Showing posts with label භාවනා. Show all posts
Showing posts with label භාවනා. Show all posts

3/12/19

ශුන්‍යතාවය ඉක්මවා යමින් නිවනට සිත පත්වන්නේ කෙසේද?


භාවනාව සමථ, විදර්ශනා ලෙසින් ආකාර දෙකකි. භාවනාව ආරම්භ කරන කෙනෙකුට සමථ භාවනාව මුලින් වඩා පසුව එය විදර්ශනාවට නැඟිය හැක. නැතහොත් මුල සිටම විදර්ශනා භාවනාව සිදු කළ හැක. එසේම යුගනන්ද ආකාරයෙන් සමථ හා විදර්ශනා ක්‍රම දෙකම එකවර කළ හැක. විදර්ශනා භාවනාවකින් සිදු කරනුයේ සංස්කාර වල යථා ස්වරූපය නුවණින් දැකීමයි.

නිවන ලැබීමට නම් නාමරූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය යුතුය. එනම් දුක්ඛ නිරෝධ සත්‍යයි.

රූපයේ යථා ස්වරූපය නුවණින් දකිමින් භාවනා කරන යෝගාවචරයකුට එය සතර මහා භූතයන්ගෙන් නිර්මිත වූ, අසුභ වූත්, අසාර වූත් පිළිකුල් සහගත දෙයක් බවත්, ක්ෂණයක් පාසා අනිත්‍යයට යන බවත්, අවබෝධ කරගත හැකිය. මේසයක් ගත් කළ එය මුලදී ඝන වස්තුවක් ලෙසින් සිතට වැටහෙයි. නමුත් යතුගෑවිට එය දූවීලි අංශු බවට පත්වී වාතයට මිශ්‍ර වෙයි. මුලදී මේසයක් ලෙසින් ගත් සංඥාව එවිට සිතින් ගිලිහී යයි. මේසය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙන් නිර්මිත දෙයකි. විදසුන් ඇසින් මේ ධාතූන් විසුරුවා බැලු විට එතන මේසයක් ලෙසින් ගන්නට දෙයක් නොමැත.

මෙපරිදිම මේ ලෝකයේ යම්තාක් රූප තිබේ නම්, ඒවාද සිතින් මෙලෙසින් ධාතු වශයෙන් වෙන් කරමින් බැලිය හැක. එවිට ලෝකයේ රූප ලෙසින් ගන්නට කිසිඳු දෙයක් නොමැති, ධාතු හතරක්ම බවත් වැටහී යයි. මෙය කෙටියෙන් දැක්වූවද, විස්තරාත්මකව හදවතින් දකිමින් භාවනාව කළ යුතුය.

තවත් ආකාර කිහිපයකට මෙලෙස රූපය විදර්ශනා කළ හැක. පිළිකුල් ආකාරයෙන් දැකීම එවැනි තවත් ක්‍රමයකි. දෙතිස් කුණප කොටස් ලෙසින් ලෝකයේ පවතින් ජිවී රූප විදර්ශනාවට නැඟිය හැක. මෙලෙස රූපයේ ඝන සංඥාව සිතින් ගිලිහී යන ලෙසින් ලෝකයේ පවතින් ජීවී අජීවී සියලු රූපයන්ගේ යථා ස්වරූපය නුවණින් විමස විමසා බැලිය යුතුය. රූපය සිතින් විසිරුවා බැලිය යුතුය. එය කෙසේද යත් වැලි ගොඩක් සුළඟින් විසිරුවා ගිය පසු එහි යළි වැලි ගොඩක් ලෙසින් ගන්නට කිසිත් නොමැති පරිද්දෙනි. සියුම් වැලි අංශු ගොඩ ගසා තිබූ ආකාරය අනුව අප එයට වැලි ගොඩ යන නාමය සම්මුතියෙන් දැමූ පරිදිම, රූපයද නිර්මිත වී ඇති ආකාර අනුව නම් යොදා ගෙන ඇත. මෙය හඳුනා ගැනීමේ පහසුව පිණිස අතීතයේ පටන් පැවත ආ දෙයකි. එනම් එය සම්මුතියකි. අත, කකුල, පපුව,බඩ, දත්, කට, දිව, ඇස් යන සියල්ල එසේ පනවා ගත් සම්මුතින්ය. නමුත් නුවණින් දක්නා විට මේ සියළු රූපයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේම නිමවීම්ය.

මේ ආකාරයෙන් සමාධිමත් සිතින්, විදර්ශනා කරන යෝගාවචරායකුට, ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන අභ්‍යන්තර හෝ බාහිර හෝ වශයෙන් පවතින රූපයන්හි යථා ස්වරූපය සිතට අවබෝධ වූ පසු, එනම් එහි සත්ව පුද්ගල ආත්ම ආදී කිසිවක් නැති, නිරන්තර අනිත්‍යට පත්වන, හේතූන් නිසා හටගත් දේවල් බව අවබෝධ වූ පසු, ඒවා කෙරෙහි සිතේ පවතින වටිනාකම් සිතින් ගිලිහී යයි. මේ ලෝකයේ පවතින යම්තාක් රූප වලට වටිනාකමක් අත්වන්නේ අපේ සිතින් ඒවා අරමුණු කරගෙන ඇති කරගන්නා සිතිවිලි නිසා පමණි. සිතින් ඒවා ස්පර්ශ නොකරන කල්හි ඒවා සිතට අරමුණක් නොවෙයි. එනම් ඒවා අපේ සිතට අනුව ශූන්‍ය වේ. මේ අවබෝධයෙන් යුතුව, යම්තාක් පවතින රූප සිතින් අත හැරී ගිය කල, සිතට කිසිදු රූපාරම්මණයක් නැති හිස් බවකට සිත පත්වෙයි. මේ සඳහා සමාධිය වැඩී තිබීම අත්‍යවශ්‍ය වේ. මෙය රූපයන්ගේ යථා ස්වරූපය විදර්ශනාවෙන් අවබෝධ වීමෙන් පත්වන තත්වයකි.

එනම් සිතට කිසිදු රූප නිමිත්තක් අරමුණු නොවන ස්වභාවයකට සිත පත්වේ. බාහිර රූපයන්ද, තමාගේ රූපයද සිතින් කොතෙක් අරමුණු කළද අරමුණු නොවන ස්වභාවයකි. සැබවින්ම රූපය කෙනකුට අරමුණක් වන්නේ සිතින් එය ස්පර්ශ කරන තාක් පමණි. එම මනෝ ස්පර්ශය සිතින් ගිළිහී යත්ම සිතින් රූපය ගිළිහී යයි. ශුන්‍යතාවයක් ලෙස හඳුන්වන්නේ මෙවැනි තත්වයකි. එවිට රූපය නිරුද්ධ වීමක් සිදුවේ. එම අවස්ථාවේ සිතට පවතින එකම අරමුණ ශුන්‍යතාවය ලෙසින් හඳුනවන එම හිස් බව පමණි. එතනදී නාම ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පවතී එවැනි ශුන්‍යතාවයකට හිත පත්වූ පසු ඒ අවස්ථාවේ සිතට පවතින අරමුණ එම හිස් බව පමණි. හිස් බවත්, ඒ හිස් බව අරමුණු වන සිතකුත් පවතී. එවිට ඒ හිස් බව රූපය ලෙසත්, හිස් බව අරමුණු වන සිත නාමය ලෙසත් ගත හැකිය.

හිස් බවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍යට යයි. එය දක්නා සිතත් එලෙසින්ම අනිත්‍යට යයි. එනම් නාමයත් රූපයත් දෙකම අනිත්‍යට යයි. මෙය කිසිවකු විසින් කරන දෙයක් නොව හේතුන් මත ඇති වී නැතිවී යන ක්‍රියාවලියකි. මෙම අනිත්‍ය දර්ශනය තුළින් අනාත්මය පැහැඳිළිව අත්දක්නා යෝගාවචරයකුට අනෙකුත් ඉන්ද්‍රිය ධර්මයන්ද ( ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ) අවශ්‍ය පමණින් වැඩී ඇති අවස්ථාවක එම නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය හැක.

මෙය එක් ක්‍රමයක් පමණි. ඒ අවස්ථාවේ නාම ධර්මයන් වෙන් වෙන්ව දකිමින්, ඒවයේ අනිත්‍ය, අනාත්ම බාවයද දකිමින් කෙනකුට භාවනාව වැඩිය හැක. එනම් විඥ්ඥාණ, සංඥා, වේදනා, සංස්කාර යන නාමයන්ගේ ක්‍රියාවලියයි යථා ලෙසින් දකිමිනි. එම නාම ධර්මයන්ගේ අනිත්‍ය බව, අනාත්ම බව සමාධියෙන් දැකිය හැකි නම්, ( ඉන්ද්‍රිය ධර්මයන්ද නිසි පරිදි වැඩි ඇතී යෝගාවචරයකුට ) එම නාමයන්ගේද නිරෝධය අත් දකිමින් නාමරූප නිරෝධයකට සිත පත්වෙමින් සියළු සංස්කාර සංසිඳී ගියා වු නිවනට සිත පත් කර ගත හැකිය.

මෙහිදී නිවන අවබෝධ වීමට සංස්කාර අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දැක දැකා භාවනාවේ යෙදුණු විට මාර්ග සත්‍යද ( එනම් දුක්ඛ නිරෝධ ගාමීණී පටිපදාව ) , නාමරූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකිමින් නිරෝධ සත්‍යද අවබෝධ වෙමින් ඒ ඒ මාර්ගයට අනුව සංයෝජනයන් නිරුද්ධ වී යයි. ඒ ඒ මාර්ගයට අනුව අවිද්‍යාවද තුනි වී යයි.

