Showing posts with label karma. Show all posts
Showing posts with label karma. Show all posts

10/15/20

කසළ ගොඩක මුණින් වැටී පිරිණිවන් පෑ රහතන්වහන්සේ

 


සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ මොහොතයි.ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා.බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්.පුදුම සහගතයි.මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්.මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ.එවැනි අසිරිමත් ධර්මයක් කණ වැකුණු සැණෙකින් සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.

ඉස්සර කාලෙ බොහෝ මිනිස්සු වෙළඳාම් පිණිස නැව්වලින් මුහුදු ගමන් යනවා.සමහර අවස්ථාවන්හීදී ඒ නැව් අනතුරුවලට ලක්වෙනවා.කුණාටුවලට හසු වෙනවා.මුහුදෙ මැද ඒ නැව් බිඳෙනවා.මිනිසුන් ජල රකුසාට බිලිවෙනවා.

එක්තරා වෙළඳ පිරිසක් නැවක නැගී වෙළඳාමේ ගියා.ඒ නැව මුහුද මැද අනතුරකට බඳුන් වුණා.ඒ නැවේ එක් පුරුෂයෙක් හිටියා.ඔහුගේ නම බාහිය. බාහිය ගේ පිනකට ඔහුට කොටයක එල්ලීගන්න පුළුවන්කම ලැබුණා. දවස් කිහිපයක්ම මුහුදේ පාවෙමින් තිබුණු කොටය ගොඩ බිමකට ළඟා වුණා. කොටයේ එල්ලීගෙන ගොඩ බිමකට ඇවිදින් ජීවිතේ බේරගත්ත බාහියට ඇඟේ නූල් පොටක්වත් ඉතුරු වුණේ නැහැ. ඇඳගෙන හිටිය ඇඳුම් පවා ගැලවිලා ගිහින් තිබුණා.

ඉතින් මේ බාහිය කියන තරුණයා ඒ අසල වනාන්තරයට ඇතුළු වෙලා ගස්වල පට්ට, දර පතුරු එකතු කරලා ඇඳුමක් හදාගත්තා. කැලේ මැදින් නන්නාඳුනන ගමකට එක පාරටම ඇතුළු වෙන්න තිබුණු භය නිසාදෝ කැලේ තිබෙන අල වර්ග, පළතුරු ආදිය ආහාරයට ගනිමින් ටික කාලයක් කැලේ ජීවත් වුණා.

යම් යම් කටයුතු සඳහා වනාන්තරයට ඇතුළුවන මිනිස්සු බාහියව දැකලා, දර පතුරුවලින් ඇඳුමක් හදාගෙන වනාන්තරයට වෙලා හුදෙකලාව ජීවත් වන මේ පුද්ගලයා නම්, සාමාන්‍ය කෙනෙක් නොවෙයි, රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා දාන මාන රැගෙන විත් පුද සත්කාර කරන්න පටන් ගත්තා. ඔය අතරේ දර පතුරු ඇඳගෙන හිටපු බාහිය දාරුචීරියටත් හිතුනා, මේ ලෝකයේ රහතුන් වැඩ සිටිනවා නම්, මමත් ඒ අය අතර එක්කෙනෙක් වෙන්න ඇති කියලා. වංචනික ලෙස රහතන් වහන්සේ නමක හැටියට බොරුවට රඟපාමින් මිනිසුන් මුළා කරන්න පටන් ගත්තා.

බාහිය දාරුචීරියට අනුකම්පා කරපු එක්තරා දෙවි කෙනෙක් දාරුචීරිය ඉදිරියේ පෙනී සිට කියා හිටියා, “බාහිය නුඹ රහත් ;කනෙක් නෙවෙයි. නුඹ රහත් වන මාර්ගයටවත් පැමිණිච්ච කෙනෙක් නොවෙයි” කියලා. අන්න ඒ වෙලාවේදී කම්පාවට පත්වෙච්ච බාහිය දාරුචීරිය, “මේ ලෝකයේ රහතන් වහන්සේලා වැඩ සිටිනවා ද? උන්වහන්සේලා වැඩසිටින්නේ කොහේ ද? “ කියලා ඇහුවා. ඒ දෙවි කෙනා දාරුචීරියට පිළිතුරු දුන්නා, “බාහිය, රහතුන් පමණක් නෙවෙයි, රහත් වන මාර්ගයත් ලෝකයට පෙන්වලා දෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් දැන් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ වැඩ සිටින්නේ, උතුරු ජනපදයේ සැවැත් නුවර කියන නගරයේ. අන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කොට අරහත්වයට පත්වීම පිණිස ධර්මය දේශනා කරනවා” කියලා.

මේ පණිවිඩය ඇහුණට පස්සේ බාහිය දාරුචීරියට ඉවසුම් නැතිව ගියා. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සුප්පාරක පටුන කියන ප්‍රදේශයේ ඉඳන් උතුරු ප්‍රදේශයේ සැවැත්නුවර දක්වා කිලෝ මීටර් දහසකටත් වඩා වැඩි දුරක් පයින් දුවන්න පටන් ගත්තා. දවස් ගණනක් දුවගෙන දුවගෙන සැවැත්නුවර හොයාගෙන බාහිය දාරුචීරිය ජේතවනාරාමයට පැමිණියා. එදා උදෑසන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සැවැත්නුවර ජේතවනාරාමයේ එළිමහන් භූමියේ සක්මන් කරමින් සිටියා. දුවගෙන දුවගෙන ආපු බාහිය දාරුචීරිය. “අනේ ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටිනව ද? උන්වහන්සේ වැඩසිටින්නේ කොහේ ද?” කියලා ඇහුවා.

ඒ වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස නගරයට වැඩම කරලයි හිටියේ. ඒ බව දැනගත්ත බාහිය, නගරයේ වීදියක්, වීදියක් පාසා බුදුරජාණන් වහන්සේව සොයමින් දුවගෙන ගියා. සොයමින් යද්දි ශාන්ත ඉඳුරන්ගෙන් යුතුව පාත්‍රයක් අතින් දරාගෙන පිණ්ඩපාතය වඩින බුදුරජාණන් වහන්සේව දකින්නට ලැබුණා. දුටු සැණින් දාරුචීරිය හඳුනගත්තා, මේ නම් ඒකාන්තයෙන්ම නිවන් මඟ පෙන්වා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේම තමයි කියලා.

මහ මඟ විවර වූ දහම් ගඟ...

බාහිය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා පාමුල වැඳ වැටී, “අනේ ස්වාමීනි, මට බොහෝ කාලයක් හිත සුව පිණිස ධර්මය දේශනා කරන සේක්වා! සුගතයන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා!” කියල ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරියට වදාළා, “බාහිය, මේ පිණ්ඩපාතය කරන වෙලාවයි. බණ කියන වෙලාව නොවෙයි. ටිකක් ඉවසලා ඉන්න” කියලා. එතකොට පින්වතුනි, දාරුචීරිය කියනවා, “අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ජීවිතයට අනතුරක් වෙයි ද කවුද දන්නේ?, මගේ ජීවිතයට අනතුරක් වෙයිද කවුද දන්නේ? ඒ නිසා මට අවබෝධය පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන සේක්වා!” කියලා. දෙවැනි වතාවෙදීත් බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය මේ බණ කියන වෙලාව නෙවෙයි, තථාගතයන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාව යි” කියලා. දාරුචීරිය, තුන්වන වතාවෙදීත් ඒ විදිහටම පෙරැත්ත කරමින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන්න කියල ඉල්ලා හිටියා.

තුන්වැනි වතාවෙදි බුදුරජාණන් වහන්සේ දාරුචීරියගේ කර්මයේ ස්වභාවය ගැනත් ධර්මය අවබෝධ කිරීමේ හේතු සම්පත් ගැනත් බුදු නුවණින් විමසලා බැලුවා. බාහිය දාරුචීරියට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික වෙලාවයි. නමුත් ඔහුට කෙටියෙන් ධර්මය පැවසුවත්, ඒ ධර්මය විස්තරාත්මකව අවබෝධ කරගැනීමට තරම් කුසලතාවයක් ඇති කෙනෙක්. පිණ්ඩපාතය වඩින අතරතුර පාත්තරය අතේ දරාගෙන තමන් ඉදිරියේ වැඳ වැටී සිටින දාරුචීරියට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මය දේශනා කළා.

සංක්‍ෂිප්ත කොට වදාළ නිවන් මඟ...

බුදුරජාණන් වහන්සේ වදාළා, බාහිය, ඔබ මේ විදිහට හික්මෙන්න ඕන. “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤානෙ විඤ්ඤානමත්තං භවිස්සතී’ති”

“දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි, සිතුවොත් සිතුවා පමණයි” කියලා.

දැක්කොත් දැක්කා පමණයි කියන්නේ, ඇසින් දකින රූප මුල් වෙලා රාග, ද්වේෂ , මෝහ ආදී කෙලෙස් හටගන්න පුළුවන්. කෙලෙස් හටගන්න රූපයන්ගේ නිමිති සටහන් හෝ නිමිත්තක කොටසක් හෝ මතක තියාගෙන අයෝනි සෝ මනසිකාරයන් සිහිකිරීම තුළ තමයි, යළි යළිත් සිත තුළ කෙලෙස් ඇතිවෙන්නෙ. සම්පජානයෙන් යුතුව කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණකින් කටයුතු කරන ශ්‍රාවකයෙකු හට ඇසින් රූපයක් දැක්කට පස්සේ කෙලෙස් හටගන්න නිමිති සටහන් මතක තියාගන්නෙ නැතුව,”දැක්කොත් දැක්කා පමණයි” කියලා ඒ ඒ තැනම සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම තමයි, පි‍්‍රය මනාප කෙලෙස් හටගන්න ශබ්දයක් කනින් ඇසුණට පස්සේ එහි නිමිති සටහන් මතක තබාගෙන අයෝනි සෝමනසිකාරයෙන් යුතුව සිහිකිරීම නිසා සිත තුළ නූපන් කෙලෙස් උපදිනවා. උපන් කෙලෙස් වර්ධනය වෙනවා. කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් වාසය කරන ආර්ය ශ්‍රාවකයෙකුට “ඇසුණොත් ඇසුණා පමණ යි” කියලා සම්පජාන විදර්ශනාව තුළින් ඒ ඒ තැනම කනින් අසන ශබ්ද හරහා සිත තුළ ඇතිවිය හැකි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්.

ආයතන හය ඉදිරිපිට සිහිනුවණ...

නාසයට දැනෙන ගඳ සුවඳ හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. දිවට දැනෙන රසය හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියා ගන්නවා. කයට දැනෙන පහස හරහා කෙලෙස් හටගන්න නිමිති සටහන් අපි මතක තියාගන්නවා. අයෝනි සෝමනසිකාරයෙන් යුතුව, එම නිමිති සටහන් සිහිකිරීම නිසා නූපන් කෙලෙස් සිත තුළ උපදිනවා. උපන්නා වූ කෙලෙස් ඇත්නම් ඒවා තව තවත් වර්ධනය වෙනවා. “දැනුණොත් දැනුණා පමණ යි” කියලා නාසයට දැනෙන ගද, සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ආදිය හරහා සිතට ඇතුළු විය හැකි කෙලෙස් සම්පජාන විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව ඒ ඒ තැනම ප්‍රහාණය කරන්න පුළුවන්.

ඒ වගේම තමයි, කෙලෙස් හටගන්න සිතුවිලි අපි සිතින් සිත සිතා, කොයිතරම් නම් නූපන් කෙලෙස් සිත තුළ උපද්දව ගන්නවා ද? උපන්නා වූ කෙලෙස් කොයිතරම් නම් අපේ සිත තුළ අයෝනි සෝමනසිකාරයෙන් යුතුව වර්ධනය කරගන්නවා ද? “සිතුවොත් සිතුවා පමණයි” කියලා සිතේ හටගන්න සිතුවිලි මුල් කරගෙන සිත තුළ කෙලෙස් ඇතිවෙන්න ඉඩ නොදී කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සම්පජාන විදර්ශනාවෙන් වාසය කිරීම තුළ සිතේ හටගන්න යම් අකුසල ධර්මයන් ඇද්ද, ඒවා ඒ ඒ මොහොතේදී ම ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා.

නොපිහිටි විඤ්ඤාණය නිරුද්ධ වීම...

බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ වදාළා, “බාහිය ඔබ “දැක්කොත් දැක්කා පමණ යි, ඇසුණොත් ඇසුණා පමණ යි, දැනුණොත් දැනුණා පමණයි,සිතුවොත් සිතුවා පමණයි” කියලා. ඒ ඒ මොහොතේදී ම ඔබේ හිතේ හටගන්නා ළාමක අකුසල ධර්මයන් සියල්ල ප්‍රහාණය කළොත්, තතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ එතන බැඳී නැත. යතො Àවං බාහිය න තෙන. බාහිය ඔබ වෙන තැනක ද බැඳී නැත. තතො Àවං බාහිය තත්‍ථ,යතො ත්වං බාහියන තත්‍ථ, තතො Àවං බාහිය තෙවිධ, න හුරං, න උභයමනතරෙ එසෙවනෙතා, දුක්ඛස්සා ති” බාහිය, ඔබ එතැන බැඳිල නැත්නම්, වෙන තැනකද බැඳිල නැත්නම්, ඒ අතර ද ඔබ බැඳිල නැහැ. එවිට ඔබ මෙලොව පරලොව කිසි තැනක නොපිහිටි සිතින් යුතුව සියලු දුක් කෙළවර කරනවා කියලා.

මෙන්න මේ ආකාරයට කෙටියෙන් ධර්මය දේශනා කර බුදුරජාණන් වහන්සේ පාත්තරේ අතැ’තිව පිණ්ඩපාතය පිණිස ඉදිරියට වැඩම කළා. බාහිය දාරුචීරිය මහ පාර අයිනේ දණ ගහගෙන ඒ ධර්මය නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය හා ගළපා බලමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා අරහත්වයට පත්වුණා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි බව ලබාදෙන සේක්වා!"

