දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ තපුස්ස ගෘහපතියා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිලා කතාබස් කරන්නට වුණා. එ් අතරේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට කලින් සිදුහත් කාලයේ පුරුදු කළ ගුණයක් වැඩූ අයුරු ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා.
‘‘ආනන්දයෙනි, මට පවා සම්බුද්ධත්වයට කලින් ම, සම්බුදු නො වී සිටිය දී බෝසත් වූයේ ම මේ අදහස ඇති වූයේ ය. එනම්, ‘කාමයෙන් නික්මීම යහපති. හුදෙකලා විවේකය යහපති’ වශයෙනි. එනමුත් ආනන්දයෙනි, කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි නො බැස ගනියි. නො පහදියි. නො පිහිටයි. නිදහස් නො වෙයි.
එවිට ආනන්දයෙනි, මට මෙසේ සිතුණේ ය. කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි නො බැසගන්නා, නො පහදින, නො පිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප‍්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇති විය.
‘මා විසින් කාමයන්ගේ දුර්විපාකයන් නො දකින ලද්දේ ය. මා විසින් කාමයෙහි ආදීනව බහුල ව මෙනෙහි නො කරන ලද්දේ ය. කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ නො කරන ලද්දේ ය. කාමයන්ගෙන් නික්මීම මවිසින් සේවනය නො කරන ලද්දේ ය. එහෙයින් කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහිලා නො බැසගනියි, නො පහදියි, නො පිහිටයි, නිදහස් නො වෙයි.
ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම කාමයන්හි ආදීනව දැක එ් ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.
ආනන්දයෙනි, එ් මම පසුකාලයෙහි කාමයන්හි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.”
(තපුස්සගහපති සූත‍්‍රය – අං. නි. – 5)
(තපුස්සගහපති සූත‍්‍රය – අං. නි. – 5)
බලන්න, මේ වගේ උපන් නුවණක් අපට තිබෙනවා ද? කාමයන්ගෙන් සිත මිදෙන්නේ නැති වෙනකොට, එ් ගැන තම සිතින් ම විමසල හේතුව හොයාගන්න තරම් අපට උපන් වැටහීමක් නම් නැහැ. අන්න එ් නිසයි ශාස්තෘන් වහන්සේ මේ ධර්මය තමන් වහන්සේ විසින් ම අවබෝධ කළා යන අරුතින් සම්මා සම්බුද්ධ නම් වෙන්නේ. මේ කාමයන්ගේ ආදීනව දැක්වෙන දහම් කරුණු ටිකක් අපි ඉගෙන ගනිමු. භාග්‍යවතුන් වහන්සේ කාමයන්ට එක එක නම් යොදල අපේ සිහි නුවණ උපද්දවන්න උත්සාහ කරනවා. සංයමයෙන් යුතුව ඉතා අවධානයෙන් යුතුව මේ කාමයන්ට දුන් උදාහරණ පිළිබඳ කියවා දැනගමු.
‘‘මහණෙනි, භය යනු මෙය කාමයන්ට කියන නමකි. දුක යනු මෙය කාමයන්ට කියන නමකි. රෝගය යනු මෙය කාමයන්ට කියන නමකි. ගඬුව යනු මෙය කාමයන්ට කියන නමකි. හුල යනු මෙය කාමයන්ට කියන නමකි. ඇලීම යනු මෙය කාමයන්ට කියන නමකි. මඩ යනු මෙය කාමයන්ට කියන නමකි. මව්කුස යනු මෙය කාමයන්ට කියන නමකි.
මහණෙනි, කාමයන්ට මේ භය යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව භයෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව භයෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ භය යන නම යෙදෙයි.
මහණෙනි, කාමයන්ට මේ දුක යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව දුකෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව දුකෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ දුක යන නම යෙදෙයි.
මහණෙනි, කාමයන්ට මේ රෝගය යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව රෝගයන්ගෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව රෝගයන්ගෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ රෝගය යන නම යෙදෙයි.
මහණෙනි, කාමයන්ට මේ ගඬුව (තුවාලය) යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව ගඬුවලිනුත් නිදහස් නොවෙයි නම්, පරලොව ගඬුවලිනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ ගඬුව යන නම යෙදෙයි.
මහණෙනි, කාමයන්ට මේ හුල යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව හුල්්වලිනුත් නිදහස් නොවෙයි නම්, පරලොව හුල්වලිනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ හුල යන නම යෙදෙයි.
මහණෙනි, කාමයන්ට මේ ඇලීම යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව ඇලීම්වලිනුත් නිදහස් නො වෙයි නම්, පරලොව ඇලීම්වලිනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ ඇලීම යන නම යෙදෙයි.
මහණෙනි, කාමයන්ට මේ මඩ යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව මඩෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව මඩෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ මඩ යන නම යෙදෙයි.
මව්කුස යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් කාමරාගයකින් ඇලී ගිය, ඡුන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව මව්කුසෙනුත් නිදහස් නො වෙයි නම්, පරලොව මව්කුසෙනුත් නිදහස් නො වෙයි නම්, එහෙයින් කාමයන්ට මේ මව්කුස යන නම යෙදෙයි.”