එනම් "ආත්මයක් ඇත" යනුවෙන් ගන්නා මෝඩකම, සෝවාන් ඵලයට සිත පත්වීමත් සමඟම සක්කාය දෘෂ්ටිය නිරුද්ධ වීමෙන් නැවත නූපදින ලෙසම නිරුද්ධ වී යයි. මේ ආකාරයෙන් සකදාගාමි, අනාගාමි ඵල වලදී කාම රාගයත්, පටිඝයත් නිරුද්ධ වී, රහත් වීමේදී සියළු සංයෝජන ධර්ම මුළුමනින්ම නැතිවී යයි. "මම" යැයි කෙනකු පවතිනවා යැයි ගත් අස්මි මානය දුරු වීමත් සමඟම සියළු උපාදානයන්ද සමඟම අවිද්‍යාව මුළුමනින්ම දුරු වී යයි. එවැනි කෙනකු තුළ පංචස්කන්ධයේ ක්‍රියාවක් පැවතීම හැර, ඒවා උපාදානයෙන් අල්ලා නොගැනීම නිසා පංචුපාධානස්කන්ධයක් නොමැත. පරිනිර්වාණයේදී අවසන් කයත්, ඒ හා බැඳි නාමයත් නිරුද්ධ වී, උපාදාන සම්පූර්ණයෙන්ම නැති කර සිටින බැවින් යළි වෙනත් භවයක ගොස් එල්ඹ ගැනීමකින් තොරව, යළි නූපදින ලෙසින්ම විඥ්ඥාණය නිරුද්ධ වී යයි.. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව යනු එයයි.. දුකේ සදාකාලික කෙළවර නිමාව එයයි. එතනින් මෙහා දුකෙහි පැවැත්ම පවතී.

සමථය පමණක් භාවිතා කරමින් ශුන්‍යතාවයකට හිත පත්කර ගැනීමට නම් අරූපාවචර ධ්‍යාන මට්ටමකට සිත දියුණු කරගත යුතුවේ. එසේ වුවද නිවනට සිත පත් කර ගැනීමට අනිවාර්යයෙන්ම සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂව සමාධියෙන් අත්දැකිය යුතුවේ. මුල සිටම විදර්ශනා භාවනාවකින් හෝ, යුගනන්ද භාවනාවකින් හෝ, සමථය මූලිකව වඩා එය විදර්ශනාවට නඟා හෝ නිවන අත්දැකිය හැක.

කුමන ආකාරයකින් පුහුණු කළද අවසානයේ නිවන දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය, අනාත්ම දර්ශනය තුළින් නිරෝධ සත්‍ය පසක් කර ගැනීමෙනි.

චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගනිමින් නිවන අත්දකින කෙනකු විසින් ඕනෑම මොහොතක තමන් පත්වූ ඵලයට නැවත පත් විය හැක. සියළු සංස්කාර සංසිදී ගියා වූ උතුම් නිරාමිස නිවන් සුව මේ ජීවීතයේදීම අත්දැකීමට සියළු දෙනාම ආරම්භ කොට ගත් වීර්‍යයෙන් යුක්තව, නොපසුබටව ක්‍රියාත්මක වේවා යි පතමු.

3/10/19

ඉන්ද්‍රිය භාවනාව කල යුතු සැටි හා අනුසස්


ඉන්ද්‍රිය භාවනාව කළ යුත්තේ සද්ධින්ද්‍රියෙහි පටන් ය. එය කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තථාගතයන් වහන්සේ අර්හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධය යනාදීන් බුදු ගුණ උගත යුතු ය. හොඳින් තේරුම් ගත් තැනැත්තාහට බුදුන් වහන්සේ ගැන හා බුදුසස්න ගැන ද ඇත්තා වූ සැක දුරු වෙයි. මතු සැක නූපදී. ඒ සැක දුරු වීම සිදු වන්නේ සද්ධින්ද්‍රිය ඇති වීමෙනි. බුදුන් වහන්සේ ගේ දේශනය අනුව පිළිපැදීමට කැමැත්ත ඇති නො වන්නේ - උත්සාහය ඇති නොවන්නේ - පටන් ගතුයේ ද පසු බසින්නේ ශ්‍ර‍ද්ධාව මඳ නිසා ය. ශ්‍ර‍ද්ධාව නැති බව ප්‍ර‍තිපත්තියට මහත් බාධාවෙකි.

සද්ධින්ද්‍රියය ඇති කර ගත් තැනැත්තා හට ඒ බාධාව නැති බැවින් ඔහුට නූපන් අකුශලයන් ගේ නූපදීම සඳහා වීර්‍ය්‍ය කළ හැකි ය. උපන් අකුසල් දුරු කිරීම සඳහා වීර්ය කළ හැකි ය. ඇති කර ගත් කුසල් දියුණු කිරීම සඳහා වීර්‍ය්‍ය කළ හැකිය. නූපන් අකුසල් නූපදවීම ආදිය සඳහා කරන වීර්‍ය්‍යය විරියින්ද්‍රිය ය. එසේ කොට විරියින්ද්‍රිය දියුණු කර ගත යුතු ය. විරියින්ද්‍රිය දියුණු වූ තැනැත්තාට කුශල පක්ෂය අමතක නො වන්නේ ය. ඒ කුශල පක්ෂය අමතක නො වීම සතින්ද්‍රිය ය. සතර සතිපට්ඨානයන්හි සිහිය පැවැත්වීමෙන් එය දියුණු වන්නේ ය. සිහියෙන් යුක්ත වන්නා වූ තැනැත්තා හට සිහියට අනුව සමාධිය වැඩෙන්නේ ය. එය සමාධින්ද්‍රිය ය.

ශ්‍රඬාව වැඩුණා වූ වීර්‍ය්‍යය වැඩුණා වූ ස්මෘතිය වැඩුණා වූ සමාධිය වැඩුණා වූ සත්පුරුෂයා හට “අවිද්‍යා නීවරණය හා තෘෂ්ණා බන්ධනය නිසා සසර සැරිසරන්නා වූ මේ සත්ත්වයන් ගේ සංසාරයෙහි පටන් ගැනීමක් නැත්තේ ය, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීම, මතු නූපදනා පරිදි අවිද්‍යා තෘෂ්ණා දෙක්හි නිරෝධය ශාන්ත නිර්වාණයය” යන ඥානය ඇති වන්නේ ය. එය පඤ්ඤින්ද්‍රිය ය. එය දියුණු කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වන්නේ ය. ඉන් පසු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හා “මම පෙර මේ ධර්මයන් ඇසීමෙන් පමණක් දැන සිටියෙමි. දැන් මම ඒවා ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන සිටිමි” යි අචල ශ්‍රඬාව ඇති වේ.

ඉන්ද්‍රිය පස අතුරෙන් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය යන මේ තුන අප්‍ර‍ධානය. සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙක ප්‍ර‍ධාන ය. යෝගාවචරයන්ට වුවමනා ඒ ඉන්ද්‍රිය දෙකය. ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රිය තුන වුවමනා වන්නේ ප්‍ර‍ධාන ඉන්ද්‍රිය දෙක දියුණු කිරීමට ය. ප්‍ර‍ථමධ්‍යාන සමාපත්ත්‍යාදි සමාපත්ති අට සමාධින්ද්‍රිය යා ගේ ලෞකික වශයෙන් දියුණුව ය. සුඤ්ඤත සමාධි, අනිමිත්ත සමාධි, අප්පණිහිත සමාධි යන තුන ලෝකෝත්තර වශයෙන් සමාධින්ද්‍රියයා ගේ දියුණුව ය. දෘෂ්ටි විශුද්ධ්‍යාදි ඥානයෝ ය. සුඤ්ඤතානුපස්සනාදි අනුපස්සනා තුන ය, විදර්ශනාඥාන දශය ය, මාර්ග ඥාන සතරය, ඵල ඥාන සතර ය, ප්‍ර‍ත්‍යවේක්ෂා ඥානයෝ ය යන මොව්හු ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව ය.

සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය දෙකින් ද පඤ්ඤින්ද්‍රිය ප්‍ර‍ධාන වේ. සත්ත්වයා නිවනයට පමුණුවන්නේ පඤ්ඤින්ද්‍රියයෙනි. එ බැවින් “සෙය්‍යථාපි භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්‍රියං තෙසං අග්ගමක්ඛායති” යනාදීන් බොහෝ සූත්‍ර‍ ධර්ම වල පඤ්ඤින්ද්‍රියයා ගේ අග්‍ර‍භාවය වදාරා තිබේ. “මහණෙනි, දඹදිව යම් පමණ වෘක්ෂයෝ ඇත්තාහු ද, ඒවායින් දඹ ගස අග්‍ර‍ යයි කියනු ලැබේ. එ පරිද්දෙන් යම් පමණ බෝධිපාක්ෂික ධර්මයෝ වෙත් ද ඒවායින් පඤ්ඤින්ද්‍රිය අග්‍ර‍ය යි කියනු ලැබේ ය.” යනු ඉහත දැක් වූ සූත්‍ර‍පාඨයේ තේරුම ය.

ඉන්ද්‍රිය භාවනාවෙහි අනුසස්

“පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්‍රියානි, කතමානි පඤ්ච? සඬින්ද්‍රියං, විරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානි, ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ඉන්ද්‍රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමි හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරි හොති, තතො මුදුතරෙහි සඬානුසාරි හොතීති.”

මෙය ඉන්ද්‍රියසංයුත්තයේ මුදුතරවග්ගයේ දෙවන සූත්‍ර‍ය ය. එහි තේරුම මෙසේ ය.

“මහණෙනි, මොවුහු පස්දෙන ඉන්ද්‍රියයෝ ය, කවර පස් දෙනෙක් ද යත්? සද්ධින්ද්‍රිය ය, විරියින්ද්‍රිය ය, සතින්ද්‍රිය ය, සමාධින්ද්‍රිය ය, පඤ්ඤින්ද්‍රිය ය යන මොවුහු ය. මහණෙනි, මේ ඉන්ද්‍රියයන් සම්පූර්ණයෙන් වැඩීමෙන් රහත් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් අනාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සකෘදාගාමි වේ. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සෝවාන් වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි. ඒවාට මෘදු වූ ඉන්ද්‍රියයන් ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි.” යනුයි.