"පින්වත් බාහිය, පැවිදි වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු තියෙනවාද?"

"ස්වාමීනි, මං එහෙනම් පාත්‍රා සිවුරු සොයාගෙන එන්නම්" කියලා බාහිය දාරුචීරිය රහතන් වහන්සේ පිටත් වුණා.බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩියා.

බාහිය දාරුචීරිය රහතන් වහන්සේට වැඩි දුරක් යන්න ලැබුණේ නෑ.යක්ෂාවේශ වූ එක්තරා ගවදෙනක් උන්වහන්සේ පිටුපසින් වේගයෙන් දුවගෙන ඇවිත් ඇනගෙන ගියා.උන්වහන්සේ එතනම වැටුණා.සසරේ සියලු දුක් නිමා කොට පිරිනිවන් පෑවා.

බුදුරජාණන් වහන්සේට මේ බාහිය දාරුචීරියගේ හදිසි අනතුර ගැන සැලවුණා.උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග ඒ ස්ථානය වැඩම කළා.බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ මෘත ශරීරය කසළ ගොඩක් අසළ මුණින් අතට පෙරළී තිබුණා.

"පින්වත් මහණෙනි, මේ සිරුර ඇඳකට නංවා ගන්න.නගරයෙන් බැහැරට ගෙන ගොස් ආදාහනය කරන්න.ඒ අළු තැන්පත් කොට ස්ථූපයක් හදන්න."

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ මෘත ශරීරය රැගෙන ගොස් ආදාහනය කළා.කුඩා ස්ථූපයක් තැනුවා.මල් පූජා කළා.බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා.

"ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්.අද තමයි එයා මෙහෙ ආවේ.සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමග සුළු වෙලාවක් මොහු කතා කළ බව.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?"

"පින්වත් මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුටයි අයිති වුණේ.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ.සැණෙකින් ධර්මය අවබෝධ කළා.පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය තමයි වහා ධර්මාවබෝධ කළ මාගේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ."

භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් වුණා."අද උදේ තමයි මොහු ඉතා දුර බැහැර සිට සැවැත් නුවරට ආවේ.හරි පුදුමයි.කොයි වෙලාවෙද මොහු බණ ඇහුවේ...? අපි දැක්කේ නෑ....හැබැයි සමහර භික්ෂූන් දැක තියෙනවා මොහු පාරේ වඩින භාග්‍යවතුන් වහනේ ළඟ වැඳ වැටී සුළු මොහොතක් කතා කරන අයුරු.එතකොට ඒ සුළු වෙලාවෙදි අරහත්වයට පත්වීමට තරම් ධර්මයක් කොහොමද මොහු ඇහුවේ?"

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

සහස්සම්පි චේ ගාථා - අනත්ථපදසංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යෝ - යං සුත්වා උපසම්මති

දහසක් ගාථා කිව්වත් හැඩකොට
පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් ගාථාවක් මැනවින් ඇසුවිට
අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා විට එලෙසට
උතුම්ය එක් ගාථාවක් එම

ධම්ම පදයේ තිබෙන සෑම ගාථාවකම ඒ උතුම් බව තියෙනවා. කොතරම් ලස්සනට ගාථා හැදුවත්, කොතරම් මිහිරි හඬින් ඒවා ගායනා කළත්, අර්ථයක් නැත්නම් ඒ ගාථාවලින් පලක් නෑ.බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවල ජීවිතය අවබෝධ කරවීමේ හැකියාව තියෙනවා.ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරා ගාථාවල ඇති වටිනාකම පෙන්වා දුන්නා.එය ඇසූ බොහෝ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වුණා.

3/15/19

බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.



වරක්‌ ලිච්ඡවී පුත්‍ර සුනක්‌ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්‌සේරු කළ අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්‌ෂතා දැක්‌වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්‌තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්‌තරාත්මකව පැහැදිලි කර දුන්හ.

ආශ්‍රවයන් ක්‌ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා ශ්‍රාවක පිරිස අතර වෙනසක්‌ නොමැති වුවද රහතන් වහන්සේලා හා සාධාරණ නොවන තථාගතයන් වහන්සේට පමණක්‌ විශේෂිත ඥාන ශක්‌තීන් සමුදායක්‌ පැවැතුණි. ඒවා දස බල ඥාන හා චතුර් වෛශරාද්‍ය නොහොත් විශාරද ඥාන යනවෙන් පැහැදිලි වේ. බුදුරදුන් ම.නි. මහා සීහනාද සූත්‍රය තුළින් සිංහයකු අන්සතුන් අභිබවා සිංහනාද පවත්වන්නා සේ සිංහ නාද පැවැත්වූ ආකාරය පැහැදිලි වේ. බුදුහිමි එලෙස සිංහනාද පැවැත්වූයේ බුදුහිමිටම පමණක්‌ සීමාවූ දසබල ඥාන හා චතුර් වෛශරාද්‍ය ඥාන තුළින් බව පැහැදිලි වේ.

ඒ අනුව බුදුරදුන්ගේ එම සුවිශේෂී ගුණ පිළිබඳ වර්තමාන ගිහි - පැවිදි ශ්‍රාවකයින්ද දැන හඳුනාගෙන නව අරහාදී ගුණයන්ගෙන් හෙබි බුදුරදුන් පිළිබඳ තව තවත් ගෞරවය, ශ්‍රද්ධාව වැඩි දියණු කර ගත යුතුව ඇත. ලොව බිහිවූ කිසිදු ශාස්‌තෘවරයකුට නොමැති බුදුරදුන්ට පමණක්‌ සීමාවූ ඥාන සමුදායක්‌ පිළිබඳ දේශනාව තුළ පැහැදිලි වේ. ඒ අතර සුවිශේෂී ඥාන ශක්‌තීන් දෙකක්‌ වශයෙන් දසබල ඥාන හා චතුර් වෛශාරද්‍ය ඥාන හැඳින්වීමට පුළුවන. එම ඥාන හඳුනාගෙන බුදුරදුන් පිළිබඳ තව තවත් ගෞරවය, ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගනිමින් නිවන් මගට පිවිසීමට උත්සුක විය යුතුය. එම දස බල ඥාන නම්,

▬▬▬▬

දස බල ඥාන,

1. හේතු ඵල්‍යානුකූලව විය හැකි දේ දැන ගැනීමේ හැකියාව.

2. අතීත, වර්තමාන හා අනාගත කර්මය සමාදානයෙන් කාරණා වශයෙන් හේතු වශයෙන් තතු පරිදි දැනීම.

3. සුගති දුග්ගති ආදී සෑම තැන්වලම සත්වයා යොමුවන ප්‍රතිපදාවන් යථාභූත වශයෙන් දැනීම.

4. සංචාර ලෝකයේ ධාතුනානත්වය පිළිබඳ ඇති සැටියෙන් දැකීම.

5. පුද්ගලයාගේ විවිධ මානසික වූ චරිත ස්‌වභාවයන් පිළිබඳ ඇති සැටියෙන් දැකීම

6. සත්වයන්ගේ නිර්වාණාවබෝධයට අවශ්‍ය සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඥා යන ඉන්ද්‍රියයන් වැඩීමේ අඩු වැඩි බව දැකීමේ හැකියාව.

7. ධ්‍යාන විමෝක්‍ෂ (විමුක්‌ති) සමාධි සමාපත්තීන්ගේ කිළිsටි වීම, පිරිසිදු වීම, නැගීසිටීම ඇති සැටියෙන් දැකීම.

8. නොයෙක්‌ ආකාර වූ පෙර විසූ ස්‌කන්ධ පිළිවෙළ සිහිකිරීමේ හැකියාව.

9. මනුෂ්‍ය ඇස ඉක්‌මවා ඇති දිව්‍යමය වූ ඇසින් කර්මානුරූපීව සුගතියට හෝ දුගතියට හෝ පත්වන සත්වයන්ගේ චුතියන් උපපාතයන් දැකීම.

10. ආශ්‍රවයන් ක්‌ෂය වීමෙන් අනාශ්‍රව වූ ෙච්තෝ විමුක්‌තියත් පඤ්ඥා විමුක්‌තියත් මේ අත්බැව්හිදීම දිට්‌ඨධම්මික වශයෙන් තමාම විශේෂයෙන් දැන සාක්‌ෂාත් කොට එම ඥානයට එළඹ වාසය කිරීම.

මේ දස බල ඥාන පිළිබඳ පැහැදිලි කිරීමේදී එම ඥාන ශක්‌තීන් තේරුම් ගැනීමේ පහසුව තකා මේ ආකාරයෙන් අවබෝධ කර ගැනීම වැදගත් වේ.

පුරුෂයන් 10ක බලය කලාවක ඇතෙකුටද,

කලාවක ඇතුන් 10ක බලය ගංගෙය්‍ය ඇතෙකුටද,

ගංගෙය්‍ය ඇතුන් 10ක බලය පණ්‌ඩර ඇතෙකුටද,

පණ්‌ඩර ඇතුන් 10ක බලය හම්බ ඇතෙකුටද,

හම්බ ඇතුන් 10ක බලය පිංගල ඇතෙකුටද,

පිංගල ඇතුන් 10ක බලය ගන්ධ ඇතෙකුටද,

ගන්ධ ඇතුන් 10ක බලය මංගල ඇතෙකුටද,

මංගල ඇතුන් 10ක බලය හේම ඇතෙකුටද,

හේම ඇතුන් 10ක බලය උපේසථ ඇතෙකුටද,

උපෝසථ ඇතුන් 10ක බලය ඡද්දත්ත ඇතෙකුටද,

ඡද්දත්ත ඇතුන් 10ක බලය තථාගත කාය බලයටද සමාන වේ.

සමසතයක්‌ වශයෙන් ගත්කල සාමාන්‍ය ඇතුන් කෝටි 10ක බලයටද සාමාන්‍ය පුරුෂයන් නම් කෝටි දස දහසක බලයටද සමානය.

▬▬▬▬

චතුර් වෛශාරද්‍ය ඥාන

මේ කරුණු හතර බොරු කළ හැකි සමතෙක්‌ ලෝකයේ නැත. මේ ගැන නුවණින් සිතන විට උන්වහන්සේගේ සිතෙහි ඇතිව සතුට ඉන් ගම්‍යමාන වේ. එම චතුර් වෛශරද්‍ය ඥානනම්,

1. සම්මා සම්බුද්ධයෙමියි ප්‍රතිඥ කරන මට මේ මේ ධර්ම නුඹ විසින් අවබෝධ කර නැතැයි කිසිවකු කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ යන්න මම නොදනිමි. මම සම්බුදු බව ලැබුවෙමි.

2. ආශ්‍රවයන් ක්‌ෂය කර ඇත්තෙමියි ප්‍රතිඥා කරන මට මේ මේ ආශ්‍රව නුඹ විසින් ක්‌ෂය කර නැතැයි කිසිවකු කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ යන්න මම නොදනිමි - මම රහත් කෙනෙක්‌මි.

3. මාර්ග ඵලයන්ට අන්තරායික වූ ධර්මයන් ප්‍රකාශ කරන මට ඒ කරුණු අන්තරාය පිණිස නොවේ යෑයි කරුණු සහිතව කිසිවෙක්‌ ප්‍රතිචෝදනා කරන්නේය යන කරුණු මම නොදනිමි. මේ දහම් සඟමොක්‌ සැපතට බාධා කරයි.

4. ඔබ විසින් යම් අර්ථයක්‌ පිණිස දහම් දෙසන ලදද ඒ ධර්මය අනුව පිළිපදින තැනැත්තාගේ දුක්‌ මැනවින් කෙළවර කිරීම පිණිස නොවේ යෑයි කරුණු සහිතව කිසිවෙක්‌ ප්‍රතිචෝදනා කරන්නේය යන කරුණු මම නොදනිමි. මේ දහම් නිවනට හිතකරය.

මෙම කරුණු බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂී හැකියාවන් වේ. බුදුහිමි ගුරුවරයකු නොමැතිව තම උත්සාහයෙන් හා ඥාන ශක්‌තියෙන් අවබෝධ කරගත් එම දස බල ඥාන හා චතුර් වෛශරාද්‍ය ඥාන එසේ නොවේ යෑයි කීමට සමත් මිනිසෙක්‌, ශ්‍රමණයෙක්‌, බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, බ්‍රාහ්මණයෙක්‌ මේ තුන් ලෝකයේම නොමැත්තේය. තිලොවටම තිලකයක්‌ බඳු බුදුර¹ණෝ අනන්ත අපරිමිත ගුණ සමුදායකින් සමන්විත වූහ. එම උතුම් ගුණ සමුදායට ගරු කිරීමත් එම ඥාන ශක්‌තීන් අවබෝධ කර ගැනීමත් බුද්ධ ශ්‍රාවකයන් හා සියලු සත්වයන් විසින්ම සිදු කළ යුතු වන්නේය.

මාස්‌පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්‌ථානවාසී, කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති,
ගලගෙදර රතනවංශ හිමි

3/10/19

ඉන්ද්‍රිය භාවනාව කල යුතු සැටි හා අනුසස්


ඉන්ද්‍රිය භාවනාව කළ යුත්තේ සද්ධින්ද්‍රියෙහි පටන් ය. එය කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තථාගතයන් වහන්සේ අර්හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධය යනාදීන් බුදු ගුණ උගත යුතු ය. හොඳින් තේරුම් ගත් තැනැත්තාහට බුදුන් වහන්සේ ගැන හා බුදුසස්න ගැන ද ඇත්තා වූ සැක දුරු වෙයි. මතු සැක නූපදී. ඒ සැක දුරු වීම සිදු වන්නේ සද්ධින්ද්‍රිය ඇති වීමෙනි. බුදුන් වහන්සේ ගේ දේශනය අනුව පිළිපැදීමට කැමැත්ත ඇති නො වන්නේ - උත්සාහය ඇති නොවන්නේ - පටන් ගතුයේ ද පසු බසින්නේ ශ්‍ර‍ද්ධාව මඳ නිසා ය. ශ්‍ර‍ද්ධාව නැති බව ප්‍ර‍තිපත්තියට මහත් බාධාවෙකි.

