කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.
පියමතුරා සර්වඥයන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.
එතැන් සිට අති දිර්ඝ කාලයක් මුළුල්ලේ භවයක් භවයක් පාසා සුගති සම්පත් විද “විපස්සි නම් බුදුරජාණන් කාලයේ පිටිසර ගමක මෙතුමා උපන්නේය. තමාගේ ස්වාමීයා වෙත කිරිත් මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා හා විශාල කණ්ඩායමක් එක්වි මහා දානෝත්සවයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලාට පිළියෙල කරන බව දැක‍්කේය. එම මහා දානයට කිරිත් මී පැණිත් පුජා කිරිමට මෙතුමාට අවස්ථාව ලැබුනේය. එම කිරි හා මී පැණි පුජා කළ අවස්ථාවේදීද මෙතුමාගේ ප්‍රාර්ථනාව වුයේ ප්‍රත්‍ය ලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබා ගැනිමට සමත්වේවා යනුයි.
එම ප්‍රාර්ථනාව අනුව අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේගේ මාතෘ පක්ෂ ඥාතියකු වන කෝලිය රජතුමාගේ දුවණියකවන “ සුප්පවාසා” නම් කුමාරියගේ කුස පිළිසද ගත්තේය.
සුප්පවාසා කෝලිය රාජ දුහිතෘවගේ කුස තුළ සීවලී කුමරා සිටිද්දී එම මාතාවට උදය – සවස තෑගි බෝග පන්සියය පන්සියය වශයෙන් පුද පඩුරු නොයෙක් දෙසින් ලැබෙන්නට විය. මෙතුමිය භාජනයෙන් බත් සැන්දක් ගත් සෑම අවස්ථාවකම එම භාජනයේ අඩුවක් නොවුයේය. නිතරම ගත් ගත් දේ පීරි පැවතියේය. වී අටුකොටු ආදියට අත තැබු විට ඒවා පිරි පැවතුනා. වපුරණ වී වලට අත ගැසු කල එයින් ලැබෙන ධාන්‍ය සත් ගුණයක්ව ලැබුණා. මේ හේතුවෙන් මුළු කෝලිය ජනපදයේම සීවලි මාතාවගේ ගුණ ප්‍රකට විය. මෙතුමියට දෙවිකෙනෙකුට මෙන් සලකන්නට පටන් ගත්හ.
කෙසේ වෙතත් කුස තුළ සිටි (සීවලී) කුමාරාත් සුප්පවාසා රජ දුවණියත් පෙර කළ අකුශල කර්මයක් නිසා දස මාසයක් මවු කුස සිටිනවා වෙනුවට සත් අවුරුදු කාලයක් මුළුල්ලේ මේ දරුවාට මවුකුස සිටිමට සිදුවිය. (අවුරුදු හතයි – මාස හතයි – දවස් හතක්)
අන්තිම සත්වන දින මව මරණාන්තික වේදනාවට පත්වුවාය. අන්තිම දිනයේ දී තම හිමි (ස්වාමීයා) වන මහාලී රජුට තම ජිවිතය සැක සහිත බව පැවසුවාය. බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමාගේ නමින් වැද උන්වහන්සේගේ දේශනාවත් අසා එන ලෙස ද පවසා මතක දානයට වඩින්නට බුදුරජුන්ට ආරාධනා කරන ලෙසත් කීවාය.
එම රාජපුත්‍රයාද බුදුන් වහන්සේ කරා ගොස් වැද සුප්පාවාසාගේ වැදීමෙන්ද වැන්දේය. එතුමා ඇගේ ඉල්ලිමද බුදුන් වහන්සේට දැන්වුයේය. බුදුරජානන් වහන්සේ “ මහා කරුණාවෙන් සුප්පාවාසාත් ගැබ තුළ පුතාත් සුවපත් වේවායි වදාරා නිරෝගීව පුතා බිහිවේවායි ද පැතුසේක. ඒ ප්‍රර්ථනාය සමගම වාසනාවන්ත පුත්‍රයා බිහිවිය. බුදුරජාණන් වහන්සේ සමග මහා සංඝයා වහන්සේද එහි වැඩි සේක. සීවලී මාතාව බුදුරජාණන් වහන්සේට මෙසේ දැන්වුවාය. මා ඔබ වහන්සේට ආරාධනා කළේ මතක දානයට වඩින ලෙසය. එහෙත් ඔබ වහන්සේ පුතාගේ ජන්ම දිනයට වැඩිසේක යනුයි. මෙසේ කියා අද පටන් සත් දිනක් මගේ දාන පුජාවට වඩින ලෙස ඇය බුදුන් වහන්සේට ආරාධනා කලාය. උන්වහන්සේද සත් දින දානය පිළිගත් සේක.
