එයින් මුලින්ම පෙන්නපු කාරණාව තමයි දාන පරමිතාව. දන් දීම. දස පාරමිතා, සම ත්‍රිංශත් පාරමිතා ගත්තොත් බලන්න ඒ පාරමිතා අතර මුලට ම තිව්වේ දාන පාරමිතාව යි. දසරාජ ධර්ම ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ඒ වගේම සතර සංග්‍රහ වස්තු ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ත්‍රිවිධ පුණ්‍යකිරියවත්‍ථු ගත්තොත් මුලටම තියෙන්නේ දානය. ඇයි ඒ? මනුස්‍සයෙක් හැටියට, මනුස්‍සයෙකුට වඩා උත්තරීතර ගුණදහමක් පුරන කෙනෙක් හැටියට පය ගහලා ලෝකයේ ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ඕනෑවට වඩා ලෝකය තුල කිඳා බහින්නේ නැති, මසුරුමල අඩුවෙච්ච මනසකටයි.
රාග, ද්වේශ, මෝහ අධිකව උත්සන්න වුණහම ඒකට කියනවා අපායගාමී මට්ටම කියලා. අපායගාමී රාගය, අපායගාමී ද්වේශය, අපායගාමී මෝහය. අපි ඉස්සෙල්ලා කථා කළා වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ එබඳු වූ රළු මානසික මට්ටමකයි. පින්වතුනි,මෙන්න මේ රළු ගති ටික සම්පූර්ණයෙන් නො දන්නවා වුණාට මේ දානය කියන එකෙන් අතහරවනවා. දානය කියන එක ලේසි කෙනෙකුට කරන්න බැහැ. යම් තමන් සතු දෙයක් දෙන්න හදනකොට ඒක නො දෙන බවට, නො ගන්න බවට, ඒකේ දොස් දකින බවට, නො කිරීමේ වටිනාකම ගැන කියන්න හිත ඇතුළේ ඉඳගෙන දාහක් කථා තමන්ගේ මනසින්ම තමන්ට කියනවා. එහෙම කියන සිතට ප්‍රතිවිරුද්ධව, කෙලේසයට ප්‍රතිවිරුද්ධව බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි කුසල ධර්ම සිද්ධ කරන්නේ, සිද්ධ වෙන්නේ. ඒකයි ඒකට කුසල කියලා කියන්නේ. කුසල් කියලා කියන්නේ දක්‍ෂයි කියනවා. අපි කියන්නේ හොඳ කුසලතාවයක් තියෙනවා කියලා. දක්‍ෂතාවයක්, හැකියාවක්. කුසල් කියන හැම දෙයකම එයා දක්‍ෂයෙක්.
පින්වතුනි, මේ ලෝකය හරියට මාරයා විසින් මවපු, මංමුළා වැල්වල තියෙන ගෙඩි වගෙයි මේ කාමය. කාමය පරිභෝජනය කළහම මිනිසුන්ට යනඑන මං පෙනෙන්නේ නැහැ. යනඑන මං තේරෙන්නේ නැහැ. මේ ඔක්කෝම සම්පත්තිය, ඔක්කෝම දේ මේ අවුරුදු පනහ හැට නැත්නම් මේ අවුරුදු සීය දක්වා විතරයි නේද කියන එක පෙනෙන්නේ නැහැ. ඒක ඇත්ත වෙනවා. ඒක ජීවිතය වෙනවා. ඊට පස්සේ කුසල ධර්ම කරනවා තියා ඒකට ඉඩක් වත් නැහැ.
මේ රළු මානසික මට්ටම නැති කරවනවා දන් දීමෙන්. ඒ නිසා හැමදෙනාම ජීවිතයේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ජීවිතයට පිහිටක්, රැකවරණයක් කර ගන්නවා නම්, තමන් සතු බත්පත හෝ තව කෙනෙකුට නො දී කන්න එපා. නැත්නම් තව කෙනෙක් කන දිහා බලලා අපට සතුටු වෙන්න පුළුවන් නම් බඩගින්න විඳගෙන, ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨකම.
