7/25/14

ධම්මපදය, භික්ෂූ වග්ගයට අයත් පහත ගාථා දෙකෙන් අදහස් වන්නේ මහණෙනි, තමා විසින් තමාගේ අඩුපාඩු බලා තමාට චෝදනා කරගත යුතුය. තමා විසින් තමා වැඩකරන පිළිවෙල හරිදැයි විමසිය යුතුය. එසේ කරමින් තමා රැකගන්නා වූ මනා සිහිය ඇති භික්ෂුව සුවසේ වසන්නේ ය.

තමාට පිහිට තමාම ය. තමාට පිළිසරණත් තමාම ය. ඒ නිසා වෙළෙන්දා හොඳ අශ්වයා රැක ගන්නාක් මෙන් ආත්මය තැන්පත් කමින් දියුණුකර ගන්න යනුවෙනි.

අත්තනාවෝදයත්තානං - පටිමාසේ අත්තමන්තනා
සෝ අත්ත ගුත්තෝ සතිමා - සුඛං භික්ඛු විහාහිසි
අත්තාහි අත්තනෝ නාථෝ - අත්තාහි අත්තනෝගති
තස්මා සඤ්ඤමයත්තානං - අස්සං භද්‍රංව වාණිජෝ

නංගලකුල තෙරුන් වහන්සේගේ අර්හත්භාවය ගැන සැක පහළ කළ භික්ෂූන් වහන්සේට මාතෘකා කළ ගාථාවන් ගෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ සේක.

අනුන්ට බැල මෙහෙවර කර ජීවත්වන දුප්පත් මිනිහෙක් සැවැත්නුවර වාසය කළා. දිනක් ඔහු නගුලක් කරකියාගෙන කුලියට රැකියාවක් සොයා ගැනීමට යනව. මෙසේ යන මොහු භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැසුණා. භික්ෂූන් වහන්සේට මොහු ගැන අනුකම්පාවක් ඇතිවුනා. මේ මිනිසා ජේතවනාරාමයට කැඳවා ගෙන ගිය භික්ෂූන් වහන්සේ මොහුව පැවිදි කළා. ඔහු ගෙන ගිය නගුල සහ ඇඳගෙන සිටි වැරහැලි ඇඳුම අසල වූ ගසක අත්තක් උඩ තැබුවා. පැවිද්දෙන් දින ගණනකට පසු උපසපන් භාවයටද පත්කළා. පසුව නංගලකුල තෙරුන් යැයි ප්‍රසිද්ධ වුණා. මෙම භික්ෂූන් වහන්සේ ටික දිනක් මහණදම් රැකගෙන සිටිනවිට උකටලී බවට පත්වුණා. නංගලකුල තෙරුන්ට මෙවැනි අදහසක් පහළ වුණා. ‘මා සැදැහැවතුන් දෙන දානය වළදමින් සැදැහැවතුන් දෙන සිවුරු පෙරවා සිටීම සුදුසු නැහැ. එනිසා මම උපවැදිව මගේ පුරුදු රැකියාවට යනවා’ මෙසේ තීරණය කළ නංගලකුල තෙරුන් තම ඇඳුම හා නඟුල රඳවා තැබූ ගසමුලට ගියා. ගස මුලට ගිය තෙරුන්ට මෙසේ අදහසක් පහළ වුනා. ඔහුගේ හිත ඔහුටම අවවාද කළා. ‘නංගල මුලාවන්න එපා. ඔබ සසර කළ අකුසල් නිසා අනුන්ට බැලමෙහෙවර කළා. ඔබට සසරින් එතෙරවීමේ මඟ පෑදුනා. ඔබ පිනට පයින් ගහන්න එපා. නැවත වැරහැලි ඇදගෙන පව්කරයෙක් වී අපාගත වන්න එපා’ මෙසේ තමන්ටම අවවාද කරගත් නංගලකුල තෙරුන් ආපසු ගොස් නැවත මහණ දම් පුරනවා. මෙසේ කීප වරක්ම නංගලකුල තෙරුන්ගේ සිත උකටලී වෙනව. පැවිද්ද ගැන කළකිරෙනව. පෙර තමන් කරගත් අවවාදය සිහිපත් වෙනව. සිත දැඩිකරගෙන වීර්යය උපදවා නැවත තමන්ට අවවාද කර ගෙන ආපසු එනවා. මෙසේ නිතර ගසමුලට යන නංගලකුල තෙරුන් වහන්සේගෙන් අනෙක් භික්ෂුන් වහන්සේ මෙසේ ප්‍රශ්න කළා.

