අප ඉපදුණේ අපායේ පමණක් නොවෙයි; මහ පොළොවේ වැලි කැට ගණනට වඩා වැඩි වාර ගණනක් පේ‍්‍රතයන් වෙලත් ඉපදුණා. පේ‍්‍රතයන් වී ඉපදුණාට පස්සේ, අවුරුදු දහස් ගණන්, දසදහස් ගණන්, සමහර විට බුද්ධාන්තර ගණන් බොන්නට වතුර ටිකක් නැතිව අපි පිපාසයෙන් පිච්චුණා. කෑමට ආහාරයක් නැතිව කුසගින්නෙන් දැවුණා. අඳින්නට වස්ත්‍රයක් නැතිව, ඉන්නට තැනක් නැතිව බොහෝ දුක් විඳවිඳ බුද්ධාන්තර ගණන් හිටියා. කෑමට බීමට දෙයක් නැතිව ‘ඛුප්පිකාසික’ පේ‍්‍රතයන් වෙලා අපි මෙහෙම කොච්චර නම් දුක් විඳලා තිබෙනවාද?
අපි පේ‍්‍රතයන් වෙලා ඉපදිලා සමහර විට ආහාරයට ගත්තේ මිනිසුන් ඉවතට දමන කෙළ, සෙම්, සොටු ටිකක්; නැත්නම් මිනිසුන්ගේ හරි තිරිසන් සතුන්ගේ හරි අසූචි; නැත්නම් ඔවුන්ගේ මළකුණු; එහෙමත් නැත්නම් පිඟන්, කෝප්ප ආදිය සෝදලා ඉවත දාන තැන්වල තිබුණු බත්හුළු, තවත් සමහර අවස්ථාවලදී තමන්ගේ ම ඇඟ සූරාගෙන, එසේත් නැත්නම් වණ තුවාලවලින් ගලනා ලේ සැරව.
මීට අමතරව, කවුරුහරි පින් දුන්නොත් කන්නට බොන්නට දෙයක් ලැබෙන ‘පරදත්තූපජීවක’ පේ‍්‍රතයන් වශයෙනුත් අනන්ත අප්‍රමාණ වාර ගණන් අපි ඉපදී දුක් වින්දා. ඒ කාලයේ අපි හිටියේ අතිශයින් දීර්ඝ කාලාන්තර ගණන් තිස්සේ කන්නට බොන්නට දෙයක් නොමැතිව, සාපිපාසා ගිනි මැද අතිශය දුක් විඳිමින්.
මෙපමණක් නොවෙයි. අපි ‘කාලකඤ්ජි’ පේ‍්‍රතයන් වෙලත් බොහෝ වාර ගණන් ඉපදුණා. ඒ පේ‍්‍රතයන්ගේ ශරීර හරි උසයි; ඇස් දෙක තිබෙන්නේ හිස මත; කට ඉදිකටු සිදුරක් විතර අති; තුනටිය ඉතාමත්ම සිහින්. කෙළ සෙම් සොටු ටිකක් සොයසොයා ඇවිදලා, ඒවා කොතැනක හරි තිබෙනවා දැකලා, ගන්නට නැමෙන විට තුනටිය ළඟින් දෙකට කැඩී යනවා. කර්ම ශක්තිය නිසා නැවතත් ඉපදෙනවා; නැවතත් පෙර සේ ම දුකට පත් වෙනවා. මෙහෙම ඉපදිලා අපි කොච්චර නම් දුක් විඳලා තිබෙනවාද?
ලක්ඛණ සංයුක්තයේ දක්වා තිබෙනවා සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවල ස්වරූපය සහ ඔවුන් කළ අකුශල කර්ම. බුදු රජාණන් වහන්සේ වදාළේ ඔවුන් කළ ඒ ඒ අකුශල කර්මවල විපාක වශයෙන් අපායේ ඉපදී අතිදීර්ඝ කාලාන්තරයක් එහි දුක් විඳ, අපායෙන් මිදුණාට පසුව මෙලෙස ඔවුන් ඉපදී සිටිනවා කියලයි. අපායේ ඉපදුණු පමණින් කළ අකුශල කර්මවල විපාක ගෙවා නිම කරන්නට බැහැ. ඒවායේ ප්‍රවෘත්ති විපාක පිරිනිවන් පාන මොහොත දක්වාම පල දෙන්නට පුළුවන්.
සමහර පේ‍්‍රතයන්ගේ ඇඟේ සම නැහැ. ශරීරය තනිකරම මස්වැදැල්ලක් වගේ. ඔවුන්ට කොටන්නට එන යක්‍ෂ ගිජුළිහිණියෝ, උකුස්සෝ, ඔවුන් පසුපස හඹා ඇවිත් මස් වැදලි කඩකඩා කනවා. වේදනාවෙන් කෑගසමින් ඒ පේ‍්‍රතයෝ දුවනවා.