අන්න ඒ වගේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ දීමට සේදූ අත් ඇතිව ඉන්න. මනුෂ්‍ය අපට යමක් තියෙනවා නම් අනෙක් අයටත් ඒක සාධාරණයි කියන තැනකින් හිතන්න කියලා කියනවා මේ නිවන් දකින කෙනාට. ඉතින් මේවා ඉස්සෙල්ලාම මුලික මට්ටම, හිතලා පුද්ගලභාවයෙන්ම ඇති කරගන්න ඕනේ මානසික මට්ටම්. හිතේ ඇතිවෙන ගති වලට ප්‍රතිවිරුද්ධව ඉඳලා දෙන්න අකමැත්ත හිතේ යෙදෙන කොට ඒ අකැමැත්ත හඳුන ගන්න නම් හොඳට පුළුවන්කම තියෙන්න ඕන.‘නැහැ, මම උඹව දිනනවා. මම ඔය ගතිය දිනනවා. මම මේක නෙවෙයි, මීට වඩා දෙනවා. මම මගේ බත් පිඟානත් දෙනවා’ කියන තැනකින් හිතන්න පුළුවන් නම්ඇතුලේ ඉඳගෙන හැමදාම මේ පින්වතුන්ට එරෙහි වෙන්නේ නැහැ. ඒ එරෙහි වෙන කම හුරු කරලා හින්දා. දෙන්න අකැමැතිකම හුරු කරලා හින්දයි මොනවා හරි දෙයක් දෙන්න හදනකොට මනසේ ඒකට තියෙන අකැමැතිකම එන්නේ.
ඒ නිසා හැම වෙලාවේම ඒ කෙලේසය අඩු කරලා දානාදී කුසල ධර්ම සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මා භිකඛවෙ පුඤඤානං භායිතථ සුඛසෙසතං භිකඛවෙ අධිවචනං යදිදං පුඤඤානනති’ - මහණෙනි, පිනට භයවෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. ඒ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ලෝකය තුල යම් සැපක් කියලා යමක් තිබේ නම්, සැප විපාකයක් තිබේ නම්, ඒ මේ කුසල ධර්මයන් තුලින්, කුසල ධර්මයන් නිසයි. එයින් ද මේ දානාදී කුසල ධර්මය බොහෝම ශ්‍රේෂ්ඨ වෙනවා.
පින්වතුනි, නිවන් දකින එකේ භාගයක් බර උසුලන්නේ දානයෙන් කියලා මේ පින්වතුන් දන්නවා ද? අපි සමහර විටක හිතන්නේ නැහැ අප්‍රමාදී ජීවිතයටත් සුදුසුයි කියලා. ඒක සුදුසුයි, නමුත් අප්‍රමාදීව දානාදී කුසල ධර්මත් සිද්ධ කළ යුතුයි.
කවදා හරි ධර්මය සම්මර්ශනය කිරීමෙන් ලෝකෝත්තර මාර්ගයකට උත්සාහවත් වෙනකොට ඒකේ ඵලය වෙන්නේ ලෝකෝත්තර ප්‍රතිඵලයක් ලැබෙන එක යි. ඒකට හැකියාවක් නැහැ මනුස්සයෙක්, දෙවියෙක් වෙලා උත්පත්තිය ලබා දෙන්න. උත්පත්තිය පිණිස පවතින්නේ නැහැ. නමුත් මේ පින්වතුන් දන්නවා ද, මේ පින්වතුන්ට නිවන් දකින්න පුළුවන් මේ වටපිටාව ලබා දුන්නේ මේ පින්වතුන් කළ කුසල ධර්මයට, ලෝකය තුල කළ දානාදී කුසල ධර්මයන්ටයි කියලා. දානාදී කුසල ධර්මයන් තමයි මනුෂ්‍ය ආත්මභාවයක් ලබලා දෙන්නේ.
