භාවනාව සමථ, විදර්ශනා ලෙසින් ආකාර දෙකකි. භාවනාව ආරම්භ කරන කෙනෙකුට සමථ භාවනාව මුලින් වඩා පසුව එය විදර්ශනාවට නැඟිය හැක. නැතහොත් මුල සිටම විදර්ශනා භාවනාව සිදු කළ හැක. එසේම යුගනන්ද ආකාරයෙන් සමථ හා විදර්ශනා ක්‍රම දෙකම එකවර කළ හැක. විදර්ශනා භාවනාවකින් සිදු කරනුයේ සංස්කාර වල යථා ස්වරූපය නුවණින් දැකීමයි.
නිවන ලැබීමට නම් නාමරූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය යුතුය. එනම් දුක්ඛ නිරෝධ සත්‍යයි.
රූපයේ යථා ස්වරූපය නුවණින් දකිමින් භාවනා කරන යෝගාවචරයකුට එය සතර මහා භූතයන්ගෙන් නිර්මිත වූ, අසුභ වූත්, අසාර වූත් පිළිකුල් සහගත දෙයක් බවත්, ක්ෂණයක් පාසා අනිත්‍යයට යන බවත්, අවබෝධ කරගත හැකිය. මේසයක් ගත් කළ එය මුලදී ඝන වස්තුවක් ලෙසින් සිතට වැටහෙයි. නමුත් යතුගෑවිට එය දූවීලි අංශු බවට පත්වී වාතයට මිශ්‍ර වෙයි. මුලදී මේසයක් ලෙසින් ගත් සංඥාව එවිට සිතින් ගිලිහී යයි. මේසය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙන් නිර්මිත දෙයකි. විදසුන් ඇසින් මේ ධාතූන් විසුරුවා බැලු විට එතන මේසයක් ලෙසින් ගන්නට දෙයක් නොමැත.
මෙපරිදිම මේ ලෝකයේ යම්තාක් රූප තිබේ නම්, ඒවාද සිතින් මෙලෙසින් ධාතු වශයෙන් වෙන් කරමින් බැලිය හැක. එවිට ලෝකයේ රූප ලෙසින් ගන්නට කිසිඳු දෙයක් නොමැති, ධාතු හතරක්ම බවත් වැටහී යයි. මෙය කෙටියෙන් දැක්වූවද, විස්තරාත්මකව හදවතින් දකිමින් භාවනාව කළ යුතුය.
තවත් ආකාර කිහිපයකට මෙලෙස රූපය විදර්ශනා කළ හැක. පිළිකුල් ආකාරයෙන් දැකීම එවැනි තවත් ක්‍රමයකි. දෙතිස් කුණප කොටස් ලෙසින් ලෝකයේ පවතින් ජිවී රූප විදර්ශනාවට නැඟිය හැක. මෙලෙස රූපයේ ඝන සංඥාව සිතින් ගිලිහී යන ලෙසින් ලෝකයේ පවතින් ජීවී අජීවී සියලු රූපයන්ගේ යථා ස්වරූපය නුවණින් විමස විමසා බැලිය යුතුය. රූපය සිතින් විසිරුවා බැලිය යුතුය. එය කෙසේද යත් වැලි ගොඩක් සුළඟින් විසිරුවා ගිය පසු එහි යළි වැලි ගොඩක් ලෙසින් ගන්නට කිසිත් නොමැති පරිද්දෙනි. සියුම් වැලි අංශු ගොඩ ගසා තිබූ ආකාරය අනුව අප එයට වැලි ගොඩ යන නාමය සම්මුතියෙන් දැමූ පරිදිම, රූපයද නිර්මිත වී ඇති ආකාර අනුව නම් යොදා ගෙන ඇත. මෙය හඳුනා ගැනීමේ පහසුව පිණිස අතීතයේ පටන් පැවත ආ දෙයකි. එනම් එය සම්මුතියකි. අත, කකුල, පපුව,බඩ, දත්, කට, දිව, ඇස් යන සියල්ල එසේ පනවා ගත් සම්මුතින්ය. නමුත් නුවණින් දක්නා විට මේ සියළු රූපයන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේම නිමවීම්ය.