ඉන්ද්‍රිය විස්තරය නිමි.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෝධිපාක්ෂික ධර්ම විස්තරය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/6/19

වර්තමානයේ නිවන් මාර්ගයේ ගමන්ගන්නා විර්යවන්තයෙක්





නිවන් මාර්ගයේ ගමන්ගන්නා විර්යවන්තයෙකුගෙන් ඔවදනක්. මෙය අප වෙත නිර්නාමිකව ලැබුණු ලිපියකි. නිවන් මග යන යෝගවචරයකුගේ වචන බැවින් ඔබට උපකාර වනු ඇතැයි සිතා මෙත් සිතින් ඔබට පිළිගන්වමි.

පරම නිෂ්ඨාව සත්‍යයෙන්ම නිවනයි. ඔබ ඔබෙන් අසන්න ඇයි ඔබට නිවන් දැකීමට අවශ්‍ය? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල නිසාම ද? එසේත් නැතිනම් අපායේ දුක් මේ අකාරයේයි සිතා නිවන පැතීම ද? තිරිසන් ලෝකයේ දුක් මේ ආකාරයෙයි කියා නිවන පැතීම ද? මේ සියල්ලම දැනුම මත පදනම් වන හේතු සාධක පමණයි. නිර්වාණය නම් වූ උත්තම නිෂ්ඨාවට පත්වීමට මෙම දැනුම හා දෙයක මතුපිට දකින දුක තුලින් ඇතිවන කම්පාව හේතු නොවන්නේ ය.

පින්වත, මෙම මාර්ගය අදටත් ඔබට විවරයි හෙටටත් ඔබට විවරයි. බුදුවරුන් විසින් කලින් කලට අවුත් මෙම මාර්ගය පෙන්වීම සිදු කල ද මාර්ගය කිසි දිනක නොනවතින්නකි. ධර්ම දැනුමෙන් ඔබ පෝෂණය බව මම දනිමි. එම නිසා මා මාර්ගය පිලිබඳ කතා කරමි.

පින්වත, ඔබ මේ අසන්නේ මේ මහා බද්‍ර කල්පයේ අතිශය දුර්ලභ වූ වටිනා වූ වචන කිහිපයකි. ඔබගේ ප්‍රාණය තිබෙන තුරාවට මේ කියන දෙයින් පිටට යන්න එපා ඔබ හරියට කලොත් මේ ජීවිතයේම මාර්ගපල ලබනවා ඇත. ප්‍රථමව ඔබගේ ශරීරය සෝදා පිරිසිදු වෙන්න. පිරිසිදු සැහැල්ලු ඇදුමක් ඇදගෙන ශුන්යගාරයකට යන්න. ප්‍රබල ආලෝක වලින් ඉවත් වන්න. පසඟ පිහිටුවා වැඳ සීලයක් සමාදන් වන්න පන්සිල් හෝ අජීව අෂ්ටමක සීලය. ඔබගේ ජිවිතේ බුදුරජාණන්වහන්සේට පුජා වේවා යයි සිතන්න.

ඔබගේ ජිවිතේ කරන ශ්‍රේෂ්ඨතම අධිෂ්ඨානය මෙසේ සිදු කරන්න.

“ මගේ ශාස්තෘ වූ අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන්වහන්ස, ඔබ වහන්සේ දේශනා කල මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සත්‍යයි. බුදු මුවින් පිට වුනා වූ සියලුම බුද්ධ වචනය සත්‍යයි. මම ඔබවහන්සේ දේශනා කල මෙම උතුම් මාර්ගයේ ගමන්ගන්නා එක යෝගවචරයෙක් වෙමි. සම්මා සම්බුදුපියාණන් වහන්ස ඔබවහන්සේගේ ශ්‍රී පාදයට පෑ ගුන වැලි කැටයක් තරම්වත් මම නොවටිනා පුත්ගලයෙක් වෙමි. රහතන්වහන්සේලා, මග පල ලාභී උතුමන්ගේ පයට පෑගුන වැලි කැටයක් තරම් මම නොවටිනා වෙමි. බුදුපියාණන් වහන්ස, ඔබ දේශනා කල මේ උතුම් මාර්ගයේ මම ඔබ වහන්සේ දෙසු අයුරින් ගමන් කරමි. මහා වීර්යයෙන් මගපල නිවන සාක්ෂාත් කරගමි. මේ මොහොතේ පටන් ආරම්භන මගේ වීර්ය නිවන තෙක්ම වේවා! ශරීරය වහරුනත්, නහර දිය උනත්, අතපය කකුල් කුණු වී ගියත්, මම විර්යය අත නොහරිමි. දන හිසින් හිට හෝ සිටගෙන හෝ බිම වැතිර හෝ භාවනාව අත නොහරිමි. නිවන තෙක් වීර්ය වඩමි. අතීතයේ බුදුරජාණන්වහන්සේලා, පසේ බුදුරජාණන්වහන්සේලා, රහතන්වහන්සේලා විසින් යම් කුසලයක් කෙරේ ද ඒ සියල්ල මට අනුමෝදන් වෙත්වා! මාර්ගපල නිවනම ලැබේවා! මා මින් පෙර අත්මභාව වල සමත භාවනා ධ්‍යාන දක්වා වඩා ඇතිබව සත්‍යයි නිර්වාන මාර්ගපල දක්වා වූ කරන ලද පාරමිතා ප්‍රකට වේවා! මාර්ගපල නිවනම වෙත්වා! “

පින්වත, ඔබ දැන් සීලයෙන් පිරිසිදුයි. අවට ශබ්දය හා ආලෝකය රහිත කරගන්න. කිසි දා බිය නොවන්න. ඔබ ගමන් කරන්නේ මේ ලෝකයේ සිටින විර්යවන්තයින් ගමන් ගන්නා වූ උත්තම මාර්ගය ක. බිය නොවනු ධර්මය, සීලය ඔබ ආරක්ෂා කරනු ඇත.

පර්යන්කයේ වාඩි වී ඇස් පියාගනු. ඔබගේ ශරීරය දෙස මනසින් බලනු. දෙඇස් තද කර නොගනු. අපහසු කම් ශරීරයේ වේදනා ඇති තැනවෙත සිත පිහිටුවා ඒවා හරිගස්ස ගනු. මද වෙලාවක් භාවනා ආසනයට ශරීරය හැඩ ගසගනු. විතක්ක විචාර ප්‍රකට කරගනු “ නිවනටම වීර්ය වඩමි, නිවනටම වීර්ය වඩමි, නිවනටම වීර්ය වඩමි” මෙලෙස තමාටම මනසින් කියා ගනු. පින්වත, ලෝකධතුවෙන් එපිට වූ අතිශය සුඛය වෙත ඔබගේ ගමන අරබනු. බුදුරජානන්වහන්සේ පිළිබඳව මදක් මෙනෙහි කරනු. අනන්ත ගුණ කදම්භය මෙනෙහි කරනු. සම්මා සම්බුදුපියාණන් වහන්සේ දේශනා කලේ “ මා වෙත කරනු ලබන නියම උපස්ථානය නම් මා දේශනා කල අර්යෂ්ටන්ග මාර්ගයේ ගමන් ගැනීමය” දැන් ඔබ කරන්නේ බුදුපියනන්වහන්සේට කරන මගඟු උපස්ථානය බව තරයේ සිහියට ගනු.

මහා පින්වත, අනන්ත කාලයක් පෙරුම්පුරා ලොවට පහල වන බුදුපියනන්වහන්සේ කෙනෙකුගෙන් පමණක් විවර වන ආනාපානසති කර්මස්ථානය අරබනු. සාමාන්‍ය ලෙස හුස්ම ගනු පිට කරනු. හුස්ම ගන්නා විට හුස්ම ගනිමි ලෙසත් පිට කරන විට පිට කරමි ලෙසත් සිතනු. හුස්ම වදින ස්ථානය ගැන දැන්ම සිහියට නොගනු. හිතේ විසිරෙන ස්වභාවය බහුල නම් හුස්ම ගන්නා විට “ එක එක එක ලෙසත් පිට කරන විට “එක එක එක” ලෙසත් නැවත “දෙක දෙක දෙක” ලෙසත් අට දක්වා පමණක් කරනු. මෙලෙස මද වෙලාවක් කරනු සිතේ පිට යන ස්වභාවය අඩුනම් අංක අමතක කොට හුස්ම ගැනීම ප්‍රකට වන ස්ථානය මනසින් බලනු. එය නාසයේ දොරටුව හෝ උඩු තොල ආශ්‍රිත වේ ඔබට ප්‍රකට වෙන ආකාරයෙන් බලනු. මේ දේවල් නොකරනු

සිතා මතා හුස්ම ගැනීම. හුස්මේ මුල සෙවීම මැද හෙවත් පපුව ප්‍රදේශය අග හෙවත් බද ප්‍රදේශය වෙත සිහිය පිහිට නොකරනු. නාස් දොරටුව මත පමණක් සිහිය පිහිටවනු.

මෙය දිනකට භාවනා කරන කාල එකතුව පැයතුනකට අඩු විය යුතු. පැය තුනකට වඩා කරන්න නොයනු. ඉදිරියට යාමට හදිසි නොවනු. නමුත් සැමවිටම වීර්ය වඩනු.

මෙය සති තුනක් පමණ හොදින් පුරුදු කරනු. කිසිම දිනයක් භාවනාව නොකර අපතේ නොයවනු. අසාධ්‍ය ලෙඩක් වුවොත් පමණක් සුව වන තෙක් නවතනු නමුත් හැම මොහොතේම වීර්ය වඩනු. වීර්ය අඩුවීම මේ මග ගමන් ගැනීමට ඇති බාධාව බව සිහියට ගනු.