සමහර පේ‍්‍රතයන්ගේ තිබෙන්නේ ඇටසැකිලි විතරයි. යක්‍ෂ ගිජුළිහිණියෝ, උකුස්සෝ ඒ ඇටසැකිලි පසුපස එළවඑළවා, කඩකඩා කන විට, ඒ පේ‍්‍රතයෝ දුක ඉවසිය නොහැකිව විලාප දෙනවා.
සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවලින් ගින්දර විහිදෙනවා. ඔවුන්ගේ ශරීර ඇතුළතිනුයි පිටතිනුයි ඇති ගින්දරවලින් ඒ පේ‍්‍රතයෝ මැරෙන මොහොත දක්වාම ගිනි ගෙන දැවෙනවා. ‘නිජ්ඣාමතණ්හික’ පේ‍්‍රතයන් කියලයි මොවුන් හඳුන්වන්නේ.
සමහර පේ‍්‍රතයෝ සිටිනවා අසූචි වළවල්වල එරිලා. මහා ගිනි කබල් හිස මත තබාගෙන පිච්චිපිච්චී ඔවුන් සිටින්නේ.
සමහර පේ‍්‍රතයන්ගේ ශරීරවල ලෝම හරියට අවි ආයුධ වගේ. ඒවායින් ඔවුන්ගේම ඇඟවල් කැපිකැපී, කැපිකැපී යනවා.
සමහර පේ‍්‍රතයන්ගේ ලෝම ඉදිකටු වගෙයි.
යකඩ උල් ඇනෙන්නා සේ ඒ ලෝම ඇනි ඇනී ඒ පේ‍්‍රතයෝ මහත් දුක් විඳිනවා.
අපිත් අතීත සංසාරයේදී මෙවැනිම පේ‍්‍රතයන් වෙලා පමණක් නොවෙයි, මීට අමතරව දසදහස් ගණන් වෙනත් ආකාරවලිනුත් විවිධ පේ‍්‍රතයන් වෙලා ඉපදිලා, අප්‍රමාණ අසීමිත කිව නොහැකි තරම් දුක් වින්දා. එසේ විඳින ලද දුක් මොනම ආකාරයකින්වත් කියලා, හිතලා නිම කරන්නට බැහැ. විශේෂයෙන්ම මේ අය අවධාරණය කර මතක තබාගත යුතුයි සෝවාන් වත් වී නැති කිසිවෙක් පේ‍්‍රත ලෝකයෙන් මිදිලා නැති බව.
ලක්ඛණ සංයුක්තයේ දැක්වෙන මේ ආදි පේ‍්‍රතයන් සහ ඔවුන් කළ කර්ම පිළිබඳ ලැයිස්තුවක් මෙහෙම දක්වන්න පුළුවන්:
01. ඇට සැකිල්ලක් පමණක් ඇති පේ‍්‍රතයන්: ගවඝාතක කර්ම.
02. මස්වැදැල්ලක් පමණක් ඇති පේ‍්‍රතයන්: ගවඝාතක කර්ම.
03. මස්පිඩක් වූ පේ‍්‍රතයන්: කුරුල්ලන් මරා විකිණීම.
04. සම නැති පේ‍්‍රතයන්: බැටළුවන් මරා විකිණීම.
05. අසිපත් වැනි ලොම් ඇති පේ‍්‍රතයන්: ඌරන් මරා විකිණීම.
06. ඊතල වැනි ලෝම ඇති පේ‍්‍රතයන්: වධකයකු ලෙස කටයුතු කිරීම.
07. ඉදිකටු වැනි ලොම් ඇති පේ‍්‍රතයන්: කේළාම් කීම.
08. කළගෙඩි පමණ අණ්ඩකෝෂ ඇති පේ‍්‍රතයන්: අල්ලස් ගෙන අයුතු ලෙස නඩු විසඳීම.
09. අසූචි වළක හිස සහිත මුළු සිරුර ම ගිලුණු පේ‍්‍රතයන්: පරදාර සේවනය.
10. අසූචි වළක එරී දෑතින්ම අසූචි කන පේ‍්‍රතයන්: දානයට ඇරියුම් කර අසූචි කන්නැයි භික්‍ෂූන්ට ප්‍රකාශ කිරීම.
11. සම නැති පේ‍්‍රතියන්: වෙශ්‍යාකම් කිරීම.
12. අතිශයින් දුගඳ හමන, පිළිකුල් පේ‍්‍රතයන්: යකැදුරුකම් කිරීම.
13. ගින්නෙන් පිච්චුණු ශරීර ඇති, දාඩිය වැගිරෙන, ශරීරය ගිනි අඟුරින් වෙළීගත් පේ‍්‍රතයන්: තම සැමියාගේ හොර බිරිඳට ගිනි අඟුරු දැමීම.
