුවහොත් ය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.