මෙලෙස ඔබ භාවනාව කරන විට යම් දිනයක යම් මොහොතක ඔබට හුස්ම ගැනීම පිට කිරීම ඉතා හොදින් ප්‍රකට වනු ඇත. එක නාස් සිදුරකින් හුස්ම ගැනීම පිටවීම සිදුවන බව දැනෙනු ඇත. මේ ප්‍රකට වීමත් සමග ශරීරයේ බර ගතිය නොදෙනී යනු ඇත. ඔබ මෙය ප්‍රථමව අත්දකින විට සතුටු වී නොනගිටිනු. හුස්ම කෙරෙන් සිත අහකට නොගනු. කිසිම බොහොතක හුස්ම කෙරෙන් සිත අහකට නොගනු. මෙලෙස දිගටම කරනු එක මොහොතක හුස්මෙහි දිග කෙටි ස්වභාවය පෙර හුස්ම සමග සසදා බැලීමට සිහිය දියුණු වනු ඇත. මෙලෙස හුස්මෙහි දිග කෙටි ස්වභාවය බලනු. හුස්මෙන් සිත අහකට නොගනු. හුස්ම සියුම් වනු ඇත ඉතාමත සතිමත්ව හිදිනු. මේ මොහොත ග්‍රහණයට ඔබ මෙය සිදු කරනු. ඇවිදින විට ඇවිදින බව, හිටගෙන සිටින විට හිටගෙන සිටින බව ලෙස ඉරියවු පිලිබඳ සිහිය පර්යන්ක භාවනාව නොකර වෙලාවල් වල පුරුදු කරනු මෙයින් සතිය දියුණු වේ. ආනපසතිය එන්න එන්නම සියුම් වන භාවනාවකි එම නිසා සතිය අතිශය දියුණු විය යුතුය. මෙලෙස හුස්මෙහි දිග කෙටි භාවය බලන විට ඔබට ශරීරයේ යම් කොටස් ටිකක් පමණක් ප්‍රකට වනු ඇත නහය,පපුව, බඩ එකම හුලන් පිරුන ස්වභාවයක් ගෙන පිම්බි හැකිලෙන බව පෙනෙනු ඇත. මේ මොහොතේ ඔබ සිහිය තිබිය යුත්තේ ඔබට හුස්ම නිසා ශරීරයේ ප්‍රකට වන ස්ථාන වෙතය. මෙලෙස වඩනු. යම් මොහොතක ශරීරයේ දැනීම සම්පුර්ණයෙන් නවතිනු ඇත. මේ මොහොතේ අධික සතුටක් දැනෙනු ඇත. සතුට වැඩි කමට නැගිටින්නට හිතුනද නොනගිටිනු. නොනගිටිනු. කයේ දැනීම නැති වන්නේ ඔබ දැන් සිත ඉතා ප්‍රබල මට්ටමක පවත්වාගෙන සිටිනු ඇත. සිතට අරමුණු වන්නේ ඔබගේ සියුම් හුස්ම පමණක් නිසා වින්ඥානය විසින් අනික් අරමුණු ගැනීම නවත්වා ඇත. මෙතනින් පසු ඔබ ශුන්‍ය ස්වභාවයකට පත්වනු ඇත. බිය නොවනු. ප්‍රභාශ්වර ආලෝක, වලාකුළු මෙන් දුම් ස්වභාව පෙනෙනු ඇත. හදිසි නොවනු. ඔබ ලබන්නේ නිවනට අසලකවත් නොමැති එක සුඛ ස්වභාවයකි. ඔබට දැනෙන සුඛය මෙලෙස නම් නිවනෙහි සුඛය කෙලෙස ඇතිදැයි ඔබට සිතෙනු ඇත. මේ සිතිවිල්ල අති ප්‍රභලය මෙය ප්‍රත්‍යක්ෂ ලෙස ඔබ ලබාගත් අත්දැකීමකින් පහල වන සිතුවිල්ලකි.

පින්වත, නිතර භාවනාවෙහි යෙදෙන්න. මේ භාවනාව ඔබට නිවනට අවශ්‍ය අත්තිවාරම සදනු ඇත. මතු යම් දිනෙක නැවත ඔබට ලියන්නෙමි. හදිසි නොවනු, මානයක් ඇතිකර නොගනු. නිවන්මග ගමන්ගන්නා නිහතමානී විය යුතුය. මානය දුරලිය යුතුය. භාවනාවේ යෙදෙන විට යම් දිනයක් මම ජිවිතයේ කිසිදු දිනෙක සතෙක් නොමරමි මෙලෙස සිල් පද කෙරෙහි චිත්තයක් පහල වනු ඇත. මෙය සැබෑ සීලය රැකීමේ ආරම්භය වනු ඇත. මේ සියල්ල ඔබ නිවන වෙත ලංවන සංඥා බව සලකනු. පින්වත. දැන් දැන්ම භාවනාව අරබනු. සතියෙන් වාසය කරනු. සිත පරිසම් කරනු. භාවනාව අවසාන කරන හැමමොහොතකම මාර්ගපල නිවනම උදසා අනුමෝදන් වෙනු භාවයන්ගේ සැප නොපතනු. තමා ආරක්ෂා කරන දෙවි දේවතාවුන්ට ඒ සියලු පින් අනුමෝදන් කරනු, මවු පියන්ට නෑදෑයින්ට අනුමෝදන් කරනු.

පින්වත, මම නවතිමි. නැවත යම් දිනයක ඔබට ලියමි. එතෙක් මා කිවූ වචනය සුරකිනු. භාවනාව වඩනු. මාගේ නම මා පල නොකරමි. අනාගතයේද පල නොකරමි.මා වචන ගොඩක් ලෙස දකිනු මා කියූ දෙය කරනු එය දෙවෝති දේව අසම සම අරහත් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුවින් උපන් ධර්මය යි මාර්ගයයි. මේ මාර්ගය වඩනු මාර්ගපල ලාභිව මේ ජිවිතයෙන් අර්ථය ගනු. වීර්ය වඩත්වා! තෙරුවන් සරණයි.!

2/24/19

මරණානුස්මෘති භාවනාව


උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් සත්ත්වයෝ ද උපන් තැන පටන් නැවතීමක් නැති ව මරණය කරා ගමන් කරන්නෝ ය. නො මැරෙන ජීවිතයක් ඇති සත්ත්වයේක නැත. කවර අවස්ථාවක දී වුව ද ජීවිතය නැති විය හැකි ය. එය ඉතා දුබල දෙයකි. දුබලවූ නැසෙන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැති ව දැල්වෙන පහනක් බඳු ය. උදයේ තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් වැනි ය. දිය බුබුළක් වැනි ය. පෙණ පිඬක් වැනි ය. මැටි බඳුනක් බඳු ය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙළවර වන්නාක් මෙන් ජීවිතය ද ඒකාන්තයෙන් මරණයෙන් කෙළවර වන්නේ ය. සත්ත්වයනට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන වාක්‍යය පාඩම් කර ගෙන භාවනා කරනු.

භාවනා වාක්‍යය

ජීවිතය අස්ථිර ය. මරණය නියත ය. සත්ත්වයන්ගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයෝ මරණය අරගෙන ම උපදින්නෝ ය. මරණය අරගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් උපන් තැන පටන් නො නැවතී මරණය කරා ගමන් කරති. මම ද මරණය ගෙන උපන්නෙමි. මම ද දිවා රෑ දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මහා සම්මතාදි මහා සම්පත් ඇති රජ දරුවෝ ජෝතිය ජටිලාදි මහ පිනැති සිටුවරු ද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහා නුවණැතියෝ ද මරණ ප්‍රාප්ත වූහ. මා වැනියකුට කෙසේ ඉන් ගැලවිය හැකි ද? නො හැකි ම ය. මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි.

මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නො නැමේ. පිනට නැමේ. ඔහුට තෘෂ්ණාව ද අඩු වේ. මරණ බය ද අඩු වේ. බොහෝ සත්ත්වයෝ තමන් මැරෙන බව නො සිතා අජරාමර වූවන් සේ සිට මරණ කාලය පැමිණි කල්හි බිය පත් වී සිහි මුළාවෙන් කළුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේ දී එය ගැන සෙස්සන්ට මෙන් බියක් හට නො ගන්නා බැවින් සිහි නුවණින් යුක්ත ව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වේ. ඥාතීන් ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේ ද මරණය සත්ත්වයාට හිමි දෙයක්බව කලින් නො මෙනෙහි කිරීම නිසා ය. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එබඳු අවස්ථාවලදී ද අන්‍යයන් මෙන් දුක් නොවී සැනසී විසිය හැකි ය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පඤ්චස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි ය. තදනුසාරයෙන් දුඃඛ ලක්ෂණය හා අනාත්ම ක්ෂණය ද වටහා ගත හැකි ය. එය සතර මඟ සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ම කරුණු වන්නේ ය.

මෙතෙකින් භාවනා විස්තරය නිමියේ ය.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

2/19/19

විදර්ශනා භාවනාව


ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණ කෙලෙසුන් නසා නිවන් දැකිය හැකි වන භාවනාව විදර්ශනා භාවනාව ය. ශමථ භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීම ය. ශමථ භාවනාවෙන් සමාධිය දියුණු කර ගත කල්හි විදසුන් වඩා මඟ පළ ලැබීම පහසු ය. සමාධිය නැති තැනැත්තාට එය අපහසු ය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට ශමථ භාවනාවක් කොට සමාධිය හා ශ්‍ර‍ද්ධාදිය දියුණු තියුණු කර ගෙන පසුව විදර්ශනා කෙරෙති. ප්‍ර‍ථමයෙන් ශමථ භාවනා කොට විදසුන් වඩා නිවන් දුටුවෝ බොහෝ වූහ. විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදි ලක්ෂණ තුන ද දක්නා ඥානය දියුණු කිරීම ය. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍යාදි ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යි ද කියනු ලැබේ.

අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනෙකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හි ම නො පවත්නා බව ය. කලක් පැවැතී නැසෙන බව ය. දුඃඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවය ය. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය, හෙවත් කිසිවකුගේ කැමැත්ත අනුව නො පවත්නා බව ය.

