නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය යයි අපාය සතරෙකි. අපාය දුක් බව ප්‍රසිද්ධ කාරණයකි. එසේ ම සියල්ලන් විසින් ම පිළිගන්නා වූ ද කාරණයකි. එබැවින් මෙහි අපාය දුඃඛය පිළිබඳ සංක්ෂේප විස්තරයක් ම කරනු ලැබේ. ආපායිකසත්ත්වයන්ගේ ස්කන්ධයෝ අකුශල කර්මයන්ගෙන් නිර්මිත ය. පෘථග්ජන සත්ත්වයන්ගේ සිත ස්වභාවයෙන් ම පවෙහි ඇලෙන්නේ ය. එබැවින් පෘථග්ජන සත්ත්වයා හට පව මිහිරි දෙයකි. එබැවින් ආපායික ස්කන්ධ පඤ්චකය පිළිබඳ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මයන්ගේ ස්කන්ධයන් පිළිබඳව මෙන් සංඛත්වය පිළිබඳ දුඃඛයාගේ මහත් බවෙක් නො කිව හැකිය. සංඛත දුඃඛය මහත් නුවූයේ ය. ආපායික ස්කන්ධ විෂයෙහි සන්තාප දුඃඛය ඉතා මහත් ය.
තිරිසන් අපාය
අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට වන්නේ ය. සමහර විට වියළී මැරෙන්නට ද සිදු වන්නේ ය. ලෝකයෙහි සාගින්නෙන් පිපාසයෙන් මියයන තිරිසනුන් ඉතා බොහෝ ය. වාසස්ථානයක් පිළිවෙළ කර ගැනීමට නුවණ නැතිව ඔවුහු අව්වෙන් වියළෙමින් වැස්සෙන් තෙමෙමින් දිවි ඇති තෙක් ම දුක්වන්නාහ. ඔවුනට සතුරෝ ද ඉතා බොහෝ ය. සතුරන් මැඩලීමට ශක්තියක් හෝ ආරක්ෂකයකු පිහිට වන්නකු හෝ නැති බැවින් ඔවුහු නිරතුරුව මරණ බියෙන් පෙළෙමින් සැඟවි සැඟවී වාසය කරන්නාහ. රෝගයක් වැළඳුන හොත් තුවාලයක් වුවහොත් එයට ප්‍රතිකාර කර ගැනීමට දැනුමක් ඔවුනට නැත. රෝගයකින් හෝ තුවාලයකින් හෝ දුර්වලව වැටුණු කල්හි, මස් කොටා කෑමට, ඇස් උපුටා කෑමට, ලේ උරා බීමට, එන සතුන් මිස, දිය බිඳක්වත් ගෙනැවිත් දෙන, නෑයෙක් මිතුරෙක් ඔවුනට නැත. මැස්සන් මදුරුවන් විසින් ලේ බොද්දී, කපුටන් මස් කොටා කද්දී, හිවළුන් බල්ලන් විසින් මස් ඉරා අදිද්දී, මල මුත්‍ර ගොඩේ වැටී බොහෝ තිරිසන් සත්ත්වයෝ මිය යෙති. ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොතෙක් දිව්වත් කොතෙක් සැඟවුනත් බලවත් සතුන්ගෙන් ද බොහෝ තිරිසන් සතුන්ට ගැලවෙන්නට නුපුළුවන. බලවත් සතුන් විසින් අල්ලා ඔවුහු හඬව හඬවා පණ පිටින් ම ගිලිනු ලැබෙත්. දෙපයින් පාගා ගෙන හඬව හඬවා මස් ඉර ඉරා කනු ලබති. මනුෂ්‍යයන් විසින් ද බොහෝ සතුන් මරා කනු ලබති. මව බලා සිටියදී බලයෙන් පැටවුන් ගෙන මරා කනු ලබති. ගිනියම් වූ යකඩවලින් ගවයන් පුළුස්සනු ලබති. මිනිස්සු බොහෝ සතුන් විනෝදය පිණිස ජීවිතාන්තය දක්වා සිරකර ගෙන බැඳගෙන සිටිති. ගවාදි සතුන් අල්වා බැඳ තබා ගෙන ජීවිතාන්තය දක්වා තළමින් කෙවිටිවලින් අනිමින් ඔවුන් ලවා වැඩ කරවති. දීර්ඝ කාලයක් මෙසේ වැඩ ගෙන සමහර විට අන්තිමේදී මරා මස් ද කති. මේ තිරිසනුන් විෂයෙහි ඇත්තා වූ සන්තාප දුක් වලින් ස්වල්පයකි. හොඳ නොහොඳ පින් පව් දතහැකි නුවණ නැත්තා වූ තිරිසන් සත්ත්වයා ජීවත්වන තාක් කරන්නේ ද පව් ම ය. එබැවින් මරණින් මතු ඌට පැමිණෙන්නට වන්නේ ද වඩාත් දරුණු දුක් ඇති අපායකට ය. එබැවින් තිරිසන් සතාට ජීවත්වීම පමණක් නොව මරණය ද මහත් වූ දුකකි. ඉපදීමය ජීවත්වීමය මරණය යන තුන ම ඒ සත්ත්වයන් හට මහත් වූ දුක් ම වන්නේ ය. එබැවින් තිරිසන් ස්කන්ධ පඤ්චකය දුඃඛ සත්‍යය වන්නේය.
