ශෝකය දුරු කර ගැනීම පිණිස කායානුපස්සනාව ප්‍රමුඛ සතර සතිපට්ඨානය වඩන්න.
( ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, සත්තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරරෝ සතිපට්ඨානා.)
…… පින්වත් මහණෙනි, මේ සතර සතිපට්ඨාන ධර්ම මාර්ගය වනාහී සසරින් එතෙර වීම පිණිස ඇති ඒකායන මාර්ගය වේ. (මේ මාර්ගය වනාහී) සසර දුකට වැටී කෙලෙසුන් නිසා අපිරිසිදු භාවයට පත් වී සිටින සත්වයන් හට එම කෙලෙසුන්ගෙන් මිදී පරම පාරිශුද්ධත්වයට පත්වීම පිණිසද, දුකින් පීඩිතව සෝ සුසුම් හෙළමින් හඬමින් වැළපෙමින් සිටින සත්වයන් හට ඒ සෝ සුසුම් හැඬීම් වැළපීම් ඉක්මවාලීම පිණිසද, කායික – මානසික දුක් දොම්නස්වලින් අනන්ත පීඩා විඳින සත්වයන් හට, ඒ කායික – මානසික දුක් දොම්නසින් අත්මිදීම පිණිසද, චතුරාර්ය සත්‍යය නම් වූ සද්ධර්ම න්‍යායය තමාම ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගැනීම පිණිසද, සසරේ දුක සකස් කරන හේතුව වන තණ්හාව (අවබෝධ ඤාණය තුළින්) ප‍්‍රහාණය කොට සදා සැප වන අමා මහා නිර්වාණ ධාතුව ප‍්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේ සන්තානයේ උපදවා ගැනීම පිණිසද පවතී.
- මහා සතිපට්ඨාන සූත්‍රය (දී.නි. 2)