සද්ධින්ද්‍රියය ඇති කර ගත් තැනැත්තා හට ඒ බාධාව නැති බැවින් ඔහුට නූපන් අකුශලයන් ගේ නූපදීම සඳහා වීර්‍ය්‍ය කළ හැකි ය. උපන් අකුසල් දුරු කිරීම සඳහා වීර්ය කළ හැකි ය. ඇති කර ගත් කුසල් දියුණු කිරීම සඳහා වීර්‍ය්‍ය කළ හැකිය. නූපන් අකුසල් නූපදවීම ආදිය සඳහා කරන වීර්‍ය්‍යය විරියින්ද්‍රිය ය. එසේ කොට විරියින්ද්‍රිය දියුණු කර ගත යුතු ය. විරියින්ද්‍රිය දියුණු වූ තැනැත්තාට කුශල පක්ෂය අමතක නො වන්නේ ය. ඒ කුශල පක්ෂය අමතක නො වීම සතින්ද්‍රිය ය. සතර සතිපට්ඨානයන්හි සිහිය පැවැත්වීමෙන් එය දියුණු වන්නේ ය. සිහියෙන් යුක්ත වන්නා වූ තැනැත්තා හට සිහියට අනුව සමාධිය වැඩෙන්නේ ය. එය සමාධින්ද්‍රිය ය.

ශ්‍රඬාව වැඩුණා වූ වීර්‍ය්‍යය වැඩුණා වූ ස්මෘතිය වැඩුණා වූ සමාධිය වැඩුණා වූ සත්පුරුෂයා හට “අවිද්‍යා නීවරණය හා තෘෂ්ණා බන්ධනය නිසා සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයන් ගේ සංසාරයෙහි පටන් ගැනීමක් නැත්තේ ය, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීම, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක්හි නිරෝධය ශාන්ත නිර්වාණයය” යන ඥානය ඇති වන්නේ ය. එය පඤ්ඤින්ද්‍රිය ය. එය දියුණු කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වන්නේ ය. ඉන් පසු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හා “මම පෙර මේ ධර්මයන් ඇසීමෙන් පමණක් දැන සිටියෙමි. දැන් මම ඒවා ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන සිටිමි” යි අචල ශ්‍රඬාව ඇති වේ.

ඉන්ද්‍රිය පස අතුරෙන් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය යන මේ තුන අප්‍ර‍ධානය. සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙක ප්‍ර‍ධාන ය. යෝගාවචරයන්ට වුවමනා ඒ ඉන්ද්‍රිය දෙකය. ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තුන වුවමනා වන්නේ ප්‍ර‍ධාන ඉන්ද්‍රිය දෙක දියුණු කිරීමට ය. ප්‍ර‍ථමධ්‍යාන සමාපත්ත්‍යාදි සමාපත්ති අට සමාධින්ද්‍රිය යා ගේ ලෞකික වශයෙන් දියුණුව ය. සුඤ්ඤත සමාධි, අනිමිත්ත සමාධි, අප්පණිහිත සමාධි යන තුන ලෝකෝත්තර වශයෙන් සමාධින්ද්‍රියයා ගේ දියුණුව ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි ඥානයෝ ය. සුඤ්ඤතානුපස්සනාදි අනුපස්සනා තුන ය, විදර්ශනාඥාන දශය ය, මාර්ග ඥාන සතරය, ඵල ඥාන සතර ය, ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෝ ය යන මොව්හු ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව ය.

සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙකින් ද පඤ්ඤින්ද්‍රිය ප්‍ර‍ධාන වේ. සත්ත්වයා නිවනයට පමුණුවන්නේ පඤ්ඤින්ද්‍රියයෙනි. එ බැවින් “සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති” යනාදීන් බොහෝ සූත්‍ර‍ ධර්ම වල පඤ්ඤින්ද්‍රියයා ගේ අග්‍ර‍භාවය වදාරා තිබේ. “මහණෙනි, දඹදිව යම් පමණ වෘක්ෂයෝ ඇත්තාහු ද, ඒවායින් දඹ ගස අග්‍ර‍ යයි කියනු ලැබේ. එ පරිද්දෙන් යම් පමණ බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද ඒවායින් පඤ්ඤින්ද්‍රිය අග්‍ර‍ය යි කියනු ලැබේ ය.” යනු ඉහත දැක් වූ සූත්‍ර‍පාඨයේ තේරුම ය.

ඉන්ද්‍රිය භාවනාවෙහි අනුසස්

“පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්‍රියානි, කතමානි පඤ්ච? සඬින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි, ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමි හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරි හොති, තතො මුදුතරෙහි සඬානුසාරි හොතීති.”

මෙය ඉන්ද්‍රියසංයුත්තයේ මුදුතරවග්ගයේ දෙවන සූත්‍ර‍ය ය. එහි තේරුම මෙසේ ය.

“මහණෙනි, මොවුහු පස්දෙන ඉන්ද්‍රියයෝ ය, කවර පස් දෙනෙක් ද යත්? සද්ධින්ද්‍රිය ය, විරියින්ද්‍රිය ය, සතින්ද්‍රිය ය, සමාධින්ද්‍රිය ය, පඤ්ඤින්ද්‍රිය ය යන මොවුහු ය. මහණෙනි, මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණයෙන් වැඩීමෙන් රහත් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් අනාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සකෘදාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සෝවාන් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි.” යනුයි.

ඉන්ද්‍රිය විස්තරය නිමි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/4/19

පින් කිරීමේ ක්‍රම

එයින් මුලින්ම පෙන්නපු කාරණාව තමයි දාන පරමිතාව. දන් දීම. දස පාරමිතා, සම ත්‍රිංශත් පාරමිතා ගත්තොත් බලන්න ඒ පාරමිතා අතර මුලට ම තිව්වේ දාන පාරමිතාව යි. දසරාජ ධර්ම ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ඒ වගේම සතර සංග්‍රහ වස්තු ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ත්‍රිවිධ පුණ්‍යකිරියවත්‍ථු ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ඇයි ඒ? මනුස්‍සයෙක් හැටියට, මනුස්‍සයෙකුට වඩා උත්තරීතර ගුණදහමක් පුරන කෙනෙක් හැටියට පය ගහලා ලෝකයේ ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ඕනෑවට වඩා ලෝකය තුල කිඳා බහින්නේ නැති, මසුරුමල අඩුවෙච්ච මනසකටයි.

රාග, ද්වේශ, මෝහ අධිකව උත්සන්න වුණහම ඒකට කියනවා අපායගාමී මට්ටම කියලා. අපායගාමී රාගය, අපායගාමී ද්වේශය, අපායගාමී මෝහය. අපි ඉස්සෙල්ලා කථා කළා වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ එබඳු වූ රළු මානසික මට්ටමකයි. පින්වතුනි,මෙන්න මේ රළු ගති ටික සම්පූර්ණයෙන් නො දන්නවා වුණාට මේ දානය කියන එකෙන් අතහරවනවා. දානය කියන එක ලේසි කෙනෙකුට කරන්න බැහැ. යම් තමන් සතු දෙයක් දෙන්න හදනකොට ඒක නො දෙන බවට, නො ගන්න බවට, ඒකේ දොස් දකින බවට, නො කිරීමේ වටිනාකම ගැන කියන්න හිත ඇතුළේ ඉඳගෙන දාහක් කථා තමන්ගේ මනසින්ම තමන්ට කියනවා. එහෙම කියන සිතට ප්‍රතිවිරුද්ධව, කෙලේසයට ප්‍රතිවිරුද්ධව බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි කුසල ධර්ම සිද්ධ කරන්නේ, සිද්ධ වෙන්නේ. ඒකයි ඒකට කුසල කියලා කියන්නේ. කුසල් කියලා කියන්නේ දක්‍ෂයි කියනවා. අපි කියන්නේ හොඳ කුසලතාවයක් තියෙනවා කියලා. දක්‍ෂතාවයක්, හැකියාවක්. කුසල් කියන හැම දෙයකම එයා දක්‍ෂයෙක්.

පින්වතුනි, මේ ලෝකය හරියට මාරයා විසින් මවපු, මංමුළා වැල්වල තියෙන ගෙඩි වගෙයි මේ කාමය. කාමය පරිභෝජනය කළහම මිනිසුන්ට යනඑන මං පෙනෙන්නේ නැහැ. යනඑන මං තේරෙන්නේ නැහැ. මේ ඔක්කෝම සම්පත්තිය, ඔක්කෝම දේ මේ අවුරුදු පනහ හැට නැත්නම් මේ අවුරුදු සීය දක්වා විතරයි නේද කියන එක පෙනෙන්නේ නැහැ. ඒක ඇත්ත වෙනවා. ඒක ජීවිතය වෙනවා. ඊට පස්සේ කුසල ධර්ම කරනවා තියා ඒකට ඉඩක් වත් නැහැ.

මේ රළු මානසික මට්ටම නැති කරවනවා දන් දීමෙන්. ඒ නිසා හැමදෙනාම ජීවිතයේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ජීවිතයට පිහිටක්, රැකවරණයක් කර ගන්නවා නම්, තමන් සතු බත්පත හෝ තව කෙනෙකුට නො දී කන්න එපා. නැත්නම් තව කෙනෙක් කන දිහා බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම් බඩගින්න විඳගෙන, ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨකම.

අන්න ඒ වගේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ දීමට සේදූ අත් ඇතිව ඉන්න. මනුෂ්‍ය අපට යමක් තියෙනවා නම් අනෙක් අයටත් ඒක සාධාරණයි කියන තැනකින් හිතන්න කියලා කියනවා මේ නිවන් දකින කෙනාට. ඉතින් මේවා ඉස්සෙල්ලාම මුලික මට්ටම, හිතලා පුද්ගලභාවයෙන්ම ඇති කරගන්න ඕනේ මානසික මට්ටම්. හිතේ ඇතිවෙන ගති වලට ප්‍රතිවිරුද්ධව ඉඳලා දෙන්න අකමැත්ත හිතේ යෙදෙන කොට ඒ අකැමැත්ත හඳුන ගන්න නම් හොඳට පුළුවන්කම තියෙන්න ඕන.‘නැහැ, මම උඹව දිනනවා. මම ඔය ගතිය දිනනවා. මම මේක නෙවෙයි, මීට වඩා දෙනවා. මම මගේ බත් පිඟානත් දෙනවා’ කියන තැනකින් හිතන්න පුළුවන් නම්ඇතුලේ ඉඳගෙන හැමදාම මේ පින්වතුන්ට එරෙහි වෙන්නේ නැහැ. ඒ එරෙහි වෙන කම හුරු කරලා හින්දා. දෙන්න අකැමැතිකම හුරු කරලා හින්දයි මොනවා හරි දෙයක් දෙන්න හදනකොට මනසේ ඒකට තියෙන අකැමැතිකම එන්නේ.

ඒ නිසා හැම වෙලාවේම ඒ කෙලේසය අඩු කරලා දානාදී කුසල ධර්ම සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මා භිකඛවෙ පුඤඤානං භායිතථ සුඛසෙසතං භිකඛවෙ අධිවචනං යදිදං පුඤඤානනති’ - මහණෙනි, පිනට භයවෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. ඒ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ලෝකය තුල යම් සැපක් කියලා යමක් තිබේ නම්, සැප විපාකයක් තිබේ නම්, ඒ මේ කුසල ධර්මයන් තුලින්, කුසල ධර්මයන් නිසයි. එයින් ද මේ දානාදී කුසල ධර්මය බොහෝම ශ්‍රේෂ්ඨ වෙනවා.

පින්වතුනි, නිවන් දකින එකේ භාගයක් බර උසුලන්නේ දානයෙන් කියලා මේ පින්වතුන් දන්නවා ද? අපි සමහර විටක හිතන්නේ නැහැ අප්‍රමාදී ජීවිතයටත් සුදුසුයි කියලා. ඒක සුදුසුයි, නමුත් අප්‍රමාදීව දානාදී කුසල ධර්මත් සිද්ධ කළ යුතුයි.

කවදා හරි ධර්මය සම්මර්ශනය කිරීමෙන් ලෝකෝත්තර මාර්ගයකට උත්සාහවත් වෙනකොට ඒකේ ඵලය වෙන්නේ ලෝකෝත්තර ප්‍රතිඵලයක් ලැබෙන එක යි. ඒකට හැකියාවක් නැහැ මනුස්සයෙක්, දෙවියෙක් වෙලා උත්පත්තිය ලබා දෙන්න. උත්පත්තිය පිණිස පවතින්නේ නැහැ. නමුත් මේ පින්වතුන් දන්නවා ද, මේ පින්වතුන්ට නිවන් දකින්න පුළුවන් මේ වටපිටාව ලබා දුන්නේ මේ පින්වතුන් කළ කුසල ධර්මයට, ලෝකය තුල කළ දානාදී කුසල ධර්මයන්ටයි කියලා. දානාදී කුසල ධර්මයන් තමයි මනුෂ්‍ය ආත්මභාවයක් ලබලා දෙන්නේ.

එතකොට බුද්ධෝත්පාද කාලයක් තියෙන වටපිටාවක සත්පුරුෂ ඇසුර ලබලා දෙන්නේ දන් දීලා නිවන් ප්‍රාර්ථනා කළහම. ඒකේ ප්‍රතිඵලය මොකක් ද? නිවනට උපකාරී වටපිටාව ලැබෙන්නේ දානයෙන්.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, කිසිම කලෙක ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසල මූලයකින් මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදින්නේ නැහැ. හැම වෙලාවේම අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයකින් ම යි මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදින්නේ.”

