5/29/15

" චේතෝ විමුක්තිය - 7 කොටස "



මෙන්න මේ විදියට දුක්ඛ සංඥාවෙන් බලන්න පුළුවන් නම්, එහෙම ටික ටික හිතන්න පුළුවන් නම්, ඒ වගේ ම කන, ශබ්දය, සෝත විඤ්ඤාණය, කුමන කුමන ආකාරයකට හෝ ශබ්දය අපතුල ඇලෙන බව හෝ ගැටෙන බව හෝ මෝහය ඇතිකරවන්නමයි උත්සාහවත් වෙලා තියෙන්නෙ. හැම ශබ්ද රූපයක් ම ඇලෙන , ගැටෙන, රැුවටෙන ස්වභාවය අපේ මනස තුළ ඇති කරවලා නැවත සසරට පමුණුවන්නමයි තියෙන්නෙ. එහෙනම් ඒ ශබ්ද එකක්වත් අපිට හිතෛෂිව අපිට හිත වැඩ පිණිස ඇවිල්ලා නෑ. කටයුතු කරලා නෑ. ලෝකෙ තුල තියෙන කිසියම් ශබ්දයක් අජරාමර බව ඇති කරවන්න ඇවිල්ලා නෑ. ඒ බව නුවණින් බලන කෙනාම, නුවණ නිසා ම අජරාමර වෙනවා මිසක, ශබ්දය කියන රූපය හැම වෙලාවෙම ලෝකෙ තුල තියෙන උපාදානීය වූ ශබ්ද රූපය අපිට ජරා මරණ දුක ගෙනත් දෙන්නම හේතු වෙනවා.

ඊට පස්සෙ උපාදානීය වූ යම් ගන්ධ රූපයක් තියෙනවා නම් ඒ ගන්ධයන් කුමන ආකාරයකට හෝ මල් සුවඳ හැටියට හෝ විලවුන් සුවඳ හැටියට හෝ හ`දුන්කූරු සුවඳ හෝ සතෙක් මැරිච්ච ගඳ හෝ අශූචි දුර්ගන්ධය හෝ කුමන විදියකට වේවා ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ රැුවටීම් වශයෙන් හෝ අපේ මනස තුල රාග, ද්වේශ, මෝහ ඇති කරලා තියෙනවා. අන්තිමට රාග ද්වේෂ, මෝහ ඇති කරන්න හේතු වූ ස්කන්ධයෝ නිරුද්ධ වෙනවා. නමුත් ඒ රාග, ද්වේශ, මෝහ නිරුද්ධ වෙන්නෙ නෑ. ඒක ඊට පස්සෙ මරණාසන්න මොහොතෙ තව නිමිත්තක් උපද්දලා ඒ නිමිත්තට අනුව නැවත ප‍්‍රතිසන්ධිය ලබලා නැවත, සසර අරගෙන යනවා.

ඒ වගේම රසය ගත්තහම කුමන ආකාරයක රසයක් එළඹ සිටියත්, කයට ගැටෙන ස්පර්ශ ගන්න, කුමන ආකාරයක ස්පර්ශයක් වුනත්, හිතට දැනෙන උපාදානීය වූ ධර්මාරම්මණ දකින්න. ඒ උපාදානීය වු ධර්මාරම්මණ හැම එකක්මත් කරලා තියෙන්නෙ අපේ මනස තුල රාග, ද්වේෂ, මෝහ ඇති කරන එක. රාග, ද්වේෂ, මෝහ ඇති කරන්න හේතු වුන ධර්මයෝ නිරුද්ධ වෙනවා. නමුත් ඇතිවනු ඒ කෙලේස නැති වෙන්නෙ නැ. ඒ තෘෂ්ණාව නැති වෙන්නෙ නෑ. මේ රූපය එන්න එන්න දිරනවා. තණ්හාව නම් එන්න එන්න තරුණ වෙනවා. තණ්හාව කියන එක දිරනවා නම් කමක් නෑ. තණ්හාව දිරන්නෙ නෑ. තණ්හාව එන්න එන්නම අළුත් වෙනවා. කෙලේසෙ තරුණ වෙනවා.

අන්තිමට ගත්තහම යථාර්ථය අපිව වටකරගෙන ඉන්න, අපි කියලා හිතාගෙන ඉන්න, ජීවිතය කියලා හිතාගෙන ඉන්න, අපිට හිතෛෂීයි, උපකාරයි කියලා හිතාගෙන ඉන්න මේ ස්පර්ශ ආයතන හයම, කරලා තියෙන එකම දේ තමයි, තමන්ව සසර ජරා මරණ දුකට පමූණුවන්න හේතුවෙන කෙලෙස් ඇති කරන්න එක එක ආකාරයකට පෙනි ඉඳලා.

හතුරෙක් තව හතුරෙකුට අවැඩක් යම් සේ කැමති ද, අවිඥානක, අචේතනික වුනත් ඒ වස්තුවෙන් කරලා තියෙන වැඬේ එබ`දුයි. අපි හැමකෙනාගෙම අවැඩ, අයහපත, දුකමයි මේ ස්පර්ශ ආයතන හයෙන් කැමති වෙලා තියෙන්නෙ. ඒ නිසයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මේ ස්පර්ශ ආයතන හය හම නැති එළදෙනක් වගේ කියලා. හම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරෙ ඉන්න මාළු වගේ සත්තු කොටනවා. දුකට පත් වෙනවා. බිම නිදාගෙන හිටියොත්, කඩියො, කූඹි වගේ සත්තු කනවා. ගහකට හේත්තු වෙලා හිටියොත් ගහේ ඉන්න වේයො, කූඹි වගේ සත්තු කනවා. කිසිවකටත් හේත්තු නොවී අහස ඇසුරු කරගෙන හිටියොත් කපුටො, ගිජුලිහිණියෝ වගේ සත්තු කොටනවා. මේ හම නැති එළදෙන යම් යම් තැනකට හේත්තු වුනොත් ඒ ඒ තැනින් දුක එනවා. ඒ වගෙයි කියනවා මේ සර්පශ ආයතන හය. කුමන කුමන ආකාරයකින් ස්පර්ශයක් ඇති වුනත් ඒ නිසා එන්නෙ දුකක්මයි කියලා යම් කලෙක දකින්න පුළුවන්නම්, අන්න ඒ විදියට බලන එකටයි දුක්ඛ සංඥාව කියන්නෙ. එතකොට දුක සැප වශයෙන් පේන්නේ නෑ.

ඇයි ඒ?

සැප විදියට ආවත් ලෝභය ඇති කරලා සතර අපායට දාන්න කටයුතු කරලා නේද කියලා සැප වේදනාවත් සතුරෙක් වගේ පේනවා නම්, දුක් වේදනාව පටිඝය තරහව ඇති කරලා සතර අපායට දාන්න කටයුතු කරනවා නම්, උපේක්ෂා වේදනාව මෝහය ඇති කරලා සතර අපායට දාන්න කටයුතු කරලා තියෙනවා.

ස්පර්ශ වුනොත් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙයි. ඒ තුන් වේදනාවම රාග, ද්වේශ, මෝහ ඇති කරයි. ඇති කරලා සසරට යන්න කටයුතු කරලා තියෙනවා මිසක උපාදානීය වූ මේ අවිද්‍යා සම්ඵස්සයෙන් එකදු ස්පර්ශයක්වත් අනාශ‍්‍රව භාවයට උදවු කරලා නෑ අපිට. කෙලෙසුන්ගෙන් මිදෙන්න උදවු කරලා නෑ.

කනට ඇහෙන උපාදානීය වූ හැම ශබ්ද රූපයක් ම සැප සහගත නම් ලෝභය අපේ මනස තුල ඇති කරයි. දුක් සහගත නම් ද්වේශය ඇති කරයි. උපේක්ෂා සහගත නම් මෝහය ඇති කරයි. අන්තිමට ලෝභ, ද්වේෂ, මෝහ ඇති කරන්න හේතු වූ ධර්මයෝ නිරුද්ධ වෙනවා. නමුත් ලෝභ, ද්වේෂ නිසා අපි සතර අපායට හෝ එහෙම නැත්නම් නැවත මනුෂ්‍යයෙක් දෙවියෙක් වෙලා වුනත් අකුසල් කරලා සතර අපායට හෝ යන්න පුළුවන්. මේ විදියට ජරා මරණ සංඛ්‍යාන සසරටම ඇදල දාන කෘත්‍යයි කරන්නෙ.

මේ විදියට මේ ස්පර්ශ ආයතන හය දිහා හොඳට බලන්න. ස්පර්ශ ආයතන හයෙන්ම කරන්නෙ අපිට එක්කො දුක හදල දීලා. නැත්නම් දුක හදාගන්න උදවු කරලා සෘජුව හෝ වක‍්‍රව දුක හදලා දෙන්න කටයුතු කරලා. හම නැති එළදෙන වගේ ම ලෝකයා දුක හෝ දුක හදාදෙන මාවතේමයි ඉන්නෙ. ගැලවෙන්න බැරි විදියට.

විදර්ශනාව කියන්නෙ වෙන මුකුත් නෙමෙයි. ආශ්වාදයෙන් ලෝකෙ දිහා බලන්නෙ නෑ. මේ ඇහින් කුමන ආකාරයකට බැලූවත් අන්තිමට තමන් තුල ඇලීම ඇතිවෙන ගැටීම ඇතිවෙන මෝහය ඇතිවෙන විදියට උපකාර වෙලා නේද තියෙන්නෙ මේ හැම රූපයක් ම කියලා බලනවා නම් මේ ඇහැ කියන්නෙ, රූපය කියන්නෙ, චක්ඛු විඤ්ඤාණය කියන්නෙ තමන්ව මරණයට පත් කරන්න එළඹ සිටි වධකයෙක් වගෙයි කියන මට්ටමකට එනවා යම් දවසක. සතුරෙක් කියන මට්ටමකට එනවා.

මෙන්න මේ විදියට හිතන හැටි දැනගෙන ශිලයක පිහිටනවා. සමථ කමටහනකින් හිත වඩ වඩා ස්පර්ශ ආයතන හයට අරමුණු එනකොට හෝ මනෝමයෙන් රූපයක් ශබ්දයක් ගැන සිහි කරන කොට හෝ ඒක බලලා ඒක ඇසුරු කරන්න ඉස්සෙල්ලා ඒක හොඳට විනිශ්චය කරනවා බලන්න යන ඇසුරු කරන්න යන රූපෙ මෙන්න මෙහෙමයි නේද කියලා.

මේ විදියට මේ ස්පර්ශ ආයතන හයම ‘සබ්බෙ සංඛාරා දුක්ඛා’ සියළු සංස්කාරයෝ දුකයි කියන අදහස ඇතිවෙන විදියට බලන්න ඕන. තමන් හොඳට දන්නවා ස්පර්ශය ආයතන හයේ ම ඇත්ත ඕක. එහෙනම් දරුවො ඉන්නවා, ගෙවල් තියෙනවා. රන්, රිදී, මුතු, මැණික් තියෙනවා කියලා ඒවායේ යහපත ඇති බව, සැප වි`දින්න පුළුවන් බව, සැනසිල්ල ඇති බව කියලා ගතියක් හිතේ තියෙනවා නම්, මේකට තමයි හිතේ තියෙන සුඛ සංඥාව කියලා කියන්නේ. සැපයි කියන විපල්ලාසය කියලා කියන්නේ මෙන්න මේකට.

එතකොට හොඳට තේරෙනවා. දුක් වූ ස්කන්ධයොයි ඇස් ඉදිරිපිටට එන්නෙ. සැපයි කියන අදහස යෙදෙන්නෙ මනසෙ. අපි සැපයි කියලා සිහි කරද්දිත් තියෙන්නෙ දුක් වූ ස්කන්ධයෝ. දුක් වූ ස්කන්ධයෝ ඇස් ඉදිරිපිටට එනවා. ඒවා සැපයි කියන අදහසම යෙදෙනවා. අපි සැපයි කියලා සිහි කරනකොටත්, බාහිර තියෙන්නෙ දුකයි කියන නුවණ ඇතිකරගන්න වෙනවා. යම් දවසක් තියෙනවා ලෝකය සැපයි කියන අදහසින් බලන්න බෑ. බැලූවට හිත රැුවටෙන්නෙ නෑ. දුකයිම කියලා නුවණින් පෙනෙන මට්ටමක් එනවා.

මෙන්න මේ විදියට බැලූවහම, බහුල කළහම, ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන්, සැපයි කියන සංඥාවෙන් හිත මිදෙනවා. සැපයි කියන දැක්මෙන් හිත මිදෙනවා. ඒ මිදීමට කියනවා, අප්පණිහිත චේතෝ විමුක්තිය කියලා. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ප‍්‍රාර්ථනා කටයුතු කැමති විය යුතු කිසිම දෙයක් එයාට නෑ. අප්පණිහිත කියලා කියනවා. පණිහිත කියන්නේ, ප‍්‍රණිධි කියලා කියන්නේ ප‍්‍රාර්ථකා කියන එකට. ලෝකෙ හැම වෙලාවෙම මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා.

දරුවො වශයෙන් හෝ ගෙවල් වශයෙන් හෝ මිල මුදල් වශයෙන් හෝ ඉඩකඩම් වශයෙන් හෝ සැපෙන් ඉන්න හෝ සැනසිල්ලෙන් ඉන්න හෝ අනාගතේට හෝ දැන් හෝ මොනම හරි දෙයක් ප‍්‍රාර්ථනා කරන බලාපොරොත්තුවෙන ගතිය තමයි ලෝකෙ තියෙන්නෙ. ඒකට කියනවා ප‍්‍රණිධි කියලා. ප‍්‍රාර්ථනා, පැතුම් මෙහෙම වේවා කියලා හැඟීමක් හරි තියෙනවා නම් ඒකත් ප‍්‍රාර්ථනාවක්. එතකොට යම් කිසි කෙනෙකුට ස්පර්ශ ආයතන හය සතුරෙක් වගේ, වධකයෙක් වගේ, දුකක් හැටියට රෝගයක්, උලක්, ගඩක් හැටියට කියන සංඥාව එළඹ සිටියම මේ ස්පර්ශ ආයතන හයේ ගතයුතු, ප‍්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් එයා දකින්නේ නෑ. ඉතින් ලෝකයා නොදන්නවා වුනාට, ප‍්‍රාර්ථනා කළොත් මට දරුවෙක් ලැබේවා, ගෙදරක් ලැබේවා. රන් ලැබේවා, රිදී ලැබේවා, කියලා ප‍්‍රාර්ථනා කළොත්, දුකම ප‍්‍රාර්ථනා කරනවා නේද? ලෝකයාට දුකම උපදිනවා නේද? දුකම ලැබෙනවා නේද? දුකම උපදිනවා, දුකම නිරුද්ධ වෙනවා. දුකම පවත්වනවා. නමුත් විපල්ලාසයකට සැපයි කියන අදහසක්ම මනසෙ පවත්වනවා. ඒකෙන් දුක්ඛ සංඥාව, දුක් වූ යථාර්ථය වහලා තියෙනවා.

සම්මා දිට්ඨි කියලා කිවුවේ ලෝකයේ යථා ස්වභාවය කියන මේ දුක්ඛ සංඥාවෙන් බලනවා. ඒක තමයි ඇත්ත. මේ දුක කියන එක ධර්මයෝ දුක් අර්ථයෙන් ද, ඒ ධර්මයෝ නිසා දුක ගෙනත් දෙන අර්ථයෙන් ද, මේ ස්පර්ශ ආයතන හයම දුකයි කියන කාරණාව නුවණින් බලන්න. එහෙම බලපු කෙනාට ස්පර්ශ ආයතන හයේ ගතයුතු බලාපොරොත්තු විය යුතු, ප‍්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් නැහැ. සියළු ප‍්‍රාර්ථනාවන්ගෙන් මිදෙනවා. ඒ මිදීමට කියනවා අප්පණිහිත චේතෝ විමුක්තිය කියලා. ප‍්‍රණිධි නෑ එයාට. ප‍්‍රාර්ථනා නෑ. ප‍්‍රාර්ථනා නැති එකම කෙනා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ.

ඒ ආශ‍්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. පංච උපාදනස්කන්ධයෙන් ම මිදෙනවා. ඒ මිදීම කුමක් සඳහා ද?

නිවන සඳහා

අන්න ඒ විදියට දුක දැකලා ‘අථ නිබ්බින්දති දුක්ඛෙ’ දුකේ කලකිරෙනවා. කලකිරෙනකොට නො ඇලෙනවා. නොඇලෙනකොට ආශ‍්‍රවයන්ගෙන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදෙනවා. සිත මිදෙනවා. මිදුනහම මිදුනා කියන අකෝප්‍ය ඥාණ දර්ශනය පහළ වෙනවා.

අකෝප්‍යයයි කියන්නේ මේ ස්පර්ශ ආයතනය සැපයි කියලා ආපහු රැුවටෙයි කියලා එකක් නෑ. එච්චරට එයාට දුක්ඛ සංඥාව එළඹ සිටිනවා.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!