'ඇස ඇති කල්හි' - 03 කොටස
මේ අල්ලාගන්න එක, රැස්කරන එක මොකක් ද කියලා හොඳට බලාගන්න. ඇහැ, කන, දිව, නාසය, ශරීරය මෙන්න මේ ටික. හටගෙන නිරුද්ධ වෙන දේ අල්ලාගත්තහම ඒවා ඇති බවක තියෙනවා. මේ විදියට ස්පර්ශ ආයතන හයට ම යම් යම් අරමුණක් ඇති වුනොත්, ඒ හැම අරමුණක් ම ඒ ඒ හේතු ගැටුන නිසා පෙර නොතිබීම අවස්ථාවටයි ඒ ඒ ස්කන්ධ උපදින්නෙ. හේතු ටික නැතිවෙනකොට ම ඒ ස්කන්ධයෝ නැතිවෙනවා. ඒක තමයි ඇත්ත. නමුත් ඒ ඇත්ත ජීවිතය නොවුනොත් එයාට ඉතුරු වෙන්නෙ හටගත්ත ධර්මය තියෙන දෙයක් විදියට - තියෙන දේ පෙනෙනවා. පෙනුන දේ තියෙනවා තියෙන දේ ඇහෙනවා. ඇහුන දේ තියෙනවා. කියලා ඇති බවක මනස පිහිටනවා. මේ ස්පර්ශ ආයතන හය ඇතිබවක මනස පිහිටියා ම තමයි මාර හෝ මාර ප‍්‍රඥප්තිය. සත්ව හෝ සත්ව ප‍්‍රඥප්තිය. ජරා මරණ දුක ඔක්කොම.
දැන් ස්පර්ශ ආයතන හය ඇති බවක පිහිටන්න හේතුව මොකක් ද? ඒ ස්පර්ශ ආයතනය උපදින වෙලාවේ දී, ස්පර්ශ ආයතනයෙ යථා ස්වභාවය නුවණට හසු නොවී අභිනන්දති, අභිවඩති, අජ්ෙඣාසාය තිට්ඨති, ඒ අරමුණේ සතුටු වෙයි නම්, සතුටු බවේ ගුණ කියයි නම් ඒ අරමුණේ බැසගෙන සිටී නම්, ඒකයි හේතුව. ඇහැට රූපයක් පෙනෙනකොට, මං හැමදාම මතක් කරලා තියෙනවා - රූපය කියන තැනින් නියෝජනය වෙනකොට එතන ඇහැත් තියෙනවා, චක්ඛු විඤ්ඤාණයත් තියෙනවා, චක්ඛු සම්ඵස්සයත් තියෙනවා, චක්ඛු සම්ඵස්සයෙන් උපන්න සියළු ම ධමතා ටික නියෝජනය වෙලයි රූපය පෙනෙන්නෙ. යම් තැනක රූපය තිබුනොත් එකල්හි ඇහැත්, චක්ඛු විඤ්ඤාණයත් තියෙනවා යන ගණයට යනවා. පෙනෙන අරමුණ නැතිවුනොත් ඇහැත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, චක්ඛු සම්ඵස්සයත් නැහැයි යන ගණයට යනවා.
පෙනෙන අරමුණේ සතුටු වුනොත්, සතුටු බවේ ගුණ කිවුවොත්, පෙනෙන අරමුණට බැසගෙන සිටියොත් එයා ඇහැටත් සතුටු වෙලා ඇහෙත් ගුණ කියලා ඇහැටත් බැසගෙන ඉන්නවා. එයා චක්ඛු විඤ්ඤාණයේ සතුටු වෙලා, චක්ඛු විඤ්ඤාණයෙ ගුණ කියලා, චක්ඛු විඤ්ඤාණයෙ බැසගෙන ඉන්නවා යන ගණයට යනවා. දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි කියන එක වෙනුවට ඇතිබව එළඹ සිටින්න හේතුව තමයි, පෙනෙන අවස්ථාවේ දී ඒ රූපය ඇත්ත කරගෙන, රූපය ඇත්ත වෙලා ඒකෙදි සතුටු වෙනවා නම් ඇලීමක් හෝ ගැටීමක් ඇතිවෙනවා නම් නැත්නම් ඇත්ත හෝ නොදකිනවා නම් - එක පරියායකින් ගත්තොත් රාග, ද්වේශ, මෝහ - තව පැත්තකින් ගත්තොත් අජ්ෙඣාසාය තිට්ඨති, අනෙක් අවශේෂ කෙලේස පැත්තකින් තැබේවා අජ්ෙඣාසාය තිට්ඨති කියන්නෙ බැසගෙන පවතී නම්, පෙනෙන රූපයට නැඹුරු වෙලා මෙහෙම ඉදිරියෙන් රූපයක් තියෙන්නෙ කියලා බැලූවා නම් ඇති. ඒක පිළිගත්තා නම් ඇති. හිතෙන් හොඳට මේ වණ_ සටහන අල්ලාගෙන හිටියා නම් ඒ ඇති. වෙන මුකුත් කරන්න ඕන නෑ. රූපය පරිහරණය කළා නම් ඇති. රූපය පරිහරණය කරනවා කියන්නෙ බලනවා කියන එක. ඇත්ත නොදන්නාකම නිසයි රූපය ඇත්ත වෙන්නෙ. රූපය ඇත්ත වුන නිසයි එහෙම පරිහරණය කරන්නෙ. එහෙම කළොත් ඒකෙ තියෙන ලක්ෂණය තමයි හටගෙන නිරුද්ධ වෙනවා වෙනුවට උපන්න දේ ඇතිබවක පවත්වනවා මනස. ඔන්න එතකොට එයාට ඇහැ, රූප,චක්ඛු විඤ්ඤාණ තියෙනවා. තියෙන්න හේතුව අරමුණු ඉපදුන වෙලාවෙදි ඇත්ත නොදැක, ඒ අරමුණු මුලා සහිතව පරිහරණය කිරීම. නැත්නම් ඇලීමෙන්, ගැටීමෙන් පරිහරණය කිරීම, නැත්නම් ඒ අරමුණු ඇත්ත වෙලා අරමුණට නැඹුරු වුන මනසක් පැවැත්වීම. ඔන්න ඕක තමයි හතර ඉරියවුවේ ම පවතින ඇහැක් හැදෙන්න හේතුව.