‘ඇවැත්නි, නංගකුල නිතර ගසමුලට යන්නේ කුමක් සඳහාද?’

‘ස්වාමීනි, ගුරුන් වෙත යනව‘ පවසනව. කඩමාල්ල සහ නංගුල තමාට කමහටන් දෙන ආචාර්යභාවයට පත්කරගත් තෙරුන් සති කීපයකදී අර්හත්ඵලයට පත්වුණා. ඊට පසු නංගලකුල රහතන් වහන්සේ ගසමුලට යාම නැවැත්වූවා. අනෙක් භික්ෂූන් වහන්සේ මේ ගැන ප්‍රශ්න කළා. ‘ බැඳීමක්, එක්වීමක් තිබූ දිනවල මම එහි ගියා. දැන් මම ඒ බැඳීම බිඳ දැම්මා. එනිසා මට දැන් ගසමුලට යාමේ අවශ්‍යතාවයක් නැහැ’ අනෙක් භික්ෂූන් වහසේලාට නංගලකුල රහතන් වහන්සේ පිළිතුරු දුන්නා. මෙම කතාව පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාවන්ගෙන් ධර්ම දේශනාකර වදාළා.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව භික්ෂූන් වහන්සේට දේශනා කළද, ගිහි භවතුන්ටද ඉතා වැදගත්ය. සසර ගමනක නියැලී සිටින අපට ඉතාම කලාතුරකින් ලැබී ඇති මේ මනුෂ්‍ය ආත්මය ඉතාම සුපරික්ෂාකාරීව පරිහරණය කරන්න ඕන. මිනිසා යනු බුද්ධිමත් මනසක් ඇත්තා එසේනම් අපේ බුද්ධිය මනාව හසුරුව ගන්න ඕන. සත්‍ය, අසත්‍ය හොඳ නරක වටහා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕන. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට අනෙකුත් අය කෙතෙක් එහි ආදිනව කියා දුන්නත් එය ඔහු පිළිගන්නේ නැහැ. ඔහුට ඒ සඳහා නිදහසට කරුණු අනන්ත තියෙනවා. එය ඔහු විසින්ම වටහාගන්න ඕන. මගේ් ධනය විනාශ වෙනව. මගේ් ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. අපකීර්තියට පත්වෙනවා. පවුලේ සමගිය බි‍ෙඳනව.

මත්ද්‍රව්‍ය භාවිතය මටත් මා විසින් අනෙක් අයටත් කරන විනාශයක්. මෙසේ ඔහු විසින්ම එය අවබෝධ කරගන්න ඕන. මම මීට පසු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නැහැ. තමා තමාටම අවවාද කරගන්න ඕන. සියලුම අකුසල් සිතිවිලි තම සිතට පැමිණිවිට තම බුද්ධිය මෙහෙයවා තමා විසින්ම එහි ආදීනව මෙනෙහි කරන්න ඕන.

මම මෙම අකුසල කර්මවල යෙදෙන්නේ නැහැ. මෙය මටත් අන් අයටත් විපතක්. තමන්ම අවවාද කරගන්න ඕන. “චිත්තස්ස දමතෝ සාධු - චිත්තං දන්තං සුඛාවහං” මේ පුහුදුන් සිත දමනය කරනගත යුතුය. මෙය මටත් අන් අයටත් සැපතක්ම ය. තම සිත තමන් විසින්ම දමනය කරගතහොත් එහි සැපත ලැබෙන්නේ තමන්ටමයි.

