4/20/15

ප්‍රාප්ති දානය හෙවත් පින් දීම

පෙර කාශ්‍යප බුදුන්වහන්සේගේ සස්නෙහි පැවිදිව වෙසෙන කල කළා වූ හැමදීමය, කසළ ඉවත් කිරීමය යන දෙ පිනින් “නාගසේන’’ ස්ථවිරයන් වහන්සේ හා ‘මිළිඳු’ මහරජතුමා ද ලෝක ප්‍රසිද්ධ කීර්ති ඇති මහ නුවණැතියෝ වූහ. මිනිසුන්ගේ ගමනා ගමනයට මාර්ග තැනීම, අම්බලම් තැනීම, ළිං පොකුණු තැනීම, මල් පල හට ගන්නා ගස්වැල් වැවීම යනාදී පින්කම් කළා වූ ‘මඝ’ මානවක තෙමේ ශක්‍රයා විය. ඔහු හා එක්ව ඒ පින්කම් කළා වූ දෙතිස් දෙනා ද මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නෝ ය.
තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නටය. පිළිගන්නටයයි වචනයෙන් කීමෙනි.
තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවලා නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමුහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා. ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමුහයේ නම කියා පින් දීම කළයුතු යි. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැන්තාගේ් පිනට එයින් හානියක් නොවේ.
පැන් වැඩීම
දායකයාගේ අතින් ගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි තවා නොදිය හැකි දෑ දෙන ක්‍රමය අතුරෙන් පැන්වත් කොට දීම ද පෙර පටන් ඳඬසුන් අතර පැවත එන එක් දාන ක්‍රමයෙකි. බිම්සර රජතුමා වේළුවනාරාමය පැන්වත් කිරීමෙන් පූජා කළ බව විනය මහවග්ග පාලියේ දක්වා තිබේ. දෙවන පෑතිස් රජතුමා මහමෙවුුනා උයන පූජා කිරීමේදී ද පැන්වත් කොට පූජා කළ බව විනය අටුවාවේ දක්වා තිබේ.
පින්දීමේ දී පැන් වත් කරනුයේ ඒ පෞරාණික චාරිත්‍රයට අනුව ය. පැරණියෝ ජලය වත්කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූ®හ. මෙකල පැන්වත් කොට පින්දෙනු දක්නට ලැබෙන්නේ මළවුන්ටය. කාහට පින් දීමට වුවද පැන්වත්කළාට වරදක් නැත. මළවුන්ට පින්දීමේ දී වුවද පැන් නො වත් කළාට වන හානියක් ද නැත. එහෙත් එය දීර්ඝ කාලයක් බෞද්ධයන් විසින් කර ගෙන ආ චාරිත්‍රයක් බැවින් පැන් නොවත් කළහොත් පින් නො ලැබෙති යි සිතා මළවුන් පින් අනුමෝදන් නොවුවහොත් ඔවුනට හානියක් විය හැකි බැවින් පෞරාණික චාරිත්‍රය එසේ ම පවත්වා ගෙනයෑම යහපති.
මළවුන්ට පින්දීම
හැකිතාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇතිවීම නිසා පරදත්තුපජීවික පේ‍්‍රත ව උපදිති. ඒ පරදත්තුප ජීවික පේ‍්‍රතයෝ සා පිපාසා සන්සිඳවා ගතහැකි පමණට බත්පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය.
ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍රමය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ පේ‍්‍රතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ් පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් පේ‍්‍රතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිටි එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. පේ‍්‍රතත්වයට පැමිණ සිටින තමාගේ් ඤාතීන්ට සංග්‍රහ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍රමයත් ඔවුන් උදෙසා පින්කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඤාතීන් උදෙසා පින් කොට ඔවුනට පින්අනුමෝදන් කරවති.
ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඤාතීන් හා මිත්‍රයන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මියගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නොසලකා සිටීම අසත්පුරුෂකමෙකි. එබැවින් මියගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සෑම දෙනා විසින් ම පින්දීම කළයුතුය. මියයන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති.