මේ ආකාරයෙන් සමාධිමත් සිතින්, විදර්ශනා කරන යෝගාවචරායකුට, ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන අභ්‍යන්තර හෝ බාහිර හෝ වශයෙන් පවතින රූපයන්හි යථා ස්වරූපය සිතට අවබෝධ වූ පසු, එනම් එහි සත්ව පුද්ගල ආත්ම ආදී කිසිවක් නැති, නිරන්තර අනිත්‍යට පත්වන, හේතූන් නිසා හටගත් දේවල් බව අවබෝධ වූ පසු, ඒවා කෙරෙහි සිතේ පවතින වටිනාකම් සිතින් ගිලිහී යයි. මේ ලෝකයේ පවතින යම්තාක් රූප වලට වටිනාකමක් අත්වන්නේ අපේ සිතින් ඒවා අරමුණු කරගෙන ඇති කරගන්නා සිතිවිලි නිසා පමණි. සිතින් ඒවා ස්පර්ශ නොකරන කල්හි ඒවා සිතට අරමුණක් නොවෙයි. එනම් ඒවා අපේ සිතට අනුව ශූන්‍ය වේ. මේ අවබෝධයෙන් යුතුව, යම්තාක් පවතින රූප සිතින් අත හැරී ගිය කල, සිතට කිසිදු රූපාරම්මණයක් නැති හිස් බවකට සිත පත්වෙයි. මේ සඳහා සමාධිය වැඩී තිබීම අත්‍යවශ්‍ය වේ. මෙය රූපයන්ගේ යථා ස්වරූපය විදර්ශනාවෙන් අවබෝධ වීමෙන් පත්වන තත්වයකි.
එනම් සිතට කිසිදු රූප නිමිත්තක් අරමුණු නොවන ස්වභාවයකට සිත පත්වේ. බාහිර රූපයන්ද, තමාගේ රූපයද සිතින් කොතෙක් අරමුණු කළද අරමුණු නොවන ස්වභාවයකි. සැබවින්ම රූපය කෙනකුට අරමුණක් වන්නේ සිතින් එය ස්පර්ශ කරන තාක් පමණි. එම මනෝ ස්පර්ශය සිතින් ගිළිහී යත්ම සිතින් රූපය ගිළිහී යයි. ශුන්‍යතාවයක් ලෙස හඳුන්වන්නේ මෙවැනි තත්වයකි. එවිට රූපය නිරුද්ධ වීමක් සිදුවේ. එම අවස්ථාවේ සිතට පවතින එකම අරමුණ ශුන්‍යතාවය ලෙසින් හඳුනවන එම හිස් බව පමණි. එතනදී නාම ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පවතී
එවැනි ශුන්‍යතාවයකට හිත පත්වූ පසු ඒ අවස්ථාවේ සිතට පවතින අරමුණ එම හිස් බව පමණි. හිස් බවත්, ඒ හිස් බව අරමුණු වන සිතකුත් පවතී. එවිට ඒ හිස් බව රූපය ලෙසත්, හිස් බව අරමුණු වන සිත නාමය ලෙසත් ගත හැකිය.
හිස් බවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍යට යයි. එය දක්නා සිතත් එලෙසින්ම අනිත්‍යට යයි. එනම් නාමයත් රූපයත් දෙකම අනිත්‍යට යයි. මෙය කිසිවකු විසින් කරන දෙයක් නොව හේතුන් මත ඇති වී නැතිවී යන ක්‍රියාවලියකි. මෙම අනිත්‍ය දර්ශනය තුළින් අනාත්මය පැහැඳිළිව අත්දක්නා යෝගාවචරයකුට අනෙකුත් ඉන්ද්‍රිය ධර්මයන්ද ( ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ) අවශ්‍ය පමණින් වැඩී ඇති අවස්ථාවක එම නාම රූප ධර්මයන්ගේ නිරෝධය අත්දැකිය හැක.
මෙය එක් ක්‍රමයක් පමණි. ඒ අවස්ථාවේ නාම ධර්මයන් වෙන් වෙන්ව දකිමින්, ඒවයේ අනිත්‍ය, අනාත්ම බාවයද දකිමින් කෙනකුට භාවනාව වැඩිය හැක. එනම් විඥ්ඥාණ, සංඥා, වේදනා, සංස්කාර යන නාමයන්ගේ ක්‍රියාවලියයි යථා ලෙසින් දකිමිනි. එම නාම ධර්මයන්ගේ අනිත්‍ය බව, අනාත්ම බව සමාධියෙන් දැකිය හැකි නම්, ( ඉන්ද්‍රිය ධර්මයන්ද නිසි පරිදි වැඩි ඇතී යෝගාවචරයකුට ) එම නාමයන්ගේද නිරෝධය අත් දකිමින් නාමරූප නිරෝධයකට සිත පත්වෙමින් සියළු සංස්කාර සංසිඳී ගියා වු නිවනට සිත පත් කර ගත හැකිය.
