3/20/17

මහා අභිධර්ම දේශනා


නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස 
මේ බුද්ධ ශාසනය තුල ප්‍රකට වන මුලිකම හරය අන්තර්ගතවෙලා තියෙන කොටසක් තමයි ධම්මහදය විභඞ්ගය. ඒ ඒ භුමින්ට අයත් ස්කන්ධ, ධාතු, ආයතන පිලිබදව බෙදිමකුයි ධම්මහදය විභඞ්ගය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ ස්කන්ධ, ධාතු, ආයතන පිලිබදව විමසීම තුලින්ම තමයි හොඳින් විදර්ශනා ඥානය ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ස්කන්ධ, ධාතු, ආයතන පිලිබදව ඇති කරගන්නා අවබෝධය නැතිව විදර්ශනා ඥානය ඇතිකරගන්න හැකියාවක් නෑ. ඒකට මම උපමාවක් කලොත්, දුම්රියකට ගමන් කරන්න බැහැ රේල් පාර නැතුව. දුම්රියට ගමන් කරන්න රේල් පාර තියෙන්න ඕනේ වගේ විදර්ශනා ඥානය දිවෙන්නත් භූමියක් තියෙනවා. විදර්ශනා භූමියක්. ඉස්සෙල්ලා ඒ භුමිය ගැන දැනුම තියෙන්න ඕනේ. ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීය කියන්නේ ඒ ටික. බුදුරජාණන් වහන්සේ බහුධාතුක සුත්‍රයේ දී දේශනා කරනවා " මේ ලෝකයේ යම්කිසි දුකක් ඇතිවෙනවා නම් ඒ හැම දුකක්ම ඇතිවෙන්නේ බාලයා කරායි. හැම උපද්‍රවයක් වෙනවා නම් වෙන්නේ බාලයා කරායි. හැම විපතක්ම වෙන්නේ බාලයා කරායි. පණ්ඩිතයාට ඇති දුකකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ, විපතකුත් නැහැ , ඒ නිසා මහණෙනි එහි ලා විමසා බලා කටයුතු කරන පණ්ඩිතයෙක් වෙන්න" කියල. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ අහනවා " ස්වාමිනි භග්‍යවතුන් වහන්ස, කෙසේ විමසා බලා පණ්ඩිතයෙක් වෙනව ද" " ආනන්දය, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලා පණ්ඩිතයෙක් වෙන්න" එතකොට පණ්ඩිත බව ඇතිවෙන්න නම් පණ්ඩිතයෙක් වෙන්න නම්, පණ්ඩිත බව ඇතිකරන, ඒ ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් විමසන්න ඕනේ. එහෙම විමසන්න නම් අපි ගාව ඒ ස්කන්ධ කියන්නේ මොනවාද, ආයතන කියන්නේ මොනවාද, ධාතු කියන්නේ මොනවාද කියන දැනුම තියෙන්න ඕනේ. එතකොට ඒ ටික අපි ඉගෙනගනිමු. ඒකට අපි විභඞ්ගප්‍රකරණයේ විස්තර වන පෙළක් පුරවමු. ඒ කියන්නේ හැම තැනින්ම අපට අරගෙන කතා කළ හැකියි. නමුත් මොන තැනද අපි ඉගෙන ගන්නේ කියන කාරණාව එක පෙළකින් විමසන කොට ප්‍රකට වෙනවා. මම මුලින්ම දැක්වුවා විභඞ්ගප්‍රකරණයේ තියෙන ධම්මහදය විභඞ්ගය පිලිබදව. ඒ ධම්මහදය විභඞ්ගය කියල කියන්නේ මුලින් කියපු ආකාරයට දහම් හදවත බෙදලා පෙන්වන තැන.
