4/20/15

අසත්පුරුෂයන් හඳුනා ගන්නේ කොහොමද?

’’මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.’’ වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
’’සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද,
’’මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
’’මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයාය.
’’මහණෙනි, සත්පුරුෂයා කවරේද?
’’ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද,
’’මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
’’මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායි.’’