ඉතින් ඒ නිසා දානාදී කුසල ධර්මයන් සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්න.

තව පැත්තකින් ගත්තහම ධර්මයේ සඳහන් වෙන්නේ දන්දීම කියලා කියන්නේ හරියට ගිනි ගත්ත ගෙයකින් යමක් එළියට විසිකරලා දානවා වගෙයි කියලා. ගෙයක් ගිනි ගන්න කොට ගේ ඇතුළේ තියෙන වටිනානොවටිනා, ලොකුකුඩා හැම දෙයක්ම පිච්චිලා, අළුවෙලා ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්‍වයට පත්වෙනවා. ඒ ගිනි ගන්න ගේ ඇතුළෙන් යමක් කමක් ජනේලයකින් හරි, දොරකින් හරි එපිටට විසි කරගත්තොත්, පසුව ඒ පුද්ගලයාට ඉතුරු වෙන්නේ එළියට විසි කරගත්ත දේ විතරයි.

ධර්මයේ සඳහන් වෙන්නේ මේ ලෝකයා රෑ දවාලේ මොන තරම් දුක් මහන්සියෙන් භෞතික යමක් හරි හම්බ කළා නම්, ගෙවල්දොරවල්, යානවාහන, ඉඩකඩම්, මිළමුදල්, දූදරුවෝ කියලා,මේ හැම දෙයක්ම ජරාව, මහලු බව, මරණය කියන ගින්න අභියස‍ දී ඒ ගින්නට හසුවෙලා, ඒ හරිහම්බ කළ හැමෝටම මේ දේවල් අහිමි වෙනවා ලු. ජරා මරණ නමැති ගින්නට හසුවෙලා, ජරා මරණ ධර්මතා එක්ක ගේ ඇතුලෙයි මේ ඔක්කෝම තියෙන්නේ. ඒ ගින්න අභියස‍ දී ගින්නට හසුවෙලා මේ හම්බ කරපු සියලුම දේ අතහැරෙනවා කියනවා.

යම්කිසි කෙනෙක් ඒ දුක්මහන්සියෙන් හරිහම්බ කරපු දේ දුගීමගී යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා පූජා බුද්ධියෙන්, ශ්‍රද්ධා බුද්ධියෙන් පූජා කළොත්, මෙන්න මේ ටිකවිතරක් එයාට ඉතුරු වෙනවා, හරියට ගිනිගත්ත ගෙයකින් යමක් එළියට විසිකර ගත්තා වගේ.

ඒ නිසා, කිසිම වෙලාවක දී කුසල ධර්මය අවතක්සේරුකොට හිතන්න එපා. සමහර අය මට ඇහිලා තියෙනවා “කුසල ධර්ම කරන්න එපා, අකුසලයත් අවිජ්ජා පච්චයා සංඛාරා, කුසල ධර්මත් අවිජ්ජා පච්චයා සංඛාරා, අවිද්‍යාව නිසා ඇති කරගන්න කර්ම සසර දික් කරනවා. ඒ නිසා කුසල නොකට යුතුයි.” කියලා.

පින්වතුනි, අපට බුදුරජාණන්වහන්සේට වඩා නුවණ තියෙනවා වෙන්න බැහැ. ඒක අපි තීරණය කරගන්න ඕනේ. අපට සර්වඥතා ඥානය නැහැ. ඊට වඩා වැඩි ප්‍රඥාවක් තියෙන්න බැහැ. බුදුරජාණන්වහන්සේගේ බුදු නුවණට පෙනුණ කාරණා අපට පෙනෙනවා වෙන්න බැහැ. බුදුරජාණන්වහන්සේ දැක්කේ අකුසලය විතරයි ජීවිතයට අහිතකර. ඒ නිසා සබබ පාපසස අකරණං කියලා දේශනා කළා. කුසලස්ස උපසමපදා - කුසල් කරන්න කියලා දේශනා කළේ කුසලකින් යහපතක් වෙන නිසා. ටිකක් හරි, අබ ඇටයක් තරම් හෝ අවැඩක් ජීවිතයකට වෙනවා නම් ඒක කරන්න කියලා බුදුරජාණන්වහන්සේ පැනෙව්වේ නැහැ.

නුවණක් තියෙන කෙනාට කුසලය නෙවෙයි පින්වතුනි, අකුසලයවත් සසර දික් කරන්නේ නැහැ. කුසලය ගැන කවර කථා ද, අකුසලයවත් සසර දික් කරන්නේ නැහැ.අකුසල විතර්කයක් ඇති වුණොත් ඒකේම අනිත්‍ය බලලා, ඒකට ප්‍රතිවිරුද්ධව කුසල සිතක් උපදවලා, එයා ඒ අකුසලයම උපකාර කරගෙන සසරෙන් මිදෙයි.

නමුත් නුවණ නැති කෙනාට නම් නුවණ නැතිකම නිසා, අකුසලයයි කුසලයයි දෙකම නිසා සසර දික් වෙනවා. කුසලයේ නෙවෙයි තියෙන ප්‍රශ්නය, අකුසලයේ නෙවෙයි තියෙන ප්‍රශ්නය, නුවණ නැතිකම හා ඇතිකමයි ප්‍රශ්නේ. නුවණ කියන කාරණාව නැති කෙනාට සසර දිගයි.

දීඝා ජාගරතො රතති,
දීඝං සනතසස යොජනං.
දීඝො බාලානං සංසාරො
සදධමමං අවිජානතං -

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා නින්ද නො යන කෙනාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවා ලු. වෙහෙස දැනෙන කොට යොදුන ගොඩාක් දිගයි වගේ තේරෙනවා ලු. ඒ වගේ

දීඝො බාලානං සංසාරො
සදධමමං අවිජානතං-

සද්ධර්මය නො දන්නා වූ බාලයාට සසර ගොඩාක් දිගයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළා. කුසලය නිසා සසර දික්වෙනවා කියලා බුදුරජාණන්වහන්සේ කොහේවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ සද්ධර්මය නො දන්නා අනුවණ කමටයි සසර දික්වෙන්නේ කියන කාරණාව යි.

ඒ නිසා ලෝකයාගේ වචනය ගන්න එපා. මම ඔතනදි මතක් ‍කළේ ධර්මයේ ඇතුල් පැත්ත හිතන්න නුවණ නැති වුණොත් ඒ මෝඩකමට කියන කථා තවම අපේ මනස මෝඩ නිසා පිළිගන්න පුළුවන්කම තියෙන කම තියෙන නිස යි. ඒ නිසා කුසලය කියන එක ජීවිතයට කවදාවත් හානියක් වෙන, හානියක් කරන දෙයක් නෙවෙයි. කුසලය කියන එකට පසුබට වෙන්නට එපා. මේ පින්වතුන්ගේ ජීවිතයකට රැකවරණය ලැබෙන්නේ කුසලයකින් මයි කියන කාරණාව ගන්න.

බොහෝ දේ එපා, අපි නො සිතුවාට අපේ ජීවිතයට ඔප්පු කරලා පෙන්නලා තියෙයි. මේ පින්වතුන් ඕනේ තරම් ඔය ඇස් දෙකෙන් ජීවමානව දැකලා ඇති මහා විමාන වගේ, මාළිගා වගේ මහා විශාල ගෙවල්දොරවල් වලට හිමිකාර වුනුමහා ධනවතුන්. ඒ වගේම එදිනෙදා ජීවිතයේ ජිවත්වෙන්න වටපිටාවක්වක් නැති, ඉන්න තැනක් නැති, පොල්අතු සෙවිලි කළ, කටුමැටි පැළවල් දැකලා ඇති. අපි නො හිතුවාට, අපට නිහඬව ඒ දේවල් වලින් හොඳ ධර්ම දේශනාවක් කරනවා.

අපි ලෝකය තුළ පුද්ගලභාවයෙන් රණ්ඩු කරනවා, ‘නිර්ධන පන්තිය, ධනපති පන්තිය’ කියලා. නමුත් නිර්ධන පන්තිය, ධනවත් පන්තිය නෙවෙයි, ඒක එහෙම වුණේ කොහොමද කියන කාරණාවක් තියෙනවා. ඕකෙන් කියනවා පින්වතුනි කුසල, අකුසලයන්ගේ භේදය. ‘කුසල් කළ කෙනෙකුගේ ජීවිතය මෙන්න මේ වගෙයි’ කියලා දකින්න කියන එක මේ පින්වතුන්ට නො කියා කියනවා. ‘දානාදී කුසල ධර්ම නො කළ එකක විපාකය අද මම මේ විදියට විඳිනවා, මේක දකින්න’ කියලා මේ ලෝකයේ හැම කෙනෙක්ම අපට නිහඬව ධර්ම දේශනා කරනවා.

මේ පින්වතුන්ට යනකොට හිතන්න දේවල් බොහෝ ධර්මතාවයකින් තියෙයි. ඉතින් මහා ධනවතුන්, නිර්ධනයි කියන එකෙන් අපට පෙන්වනවා, ‘දානාදී කුසල ධර්ම කළ කෙනාගේ ජීවිතය මතු මෙන්න මෙහෙමයි, දානාදී කුසල ධර්ම කරන්න බැරි වුණොත් හෙට දවසේ ඔබේ චරිතය, ඔබේ ආත්මභාවය, ඔබලාගේ ගෙදර මෙන්න මෙහෙමයි මනුස්සයෙක් වුණොත්. දානාදී කුසල ධර්ම කරනවා නම් ඔබට හෙට දවසේදී ලැබෙන ගෙදර මෙන්න මෙහෙමයි’ කියලා වටපිටාව අපට කියනවා. වටපිටාව පෙන්වනවා. ඇයි අපි කුසලය කියන එක අවශ්‍ය නැහැ කියන්නේ? ඕනේ නැහැ කියන්නේ? කුසලය කියන එක ඕනේ නැත්තේ නැහැ, ඕනේ.

ඒ නිසා කුසලය කියන ධර්මතාවය පූර්ණ වශයෙන් සිද්ධ කරන මුල්ම කාරණාව තමයි දානය කියන කාරණාව. ඒක ජීවිතයෙන් හදා ගන්න කියන එක මතක් කරනවා.

මේ කුසලය කියන එක ජීවිතයකට මොන තරම් වටිනවා ද, කුසලයක් ජීවිතයට මොන තරම් උපකාර ද කියන කාරණාව අතීතයේ හිටිය සත්පුරුෂයෝ පවා දැනගෙන හිටියා. ඒ නිසා ඒ අය කුසල ධර්‍ම කරන්න නිමිති හොය හොයා හිටියා.යං කිඤ්චාරම්මණං කත්‍වා දජ්ජාදානං අමච්ඡරි - නොමසුරු පුද්ගලයා කුමන හෝ අරමුණක් චූටි දේක චූටි අරමුණක් ඇති එයාට ටක් ගාලා දානාදී කුසල කර්‍මයක් කරන්න.

ඕකට හොඳ කතාවක් තියෙනවා: බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නා කාලයේ බුදුරජාණන්වහන්සේට උපස්ථාන කරපු අග්‍ර උපස්ථායක තුමා තමයි අනේපිඩු සිටු තුමා. මේ අනේපිඩු සිටු තුමාගේ හිටියා මිනිපිරියක්. දරුවෙක් ගේ දරුවෙක්. මේ මිනිපිරිය දවසක් ගේ ඇතුලේ සෙල්ලම් කර කර ඉන්න ගමන් කුස්සිය පැත්තට ගියා. යනකොට කුස්සියේ වැඩ කරන කුස්සි අම්මා පිටිවලින් කෑමක් හද හදා ඉන්නවා. මේ පුංචි දරුවා ඒ දිහා බලාගෙන ඉන්නකොට ආදරේ හිතිලා අර කුස්සි අම්මා මොකද කළේ, පිටිවලින් පොඩි බෝනික්කෙක් හදලා දුන්නා. මේ පොඩිදරුවා ‘දුව’ යන සංඥා ඇතුව කොට්ටයේ තියාගෙන අර පිටි බෝනික්කා නලව නලවා ඉන්නවා. ඉතින් වඩාගෙනත් ඉන්නවා. හදිස්සියේ අතපසුවීමකින් පිටි බෝනික්කා වැටිලා කැඩුණා.

මේ ළමයා, ‘මගේ දුව මැරුණා, මගේ දුව මැරුණා’ කියලා අඬන්න ගත්තා. ගෙදර කිසි කෙනෙකුටවත් නවත්තගන්න බෑ. අනේපිඩු සිටුතුමා මොකද කරන්නේ. මිනිපිරියට කිව්වා වඩාගෙන, ‘හා පුතේ අඬන්න එපා. අපි ඔයාගේ මැරිච්ච දුව වෙනුවෙන් දානයක් දෙමු. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ගෙදරට වඩම්මලා,දුව එන්නකො මා එක්කලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න’ කිව්වහම ළමයා ඇඬීම නැවැත්වුවා.

බුදුරජාණන්වහන්සේ ඉන්න තැනට ගියා අනේපිඩු සිටුතුමා මිනිපිරියක් එක්ක. ගිහිල්ලා කියනවා.‘ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස,මේ දරුවාගේ පිට්ඨි ධීතිකාව හදිස්සියේ මැරුණා. ඉතින් එයාට පින් සිද්ධ වෙන්න අපේ ගෙදර දානයක් දෙන්න ඕන. හෙට දවසෙදි භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අපේ ගෙරට දානයට වඩින සේක්වා’ කියලා ආරාධනා කළා. භාග්‍යවතුන්වහන්සේ නිහඬව ඉවසුවා. ඉතින් ගෙදර ප්‍රණීත වූ කෑම බීම බොහෝ හදලා දානය පිළියෙල කළා. භාග්‍යවතුන්වහන්සේ මහා සංඝරත්නයත් එක්ක නිවෙසට වැඩියා.වැඩියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයට ප්‍රණීත ආහාර පාන වළඳවලා, ඒ වගේ ම පිරිකර පූජා කරළා, පින්කම බොහෝ ම සරුවට කරළා, මිය ගිය පිට්ඨි ධීතිකාවටත් පින් අනුමෝදන් කළා. දෙවෙනි දවසෙත් ආරාධනා කළා. මෙහෙම අනේපිඩු සිටුතුමාගේ ගෙදර මාසයක් මියගිය පිට්ඨි ධීතිකාව වෙනුවෙන් දන් දුන්නා කියලා සඳහන් වෙනවා.