ඊට පස්සෙ හටගෙන නිරුද්ධ වෙන ශබ්දය, හටගෙන නිරුද්ධ වෙනවා වෙනුවට, ඇති බවක එළඹ සිටින්නෙ ඉ`දගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙම පරිහරණය කරන කනක් තියෙනවා යන ගණයට යන්නෙ, ශබ්දය අහන වෙලාවේ දී ඒ ශබ්දයෙ ඇත්ත නොදැන ඒ ශබ්දය අභිනන්දති, අභිවඩති, අජ්ෙඣාසාය තිට්ඨති. ඒ ශබ්දයෙ සතුටු වෙනවා නම්, ඒකෙ ගුණ කියයි නම්, ඒකට බැසගෙන හෝ පවතී නම්, ඒක ඇත්ත වේ නම්, එයාට බැනුමක් ම වෙනවා. ගුණ වචනයක් ම වෙනවා. ඇත්ත වුනාම ඒ වචනෙ ඇත්තමයි එතකොට දුක එන්න එයාට බැනපු දෙයක් හෝ සැප එන්න සතුටුවෙන වචනයක් හෝ වෙනවා, ඒ වචනෙ. ඒ වචන ඇත්ත වෙච්ච මනසකට තමයි හැමවෙලේ ම ඇලීම්, ගැටීම් දෙක එන්නෙ. රූපය ඇත්ත වෙච්ච මනසකට තමයි හැම වෙලේ ම ඇලීම් ගැටීම් දෙක එන්නෙ. ඒ රූපයෙ, ශබ්දයෙ යථා භූත ස්වභාවය නොදැකීමයි ඒක ඇත්ත වෙන්න හේතුව. ඇත්ත වෙච්ච නිසයි ඇලීම්, ගැටීම් දෙක එන්නෙ.
මෙන්න මෙබදු මනසක් පැවැත්වීමයි ශබ්දය, සෝත විඤ්ඤාණය, කන කියන ටික ඉතුරු වෙන්න හේතුව. නාසය, දිව, කය කියන ටික දකින්න හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත ඒ ධර්මතා ටික ඇති බවට අපිට එළඹ සිටින්නෙ නාසයට හෝ දිවට හෝ කයට හෝ යම් ස්පර්ශයක් ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය අපිට ඇත්ත වෙන නිසයි. ඇත්ත නොදකින නිසා ස්පර්ශ ආයතනය ඇත්ත වෙනවා. ඇත්ත වෙනකොට ඒ රසයේ ඇලෙනවා. ගැටෙනවා. තිත්ත නම් තිත්තම වෙනවා. ඇඹුල් නම් ඇඹුල් ම වෙනවා. පැණිරස නම් පැණිරස ම වෙනවා. තිත්ත රසට ඇඹුල් රසට ගැටෙනවා. පැණි රසට සතුටු වෙනවා කියලා ඔය කාරණා ටික වෙන්නෙ රසය කියන එක ඇත්ත වෙලා. දුර්ගන්ධයෙ ගැටෙනවා, සුගන්ධයෙ ඇලෙනවා කියන එක වෙන්නෙ ගන්ධය ඇත්ත වෙලා. නොදන්නාකම නිසයි ගන්ධය ඇත්ත වුනේ. ගන්ධය හිතින් පිළිගත්තා.
මුල් අවධියෙ දී කරන්නේ ඒ ස්පර්ශ ආයතනයෙ ඇත්ත නොදකිනවා. දෙවන අදියරේදී ඒක ඇත්ත කරනවා. තුන්වන අදියරේ දී ඒකෙ ඇලෙනවා හෝ ගැටෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට වෙලා තියෙන්නෙ, මෙන්න මේ ස්පර්ශ ආයතන පහේ ඔය විදියට යථාභූත ස්වභාවය නොදන්නාකම නිසා ඒ ස්පර්ශ ආයතනය ඇත්ත වෙලා ඒකෙ ඇලෙමින් ගැටෙමින් පවතින මනසක් තිබුන, පවත්වපු එකේ ලක්ෂණය තමයි නිරුද්ධ වෙන බව වෙනුවට සමුදය - ඇති බව ලබා දීලා තියෙනවා.
එතකොට මේ ඔක්කොම කෙලෙස් ටිකක කෘත්‍යයක් හැටියට දකින්න, ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මට තණ්හාව හේතුයි කියලා. මේ ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙ පවතින කයක් හදාගෙන, හොඳට ගුටිකන්න පුළුවන් මට්ටමක් හදාගෙන තියෙන්නෙ කෙලෙසුන්ගෙන්. හො`දට මතක තියාගන්න. මේ කෙලෙස් නිසා ඇතිවෙන දුක. මේ භවය නිසා ඇතිවෙන දුක. මේ ආශ‍්‍රව නිසා විදින දුකක් මේ තියෙන්නෙ. සත්ව පුද්ගල භාවයෙන් විදින දුක.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් 2013 ඔක්තෝබර් මස 13 වන දින මාතලේ දී කරන ලද ධර්ම දේශනය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!