10/15/20

කසළ ගොඩක මුණින් වැටී පිරිණිවන් පෑ රහතන්වහන්සේ

 


සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ මොහොතයි.ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා.බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්.පුදුම සහගතයි.මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්.මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ.එවැනි අසිරිමත් ධර්මයක් කණ වැකුණු සැණෙකින් සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.

ඉස්සර කාලෙ බොහෝ මිනිස්සු වෙළඳාම් පිණිස නැව්වලින් මුහුදු ගමන් යනවා.සමහර අවස්ථාවන්හීදී ඒ නැව් අනතුරුවලට ලක්වෙනවා.කුණාටුවලට හසු වෙනවා.මුහුදෙ මැද ඒ නැව් බිඳෙනවා.මිනිසුන් ජල රකුසාට බිලිවෙනවා.

එක්තරා වෙළඳ පිරිසක් නැවක නැගී වෙළඳාමේ ගියා.ඒ නැව මුහුද මැද අනතුරකට බඳුන් වුණා.ඒ නැවේ එක් පුරුෂයෙක් හිටියා.ඔහුගේ නම බාහිය. බාහිය ගේ පිනකට ඔහුට කොටයක එල්ලීගන්න පුළුවන්කම ලැබුණා. දවස් කිහිපයක්ම මුහුදේ පාවෙමින් තිබුණු කොටය ගොඩ බිමකට ළඟා වුණා. කොටයේ එල්ලීගෙන ගොඩ බිමකට ඇවිදින් ජීවිතේ බේරගත්ත බාහියට ඇඟේ නූල් පොටක්වත් ඉතුරු වුණේ නැහැ. ඇඳගෙන හිටිය ඇඳුම් පවා ගැලවිලා ගිහින් තිබුණා.

ඉතින් මේ බාහිය කියන තරුණයා ඒ අසල වනාන්තරයට ඇතුළු වෙලා ගස්වල පට්ට, දර පතුරු එකතු කරලා ඇඳුමක් හදාගත්තා. කැලේ මැදින් නන්නාඳුනන ගමකට එක පාරටම ඇතුළු වෙන්න තිබුණු භය නිසාදෝ කැලේ තිබෙන අල වර්ග, පළතුරු ආදිය ආහාරයට ගනිමින් ටික කාලයක් කැලේ ජීවත් වුණා.

යම් යම් කටයුතු සඳහා වනාන්තරයට ඇතුළුවන මිනිස්සු බාහියව දැකලා, දර පතුරුවලින් ඇඳුමක් හදාගෙන වනාන්තරයට වෙලා හුදෙකලාව ජීවත් වන මේ පුද්ගලයා නම්, සාමාන්‍ය කෙනෙක් නොවෙයි, රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා දාන මාන රැගෙන විත් පුද සත්කාර කරන්න පටන් ගත්තා. ඔය අතරේ දර පතුරු ඇඳගෙන හිටපු බාහිය දාරුචීරියටත් හිතුනා, මේ ලෝකයේ රහතුන් වැඩ සිටිනවා නම්, මමත් ඒ අය අතර එක්කෙනෙක් වෙන්න ඇති කියලා. වංචනික ලෙස රහතන් වහන්සේ නමක හැටියට බොරුවට රඟපාමින් මිනිසුන් මුළා කරන්න පටන් ගත්තා.

බාහිය දාරුචීරියට අනුකම්පා කරපු එක්තරා දෙවි කෙනෙක් දාරුචීරිය ඉදිරියේ පෙනී සිට කියා හිටියා, “බාහිය නුඹ රහත් ;කනෙක් නෙවෙයි. නුඹ රහත් වන මාර්ගයටවත් පැමිණිච්ච කෙනෙක් නොවෙයි” කියලා. අන්න ඒ වෙලාවේදී කම්පාවට පත්වෙච්ච බාහිය දාරුචීරිය, “මේ ලෝකයේ රහතන් වහන්සේලා වැඩ සිටිනවා ද? උන්වහන්සේලා වැඩසිටින්නේ කොහේ ද? “ කියලා ඇහුවා. ඒ දෙවි කෙනා දාරුචීරියට පිළිතුරු දුන්නා, “බාහිය, රහතුන් පමණක් නෙවෙයි, රහත් වන මාර්ගයත් ලෝකයට පෙන්වලා දෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් දැන් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ වැඩ සිටින්නේ, උතුරු ජනපදයේ සැවැත් නුවර කියන නගරයේ. අන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කොට අරහත්වයට පත්වීම පිණිස ධර්මය දේශනා කරනවා” කියලා.

