කුණප කොටස් 32කට සත්වයෙක් යැයි රැවටී රාගයෙන් මත් වීමට පෙර, එහි ආදීනවය මොහොතකට වත් මෙනෙහි කරන්න.
අට්ඨි කබ්කලුපමා කාමා වුත්තා භගවතා, මාංසපේසුපමා කාමා වුත්තා භගවති, තිණුක්කූපමා, කාමා වුත්තා භගවතා, අංගාරකාසුපමා කාමාවුත්තා, භගවතා, සුපිනුපමා කාමා වුත්තා භගවතා, යාච්තූපමා කාමා වුත්තා භගවතා, රුක්ඛ පලුපමා කාම වුත්තා භගවතා, අසිපුමා කාමා වුත්තා භගවතා, සත්තිසිලුපමා කාමා වුත්තා භගවතා, සප්ප සිරූපමා කාටා වුත්තා භගවතා...”
මේ උපමා වලට අනුව කාම ඇට කැබැල්ලකට, තණ (ගිනි) හුලකට, ගිනි අඟුරු වළකට, සිහිනයකට ඉල්ලා (ණයට) ගත් දෙයකට, පල සහිත රුකකට, මස් ලොඹුවකට (මස් කපන කොටසකට) ආදී වශයෙන් දක්වා ඇත. කාමයෙන් දුකම, පීඩාවම, අතෘප්තියම හටගන්නා බව ඉන් අදහස් කැරෙයි. කාමයෙහි නොඇලෙන ලෙස බුදුදහමින් උපදෙස් ලැබෙන්නේ එහෙයිනි.
බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මනුෂ්‍යාත්මය ලද සත්ත්වයන්ගේ කාර්යයන් සියල්ල කැටි කොට ගෙන සෙවීම් දෙකක් හෙවත් පර්යේෂණ ද්වියක් දක්වා ඇත. එනම්
1. අරිය පර්යේෂණය (ආර්ය පර්යේෂණය)
2. අනරිය පර්යේෂණය (අනාර්ය පර්යේෂණය)
දෙවනුව සඳහන් අනරිය පර්යේෂණය යනු කාම සම්පත් ලැබීම හා ඒවා තහවුරු කර ගැනීම සඳහා සොයන (සපයා ගන්නා) සියලුම සෙවීම් අනරිය පර්යේෂණයට අයත්ය. සත්වයා ස්වභාවයෙන්ම එහි නතු වෙයි. හෙවත් එයට අනුගත වෙයි. කාමයෙන් වෙන්ව සියලු ගැටලුවලින් තොරවීම සඳහා නිවණ අරමුණු කොටගෙන කරනු ලබන සියලු සෙවීම් ආර්ය පර්යේෂණයට අයත් වේ. එය අපහසු කාර්යයකි. එය පටිසෝතගාමි ප්‍රතිපදාවක් හෙවත් උඩුගංබලා පිහිනීමක් ලෙස දක්වා ඇත්තේ එහෙයින්ම වේ.
මිනිස් සමාජයේ පුද්ගලයන් අතර ආධ්‍යාත්මික වශයෙන් විවිධ තත්ත්වයේ අය වෙති. සසර ගමන ඉතා දිගු වූවකි. මිනිසත් බව ලැබ උපදින්නෝ ඒ දීර්ඝ සංසාර ගමනේ දී කිසියම් ප්‍රමාණයකට පින් රැස් කළාහු වෙති. ඔවුන් අතර කුසල් වැඩූ ප්‍රමාණය ද අඩු, වැඩි වශයෙන් විවිධය. ඔවුන්ගේ ඒ පූර්ව කුසලතා මතුකරගෙන, වඩා වර්ධනය කිරීමෙන් නිවන් අවබෝධ කර ගැනීම හෝ තව දුරටත් කුසල්වඩා නිවනට ළංවීමට හෝ ලද මිනිසත් භවය උපයෝගී වීමට නම් හැකිතරම් කාමයෙන් ඈත්විය යුතු ය. කාමයෙන් වැළැකිය යුතු ය. කුසල් දහම් වැඩීම කාමයෙන් වෙන්වීමත් සමඟම කැරෙන්නකි. කාමයෙහි ආදීනව බුද්ධ ධර්මයෙන් දැක්වෙන්නේ මේ නිසා ය. කාමයෙහි ආදීනව කොතරම් විස්තර කොට කීවත් සසර ගමනේ දී කුසල් වැඩූවන් මිස එසේ නොවූවන් කාමයෙන් ඈත් වන්නේ නැත. එනිසා පොදුවේ කාටත් කරුණු දැක්විය යුතුව ඇත. රූපයක් දැක හඳුනා ගත හැක්කේ ඇස් ඇත්තාට ය. ඇස් නැත්තාට කොපමණ රූප තිබුණත් දැකිය නොහැකි ය. හඳුනාගත නොහැකි ය. කාමයෙන් වෙන්වීම නමැති දැක්මද කුසල් නමැති පෙර වාසනා ගුණ ඇති පමණම අඩු වැඩි වෙයි. බුදුරජාණන් වහන්සේ සත්ත්වයන් දෙකොටසකට වෙන්කර දක්වන සේක. ඒ දෙකොටස මෙසේ ය.
