4/6/15

කර්ම චක්‍රයෙන් - ධර්ම චක්‍රයට


ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත...
... මේ ලිපිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ මට ඔබ වහන්සේගෙන් ඇසිය යුතු වැදගත් කාරණාවක් නිසාය. මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්ණ වල දී පාලනය කර ගත නොහැකි කෝපජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති, දඩබ්බර ගැහැණියක් මෙන් මුර ගාමි. මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාව ම එපා වේ. එහෙත් ඉතා ඉක්මණින් යළිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යළි ප්‍රභාවත් වේ. මට සිද්ධිය ද අමතක වේ. මෙය හරියට නිශ්චල ජල තටාකයක, උඩින් හමා යන සුළං පහරක් වැනිය. සුළං පහරට කැළඹෙන ජලය සුළං පහර හමා ගිය පසු යළි නිසල වේ. කැළඹීම ගැඹුරු නැත.
මෙය මට බලනොපෑවාට, මා අවට අයට තදින් බලපායි. ‍මා මෙන් මෙය ඉක්මණින් අවසන් කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්තිද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පත් වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනාය.
ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මෙවන් සිද්ධිවලින් පසු ප්‍රබලව මට ඒ සිද්ධිය විස්තර කිරීමට හැක. මගේ දුර්වලතාවය හොඳින් පෙනේ. දුර්වලතාවය මතු වූ අන්දම ද පෙනේ. එයට පැටළුණු අයගේ දුර්වලතා ද පෙනේ. මා පාලනය කර ගන්නට තිබුණා නේද කියා සිතේ. ඒත් යළි යළිත් මම මේ වැරදි දේ කරමි. එය දැන් පුරුද්දක් මෙන් මතු වේ. වරකට මට මෙය පිටස්තර බලවේගයක් ද කියා ද සිතේ. පිටස්තර බලවේගයක් වූවත් එයට අසු වෙනවා නම් එය මාගේ දුර්වලතාවයකි. ‍
මේ පැහැදිලි කිරීමට තවත් අතුරු කතාවක් මා ඔබ වහන්සේට කිව යුතු ය. ස්වාමීන් වහන්ස, දොළොස් දහසක් වර්ෂයන් ඈතට මට පසුගිය ආත්ම පෙනේ. සියලුම ආත්ම නොව මේ ආත්මයට බලපාන කුසල අකුසල කර්ම කළ ආත්මයන් ය. ඉන් ඉතා ප්‍රබලව බලපාන ආත්ම තුනකි.
1. වසර දොළොස් දහසකට පෙර අත්ලාන්තික් සාග‍රයේ තිබූ ඉසුරුමත් රාජ්‍යයක රාජ කුමරියක් වූ ආත්මය.
2. ඉන් අනතුරුව ලංකා පුරයේ (ලක්දිව) ඉතාම නැණවත්, රූමත්, පිරිමියෙකු ලෙස, දැඩි ප්‍රතාපයෙන් යුත් තේජවන්ත රජ කුමරියක වූ ආත්මය.