එතකොට බුද්ධෝත්පාද කාලයක් තියෙන වටපිටාවක සත්පුරුෂ ඇසුර ලබලා දෙන්නේ දන් දීලා නිවන් ප්‍රාර්ථනා කළහම. ඒකේ ප්‍රතිඵලය මොකක් ද? නිවනට උපකාරී වටපිටාව ලැබෙන්නේ දානයෙන්.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, කිසිම කලෙක ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසල මූලයකින් මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදින්නේ නැහැ. හැම වෙලාවේම අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයකින් ම යි මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදින්නේ.”
ඉතින් ඒ නිසා දානාදී කුසල ධර්මයන් සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්න.
තව පැත්තකින් ගත්තහම ධර්මයේ සඳහන් වෙන්නේ දන්දීම කියලා කියන්නේ හරියට ගිනි ගත්ත ගෙයකින් යමක් එළියට විසිකරලා දානවා වගෙයි කියලා. ගෙයක් ගිනි ගන්න කොට ගේ ඇතුළේ තියෙන වටිනානොවටිනා, ලොකුකුඩා හැම දෙයක්ම පිච්චිලා, අළුවෙලා ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්‍වයට පත්වෙනවා. ඒ ගිනි ගන්න ගේ ඇතුළෙන් යමක් කමක් ජනේලයකින් හරි, දොරකින් හරි එපිටට විසි කරගත්තොත්, පසුව ඒ පුද්ගලයාට ඉතුරු වෙන්නේ එළියට විසි කරගත්ත දේ විතරයි.
ධර්මයේ සඳහන් වෙන්නේ මේ ලෝකයා රෑ දවාලේ මොන තරම් දුක් මහන්සියෙන් භෞතික යමක් හරි හම්බ කළා නම්, ගෙවල්දොරවල්, යානවාහන, ඉඩකඩම්, මිළමුදල්, දූදරුවෝ කියලා,මේ හැම දෙයක්ම ජරාව, මහලු බව, මරණය කියන ගින්න අභියස දී ඒ ගින්නට හසුවෙලා, ඒ හරිහම්බ කළ හැමෝටම මේ දේවල් අහිමි වෙනවා ලු. ජරා මරණ නමැති ගින්නට හසුවෙලා, ජරා මරණ ධර්මතා එක්ක ගේ ඇතුලෙයි මේ ඔක්කෝම තියෙන්නේ. ඒ ගින්න අභියස දී ගින්නට හසුවෙලා මේ හම්බ කරපු සියලුම දේ අතහැරෙනවා කියනවා.
යම්කිසි කෙනෙක් ඒ දුක්මහන්සියෙන් හරිහම්බ කරපු දේ දුගීමගී යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා පූජා බුද්ධියෙන්, ශ්‍රද්ධා බුද්ධියෙන් පූජා කළොත්, මෙන්න මේ ටිකවිතරක් එයාට ඉතුරු වෙනවා, හරියට ගිනිගත්ත ගෙයකින් යමක් එළියට විසිකර ගත්තා වගේ.
ඒ නිසා, කිසිම වෙලාවක දී කුසල ධර්මය අවතක්සේරුකොට හිතන්න එපා. සමහර අය මට ඇහිලා තියෙනවා “කුසල ධර්ම කරන්න එපා, අකුසලයත් අවිජ්ජා පච්චයා සංඛාරා, කුසල ධර්මත් අවිජ්ජා පච්චයා සංඛාරා, අවිද්‍යාව නිසා ඇති කරගන්න කර්ම සසර දික් කරනවා. ඒ නිසා කුසල නොකට යුතුයි.” කියලා.
පින්වතුනි, අපට බුදුරජාණන්වහන්සේට වඩා නුවණ තියෙනවා වෙන්න බැහැ. ඒක අපි තීරණය කරගන්න ඕනේ. අපට සර්වඥතා ඥානය නැහැ. ඊට වඩා වැඩි ප්‍රඥාවක් තියෙන්න බැහැ. බුදුරජාණන්වහන්සේගේ බුදු නුවණට පෙනුණ කාරණා අපට පෙනෙනවා වෙන්න බැහැ. බුදුරජාණන්වහන්සේ දැක්කේ අකුසලය විතරයි ජීවිතයට අහිතකර. ඒ නිසා සබබ පාපසස අකරණං කියලා දේශනා කළා. කුසලස්ස උපසමපදා - කුසල් කරන්න කියලා දේශනා කළේ කුසලකින් යහපතක් වෙන නිසා. ටිකක් හරි, අබ ඇටයක් තරම් හෝ අවැඩක් ජීවිතයකට වෙනවා නම් ඒක කරන්න කියලා බුදුරජාණන්වහන්සේ පැනෙව්වේ නැහැ.