ඕනෑම කෙනෙකුගේ ශරීරයේ ප්‍රධාන අංගය තමයි හදවත කියල කියන්නේ. ඒ වගේ මේ ශාසනය කියල යමක් තියෙනවා නම් ඒ ශාසනේ හදවත වගේ තැන තමයි ධම්මහදය විභඞ්ගය කියල කියන්නේ. ධම්මහදය විභඞ්ගයේ දී දහමේ හදවත වගේ දහමේ මුලික අර්ථය ප්‍රකට කරවන ස්කන්ධ, ධාතු, ආයතන පිලිබදව බෙදා දක්වනවා. එකේ දී සබ්බමුල (සියල්ලටම මුල්වන) මාතිකා දොළහක් තියෙනවා. ස්කන්ධ, ධාතු, ආයතන, සච්ච, ඉන්ද්‍රීය, හේතු, ආහාර, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, චිත්ත කියල. එතන දී "කති ඛන්ධා?" ස්කන්ධයෝ කෙතෙක්ද? කියල අහනකොට අපට ස්කන්ධයෝ පහයි කියල හමුවෙනවා. එතකොට ඒ ස්කන්ධ පහ මොකක්ද කියන කාරණය විමසන කොට මේ විභඞ්ගප්‍රකරණයේ වෙනම තැනක දී ඒ පිලිබදව විස්තර කරනවා. දැන් අතන ඒ ස්කන්ධ පහ මාතෘකා කළාට විභඞ්ගප්‍රකරණයේ ඛන්ධ විභඞ්ගයේදී ඒ පිලිබදව වඩාත් විස්තර කරනවා.
අපි මේ ස්කන්ධ ටික මුලින් ඉගෙන ගන්න ඕනේ. ඉස්සෙල්ලා මම පෙළ උගන්වන්නම්. පෙළ උගන්වලා ඊට පස්සේ ඒවායේ අර්ථය උගන්වන්නම්. අපට මේ ස්කන්ධ ටික විතරක් ඉගෙන ගත්තත් ඔක්කොම තුන් මාසෙන් ඉවර කරන්නත් බැරිවෙයි. ඒ නිසා කෙටියෙන් තමයි විස්තර කරන්න වෙන්නේ ගොඩක් තියෙන නිසා. එතකොට ස්කන්ධ පහයි. ඒවා තමයි.
1. රූප ස්කන්ධය
2. වේදනා ස්කන්ධය
3. සංඥා ස්කන්ධය
4. සංස්කාර ස්කන්ධය
5. විඤ්ඤාණ ස්කන්ධය
එතකොට, පළමු ස්කන්ධය තමයි රූප ස්කන්ධය කියන එක. රූපය කියන එක විභඞ්ගප්‍රකරණයේ දී විස්තර කරාට සවිස්තරව ම බෙදලා දැක්වෙන්නේ ධම්මසඞ්ගණිප්‍රකරණයේ රූප ඛාණ්ඩය තුල දී යි.( ඒ පිලිබදව අපි පසුව සාකච්ඡා කරමු). විභඞ්ගප්‍රකරණයේ දී කාරණා එකොළහකින් ලෝකයාට රූපස්කන්ධය හමුවන ආකාරය බෙදලා දක්වනවා.
1. අතීත රූප
2. අනගාත රූප
3. වර්තමාන රූප
4. ආධ්‍යාත්මික රූප
5. බාහිර රූප
6. ඔෟදාරික රූප (රළු රූප)
7. සියුම් රූප
8. හීන රූප
9. ප්‍රණීත රූප
10. දුර රූප
11. ළඟ රූප
කියල එකොලොස් ආකාරයකින් මේ රූපය ලෝකයාට හමුවෙනවා.
එතකොට රූපස්කන්ධය කියල කියනකොට " අතීත, අනාගත, පච්චුප්පන්නං වා, අජ්ඣත්තං වා, බහිද්ධා වා, ඔළාරිකං වා, සුඛුමං වා, හීනං වා, පණීතං වා, යං දුරෙ, සන්තිකෙ වා සබ්බං රූපං" කියන මේ එකොලොස් තැනම තියෙන ඔක්කොම රූප ටික අයිතියි. එතකොට වේදනා ස්කන්ධ කියල කියනකොටත් ඒ වේදනා ස්කන්ධයටත් මෙන්න මේ එකොලොස් ආකාරය ම අයිතියි. එකොලොස් තැනක තියෙන වේදනාවේ තව ගොඩාක් ප්‍රභේද තියෙනවා. අතීතයේ වින්ද වේදනා, අනගාතයේ විඳින වේදනා, දැන් විඳින වේදනා, ආධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා, ඔෟදාරික වේදනා, සුඛුම වේදනා, හීන වේදනා, ප්‍රණීත වේදනා, දුර වේදනා, ළඟ වේදනා කියල ඒවා ඔක්කොම කොටස් අපිට ඉගෙන ගත්ත හැකියි.