මේ පණිවිඩය ඇහුණට පස්සේ බාහිය දාරුචීරියට ඉවසුම් නැතිව ගියා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සුප්පාරක පටුන කියන ප්‍රදේශයේ ඉඳන් උතුරු ප්‍රදේශයේ සැවැත්නුවර දක්වා කිලෝ මීටර් දහසකටත් වඩා වැඩි දුරක් පයින් දුවන්න පටන් ගත්තා. දවස් ගණනක් දුවගෙන දුවගෙන සැවැත්නුවර හොයාගෙන බාහිය දාරුචීරිය ජේතවනාරාමයට පැමිණියා. එදා උදෑසන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සැවැත්නුවර ජේතවනාරාමයේ එළිමහන් භූමියේ සක්මන් කරමින් සිටියා. දුවගෙන දුවගෙන ආපු බාහිය දාරුචීරිය. “අනේ ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටිනව ද? උන්වහන්සේ වැඩසිටින්නේ කොහේ ද?” කියලා ඇහුවා.

ඒ වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස නගරයට වැඩම කරලයි හිටියේ. ඒ බව දැනගත්ත බාහිය, නගරයේ වීදියක්, වීදියක් පාසා බුදුරජාණන් වහන්සේව සොයමින් දුවගෙන ගියා. සොයමින් යද්දි ශාන්ත ඉඳුරන්ගෙන් යුතුව පාත්‍රයක් අතින් දරාගෙන පිණ්ඩපාතය වඩින බුදුරජාණන් වහන්සේව දකින්නට ලැබුණා. දුටු සැණින් දාරුචීරිය හඳුනගත්තා, මේ නම් ඒකාන්තයෙන්ම නිවන් මඟ පෙන්වා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේම තමයි කියලා.

මහ මඟ විවර වූ දහම් ගඟ...

බාහිය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා පාමුල වැඳ වැටී, “අනේ ස්වාමීනි, මට බොහෝ කාලයක් හිත සුව පිණිස ධර්මය දේශනා කරන සේක්වා! සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා!” කියල ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරියට වදාළා, “බාහිය, මේ පිණ්ඩපාතය කරන වෙලාවයි. බණ කියන වෙලාව නොවෙයි. ටිකක් ඉවසලා ඉන්න” කියලා. එතකොට පින්වතුනි, දාරුචීරිය කියනවා, “අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ජීවිතයට අනතුරක් වෙයි ද කවුද දන්නේ?, මගේ ජීවිතයට අනතුරක් වෙයිද කවුද දන්නේ? ඒ නිසා මට අවබෝධය පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන සේක්වා!” කියලා. දෙවැනි වතාවෙදීත් බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය මේ බණ කියන වෙලාව නෙවෙයි, තථාගතයන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාව යි” කියලා. දාරුචීරිය, තුන්වන වතාවෙදීත් ඒ විදිහටම පෙරැත්ත කරමින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන්න කියල ඉල්ලා හිටියා.

තුන්වැනි වතාවෙදි බුදුරජාණන් වහන්සේ දාරුචීරියගේ කර්මයේ ස්වභාවය ගැනත් ධර්මය අවබෝධ කිරීමේ හේතු සම්පත් ගැනත් බුදු නුවණින් විමසලා බැලුවා. බාහිය දාරුචීරියට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික වෙලාවයි. නමුත් ඔහුට කෙටියෙන් ධර්මය පැවසුවත්, ඒ ධර්මය විස්තරාත්මකව අවබෝධ කරගැනීමට තරම් කුසලතාවයක් ඇති කෙනෙක්. පිණ්ඩපාතය වඩින අතරතුර පාත්තරය අතේ දරාගෙන තමන් ඉදිරියේ වැඳ වැටී සිටින දාරුචීරියට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මය දේශනා කළා.

සංක්‍ෂිප්ත කොට වදාළ නිවන් මඟ...

බුදුරජාණන් වහන්සේ වදාළා, බාහිය, ඔබ මේ විදිහට හික්මෙන්න ඕන. “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤානෙ විඤ්ඤානමත්තං භවිස්සතී’ති”

“දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි, සිතුවොත් සිතුවා පමණයි” කියලා.