නුවණක් තියෙන කෙනාට කුසලය නෙවෙයි පින්වතුනි, අකුසලයවත් සසර දික් කරන්නේ නැහැ. කුසලය ගැන කවර කථා ද, අකුසලයවත් සසර දික් කරන්නේ නැහැ.අකුසල විතර්කයක් ඇති වුණොත් ඒකේම අනිත්‍ය බලලා, ඒකට ප්‍රතිවිරුද්ධව කුසල සිතක් උපදවලා, එයා ඒ අකුසලයම උපකාර කරගෙන සසරෙන් මිදෙයි.
නමුත් නුවණ නැති කෙනාට නම් නුවණ නැතිකම නිසා, අකුසලයයි කුසලයයි දෙකම නිසා සසර දික් වෙනවා. කුසලයේ නෙවෙයි තියෙන ප්‍රශ්නය, අකුසලයේ නෙවෙයි තියෙන ප්‍රශ්නය, නුවණ නැතිකම හා ඇතිකමයි ප්‍රශ්නේ. නුවණ කියන කාරණාව නැති කෙනාට සසර දිගයි.
දීඝා ජාගරතො රතති,
දීඝං සනතසස යොජනං.
දීඝො බාලානං සංසාරො
සදධමමං අවිජානතං -
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා නින්ද නො යන කෙනාට රෑ ගොඩාක් දිගයි වගේ තේරෙනවා ලු. වෙහෙස දැනෙන කොට යොදුන ගොඩාක් දිගයි වගේ තේරෙනවා ලු. ඒ වගේ
දීඝො බාලානං සංසාරො
සදධමමං අවිජානතං-
සද්ධර්මය නො දන්නා වූ බාලයාට සසර ගොඩාක් දිගයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළා. කුසලය නිසා සසර දික්වෙනවා කියලා බුදුරජාණන්වහන්සේ කොහේවත් දේශනා කළේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ සද්ධර්මය නො දන්නා අනුවණ කමටයි සසර දික්වෙන්නේ කියන කාරණාව යි.
ඒ නිසා ලෝකයාගේ වචනය ගන්න එපා. මම ඔතනදි මතක් කළේ ධර්මයේ ඇතුල් පැත්ත හිතන්න නුවණ නැති වුණොත් ඒ මෝඩකමට කියන කථා තවම අපේ මනස මෝඩ නිසා පිළිගන්න පුළුවන්කම තියෙන කම තියෙන නිස යි. ඒ නිසා කුසලය කියන එක ජීවිතයට කවදාවත් හානියක් වෙන, හානියක් කරන දෙයක් නෙවෙයි. කුසලය කියන එකට පසුබට වෙන්නට එපා. මේ පින්වතුන්ගේ ජීවිතයකට රැකවරණය ලැබෙන්නේ කුසලයකින් මයි කියන කාරණාව ගන්න.
බොහෝ දේ එපා, අපි නො සිතුවාට අපේ ජීවිතයට ඔප්පු කරලා පෙන්නලා තියෙයි. මේ පින්වතුන් ඕනේ තරම් ඔය ඇස් දෙකෙන් ජීවමානව දැකලා ඇති මහා විමාන වගේ, මාළිගා වගේ මහා විශාල ගෙවල්දොරවල් වලට හිමිකාර වුනුමහා ධනවතුන්. ඒ වගේම එදිනෙදා ජීවිතයේ ජිවත්වෙන්න වටපිටාවක්වක් නැති, ඉන්න තැනක් නැති, පොල්අතු සෙවිලි කළ, කටුමැටි පැළවල් දැකලා ඇති. අපි නො හිතුවාට, අපට නිහඬව ඒ දේවල් වලින් හොඳ ධර්ම දේශනාවක් කරනවා.