ඒ වගේම සඤ්ඤා, සංඛාරය, විඤ්ඤාණය කියන මේ ස්කන්ධ තුනත් මේ එකොලොස් ආකාරයට බෙදලා දක්වන්න පුළුවන්. එතකොට මේ ස්කන්ධ පංචකය පනස් පස් (55) ආකාරයකින් ලෝකයට ප්‍රකට වෙලා තියෙනවා. එතකොට අපි එකොලොස් ආකාරය රූපස්කන්ධය ඉගෙන ගන්නකොට කොතැනකින් හම්බවෙන රූපයේ ගතිය මෙන්න මේකයි කියන තැනකට එන්න ඕනේ. අපි වර්තමාන රූපයක් ගැන කතා කලොත් කොතැන තියෙන රූපස්කන්ධයකත් මේ රූපයයි මේ ස්වභාවයයි කියන නුවණ එන්න ඕනේ. ස්කන්ධ කියනකොට හොඳට අපි අර්ථය දැනගන්න ඕනේ. එතකොට දැන් ස්කන්ධ කියල කියන්නේ " රාසත්තො ඛන්ධත්තො, පුඤ්ජත්තො ඛන්ධත්තො, සමුහත්තො ඛන්ධත්තො," රාශි අර්ථයෙන් ස්කන්ධයි කියලා කියනවා. ධාතු පුඤ්ජයක්,ගොඩක් කියන අර්ථයෙන් ස්කන්ධයි කියනවා. සමුහ අර්ථයෙන් ස්කන්ධයි කියල කියනවා. එතකොට තව උදකක්ඛන්ධ, අග්ගික්ඛන්ධ, දාරුක්ඛන්ධ කියල: ජල ගොඩක්, ගිනි ගොඩක් , දර ගොඩක් කියල කියනවනේ.
'රූපඛන්ධ' - රූප ගොඩක්. 'වෙදනක්ඛන්ධ; වේදනා ගොඩක්, 'සඤ්ඤාක්ඛන්ධ' - සංඥා ගොඩක්, 'සංඛාරක්ඛන්ධ' ; සංඛාර ගොඩක්, විඤ්ඤාණක්ඛන්ධ' ; විඤ්ඤාණ ගොඩක්, කියන අර්ථයෙන් ස්කන්ධයි කියල කියනවා. ගොඩක්, සමුහයක්, පුඤ්ජයක්, රාශියක් කියන අර්ථයෙන් ස්කන්ධයි කියන අර්ථය දත යුතුයි. එතකොට ඒ ස්කන්ධයන් ගත්තහම ඒකේ දී අපට ඒ ස්කන්ධය ප්‍රකට වෙන කාරණා එකොළහක් (11) තියෙනවා. ස්කන්ධ ටික විස්තර කරන්නේ මේ කාරණා එකොළහ යටතේ. එතකොට මෙතන දී අපට රූපය ප්‍රකට වෙන අවස්ථා, ප්‍රකට වෙන තැන් එකොළහක් ගැන කියනවා මිසක තවම ස්කන්ධයන්ගේ විස්තරය නෙමෙයි මේ. එතන දී අපට මෙන්න මෙහෙම රූප හම්බවෙන්න පුළුවන්, ඒ ඒ වෙලාවේදී හම්බවෙන ඒ ඒ රූපයේ ස්වභාවය මෙන්න මේකයි කියන එකයි විස්තර වෙන්නේ.
අපි මෙහෙම කියමු : දැන් අතීත රූප කියල කියන්නේ මොකක්ද? භව වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ ඉක්මගිය, නිරුද්ධ වුනු, ගෙවුණු, අස්තඞ්ගය ගිය, නැතිවුණු රූපයක් තියෙනවා නම් මේකයි අතීත රූපය. ඒ කියන්නේ අපේ ජීවිතයෙන් ගත්තහම පෙර ආත්මයක අපි මෙහෙම ඉන්න ඇති, මේ වගේ කෙනෙක් වෙලා ඉන්න ඇති කියල යම් රූපයක් ගැන කතා කලොත් , එහෙම නැත්නම් මේ ජීවිතයේදී ම පොඩි කාලේ මගේ මෙන්න මෙහෙම රූපයක් තිබ්බා, පොඩි කාලේ මම මෙහෙම රූපයක් දැක්කා කියන තැනකින් හෝ මම මීට ටිකකට ඉස්සරවෙලා මෙහෙම දෙයක් දැක්කා නේ කියල රූපයක් ගැන අපි කතා කරනවා නම් ක්ෂණ වශයෙන් ඉක්මගිය, භව වශයෙන් ඉක්ම ගිය, ඒ වගේ තැනක දී අපිට හමුවන රූප අතීත රූපයයි.