සීවලී කුමරා මවුකුස සත් අවුරුද්දක් සිටි නිසා ඔහුට කථා කිරිමටත් ඇවිදිමටත් පුළුවන් විය. සත් දින දානයේ දී සීවලී කුමරා පැන්දිම දන්දීම් ආදි වතාවත් කරන්නට ද හැකිවිය. සත් අවුරුද්දක් මවුකුස වාසය කළත් ඔහුගේ ශරිර ශෝභාව දර්ශනීය විය. ඥාතින්ගේ සිතට අති මහත් සන්තෝෂයක් ගෙන දුන් නිසා මේ කුමාරයා සීවලී නම තැබීය.
සත් දින දානයෙන් පසු සැරියුත් තෙරුන් වහන්සේට කුමරා පැන් දෙනවිට උන්වහන්සේ මෙසේ ඇසුසේක. “ සීවලී ඔබ මවුකුස තුළ සත් අවුරුද්දක් දුක් වින්දානේද? ඔබ පැවිදි වෙන්න කැමතිද? යනුයි. මගේ අම්මා මහණවීමට අවසර දෙන්නේ නම් අදම පැවිදි වන බව සීවලී කුමරා පැවසීය. ඒ ඇසු සීවලී මාතාව කුමරා සසුන් ගත කරවන්නට මහා සංඝයා වහන්සේලාට භාරදුන්නාය. සැරියුත් මහරහතන් වහන්සේ උපාධ්‍යායයෝ වුසේක. මුගලන් මහරහතන් වහන්සේ ආචාර්යවරයෝ වුහ.
කුමරා පැවිදි කරන්නට සියල්ල සුදානම් විය. “ සීවලී ඔබ මවුකුස සිටි දුක සිතා ගෙන එයම භාවනාවට නිමිත්තක් කරගන්න වෙනත් අනුශාසනාවක් ඔබට අවශ්‍යය නැතයි උපාධ්‍යායන්වහන්සේ වදාළ සේක. එසේම හිසකෙස් බාන විට “ තචපංචකය” කර්මස්ථාන භාවනාවට පුහුණු කරවුහ. ප්‍රථම කෙස් රොද කපන විට “සීවලී” කුමාරයා සෝවාන් වුහ. සියලුම හිසකෙස් බාන්ට ප්‍රථම මහරහත් පදවියට පත් වුහ. ත්‍රිවිද්‍යා – ෂඩ් අභිඥාලාභිව සිවුපිළි සිඹියාවත් ලැබුහ. එපමණක් නොව ත්‍රිපිටකධාරි බවට ද පත්වුහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් විමට පසුවය.
මේ සීවලි මහ රහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්‍රත්‍යයද ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පුජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. “ මට මේ පුජා ලැබෙන්නේ නගර වලදී පමණක් ද ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දීත් ලැබේද? මෙය පරික්ෂාකර බැලිය යුතුයයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමග 1 වර හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්‍යහාර පුජා කළහ. 2 වර පාණ්ඩව පර්වතයටද 3 වර අචිරවති ගංතෙර අසලටද 4 වර සාගර තලයටද 5 වර හිමවන්තයටද 6 වර ඡද්දන්තයයටද 7 වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේට දිව්‍යමය ආහාර පුජා කළහ.
8 වර තිස් දහසක් භික්ෂුන් හා සීවලී මහරහතන් සමග බුදුරජාණන් වහන්සේ ඛදිරවනිය රේවත ස්වාමීන් දකින්නට දින 15 ක් ගමන යද්දී සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍යානු භාවයෙන් දෙවියෝ බිමට බැස මිනිස් වෙසින් උන්වහන්සේලාට දානය දුන්හ. ආපසු වඩින විටද එහි ගත කළ දින 15ටද යන දින 45 තුළ සිවුපසය දුන්හ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී සිවුවණක් පිරිස මැදදී සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර ප්‍රධාන තැන පැවරූසේක.