ප්‍රේත අපාය
ප්‍රේතයෝ වනාහි තිරිසනුන් විඳිනා දුකට වඩා අතිශයින් මහත් වූ දුකට පත්ව සිටින සත්ත්ව වර්ගයෙකි. බොහෝ සෙයින් ඔවුන්ගේ උත්පත්තිය සිදුවනුයේ ඕපපාතික වශයෙනි. අහසෙහි විදුලියක් පහළ වන්නාක් මෙන් ද, කැඩපතක ඡායාරූපයක් පහළ වන්නාක් මෙන් ද, මවකු පියකු නො මැතිව, කර්ම බලයෙන් සර්වාංග ප්‍රත්‍යංග සම්පූර්ණව පහළවීම් වශයෙන් සිදුවන උත්පත්තියට ඕපපාතික උත්පත්තියයි කියනු ලැබේ. මව්පියන් නිසා උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර විෂයෙහි මව්පියන්ගේ ශරීර ස්වභාවය ම බලපවත්වන්නේය. එබැවින් එසේ උපදනා වූ සත්ත්වයෝ මව්පියන්ට සමාන වූ ශරීර ඇත්තෝ වන්නාහ.
ඕපපාතික වශයෙන් උපදනා වූ සත්ත්වයන්ගේ ශරීර කෙරෙහි කර්මය බලපවත්වන්නේය. එබැවින් ඕපපාතිකව උපදනා වූ ප්‍රේතයෝ ඔවුන්ගේ පාපකර්මයට අනුරූප පරිදි කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර වූ ද ශරීර ඇත්තෝ වෙති. ජාතියක් වශයෙන් ප්‍රේතයන්ගේ සැටි මෙසේය කියා දැක්විය නොහේ. කුඩා වූ ද මහත් වූ ද නොයෙක් ආකාර රූප ඇති නොයෙක් ආකාර දුක් ඇති ප්‍රේතයන් ඇති බව ප්‍රේතවස්තු ප්‍රකරණාදියෙන් දත හැකිය. ඔවුන්ගේ තත්ත්වය ගැන මඳ අවබෝධයක් ඇති කර ගත හැකි වීමට “ලක්ෂණ සංයුක්තකයෙහි” එන ප්‍රේතයන් ගැන මෙහි සඳහන් කරනු ලැබේ. ප්‍රේතයන් දැකිය හැකි වන්නේ දිවැස් ඇත්තවුන්ට පමණකි. දිවැස් ඇත්තා වූ “ලක්ඛණ මහරහතන්” වහන්සේ විසින් ගිජුකුළු පව්ව සමීපයෙහි දී දක්නා ලද ප්‍රේතයන් එක්විසි දෙනකුන් ලක්ඛණ සංයුක්තයෙහි දී දක්වා තිබේ.
(1) ඔවුන්ගෙන් එකෙක් ලේ මස් නැති ඇටසැකිළි ප්‍රේතයෙකි. ප්‍රේතවර්ගයට ම අයත් වූ කවුඩන් විසින් ද ගිජුලිහිණියන් විසින් ද උකුස්සන් විසින් ද ලුහුබැඳ ඉලඇට අතුරින් කොටනු ලබමින් හෙතෙමේ බැගෑපත් හඬින් හඬ හඬා අහස්හි ගමන් කරන්නීය.
(2) කවුඩු ආදීන් විසින් ලුහුබැඳ කොටා කනු ලබන ඇට නැති මස් වැදැල්ලක් බඳු වූ ශරීරය ඇති එක් ප්‍රේතයෙකි.
(3) එබඳු ම මස් පිඩක් වැනි ශරීරයක් ඇති එක් ප්‍රේතයෙකි.
(4) මුළු ශරීරයෙහි කොතැනක වත් සම නැත්තා වූ එක් ප්‍රේතයෙකි.