එතකොට භව වශයෙන් හෝ ක්ෂණ වශයෙන් හෝ නොහටගත් ප්‍රත්‍ය සමවායයෙන් තාම නුපන්න, පහල නොවූ, ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්ත, නො නැගුණු රූපයක් තියෙනවා නම් ඒ රූප අනාගත රූපයි. අනාගත = න + ආගත, පැමිණියේ නැහැ, ආගත කියන්නේ ආවාවූ, න ආගත (අනාගත) ආවේ නැහැ තවම, උපන්නේ නැහැ හටගත්තේ නැහැ කියන අදහසින් අනාගත කියන්නේ. අනාගතයේ දී, දෙවියෙක් වෙනවද, බ්‍රහමයෙක් වෙන කොට මෙහෙම රූපයක් වේවා, මෙහෙම රූපයක් ලැබේවා. මෙහෙම වෙනවා නම්. තව ටිකකින් මම මෙන්න මෙහෙම රූපයක් බාන්න යනවා කියන තැනකින් හෝ කතා කරනවා නම් නුපන්න, නොහටගත්ත, අනාගත රූප. වර්තමානයේ මට දැන් මේ පෙනෙන්නේ රූපයක්, දෙයක් කියන තැනකින් වගේ වර්තමානය තුල හමුවන රූපය වර්තමාන රූපයයි. ආධ්‍යාත්මික රූප - ඇස, කණ, දිව, නාසය, දිව, නාසය, ශරීරය, මනස නේද? ( හොඳ අවධානයෙන් ඉන්නවද කියල බැලුවේ) මනස රූපයක් ද? ඔක්කොමලා කිව්වා ඔව් කියලා. නෑ, මනස රූපයක් නෙමෙයි. මම හොඳ අවධානයෙන් ඒක කිව්වේ. අපි අවධානයෙන් හිටිය නම් ඒකේ අර්ථය හිතට වැටෙන කොට ඉක්මනට අහුවෙනවා. මේ රූපය නෙමෙයිනේ කිව්වේ කියලා. හොඳ අවධානයෙන් ඉන්න. එතකොට ඇහැ, කණ, නාසය, දිව,ශරීරය ආධ්‍යාත්මික රූපයි. බාහිර රූප - රූප (වර්ණ රූපය), ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ.
එතකොට ඔළාරික රූප කියල කියන්නේ චක්ඛායතනය, රූපායතනය, සොතායතනය, සද්දායතනය, ඝානායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායායතනය - කියන මේ ටිකට. මේ විදිහට විස්තර වෙන්නේ එක එක ක්‍රම, එක එක පරියායෙන්. ආධ්‍යාත්මික, බාහිර දෙකම අයිති ඔෟදාරික රූපවලට, දැන් ඔය ඔෟදාරික රූප පරියාය ගත්තොත් ඇහැ ගොරෝසු රූපයක්, ඇහැට පෙනෙන වර්ණ රූපය ගොරෝසු රූපයක්, කන ගොරෝසු රූපයක්, ශබ්දය ගොරෝසු රූපයක්, නාසය ගොරෝසු රූපයක්, ගන්ධය ගොරෝසු රූපයක්, දිව ගොරෝසු රූපයක්, රසය ගොරෝසු රූපයක්, කය ගොරෝසු රූපයක්. මේවා ඔෟදාරික රූප. ඔෟදාරික රූපවල ලක්ෂණය තමයි හැමවෙලාවෙම 'සප්පඨීඝං' - ගැටෙනවා එතකොට සුඛුම රූපයි කියල කියන්නේ 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති, ආකාශ ධාතු, අපෝ ධාතු , රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, කබලිංකාරහාර' කියන මෙන්න මේ රූප ටිකයි. සුඛුමයි කියල කියන්නේ ධම්මායතනය පරියාපන්නයි. මේවා ගැටෙන්නේ නැහැ. සුඛුම රූපවල ලක්ෂණය තමයි ගැටෙන්නේ නැහැ. ඒවා 'අප්පටිඝ රූප '. ඒ කියන්නේ සිතේම යෙදෙන ගති ස්වභාවයකින් මිසක ඒකට ප්‍රතිපක්ෂව ගැටෙන්න යමක් නැහැ. 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය' වගේ සුඛුම රූප එක්ක ගැටෙන්න එකක් නැහැ. ඒ නිසා 'ඉත්ථින්ද්‍රිය රූපය, පුරිසින්ද්‍රිය රූපය නිසා මේ කය හැදෙනවා මිසක ඒකට ගැටෙන්න එකක් නැහැ.