අපි ලෝකය තුළ පුද්ගලභාවයෙන් රණ්ඩු කරනවා, ‘නිර්ධන පන්තිය, ධනපති පන්තිය’ කියලා. නමුත් නිර්ධන පන්තිය, ධනවත් පන්තිය නෙවෙයි, ඒක එහෙම වුණේ කොහොමද කියන කාරණාවක් තියෙනවා. ඕකෙන් කියනවා පින්වතුනි කුසල, අකුසලයන්ගේ භේදය. ‘කුසල් කළ කෙනෙකුගේ ජීවිතය මෙන්න මේ වගෙයි’ කියලා දකින්න කියන එක මේ පින්වතුන්ට නො කියා කියනවා. ‘දානාදී කුසල ධර්ම නො කළ එකක විපාකය අද මම මේ විදියට විඳිනවා, මේක දකින්න’ කියලා මේ ලෝකයේ හැම කෙනෙක්ම අපට නිහඬව ධර්ම දේශනා කරනවා.
මේ පින්වතුන්ට යනකොට හිතන්න දේවල් බොහෝ ධර්මතාවයකින් තියෙයි. ඉතින් මහා ධනවතුන්, නිර්ධනයි කියන එකෙන් අපට පෙන්වනවා, ‘දානාදී කුසල ධර්ම කළ කෙනාගේ ජීවිතය මතු මෙන්න මෙහෙමයි, දානාදී කුසල ධර්ම කරන්න බැරි වුණොත් හෙට දවසේ ඔබේ චරිතය, ඔබේ ආත්මභාවය, ඔබලාගේ ගෙදර මෙන්න මෙහෙමයි මනුස්සයෙක් වුණොත්. දානාදී කුසල ධර්ම කරනවා නම් ඔබට හෙට දවසේදී ලැබෙන ගෙදර මෙන්න මෙහෙමයි’ කියලා වටපිටාව අපට කියනවා. වටපිටාව පෙන්වනවා. ඇයි අපි කුසලය කියන එක අවශ්‍ය නැහැ කියන්නේ? ඕනේ නැහැ කියන්නේ? කුසලය කියන එක ඕනේ නැත්තේ නැහැ, ඕනේ.
ඒ නිසා කුසලය කියන ධර්මතාවය පූර්ණ වශයෙන් සිද්ධ කරන මුල්ම කාරණාව තමයි දානය කියන කාරණාව. ඒක ජීවිතයෙන් හදා ගන්න කියන එක මතක් කරනවා.
මේ කුසලය කියන එක ජීවිතයකට මොන තරම් වටිනවා ද, කුසලයක් ජීවිතයට මොන තරම් උපකාර ද කියන කාරණාව අතීතයේ හිටිය සත්පුරුෂයෝ පවා දැනගෙන හිටියා. ඒ නිසා ඒ අය කුසල ධර්ම කරන්න නිමිති හොය හොයා හිටියා.යං කිඤ්චාරම්මණං කත්‍වා දජ්ජාදානං අමච්ඡරි - නොමසුරු පුද්ගලයා කුමන හෝ අරමුණක් චූටි දේක චූටි අරමුණක් ඇති එයාට ටක් ගාලා දානාදී කුසල කර්‍මයක් කරන්න.