(කාමාධිවචන සූත‍්‍රය – අං. නි. – 5)
(කාමාධිවචන සූත‍්‍රය – අං. නි. – 5)
බලන්න, මේ සිතේ ස්වභාවය. යමක් නපුරු හෝ වේවා යහපත් හෝ වේවා එයින් ආස්වාදයක් ලැබෙනවා නම්, එය ඇසුරු කරන්නට ම යි මේ සිත පෙළඹෙන්නේ. යමක ආස්වාදය තුළ අන්ධවන නිසා ම එයින් ලැබෙන විපාක දකින්නට මේ සිතට නො හැකි වෙනවා. අකුසල් යම් තාක් ද එ් සියල්ල කරන්නේ මේ ආදීනව නො දැකීමෙන් නේ ද? කාමයේ ආදීනව තුළ දුක් විඳිමින් ම අපි එදිනෙදා ඇසුරු කරන රූප නිසා දුක උපදවා ගන්නවා, ශබ්ද, ගඳ සුවඳ නිසා, රස පහස නිසා දුක උපදවා ගන්නවා. සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ කාමයන්ගේ උපමා අපේ ජීවිතයට වැදගත් වෙන්නේ අන්න එ් කාමයන්ගෙන් හටගන්නා දුක සිහිකර ගැනීම සඳහා යි.
මේ ආකාරයෙන් කාමයන්ගේ ආදීනව පිළිබඳ සිහි ගන්වන්නට සිහි ගන්වන්නට සුවපත් සිතක් ම යි ඇති වෙන්නේ. කාමයන් ඇසුරු කිරීමෙන් අපි ඇති කර ගන්නා දැවිල්ල සුවයක් ලෙසයි අපට මේ ලෝකයෙන් උගන්වන්නේ. එ්ත් කල්පනාවක් ඇති ඕනෑම කෙනෙක්ට පේනවා මේ කාමයේ ඇති දැවිල්ලේ භයානකකම. සැප ඇති කරල දුන්න රූපයක් ම නේ ද දුක ඇති කරල දුන්නෙ?
බලන්න, දවසක් පුරාවට අපි ගත කරන්නෙ ඇසට පේන රූප එක්ක, කනට ඇසෙන ශබ්ද එක්ක, නාසයට දැනෙන ගඳ සුවඳ එක්ක, දිවට දැනෙන රස එක්ක, කයට දැනෙන පහස එක්ක. මේවා ඔස්සේ මනසට එන අරමුණු එක්ක ජීවිතය ගෙවෙනව. ජීවිතේ කියන්නෙ එච්චරයි. දවස නිමා වෙද්දි ඇස් පියා ගන්නකොටත් සැපයි. කයටත් සිතටත් විවේකයක් ලැබෙනකොටත් සැපයි. කාමයන් ඇසුරු කිරීමෙන් සැප ලැබෙනවා කියල පෙන්වා දුන්න ලෝකයේ ම, කාමයන් ඇසුරු නො කර ඉඳීම නිසා ලැබෙන ආධ්‍යාත්මික සැපය නො දැක ම ජරා මරණ කරා අපේ ජීවිතය ඇදී යනවා.
දවසේ පැය 18ක් 19ක් අවදි වෙලා නේ ද ඉන්නෙ? කාමයේ ආස්වාදයේ ම එ් පැය ගණන ගත කරල කරල, වයසට ගිහින් මේ සිත ම අපට කාමයේ ආදීනව උපද්දනකොට අපි පරක්කු වැඩියි. අන්න එ් නිසයි භාග්‍යවතුන් වහන්සේ උපමාවලින් කියා දුන්න මේ කාමයේ ආදීනව සන්සිඳුණු සිතින් ම යෝනිසෝමනසිකාරය කළ යුත්තේ කියලා. භාග්‍යවතුන් වහන්සේ කියා දෙන අවවාදය බලන්න,
‘‘කාමයන්හි ආදීනව දැක එ් ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය.”
මෙහි තිබෙනව ‘බහුල’ කියල වචනයක්. ශ‍්‍රාවකයා බහුල වශයෙන් කාමයේ ආදීනව දැක්කොත්, බහුල වශයෙන් කාමයෙන් තොර ජීවිතයක අනුසස් දැක්කොත්, ඔහුට කාමයන් ඇසුරු කරන්නට ඇති කැමැත්ත, රාගය, ඇලීම ටික ටික නිරුද්ධ වෙනවා. අන්න එ් සිත කුසල් අරමුණක සමාධිමත් වෙනවා. අන්න එ් සිත බලවත් වෙලා කාමයන්ගෙන් නික්මයාමේ භාග්‍යය යම් කලෙක උදා වෙනවා. එසේ නම් කාමයේ ආස්වාදයෙන් මිදෙන්නට, කාමයේ ආදීනව දකින්නට, බුදුරජාණන් වහන්සේ කියා දුන් මේ සුන්දර උපමාවන් මතක තබාගෙන භාවනාවක් වශයෙන් සිත සිතා ඉන්නට අපි කැමැත්තක් ඇති කර ගනිමු.