7/25/14
~ ධර්මයේ හැසිරෙන්නා දහම විසින් ආරක්ෂා කරයි ~
තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මංගල දහම් කරුණු අතර ධර්ම චර්යාවද උතුම් මංගල කරුණකි. දැහැමි ජීවිතයක් නම් වූ වදන් පෙළින් ගැඹුරු ධර්මාන්විත අදහසක් ඉදිරිපත් කරයි. එනම් දස අකුසල කර්මයන්ගෙන් වැළකී දස කුසල කර්මයන් අනුගමනය කිරීමයි. මෙහිදී කයින් සිදුවන අකුසල කර්ම තුනක්ද වචනයෙන් සිදුවන අකුසල කර්ම හතරක්ද සිතින් සිදුවන අකුසල කර්ම තුනක්ද විස්තර කෙරේ. නියම ධාර්මික බවක් හෝ ධර්මචර්යාවක් වන්නේ මෙසේ සිත, කය, සහ වචනය නම් වූ ත්‍රිවිධ ආකාරයෙන්ම සිදුවන වැරැදිවලින් ඈත්වීමෙනි.
පළමුවෙන්ම කයින් සිදුවන අකුසල් සඳහන් කරමු. කයින් සිදුවන අකුසල් වන්නේ සත්ව ඝාතනය හෙවත් පරපණ නැසීම, සොරකම හෙවත් අන්සතු දේ පැහැර ගැනීම සහ කාමයෙහි වරදවා හැසිරීම හෙවත් වැරැදි ලෙස ඉන්ද්‍රියන් පිනවීමයි. වර්තමාන පරිසරයෙහි කෙතරම් දුරට මෙම කරුණු ආරක්ෂා වන්නේදැයි නුවණින් සිතා බලන්න. අන් අයට දොස් පවරන්නට පෙර අපි අපගේ පවුල් පරිසරයද, අසල්වැසි පරිසරයද ගැන සිතා බලමු. පර පණ නැසීම අකුසලයකි නම් වූ ශික්ෂා පදය තරමක් ගැඹුරින් විමසිය යුතුය. මෙහිදී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම් පද මෙනෙහි කිරීම වටී.”නිහිත දණ්ඩ, නිහිත සත්ථ ලජ්ජී දයාපන්නා සබ්බපාණ භූත හිතානුකම්පී” දඬු මුගුරු නොදැරිය යුතුය. අවි ආයුධ නොදැරිය යුතුය. අකුසලයට ලජ්ජා විය යුතුය. සියලු ප්‍රාණීන් කෙරේ දයාවන්ත සහ හිතවන්ත විය යුතුය. බොහෝ අයෙක් මිනිසුන් හෝ සතුන් මරන්නේ නැතිබව සත්‍යයකි. එනමුත් ඉතාමත් ස්වල්ප වූ කරුණකට පවා කලකෝලාහල කරගන්නා අය සිටිති. නිසි උගත් කමක් නැති අය පමණක් නොව උගත් යැයි සම්මත අය පවා මහා නපුරු මිනිසුන් ලෙස ගෙදරදී හැසිරෙති. සමාජය ඉදිරියේ ඉතාමත් කරුණාවන්ත සහ දයාවන්ත වන සමහර අය ගෙදරදි තම බිරිඳට පහරදෙති. කෲර ලෙස සළකති. සමාජයේදී ඉතාමත් යහපත් ලෙස හැසිරෙන යම් අය රහසේ අනුන්ට හිංසා කරති. අනුන්ට විපත් කරති. අන් අයගෙන් වංචාවෙන් ගන්නට බලති. දැහැමි වන්නා අන් අයගේ ජීවිතවලට ගරු කළ යුතුය. හදවතින්ම දැහැමි විය යුතුය. ඔබ මෙම අදහස් නම් නොපැවසිය යුතුය. එනම් “අද ධාර්මිකව , තමන්ගේ රැකියාවක් කරගෙන ජීවත්වන මිනිසුන්ට සමාජයේ තැනක් නැහැ. ආදී වශයෙනි. යම් විටෙක එසේ සිදුවුවත් අප රටේද සමාජයේද ධාර්මිකව සහ අවංකව ජීවත්වන අයට ඕනෑ තරම් අවස්ථාව තිබේ. එමෙන්ම පිළිගැනීමක් ද තිබේ.
කයින් සිදුවන දෙවන අකුසලය ලෙස පෙන්නුම් කරනු ලැබුවේ සොරකමයි. මෙහිදී ධර්මානුකූල ජීවිතයක එක් කොටසක් ලෙස තමාට අයත් නොවන ,අන්සතු දේ සොරසිතින් නොගැනීම සඳහන් කළ හැකිය. සොරකම ගැන ඉතාම සරලව සඳහන් කළොත් බස් රථයක නැඟී සොර සිතින් යුතුව අවසර පතක් නොගෙන ගමන් කිරීමද සොරකමකි. රැකියා කරන ස්ථානයේ පවා තමන්ට අයත් නොවන දෙයක් වැරැදි ලෙස පරිහරණය කිරීමද තම නිවසට රැගෙන යාමද මේ කොටසටම අඩංගු කළ හැකිය.
