3/29/15

භාවනා කරන්න බැරි ඇයි?


භාවනා කරන බොහෝ අය සමඟ පුද්ගලිකව කතා බහ කරන විටදී හෙළිවන කරුණක් වන්නේ සිත එක අරමුණක රඳවාගෙන විනාඩි හත අටක් වත් ඉන්නට නොහැකි නොයෙක් දේවල් මතකයට නැගී හිත වෙනස් වන බවයි. එසේ වන අය ප්‍රකාශ කරන්නේ තවම මට හරියට ක්‍රමය අල්ලා ගන්නට බැරිවුණා. මට භාවනාව පිහිටන්නේ නැහැ. මේක කරන්නට බැරි ඉතා අමාරු කාර්යයක් ආදි ලෙසටයි.
භාවනාවට ලැදි භාවනාවට උනන්දුවක් දක්වන බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් සරණ පතන සදහම් රසය සොයමින් බුදුමඟ ගමන්කරන සැදැහැවතුන්ගේ හිත සුව පිණිස සිත එකම අරමුණක තබා ගැනීමේ රහස හෙවත් නොවරදින ක්‍රමය බුද්ධ භාෂිතයට අනුව සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් පැහැදිලි කර දීමට කැමැත්තෙමි.
භාවනා කරන විටදී සිහිය භාවනා අරමුණෙන් බැහැරවී වෙනත් අරමුණු ඔස්සේ දිවයෑමට හේතු දැනගෙන ඒවාට පිළියම් යොදා බැහැර කර ගත් විට සිත එකම අරමුණක බොහෝ වේලාවක් රඳවා ගැනීමේ හැකියාව දියුණු වෙයි. දිනපතාම එම ක්‍රමයන් භාවිත කරමින් පුරුදු පුහුණු වන විට දිනෙන් දින සිත එක්තැන් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු වන ආකාරය තමන්ටම අත්දැක ගැනීමට හැකියාව ලැබේ.
▬▬▬▬▬ භාවනා අරමුණෙන් සිත ඉවත්වී යෑමට හේතු,
1. මනස නිදහස් කර නොගෙන භාවනා කිරීමට යෑම
2. වර්තමානය හෙවත් එළැඹ ඇති මොහොත තුළ රැඳී නොසිට මනසින් අතීත හා අනාගත සිදුවීම් බලාපොරොත්තු පිළිබඳව ඇති වන වේදනාවන් තුළට බැස ගැනීම
3. භාවනාවේ ගැඹුරු අවධීන් වෙත යෑමට අවශ්‍ය මූලික සිද්ධාන්ත අනුගමනය නොකිරීම
මනස නිදහස් කර ගැනීම
සෑම සත්වයකුගේම ශරීරය නාමරූප හෙවත් සිත, කය යනුවෙන් එකට බද්ධ වූ පැවැත්මක් ඇතිව පවතින අතර නාමය හෙවත් සිතට අනුව රූපය හෙවත් කය නිරතුරුවම ක්‍රියාකරවමින් පවතී. ගමන් බිමන් යන විට වැඩ පල කරන විට කන, බොන විට ආදී බාහිර ක්‍රියාවන් කරන විටදී ක්‍රියාකාරී වන්නේ රූපයයි. භාවනා කරන විටදී රූපය අක්‍රීය කොට මනසින් මනසම ක්‍රියාකරවිය යුතුය. එබැවින් රූපය තුළින් මනස නිදහස් කරගත යුතුය. ඒ සඳහා මෙලෙසින් සිතන්න. ඊයේ රාත්‍රී කවා,පොවා සුව යහනක නිදිකරවන ලද මේ රූපකය උදයේ අවදි විය. උදේ මුහුණ කට සෝදවා පිරිසුදු කර වැසිකිළි, කැසිකිළි තැන්වලට රැගෙන ගොස් මල මුත්‍ර ඉවත් කර නැවත උදේට, දහවලට, රාත්‍රියට ආදී වශයෙන් කවා, පොවා, නාවා ඇඳුම්-පැළඳුම් අන්දවා පිරිසුදු කර පෝෂණය කෙරුවෙමි. මේ රූපයට අදට කළ සත්කාර ප්‍රමාණවත්ය. මේ මොහොතේ නාම කය හෙවත් සිත පිරිසුදු කර පෝෂණය කරගන්නා වේලාවයි. එනිසා දැන් කය පැත්තකට කර වඩා හිඳුවා හෝ නිදිකර තබමි. මේ මොහොතේ කය තුළින් විඳින සැප, දුක, උපේක්ෂා ආදී කිසිම වින්දනයක් අවශ්‍ය නැත.
