4/21/15

දන් දීම

—මේ ලෝකෙ මසුරුකම් කරන උදවිය ඉන්නව තමයි. එයාල හරිම ලෝභ තමයි. අනුන්ට අපහසත් කරනවා තමයි. දන් දෙන උදවියට ඒ දන් දීම
කරන්න දෙන්නෙත් නෑ තමයි.
ඉතින් ඒ උදවිය මැරුණට පස්සෙ -
නරකාදියෙ උපදිනවා.
තිරිසන් යෝනියේ උපදිනවා.
යම ලෝකෙට යනවා.
ආයෙමත් මනුස්ස ලෝකෙ ඉපදුනොත්, ගොඩාක් දුප්පත් පවුල්වල තමයි උපදින්නෙ. එතකොට හරි හමං ඇඳුමක් නෑ. කෑම් බීම් නෑ. කිසි සතුටක් නෑ. දුකසේ තමයි ඉන්න වෙන්නෙ.
ඒ උදවිය අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වුනත්, ඔවුන්ට ඒක ලැඛෙන්නෙ නෑ. ඒක තමයි මෙලොවදී ලැඛෙන විපාකය. පරලොවදී ලැඛෙන්නෙත් දුකම තමයි.—
(භාග්‍යවතුන් වහන්සේ)
යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවානම් ඔහු අමෘතය දන් දෙනවා...
--------------------------------------------------------------
මේ ලෝකයේ සද්පුරුෂ නුවණැත්තන් විසින් පණවන ලද කරුණක් තමා දානය කියන්නේ. තමාගේ සැපය උදෙසා තිබෙන යමක් තව කෙනෙකුගේ සැපය සඳහා කැමැත්තෙන් අතහැරීම දන්දීම යි. දන්දීම පින් කිරීමට ඇති ප්‍රතිපදාවක් කියලයි බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ. දානය ගැන උන්වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී තිබෙනවා.
දන් පැන් දුන්නොත් පමණයි බලය දුන්නා වෙන්නේ. වස්ත්‍ර දුන්නොත් තමා හැඩරුව දුන්නා වෙන්නේ. යාන වාහන දුන්නොත් තමයි සැපය දුන්නා වෙන්නේ. ආලෝකය ලබා දුන්නොත් තමයි ඇස් දුන්නා වෙන්නේ. යම්කිසි කෙනෙක් ගෙවල් දොරවල් දෙනවානම් ඔහු හැම දෙයක්ම දුන්නා වෙනවා. ඒ වගේම යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවා නම් ඔහු තමා අමෘතය දෙන්නේ.
කෙනෙක් දානයක් ලෙස පූජා කරන දෙයට අනුව ප්‍රතිග්‍රාහක කෙනාට ලබාදෙන සුවපහසුව ගැනයි ‘කිංදද’ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් ඉහත කරුණු දේශනා කොට වදාළේ.
ඒ දන්දීම ගැන දෙවිවරු තුළත් විශාල උනන්දුවක් තිබිලා තිබෙනවා. මොකද දෙවිවරුත් පිනට ආසා කරන නිසා.
සැවැත්නුවර ජේතවනාරාමයේ තමා එදින අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එදා රැය පහන්වෙන වෙලාවේ බොහෝ සතුල්ලපකායික දෙවිවරු මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිට ගත්තා. පැත්තකින් සිටගත් ඒ දෙවිවරු අතරින් එක දෙවියෙක් දානය ගැන තමන් දැන සිටි මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේට පැවසුවා.
මසුරුබවත්, ප්‍රමාදයත් තිබීමෙන් තමා දාන මානයකවත් දෙන්නේ නැත්තේ. නමුත් පින් කැමැති කෙනා ඒකේ ආනිසංස දැනගෙන දන්දෙන්නට ඕන.