පිළිකුල් භාවනාව පහසුවෙන් ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවෙකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමති පින්වතා විසින් ඉහත කී පරිදි පස් මස් පසළොස් දිනක් පිළිකුල් භාවනාව සජ්ඣායනා කර එය ප්‍ර‍ගුණ කර ගෙන ඒ ශාරීරික කොට්ඨාසයන්ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය.

හිසකේ සෑම කල්හි ම නො නැසී පවත්නා දෙයක් නොව කාලයක දී වෙනසට පැමිණෙන්නා වූ ද තවත් කලෙක දී සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණය යි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැති කර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක් ය. පැසීම ගැලවී යෑම යන මේවා ද හිසකේ නිසා ඇතිවන දුක් ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇති කර දෙන බව හිසකෙස්වල දුඃඛ ලක්ෂණය ය. කොට කර කැපූ හිසකේ දික් නො වන ලෙසට ද, කළු හිසකේ කිසිවකුට නො පැවැත්විය හැකි ය. ස්වභාව ධර්මයේ සැටියට මිස කිසිවකු ගේ අදහසේ සැටියට හිසකෙස්වල නො පවත්නා ස්වභාවය හා දැනුමක් නැති වුව ද ඒවායේ අනාත්ම ලක්ෂණය ය. එසේ සියලු කොටස්වල ම අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය සලකමින් මෙසේ භාවනා කරනු.

භාවනා වාක්‍යය

මේ ශරීරයේ කේශයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට පීඩා කරන බැවින් දුඃඛයෝය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

මේ ශරීරයේ ලෝමයේ නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.

නිය, දත්, සම් ආදි ඉතිරි කොටස් ගැන එසේ ම වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. කොටස් සමූහය වූ සකල ශරීරය ගැන ද භාවනා කරනු. ශරීරය ගැන කරන භාවනාව රූප භාවනාව ය. ශරීරය වූ රූප සමූහයෝ හෙවත් රූපස්කන්ධයා ගේ ලක්ෂණත්‍ර‍ය වැටහුණු පසු ශරීරය හසුරුවමින් ශරීරය ඇසුරු කර ගෙන පවත්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධ සතර ද සොයා ගෙන තේරුම් ගෙන ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ පිළිබඳව ද,

මේ ශරීරය ඇසුරු කර පවත්නා වූ නාමයෝ බිඳි බිඳී යන බැවින් නොපවත්නා බැවින් අනිත්‍යයෝ ය. පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකු ගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ යයි භාවනා කරනු. නාම රූප දෙක ම එක් කොට ගෙන සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. දුඃඛයෝ ය. අනාත්මයෝ ය යි ද භාවනා කරනු.

මෙසේ භාවනා කිරීමෙන් වන්නේ ද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදුවීම පමණකි. කිසිම තේරුමක් නැති ව යම් කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමි යි කියන්නාහට ලැබෙන ඵලයක් නැත. (විදර්ශනා භාවනාව මනා කොට කරනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම පොතක් වූ “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බලා භාවනා කරත්වා.)

2/17/19

පිළිකුල් භාවනාව


පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදි කොටස් පිළිබඳ භාවනාව ය. එයට අශුභ භාවනාවය, කායගතාසති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාවය යන නම් ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අන්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේ ම භාවනාවෙකි. තථාගතයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් වර්ණනා කළා වූ ද භාවනාවෙකි. මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය. බඹයක් පමණ වූ මේ මිනිස් සිරුර කොටස් දෙතිසකින් යුක්ත ය.

(1) කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය,
(2) මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩුව ය,
(3) හදවත ය, අක්මාව ය, දළබුව ය, ඇලදිව ය, පපු මසය.
(4) අතුණු ය, අතුණුබහන් ය, ආහාර ය, මල ය, මොලය ය.
(5) පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද තෙල ය.
(6) කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුලු ය, මුත්‍ර‍ ය.

යන මේ දෙතිස ශරීරයේ කොටස් ය. මේ භාවනාව කරන කල්හි කොටස්වල පැහැය ය, සටහන ය, පිහිටි දිශාව ය, පිහිටි ස්ථානය ය, පර්‍ය්‍යන්ත පරිච්ඡේදය ය යන කරුණු පස හා වර්ණය ය, සටහනය, ගන්ධය ය, නිඃශ්‍රියය, අවකාශය ය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බව ද සජ්ඣායනා කරමින් භාවනා කළ යුතු ය. සජ්ඣායනා කිරීම නම් ඇසෙන සේ කීම ය. “ඉමස්මිඤ්හි පටික්කූලමනසිකාර කම්මට්ඨානෙ යොපි තෙපිටකො හොති තෙනාපි මනසිකාර කාලෙ පඨමං වාචාය සජ්ඣායො කාතබ්බො” යි මේ ප්‍ර‍තිකූල මනස්කාර කර්මස්ථානය ත්‍රිපිටකධරයකු විසින් වුව ද සජ්ඣායනා කරමින් ම භාවනා කළ යුතු බව දක්වා තිබේ. එබැවින් සිතින් මෙනෙහි කිරීම ම ප්‍ර‍මාණ වෙතැයි වරදවා නො ගත යුතු ය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍ර‍මය ඉතා දීර්ඝ බැවින් එකවර උගෙන එකට ම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග සයකට බෙදා භාවනා කිරීමට නියමිත ය. මෙහි කොටස් දෙතිස දැක්වූ තැන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කරගත යුතු ආකාරයට ය. එහි කොටස් පස බැගින් ඇති වර්ග සතරක් හා කොටස් සය බැගින් ඇති වර්ග දෙකක් ද ඇත්තේ ය.

භාවනා කිරීමේ දී පළමු වන වර්ගය අනුලෝම වශයෙන් (මුල සිට අග දක්වා කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. ප්‍ර‍තිලෝම වශයෙන් (අග පටන් මුලට කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “මස්” ආදි කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතුය.

ඒ වර්ග දෙක භාවනා කිරීමට මසක් ගත වේ. දෙවන මාසයේ දී ඒ වර්ග දෙක ම එක්කොට එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “හදවත” ආදි කොට ඇති තුන්වන වර්ගය උගෙන කියන පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

තුන් වන මාසයේ දී පළමු භාවනා කළ වර්ග තුන ම එක්කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළයුතු ය.

ඉක්බිති “අතුණු” ආදි කොට ඇති සතර වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සතර වන මාසයේ දී පසු කළ වර්ග සතර ම එක් කොට කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති “පිත” ආදි කොට ඇති පස් වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් දින පසළොසක් භාවනා කළ යුතු ය.

පස්වන මාසයේ දී පසු කළ වර්ග පස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

ඉක්බිති සවන කොටස උගෙන කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

සවන මාසයේ දී කොටස් දෙතිස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.

භාවනාව සම්පූර්ණ කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වන්නේ ය. මේ කාලයේ දී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නො විය යුතු ය. මුලින් පටන් ගත්තා ම නැවතීමක් නැති ව අග දක්වා ද අගින් පටන් ගත්තා ම පැකිළීමක් නැතිව මුල දක්වා ද මෙනෙහි කළ හැකි වේ නම් භාවනාව ප්‍ර‍ගුණ වූ සැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ඣායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතු ය. කොටස් හොඳින් නො වැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් පසළොස් දිනක් සජ්ඣායනා කළ යුතු ය. ශරීරය දිශා වශයෙන් බෙදන කල්හි නාභිය (පෙකනිය) මධ්‍යස්ථානය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේ දී හෙට්ඨිම දිශාවය (යට දිගය) යි කියනුයේ නාභියෙන් යට කොටසය. උපරිම දිශාවය (උඩ දිගය) යි කියනුයේ නාභියෙන් උඩ කොටසට ය.

භාවනා වාක්‍යය (මෙය පාඩම් කරගෙන භාවනා කරනු)

පළමු වන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයෙහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. ඒ කේශයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද නිඃශ්‍රයෙන් ද අවකාශයෙන් ද පිළිකුල් යහ. (මතු දක්වන කොටස්වලට ද මෙසේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ඣායනා කරනු).

2. මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල් බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම පිහිටියා වූ ශරීරය වසා සිටිනා සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයෙහි “නිය” සුදු වූ මාලු කොට බඳු සටහන් ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ, ඇඟිලි අග පිහිටියා වූ, තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.

4. මේ ශරීරයේ “දත්” සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන් ගෙන් ම ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “සම” කළු සුදු ඈ නොයෙක් පැහැ ඇත්තා වූ, රූපයක් වසා සිටිනා සැට්ටයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

කෙස්වලින් පටන් ගෙන සම දක්වා පිළිවෙලින් සජ්ඣායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍ර‍මය ය. සමින් පටන් ගෙන කෙස් දක්වා ආපසු සජ්ඣායනා කිරීම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ඣායනා කිරීම අනුලෝම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය.

දෙවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “මස්” රත් පැහැ ඇත්තා වූ, දි බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ, දෙදිශාවෙහි ම ඇත්තා වූ තුන් සියයක් පමණ ඇටවල පිහිටියා වූ යටින් ඇටවලින් ද උඩින් සමෙන් ද සරසින් මස් පිඩුවලින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “නහර” සුදු වූ ගසක් වෙළා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ, කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “ඇට” සුදු වූ දික් බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ මුළු සිරුරෙහි ම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුළුවලින් හා උඩින් හා සරසින් මස්වලින් හා ඔවුනොවුන්ගේ අක් මුල් වලින් වෙන්වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “ඇට මිදුළු” සුදු වූ, තම්බා හුණ පුරුක් බට පුරුක්වල ලූ වේබඩ බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හටගත්තා වූ ඇට තුළ පිහිටියා වූ ඇටවල ඇතුළු පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “වකුගඩුව” මඳක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹ ගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හට ගත්තා වූ ගලවළුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

තුන්වන පසළොස් දිනයේ කියන ලද වර්ග දෙක එක් කොට අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දින බැගින් භාවනා කරනු.

සතරවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “හදවත” මඳක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුළක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුළ දෙතන අතර පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “අක්මාව” මඳක් රත් පැහැ ඇත්තා වූ, කොබෝලීල පතකට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර දකුණු පස පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “දළබුව” සුදු පැහැ ඇත්තා වූ, වස්ත්‍ර‍යක් බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හට ගත්තා වූ, හදවත හා අක්මාව වසා සිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “බඩදිව” නිල් පැහැ ඇත්තා වූ, වස්සකුගේ දිව බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, හදවතට වම් පසින් පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “පපුමස” රතු වූ, නො සම කොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන් ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ පපුව තුළ එල්ලී තිබෙන්නා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

පෙණහල්ල යනු ද මෙයට නමෙකි. ඇතුළත පිහිටි කොටස්වල සැටි ඡායාරූපාදිය බලා තේරුම් ගත යුතු ය. පස්වන පසළොස් දිනයේ දී කෙස්වල පටන් බඩදිව තෙක් ඇති කොටස් පසළොස එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

සවන පසළොස් දින භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “අතුනු” සුදු වූ ලේ ඔරුවක දරණ ගසා ලූ හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ ගළවළුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “අතුනුබහන්” සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳ ගෙන එය අතර පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “නො පැසුණු ආහාරය” වැළඳූ ආහාරයේ පැහැය ම ඇත්තා වූ පෙරහනක ලිහිල් කොට බැඳි සහල් බඳු වූ මතු දිශාවෙහි ඇත්තා වූ උදරයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “මල” පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “මොළය” සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ, හිස් කබල තුළ පිහිටියා වූ එහි පර්‍ය්‍යන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

මෙය පසළොස් දිනක් භාවනා කොට සත්වන පසළොස් දිනයෙහි කෙස්හි පටන් මොළය දක්වා ඇති කොටස් සියල්ල ම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.

අටවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “බද්ධපිත්තය” (කෝෂයෙහි පිහිටි පිත) බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත් කෝෂයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. “අබද්ධ පිත්තය” (ශරීරයේ පැතිර සිටිනා පිත) මැළවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “සෙම” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ හට ගත්තා වූ උදර පටලයේ පිහිියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “සැරව” මඳක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවේ ම හටගත්තා වූ ගෙඩි වණවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “ලේ” රතු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “ඩහදිය” තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ රෝම කූපයන් පුරා සිටින්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

6. මේ ශරීරයේ “මේද තෙල” කහ පැහැ ඇත්තා වූ වස්ත්‍ර‍යකට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හට ගත්තා වූ, සම් මස් දෙක අතර පිහිටියා වූ, උඩින් සමින් හා යටින් මසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

නව වන පසළොස් දිනයේ දී කී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරනු.

දසවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය

1. මේ ශරීරයේ “කඳුළු” තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශායෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

2. මේ ශරීරයේ “වුරුණු තෙල” පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ අතුල් පතුල් පිටි අලු පිටිපතුල් නළල නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

3. මේ ශරීරයේ “කෙළ” පෙන පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, මුව තුළ පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

4. මේ ශරීරයේ “සොටු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ නාස් පුඩු පුරා සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

5. මේ ශරීරයේ “සඳමිඳුළු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හටගත්තා වූ ඇට සන්ධිවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

6. මේ ශරීරයේ “මුත්‍ර” තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිකුරු කොට තැබූ කුඩා කළයක දිය බඳු සටහන ඇත්තා වූ යටි දිශාවෙහි හටගත්තා වූ වස්ති කෝෂයෙහි පිහිටියා වූ වස්ති කෝෂයේ යටි පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.

එකොළොස් වන පසළොස් දිනයේ දී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස් මස් පසළොස්දිනක් භාවනාව සජ්ඣායනා කළ කල්හි එය ප්‍ර‍ගුණ වී නම්, කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ඣායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම්කිසි ඵලයක් ලැබෙන තුරු ම නො නවත්වා එය කර ගෙන යා යුතු ය. කොටස් දෙතිස ම හොඳින් නො වැටහේ නම් නො වැටහෙන කොටස් හැර දමා වැටහෙන කොටස්වල මනස්කාරය පැවැත්විය යුතු ය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානය ය. අනලස ව ක්‍ර‍මානුකූලව භාවනාව කරගෙන යන කල්හි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍ර‍තිලාභයට හා අනාගත භවයන්හි ධ්‍යාන ලැබීමට ද හේතු වන්නේ ය.

මතු සම්බන්ධයි!

තථාගත කර්මස්ථානය - ආනාපානසති භාවනාව


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ලොව පහල වීම අතිශය දුර්ලභය. එසේ පහල වූ ශාසනයක පමණක් ඇති කර්මස්ථානයකි මෙම ආනාපානසති කර්මස්ථානය. අප මහා තථාගත අරහත් සම්මා සම්බුධු පියාණන් වහන්සේ මහත් ලෙස නොයෙක් තැන වලදී මෙම භාවනාව වැඩීමේ ආනිසංස දේශනා කරන ලදී. සම්මා සම්බුද්ධත්වය ලැබීමටද මුලික කර්මස්ථානය මෙම අනපනසති භාවනාව බැවින් මෙයට තථාගත කර්මස්ථානය ලෙස කියනු ලැබේ. මහත් පල මහානිසංස ආනාපානසති භාවනාව ධ්‍යාන මට්ටම තෙක් දියුණු කරන ආකාරය ඉතා පැහැදිලි ලෙස මෙම ධර්ම දේශනයේ සදහන් ය. නිර්වායන පිණිස විදර්ශනා භාවනාව අනිවාර්ය සහ ඒකායන භාවනාවයි. විදර්ශනාව ඉතා සියුම් බැවින් එය ග්‍රහණයට අප සිත සමාධිමත් වියයුතුය. උපචාර, අර්පණා සමාධි ලබා විදර්ශනාව පටන් ගන්නා යෝගාවචරයන් ද සිටි නමුත් ආනාපානසති භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන මට්ටම දක්කවා සිත දියුණු කොට එතැන් පටන් සතර සතිපට්ඨානවා සම්පුර්ණ කිරීම සාර්ථක ක්‍රමයක් ලෙස දැක්විය හැකිය. වීර්ය වඩත්වා! මෙම දේශනාව ඇසීමට හිත සැකසේවා! මෙම ධර්ම දානය මගේ මාර්ගපල නිර්වාණය පිණිසම හේතු වේවා!

>>>>පළමු කොටස<<<<



>>>>දෙවන කොටස<<<<



මාර්ගපල නිර්වාණය ම සාක්ෂාත් වේවා!