(5) තමාගේ ශරීරය ම නැවත නැවත කැපෙන කඩුවකට බඳු ලොම් ඇඟ පුරා ඇති එක් ප්‍රේතයෙකි.
(6) තමන්ගේ ශරීරය ම නැවත නැවත කැපෙන සැත් බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි.
(7) තමාගේ ශරීරයෙහි ම නැවත නැවත ඇනෙන හී බඳු ලොම් ඇති එක් ප්‍රේතයෙකි.
(8) ශරීරයෙන් ගැලවී අහසට නැඟ නැවත ඔහුගේ ශරීරයට වැටී ඇනෙන ඉදිකටු බඳු ලොම් ඇති තවත් ප්‍රේතයෙකි. ඒ ඉදිකටු ඔහුගේ හිසෙහි ඇනී මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් පිවිස ළයෙන් නික්මෙයි. ළයෙන් පිවිස බඩෙන් නික්මෙයි. බඩින් පිවිස දෙකලවායෙන් නික්මෙයි. කලවා දෙකින් පිවිස හිසින් කකුලින් නික්මෙයි. හිසින් කකුලෙන් පිවිස පත්ලෙන් නික්මෙයි. ඒ ප්‍රේතයා වේදනාවෙන් නිතර ම අඬයි.
(9) මහ කළයක් පමණ විශාල අණ්ඩයක් ඇත්තා වූ එක් ප්‍රේතයෙකි. ඌ යන කල්හි එය කර තබාගෙන යයි. හිඳිනා කල්හි එය මතුපිට හිඳ ගනී.
(10) හිසත් සමඟ ම අසූචි වළෙක එරී සිටින එක් ප්‍රේතයෙකි.
(11) අසූචි වළෙක එරී සිට දෑතින් අසූචි අනුභව කරන එක් ප්‍රේතයෙකි.
(12) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන සම නැති එක් ප්‍රේතයෙකි.
(13) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් කොටා කනු ලබන දුර්ගන්ධ වූ විරූප වූ එක් ප්‍රේතයෙකි.
(14) ගිනි අඟුරු මැද දැවෙමින් හඬන එක් ප්‍රේතයෙකි.
(15) කවුඩු ගිජු ලිහිණි ආදීන් විසින් ලුහුබැඳ කොටනු ලබන හිස නැති ළයෙහි ම කට හා ඇස් ඇති ප්‍රේතයෙකි.
(16) ගිනිගෙන දිලිසෙන පා සිවුරු දරා සිටින එක් භික්ෂු ප්‍රේතයෙකි.
(17) එබඳු ම වූ භික්ෂුණී ප්‍රේතියකි.
(18) එබඳු ම ශික්ෂමානා ප්‍රේතියකි.
(19) සාමණේර ප්‍රේතයෙකි.
(20) සාමණේරී ප්‍රේතියකි. මේ ලක්ඛණ තෙරුන් වහන්සේ විසින් දක්නා ලද ප්‍රේතයෝ ය. තවත් නොයෙක් ආකාර දුක් ඇති නොයෙක් ආකාර ශරීර ඇති බොහෝ ප්‍රේතයෝ වෙති. ආහාර පාන නොලැබීම, ඇඳුම් - පැළඳුම් නොලැබීම, වාසය කිරීමට ගෙවල් නැති බව, ගින්නේ දැවීම, දිවි හිමියෙන් ම කිසි තැනකට යා නො හෙන පරිදි අසූචි වළවල් ආදියෙහි එරී සිටීම, ආයුධ වලින් කැපීම, සතුන් විසින් කනු ලැබීම යනාදිය ප්‍රේත විෂයෙහි ඇත්තා වූ සන්තාප දුඃඛයෝ ය. කියන ලද දුඃඛයන්ගෙන් දිවි හිමියෙන් පෙළනු ලබන බැවින් ප්‍රේතස්කන්ධ පඤ්චකය දුක්ඛ සත්‍යය වන්නේය.