14. හිස නැති ප්‍රේතයන්: (ඔවුන්ගේ ඇස් සහ කට පපුවේ ඇත:) රාජ්‍ය සේවය සඳහා සොරුන් මැරීම (වෝර ඝාතක කර්මය)
15. ගිනි ගත් සිවුරු, ගිනි ගත් පාත්‍ර, ගිනි ගෙන දැවෙන ශරීර ඇති ශ්‍රමණ පේ‍්‍රතයන්, ශ්‍රමණ පේ‍්‍රතියන්, සාමණේර පේ‍්‍රතයන්, සාමණේරී පේ‍්‍රතියන්: කාශ්‍යප බුද්ධ ශාසනයේ පවිටු ලෙස මහණකම් කිරීම.
මොවුන් මේ තත්ත්වවලට පත් වූයේ, ඔවුන් කළ අකුශල කර්ම විපාක වශයෙන් අපායේ ඉපදී බොහෝ කලක් අපායේ දුක් විඳ, අපායෙන් මිදුණු පසුවයි.
සතර අපායෙන් එකක් වන අසුරයන් වශයෙන් ද අපි ඉපදී අතීත සංසාරයේ අනන්තවත් දුක් විඳ තිබෙන බවත් මේ අය අවබෝධ කරගත යුතුයි.
දෙවියන් මෙන්ම ආනුභාව සම්පන්න, දේව කොට්ඨාසයන්ටම අයත්, ‘වේපචිත්ති, රාහු, පහාරද’ වැනි අසුරයන් සහ පහළම දිව්‍ය ලෝකය හා සම්බන්ධ එහෙත් එතරම් ආහාරපානාදිය නොලබන ‘විනිපාතික අසුරයන්’ සතර අපායට අයත් වන අසුරයන් වශයෙන් සැලකෙන්නේ නැහැ. අපායට අයත් වන අසුරයන්, සැතපුම් ගණන් ඉතා උස, නිරන්තරයෙන්ම සා-පිපාසාවෙන් පෙළෙන, නැගිටින්නට වත් බැරි තරමට ඉතාමත්ම දුර්වල, ඉතාම සිහින් ශරීර ඇති සත්ත්ව කොට්ඨාසයක් බව යි පොත්වල සඳහන් වන්නේ.
‘කාලකඤ්ජි’ පේ‍්‍රතයන්ට වඩා විශාල ශරීර තිබෙන මොවුන් ඉපදුණු දවසේ සිටම සිටින්නේ සා-පිපාසාවෙන් දුක් විඳිමින්. මොවුන්ගේ ශරීර මස්-ලේ සිඳී ගිය, වේළිච්චි සමකින් වැසී ගිය ඇටසැකිලි වගේ. සෙම් සොටු ටිකක් වැනි දෙයක් ගැනීමට නැමුණොත් මොවුන්ගේ ශරීර කැඩී යනවා. එහෙත් මොවුන්ගේ කර්ම ශක්තිය නිසා නැවතත් කලින් සේම සිරුර හැදෙනවා. කිසි දිනක කන්නට බොන්නට කිසිවක් නොලැබෙන මොවුන් විඳින දුක වචනවලින් කියා නිම කරන්නට බැහැ.
මෙවැනි අසුරයන් වෙලා අපි ඉපදුණු වාර ගණන් පොළොවේ වැලි කැට ගණනටත් වඩා වැඩියි. කොපමණ නම් දුකක් අපි ඒ විධියට විඳලා තිබෙනවා ද කියලා සිතා බලන්න.
මේ පමණක් නොවෙයි, අපි ලෝකාන්තරික නරකවලත් ඉපදී අනන්තවත් දුක් වින්දා. පොත්වල සඳහන් වන විධියට ලෝකාන්තරික නරක තිබෙන්නේ ලෝක ධාතු දෙකක් අතර. ඝන අන්‍ධකාරයෙන් වැසිලයි තිබෙන්නේ. අතිශයින්ම දරුණු ශීතලක් ඒවායේ තිබෙනවා. ඒ නරක වළ පතුලේ තිබෙන ජලයත් ඒ වගේම ශීතල යි.
මෙම ශීතලෙන් දුක් විඳිමින්, කිසිම ආහාර පානයක් නොමැතිව පීඩිතව, මේ නරකවල සත්ත්වයන් සිටින්නේ වවුලන් වගේ එල්ලිලා. මොවුන් බිමට වැටුණොත් වැටෙන්නේ යට තිබෙන අතිශයින් ශීතල ජලයට. එහෙම වැටුණට පස්සේ ‘චිටි චිටි’ ගාමින් ඔවුන් පුපුරපුපුරා ගියත්, නැවත එහිම ඉපදිඉපදී අනන්තවත් දුක් විඳිනවා. අතීත සංසාරයේ අපි මෙහෙම කොච්චර නම් දුක් විඳලා තිබෙනවා ද?
කම්මට්ඨානාචාර්ය පූජ්‍ය
දන්කන්දේ ධම්මරතන හිමි