දැක්කොත් දැක්කා පමණයි කියන්නේ, ඇසින් දකින රූප මුල් වෙලා රාග, ද්වේෂ , මෝහ ආදී කෙලෙස් හටගන්න පුළුවන්. කෙලෙස් හටගන්න රූපයන්ගේ නිමිති සටහන් හෝ නිමිත්තක කොටසක් හෝ මතක තියාගෙන අයෝනි සෝ මනසිකාරයන් සිහිකිරීම තුළ තමයි, යළි යළිත් සිත තුළ කෙලෙස් ඇතිවෙන්නෙ. සම්පජානයෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණකින් කටයුතු කරන ශ්‍රාවකයෙකු හට ඇසින් රූපයක් දැක්කට පස්සේ කෙලෙස් හටගන්න නිමිති සටහන් මතක තියාගන්නෙ නැතුව,”දැක්කොත් දැක්කා පමණයි” කියලා ඒ ඒ තැනම සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම තමයි, පි‍්‍රය මනාප කෙලෙස් හටගන්න ශබ්දයක් කනින් ඇසුණට පස්සේ එහි නිමිති සටහන් මතක තබාගෙන අයෝනි සෝමනසිකාරයෙන් යුතුව සිහිකිරීම නිසා සිත තුළ නූපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වර්ධනය වෙනවා. කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් වාසය කරන ආර්ය ශ්‍රාවකයෙකුට “ඇසුණොත් ඇසුණා පමණ යි” කියලා සම්පජාන විදර්ශනාව තුළින් ඒ ඒ තැනම කනින් අසන ශබ්ද හරහා සිත තුළ ඇතිවිය හැකි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්.

ආයතන හය ඉදිරිපිට සිහිනුවණ...

නාසයට දැනෙන ගඳ සුවඳ හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. දිවට දැනෙන රසය හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. කයට දැනෙන පහස හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියාගන්නවා. අයෝනි සෝමනසිකාරයෙන් යුතුව, එම නිමිති සටහන් සිහිකිරීම නිසා නූපන් කෙලෙස් සිත තුළ උපදිනවා. උපන්නා වූ කෙලෙස් ඇත්නම් ඒවා තව තවත් වර්ධනය වෙනවා. “දැනුණොත් දැනුණා පමණ යි” කියලා නාසයට දැනෙන ගද, සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ආදිය හරහා සිතට ඇතුළු විය හැකි කෙලෙස් සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව ඒ ඒ තැනම ප්‍රහාණය කරන්න පුළුවන්.

ඒ වගේම තමයි, කෙලෙස් හටගන්න සිතුවිලි අපි සිතින් සිත සිතා, කොයිතරම් නම් නූපන් කෙලෙස් සිත තුළ උපද්දව ගන්නවා ද? උපන්නා වූ කෙලෙස් කොයිතරම් නම් අපේ සිත තුළ අයෝනි සෝමනසිකාරයෙන් යුතුව වර්ධනය කරගන්නවා ද? “සිතුවොත් සිතුවා පමණයි” කියලා සිතේ හටගන්න සිතුවිලි මුල් කරගෙන සිත තුළ කෙලෙස් ඇතිවෙන්න ඉඩ නොදී කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සම්පජාන විදර්ශනාවෙන් වාසය කිරීම තුළ සිතේ හටගන්න යම් අකුසල ධර්මයන් ඇද්ද, ඒවා ඒ ඒ මොහොතේදී ම ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

නොපිහිටි විඤ්ඤාණය නිරුද්ධ වීම...

බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය ඔබ “දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි,සිතුවොත් සිතුවා පමණයි” කියලා. ඒ ඒ මොහොතේදී ම ඔබේ හිතේ හටගන්නා ළාමක අකුසල ධර්මයන් සියල්ල ප්‍රහාණය කළොත්, තතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ එතන බැඳී නැත. යතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ වෙන තැනක ද බැඳී නැත. තතො Àවං බාහිය තත්‍ථ,යතො ත්වං බාහියන තත්‍ථ, තතො Àවං බාහිය තෙවිධ, න හුරං, න උභයමනතරෙ එසෙවනෙතා, දුක්ඛස්සා ති” බාහිය, ඔබ එතැන බැඳිල නැත්නම්, වෙන තැනකද බැඳිල නැත්නම්, ඒ අතර ද ඔබ බැඳිල නැහැ. එවිට ඔබ මෙලොව පරලොව කිසි තැනක නොපිහිටි සිතින් යුතුව සියලු දුක් කෙළවර කරනවා කියලා.

