Showing posts with label කර්මය. Show all posts
Showing posts with label කර්මය. Show all posts

3/10/19

ඉන්ද්‍රිය භාවනාව කල යුතු සැටි හා අනුසස්


ඉන්ද්‍රිය භාවනාව කළ යුත්තේ සද්ධින්ද්‍රියෙහි පටන් ය. එය කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තථාගතයන් වහන්සේ අර්හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධය යනාදීන් බුදු ගුණ උගත යුතු ය. හොඳින් තේරුම් ගත් තැනැත්තාහට බුදුන් වහන්සේ ගැන හා බුදුසස්න ගැන ද ඇත්තා වූ සැක දුරු වෙයි. මතු සැක නූපදී. ඒ සැක දුරු වීම සිදු වන්නේ සද්ධින්ද්‍රිය ඇති වීමෙනි. බුදුන් වහන්සේ ගේ දේශනය අනුව පිළිපැදීමට කැමැත්ත ඇති නො වන්නේ - උත්සාහය ඇති නොවන්නේ - පටන් ගතුයේ ද පසු බසින්නේ ශ්‍ර‍ද්ධාව මඳ නිසා ය. ශ්‍ර‍ද්ධාව නැති බව ප්‍ර‍තිපත්තියට මහත් බාධාවෙකි.

සද්ධින්ද්‍රියය ඇති කර ගත් තැනැත්තා හට ඒ බාධාව නැති බැවින් ඔහුට නූපන් අකුශලයන් ගේ නූපදීම සඳහා වීර්‍ය්‍ය කළ හැකි ය. උපන් අකුසල් දුරු කිරීම සඳහා වීර්ය කළ හැකි ය. ඇති කර ගත් කුසල් දියුණු කිරීම සඳහා වීර්‍ය්‍ය කළ හැකිය. නූපන් අකුසල් නූපදවීම ආදිය සඳහා කරන වීර්‍ය්‍යය විරියින්ද්‍රිය ය. එසේ කොට විරියින්ද්‍රිය දියුණු කර ගත යුතු ය. විරියින්ද්‍රිය දියුණු වූ තැනැත්තාට කුශල පක්ෂය අමතක නො වන්නේ ය. ඒ කුශල පක්ෂය අමතක නො වීම සතින්ද්‍රිය ය. සතර සතිපට්ඨානයන්හි සිහිය පැවැත්වීමෙන් එය දියුණු වන්නේ ය. සිහියෙන් යුක්ත වන්නා වූ තැනැත්තා හට සිහියට අනුව සමාධිය වැඩෙන්නේ ය. එය සමාධින්ද්‍රිය ය.

ශ්‍රඬාව වැඩුණා වූ වීර්‍ය්‍යය වැඩුණා වූ ස්මෘතිය වැඩුණා වූ සමාධිය වැඩුණා වූ සත්පුරුෂයා හට “අවිද්‍යා නීවරණය හා තෘෂ්ණා බන්ධනය නිසා සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයන් ගේ සංසාරයෙහි පටන් ගැනීමක් නැත්තේ ය, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීම, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක්හි නිරෝධය ශාන්ත නිර්වාණයය” යන ඥානය ඇති වන්නේ ය. එය පඤ්ඤින්ද්‍රිය ය. එය දියුණු කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වන්නේ ය. ඉන් පසු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හා “මම පෙර මේ ධර්මයන් ඇසීමෙන් පමණක් දැන සිටියෙමි. දැන් මම ඒවා ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන සිටිමි” යි අචල ශ්‍රඬාව ඇති වේ.

ඉන්ද්‍රිය පස අතුරෙන් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය යන මේ තුන අප්‍ර‍ධානය. සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙක ප්‍ර‍ධාන ය. යෝගාවචරයන්ට වුවමනා ඒ ඉන්ද්‍රිය දෙකය. ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තුන වුවමනා වන්නේ ප්‍ර‍ධාන ඉන්ද්‍රිය දෙක දියුණු කිරීමට ය. ප්‍ර‍ථමධ්‍යාන සමාපත්ත්‍යාදි සමාපත්ති අට සමාධින්ද්‍රිය යා ගේ ලෞකික වශයෙන් දියුණුව ය. සුඤ්ඤත සමාධි, අනිමිත්ත සමාධි, අප්පණිහිත සමාධි යන තුන ලෝකෝත්තර වශයෙන් සමාධින්ද්‍රියයා ගේ දියුණුව ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි ඥානයෝ ය. සුඤ්ඤතානුපස්සනාදි අනුපස්සනා තුන ය, විදර්ශනාඥාන දශය ය, මාර්ග ඥාන සතරය, ඵල ඥාන සතර ය, ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෝ ය යන මොව්හු ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව ය.

සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙකින් ද පඤ්ඤින්ද්‍රිය ප්‍ර‍ධාන වේ. සත්ත්වයා නිවනයට පමුණුවන්නේ පඤ්ඤින්ද්‍රියයෙනි. එ බැවින් “සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති” යනාදීන් බොහෝ සූත්‍ර‍ ධර්ම වල පඤ්ඤින්ද්‍රියයා ගේ අග්‍ර‍භාවය වදාරා තිබේ. “මහණෙනි, දඹදිව යම් පමණ වෘක්ෂයෝ ඇත්තාහු ද, ඒවායින් දඹ ගස අග්‍ර‍ යයි කියනු ලැබේ. එ පරිද්දෙන් යම් පමණ බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද ඒවායින් පඤ්ඤින්ද්‍රිය අග්‍ර‍ය යි කියනු ලැබේ ය.” යනු ඉහත දැක් වූ සූත්‍ර‍පාඨයේ තේරුම ය.

ඉන්ද්‍රිය භාවනාවෙහි අනුසස්

“පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්‍රියානි, කතමානි පඤ්ච? සඬින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි, ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමි හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරි හොති, තතො මුදුතරෙහි සඬානුසාරි හොතීති.”

මෙය ඉන්ද්‍රියසංයුත්තයේ මුදුතරවග්ගයේ දෙවන සූත්‍ර‍ය ය. එහි තේරුම මෙසේ ය.

“මහණෙනි, මොවුහු පස්දෙන ඉන්ද්‍රියයෝ ය, කවර පස් දෙනෙක් ද යත්? සද්ධින්ද්‍රිය ය, විරියින්ද්‍රිය ය, සතින්ද්‍රිය ය, සමාධින්ද්‍රිය ය, පඤ්ඤින්ද්‍රිය ය යන මොවුහු ය. මහණෙනි, මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණයෙන් වැඩීමෙන් රහත් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් අනාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සකෘදාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සෝවාන් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි.” යනුයි.

ඉන්ද්‍රිය විස්තරය නිමි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.