ඕකට හොඳ කතාවක් තියෙනවා: බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නා කාලයේ බුදුරජාණන්වහන්සේට උපස්ථාන කරපු අග්‍ර උපස්ථායක තුමා තමයි අනේපිඩු සිටු තුමා. මේ අනේපිඩු සිටු තුමාගේ හිටියා මිනිපිරියක්. දරුවෙක් ගේ දරුවෙක්. මේ මිනිපිරිය දවසක් ගේ ඇතුලේ සෙල්ලම් කර කර ඉන්න ගමන් කුස්සිය පැත්තට ගියා. යනකොට කුස්සියේ වැඩ කරන කුස්සි අම්මා පිටිවලින් කෑමක් හද හදා ඉන්නවා. මේ පුංචි දරුවා ඒ දිහා බලාගෙන ඉන්නකොට ආදරේ හිතිලා අර කුස්සි අම්මා මොකද කළේ, පිටිවලින් පොඩි බෝනික්කෙක් හදලා දුන්නා. මේ පොඩිදරුවා ‘දුව’ යන සංඥා ඇතුව කොට්ටයේ තියාගෙන අර පිටි බෝනික්කා නලව නලවා ඉන්නවා. ඉතින් වඩාගෙනත් ඉන්නවා. හදිස්සියේ අතපසුවීමකින් පිටි බෝනික්කා වැටිලා කැඩුණා.
මේ ළමයා, ‘මගේ දුව මැරුණා, මගේ දුව මැරුණා’ කියලා අඬන්න ගත්තා. ගෙදර කිසි කෙනෙකුටවත් නවත්තගන්න බෑ. අනේපිඩු සිටුතුමා මොකද කරන්නේ. මිනිපිරියට කිව්වා වඩාගෙන, ‘හා පුතේ අඬන්න එපා. අපි ඔයාගේ මැරිච්ච දුව වෙනුවෙන් දානයක් දෙමු. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ගෙදරට වඩම්මලා,දුව එන්නකො මා එක්කලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න’ කිව්වහම ළමයා ඇඬීම නැවැත්වුවා.
බුදුරජාණන්වහන්සේ ඉන්න තැනට ගියා අනේපිඩු සිටුතුමා මිනිපිරියක් එක්ක. ගිහිල්ලා කියනවා.‘ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස,මේ දරුවාගේ පිට්ඨි ධීතිකාව හදිස්සියේ මැරුණා. ඉතින් එයාට පින් සිද්ධ වෙන්න අපේ ගෙදර දානයක් දෙන්න ඕන. හෙට දවසෙදි භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අපේ ගෙරට දානයට වඩින සේක්වා’ කියලා ආරාධනා කළා. භාග්‍යවතුන්වහන්සේ නිහඬව ඉවසුවා.
ඉතින් ගෙදර ප්‍රණීත වූ කෑම බීම බොහෝ හදලා දානය පිළියෙල කළා. භාග්‍යවතුන්වහන්සේ මහා සංඝරත්නයත් එක්ක නිවෙසට වැඩියා.වැඩියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයට ප්‍රණීත ආහාර පාන වළඳවලා, ඒ වගේ ම පිරිකර පූජා කරළා, පින්කම බොහෝ ම සරුවට කරළා, මිය ගිය පිට්ඨි ධීතිකාවටත් පින් අනුමෝදන් කළා. දෙවෙනි දවසෙත් ආරාධනා කළා. මෙහෙම අනේපිඩු සිටුතුමාගේ ගෙදර මාසයක් මියගිය පිට්ඨි ධීතිකාව වෙනුවෙන් දන් දුන්නා කියලා සඳහන් වෙනවා.
ඉතින් මේ මාසය පුරාවට ම කොසොල් රජ්ජුරුවන්ගේ රජ මාලිගාවට භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ නැහැ. කොසොල් රජ්ජුරුවෝ අහලා බැළුවා ඇයි කියලා. බලනකොට මේ පිටිඨි ධීතිකාවට පින් දෙන්න අනේපිඩු සිටුතුමා දානයක් දීලා.කොසොල් රජ්ජුරුවෝ හිතුවා,‘හරි.ඒ අනේපිඩු සිටුතුමා ගේ මිනිපිරියගේ මිය ගිය පිට්ඨි ධීතිකාවට පින් පිණිස මාත් දන් දෙනවා මාසයක්’ කියලා,කොසොල් රජ්ජුරුවොත් මාසයක් දන් දුන්නා.
නගර වැසියෝ කල්පනා කළාදැන් මාස දෙකකින් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩියේ නැහැ.ඇයි?බලනකොට මේ කතාව ආරංචි වුනා.කට්ටිය කතා වෙලා,‘අපිත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනවා මේ පිට්ඨි ධීතිකාවට පින් පිණිස’ කියලා.නගර මධ්‍යයේ මහ විශාල මණ්ඩපයක් කරවලා ඒක සරසලා ධජ පතාකයන් හිටවලා.සුවඳ විළවුන් අතුරලා.මහා දානයක් කළා.