ඉතින් මේ මාසය පුරාවට ම කොසොල් රජ්ජුරුවන්ගේ රජ මාලිගාවට භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ නැහැ. කොසොල් රජ්ජුරුවෝ අහලා බැළුවා ඇයි කියලා. බලනකොට මේ පිටිඨි ධීතිකාවට පින් දෙන්න අනේපිඩු සිටුතුමා දානයක් දීලා.කොසොල් රජ්ජුරුවෝ හිතුවා,‘හරි.ඒ අනේපිඩු සිටුතුමා ගේ මිනිපිරියගේ මිය ගිය පිට්ඨි ධීතිකාවට පින් පිණිස මාත් දන් දෙනවා මාසයක්’ කියලා,කොසොල් රජ්ජුරුවොත් මාසයක් දන් දුන්නා.

නගර වැසියෝ කල්පනා කළාදැන් මාස දෙකකින් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ නැහැ.ඇයි?බලනකොට මේ කතාව ආරංචි වුනා.කට්ටිය කතා වෙලා,‘අපිත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවා මේ පිට්ඨි ධීතිකාවට පින් පිණිස’ කියලා.නගර මධ්‍යයේ මහ විශාල මණ්ඩපයක් කරවලා ඒක සරසලා ධජ පතාකයන් හිටවලා.සුවඳ විළවුන් අතුරලා.මහා දානයක් කළා.

පින්වතුන්ට හිතෙනව ද,එදා හිටපු අයට සචේතණික,අචේතණික වස්තු තෝරාගන්න බැරිකමක් තිබුණා කියලා.නෑ ඒ අය අපිට වඩා හොඳට සචේතණිකඅචේතණික වස්තු තේරුම් ගත්තා.මිය ගිය පිට්ඨි ධීතිකාවට පින් අනුමෝදන් කරන්න කියලා හරි පින් කරන්න ගියාම කාට ද පින් සිද්ධ වෙන්නේ?තමන්ට බව දැනගෙන හිටියා.කුසලයක වටිනාකම දැනගෙන හිටියා.

යං කිඤ්චාරම්මණං කත්‍වා දජ්ජාදානං අමච්ඡරි- නො මසුරු පුද්ගලයා කුමන හෝ අරමුණක් අරමුණු කරගෙන දානාදී කුසල ධර්ම සිද්ධ කරනවා. දරුවාගේ විවාහය කියලා හරි, උපන් දිනය කියලා හරි, මගුල්ගෙදරක් කියලා හරි, මළගෙදරක් කියලා හරි, කුමක් හෝ අරමුණු කරගෙන එයාට ඕනේ හැම වෙලාවේම ජීවිතයට කුසල ධර්ම කරගන්න නිමිත්තකුයි එයා හොය හොයා යන්නේ. කුමන හෝ නිමිත්තක් ආපු ගමන් ඒක උදව් කරගෙන කුසල ධර්මයක් කරනවා.

අතීත උත්තමයෝ දැනගෙන හිටියා සම්පත්තිය කියන එක අතින් අතට මාරුවෙන කාසියක් වගෙයි කියලා. අද දවසේ අපි ගාව තියෙන මේ සම්පත්ති හෙට දවසේ තව කෙනෙක් ගාව. ඊ ගාව දවසේ තව කෙනෙක් ගාව. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියා තමන් අතට ආපු වෙලාවේ මේකෙන් තමන් වැඩක් අරගෙන මිසක අත්හරින්න හොඳ නැහැ. මේ පින්වතුන් ‘මගේ, මගේ’ කියලා හම්බකරන දේවල් පෙට්ටියක දාලා තියාගන්න, රැස්කරලා ගෙදර තියාගන්න, ගොඩගහගෙන කොච්චර කල් තියාගන්න පුළුවන් වෙයි ද? අවුරුදු සීයක් ඕනේ නම් තියාගනියි. ඊටපස්සේ ඕවා අනිත් අය අතට පත්වෙනවා.

තමන් ගාවට ආපු දේ තමන්ගේ ජීවිතයට අර්ථයක් සිද්ධ කර නො ගෙන, වැඩක් සිද්ධ කර නො ගෙන, යවන්න එපා කියන එක මතක් කරනවා.

ඒ නිසා මේ දහමෙන් ජීවිතයට බොහෝම වටිනා අර්ථයක් ලැබෙයි. දන් දුන්නහම ඒ දන් දුන්න නිසා එයා යම් තැනක උපදියි නම් දෙවියෙක් වෙලා, දෙ‍වියෙක් වුවත් මහේශාක්‍යවටපිටාවකින් යුක්ත, මහත් වූ විමන්වලට අධිපති මහේශාක්‍ය දෙ‍වියෙක් වෙලා උපදිනවා. දන් දෙන කෙනා මනුෂ්‍ය ලෝකයේ උපදියි නම්, රාජරාජ මහාමාත්‍යදීන්ගේ මහේශාක්‍ය මහාසාරකුලයක මයි උපදින්නේ. හීන තැනක උපදින්නේ නැහැ. ඒ නිසා දානාදී කුසල ධර්ම නිතරම කළ යුතුයි.

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

3/3/19

සත්ත්වයන් උපදනා ස්ථානයෝ


සත්ත්වයන් උපදනා ස්ථානයෝ

තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය,මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.

එහි අපාය භූමි සතරය යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.

නරකය

සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

කාලසූත්‍ර‍ නරකය

උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

සඞ්ඝාත නරකය

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

රෞරව නරකය

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

මහා රෞරව නරකය

අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.

තාප නරකය

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.

ප්‍ර‍තාප නරකය

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

මහා අවීචි නරකය

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

කුඩා නරකයෝ

ගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර‍ වන නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය, යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුන ගස්, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කුල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර‍ වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.

ලෝකාන්තරික නරකය

ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුර පුපුරා ශීතලයෙන් බැදෙති.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/2/19

කෘත්‍ය කාර්ම චතුෂ්කය


කර්ම යනු පින් පව් දෙවර්ගයට ම සාධාරණ නාමයෙකි. කර්මයෝ ඔවුන් විසින් සිදු කරන්නා වූ කෘත්‍යයන්ගේ වශයෙන් ද විපාක දෙන ආකාරයාගේ වශයෙන් ද විපාක දෙන කාලයාගේ වශයෙන් ද විපාක දෙන ස්ථානයන් ගේ වශයෙන් ද ප්‍රභේදයට පැමිණෙති.

1. කෘත්‍ය කර්ම චතුෂ්කය

ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය යි කෘත්‍ය වශයෙන් කර්මය සතර වැදෑරුම් වේ.

ජනක කර්මය

මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට උපදවන්නා වූ කුශලාකුශල කර්මය ජනක කර්මය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මය ජනක කර්ම නම් වේ. අංග සම්පූර්ණ වී බලවත් වූ කුශලාකුශලයෝ ජනක කර්ම වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නො පැමිණෙති. ප්‍ර‍තිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ, ජනක කර්මයකින් භවයෙහි උපන් සත්ත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන් ම නොදී අභාවයට යෙති.

සුගති දුර්ගතීන්ට පැමිණවීමේ ශක්තිය ඇති බොහෝ ජනකකර්ම එක් පුද්ගලයකුට ඇත්තේ ය. එයින් එක් වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයෙකි. ජනකකර්ම බොහෝ ගණනකට එකවර විපාක දීමට අවකාශයක් නැත. සත්ත්වයකු එක් එක් භවයක ජීවත් වන කාලය එක් ජනක කර්මයක විපාකය ලබමින් සිටින කාලය ය. මරණයට පැමිණීමෙන් ඒ භවය කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේ දී ඉදිරිපත් වූ ජනක කර්මයකින් සත්ත්වයා නැවත සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.

කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය

මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.

විශේෂයෙන් සැලකිය යුතු කරුණක්

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.

උපස්තම්භක කර්මය

කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් උපන් සත්ත්වයාහට ජීවත්වීමට උපකාර වන්නා වූ කුශල වූ ද අකුශල වූ ද කර්ම උපස්තම්භක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධියක් දීමට තරම් බලවත් නො වූ කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් දීමට අවස්ථාව එතෙක් නො පැමිණි ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපස්තම්භක කර්මයෝ වෙති. අකුශල කර්මයන්ගේ උපස්තම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සඳහා ජීවත් කරවීම ය. සත්ත්ව සන්තානයට පමණක් නොව කර්මයෝ කර්මයන්ට ම ද උපස්තම්භක වෙති. යම්කිසි කුශල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුයේ යහපතක් ය යනාදීන් කළ පින්කම් නැවත නැවත සිහි කොට ප්‍රීති වේ නම් කළ කුශලය ගැන සතුටුවීම් වශයෙන් පසු ව ඇති වන්නා වූ කුශල චේතනාවන්ගේ අනුග්‍ර‍හයෙන් පළමු කර්මය බලවත් වේ. පසු ව ඇති වන්නා වූ ඒ කුශල චේතනාවන්ගෙන් අනුග්‍ර‍හය ලැබූ කුශලය පළමු අල්ප විපාකයක් ඇති කරන දුබල පිනක් ව තුබුණේ ද පසුව උසස් පල දීමට සමත් කුශලයක් වේ. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය යි.

උපපීඩක කර්මය

නොයෙක් රෝග ඇති කිරීම, තනතුරුවලින් පහකිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත් වතු පාළු කිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින්වර සත්ත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධි දානයට නො සමත් දුබල කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් එතෙක් ඇති නො කළා වූ ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහු ය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසු ව බොහෝ කරන ලද්දේ නම්, පසු ව කළා වූ කුශල බලයෙන් කලින් කළ බලවත් අකුශලය දුබල වේ. පසුව කළා වූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.

උපඝාතක කර්මය

ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්ත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදි ගුණවතුන්ට කරන්නා වූ අපරාධයෝ බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. ප්‍ර‍තිසන්ධිය දෙන කල්හි ඔවුහු ම ජනක කර්මයෝ ද වෙති. ඒවායින් ද ඉතා බලවත් වූ කර්මය ම උපඝාතකත්වයකට පැමිණ සත්ත්වයාගේ ජීවිතය නසන්නේ ය. කුශල පක්ෂයේ ද උපඝාතක කර්ම ඇත්තේ ය. නරකයෙහි උපන් පසු කළ පින් සිහි වී ඉන් ච්‍යුත ව දෙව්ලොව උපදනා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් ප්‍රේතත්වයෙන් මිදී සුගතියෙහි උපදනා ප්‍රේතයන්ගේ ද වශයෙන් කුශලෝපච්ඡේදක කර්මය කිය යුතු ය. උපඝාතක කර්මයන්ගෙන් ඇතැමෙක් සත්ත්වයා නසා ජනකත්වයෙන් දෙවන ජාතියේ විපාකත්වයට පැමිණෙති. ඇතැමෙක් උපච්ඡේදනය පමණක් කෙරෙති. මරණාසන්නයේ දී සුගති දුර්ගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකය දෙන කර්මය ද කර්මයන් නසන්නා වූ උපඝාතක කර්මයකැයි කිය යුතු ය. උපච්ඡේදක කර්ම යනු ද උපඝාතක කර්මයට ම ව්‍යවහාර කරන අන් නමෙකි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

2/12/18

කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය




මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.



විශේෂයෙන් සැලකිය යුතු කරුණක්



මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.


8/8/17

පර ස්ත්‍රී සේවනයෙහි විපාක



පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු කරන්නට මඟියන්ට පහර දී එළවා දමති. පීඩා ලද වැසියෝද සතුටින් රජු දෙස බලති.

මෙසේ එක් දිනක් රජු සංචාරයෙහි යද්දී සත්මහල් ප්‍රාසාදයක ඉහළ තලයේ සිටි එක්තරා කාන්තාවක් කවුළුවක් හැර පහළ මාර්ගයේ යන රජු දෙස බැලුවාය. රජුද එවේලෙහි උඩ බැලුවේය. කාන්තාව වහාම හිස සඟවා ගනිමින් කවුළු දොර වසා දැමුවාය. එහෙත් රජු එය දුටුවේ පූර්ණ චන්ද්‍රයා වළා ගැබක සැඟවී ගියාක් මෙන්ය. රජුගේ සිත ඈ කෙරෙහි වසඟව ඇය දැකීමේ රාගයෙන් පෙළෙන්නට විය. කෙතරම් ද යත් ඇතුපිටින් වැටෙන්නාක් තරම් රජ සිත රාගයෙන් වසග විය. සංචාරය නැවතු රජතුමා වහාම නගරයට ප්‍රවේශ වී එක් විශ්වාසනීය අමාත්‍යයෙකු ගෙන්වා තමන්ගේ වුවමනාව කියා සිටියේය. ඇමැතිවරයා රජුගෙන් අසා සිටියේ තමා මේ වෙනුවෙන් කුමක් කළ යුතුද කියාය. එවිට රජතුමා කීවේ වහාම එම නිවසට ගොස් ඇය සස්වාමිකද අස්වාමිකද යන්න සොයා බලා එන ලෙසයි.

ඔහු එහි ගොස් ඇය සස්වාමික බව දැන රජුට දැන්වීය. එවිට රජතුමා එම සැමියා මාලිගාවට කැඳවා ගෙන එන ලෙස අණ කළේය. ඇමැතිවරයා එම නිවසට ගොස් රජුගේ නියෝගය එම කාන්තාවගේ සැමියාට දැන්වීය.බියජනක අනතුරක සේයා දුටු මෙම අහිංසක සැමියා රජ අණ ප්‍රතික්‍ෂේප කළ නොහැකි හෙයින් භීතියෙන්ද ශෝකයෙන්ද රජ ගෙදරට පැමිණියේය.