අසුර අපාය
අසුරයෝ කීප වර්ගයකි. අපායට අයත් අසුරයෝ ප්‍රේතයන් වැනි සත්ත්ව විශේෂයකි. ඔවුහු තුන් ගව් පමණ ශරීර ඇත්තෝ ය. ඔවුනට ඇත්තේ ඉදිකටු මලක් පමණ වූ කුඩා කටකි. එය පිහිටා තිබෙන්නේ ද හිස මුදුනේය. කට කුඩා බැවින් ඔවුන්ට කවදාවත් සා ගින්න හා පිපාසය නිවා ගන්නට නො ලැබෙන්නේය. ආහාර නො ලැබෙන්නා වූ ඒ සත්ත්වයෝ ලේ මස් නැතිව වියළුණු ඇටසැකිලි බඳු ශරීර ඇත්තෝ ය. ඉස්සන්ගේ ඇස් මෙන් ඉදිරියට නෙරා ගිය ඇස් ඇත්තෝය. අතිශයින් දුර්වල වූ ඔවුනට නැගිටීමට තරම්වත් ශක්තිය නැත්තෝය. මේ අසුරයන්ට “කාලකඤ්ජික ප්‍රේතයෝ” ය යි ද කියනු ලැබේ. උපන් තැන් පටන් මරණය දක්වා වර්ෂ දහස් ගණන් මුළුල්ලෙහි ඔවුන්ට ඇත්තා වූ සා පිපාසාදියෙන් නිරතුරු පෙළීම වූ දුඃඛය ඒ ස්කන්ධයන් නැතහොත් නො වන්නේය. අසුර ආත්ම භාවය පිළිබඳ වූ පඤ්චස්කන්ධය පවත්නා තෙක් ඔවුහු ඒ දුඃඛයෙන් නො මිදෙන්නාහු ය. එබැවින් අසුර පඤ්චස්කන්ධය ද දුඃඛ සත්‍යය වන්නේ ය
නරකය
දුක් ඇති තැන් වලින් ඉතා ම රෞද්‍ර දුක ඇති තැන නරකය යි. නරකයෝ බොහෝ ගණනකි. ඒ ඒ නරකයන්හි නොයෙක් ආකාර වූ භයානක දුක් ඇත්තේය. ගින්නෙන් දවනු ලැබීම, ගිනියම් වූ යපොළොවෙහි තබා හුල් ගසනු ලැබීම, වෑ පොරෝ ආදියෙන් ශරීරය කපනු ලැබීම, කඳක් සේ දැලි නූල් ලා කියතින් කපනු ලැබීම, ලෝදිය (හුණු වූ තඹ) පෙවීම, ගිනියම් වූ යගුලි ගිල්වීම, පෙරළෙන පර්වත වලින් යට කොට අඹරනු ලැබීම, ද්වාරයන්ගෙන් ශරීරය ඇතුළට වැද දමනු ලබන දුම් වලින් ශරීරය තවනු ලැබීම, ලොහොතුඩු ඇති කවුඩු ගිජුලිහිණි ආදීන් විසින් කොටා ඇඟ මස් කඩා ගනු ලැබීම, ගවයන් මෙන් කරත්තවලට බැඳ බර අදවනු ලැබීම, දැලිපිහියා මෙන් කැපෙන තණ හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ද ඇත්තා වූ ප්‍රදේශයන්හි මුළු සිරුරට කැපෙන තුරු ඒ මේ අත දුවවීම, මුළු සිරුරම කැපී ලේ තැවරුණු මස් කැබැල්ලක් මෙන් වූ කල්හි කරදිය ගංගාවලට ඇද දමන් ලැබීම, නිරි සතුන්ගේ සම විද, මස් විද, ඇටමිදුලු, කන්, පුවක් ගස්, පොල් ගස්, කිතුල් ගස් පමණ ලොහො තුඩු ඇති මහ පණුවන් වෙසෙන, කැකෑරෙන අසුචි වලවලට ඇද දැමීම යනාදිය නරකයෙහි ඇත්තා වූ දුක්වලින් සමහරෙකි.
නරකයෙහි දුඃඛය සර්වාකාරයෙන් කියතහොත් කෙනකු විසින් අවුරුදු සියයක් මුළුල්ලෙහි කියා ද දහසක් මුළුල්ලෙහි කියා ද අවසානයට පැමිණ විය නො හැක්කේය. එක දවසක් බුදුරජාණන් වහන්සේ නරක දුඃඛයාගේ මහත්ත්වය දැක්වීමට උපමා ද සුලභ නො වන බව වදාළ සේක. එකල්හි එක් භික්ෂුවක් නරක දුඃඛයාගේ මහත්ත්වය උපමාවකින් වදාරනු මැනවයි සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ ද උපමාවකින් නරක දුඃඛය දක්වා වදාරන සේක් “මහණෙනි! රාජපුරුෂයෝ සොරකු අල්වා රජු ඉදිරියට ගෙන ගොස් ‘දේවයන් වහන්ස! මොහු සොරෙක, මොහුට කැමති දඬුවමක් නියම කරනු මැනවැ’යි කියන්නාහ. රජ තෙමේ ඔවුනට ‘මේ සොරා ගෙන ගොස් උදෑසන ඔහුගේ ශරීරය සිදුරුවන සේ යහුල් පහර සියයක් අනිව්’ යයි කියන්නේය. රජ අණ පරිදි ඔහුට රාජපුරුෂයෝ යහුල් පහර සියයක් අනින්නාහුය.