සොරකමින් උපයන දේ වැඩිකල් රැඳෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවන ලෙඩ දුක් භයානක ලෙස පැමිණ හෝ පවුල් පරිසරයෙහිම හෝ සණ්ඩු දබර ආදි විපත් පැමිණ සියල්ල අවසන් වේවි. අපහසුවෙන් ලද උතුම් මනුෂ්‍ය ජීවිතය, සොරකම නිසා සතර අපායෙන් එක්තැනකට වැටෙන්නට ඉඩ නොදිය යුතුය. තමා සොරකම් කොට තමා පාපයක් කරගෙන තම දරුවන්ද එම පාපයේම කොටස්කරුවන් බවට පත්නොකරගත යුතුය. ස්වාමි භාර්යාවන් සහ දරුවන්ද සමඟින් අපායට යාමට සූදානම් නොවිය යුතුය
තුන්වනුව කාමයෙහි වරදවා නොහැසිරිමයි. එනම් වැරැදි ලෙස ඉන්ද්‍රියයන් සතුටු නොකිරීමයි. විවාහ ජීවිතයට පත්වන දෙදෙනෙකුගේ අවංකබව, ඔවුනොවුන් කෙරේ ඇතිකරගන්නා වු විශ්වාසය, ඔවුනොවුන්ගේ අදහස් තේරුම් ගැනීම සහ ගරුකිරීම ජීවිත සහ පවුල් ප්‍රශ්න දෙස ඤාණාන්විතවද, කාරුණිකවද උපේක්ෂාවෙන් යුතුව බැලීම් ආදිය මෙහිදී වැදගත්ය. මේ සඳහා බෞද්ධ දර්ශනයෙන් බොහෝ අවවාද උපදෙස් සහ ප්‍රායෝගික ක්‍රියා මාර්ග රැසක් පෙන්වා දී තිබේ. සමහර චරිතවලට තම හැඟීම් පාලනය කරගැනීමට අපහසුය. තම ස්වාමියා හෝ බිරිඳ බොහෝ යහපත් අයෙක් වුවද චරිතයේ පවත්නා අධික ආශාවන් නිසා වරදට පෙළඹෙති. එවැනි චරිත දෙස අප කාරුණිකව බැලිය යුතුය. ඒ ආකාරයේ චරිත ලක්ෂණ ඇති අයට “පටික්කූල සඤ්ඤා” භාවනා පිළිවෙතකින් මනස සන්සුන් කොට යහපත් වු පවුල් ජීවිතයක් සඳහා හැඩගැස්විය හැකිය.
වචනයෙන් සිදුවන අකුසල් හතරකි. එනම් බොරු කීම,කේළාම්කීම, ඵරුෂවචන කීම සහ හිස්වචන කතා කිරීමයි. වර්තමාන පරිසරයේ කියන සහ ඇසෙන කතා සදාචාරාත්මක විහරණයකට සුදුසු ඒවා නොවේ. වචනය අපිරිසුදු වීම නිසා උතුම් මානුෂික ගුණාංග ඉවත්ව ගියොත් මනුෂ්‍යයන් අතර විශ්වාසය සුහදතාව සහ සමඟිය බිඳවැටී අමනුෂ්‍ය ලොවක් බවට පත්වේවි. ඔබම සිතා බලන්න. විශ්වාසය ඔවුනොවුන් අතර රැඳී තිබෙන විට මනුෂ්‍යයෝ ජිවිතය පවා දෙන්න සූදානම් වේවි. එනමුත් බොරු කේළාම් ආදිය නිසා ඔවුනොවුන් අතර විශ්වාසය කැඩී ගිය විට තම ජීවිතය දෙන්නට නොව අනුන්ගේ ජීවිතය පවා ගන්නට සූදානම් වේවි. ඔබම අපේ රටේ සිදුවීම් අනුව සිතා බලන්න. විශ්වාසය සහ අවංකකම බිඳී ගිය පවුල්වල ස්වාමිපුරුෂයා සහ බිරිඳ අතරද දෙමාපියන් සහ දරුවන් අතරද සොහොයුරු සොහොයුරියන් අතරද ජීවිත හානි පවා සිදුවී ඇති බව ප්‍රකට කරුණුය. බොරු කියන්නට පුරුදු වු අයට ඕනෑම පාපයක් කිරීමේ තත්වයට වැටෙනු ඇත.