රජතුමා හමුවට පැමිණි මොහුට රජු අණ කළේ අදින් පසු මාලිගාවෙහි සේවය කරන ලෙසයි. එහෙත් මේ මිනිසා කියා සිටියේ දේවයිනි, මට රජ මැදුරේ සේවය අවශ්‍ය නැත. මා කරන සේවයෙන් ඔබතුමන්ට අයබද්දක් ගෙවන්නට පොරොන්දු වන බවය. එවැනි අය බද්දකින් තමන්ට ඇති ප්‍රයෝජනයක් නැති බවත් වහාම රජ මැදුරේ සේවය කළයුතු බවත් කියා ඊට අවශ්‍ය ආයුධ දී සේවයට පිටත් කරන්නැයි නියෝග කළේය. අනතුරුව එම පුරුෂයා මරණ භීතියෙන් යුතුව රජුට අප්‍රමාදීව මෙහෙවර ඉටු කළේය. රාජ දඬුවම් ලැබීමට හේතුවන කිසිදු වැරැද්දක් තමාගෙන් සිදුනොවීමට ඔහු වග බලා ගත්තේය.

මේ අතර රජුගේ කාමදානය දිනෙන්දින වැඩිවන්නට වූ අතර මෙම මිනිසා මරා ඔහුගේ බිරිඳ මාලිගාවට ගෙන්වා ගැනීම පිණිස විවිධ සැලැසුම් පිළියෙළ කළේය. ඒ අතර එක් දිනක් රජතුමා මෙම මිනිසා කැඳවා මෙතැන් සිට යොදුන් සියයක් ගිය තැන නදියක් ඇති බවත් එහි ගොස් එයින් රන්වන් මැටි පිඩක්ද එහි පිපුණු කුමුදු හා උපුල් මල් ද රැගෙන තමා නාන වේලාවෙහි මංගල පොකුණට රැගෙන ආ යුතු බවට නියෝග කළේය. නිසි වේලාවට පැමිණිය නොහැකි වුවහොත් මරා දමන බවට ද තර්ජනය කළේය.

කුමුදු, උපුල් හා අරුණුවන් මැටි කෙසේ ලබත්දැයි මරණ භයින් භීතියට පත් සේවකයා ශෝකයෙන් ගෙදරට ගොස් ඒ බව තම සොඳුරට ද කියා ඈ උයන ලද ආහාරයෙන් කොටසක් ඉක්මනින් අනුභවකොට ගමනට පිටත්ව යාමට අවශ්‍ය බව කීය. ඔහු තම ආහාර අනුභව කිරීමට පෙර මාර්ගයෙහි ගිය මගියෙකු හටද ආහාර දානයක් දුන්නේය. තවත් බත් මිටක් ගඟට දමා මාළුන්ට ආහාරවේවායි පැතීය. අවසන තමා කළ මේ පුණ්‍යකර්ම දෙකේ පින් අනුමෝදන් වන යම් දෙවිදේවතා කෙනෙකු වෙත්නම් ඒ පිනෙන් මා මෙම මරණයෙන් මුදා, කුමුදු උපුල් හා අරුණුවන් මැටි ගෙන්වා දෙන්නැයි තුන් වරක්ම ඉල්ලා සිටියේය. නදියට අධිගෘහිත නා රජුගේ මොහුගේ මේ හඬ අසා මහලු වෙසක්ගෙන එහි පැමිණ ඔහුගේ අරමුණූ ඉටු කර දුන්නේය.

මේ අතර දුෂ්ට රජු කළේ කල්වේලා ඇතිවම දොර වස්වා යතුරු තමා වෙතට ගෙන්වා ගත්තේය. මිනිසා දොරටු පාලයා වෙත ගොස් දොර අරවා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය. නිසැකයෙන්ම තමා මරන්නට කළ උපායක් බව දැනගත් ඒ මිනිසා වාසල් දොරේ උළුවස්ස මත මැටි පිඩ තබා ඒ මත මල්ගසා සියලු නගරවාසීනට ඇසෙන සේ තමා රාජ අණ ඉටු කළ බව දැන ගන්නැයි’යි කෑ ගසා කියා සිටියේය. අනතුරුව යා යුතු මගක් නොදැන පන්සලට ගොස් අසරණයෙකු සේ නිදා ගත්තේය .

රජුගේ කාමගින්න ක්‍රමයෙන් වැඩිවී පසුදින පාන්දරින්ම මේ මිනිසා මරා ඔහුගේ බිරිඳ මැදුරට ගෙන්වා ගනිමින් එළිවන තුරු නිදි වරමින් කල්පනා කළේය. නිදිනොලද රජුට ලෝකුඹු නරකයෙහි සැට යොදුන් පමණ වූ ලෝහ සැළියෙක පැසෙන මිනිසුන් සතර දෙනෙකු හිස් ඔසවා කරන බිහිසුණු ශබ්ද හතරක් ඇසෙන්නට විය. රජු උදෑසනම පුරෝහිත කැඳවා, මේ ගැන පැවසු විට එම බමුණා රජු ඇසුශබ්ද කවරේද’යි විමසීය. දු,ස,න,සො යන ශබ්ද බව රජ කී විට ඒවායේ අරුත් විමසන්නට නොදත් බමුණා මෙය රජුට භයානක විපතක් වන්නට හැකි බවත් පවසා එයින් මිදෙන්නට මහා බිලි පූජාවක් කොට යාගයක් කිරීම අවශ්‍ය බවට උපදෙස් දුන්නේය.

කාමාග්නියෙන් ක්ලාන්තව සිටි රජුගෙන් මල්ලිකා දේවිය මේ ගැන විමසන්නට විය.ජීවිතයට අනතුරක් ඇති බවත් එයින් මිදෙන්නට යාගයක් කළ යුතු බවට පුරෝහිතයා උපදෙස් දුන් බව රජු ශෝකයෙන් මල්ලිකාවට කීය. එසේම සර්වශන යාගයෙන් තම ජීවිතය බේරාගත හැකි බවද කීය. මල්ලිකාව රජුට පවසන්නේ රජතුමනි ඔබ තරම් අඳබාලයෙකු මේ ලොව තවත් නැත. එකෙක් මරා තවත් එකෙකුගේ ජීවිතය ලැබෙන්නේ කෙසේද? මෝඩ බමුණාගේ උපදෙස් ලබා මේ සත්ව සංහාරයක් සිදු කරන්නේ ඇයි? ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වෙත මේ ගැටලුව ඉදිරිපත් කරමු’යි මල්ලිකාවෝ යෝජනා කළහ.

ඊට එකඟ වු රජතුමා විහාරයට ගොස් බුදුන් වහන්සේ බැහැදැක කලබලයෙන්ම මෙම ගැටලුව ඉදිරිපත් කළේය. එවිට බුදුන් වහන්සේ මහරජ බිය නොවන්න. ඔබගේ ජීවිතයට කිසිදු අනතුරක් නැත. පව්කළ පිරිසකගේ තම දුක් විඳීම ප්‍රකාශ කරන ශබ්ද හතරක් ඔබට ඇසී ඇතැයි කීය. ඒ කවර පව්කම්දැයි ඇසූවිට බුදුපියාණන් වහන්සේට වදාළේ පෙර කාශ්‍යප බුදුසමයෙහි සිටුවරු සිව් දෙනෙකු කාමභෝගීව ජීවත්ව අභිරූපි කාන්තාවන් සොයා සොයා මුදල් වියදම්කොට පරස්ත්‍රි සේවනයෙහි යෙදී එහි විපාකයෙන් ලොකුඹු නරකයෙහි ඉපිද අපමණ, දුක්වේදනා විඳීන බවත් ඔවුන් විසින් කියන්නට උත්සාහ ගන්නා දෙයක් කියාගත නොහැකිව අකුරක් පමණක් ප්‍රකාශ වී ඇති බවයි. අනතුරවැ එම අකුරු හතරෙහි අර්ථ ලෙස ඔවුන් කළ පාපය ප්‍රකාශ කරන බවත් බුදුරදහු වදාළහ. එය ඇසූ රජතුමාට මහත් සංවේගයක් ඇතිවිය. පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව වැටහිණි. තමාත් අන්‍ය ස්ත්‍රින් කෙරෙහි ස්නේහ උපදවා මේ විපතට වැටෙන්නට යන බව හොඳින් දැන මින් පසු පරදාර සේවනය නොකරන්නෙමි’යි අදිටන් කළේය.

අනතුරුව බුදුහිමියෝ අඳ බාලයන්ට සංසාරය දීර්ඝ වන අයුරු පහදා දහම් දෙසා වදාළහ.එහි පැමිණ සිට සේවකයාද මේදහම අසා සෝවාන් විය. රජු සිරගෙවල රඳවා සිටි මෙවැනි මිනිසුන් බොහෝ දෙනෙක් එම බන්ධනවලින් නිදහස් කළේය. සියල්ලෝ ශාන්තිය ලදහ.

7/30/17

දස අකුසල් හා ඒවායේ විපාක


අප වැරදි අන්දමට පැවැතුණොත්, එ නම්, වැරැදි ලෙසට කෑම් පීම් ගත්තොත්, කිලුටු කරන දෑ ඇඟ ගා ගත්තොත් ඒවා ඇඟ ඇතුළට වැදෙන්නට ඉඩ හැරියොත් කිමෙක් වේ ද? සනීපය නැතිවෙයි, ලෙඩ හැදෙයි, ඇඟ නරක් වෙයි. එයින් ඇඟේ පොහොණිය නැති වෙයි. අඩු වයසින් ම මැරෙන්න ද වෙයි.
එ මෙන් ම අප වැරදි අන්දමට හිතන්නට පුරුදු වුණොත් කිමෙක් වේ ද? හිතේ සනීපය නැති වෙයි, හිත ලෙඩ වෙයි, හිත නරක් වෙයි. එයින් හිතේ වැඩි දියුණුව නැති වෙයි. හිත මුළු මනින් ම පහත වැටෙයි.
ඉතින් උඩ කී අන්දමට හිත නරක් වී කිලුටු වී තිබෙන විටෙක, එය මුල් ව යමක් කියතොත් කරතොත් ඒ කියන කරන දෑ හොඳ කියුම් හෝ හොඳ කැරුම් වෙන්න හැකි ද? නො හැකි ය. නරක සිතින් හොඳක් කියන්න කරන්න බැරි ය. නරක හිතෙන් කියන්නේ ම නරක කීමෙකි, කරන්නේ ම නරක කැරුමෙකි.
හිත නරක් කරන, හිතේ ඇති වන ලෙඩ ගති මොනොවා ද? යමෙක ඇත්ත ඇති හැටියට නො දැක් ම, නරක දෑ කරන්නට ලැජ්ජාවක් හෝ බයක් නැති කම, හිතේ කලබොල ගතිය, ලෝබය, මානය, තරහව, ඉරිසියාව මසුරුකම, ජීවිතයේ ඇති සැටිය වැරැදි අන්දමට දැකීම යන ආදිය යි. මේ වා ය හිතේ ලෙඩ ගති, හිත නරක් කරන ගති. මේවාට අකුසල් යැයි නමෙකි.
මේ නරක ගති හිතේ හැදී වැඩී හිතට පුරුදු වුණොත්, හිත නරක් වී එයින් නරක දෑ කියැවෙයි. ඒ වාට වචනයෙන් කරන අකුසල් යැයි කියති. හිත නරක් වීමෙන් කරන දැයට කයින් කරන අකුසල් යැයි කියති. හිත නරක් වී හිතේ ම ක්‍රියා කරන අකුසල්වලට හිතින් කරන අකුසල් යැයි කියති.
හිත නරක් වී කියන නරක කියුම් මොනවාද? බොරු කීම, කේලාම් කීම, රළු පරොස් බස් කීම, කිසිම වැද ගැම්මකට නැති දෙඩවිලි දෙඩීම යන මේ හතර වර්ගයේ නරක කියුම් ය. මේවාට යි වචනයෙන් කරන අකුසල් යැයි කියන්නේ. හිත නරක් වී කරන නරක කැරුම් මොනවා ද? සතුන් තැළුම පෙළුම මැරුම, අනුන්ගේ දෑ අයුතු අන්දමෙන් ගැනුම, පහත් ආශාවෙන් නො හොබිනාකම් කිරීම හා මත් පැන් බීම යන මේ තුන් වගේ නරක කැරුම් ය. මේවාට කයින් කරන අකුසල් යැයි කියති.
ලෝබ ආදි නරක ගති වැඩී ගොසින් තනි හිතින් ම කැරෙන නරක තුන් වගෙකි. එනම්, අනුන් ගේ දැයට ආශා කිරීම හෙවත් විෂම ලෝබය, සිතේ නපුරු බව, ජීවිතයේ සැටි වැරැදි අන්දමින් දැකීම යන තුන යි. මේ තුනට හිතෙන්ම කැරෙන අකුසල් යැයි කියති.
මෙසේ තනි සිතින් ම කරන අකුසල් තුනෙකි. කයින් කරන අකුසල් තුනකි. වචනයෙන් කරන අකුසල් හතරෙකි. ඔක්කෝ ම අකුසල් දහයෙකි. දස අකුසල්ය කියන්නේ මේවාට යි.
මේ අකුසල්වල තරමක විස්තරයක් දැන් මෙහි දැක්වේ.
අකුසල් දසයෙකි, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුන වාචා, ඵරුසා වාචා, සම්ඵ ප්‍රලාප, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන මොහු යි. ලොවැ මෙයට ඇතුළත් නො වෙන කිසි පවෙක් අකුසලෙක් නැත. නොයෙක් වැදෑරුම් සියලු අකුසල් ම මේ දහයට ඇතුළත් වේ.

01. ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය නම් සතුන් මැරීමයි. සතකු මරමි යි සිතේ ඇති වන චේතනාව ප්‍රාණඝාත අකුශල කර්ම නමි.
සතකු වීම ය,
සතකු බව දැනීම ය,
මරමි යි යන සිත ය,
එයට උපක්‍රම කිරීම ය,
දිවි නැසීම ය.
යන අංග පස ම නො අඩු ව ඇති වූකල අකුසලය සම්පූර්ණ වේ.

මෙහි විපාක වශයෙන් (විපාකයට ඉඩ ලැබුණු විට) මෙහි දී ම වධ බන්ධන විඳීම, ලෙඩ රෝග ඇති වීම, ආයුෂ මද වීම් ආදි හිරිහැර ඇති වේ. මරණින් මතු අපායෙහි ඉපිද බොහෝ කල් දුක් විඳින්නට වේ. නැවත එයින්මිදී මිනිසත් බවක් ලද කල්හි ද ඇස් ආදිය විකල වීම, ආයුෂ මද වීම, රෝග බහුල වීම, ලොවට අප්‍රිය වීම, අශෝභන කය ඇති වීම ආදි විපත් ඇති වේ.

02. අදත්තාදානය

අන් සතු දෑ අයුතු සේ ගැන්ම අදත්තාදානය නමි.
අදත්ත (අදින්න) යනු නො දුන්න දැයි.
ආදාන යනු ගැන්ම යි.
මෙසේ අදත්තාදාන (අදින්නාදාන) යනු අයිති කරු විසින් නො දුන් දෑ සොරකමින් හෝ බලහත්කාරයෙන් හෝ රැවැටිල්ලෙන් හෝ වෙන යම් මොන ම අයුතු අන්දමෙකින් ගැන් ම යි.

මෙහි අකුසලය සම්පූර්ණ වීමට අංග පසෙකි. එනම්, අන් සතු දැයක් වීම, අන් සතු බව දැන්ම, අයිතිකාරයාට නො දන්වා හෝ බලයෙන් හෝ රවටා හෝ ගනිමි යි යන සොර සිත, එයට උපක්‍රම කිරීම, එසේ ම එය ගැන්ම යනු ඒ අංග පස යි.
මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත්, මේ අත්බව්හි දීත් මතු උපන් කලත් ධන හානිය, දිළිඳු බව, සොර සතුරු උවදුරු, සිතූ දෑ ඉටු නො වීම ආදී නපුරු විපාක ලැබේ. මරණින් මතු අපායවල ද ඉපි ද බොහෝ කල් දුක් විඳින්නට සිදු වේ.

03. I කාමමිථ්‍යාචාරය

කාමයෙහි වැරදි වූ හැසිරීම කාමමිථ්‍යාචාරය නමි. පිරිමියෙකු අනුන්ගේ බාරයේ සිටින ස්ත්‍රීන් සේවනය කිරීම ද, ස්ත්‍රියක සිය සැමියා හැර අන් පුරුෂයන් සේවනය කිරීම ද මෙයින් දැක්වේ.

අන්සතු ස්ත්‍රියක වීම,
ඇය හා සේවනයට අදහස,
එයට උපක්‍රමය,
සේවනය කිරීම
යන අංග සතර ඇති වීමෙන් පිරිමියට කාමමිථ්‍යාචාරය අකුසලය පිරේ.
සිය සැමියාගෙන් අන්‍ය පුරුෂයකු වීම,
ඔහු සේවනයට කැමැත්ත,
එයට උපක්‍රමය,
සේවනය
යන සතර අංග සම්පූර්ණ වූ විට ස්ත්‍රියට කාමමිථ්‍යාචාරය සම්පූර්ණ වේ.
මේ අකුසලයෙහි විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස විඳීම, බියකරු ලෙඩ රෝග වැළැඳීම, හදිසි විපත්වලට අසු වීම, ආංඩුවෙන් ද¼ඬුවම් ලැබීම ආදී කරදර ද, මරණින් පසු අපායෙහි ඉපිද බොහෝ දුක් විඳීම ද වේ. අපායෙන් මිදී මිනිසත් බවක් ලදොත් ස්ත්‍රී වීම, නපුංසක වීම, සතුරන් බහුල වීම, ප්‍රිය භාර්යාවක නො ලැබීම ස්ත්‍රියක් නම් ප්‍රිය සැමියකු නො ලැබීම යන විපාක ඇති වේ.

03. (III)රහමෙර බීම

රහමෙර බීම රස කාමයෙහි වරදවා හැසිරීම යි. එ බැවින් එය ද කාමමිථ්‍යාචාර යන්නෙහි ම ඇතුළත් වෙයි.
රහමෙර වීම ය, රහමෙර බව දැනීම ය, බොනු කැමැත්ත ය, එය පීම ය යන සතර අංග ඇති වූ කල අකුසලය සම්පූර්ණ වේ.
මෙහි විපාක වශයෙන් ඉන්ද්‍රිය දුර්වල වීම, උමතු වීම, ලෙඩ බහුල වීම, ආයුෂ මද වීම, දුබල දරුවන් ලැබීම, ධන හානිය, නින්දා අපහාස ලැබීම, නෑයනට පවා අප්‍රිය වීම ආදි නොයෙක් විපත් මෙහිදීත් වේ.
මරණින් මතු චේතරණී ආදි නිරයවල ඉපිද නො පමණ දුක් විඳීම ද, ඉන් මිදී මිනිසත් බව ලද කල්හි ලජ්ජා නැති බව, උමතු බව විරූප බව ආදිය ද වේ.
04. මුසාවාදා

මුසා යනු නො සිදු වූ දැය යි. වාද යනු කීම යි. නො වූවක්, වූයේ යැ යි. නැති දැයක් ඇතැයි අන්හට පිළිගන්වන අදහසින් වචනයෙන් හෝ හිස සෙලැවීම් ආදි නියායෙකින් හෝ ඇඟැවීම මුසාවාදා නමි.
නො සිදු වූවක් බව ය,
රවටමි යන අදහස ය,
එය ඇඟැවීමට උපක්‍රම ය,
අසන්නහු එය පිළිගැන්මය
යන අංග සතර ඇති වූ විට මුසාවාද අකුසලය සම්පූර්ණ වේ.

බොරු කීමේ විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස ලැබීම, ලොවට අප්‍රිය වීම් යන ආදිය වේ. මරණින් මතු අපායේ උපදී. ඉන් මිදී මිනිසකු වූ කල්හි මුව දුගඳ වේ ලෙඩ බහුල මුඛය ඇත්තෙක් වේ. දරුවන් නැත්තෙක් වේ. ලබතත් ගැහැණු දරුවන් ම ලබයි.

05. පිසුනා වාචා

උනුන් ප්‍රිය බව (සමගිය) නැති කරන බස පිසුනාවාචා නමි. කේලාම් කීම යි. බිඳෙන පුද්ගලයෙකු ඇති බව, ඔහු අනෙකා ගෙන් බිඳුවන අදහස, තමා ඔහුට ප්‍රියවන සිත, තමා කියන කේලාම් ඔහු පිළිගැන්ම යන අංග සතර ඇති වීමෙන් අකුසලය සම්පූර්ණ වේ.

මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත් මෙහි දී ම හිත මිතුරන් නැති වීම් ආදිය ද, මරණින් පසු අපාය දුක ද, නැවත මිනිසකු වූ කල මිත්‍රයන් අඩු වීම ද, ඇති වූ මිතුරන් කරුණක් නැතිව ම බිඳී යෑම ද වේ.

06. පරුෂ වචනය

පරුෂ නම් කර්කශ රළු දැයි. පරුෂ වචන යනු කර්කශ රළු බස යි. අනුන් ගේ සිත් රිදුවන ඇනුම් බැනුම් ගැරැහුම් මෙයින් දැක්වේ.
ගැරැහුම් ලබන්නකු ඇති බව, රළු සිතැති බව,, බැණීම යන අංග තුන ඇති කලැ අකුසලය සම්පූර්ණ වේ.
්‍යවහාරයේ මිහිරි වූ වචනයක් වුව ද කිපුනු සිතින් ඇනුම් බැණුම් වශයෙන් කියා නම් ඒ ද පරුෂ වචන යැ යි ද ත යුතු. පෙර ඇතැම් රජහු සොරුන් මරවනු කැමැති ව ‘මොවුන් සුව සේ නිදිකරවු’ යි කියති. වධකයෝ ඔවුන් මරති. මෙහි එ රජුන් කියන වචන කණට රළු නො වුවත් ‘මොවුන් මරවු’ යන අදහස ම උඩ කියන බැවින් පරුෂ වචන ම ය. පෙර බුරුම රජුන් මරණ තීන්දුව ලීවේ ‘කම්මං සත්තේ විභජති (කර්මය සත්ත්වයන් බෙදයි)’ යන බුද්ධවචනය ලිවීමෙනි. එහෙත් එයින් මැරීම අදහස් කළ බැවින් එය ඒ අවස්ථාවෙහි පරුෂ වචනයෙක් ම ය.
ඇතැම් විට මව දරුවාට ආදරයෙන් දැඩි වචන කියයි. සිතෙහි බිඳකුත් කෝපයක් නැති ව බලවත් සෙනෙහයෙන් කියන බැවින් ඒ පරුෂ වචන සංඛ්‍යාවට නො යෙයි.
ඉහත කී පරිදි පරුෂ වචනයෙන් මෙහි දී ම ජනයාට අප්‍රිය වීම ද, කුෂ්ට කිලාසාදි ලෙඩ ඇති වීම ද, මරණින් පසු අපායෙහි ඉපැදීම ද නැවැත මිනිසත් බව ලත් කලක් වුවොත් අප්‍රිය දැකුම් ඇති, විකාර මුඛ ඇති, විවර්ණ කය හා රළු කටහඬ ඇති, ජනයාට ප්‍රිය නො වන දීනයකු වීම ද යන විපාක ඇති වේ.

07. සම්ඵප්‍රලාප

දියුණුව නැති කරන හිස් බස් සම්ඵප්‍රලාප නමි. වැඩකට නැති කථා බව ය, ඒවා කීම ය (අසන්නවුන් ඒ පිළිගැනීමය) යන අංග ඇති කල අකුසලය සම්පූර්ණ වේ.
සම්ඵප්‍රලාප
දොඩන මිනිසා මෙ ලොව දී ම ලෝ වැස්සාට පිළිකුල් වේ. මෙය බලවත් ව දෙඩුයේ මරණින් පසු අපායේ උපදී. නැවැත මිනිස් ව උපන්නේ ද අනුන් විසින් නො පිළිගන්නා වචන ඇතියෙක් වේ.

08. අභිධ්‍යාව

අනුන් අයත් දැය ගැන ‘මෙය මට ඇත් නම් මැනැවැ’යි ඇති කැරැගන්නා දැඩි ලෝභය අභිධ්‍යා නම් වේ.
අනුන් සතු දැයක් වීම,, එය තමාට අත් කැරැ ගැන්මේ සිත, යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
දැඩි ලෝභයෙන් මඩනා ලද්දේ මෙහි දී දුර්වර්ණ බව ආදියට පැමිණේ. මරණින් පසු ලෝභයේ දැඩි කම වූ පරිදි ප්‍රේතාදි වූ අපාය දුකට ගොදුරු වේ. නැවැත මිනිසත් බව ලද කල්හි දුගී බව ද, සම්පත් සිත්සේ භුක්ති විඳිය නො හැකි බව ද ආදි දුර්විපාක විඳී.

09. ව්‍යාපාද

අනුන් ගේ සිත සැපය වනසන, තමාත් විරූප බවට පමුණුවන සේ දැඩි වූ දෙවෂය ව්‍යාපාද නමි.

අන් සතකු වීම, ඔහු පෙළෙතොත් නැසෙතොත් මැනැවැයි සිතීම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ. අන් හට විපත් කැමැති වන්නෝ මෙහි දී ලොවට අප්‍රිය වීම් ආදි කටුක විපත් ද මරණින් පසු අපායයෙහි ඉපැත්ම ද මිනිස් ව උපන් කල විරූප බව ආදී අනිෂ්ට විපාක ද ලබත්.

10.මිථ්‍යාදෘෂ්ටිය

ඇති සැටිය තබා වරදවා දැකීම මිථ්‍යාදෘෂ්ටිය නම්.
වරදවා දැක්ම, එසේ ම වටහා ගෙන දැඩි කොට සිතින් ගැන්ම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
මිථ්‍යාදෘෂ්ටිය වනාහි අහේතුක දෘෂ්ටි, අක්‍රිය දෘෂ්ටි, නාස්තික දෘෂ්ටි යැ යි තුන් වැදෑරුම්.
“සත්ත්වයා කෙලෙසීමටත් පිරිසිදු වීමටත් හේතුවක් නැතැයි. එය ඉබේ ම වන දැයෙකැ”යි වරදවා දැක්ම අහේතුක දෘෂ්ටි යි.
කුශලාකුශල කර්මවල කිසි ම විපාකයෙක් නැතැ යි වරදවා ගැන්ම අක්‍රිය දෘෂ්ටි නම්.
දානාදියේ ඵල විපාක නැතැයි, මව යැ පියා යැ යි විශේෂ යෙන් සැලැකියැ යුතු කෙනෙක් නැතැ යි මෙලොව පරලොව කියා දැයෙක් නැතැ යි යන ආදීන් වැරැදි ලෙස දැක්ම නාස්තික දෘෂ්ටිය යි.
මේ මිත්‍යාදෘෂ්ටි ගත් අයට එහි ඵල වශයෙන් මෙහිදීත් සිහි මුළාවීම් ආදිය ද, මරනින් පසු අපායේ ඉපැත්ම ද, මිනිස් ව උපන් කල නුවණ මඳ බව, සුව කළ නො හැකි කල් පවත්නා ලෙඩ ඇති බව ආදි හිරිහැර ද වේ.

------------------ත්‍රිභෙදය-----------------

සියලු අකුසල් කායික, වාචසික, මානසික යැයි කොටස් තුනකට බෙදේ. කායික යනු කයින් කරනු අකුසලි. වාචසික යනු වචනයෙන් කරන අකුසලි. මානසික යනුසිතින් පමණක් කරන අකුසලි.