ඉක්බිති රජ තෙමේ දවල් කාලයේ සොරාට කුමක් වී දැයි අසන්නේය. රාජපුරුෂයෝ ‘දේවයන් වහන්ස සොරා ජීවත්ව සිටින්නේය’ යි කියන්නාහු ය. එකල රජතෙමේ දවාලෙහි ද නැවත සොරුට යහුල් සියයක් අණින්නට අණ කරන්නේය. රජතුමා සවස් කාලයෙහි ද සොරා ගැන අසන්නේය. රාජපුරුෂයෝ ‘සොරා තවම ජීවත් වන්නේය’ යි රජුට කියන්නෝය. රජතුමා නැවත සවසත් ඔහුට යහුල් පහර සියයක් අනින්නට නියම කරන්නේ ය. රාජපුරුෂයෝ ඔහුට සවස ද යහුල් පහර සියයක් අණින්නාහු ය. කිමෙක්ද මහණෙනි! ඒ පුරුෂයා යහුල් පහර තුන් සියයක් ඇණුම් කෑමෙන් දුකට දොම්නසට පත්වූයේදැ” යි විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි! එක යහුල් පහරකින් ම ඔහුට දුකක් දොම්නසක් වන්නේ ය. යහුල් පහර තුන් සියයකින් මහත් වූ දුකක් දොම්නසක් වන බව කියනුම කවරේදැ” යි සැළකළාහු ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩා වූ ගල් කැටයක් අතට ගෙන “මහණෙනි! මා විසින් ගන්නා ලද කුඩා වූ ගල් කැටයෙනුත් හිමාලය පර්වත රාජයාගෙනුත් කවරක් වඩා මහත් වන්නේදැ” යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ විසින් ගන්නා ලද ගල් කැටය හිමාලය පර්වතයෙන් දහසින් පංගුවකුදු නො වන්නේය. දස දහසින් පංගුවකුදු ලක්ෂයකින් පංගුවකුදු නො වන්නේය. හිමාලය පර්වතය හා සංසන්දනය කළයුතු දෙයක් ද නො වන්නේය” යි සැළ කළෝය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! එපරිද්දෙන් ම ඒ පුරුෂයා හට යහුල් පහර තුන් සියයකින් අනිනු ලැබීමෙන් වූ දුක නරකයෙහි දුකින් දහසින් පංගුවකුදු දස දහසින් පංගුවකුදු ලක්ෂයෙන් පංගුවකුදු නොවන්නේ ය. නරක දුඃඛය හා සංසන්දනය කොට කථා කළ යුතු දෙයකුදු නො වන්නේය.” යි වදාළ සේක.
නරකයෙහි පතිත වූ සත්ත්වයන් විසින් ලබන ඒ මහත් වූ දුඃඛය මහත් වූ සන්තාපය ඒ ස්කන්ධ පඤ්චකය නැතහොත් ඔවුනට නො වන්නේය. ඒ ස්කන්ධ පඤ්චකය පවත්නා තුරු ඒ දුක ද පවත්නේය. එබැවින් ඒ දුක නේරයික ස්කන්ධ පඤ්චකයෙන් ම කරන පීඩනයෙකි. තැවීමකි. එබැවින් නේරයික ස්කන්ධ පඤ්චකය ද දුඃඛ සත්‍යය වන්නේය.
මෙසේ භවාග්‍රයෙහි පටන් අවීචි මහා නරකය දක්වා ඇති ලෝකයෙහි ඒ ඒ භූමීන්හි වෙසෙන කුඩා වූ මහත් වූ ද සකල සත්ත්වයන් පිළිබඳ වූ ස්කන්ධයන් “පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො” යනුවෙන් දක්වන ලද සත්ත්වයන් පෙළන බව හා තමා ද පෙළෙන බවය, නැවත නැවත උපදවා ගත යුතු බවය, තැවෙන තවන බවය, විනාශ වී යන බවය යන චතුර්විධ දුඃඛ ස්වභාවයෙන් යුක්ත වන බැවින් ඒකාන්තයෙන් දුක් ගොඩක් බව දත යුතුය. ඒ දුටු තැනැත්තේ දැකීමට අතිශයින් දුෂ්කර වූ දුඃඛාර්‍ය්‍ය සත්‍යය දුටුවෙක් වන්නේය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න