දැන් ඇහැට (චක්ඛු ප්‍රසාද රූපයට) නම් වර්ණ සටහන ගැටෙනවා, වර්ණ සටහනට ඇහැ ගැටෙනවා කියල පටිඝ සම්ඵස්සයක් පෙන්නන පුළුවන්. මේ සුඛුම රූප 'අප්පටිඝයි, අනිදස්සනයි' (අපිට එය ඉගෙනගත හැකියි ඉදිරියට). එතකොට හැමවෙලාවෙම ධම්මායතනය පරියාපන්න වූ අප්පටිඝ, ඒ කියන්නේ ගැටීමෙන් තොර, සිත නුව ගිය රූප ටික හැමවෙලාවෙම සුඛුම යි. සතරමහාධාතුව නිසා පවතින රූප ටික ඔෟදාරික යි. හිත අනුව ගිය ගැටීමක් නැති නමුත් රූප හැමවෙලාවෙම සුඛුම යි. අපි සුඛුම රූප කියනකොට හොඳට දත යුතුයි 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය' ආදී ලෙස පෙන්වන මෙන්න මේ කාරණා ටිකටයි සුඛුම රූප කියන්නේ. ඒවා හැම වෙලාවේම ධම්මායතනය පරියාපන්නයි. ධම්මයතනය අනුව ගිහිල්ලා තියෙන්නේ. අර මම කිව්වේ බීජයේ තියෙනවා ගතියක් ගහ හදන්නේ මෙහෙමයි ඒ වගේ හිතේ (භාව රූපයේ) තියෙනවා ගතියක් රූපය හදන්නේ මෙහෙමයි කියලා.
දැන් මැරුණු රූපයක භාව රූපය නිසා රාශි වුන සතරමහාධාතුව මිසක භාව රූප මොකුත් නෑ. මේ රූපය පුරුෂයෙක් නොවෙයි. ඒක පුරිසින්ද්‍රිය රූපය නෙමෙයි. පුරිසින්ද්‍රිය රූපය නිසා හැදුනු, විද්‍යමාන වන සතරමහාධාතු රූපයට යි පුරුෂයා කියල ව්‍යවහාර කරන්නේ. පුරිසින්ද්‍රිය රූපය කියන එක හැමවෙලාවෙම ධම්මායතනය පරියාපන්නයි. එතකොට ඒකෙන් දකින්න සුඛුම රූප කියන්නේ දකින්න බැරි, ගැටෙන්නේත් නැති, ධම්මයතනය පරියාපන්න රූප ටිකකුයි කියන එක. හොඳට ඒ ටික ගැන අපට අවධානය ගන්න යන්න ඕනේ. කොයි වෙලාවක හරි සුඛුම රූප කියල කිව්වොත් ගැටීමකින් තොර, ධම්මායතනය අනුව ගිය රූප මොනවද කියල විමසුවොත්, 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති, ආකාශ ධාතු, අපෝ ධාතු , රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, කබලිංකාරහාර' කියන මෙන්න මේ ටිකට මනස ගන්න ඕනේ.
ප්‍රශ්නයක් -
එතකොට ස්වාමින්වහන්ස ශිත උෂ්ණ ආදියෙන් විකාරයට පත්වන වෙනස් වීමට පත්වෙන නිසා (රුප්පතී ති ඛො රූපං) නේද රූප කියල කියන්නේ?