3. දෙවන පෑතිස් රජු කල අනුලා බිසවගේ පාරිචාරිකාවක ලෙස සිට ඇය හා මහණව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මහණ දම් පිරූ ආත්මය (මේ කුසලය බොහෝ කලකට බලපායි. සසර හරි මඟට ගෙන යන්නේ මේ කුසලය මතුපිට එන කුසල චිත්තයන් යැයි මට වැටහේ)
මේ ආත්මයේ මම 18 වසරක් තිස්සේ, අන්ත කටුක මානසික පීඩා කරදර මැද හිරකාරියක සේ අප්‍රමාණ වද වේදනා විඳිමින් සිටිය ද, හැම දේකම වැරැද්ද, ප්‍රසිද්ධ අවමානය, තනිවීම, සමච්චලයට ලක් වීම වැනි දේට මුහුණ දුනිමි. මේ, ලංකා පුරයේ රජ කුමරියක වී සිටියදී කළ බරපතල පාපකර්මයේ අවසාන පියවරයි. ඒ කර්මය මා ගෙවා නිම කල ද, තවමත් ටිකක් තිබේ. ගිනි පුපුරු නිවී ගිය ද ඇති උණුසුම මෙනි. මෙහි අන්ත දුක දකුණු ඉන්දි‍යාවේ දේවාලයක දේවදාසියකව ගෙව්වෙමි. එය තිරිසනෙකු සේ වද වින්ද ආත්මයකි. මම අන් ස්ත්‍රියකගේ පුරුෂයාට ලොල්ව, පලි ගැනීමක් වශයෙන් මාගේ රාජ බලය ද, දැඩි ප්‍රතාපය ද යොදවා, ‍මාගේ ‍සහෝදරයා ලවා (අප සමපාලකයෝ වීමු) යට කී පතිභක්තිමත්, සියුමැලි, රූමක් කාන්තාව සිරකාරියක කළෙමි. ඈ බලවත් සේ කම්පාව, තනි ව, භීතියෙන් වද වින්දා ය. ඈට වද දීම (මානසික වධ), මට විනෝදයක් විය. ඈ මේ නිසා සමාජයේ අවමානයට ලක් වූවාය. සැමියා ඇයට ම පරිභව කර ඈ නෙරපා දැමීය. ඈ එවිට ගැබ්බරව සිටියා ය. තනිව ඒ දුක අවමානය ද වින්දා ය. අසරණව මිය ගියා ය.
මම යස රඟට මේ ආත්මයේ ඒ කර්මයේ ශේෂය ගෙවූයෙමි. තනි වීමි. නින්දා ලැබීමි. සැමියා විසින් ද, ඔහුගේ වර්ගයා විසින් ද දරුණු ලෙස පරිභව කරනු ලැබීමි. දරුවන් හා තනිව දුක් ‍වින්දෙමි. නොකළ වැරදි වලට සමා‍ජයේ ගර්හාවට ලක් වීමි. ප්‍රකටව ම පරිභව ලැබීමි. හිරකාරියක වීමි. දරුවන් හා තනිව සිටිමි (සැමියා මා පලවා හැරියේ ය).
මේ දුක් පීඩා එන විට මම කුසල බලය (සිල් රැකීමේ බලය) මතු වීමෙන් මෙයට හේතුව සොයන්නට වීමි. බෞද්ධ දර්ශනයේ ගැඹුර සෙවීමටත්, සත්‍යය සොයමින් යෑමටත්, කියවීමටත්, පින් දම් කිරීමටත්, ධර්මයට ඇලීමටත් පුරුදු වීමි. මාගේ මනැස ද, නැණැස ද ඇරුණේ ය. කර්ම වේගය කෙතරම් බරපතල ලෙස ගෙව්වත් අද මට ඒ ශේෂයක්වත් මනස් පීඩාවක් නැත. දුක් පීඩා මතක නැත. කිසිම වේදනාවක් නැත.
අත්ලාන්තික් සාග‍රයේ රාජ කුමරියක වූ මාගේ නම ‘ඇනීහා’ විය. අවුරුදු 14 දී වෛද්‍ය පූජකවරියක ලෙස පූජකාරාමයට ඇතුළු කරන ලදී. නිල් මහනෙල් තටාකයක් ඉදිරියේ දී කසිණයක් පුහුණු වීමට මට සිදු විය. මට නිල් කසිණ පුහුණු කළෙ, ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ගේ තුවාල සනීප කිරීමට හා වේදනාව නැති කිරීමට මගේ මනසින් ‘නිල් ආලෝක ධාරා’ නිකුත් කිරීමට ය. ඒ යුගයේ වෛද්‍ය විද්‍යාව, මානසික බලය හා සම්බන්ධව කෙරුණේ ය. නිල් ආලෝක ධාරා නිකුත් කිරීමට මට විශේෂ බලයක් තිබුණු බැව්, අධිමානසික බල තිබූ පූජකවරු දැන ගත්හ. එහෙත් පුහුණු වූයේ අවුරුදු 4 ක් පමණි. මට අවුරුදු 18 දී පූජකාරාමයෙන් ද, රටින් ද පැන ගියෙමි.