මෙන්න මේ ආකාරයට කෙටියෙන් ධර්මය දේශනා කර බුදුරජාණන් වහන්සේ පාත්තරේ අතැ’තිව පිණ්ඩපාතය පිණිස ඉදිරියට වැඩම කළා. බාහිය දාරුචීරිය මහ පාර අයිනේ දණ ගහගෙන ඒ ධර්මය නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය හා ගළපා බලමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අරහත්වයට පත්වුණා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි බව ලබාදෙන සේක්වා!"

"පින්වත් බාහිය, පැවිදි වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු තියෙනවාද?"

"ස්වාමීනි, මං එහෙනම් පාත්‍රා සිවුරු සොයාගෙන එන්නම්" කියලා බාහිය දාරුචීරිය රහතන් වහන්සේ පිටත් වුණා.බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩියා.

බාහිය දාරුචීරිය රහතන් වහන්සේට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ.යක්ෂාවේශ වූ එක්තරා ගවදෙනක් උන්වහන්සේ පිටුපසින් වේගයෙන් දුවගෙන ඇවිත් ඇනගෙන ගියා.උන්වහන්සේ එතනම වැටුණා.සසරේ සියලු දුක් නිමා කොට පිරිනිවන් පෑවා.

බුදුරජාණන් වහන්සේට මේ බාහිය දාරුචීරියගේ හදිසි අනතුර ගැන සැලවුණා.උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග ඒ ස්ථානය වැඩම කළා.බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ මෘත ශරීරය කසළ ගොඩක් අසළ මුණින් අතට පෙරළී තිබුණා.

"පින්වත් මහණෙනි, මේ සිරුර ඇඳකට නංවා ගන්න.නගරයෙන් බැහැරට ගෙන ගොස් ආදාහනය කරන්න.ඒ අළු තැන්පත් කොට ස්ථූපයක් හදන්න."

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ මෘත ශරීරය රැගෙන ගොස් ආදාහනය කළා.කුඩා ස්ථූපයක් තැනුවා.මල් පූජා කළා.බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්.අද තමයි එයා මෙහෙ ආවේ.සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමග සුළු වෙලාවක් මොහු කතා කළ බව.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?"

"පින්වත් මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුටයි අයිති වුණේ.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ.සැණෙකින් ධර්මය අවබෝධ කළා.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය තමයි වහා ධර්මාවබෝධ කළ මාගේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ."

භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් වුණා."අද උදේ තමයි මොහු ඉතා දුර බැහැර සිට සැවැත් නුවරට ආවේ.හරි පුදුමයි.කොයි වෙලාවෙද මොහු බණ ඇහුවේ...? අපි දැක්කේ නෑ....හැබැයි සමහර භික්ෂූන් දැක තියෙනවා මොහු පාරේ වඩින භාග්‍යවතුන් වහනේ ළඟ වැඳ වැටී සුළු මොහොතක් කතා කරන අයුරු.එතකොට ඒ සුළු වෙලාවෙදි අරහත්වයට පත්වීමට තරම් ධර්මයක් කොහොමද මොහු ඇහුවේ?"

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

සහස්සම්පි චේ ගාථා - අනත්ථපදසංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

දහසක් ගාථා කිව්වත් හැඩකොට
පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් ගාථාවක් මැනවින් ඇසුවිට
අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා විට එලෙසට
උතුම්ය එක් ගාථාවක් එම

ධම්ම පදයේ තිබෙන සෑම ගාථාවකම ඒ උතුම් බව තියෙනවා. කොතරම් ලස්සනට ගාථා හැදුවත්, කොතරම් මිහිරි හඬින් ඒවා ගායනා කළත්, අර්ථයක් නැත්නම් ඒ ගාථාවලින් පලක් නෑ.බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවල ජීවිතය අවබෝධ කරවීමේ හැකියාව තියෙනවා.ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරා ගාථාවල ඇති වටිනාකම පෙන්වා දුන්නා.එය ඇසූ බොහෝ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වුණා.

10/13/20

ඔබවහන්සේගේ ධර්මය මට සරලව කියා දෙන්න



මානවකය : බුදු හිමියනි. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

බුදුරජාණන් වහන්සේ : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

මානවකය : ඔව්, ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඔව්. ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

මානවකය : ඉන්නවනේ හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

මානවකය : එසේය හිමියනි.

බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.

බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

මානවකය : ඔවුනේ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

මානවකය : නෑ ස්වාමීනි.

බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

ඔබට දැන් වැටහුනා නේද .... ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්.. ඔබත් මේ මහත් දිගූ සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත්
අතර වෙනසක් නැත්තේමය....