3/15/17

සංඥාස්කන්ධය


බුද්ධ දේශනාවේ ඇති “සඤ්ඤාක්ඛන්ධ” යන වචනයෙහි අර්ථය දැක්වීමට සංස්කෘතයෙහි යෙදෙන වචනය “සංඥාස්කන්ධ” යන්නයි. සිංහලයෙහි ද ඒ අර්ථය දීමට එය ම භාවිතා කරති. තවද “සඤ්ඤා, සංඥා යන වචනවලින් කියවෙන අර්ථය පැවසීමට සිංහලයෙහි “හැඳිනීම, හැඟීම, දැනීම” යන වචන ද යොදති. “දැනීමය” යන වචනය පාළි “විඤ්ඤාණ” යන වචනයෙන් කියැවෙන අර්ථයට ද යොදති. දැනීමය යන වචනය සිංහලයෙහි “සඤ්ඤා විඤ්ඤාණ” යන දෙක ම වෙනුවට යෙදෙන බැවින් සංඥා විඥාන ස්කන්ධයන් තේරුම් ගැනීමේ දී අවුල් කර නො ගන්නට පරෙස්සම් විය යුතුය. පස් - දිය - ගිනි - සුළං - රන් - රිදී - ගස් - වැල් - මුල් - කොළ - පොතු - මල් - ගෙඩි - කෑම් - බීම් - ඇඳුම් - පැළඳුම් - ගෙවල් ආදී වස්තූන් ද, කථා ශබ්දාදි ශබ්දයන් ද, මිනිස් තිරිසන් ආදි සත්ත්වයන් ද, වර්ණ ගන්ධ රසාදි ගුණ ද, කරන කෙරෙන වැඩ ද, තවත් නො කී දෑ ඇති නම් ඒවා ද, හැඩහුරුකම පැහැය යනාදි ලකුණුවල අනුසාරයෙන් වෙන් වෙන්ව හැඳින ගන්නා වූ දැන ගන්නා වූ ස්වභාවය හෙවත් ඒ ඒ දේ හැඳිනීම දැනීම සංඥා නම් වේ. පස් දිය ගිනි සුළං ආදි සියල්ල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන ෂඩාරම්මණයට ඇතුළත් වන බැවින් ෂඩාරම්මණයාගේ වශයෙන් සංඥාස්කන්ධය දක්වනු පිණිස: “කතමා ච භික්ඛවෙ! සඤ්ඤා? ඡයිමෙ භික්ඛවෙ, සඤ්ඤාකායා, රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා අයං වුච්චති භික්ඛවෙ! සඤ්ඤා” යනු වදාළ සේක. “මහණෙනි! සංඥාව කවරී ද යත්? මහණෙනි! රූප සංඥාය, ශබ්ද සංඥාය, ගන්ධ සංඥාය, රස සංඥාය, ස්පර්ශ සංඥාය, ධර්ම සංඥාය යන මේ සය සංඥා සමූහයෝය. මහණෙනි! මෙය සංඥා යයි කියනු ලැබේය” යි යනු එහි තේරුමයි. අරමුණු හැඳිනීමේ ලක්ෂණයෙන් සංඥාව එක් ධර්මයකි. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් එක් චෛතසිකයකි. ඒ සංඥාවෙන් හැඳින ගන්නා වස්තූහු ඉතා බොහෝය. ඒ වස්තූන්ගේ වශයෙන් මව හැඳින ගන්නා සංඥාවය, පියා හැඳින ගන්නා සංඥාවය යන ආදී වශයෙන් අප්‍ර‍මාණ සංඥාවෝ වෙත්. ඒ සියල්ල එක් සමූහයක් වශයෙන් ගෙන සංඥාස්කන්ධය යි කියනු ලැබේ. සංඥා රාශිය, සංඥා ගොඩය යනු එහි තේරුමයි. සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනු ලබන නාම රූප ධර්මයන් අතුරෙන් මේ සංඥාව ඉතා මහත් කොට උසස් කොට ගන්නා දෙයකි. එබැවින් ලෝකයෙහි ‘මෝඩයෝය’ කියා මඳ සංඥා ඇතියවුන් පහත් කොට ද - ‘දැනුමැත්තෝ ය, උගත්තුය, පණ්ඩිතයෝ ය’ කියා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොට ද සලකති. 

සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක් ගනිති. බොහෝ කල් වෙහෙසෙති. බොහෝ ධනය වියදම් කරති. උගෙනීමය යි කියනු ලබනුයේ සංඥා දියුණු කිරීමට ය. උගෙනීම සඳහා යම් දුකක් විඳී නම්, යම් මහන්සියක් වේ නම්, යම් ධන වියදමක් කෙරේ නම් එය සංඥා දියුණු කිරීමට විඳිනා දුකකි. ගන්නා මහන්සියකි, කරන වියදමකි. ජනයෝ “මම මේ දේ ගනිමිය, මේ මේ භාෂා දනිමිය, මේ මේ ශාස්ත්‍ර‍ දනිමිය” කියා සංඥාව ආත්ම වශයෙන් ගෙන, නැවත “අන්‍යයෝ යමක් දනිත් නම් ඒ සියල්ල මමත් දනිමිය කියා ද, අන්‍යයන්ට වඩා දනිමිය කියා ද, මේ මේ විභාගවලින් සමත් වූයෙමි” යි කියා ද මාන උපදවා ගනිති. මෙසේ මේ සංඥාව එක් ධර්මයක් වුවද මහත් කොට ගන්නා බැවින් ද දෘෂ්ටි මානයන්ට විශේෂයෙන් හේතු වන බැවින් ද සත්ත්වයන් විසින් ආත්ම වශයෙන් ගන්නා ධර්මයන් කොටස් කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සංඥා ස්කන්ධය’ කියා වෙන් වූ ස්කන්ධයක් කොට වදාරන ලද්දේය. 

මතු සම්බන්ධයි! රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.