මේ ආත්මයේ මට නිල් පාට දුටු විටම සිත පහන් වේ. එකඟ වේ. ප්‍රභාමත් වේ. උද්වේගයෙන් පිම්බී යයි. සිත ශාන්ත වේ. නිවේ. නිල් මහනෙල් මල මට ඉතා ප්‍රිය ය. අහස් නිල ඉතා ප්‍රිය ය.
මේ ආත්ම තුන මා දැක්වූයේ, ඒ මේ ආත්මයට ඉතා සම්බන්ධ බැවිනි.
1. මට මතුවන ‘කෝප පිස්සුව’ මගේ අකුසල කර්මයේ කොටසක් ද?
2. නීල කසිණය යළි වැඩීමෙන් මගේ සිත නිවා ගත හැකි ද?
බොහෝ දේ ලිවීම ඔබ වහන්සේට මහත් කරදර බව දනිමි. කරදර කරනවාට දෙපා නැමැද සමාව ඉල්ලමි.
ප.ලි.
පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. තවත් ළඟින් සිටින කොටසක් පරම හතුරෝ ය. මට මේ දෙකොටසම කෙරේ ඇත්තේ, එකම හැඟීමකි.
මේ හැර මේ සංඥා තලයට අයත් නැති නොපෙණෙන කල්‍යාණ මිත්‍රයෝ සිටිති. ඇතැම් ආත්ම (මට මතකයට නොඑන) ගැන ඔවුහු මට කියති. අවුරුදු දොළොස් දහසකට පෙර මා චාතුර්මහාරාජික දෙව්ලොවේ සිට පොළෝ තලයට ආ බවත්, යළිත් මේ ආත්මයෙන් පසු එහි එන බවත් මට දන්වා ඇත.
ඉදිරියේ ඇති ආත්ම දෙකක් මට පෙනේ. එකක් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (ශල්‍ය) ලෙස උපත ලැබීම. ඉන්පසු ආත්මය මහණ දම් පිරීම. මේ ආත්ම දෙක ම පිරිමි ආත්ම ය. ප්‍රබල කුසල බලපාන ආත්මයන් ය. මේ ආත්මයත්, ඊළඟ ආත්මයත් අතර ලොකු පරතරයක් පෙනුන ද, ඒ කා‍ලයේ මා ඉන්නේ කොහේ ද කියා මට නොපෙනුනේ ය. දැන් මට දන්වා ඇති පරිදි ඒ චාතුර්මහාරාජිකයේ ය. මනස ඉතා පැහැදිලි විට ඔවුහු මට කතා කරති.
මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ. තව වසර දහයකින් මට ඒ ග්‍රහලොවට මට එන්නට පවා හැකි වේ යැයි, ඔවුහු මට කියති. අධිමානසික තරංග මත ගමන් කිරීමේ ශක්තිය මේ ග්‍රහ ලොවේ වැසියන්ට තිබේ. ඔවුහු විද්‍යා ඥානයෙන් ද, මානසික බලයෙන් ද අති ප්‍රබල ය. මනැස් සංඥාවෙන් කතා කරති. මේ කල්පයේ වැදගත් සිදු වීම් ඔවුන් ‘ටෙලිවිෂන්’ සේ චිත්‍රගත කර ඇත. ඒ අතර ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඇතැම් කොටස් එහි ඇත.
මේ ගැන සෙවූ මට තාරකා විද්‍යාඥයින් මේ තරු පොකුරේ සෞර ග්‍රහ මණ්ඩලයක් තිබෙන බව සැක කරන බව තාරකා විද්‍යා පොත්වල දක්නට ලැබුණි. විද්‍යාඥයින් සැක පහළ කරන්නේ තර්කානුකූලව ඔප්පු කළ සාධක ඇත්නම් පමණි. හේතු ඇත්නම් පමණි.