දන්දීම පිණිස ඇතිවෙන කුසල් සිතට අනතුරු කරන අකුසලය තමා මසුරුබව. ඒ මසුරුකම හින්දාම කෙනෙක් කුසල් වැඩීමට ප්‍රමාද වෙනවා. මසුරුකමත්, ප්‍රමාදයත් මැඩගෙන දන්පැන් පූජාකිරීම කියන්නේ යුද්ධයක් වගේ දෙයක් කියලයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් මේ දෙවියාගේ අදහස බුදුරජාණන් වහන්සේ නිහඬව පිළිගෙන වදාළා.
එවිට තවත් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවැසුවා.
මසුරු පුද්ගලයා යම් දෙයකට බිය නිසයි දන් දෙන්නේ නැත්තේ. නමුත් දන් නොදෙන ඔහුට ඒ කාරණයෙන්ම යි බිය ඇතිවෙන්නේ. බඩගින්නත්, පිපාසයත් යන යමක් ඇද්ද ඒකටයි මසුරු පුද්ගලයා බිය වෙන්නේ. ඒ අඥාන පුද්ගලයාව ඒ කරුණින්ම මෙලොව, පරලොව දෙකේම තබනවා. ඒ නිසා මසුරුකම නමැති මලකඩ මැඬගෙනයි දන් දෙන්න ඕන. පරලොවදී සත්ත්වයන්ට පිහිට වෙන්නේ පින තමයි.
සාමාන්‍යයෙන් කෙනෙක් ධනය උපයන්නේ තමාගේත් පවුලේ උදවියගේත් පරිහරණය පිණිසයි. වෙහෙස මහන්සිවෙලා ඒ උපයන ධනය තමාගේ සැපය පිණිසයි බොහෝ දෙනෙක් යොදවන්නට කැමැති වෙන්නේ. දන්පැන් පිණිස යමක් දුන්නොත් අපේ පරිහරණයට නැතිවෙනවා නේද? කියලයි ඔවුනට හිතෙන්නේ. නමුත් කෙනෙක් තේරුම් ගතතොත් දානය තුළින් පින් රැස්වෙනවා කියන කාරණේ ආන්න ඔහුට වැටහීමක් ඇතිව දන් දෙන්ට පුළුවනි.
දවසක් බුදුරජාණන් වහන්සේ ‘සුප්පාවාසා’ කියන කෝලීය වංශික උපාසිකාවට වදාළා කෙනෙක් දානයක් ලෙස ආහාර පූජා කරද්දී ඔහු කරුණු පහක් දන් දෙනවා. ඒ තමා ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත්, පටිභානයත් කියන කරුණු. ඒ නිසා ආහාරපාන දන් දීපු කෙනා මරණයට පත්වුණාම ඒ දානයේ පුණ්‍ය විපාකය ලෙස දිව්‍ය ලෝකේ දී හෝ මනුස්ස ලෝකේදී හෝ ආයුෂය, වර්ණය, සැපය, බලය, පටිභානව කියන කරුණු ලබනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ දානයෙන් රැස්වන පින තමා පරලොවදී දන්දීපු කෙනාට පිහිට වෙන්නේ.
ඉතින් ඒ දෙවියාගේ අදහසත් භාග්‍යවතුන් වහන්සේ නිහඬව පිළිගෙන වදාළා. තවත් දෙවිකෙනෙක් ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් ප්‍රකාශ කළා.
යම් කෙනෙක් තමන් සමඟ මහමඟ යන උදවියත් එක්ක සුළු දෙයක් නමුත් බෙදාහදා ගන්නවා නම්, ඔවුන් මළවුන් අතර මැරෙන්නේ නැහැ. මේක සනාතන ධර්මයක්.
සමහරු ටිකක් තියෙන කොටත් දන් දෙනවා. සමහරු ගොඩක් සම්පත් තියාගෙනත් දෙන්නේ නැහැ. ටිකක් තියෙද්දී දීපු දානය ගොඩක් තියාගෙන දෙන දානෙට වඩා දහස් ගුණයක් වටිනවා.