නංගලකුල තෙරුන් උටකලීව හිත කළකිරුණත් ගසමුලට යනවිට තම සිතට යථාර්ථය කාවදිනව. බුද්ධිය යහමගට යොමුකළ නංගලකුල තෙරුන් ලැබිය යුතු උපරිම ඵලය ලබනව. සියලු කෙලෙසුන් නසා උතුම් වූ නිර්වානබෝධය ලබා ගන්නව.

නූපන් අකුසල් නූපදවා ගැනීමටත්, උපන් අකුසල් ප්‍රහානය කිරීමටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් වැඩිදියුණු කර ගැනීමටත් තමන් විසින්ම තම සිතට අවවාද කරගන්න ඕන. අනෙකකු දෙන අවවාදය තමන් පිළි නොගත්තත් තමනට තමන්ගේ සිත දෙන අවවාදය පිළිගන්නව. එසේ වන්නේ තම සිත වරද නිවරද අවබෝධකර යථාර්ථය තේරුම් ගත් බැවිනුයි.

“අත්ථාහි අත්ථනෝනාථෝ - කෝහිනාථෝපරෝසියා” - තමන්ට පිහිට තමන්මය. වෙනත් අයකුට තමන්ට පිහිටවිය නොහැකිය. මෙම යථා තත්ත්වය තේරුම් ගතහොත් දෙලොවම ජය ගැනීමට එය මාර්ගය වෙනව. උතුම් අශ්වයකු රකින අශ්ව වෙළෙන්දා අශ්වයාට නුසුදුසු ස්ථානවල රැඳීමට ඉඩ නොදී කවා පොවා අශ්වයාට හොඳින් සාත්තු කරනව. එසේම අපේ සිතද මනාව සකස්කර ගන්න ඕන. අශ්ව වෙළෙන්දා විෂම ස්ථානවලට අශ්වයා නොයවන්නාක් මෙන් අකුසල් උපදින ස්ථානවලින් තම සිත ඉවත් කරන්න ඕන. අශ්වයාට කවා පොවා නහවා සාත්තු කරනවා මෙන් යහපත් දෙයටම, කුසලයටම සිත යොමු කරවන්න ඕන. වැරදි දේ වැරදි ලෙසටත්, නිවැරදි දේ නිවැරදි ලෙසටත් තම සිත තුළින්ම දකින්නේනම් එම අයට දෙලොවම සැපත උදවෙනව.”

සාරඤ්ච සාරතෝඤත්වා
අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා

සරුදේ සරු ලෙසත් නැතොත් යථාර්ථය ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්න ඕන. අසාරවූ දෙය අසාර අන්දමට තේරුම් ගන්න ඕන. අයාලේ යන සිත හසුරුවා ගෙන එයින් වන විපත අවබෝධකර එයින් අත්මිදීමට තමන්ම තමන්ට අවවාද කරගන්න ඕන. තමන් ගන්නා සෑම තීරණයක්ම ක්‍රියාත්මක කිරීමට පෙර එක්වරක් නොව කීප වරක්ම ප්‍රත්‍යවෙක්ෂ කරන්න ඕන. එවිට තම හදවතට එකඟව නිවැරදි තීරණ තමන්ට ලැබෙනව. තමන්ගේ එකම ගුරුවරයාද එකම මාර්ගෝපදේශකයා ද, නිවැරදි තීරණ ගන්නා තම සිතයි. තම සිතට එකඟව නිවැරදි යහපත් තීරණ ගන්නා අය මෙලොව පරලොව දෙලොවම ජය ගන්නව.

මැල්ලවගෙදර සමණධම්ම හිමි

තෙරුවන් සරණයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!