මම ද මේ ගැන විමසිලිමත් වෙමි. ඔවුන් ආශ්‍රයට සුදුසු ප්‍රබල මනස් ඇතියවුන් බැවින් ඒ මට මහත් ප්‍රීතියකි. පසුගිය කාලයේ මාස හතරක් තිස්සේ මේ සංඥා මට ලැබුණේ ය. දැන් ඒවා නැවතී ඇත. මගේ කර්ම වේගය හීන වී, මගේ මනැස පැහැදිලි වන තෙක් මට සංඥා දීමට ඔවුන් බලා සිට ඇත.
මේ සියල්ල මට අරුම විශේෂ සිද්ධීන් ලෙස නොදැනේ. මේ සංසාරය විහිදී යන දුර පමණක් පැහැදිලි වේ. දැන් මහ පොළොවේ සිටියත්, එන ආත්මයේ චාතුර්මහාරාජිකයේ උපන්නත් මට එක සේ දැනේ. විශේෂ ප්‍රීතියක් නැත. මේ සියල්ල මනස නම් මායාමය බලවේගය මවන මායාවන් නොවේ ද?
ම‍ගේ එකම අධ්‍යාශයත්, උවමනාවත් සර්වඥතා ඥාණය ප්‍රත්‍යාක්ෂ කිරීම පමණි. මේ මගේ අන්තිම ස්ත්‍රී ආත්මය යි. සසර බරපතල පව් මම මේ ආත්මයේ දී ගෙවා නිම කරමි. ඉන්පසු සසර ඉදිරි මග පැහැදිලි විසල් ඍජු ගමන් මගක් ලෙස මට දැනේ. බාධක කිසිත් නැත. මගේ සිත පැහැදිලි අහසක් මෙන් විශාලව පැතිරී යයි. සියල්ල එක නිමේෂයකට එක්වර මම දකිමි. ඉන්පසු සිත වැසී යළිත් නිශ්චල වෙයි. මෙය ඉතා ප්‍රබලව දැන් මට දැනේ.
මේ ගමන් මගට සුදුසු ධර්ම දානය දෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සසර මේ සන්ධිස්ථාන‍යේ දී මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ ම විය යුතු ය.
මේ දීර්ඝ ලිපිය ලියා ඔබ වහන්සේට කරදර කරනවාට දහස් වරක් සමාය ඇයැදිමි.
ප.ලි.
මේ ලිපිය ලියූ පසු මට කරුණක් නිරවුල් විය. කෝප පිස්සුව බරපතල කර්මය කළ ආත්මයේ තිබූ චරිත ලක්ෂණයකි. එය අද මට මා කෙරේ ම නින්දා පමුණුවන, ගර්හාවට ලක් කෙරෙන ආයුධයක් විය. කර්ම පල දෙන හැටි! දැන් මා මෙයට ප්‍රතිවිරුද්ධව නැගී කර්ම වේගය සිඳිය යුතු ය. එය කරන්නෙ කෙසේ ද? මෙය මතුවන්නේ මා නොසිතූ විට ය. හදිසි කුණාටුවක් මෙනි.
සසර ගමනේ මගේ ස්ත්‍රී භාවය නිමා වූ අන්දම ඔබවහ‍න්සේ හමු වූ විටෙක කියමි. එය කර්ම‍ වේගය පිළිබ ඳ විචිත්‍ර කතාවකි.
-----------------
මෙය කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේට ලැබුණු ලිපියකි. මේ උතුම් කත තවමත් ජීවතුන් අතර සිටියත්, චාතුර්මහාරාජිකයේ සිටියත් ඇයට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරමු. මේ උතුම් බුද්ධෝත්පාද කාලය අප්‍රමාදීව ගෙවන්නට සියලු දෙනාට මේ කථාව දහම් පඬුරක් වේවා !!