1. අල්ප රජස්ක(කෙලෙස් අඩු)
2. මහා රජස්ක (කෙලෙස් වැඩි)
අල්ප රජස්ක වන්නේ ක්ලේශ ධර්මයන් අඩු පුද්ගලයන් වන අතර මහා රජස්ක වශයෙන් හැඳින්වෙන්නෝ ක්ලේශ ධර්මයන් වැඩි පුද්ගලයෝ ය. මේ අයගේ තත්ත්වයන් මනාසේ දැකිය හැකි විශේෂ ඤාණයක් බුදුහාමුදුරුවන්ට තිබේ. එහෙයින් සර්වඥයන් වහන්සේ ඒ ඒ පුද්ගලයාට සුදුසු අයුරින් දම් දෙසති. එයින් පුද්ගලනුබද්ධව ලැබිය හැකි උපරිම යහ ප්‍රතිඵල ඒ ඒ පුද්ගලයන්ට ලෝකෝත්තර වශයෙන් ලැබේ.
එහෙත් අන්‍යයන්ට බුදුරදුන්ට වෙන් චරිත විනිවිද හඳුනාගැනීමේ ඤාණය නොමැති හෙයින් පොදුවේ සමාජයට නැතහොත් පිරිසකට දහම් දෙසන්නට සිදුවෙයි එයින් ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන යහ ප්‍රතිඵලයන්හි මට්ටම් විවිධ වේ. කෙනෙකුට කිසිදු යහ ප්‍රතිඵලයක් නොලැබෙන්නට ද හැකි ය.
එහෙත් ඉහත කියැවුණු අල්ප රජස්ක පුද්ගලයන්ට යහ ප්‍රතිඵල ලැබෙනු ඇත. අල්ප රජස්ක වන්නෝ සසර ගමනේදී වැඩි වැඩියෙන් කුසල් දහම් වැඩූ අය වෙති. කුසල් දහම් එසේ වැඩූවන්ට යළි තවදුරටත් කුසල් දහම් වැඩීමට අවදි කිරීමක් මේ පිටුවෙන් කැරෙයි. මිනිසත් බව ලබන හැම දෙනාම කිසියම් ප්‍රමාණයකට සසර කුසල් වැඩූවන් හෙයින් අප පාඨකයන් හැම දෙනාටම අල්පමාත්‍ර වශයෙන්හෝ යහපතක්ම මිස අල්පමාත්‍ර වශයෙන් හෝ අයහපතක් සිදු නොවේ.
නිවන් මඟ අජාසත්ත නමැති බලවත් රජුට අහිමි වූයේ නිසි දහමක් නිසි අවස්ථාවේ නොලැබුණු නිසා ය. සෝපාක වැනි කුලහීන දුගී දරුවකුට නිවන අවබෝධ වූයේ නිසා අවස්ථාවෙහි නිසි දහමක් ලැබුණු හෙයිනි. අජාසත්හුගේ සංසාරික කුසලය ද යටපත්වී ගියේ ය. සෝපාකගේ සංසාරික කුසලය මතු වී ලද ආත්මභවයේ අකුසල භාවය දූරීභූත විය.