7/6/17

විදසුන් වැඩීම


බුද්ධාගමේ හැටියට හැමකෙනෙකුම ශීල, සමාධි, පඤ්ඤා යන තුන් දහම් පිරිය යුතුය. අඩුම ගණනේ ගිහියා පන්සිල්වත් රැක්ක යුතුය. භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය රැක්ක යුතුය. මනාව සිල් රැක්ක තැනැත්තේ දෙව් මිනිස් සුගතියෙහි උපදනේය. එහෙත් මෙම ලෞකික ශීලය සත්වයා නරක ආදී සතර අපාය කෙරේ මුළුමනින් නවත්වන්නට සමත් නොවේ. එබැවින් ලෝකෝත්තර ශීලයද වැඩිය යුතුය. මෙය නම් මාර්ගඵල ශීලය යි. මේ මාර්ග ඵල ශීල පිරූ තැනැත්තේ සතර අපා දුකින් මිදුනාක් වෙයි. සසර ඉන්නා තුරු හෙතෙම සුගතිවලම හැසිරෙයි. එහෙයින් හැම තැනැත්තකුම ලෝකෝත්තර ශීලය පිරීමට උත්සාහවත් විය යුතුය.
මාර්ග ඵල ශීලය පමණක් නොව සමාධියද වැඩිය යුතුය. සමාධි නම් සිතේ තැන්පත් බවය. දමනය නොකළ සිත ඒ ඒ අරමුණු ඔස්සේ දිවැ ඇවිදී. එය රැක ගැන්ම දුෂ්කර ය. එය (සිත) රූපාදී අරමුණක් හෝ ධර්මාලම්භනයක් හෝ ඔස්සේ දුවයි. සිත ඒ ඒ අතේ දිවීම වැළැක්වීමට, තෝරා ගත් අරමුණකම දිගටම සිත බැඳ තැබිය යුතුය. ක්‍රමයෙන් සිතේ එකඟ බව වැඩී යාමෙන් නා නා අරමුණු අතේ සිත දිවීම නැවැතී තැන්පත් වෙයි. එවිට දුන් අරමුණෙහිම සිත රැඳෙයි. මෙය සමාධිය යි.
සමාධි දෙවර්ගයකි. ලෞකික සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙනි. මේ දෙකින් ආනාපාන, කසින, මෙත්තා ආදී කමටහන් අනුව සමථ භාවනාව වැඩීමෙන් සතර රූප ධ්‍යානත්, සතර අරූප ධ්‍යානත් ලබත හැකි වේ. මේවා වැඩීමෙන් බ්‍රහ්ම ලෝකයක උපදිත හැකිය. බඹලොව පරමායු බොහෝ දික්ය. එක් කල්පයක්, කල්ප දෙකක්, තුනක්, කල්ප හතරක්, අටක් යනාදී වශයෙන් වැඩිව ගොස් කල්ප අසූහාර දහසකටද නැගේ. එහෙත් පරමායුෂයේ අවසන බ්‍රහ්මයෙක් මැරී මිනිහෙක්ව හෝ දෙවියෙක්ව හෝ උපදී.
දැහැමි ලෙස ජීවත්වුවහොත් හැම කල්හිම සැපවත් වන්නේය. එහෙත් කෙලෙසුන්ගෙන් නොමිදුණු බැවින් නොයෙක් විට අකුසල්ද ඔහුගෙන් සිදුවන්නේය. එසේ වීමෙන් ඒ අකුසල්වල නපුරු විපාක වශයෙන් නරකාදී දුගතිවල උපදින්නේය. මේ ලෞකික සමාධිය ඒකාන්ත ආරක්ෂාවක් නොවේ. එබැවින් ලෝකෝත්තර සමාධියම වැඩිය යුතුය. එනම් මග්ග සමාධිය, ඵල සමාධිය දෙකයි. මේ දෙසමාධීන්ම වැඩීමට ප්‍රඥාව වැඩිය යුතුය.
ප්‍රඥාව ද ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් ය. පරහිංසා ඇති නොකරන ධාර්මික ශිල්ප ශාස්ත්‍ර අතේ දැනීම ද, දහම් පොතපත අතේ මනා දැනීම ද යන මේ ශ්‍රැතමය ප්‍රඥාවද, කරුණු සිතා බැලීමෙන් ඇති වන චිත්තාමය ප්‍රඥාවද යන මාර්ග ඵල අවස්ථාවට නොමුහු කළ ලෞකික ප්‍රඥාව වැඩීමෙන් සුගති සැප ලබත හැකිය. එහෙත් මුළුමනින්ම අපාය දුකින් මිදුණකු විය නොහැකිය. ලෝකෝත්තර ප්‍රඥාව වැඩීමෙන්ම අපාය දුකින් සදහටම මිදෙත හැකි වෙයි.
ලෝකෝත්තර ප්‍රඥා යනු මාර්ග ඵල ප්‍රඥාය. මෙය ලැබීමට විපස්සනා භාවනාව වැඩිය යුතුය. මෙය හොඳටම වැඩුණු පසු සීල සමාධි දෙකද ඒ සමගම වැඩුණෝ වෙති.
මේ ප්‍රඥාව ලැබීම පිණිස කළ යුත්තේ නාම රූප දෙක ඇති සැටි ලෙස දැකීම දියුණු කිරීම ය. මේ කාලයෙහි භෞතික විද්‍යාව උගන්වන තැන්වල රූප ධර්මයන් යන්ත්‍ර උපකරණ මගින් බෙද බෙදා බැලීම කරනු ලැබේ. එහෙත් එයින් සිතේ තතු දත හැකි නොවේ. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට ඒ බාහිර උපකරණ වුවමනා නැත. බෞද්ධ ක්‍රමයෙන් සාර්ථක ලෙස නාම රූප දෙකම බෙදා බලත හැක්ක. සිතත් කයත් දෙක ඒ ඒ මොහොතෙහි ක්‍රියා කරන සැටිය තියුණු ලෙස තම සිත යොදා බැලීම කළ යුතුය. දිගටම මෙය කරගෙන යාමෙන් සමාධි ලැබේ. සමාධිය තියුණු වූ පසු නාමරූපයන් හැදි හැදී දිගටම පැවැත්ම ප්‍රකට වෙයි.
ආත්ම භාවය මේ නාමස්කන්ධ, රූපස්කන්ධ දෙකින් සෑදුණු එකකි. ශරීරයට අයත් කොටස් සියල්ලම රූපස්කන්ධයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, චක්ඛු, සෝත ආදී රූප විසි අට කොටසක්ම මෙයට ඇතුළත් වෙයි. කොටින්ම කියතොත් ශරීරයම රූපස්කන්ධය යි. මැටියෙන් හෝ පිටියෙන් හෝ හැදූ රූපය මැටි ගොඩක්ම, පිටි ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශරීරයද එසේම රූප ධාතු ගොඩක්ම මිස අන් කිසිවක් නොවේ. ශීත, ඌෂ්ණ, සා පිපාසා ආදියෙන් රූප පෙරැළේ. මේ රුප්පනය හෙවත් පෙරැළීම නිසා ශරීරයෙහි වු දෙයට රූප යන නම පාලියෙන් බැහැර විය. එහි අරමුණු ගන්නා කිසිම ධර්මයෙක් අඩංගු නැත.
එසේ නම් අරමුණු ගන්නා දැය කිමෙක්ද? එය නම් රූපයේ ආධාරයෙන් පහළ වන චිත්ත චෛතසිකයන් ය. මොවුනට අරමුණු කරා නැමෙන බැවින් නාම යැයි ව්‍යවහාර වේ. සිතට චිත්තය, විඤ්ඤාණය කියාද බැහැර වේ. පහත දැක්වෙන පරිදි සිත රූපයේ ආධාරයෙන් උපදනේය.
ඇසෙහි චක්ඛු විඤ්ඤාණය ද, කනෙහි සෝත විඤ්ඤාණය ද, නාසයෙහි ඝාන විඤ්ඤාණය ද, දිවෙහි ජිව්හා විඤ්ඤාණය ද, කයෙහි කාය විඤ්ඤාණය ද පහළ වේ. මේ සියල්ල චිත්ත ධාතූහු ය. රූපාදී අරමුණු දැනගන්නෝ ය. එහෙත් රූපයේ නම් අරමුණු දැනගත්තෝ නොවෙති.
දකින්නේ ඇස යැයි මිනිසුන්ගේ සාමාන්‍ය පිළිගැනීමයි. ඔහු ඇසෙන් දැකීමත් එකක් කොට සිතයි. දැක්ම මම ය. මම ඒ ඒ දෑ දකිමි. ඇසත්, දැකීමත්, මමත් යන තුන්දෙනාම එකක්ම ය. එකම තැනැත්තාම යැයි ඔවුන්ගේ පිළිගැනීම ය. ඇත්ත නම් මෙසේ නොවේ. ඇස එකකි. දැකීම අනෙකකි. මෙහි මම ය, තැනැත්තා ය, තමා ය කියා කිසි සාරයක් එහි නැත. ඇස නිසා පහළ වන දැකීම පමණක් එහි ඇත. දැන් කාරණයක් පැහැදිලි ය. එනම්, දැකීම කරන හැම මොහොතේම ඇස නමැති රූප ධාතුවත්, චක්ඛු විඤ්ඤාණය නමැති නාම ධාතුවත්, මේ දෙක හැර තවත් බාහිර වූ රූපාලම්බනයක්ද ඇති බව ය.
සමහර විට රූපාලම්බනය තමා කෙරෙහිම ඇති එකක් විය හැකිය. නැතහොත් බාහිර රූපයක් විය හැකිය. මෙසේ රූපාලම්බනත් සමග ධාතු තුනකි. එයින් චක්ඛු ධාතුව (ඇස ද) රූප ධාතුව ද (රූපාලම්බනය) යන දෙකම රූප ධර්ම කොටසට අයත් ය.
ඇසත්, රූපයත් දෙකම රූප ධර්ම බැවින් අරමුණු දැන ගැනීමේ ශක්තිය නැත්තෝ ය. දර්ශන හෙවත් දැකීමේ ක්‍රියාව මානසික එකක් බැවින්, එයටම රූප අරමුණත් එහි සැටි ආදියත් දැක ගත හැකි වෙයි. රූප ධාතු ද, නාම ධාතු ද යැයි ධාතු දෙවර්ගයක් ඇති බවත් ඔවුන් දෙදෙනාගේ ඝට්ටනයකින් දැකීම සිදුවන බවත් දැන් පැහැදිලි ය.
විදර්ශනාව අතේ පළපුරුද්දක් නැති අය දකිමි කියා හෝ, දකිනුයේ තමා යැ, ආත්මය, පුද්ගලයා කියා හෝ සලකති. දකින්නා මම යැයි මම දකිමි ය, මම දනිමි ය යැයි ඔවුහු සිතති. මෙසේ වූ පිළිගැන්ම සක්කාය දිට්ඨිය නම් වේ. සක්කාය නම් විද්‍යාමාන වූ නාමරූප දෙකයි. දිට්ඨි නම් වැරැදි දැක්මයි. වැරැදි පිළිගැන්ම යි. සක්කාය දිට්ඨි නම් වැරැදි දැක්ම වැරැදි පිළිගැන්ම යි. ඇත්තා වූ නාමරූප දෙක වැරැදි ලෙස දැක්මයි.
මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන තුරු අපා දුකට වැටීමෙන් මිදී ගත හැකි නොවෙයි. පෙර පින් බෙලෙන් දෙව්ලොව හෝ මිනිස් ලොව ඉපිද සිටියත් අකුසල් විපාකයක් මතු වූ විට අපාය දුකට වැටෙයි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් "සක්කාය දිට්ඨිප්පහානය සතෝභික්ඛු පරිබ්බෙජේ - සක්කාය දිට්ඨිය දුරලනු පිණිස සිහි ඇති මහණ තෙමේ විදසුන් වඩන්නේය"යැයි වදාරණ ලද්දේ ය.
යමක් දැකීමේ දී තමා තුළ පවත්නා ධාතූන්ගේ ස්වභාවය සලකා බැලීම පළමු කොට කළ යුතුය. හැම දැකීමකදී ම, දැකීමය දැකීම යැයි මෙනෙහි කළ යුතුයි, එසේ මෙනෙහි කරමින් වරෙක දකිනු ලබන රූප අරමුණ සලකා බැලිය යුතුය. වරෙක ඇස දැකීමට ආධාර වූ ස්ථානය සේ සැලකිය යුතුය. මේ තුනින් කොයි එකක් හෝ (ඇස, රූපය, රූපාලම්බනය) පැහැදිලි ලෙස සලකා බලන්නට හැකි නම් එය සෑහේ.
එසේ නොකොළොත් මේ දැකීම නමැති ක්‍රියාව නිසා, දකින්නකු දැකීම අයත් පුද්ගලයකු ඇති සේත්, ඔහු නිත්‍ය හෝ සැප හෝ ආත්ම වූවක් සේත් සලකන්නට වීමෙන් සක්කාය දිට්ඨිය ඇති වේ. එයින් තෘෂ්ණාව ඇති වේ. එයින් කර්ම කිරීම ඇති වේ. ඒ කර්ම පුණ්‍යයෙන් නැවත ඉපදීම ඇති වේ. මෙසේ සසර ගමන දිග් ගැහේ. දැකීම නිසා සංසාර ගමන ඇති නොවන පිණිස හැම දැකීමේ ක්‍රියාවෙහි දී ම දකින්නකු නොව දැකීම ම, දැකීම් මාත්‍රය ලෙස සලකා බැලිය යුතුය.
මෙසේම ශ්‍රවණ ක්‍රියාවෙහි දී ද එකක් අනෙකට වෙනස් නාම රූප දෙවර්ගයක් ඇති වේ. කන නිසා ඇසීම පිළිබඳ හැඟීම වේ. කනත් ශබ්දයත් දෙකම රූප ධාතූන් වන අතර ශ්‍රෝත විඤ්ඤාණය නාම ධාතුවෙක් වේ. මේ රූප දෙවර්ගයෙන් කවර එකක් හෝ පැහැදිලි ලෙස දකිනු අසන හැම විටම, ඇසීම ඇසීම යැයි සැලකිය යුතුයි.
මෙසේම යමක් ආඝ්‍රාණය කරන හැම විටම, ආඝ්‍රාණය ආඝ්‍රාණය යි ද යමක් රස විඳින හැම විටම, රස විඳීම රස විඳීම යැයි ද මෙනෙහි කළ යුතුය. මේ පරිදිම සිරුරෙහි යමක් හැපීමෙහි දී (ස්පර්ශයේ දී), හැපීම හැපීම යැයි සලකා බැලිය යුතුය. ඇඟ හැපෙන සියල්ලේ දී, හැපීම හැපීම යැයි සලකිය යුතුය. ඇඟ හැපෙන හැම දෙයක්ම පිළිගන්නා කාය ප්‍රසාද නම් රූප ධාතුවෙක් ඇත. ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ හෝ සියලු පොට්ඨබ්බාරම්මණය කාය ප්‍රසාදයෙහි හැපී කාය විඤ්ඤාණය ඇති වේ. පොට්ඨබ්බාරම්මණයන් ස්පර්ශ කරන හැම විට, කාය ප්‍රසාදයත්, පොට්ඨබ්බාරම්මණයත් යන රූප ධාතු දෙකක් හා සසම්ප්‍රයුක්ත කාය විඤ්ඤාණ නම් නාම ධාතුවක් ද ඇති බව දැන් පැහැදිලි ය. ස්පර්ශ කිරීම ස්පර්ශ කිරීම යයි මෙනෙහි කිරීමෙන්, මේ නාම, රූප ධාතූන් වෙන්කොට දැක්ක හැකි වෙයි.
මේ කියන ලදුයේ පොට්ඨබ්බ විඤ්ඤාණය ගැන ය. එයට තද බව, වෙහෙස, උෂ්ණය, කැක්කුම යනාදී දුක් වේදනා ඇති කරන, අරමුණු ඇඟ හැපීමේ දී පහළ වන, දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ද ඇත. එය පහළ වීමේ දී වේදනාව බලවත් බැවින් උණුසුම, වෙහෙස, කැක්කුම ආදිය දැනේ. අත්පා ආදිය නැවීම, දිගු කිරීම ආදී ඒ ඒ අවස්ථාවන්හි නා නා විධ කායික වේදනා පහළ වන බව කිය යුතු වේ. අත් දිගු කිරීම් ආදිය කිරීමට සිතින් ඕනෑ කළ බැවින් ම ඒ ක්‍රියා සිදුවේ. කය නැවීම් ආදිය ද ඉරියව් පැවැත්වීම ද ඒ ඒ අවස්ථාවන්හි පහළ වන සිතින්ම කරනු ලැබේ. අත් ආදිය හකුළන්නට කැමැත්ත ඇති වන විට ඒ අවයවය තමා දෙසට නවා ගැනීම සිදුවේ. දිගු කිරීම්, යෑම් ආදියට කැමැත්ත ඇති වූ විට අවයව තමාගෙන් පිටතට යැවීමේ ක්‍රියාව සිදු වේ. ඒ ක්‍රියාව සිදුවී එතැනම නිරුද්ධ වේ. අත් නැවීම් ආදී ක්‍රියාවෙහි දී ඒ පිළිබඳව සිත් වැලක්ම ඇති වේ. ඒ හේතුවෙන් අත් නැවීම් ආදිය සිදුවේ. මේ අවස්ථාවල දී පොට්ඨබ්බ අරමුණ කාය ප්‍රසාදයෙහි ගැටීම නිසා කාය විඤ්ඤාණය පහළ වේ. එයින් පොට්ඨබ්බ අරමුණ දැනීම් වේ.
මෙසේ අත්පා නැවීම් ආදී ක්‍රියාවලදී කාය විඤ්ඤත්ති රූප බලවත්ව ක්‍රියාත්මක කැරෙන බව පැහැදිලි ය. මෙය මෙසේ තේරුම් නොගතහොත්, මම අත් නවමි, අත් දිග හරිමි යනාදී සක්කාය දිට්ඨිය ඇති වේ. නැවීම්, දිග හැරීම්, සැලීම් ආදී වශයෙන් ඒ නැවීම් ආදියෙහි මෙනෙහි කිරීම පුරුදු කළ යුතු වන්නේ මේ සක්කාය දිට්ඨිය ඇති නොවනු පිණිස ය. වස්තු රූපය ආශ්‍රය කොට ගෙන නා නා විධ සිත් ඇති වේ.
කොටින් කියතොත් මානසික ක්‍රියාවන් කය ඇසුරු කොට ඇති වෙතැයි කිය යුතුය. පරමාර්ථ වශයෙන් ඒ හැම එකක්ම නාම රූප සංයෝගයෙන් පැවතී ගෙන යන ධර්ම පරම්පරාවකි. එහි කය නම් රූප පරම්පරාවකි. සිත් හා චෛතසික (සිතුවිලි) නම් නාම පරම්පරාවකි. නාම රූප දෙක වෙන් කොට තේරුම් ගැනීම පිණිස, සිතීම සිතීම කියා හෝ කල්පනාව කල්පනාව කියා හෝ අදහස අදහස කියා හෝ ඒ ඒ මොහොතට ගැළපෙන පරිදි මෙනෙහි කළ යුතුය.
ටික කලක් මේ මෙනෙහි කිරීම පුරුදු කළ පසු සමාධිය තරමක් දුරට වැඩේ. සිත් ඒ මේ අත නොදුවන බව ද ඔහුගේ සිත අරමුණේ නිශ්චලව පිහිටන බව ද ඔහුට දැනේ. අරමුණ සලකා ගැනීමේ ශක්තිය වැඩී ඇති බව ඔහුට වැටහේ. මේ හැම මොහොතකම නාම පරම්පරාවකුත්, රූප පරම්පරාවකුත් ම මෙහි ඇති වෙවී නැති වෙවී දිගට පවතිතැයි දැනේ. තවදුරටත් මේ මෙනෙහි කිරීම දියුණු වූ පසු ඔහුට කිසිම නාමයක්වත්, රූපයක්වත් ස්ථිර නොවන බවත්, ඒ සියල්ල අනිත්‍ය බවත් වැටහේ. අලුත් අලුත් අරමුණු සිතට නැගෙන්නට විය හැකිය. එවිට ඒ මෙනෙහි කළ විට නැති වී යයි. එවිටම තව අරමුණක් සිතට නැගෙන්නට පුළුවන. එය ද මෙනෙහි කළ විට නොපෙනී යයි. මෙසේ පහළ වීම්, නැතිවීම් වැල දිගට පැවතීමෙන් අනිත්‍යතාව පැහැදිලි වෙයි. මේ හැදීම, නැතිවීම තමාටම දැනුණු බැවින් ඒ සියලු නාම රූපයන් අනිත්‍ය බව ඔහුට නිසැක ය. මේ අනිච්චානුපස්සනා ය.
මේ හැදීම, නැසී යෑම සුවයක් නොවන බව ඔහුට වැටහේ. මේ දුක්ඛානුපස්සනා යි. තව ද සිතට කයට දැනෙන වෙහෙසීම ආදිය දුක් බව නුවණින් සැලකීමේ දී, මේ දුක් රැසක් බව ඔහුට දැනෙන්නට වෙයි. මේ ද දුක්ඛානුපස්සානා යි.
මෙසේ මෙනෙහි කිරීමේ දි නාම රූපයත් ඒ ඒ මොහොතේ ඇති වන හේතු ප්‍රත්‍යයන්ට අනුකූලව හැදි හැදී යනු මිස, තම සිතේ කැමැත්තට අනුව නොහැදෙන බව පෙනේ. මේවා ධාතු මාත්‍රයෝ ය. මේවා සිය වසයෙහි නොපවත්නෝ ය. මේවා ආත්ම හෝ පුද්ගල නොවෙතියි හෙතෙම දකී. මේ අනත්තානුපස්සනා ය.
මේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත යන ලක්ෂණ තුන පිළිබඳව දැනීම දියුණු කිරීමෙන් මාර්ග ඵල ඥාන ලැබීමෙන් නිවන් ප්‍රත්‍යක්ෂ වේ. නිවන් ප්‍රත්‍යක්ෂ කරන පළමු අවස්ථාවේදී අපාය දුකෙන් සදහටම මිදුණෙක් වේ. තවදුරටත් විපස්සනාව වැඩුවොත් දෙවැනි තුන් වෙනි අවස්ථා ද ඉක්මවා රහත් බව ලැබීමෙන් හෙතෙම මුළුමනින් ම සසර දුකින් මිදුණෙක් වන්නේ ය.
සාර්ථකව මේ භාවනාව වැඩීමට සුදුසු කර්මස්ථානාචාර්ය වරයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය බව සැලකිය යුතුය.
සියල්ලෝම ඉහත දුන් උපදෙස් පරිදි විපස්සනාව වඩා සාන්දෘෂ්ටික වූ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගනිත්වා!