පිළිතුර
මනසට අනුව තිබෙන මේ සුඛුම රූප එහෙම වෙන්නේ නැහැ. අපි කියමු රූපාවචර බ්‍රහ්ම ලෝකයේ දී රූපය කියල යමක් තියෙනවා. නමුත් කබලිංකාරහාරය නියෝජනය කරන්නේ නැහැ රූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටමේ දී. කබලිංකාරහාරය නියෝජනය කරමින් පවතින රූපයකුත් තියෙනවා, ධම්මායතනය නියෝජනය කරමින් පවතින රූපයකුත් තියෙනවා. කාම ලෝකයේ කෙනාට ධම්මායතනය නියෝජනය කරමින් පවතින රූපය අහුවෙන්නේ නැහැ. කබලිංකාරහාරය නියෝජනය කරමින් පවතින රූප විතරයි. මේ කබලිංකාරහාර රූපය තමයි සීතෙන්, උෂ්ණයෙන් කිපෙන්නේ. එතකොට කබලිංකාරහාර ප්‍රත්‍යයෙන් හටගත් කාම ලෝකයේ ඉන්න කෙනාගේ රූපය හැමවෙලාවෙම සීත උෂ්ණයෙන් කිපෙනවා. ධම්මායතනය අනුව තිබෙන රූපයෙන් තමයි බාහිර රූපය හදන්නේ. ඒ හැදුනු රූපයයි සීත, උෂ්ණ දෙකෙන් කිපෙන්නේ. එතකොට රූපයේ අනිත්‍යය ගැන කියන්න වෙන්නේ රුප්පතී ති ඛො රූපං කියල ධම්මායතනය අනුව ගිය සුඛුම රූපයන්ගෙන් ඔසවපු ඒ නිසා විද්‍යමාන වන සතරමහාධාතු රූපයයි.
එතකොට හීන රූප කියල කියන්නේ මොනවද? ලෝකයෙහි ලෝකයා විසින් ඒ ඒ සත්වයන්ට අවමන් කරන ලද, ලාමක වශයෙන් සලකන ලද, බැහැර කළ, පරිභව කල, නොගරු කළ, හීන වූ හීන යැයි සලකන ලද රූප තියෙනවා නම් අනිෂ්ඨ වූ අකාන්ත වූ රූප වලට කියනවා හීන රූප. ප්‍රණීත රූප කියල කියන්නේ ලෝකයේ ප්‍රණිතයි කියල උසස් කියල, ශ්‍රේෂ්ඨ කියලා, යහපත් කියලා හිතන රූප ප්‍රණීත රූප යි. ඊට පස්සේ දුර රූප කියල කියන්නේ මොකක්ද? අන්න අර ධම්මයතනය පරියාපන්නයි කියපු රූප ටික තියෙනවා නේද - 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති, ආකාශ ධාතු, අපෝ ධාතු , රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, කබලිංකාරහාරො' කියල . ඔන්න ඔය රූප ටික දත යුතුයි දුර රූප කියල. මොකද, දුරාවබෝධයි. ඒ රූප වල අවබෝධය ඉතාම දුෂ්කරයි.
මේ රූපය ගැන කථා කලාට, මේ රූපයේ ස්වභාවය හරිම දුෂ්කරයි, අවබෝධයට හරිම දුෂ්කරයි, අවබෝධයට හරිම අමාරුයි. මොකද මේ රූපය කිසිම කලෙක මනෝ විඤ්ඤාණයෙන් ම විඤ්ඤෙය්‍යයි මිසක වෙන කිසිම තැනකින් විඤ්ඤෙය්‍ය නෑ. මේ නිසා සුඛුම රූපයි කියපු ටික, ඒ රූපවල අවබෝධය දුෂ්කර නිසාම දුර රූප කියල කියනවා. එතකොට ඒ දුර රූපවල ලක්ෂණය තමයි අවබෝධයට ඇති දුෂ්කර බව, නුවණින්, මනෝ විඤ්ඤාණයෙන් ම ඒ රූප විඤ්ඤෙය්‍යයි මිසක වෙන කිසිම විඤ්ඤාණයකින් විඤ්ඤෙය්‍ය නොවන බව. දැන් 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය' වගේ රූප චක්ඛු විඤ්ඤාණයෙන් විඤ්ඤෙය්‍ය නැහැ.මේ ඇහැට පෙන්නේ වර්ණ රූපයක් මිසක 'ඉත්ථින්ද්‍රිය, පුරිසින්ද්‍රිය රූප එහෙම ඇහැට පෙන්නේ නැහැ. එකයි මේ දහම, අපි මෙච්චර කල් දැනගෙන හිටිය මට්ටමේ කෙලෙසේ පවත්වන්න බැරි මට්ටමකට මේ අවබෝධය අපිව අරගෙන යනවා. සන්තිකෙ රූප කියල කියන්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටිකටයි. ඔන්න ඔය ටික තමයි මේ රූපය ගැන තියෙන එකොලොස් ආකාරය. අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ ධම්මසඞ්ගණි විවරණය - 1 පොත ඇසුරෙන්