බෙදා හදාගැනීම එහෙමත් නැත්නම් දානය ගැන කොයිතරම් සුන්දර අදහස් මේ දෙවිවරු දැනගෙන ඉඳළා තිබෙනවාද? තවත් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
සද්පුරුෂයෙක් දුෂ්කර අවස්ථාවලත් දන් දෙනවා. දුෂ්කර අවස්ථාවලත් යහපත් දේ කරනවා. නමුත් අසද්පුරුෂයෝ ඒක අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට සද්පුරුෂ ධර්මය ගොඩාක් ඈතයි.
ඒ නිසා සද්පුරුෂයාත්, අසද්පුරුෂයාත් මෙලොවින් පරලොව යෑමේදී එකිනොකට වෙනස් වෙනවා. අසද්පුරුෂයෝ නිරයට යනවා. සද්පුරුෂයෝ ස්වර්ගයට යනවා.
මේ ආකාරයට ඒ දෙවිවරු පිරිස භාග්‍යවතුන් වහන්සේට දානයේ වටිනාකම ගැන ගාථාවන් පැවසුවා. එවිට තව දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අසනවා
‘භාග්‍යවතුන් වහන්ස, කවුරුන් විසින්ද ඉතාම හොඳට දානය පිළිබඳ විස්තර කිව්වේ’?
භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙවිවරුන්ගේ ගාථාවන් අනුමත කරමින් මෙසේ දේශනා කොට වදාළා.
ඔය සියලුදෙනාම ඉතා යහපත් කරුණු තමා කිව්වේ. නමුත් මගේ අදහසත් අහන්න.
ධර්මයෙහි හැසිරෙන කෙනෙක් දුකසේ ජීවත්වෙලා අඹුදරුවෝ පෝෂණය කරගෙන සුළු දෙයක් තිබෙද්දීත් දන් දෙනවාද, දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂණයක් කළත් දිළින්දාගේ දානයෙන් සීයට එකක් තරම්වත් වටින්නේ නැහැ.
මේ ලෝකයේ සියලු තතු පරිපූර්ණව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ විසින් කළ මේ ප්‍රකාශය ඒ දෙවිවරුන්ට අදහාගන්නට බැරුව ගියා. ධර්මයේ හැසිරෙන කෙනෙකුට පිරිසුදු ජීවිකාවක් තිබෙනවා. පිරිසුදු සීලයක් තිබෙනවා. කර්ම කර්මඵල විශ්වාසය තිබෙනවා. පින්පව් ගැන දන්නවා. දානයක් මහත්ඵල වෙන අයුරු දන්නවා. ඒ නිසා ඔහු දෙන සුළු දානය පවා මහත්ඵල උපදවා දෙනවා. නමුත් කෙටියෙන් භාග්‍යවතුන් වහන්සේ පැවසූ කරුණේ අර්ථය නො වැටහුණ දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.
මහ වියදම් කරලා මහ ලොකුවට දෙන දානය අර ටිකක් තිබෙද්දී දෙන දානය තරම් වටින්නේ නැත්තේ ඇයි? දහස් ගණන් වියදම් කොට දෙන දානයේ ලක්ෂණයක් දිළින්දෙකු දෙන දානයේ සීයට එකක් තරම්වත් වටින්නේ නැතිවෙන්නේ කොහොමද?
සියලු දෙනාටම වටහා ගැනීම පිණිස අරුත් ඉස්මතු කරමින් මිහිරිසරින් භාග්‍යවතුන් වහන්සේ දෙවියාට පිළිතුරු ගාථාවක් දේශනා කොට වදාළා.
සමහරු දන්දෙන්නේ වැරැදි ක්‍රමයක පිහිටලයි. සතුන් මරලා, වද දීලා ශෝක කරවලයි දන් දෙන්නේ. කඳුළු වැකුණු මුහුණු ඇතිව, දඬුමුඟුªරු ඇතුව දෙන ඒ දානය දිළින්ඳාගේ දානය තරම් වටින්නේ නැහැ. එබඳු දාන දහස් ගණන් වියදම් කොට ලක්ෂ ගණන් දුන්නත් දිළින්දාගේ දානයේ සීයට එකක් තරම්වත් වටින්නේ නැහැ.