කයින් කරන (කායික) අකුසල් නම් – ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුන යි.
වචනයෙන් කරන අකුසල් නම් – මුසාවාද, පිසුනවාචා, පරුෂා වචන, සම්ඵ ප්‍රලාප යන සතර යි.
සිතින් ම කරන අකුසල් නම් – අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන තුන යි.
සාවධාතා භෙදය
අල්ප සාවද්‍යා යනු ස්වල්ප දුක් විපාක දෙන කර්ම යි. මහා සාවද්‍ය යනු මහත් දුක් විපාක දෙන කර්මයි.

-----------බුද්ධ භක්තිය------------

ප්‍රාණඝාතයෙහි වනාහි කුඩා ම සතුන් මැරීම අල්ප සාවද්‍ය වේ. වඩ වඩා ලොකු සතුන් මැරීම වඩ වඩා මහා සාවද්‍ය වේ. එයට කරුණු නම් කුඩා සතුන් මැරීමට යෙදෙන ප්‍රයෝගය, ගන්නා උත්සාහය ස්වල්ප වීමත්, මහත් සතුන් මැරීමට යොදන ප්‍රයෝගය, ගන්නා උත්සාහය මහත් වීමත් ය.

එක සමාන සතුන් අතුරෙහි ද, ගුණයෙන් වැඩි සතා මැරීම මහා සාවද්‍ය වේ. ගුණයෙන් අඩු සතා මැරීම අල්ප සාවද්‍ය වේ.
තිරිසන් සතුන් මැරීමට වඩා මිනිසුන් මැරීම මහාසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි බවත්, මැරීමට කරන ප්‍රයෝගයේ මහත් බවත් එයට කරුණු යි. ගුණ හීන මිනිසුන් මැරීමට වඩා මහ ගුණවත් මිනිසුන් මැරීම මහාසාවද්‍ය යි. ගුණයෙන් මහත් බැවිනි.
මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදු රජුන් ගේ ඇඟේ ලේ සෙලැවීම යන මේවා අන් හැමටම වඩා දරුණු වූ ආනන්තර්ය අකුසල් කොටසට අයත් දෑය.
ආනන්තර්ය අකුශල යනු වෙන කොතරම් පින් කළත් ඒවායේ ශක්තියෙන් වසා ලිය නොහැකි මෙයින් මැරෙනු සමග ම ඒකාන්තයෙන් අවීචි මහා නිරයට පමුණුවා ලන අකුසල් ය. අනත්තර හෙවත් මී ළඟ ම අත් බව්හි විපාක දෙනුයේ ආනන්තර්ය යි.
ගුණයෙන් අඩු සතුන් මැරීමේ අකුසලය ඇතැම් විට මහ කුසල් කිරීමෙන් මැඩ පවත්වා, විපාක දීමට ඉඩ නො දෙන්නට පිළිවන.
අදත්තාදානයේ අල්ඵ සාවද්‍ය මහා මහා සාවද්‍ය බව වනුයේ සොරා ගන්නා බඩු වේ වටිනා නො වටිනා කමේ හැටියටත් වස්තු හිමියන් ගේ ගුණවත් බවේ අඩු වැඩි කමේ හැටියටත්ය.
සාමාන්‍ය කෙනෙකු සතු නො වටිනා දැයක් ගැන්මට වඩා එ බඳු ම කෙනෙකු සතු වටිනා දෙයක් සොරා ගැන් ම මහා සාවද්‍ය වේ. එහෙත් ගුණයෙන් වැඩි කෙනෙකු ගේ නො වටිනා බඩුවක් වුවත් ගුණ අඩු කෙනෙකු ගේ වටිනා බඩුවක් ගැන්මට වඩා මහා සාවද්‍ය වේ. එහි ද සොරා ගැන්මට කරන උපක්‍රමයේ කුදු මහත් බැවිනුත් කර්මයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව මැන්න යුතු ය.
නො දැහැමි ධනවතකු ගේ දැයක් ගැන්මට වඩා අහිංසක දිළින්දකු ගේ දැයක් ගැන් ම ද මහාසාවද්‍ය වේ. ගනු ලබන බඩුවේ වටිනාකම ද, වස්තු හිමියාගේ ගුණ ප්‍රමාණය ද, සොරා ගැනීමෙහි උපක්‍රම ප්‍රමාණය ද යන තුන ම බලා අල්පසාවද්‍ය බව හා මහාසාවද්‍ය බව නිශ්චය කළ යුතුයි.
කාමමිථ්‍යාචාරයෙහි – ගුණ හීන ස්ත්‍රියක කෙරෙහි කාමයෙහි වරදවා හැසිරීමට වඩා ශීලාදි ගුණවලින් වඩා දියුනු වූ ස්ක්‍රියක වැරැදි සේ සේවනය කිරීම මහාසාවද්‍ය වේ. තවද නෑකමේ හැටි හැටියට ද නගුන් නැන්දැණියන් මවුන් හා කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම් ක්‍රමයෙන් වඩ වඩා මහාසාවද්‍ය වේ. ගුරුවරයා ගේ භාර්යාව, මෑණියන්, බ්‍රහ්මචාර්යාව රක්නා ස්ත්‍රීන් හා කාම සේවනය එක් සමාන සේ මහාසාවද්‍ය වේ.
සුරාපානයේ අල්ප මහා සාවද්‍යතා මෙසේ ය. - කෑම කන විට ආහාරයේ අවයවයක් වශයෙන් හෝ සිහි මුළා නො වන පමණට හෝ මත් පැන් බීම අල්ප සාවද්‍ය වේ. මත් වීම වැඩි වැඩි වූ පමණට ද, එයින් කරන දරුණු ක්‍රියාවේ වැඩි වැඩි පමණට ද වඩ වඩා මහා සාවද්‍ය වේ.
මුසාවාදයෙහි වනාහි ඒ බොරුවෙන් වන, එය පිළිගන්නවුනට වන හානියේ වන අඩු වැඩි කමේ පමණට අල්පසාවද්‍ය හෝ මහා සාවද්‍ය බව වේ.
තමා සතු, ඇති දැයක් නො දෙන අදහසින් නැතැයි කීම අල්ප සාවද්‍ය යි. අනුනට අලාභ කරනු පිණිස බොරු කීම මහාසාවද්‍ය යි.
නාන්නට ගොස් පොකුණෙහි දිය සිඳී තිබෙනු දැක අවුත් සිනා සෙන අදහසින් සෙස්සනට අද ළිඳ උතුරා යෙතැ යි කියන සේ වූ බොරු අල්පසාවද්‍ය යි. සිල්වත් ගුණවත් අයට කවට කම් වශයෙන් වුව ද නැති දෙයක් නගා කීම මහාසාවද්‍ය වේ.
පිසුන වාචායෙහි (කේලාම් කීමෙහි) කේලාම් අසා බිඳෙන පුද්ගලයා ගුණ අඩු කෙනෙක් වී නම් අල්පසාවද්‍ය වේ. ගුණ වැඩි කෙනෙක් නම් ගුණ පමණට ඒ කේලම මහා සාවද්‍ය වේ.
පරුෂ වචනයෙහි ඇනුම් බැනුම් අසන්නා ගුණයෙන් අඩු වූ පමණට ඒ කර්මය අල්පසාවද්‍ය වේ. ගුණයෙන් වැඩි වූ පමණට මහාසාවද්‍ය වේ.
සම්ඵ ප්‍රලාපය මද වශයෙන් දෙඩීම අල්පසාවද්‍ය වේ. වඩ වඩා දෙඩීමෙන් මහා සාවද්‍ය වේ.
අභිධ්‍යායෙහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය බව ඉහත අදත්තාදානයට කී පරිදිම ය.
ව්‍යාපාදයෙහි අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ඉහත පරුෂ වචනයට කී පරිදි ම ය.
මිත්‍යාදෘෂ්ටියෙහි නියත මිථ්‍යාදෘෂ්ටියක වීම මහා සාවද්‍ය වේ. අනියත මිථ්‍යාදෘෂ්ටියක බව අල්පසාවද්‍ය වේ.

---------------විපාක----------------

ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක යැයි විපාක දෙවැදෑරුම්. යම් තැනැක ඉපැදැවීම ප්‍රතිසන්ධි විපාක නම්. උපන් පසු දෙන විපාක ප්‍රවෘත්ති විපාක නම්.

---------------කර්ම කර්මපථ---------------

උඩ කී ඒ ඒ අකුසල් අංග සම්පූර්ණ ව කැරුණේ කර්මපථ වේ. (හෙවත් අපායවල උපදවා දුක් දීමට සමත් වේ) එ සේ අංග සම්පූර්ණ නො වූයේ කර්ම මාත්‍ර ම වේ. එයින් ප්‍රවෘත්ති විපාක (උපන් පසු යම් යම් දුක් හිරිහැර) දෙවෙයි.

-----------------අනුන් ලවා කැරැවීම---------------

ඉහත කී අකුසල් අනුන් ලවා කැරැවීමේ දී, අණ ලත් පරිදි ම කිසි අඩුවක් නැති ව ම එය කරන්නවුනට ද අණ කළ අයට ද යන දෙපක්ෂයට ම එක සේ අකුසල් සිදු වේ. කී සැටියෙන් වෙන් ව කළොත් අණ ලැබූ තැනැත්තාට (එය අංග සම්පූර්ණ කර්මයක් වී නම්) අකුසල කර්මපථ වේ. අණ කළාහට කර්ම මාත්‍ර ම වේ.

-------------------අකුසල් මුල්----------------------

ලෝභය, ද්වේෂය (තරහව) මෝහය (ඇති තතු නො දැන්මය) යන තුන් දෙන අකුසල් වල මුල්ය.

ප්‍රාණඝාතය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුත් සිතින්කැරේ. එසේ නම්, මස් ලොබින් සතුන් මැරීම ලෝභ – මූලික නොවේ ද ? නොවේ.

සතා කෙරේ ලෝභය තිබේ නම් ඌ මැරිය නො හැක්ක. සතාගේ ජීවිතයට විරුද්ධ බැවින් ම එය නසයි. ඔහු ලෝභ කරනුයේ උගේ මසට ය. මෙ සේ නම් මස් ලොබින් සතුන් මැරීම කෙසේ වන්නක් ද ? එය මස් ලොබ සහිත සිත් මුලින් සැදි සැදී අවුත් එයින් රුකුල් ලැබ හටගත් ද්වේෂ සහිත සිතින් කරනකර්මයෙකි. මෙයට ලෝභ ප්‍රත්‍යය ද්වේෂ මූලික සිතින් කැරෙන්නෙකැ යි කිය යුතු යි’ මෙ බඳු තැන ද්වේෂ මූලික යැ යි මෝහය හැම අකුසලෙකම ඇති එකක් බැවින් එය එකක් පාසා නො කීවාට වරදෙක් නැත.
අදත්තාදානය ලෝභ - මෝහ දෙක මුල් වද, ද්වේෂ මෝහ දෙක මුල්ව ද උප දී.
කාමමිථ්‍යාචාරය ලෝභ - මෝහ යන දෙ මුලක් ඇති එකෙකි.

මුසාවාදය වස්තුලෝභාදියෙන් බොරු කීමේ දී ලෝභ - මෝහ යන දෙ මුලෙකින් යුක්ත ද, අනුනට ක්‍රෝධයෙන් බොරු චෝදනා නැංවීම ආදියේ දී ද්වේෂ මෝහ යන දෙ මුලින් යුක්ත ද වේ.

පිසුන වාචාවත් සම්ඵප්‍රලාපයත් දෙක ද මුසාවාදය සේ ම විටෙක ලෝභ මෝහ යන දෙ මුලින් ද විටෙක ද්වේෂ මෝහ යන දෙ මුලින් ද ඇති වේ.
පරුෂ වචනය ද්වේෂ මෝහ යන දෙ මුලින් ඇති වේ.
අභිධ්‍යාව ත් මිථ්‍යාදෘෂ්ටිය ත් ලෝභ මෝහ යන දෙ මුලින් යුක්ත වෙති.
ව්‍යාපාදය ද්වේෂ මෝහ යන මුල් දෙකින් යුක්ත ය.
ඉහතින් විස්තර කැරුණු දස අකුසලින් වෙන්වීම දස කුසල් නම්.

------------------------කුසල්----------------------

දස පින් කිරිය වත් පිරීම කුසල් සිතින්ම කැරෙන්නක් බැවින් එය ද කුසල් කම් නමින් සලකති.
පින් කිරිය වත් නම් – දාන සීල භාවනා අපචායන චෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා ධම්මදෙසනා ධම්මසවණ දිට්ඨුජුකම්ම යන දශය යි. මේවා කිරීමට ;හ්තු වන කුසල් මුල් තුනෙකි. ඒ අලෝභ අද්වේෂ අමෝහ යන තිදෙන ය. කුසල හේතු යැ යි ද මුනට බැවහැර වේ. ලෝභයට කෙළින් ම විරුද්ධ වූ ස්වභාවය අලෝභය යැ යි ද, දත යුතු ප්‍රාණඝාතාදී අකුසලින් වැළකීමේ දී එනම් - ශීලාදී පින් දහම් වැඩීමේ දී මේ කුසල් මුල් ඇති වේ.
කුසල් කිරීමේ දී සමහර විට අලෝභ අද්වේෂ අමෝහ යන තුන් කුසල් මුල් ම සිතේ ඇති වේ. එ බඳු සිතින් කරන කුසල් ත්‍රිමූලික හෝ ත්‍රිහේතුක කුසල් නම් වේ. කුසල් කරන සමහර විටෙක කුසල් මුල් අතුරෙන් අලෝභ අද්වේෂ දෙක පමණක් ඇතිව කරත්, එසේ වූ කුසල් විමූලක හෝ ද්විහේතුක කුසල් නම් වේ.