පින්වතුන්ට හිතෙනව ද,එදා හිටපු අයට සචේතණික,අචේතණික වස්තු තෝරාගන්න බැරිකමක් තිබුණා කියලා.නෑ ඒ අය අපිට වඩා හොඳට සචේතණිකඅචේතණික වස්තු තේරුම් ගත්තා.මිය ගිය පිට්ඨි ධීතිකාවට පින් අනුමෝදන් කරන්න කියලා හරි පින් කරන්න ගියාම කාට ද පින් සිද්ධ වෙන්නේ?තමන්ට බව දැනගෙන හිටියා.කුසලයක වටිනාකම දැනගෙන හිටියා.
යං කිඤ්චාරම්මණං කත්‍වා දජ්ජාදානං අමච්ඡරි- නො මසුරු පුද්ගලයා කුමන හෝ අරමුණක් අරමුණු කරගෙන දානාදී කුසල ධර්ම සිද්ධ කරනවා. දරුවාගේ විවාහය කියලා හරි, උපන් දිනය කියලා හරි, මගුල්ගෙදරක් කියලා හරි, මළගෙදරක් කියලා හරි, කුමක් හෝ අරමුණු කරගෙන එයාට ඕනේ හැම වෙලාවේම ජීවිතයට කුසල ධර්ම කරගන්න නිමිත්තකුයි එයා හොය හොයා යන්නේ. කුමන හෝ නිමිත්තක් ආපු ගමන් ඒක උදව් කරගෙන කුසල ධර්මයක් කරනවා.
අතීත උත්තමයෝ දැනගෙන හිටියා සම්පත්තිය කියන එක අතින් අතට මාරුවෙන කාසියක් වගෙයි කියලා. අද දවසේ අපි ගාව තියෙන මේ සම්පත්ති හෙට දවසේ තව කෙනෙක් ගාව. ඊ ගාව දවසේ තව කෙනෙක් ගාව. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියා තමන් අතට ආපු වෙලාවේ මේකෙන් තමන් වැඩක් අරගෙන මිසක අත්හරින්න හොඳ නැහැ. මේ පින්වතුන් ‘මගේ, මගේ’ කියලා හම්බකරන දේවල් පෙට්ටියක දාලා තියාගන්න, රැස්කරලා ගෙදර තියාගන්න, ගොඩගහගෙන කොච්චර කල් තියාගන්න පුළුවන් වෙයි ද? අවුරුදු සීයක් ඕනේ නම් තියාගනියි. ඊටපස්සේ ඕවා අනිත් අය අතට පත්වෙනවා.
තමන් ගාවට ආපු දේ තමන්ගේ ජීවිතයට අර්ථයක් සිද්ධ කර නො ගෙන, වැඩක් සිද්ධ කර නො ගෙන, යවන්න එපා කියන එක මතක් කරනවා.
ඒ නිසා මේ දහමෙන් ජීවිතයට බොහෝම වටිනා අර්ථයක් ලැබෙයි. දන් දුන්නහම ඒ දන් දුන්න නිසා එයා යම් තැනක උපදියි නම් දෙවියෙක් වෙලා, දෙවියෙක් වුවත් මහේශාක්‍යවටපිටාවකින් යුක්ත, මහත් වූ විමන්වලට අධිපති මහේශාක්‍ය දෙවියෙක් වෙලා උපදිනවා. දන් දෙන කෙනා මනුෂ්‍ය ලෝකයේ උපදියි නම්, රාජරාජ මහාමාත්‍යදීන්ගේ මහේශාක්‍ය මහාසාරකුලයක මයි උපදින්නේ. හීන තැනක උපදින්නේ නැහැ. ඒ නිසා දානාදී කුසල ධර්ම නිතරම කළ යුතුයි.
මතු සම්බන්ධයි!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!