බලාපොරොත්තු වන්නෝ පේ‍්‍රත වූවන් පමණකි. එහෙත් මියගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මියයන සෑම දෙනා ම උදෙසා පින්කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.
පින් අනුමෝදන් වන පරදත්තුප ජීවික පේ‍්‍රතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් පේ‍්‍රතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර ලැබීම සඳහා වස්ත්‍ර ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු අතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතුය. බිම්සර රජතුමා ආහාර පානයෙන් දන් දී දුන් පින අනුමෝදන්වීමෙන් ඥාති පේ‍්‍රතයෝ බත් පැන් ලැබූහ.
එහෙත් හැඳීමට වස්ත්‍ර නො ලැබුවෝ ය. වස්ත්‍ර නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසුදින රජතුමා වස්ත්‍ර දන් දී ඔවුනට පින්දිණ. එයින් ඔවුහු වස්ත්‍ර ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ පේ‍්‍රතයන්ට සියල්ල ම ලබාදීම සඳහා ය.
නො මනා පින් දීමේ ක්‍රමයක්
මළවුනට පින් දෙන්නා වූ ඇතැම්හු ‘අපගේ් ඤාතීහු අභව්‍ය ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින අනුමෝදන් වී ඔවුහු ඉන් චුත ව සුගතියට යෙත්වා’ යි පින් දෙති. ඇතැම් අව්‍යක්ත භික්ෂූන් ද එසේ කිරීමට දායකයනට අනුශාසනය කරනු සමහර තැන්වල දී අසන්නට ලැබේ. එය නො මනා පින්දීමේ ක්‍රමයෙකි. පේ‍්‍රතයන්ට පේ‍්‍රතාත්මයෙන් චුත ව සුගතියට පැමිණෙන්නට පැතීම නොහොත් ඉල්ලීම වරක් මළ අයට නැවතත් මැරෙන්නට පැතීම ය. සකල සත්ත්වයෝ ම ජීවත් වීමට ම කැමැත්තෝ ය.
මැරෙන්නට නො කැමැත්තෝ ය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට පේ‍්‍රතයන් මැරෙන්නට නොව ඒ සිටින සැටියට සිටගෙන සම්පත් ලැබීමට ය. පේ‍්‍රතයන්ට පින්දුන් සැටි දැක්වෙන බොහෝ කථා වස්තුවලින් පෙනෙන්නේ ද පින් අනුමෝදන් වීමෙන් පේ‍්‍රතත්වයෙන් සිට ගෙන ම ඔවුන් සැප සම්පත් ලබන බවය. එ බැවින් පේ‍්‍රතයන්ට පින්දෙන කල්හි ඔවුන් මැරෙන්නට නො පතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක්වේ නම් මේ පින් අනුමෝදන් වී ඔවුහු ඒවා ලබත්වා යි පතා පින්දිය යුතු වේ.
දෙවියන්ට පින්දීම
දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍රහයක් කිරීම මිනිසුන්ගේ් යුතුකමෙකි. දෙවියන්ට සංග්‍රහයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයෙන් දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුව බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින්කළ සෑම අවස්ථාවකදීම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය.
තමන් වළඳා ඉතිරි වූ බත මසුන්ට දී ගංගා දේවතාවාට පින් දුන් බෝසතාණන් වහන්සේට පින්දීම ගැන සතුටු වූ ගංගා දේවතාවා විසින් බෝසතාණන් වහන්සේගේ් ගඟේ වැටුණු මුදල් පොට්ටනිය නැවත ලබාදීමෙන් උපකාර කළ බව මච්චුද්දාන ජාතකයේ දක්වා තිබේ. විස්තර ජාතක පොතෙන් බලනු.
සකල සත්ත්වයන්ට පින්දීම
පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතුය. එසේ කිරීමේදී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.
පින්දෙන ආකාරය
නෑයන්ට
ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො
දෙවියන්ට
එත්තාවතා ච අම්හෙහි
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දෙවානුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා