5/29/15

" චේතෝ විමුක්තිය - 6 කොටස "



අර ඉස්සෙල්ලා කියපු උපමාවම තමයි තවම මේ කියන්නෙ. ඒ කියන්නෙ ඇස් ඉදිරියට එන්නෙ ප‍්‍රත්‍යයෙන් හටගත්ත ප‍්‍රත්‍ය නැතිවෙනකොට නැතිවෙන ස්කන්ධ ටිකක්. දැනගත්තත් නැතත් අහකට යනකොටම ස්කන්ධ ටික නැතිවෙනවා. ඔන්න ඇති බවට අපේ මනසෙ නිමිත්තක් හිටිනවා. දැන් ගෙවල් දොරවල්, යාන වාහන, දුවා පුතා කියලා යම්තාක් දේවල් සිහි කරන්න පුළුවන් නම් මේ ඔක්කොම තමන්ගෙ මනසෙ තියෙන නිත්‍ය සංඥාව කියලා දකින්න. ඔය නිත්‍ය සංඥාව කියන එක විපල්ලාසයක්, කෙලේසයක්, ප‍්‍රපංචයක්. එතකොට අපි හිතාගෙන ඉන්න ගේ බලන්න කියලා ගියාමත්, මේ තියෙන ගේ හම්බවෙනවා නෙමෙයි. ආපහු ආයතන ටික හැදිලා පේනවා කියන ටික දකින්න. යම් දවසක දී තමන්ට තියෙන කිසි දෙයක් බාහිරින් සිහි කරන්න බැරිනම්, ඇස් ඉදිරිපිටට එනකොට හේතුන්ගෙන් හටගත්ත දුක් වූ ස්කන්ධයෝ හමුවෙනවා. හේතු නැතිවෙනකොට නැතිවෙනවා කියන නුවණ තියෙනවා නම්, ඒ අරබයා සිහි කරන්න පුළුවන්කම මේ මනසෙ තියෙන කෙලේසය, ප‍්‍රපංචය කියලා දැනගන්න පුළුවන් නම්, තියෙනවා තියෙනවා කියලා අපි සිහි කරලා බලන්න ගියත්, කවදාවත් අපි හිතාගෙන ඉන්න දෙයක් නම් හම්බවෙන්නෙ නෑ. අවස්ථාවට ධාතු නානත්වය ගැටිලා අපිට පේන්නෙ කියලා දකින්න පුළුවන් නම්, දැන් තියෙන්නෙ ශුන්‍යතාවයක්මයි. එහෙම දේවල් හැදිලා නෑ. ආයෙත් ගියොත් හැදිලා පෙනෙනවා. ඒ කියන්නෙ පැත්තකට ගියාම, මිරිඟුව දිහා බලනකොට දැකපු වතුර ටික ඔය පින්වතුන්ට පැත්තකට ගිහින් සිහි කරන්න පුළුවන් ද?

බෑ. ඇයි ඒ?

එහෙම දෙයක් නෑ කියලා දන්නවා. ආයෙත් මිරිඟුව පෙනුන තැනට ගිහිල්ලා ඇහෙන් බැලූවොත් හැදිලා පෙනෙයි කියලත් දන්නවා. ආයෙත් පැත්තකට ගිහින් සිහි කරන්න පුළුවන්. සිහිකරන කොට සිහි කරන එක මනසයි කියලා දන්නවා. එහෙම එකක් දැන් බාහිර නෑ කියලත් දන්නවා. ආපහු බාහිරට යන්නත් බෑ. ආයෙත් ගියොත් හැදිලා පෙනෙයි කියලා දන්නවා. ඔය උපමාවම සිහි කරන්න. දැන් සිහි කරද්දිත් මෙහෙම දෙයක් බාහිර නෑ. ශුන්‍යතාවයක් තියෙන්නෙ. බලන්න කියලා ගියොත් අර මිරිඟුව ඉදිරියෙ වගේ ආයතනයන්ට හැදිලා ආපහු පෙනෙයි කියලා දකිනවා. ඇති බවට දැන් පේන ටික කෙලෙස් ටිකක් කියලත් දකිනවා.

මේ අනිත්‍ය සංඥාව බහුල කළොත් රූපය වගේම, කනට ඇහෙන ශබ්දයත්, නාසයට දැනෙන ගන්ධයත්, දිවට දැනෙන රසත්, කයට දැනෙන ස්පර්ශයත්, මනසට දැනෙන ධර්මාරම්මණත්, මේ ස්පර්ශ ආයතන හයේම සියළු සංස්කාරයෝම අනිත්‍යයි කියලා දැක්කොත්, ඔක්කොම ඇති බවට තියෙන්නෙ මනසෙ. මේක තමයි කර්ම නිමිත්ත.

මේ ටික තමයි කෙලෙස් ටික කියලා දැක්කොත්, මෙහෙන් සිහි කරලා බාහිරට යන්න බෑ. ගියාම හම්බවෙනවා මිසක දැන් තියෙනවා නෙමෙයි කියලා, තමන්ට නුවණට එළඹ සිටියොත්, ඔය විදියට හිත හිතා නුවණින් බලනවා. ඕකට කියනවා විදර්ශනා කරනවා කියලා. ශීලයක පිහිටනවා, සමථ කමටහනකින් හිත වඩනවා. හිත වඩමින් ඔය විදියට අනිත්‍යය බලනවා. එතකොට නිත්‍ය සංඥාව නැතිවෙනවා. අනිමිත්ත බව මනසෙ එළඹ සිටිනවා.

නිත්‍ය සංඥාව බහුල කළහම ආශ‍්‍රවයන්ගෙන් , කෙලෙසුන්ගෙන්, පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙනවා. ඒ විමුක්තිය හ`දුන්වනවා, අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. වර්තමානයක හේතුන්ගෙන් හටගත්ත එක්ම නිමිත්තක් පමණක් තියෙද්දි, සියළුම නිමිත්තයන්ගෙන් මනස මිදිලා. දැන් වගේ ඔළුව පිරිලා නෑ. ගෙවල්, දොරවල්, ගම් රටවල්, ලෝක වලින් මනස පිරිලා නෑ. හිස් ශුන්‍යතාවයක් තියෙන්නෙ. සියළුම නිමිත්තයන්ගෙන් අනිමිත්තයි. එක්ම සනිමිත්තකමක් තියෙනවා. ඒකට නුවණයි. මෙන්න මේකට කිවුවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. අනිත්‍යයෙන් බැලූවොත් ඒකට කිවුවා අනිමිත්තයි කියලා. මේ චේතෝ විමුක්තියට අකෝප්‍යයි කියනවා. ඒකට හේතුව මොකක් ද? සම්මා දිට්ඨිය.

මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය බව, වැරදීමකින්වත් ස්කන්ධයෝ නිත්‍ය බවකින් ඇතිවෙනවා කියලා එකක් නෑ ඒ මනසෙ. මේ චේතෝ විමුක්තිය කුමක් සඳහා ද?

නිවන සඳහා.

කුමක් ද නිවන. නිවන දෙආකාරයි.

සෝපදි ශේෂ නිබ්බාන
අනුපදිශේෂ පරිනිවාණ

ඔන්න ඔය තත්වෙට පත් කරගත්ත වර්තමානයක යමක් හම්බවෙනකොට ඒ මොහොත වෙද්දි වෙන කිසිම නිමිත්තක් නැතුව මනස මිදිලා නම්, අනිමිත්ත බවකින් නම් තියෙන්නෙ, එයාට මේ හටගත්ත එක්ම නිමිත්ත හේතු නැතිවුනොත් නැති වෙනවා කියන එක පේනවා ඉබේම.

ඇහෙන දේ ඇහීමෙන් පස්සෙ නැතිවෙනවා කියන එක පේනවා. ඒ ඒ ස්කන්ධයන්ගේ නිරෝධය හසුවෙනවා. ආශ‍්‍රවයන්ගෙන් මිදිලා ඒ ඒ ස්කන්ධයන්ගේ නිරෝධය දකින එකට කිවුවා සෝපදිශේෂ නිබ්බාන කියලා.

සෝපදිශේෂ නිබ්බානය කුමක් සඳහා ද? අනුපදිශේෂ පරිනිවාණය සඳහා උපධිශේෂයක්වත් නැතුව ස්කන්ධයන්ගේ පිරිනිවීම සඳහා. කර්ම ප‍්‍රත්‍යයෙන් හටගත්ත ජීවිතය කෙළවර කොට ඇති මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. මතු විඤ්ඤාණයාගේ ප‍්‍රතිසන්ධි වශයෙන් බැසගැනීමකුත් නැතිනම් පහනක් නිවුනා වගේ නිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සඳහායි.

එතකොට ලෝකෙන් මිදෙන්න තියෙන එක ක‍්‍රමයක් ඔය. ඕකට කිවුවා අනිත්‍ය සංඥාව බහුල කරලා අනිමිත්ත චේතෝ විමුක්තියෙන් මිදුනා කියලා.

ලෝකයේ දුක් සහගත බවෙන් එතෙර වෙන්න තියෙන විමුක්ති මුඛ තුනෙන් විමුක්ති මුඛ දෙකක් ගැන කතා කළා. අනාත්ම සංඥාව බහුල කරලා ශුන්‍යත චේතෝ විමුක්තිය ඇති කරගෙන නිවන් දකින්න. අනිත්‍ය සංඥාව බහුල කරලා අනිත්‍ය සංඥාවෙන් වාසය කරලා අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවාගෙන නිවන් දකින ක‍්‍රමය. ඊට පස්සෙ දැන් තුන්වෙනි චේතෝ විමුක්තිය ඇති කරගන්න ක‍්‍රමය තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛ සංඥාව. දුක්ඛ සංඥාව බහුල වශයෙන් වඩලා අප්පණිහිත චේතෝ විමුක්තිය ඇතිකර ගන්න හැටි.

එතෙනදි මේ ස්පර්ශ ආයතන හයේ දුක්ඛ සංඥාව ඇතිකරගන්න ඕන. හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හය කෙරෙහි දුක්ඛ සංඥාවෙන් යම්කිසි කෙනෙක් බලනවා නම්, හරියට තමන්ට අහිත කැමති, අවැඩ කැමති, තමන්ගේ දුකට කැමති හතුරෙක්, වධකයෙක් යම් සේ ද, එසේ මේ ස්පර්ශ ආයතන හය කටයුතු කරන බව නුවණින් බැලූවොත්, තමන්ට දුක්ඛ සංඥාව එළඹ සිටිනවා. ඒකෙදී අපි මෙහෙම බලමු. නපුරු යක්ෂයෝ, යක්ෂණියො, ඉන්නවලූ සත්වයන්ව ආහාරයට ගන්න ඕන වුනහම, කන්න ඕන වුනහම. තමන්ගෙ නපුරු රළු ස්වභාවයෙන් ආවහම මිනිස්සු ළං වෙන්නෙ නෑ. දුවනවා. ඒ හින්දා ඒ අය සම්පූර්ණ වෙස් මාරු කර ගන්නවා. හොඳ ලස්සන කුමාරයෙක්, ලස්සන කුමාරිකාවක් විදියට මනූෂ්‍යයො ඉදිරිපිටට ඇවිල්ලා කොහොම හරි එක්කෙනෙක්ව දෙන්නෙක්ව රවටාගන්නවා. තමන්ගෙ වසඟයට ගන්නවා. පි‍්‍රය ස්වභාවය, පි‍්‍රය කටහඬ පි‍්‍රය උපදවන ගන්ධය, ස්පර්ශයත් පි‍්‍රය උපදවන ස්වභාවයට මවාගන්නවා. මවාගෙන ඇවිල්ලා කතාබහ කරලා හිත දිනාගන්නවා. දිනාගෙන ආවාහ විවාහ කරගන්නම් කියලා එක්කගෙන යනවා. ගිහිල්ලා අත පය කෑලි කඩාගෙන මුරු මුරු ගාලා කනවා. ඉතින් ඒ යක්ෂයන්ගේ, රාක්ෂයන්ගේ, භූතයන්ගේ ස්වභාවය කරනවා මේ මහා භූත. ඒ නිසා මහා භූත වලට භූතයි කියලා කියනවා. එයා ප‍්‍රකෘති ස්වභාවයෙන් එන්නෙ නෑ. වෙන ස්වභාවයකින් තමයි, මිනිස්සු ඉදිරියට එන්නෙ. ලස්සණ කාන්තාවක්, පිරිමියෙක්, ලස්සණ ඉඩමක්, ලස්සන ගෙයක්, රත්තරං, රිදී, මුතු, මැණික් විදියට තමයි මේ පෙනී ඉන්නේ.

අපිට මෙහෙම ඇහැට පෙනෙන හැම රූපයකම හොඳට බලන්න. යටින් හැංගිලා තියෙන්නෙ ඔතන මහා භූත, මහා භූත තියෙන තැනක තමයි. මෙහෙම පෙනී හිටින්නෙ. මේ එක එක විදියට පෙනී ඉඳලා, අපේ මනසෙ රාග, ද්වේශ, මෝහ කියන කෙලෙස් ඇති කරවනවා. එහෙම කළහම මොකද වෙන්නෙ? නැවත නැවත සතර අපායට, ජරා මරණ සංඛ්‍යාත සසරටම ඇදෙගන යනවා. සසරටම පමුණුවනවා. එතකොට මේ හැම රූපයක් ම හැම වෙලාවකම බලාගෙන ඉන්නෙ මොන ක‍්‍රමයකට හරි අපේ මනස මුලා කරලා කෙලෙස් ඇති කරවන්න.

එක රූපයක් එක විදියකට ඉඳලා කෙලෙස් ඇති කරවන්න බැරි වුනොත්, එයාම තව විදියකට පෙනී හිටිනවා. ඔන්න රන්, රිදී, මුතු, මැණික් විදියට පෙනී ඉඳලා කෙලෙස් ඇති කරවලා කෙනෙක් අල්ලාගන්නවා.

එහෙම බැරිවුනොත් දරු මුණුපුරෙක් විදියට පෙනී ඉඳලා අල්ලාගන්නවා. කෙනෙක්ට එහෙම බැරි වුනොත් ලස්සණ ගෙයක් දොරක් විදියට පෙනී ඉඳලා අල්ලාගන්නවා. එක එක කොටස් එක එක ඒවට අහුවෙනවා.

තව කෙනෙක් එහෙම බැරිවුනොත් බැහැර ඉඩ කඩමක් විදියට පෙනී හිටිනවා. තව කෙනෙකුට එහෙම බැරි වුනොත් යාන වාහනයක් විදියට පෙනී හිටිනවා.

මේ විදියට ඇහැට පෙනෙන රූපය සම්පූර්ණම හැම රූපයක් ම හරියට අපි නොදන්නවා වුනාට විශාල හතුරුකමක් අපිට කරන්නෙ. අපි හිතාගෙන ඉන්නෙ රූපය විතර අපිට උපකාරී වූ, උදවු වූ, අපිට හිතෛෂි වූ තව දෙයක් නෑ වගෙයි.

නමුත් ඔය පින්වතුන් දකින්න මේ රූප විතර අපිට අවැඩ පිණිස, අපිට අහිත පිණිස, අපිව දුකට පමුණුවන්න කැමති වෙන තව එකම දෙයක්වත් නෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ස්කන්ධ මාර කියලා මේ පංචඋපාදානස්කන්ධයටත් මාර කමින් මතක් කළේ. මාරයා කරන කෘත්‍ය ටික කරනවා මේ ස්කන්ධ ටික. මොන මොන විදියකට හරි පෙනී ඉඳලා අපේ මනස තුළ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් ඇති කරනවා. මනස තුල රාග, ද්වේශ, මෝහ කෙලෙස් ඇති කරනවා. එක ක‍්‍රමයකට බැරි වුනොත් තව ක‍්‍රමයකට තව ක‍්‍රමයකට බැරිවුනොත් තව ක‍්‍රමයකට. එහෙම ඉඳලා හරියට අර මස් කඬේකට ගෙනියන සතෙක් වගේ, සම්පූර්ණම අත පය කුදලලා ගෙනියන සතෙක් වගේ, තණ්හාවෙන් වෙලලා, බැඳලා මේ ජරා මරණ සංඛ්‍යාත සසරට ඇදගෙන යනවා. කෙනෙකුට පුළුවන්නම් මේ ඇහැට පෙනෙන රූපය දිහා නුවණින් බලන්න. මේ එක එක විදියට පෙනී හිටියත් මෙතන තියෙන්නෙ මහා භූත ටික නේද. අපි පේන දේට කැමති වුනොත් කැමති වෙලාතියෙන්නෙ මහා භූත ටිකට. මොකද මහා භූතයන්ගේ උපාදාය රූපයක්.

ඇහැ මහා භූත තියෙන තැනක මෙහෙම සටහනක් හදලා තියෙන්නෙ. මෙහෙම පේනකොට මහා භූත මෙතන තියෙනවා කියන්න තියෙන ලක්ෂණය මේ. පෙනෙන එක. පේන දේට අහුවුනොත් අපි අහුවෙලා තියෙන්නෙ සතර මහා ධාතු රූපෙට. මේ හැම රූපයක් ම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ අපේ මනස තුල රාග, ද්වේශ, මෝහ ඇති කරන්න. එක එක ආකාරයට. අර මං කියන්නෙ, දැන් කි‍්‍රකට් සෙල්ලම් කරන කොට, කී‍්‍රඩකයො දහ දෙනෙක් එකොළොස් දෙනෙක් එක පැත්තක් වෙලා පිට්ටනිය තනියම රකින කොට, ඒ ඔක්කෝටම විරුද්ධව බෝලෙට ගහන කෙනා තනියම එක පැත්තක් වෙලා. අර ඔක්කොගෙන්ම බේරෙන්න ඕනෙ. ඒ වගේ ස්පර්ශ ආයතන හයකට මැදිවෙලා, ධාතු අටළොසකට මැදිවෙලා ඔක්කොම එක පැත්තක් වෙලා තියෙද්දි මේ තනියම එතෙර වෙන්න තියෙන්නෙ. පුදුම කැප කිරීමක් මේකෙදි තියෙනවා.

මොකද මේ ස්පර්ශ ආයතන හය, නැත්නම් අටලොස් ධාතුව, අපේ අහිත පිණිස, දුක් පිණිස, පීඩා පිණිස, පැමිණිලා තියෙන්නෙ. හැම වෙලාවෙම චූටි මොහොතක වැරදීමකින් හරි තමන්ගෙ මනසෙ රාග, ද්වේශ, මෝහ ඇති කරලා සසරට පමුණුවන්න තමයි මේ ඔක්කොම තියෙන්නෙ.

හොඳට අපි දකින්න ඕන. මේ හැම රූපයක් ම අපිව ජරා මරණ සසරට ගෙනියන්න ආපු වධකයො වගෙයි නේද කියලා හිතනවා නම්, මේ හැම රූපයක් ම අනිත්‍ය දෙයක් හැටියට, දුක් දෙයක් හැටියට, රෝගයක් හැටියට, උලක් හැටියට, ඇයි එහෙම හිතන්නෙ? මේ හැම වස්තුවක් ම අනිත්‍යයි. අනිත්‍ය වෙන දේවල් උරුම කරවන නිසා අනිත්‍යයි. මෙලොව වේවා, පරලොව වේවා යම් දුකක් තියෙනවා නම් ඒ සියළුම දුක ගෙනත් දෙන නිසාත් ඒ ධර්මයෝ දුක නිසාත් මේ ස්පර්ශ ආයතනය දුකයි. ඒ ධර්මයෝ සත්ව පුද්ගල නොවන නිසා, ඒ සත්ව, පුද්ගල නොවූ ධර්මතාවයෝ උපද්දන නිසාත් අනාත්මයි. මෙලොව වේවා පරලොව වේවා යම්තාක් රෝග තියෙනවා නම්
ඒ රෝගයන්ගෙන් නොමිදෙන්නෙ මෙන්න මේ ධර්මයන්ට ඇලිලා බැ`දිලා ඉන්න නිසයි.

මේ විදියට අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, උලක් වශයෙන්, ගඩක් වශයෙන්, සතුරෙක් වශයෙන්, වධකයෙක් වශයෙන් අපට බලන්න පුළුවන් නම්, හරියට හතුරෙක් අපේ යහපත චුට්ටක්වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අයහපතම බලාපොරොත්තු වෙනවා වගේ. අපේ සැනසිල්ල බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ දුකම බලාපොරොත්තු වෙනවා වගේ, මේ ඇහැට පෙනන හැම රූපයක් ම අපේ දුකම ප‍්‍රාර්ථනා කරලා තියෙන්නෙ. අපි නොදන්නවා වුනාට, අපේ දුකම බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද ධර්මතාවය යෙදිලා තියෙන්නේ එහෙම. පේන එකදු රූපයකට, අබැටක් තරම් දේකට හරි රූපෙකට ඇලූනා නම් ඇලූන කෙලේසයෙන් දුක උපද්දනවා. සසරට පමුණුවනවා. ඒ නිසා මේ ඇහැට පෙනන හැම රූපයක් ම අපිට දුක් පිණිස නම් පවතින්නෙ, දුක උපද්දවන හේතුවට පමුණුවන්න නම්, අපායට ගෙනියන කෙලෙස් ඇතිකරවන්න නම්, පේ‍්‍රත ලෝකෙට පමුණුවන කෙලෙස් ඇතිකරවන්න නම් මේ බලාගෙන ඉන්නෙ, නිරයට පමුණුවන තිරිසන් ලෝකයට පමුණුවන කෙලෙස් ඇති කරවන්න නම් බලාගෙන ඉන්නෙ. මේ එකක්වත් අපිට හිතෛෂීවද එහෙනම් ඉන්නෙ. නෑ. එහෙනම් එබ`දු වූ රූපය උපද්දවන මේ ඇහැ තියෙනවා නම් ඒ ඇහැත් අරගෙන තියෙන්නෙ අපේ යහපත පැත්ත නෙමෙයි. අපේ කෙලෙස් උපද්දන රූපෙ පැත්ත. එබ`දු වූ චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා නම්, ඒ රූපෙ කරලා තියෙන්නෙත් අපිට පස මිතුරු පැත්තක්. අවැඩ පැත්තක්. එබ`දු වූ චක්ඛු සම්ඵස්සයක් තියෙනවා නම්, ඒ චක්ඛු සම්පස්සය කරලා තියෙන්නෙත් අපිට යහපත පිණිස නෙමෙයි. ඒ නිසා හොඳට දකින්න මේ චක්ඛු සම්ඵස්ස ආයතනය කියන්නේ සම්පූර්ණ අපේ දුක පිණිස පවතින ධර්මතාවයක්. මේ චක්ඛු සම්ඵස්ස ආයතනය එකදු ධර්මතාවක් හරහා හෝ ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ රැුවටීම් වශයෙන් මනස බැ`දුනොත් එබ`දු කෙනා සතර අපායෙන් මිදෙන්නෙ නෑ. ජරා මරණ දුකෙන් මිදෙන්නෙ නෑ. සසරට පමුණුවනවා. ඒ නිසා හරියට තමන්ව මරණයට පමුණුවන වධකයෙක් එළඹ සිටියා වගේ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!