තුන්වෙනුව සිතින් සිදුවන අකුසල කර්ම තුනක් විස්තර කොට තිබේ. අභිජිඣා නම් වු විෂම ලෝභයයි. එනම් අන් සතු වස්තූන් කෙරේ ඇතිවන ආශාවයි. දෙවන කරැණ නම් තරහවයි. මෙම කරුණට වෛරය, ක්‍රෝධය ද ඇතුළත්ය.තුන්වෙනි කරුණ නම් මිථ්‍යා දෘෂ්ඨියයි. මේ නිසා තමන්ට නැති අන් අයට අයත් වස්තූන් කෙරේ විෂම ලෝභයක් ඇති නොකර ගත යුතුය. අන් අයගේ වස්තූන් කෙරේ ලෝභයක් ඇතිකර ගැනීම යනු ඊර්ෂ්‍යාවට ,අමනාපයට සහ නොරුස්නා බවට මුල පාදා ගැනීමක් හෙවත් විෂ බීජයක් උපදවාගැනීමකි. තමන්ට යමක් නැති වුවද අන් අයගේ ඇඳුමක් ගෙයක් දොරක්, ඉඩමක්, ධනයක් හෝ අන් අයට ලැබු උසස් වීමක්, තනතුරක ආදී යමක් වෙනුවෙන් ඊර්ෂ්‍යාවක් ඇතිකරගෙන තමා මනසින් දුක් විඳින්නේ ඇයි? අන් අයට තිබෙන දේවල් සහ තමන්ට නැති දේවල් ගැන සිතමින් ගෙදොර දොරේ සිත් අමනාපකම් ඇතිකර ගැනීමෙන් ඔබට අවැඩක් මිස සෙතක් හෝ යහපතක් නම් අත්නොවනු ඇත. ඔබට යමක් අවශ්‍ය නම් ඔබ විසින් කළ යුත්තේ ධර්මානුකූලව ද උත්සාහයෙන් සහ නුවණින් යුතුව උපයා සපයා ගැනීමට කටයුතු කිරීමයි. ඉන්පසුව ලද දෙයින් සතුටු වීමයි. හැබෑ මානසික සන්තෘෂ්ඨිය රඳා පවතින්නේ බාහිර වස්තු හෝ ආටෝපය මතම නොව තමා ඇතිකර ගන්නා වු පිරිසුදු සිතිවිලි අනුවයි. මිථ්‍යා දෘෂ්ටිය බරපතළ පාපයකි. සමාජයේ යහපැවැත්මට බාධාවකි. මෙසේ යහපත් දෘෂ්ටියක් ඇතිකර ගැනීම දැහැමි බවේ ලක්ෂණයකි. එනම් දානයේ විපාක ඇත. පූජාවේ යහපත් ඵල ඇත. සිරිත් විරිත්වල වටිනාකමක් ඇත. කුශලාකුශල කර්මවල විපාක ඇත.මෙලොවක් ඇත. පරලොවක් ඇත. මව සහ පියාට කෙරෙන උපස්ථානය උතුම්ය. දෙවියන් බඹුන් වැනි ඕපපාතික සත්වයන් ඇත. සම්මා ප්‍රඥාවෙන් පිරිපුන් සහ දෙලොව ජීවිතය පිළිබඳ පිරිසිඳ නුවනින් දත් ශ්‍රමණයන් වහන්සේලා ආදි පැවිදි උතුමෝ සිටිති. ඉහත සඳහන් අදහස් සමඟ කටයුතු කරන පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සහ පැවැත්ම පිළිබඳ කොපමණ නම් සුපසන් සිතක් අපටත් ඇතිකර ගත හැකිද? ධර්මපාල ජාතකයේදි පෙන්වා දෙන්නේ ධර්මචර්යාවෙහි යෙදෙන තැනැත්තා අඩු වයසින් නොමියෙන බවත් ධර්මය විසින්ම ආරක්ෂා කරන බවත්ය.
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි – ධම්මෝ සුචිණ්ණෝ සුඛෙමාවහාති
ඒසානිසංඝෝ ධම්මේ සුචිණ්ණෝ – න දුග්ගතිං ගච්ඡති
”ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි. මනාකොට පුරුදු කරන ලද ධර්මය දෙලොව සැප ලබා දෙයි. ධර්මයෙහි හැසිරීමෙන් එවැනි උසස් ආනිශංස ඇතිවනු ඇත. ධර්මචාරි පුද්ගලයා දුගතියකට නොගොස් සුගතියකටම යන්නේය” ධර්මචාරි පුද්ගලයෙකුට යම් විටෙක කෝටි ගණන් ධනය හෝ තට්ටු ගණන් ගෙවල් නොමැති වනු ඇත. එනමුත් සිතේ පවතින සැනසීම මුදලකට සමාන කළ නොහැකි වනු ඇත. ධර්මයෙන් ජීවත් වුවත් අධර්මයෙන් ජීවත් වුවත් සියලු දෙනාම මැරෙනු ඇත. මගේ යැයි පැවසූ සියල්ලම මෙහි තබා යනු ඇත. අධර්මචාරි පුද්ගලයා මරණින් මතු දුගතියද ධර්මචාරි පුද්ගලයා මරණින් මතු සුගතියටද යනු ඇත. මෙම දෙකින් වඩා යහපතක් වූ චර්යාව ඔබ විසින් තෝරාගන්නා ධර්මාවබෝධයම වේවා.
උතුම් තුණුරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය - මිරිස්සේ ධම්මික හිමි
නිවන් මඟ දහම් පණිවිඩයකි