මෙහිදී නිවන අවබෝධ වීමට සංස්කාර අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දැක දැකා භාවනාවේ යෙදුණු විට මාර්ග සත්‍යද ( එනම් දුක්ඛ නිරෝධ ගාමීණී පටිපදාව ) , නාමරූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකිමින් නිරෝධ සත්‍යද අවබෝධ වෙමින් ඒ ඒ මාර්ගයට අනුව සංයෝජනයන් නිරුද්ධ වී යයි. ඒ ඒ මාර්ගයට අනුව අවිද්‍යාවද තුනි වී යයි.
එනම් "ආත්මයක් ඇත" යනුවෙන් ගන්නා මෝඩකම, සෝවාන් ඵලයට සිත පත්වීමත් සමඟම සක්කාය දෘෂ්ටිය නිරුද්ධ වීමෙන් නැවත නූපදින ලෙසම නිරුද්ධ වී යයි. මේ ආකාරයෙන් සකදාගාමි, අනාගාමි ඵල වලදී කාම රාගයත්, පටිඝයත් නිරුද්ධ වී, රහත් වීමේදී සියළු සංයෝජන ධර්ම මුළුමනින්ම නැතිවී යයි. "මම" යැයි කෙනකු පවතිනවා යැයි ගත් අස්මි මානය දුරු වීමත් සමඟම සියළු උපාදානයන්ද සමඟම අවිද්‍යාව මුළුමනින්ම දුරු වී යයි. එවැනි කෙනකු තුළ පංචස්කන්ධයේ ක්‍රියාවක් පැවතීම හැර, ඒවා උපාදානයෙන් අල්ලා නොගැනීම නිසා පංචුපාධානස්කන්ධයක් නොමැත. පරිනිර්වාණයේදී අවසන් කයත්, ඒ හා බැඳි නාමයත් නිරුද්ධ වී, උපාදාන සම්පූර්ණයෙන්ම නැති කර සිටින බැවින් යළි වෙනත් භවයක ගොස් එල්ඹ ගැනීමකින් තොරව, යළි නූපදින ලෙසින්ම විඥ්ඥාණය නිරුද්ධ වී යයි.. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව යනු එයයි.. දුකේ සදාකාලික කෙළවර නිමාව එයයි. එතනින් මෙහා දුකෙහි පැවැත්ම පවතී.
සමථය පමණක් භාවිතා කරමින් ශුන්‍යතාවයකට හිත පත්කර ගැනීමට නම් අරූපාවචර ධ්‍යාන මට්ටමකට සිත දියුණු කරගත යුතුවේ. එසේ වුවද නිවනට සිත පත් කර ගැනීමට අනිවාර්යයෙන්ම සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂව සමාධියෙන් අත්දැකිය යුතුවේ. මුල සිටම විදර්ශනා භාවනාවකින් හෝ, යුගනන්ද භාවනාවකින් හෝ, සමථය මූලිකව වඩා එය විදර්ශනාවට නඟා හෝ නිවන අත්දැකිය හැක.
කුමන ආකාරයකින් පුහුණු කළද අවසානයේ නිවන දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය, අනාත්ම දර්ශනය තුළින් නිරෝධ සත්‍ය පසක් කර ගැනීමෙනි.
චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගනිමින් නිවන අත්දකින කෙනකු විසින් ඕනෑම මොහොතක තමන් පත්වූ ඵලයට නැවත පත් විය හැක. සියළු සංස්කාර සංසිදී ගියා වූ උතුම් නිරාමිස නිවන් සුව මේ ජීවීතයේදීම අත්දැකීමට සියළු දෙනාම ආරම්භ කොට ගත් වීර්‍යයෙන් යුක්තව, නොපසුබටව ක්‍රියාත්මක වේවා යි පතමු.