රූපයට රූපයේ පාඩුවේ ඉන්නට හැර නාමය හෙවත් සිත දෙස බලමි. එහි ඇති අපිරිසුදු සිතිවිලි ඉවත් කරමින් පිරිසුදු කර ගනිමි. අපිරිසුදු සිතිවිලි පහළවන්නට ඉඩ නොදෙමි. පහලවන්නට පෙර හෝ පහලවන මොහොතේදීම ඒවා ක්‍රියාවන් බවට පත්වීමට ඉඩ නොදී ඇතුළතින්ම පළවා හරිමි. රූපයට අයත් පසිඳුරන්ගෙන් සිතට අරමුණු ගලා ඒමට ඉඩ නොදෙමි. රූපය ගැන ඇති සම්පූර්ණ අවධානය අමතක කර දමමි. සියලු අකුසලයන් පලවා හරිමින් කුසලයන් වැඩිදියුණු කරමින් සිත දමනය කර ගනිමි. සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවන් අනුව යමි.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං
ඒතං බුද්ධානු සාසනං
මෙලෙස ස්වකීය ශරීරයෙන් සිත වෙන් කර පසෙක තබාගෙන එම සිතින් කය දෙස බැලීම හෝ භාවනාවට ගත් කමටහන තුළ සිත රඳවාගෙන සිටීමට පුහුණු විය යුතුය.
භාවනා අරමුණෙන් සිත බැහැරට ගිය වහාම දැන් මගේ අරමුණ වෙනස් වී ඇත යන්න තම සිහියට නගාගත හැකි විය යුතුය. එසේ සිත වෙනස් වූ වහාම ඒ බව සිහිකර ගැනීමට හැකිවිය යුතුය. එවිට පෙර පැවැති අරමුණෙන් නැවතත් සිත රඳවා ගැනීමට හැකිවෙයි. එසේ නැතිව භාවනා අරමුණෙන් බැහැර වූ සිත ගෙදර දොර, දූ දරුවන්, රැකී රක්ෂා, ගමන්-බිමන්, වතු-පිටි වැඩපළ ආදී වෙනත් අරමුණකට ගොස් ඒවා ගැන සිතමින් කල්පනා කරමින් සෑහෙන වේලාවක් විනාඩියක් දෙකක් සිටියත් භාවනා අරමුණ සම්පූර්ණයෙන් බිඳ වැටී නීවරණයක් බවට පත් වන්නේ ය. භාවනා කිරීමට පුහුණු වන මුල් කාලපරිච්ඡේදයන් තුළදී බොහෝ දෙනකුට මෙවන් සිදුවීම් ඇතිවන අතර පුහුණුවීම තුළින්ම සිහිය රඳවා ගැනීමේ හැකියාව වර්ධනය වේ.
▬▬▬▬▬ අතීතය හා අනාගත අපේක්ෂා පිළිබඳ සිතුවිලි බරින් නිදහස් වීම
සියලුම ක්ලේෂ ධර්මයන් මනසින් බැහැර කර ගන්නා තුරු සෑම සත්ත්වයෙක්ම තණ්හා. ද්වේෂ, මෝහාදී ඔලොගු හිස මත දරාගෙන එම බරින් නෙක පීඩාවන්ට ගොදුරුවෙමින් විඳවමින් සංසාර ගමනක යෙදෙයි. මෙකී පීඩාව වෙළෙඳපොළට ගොස් දෑතටම බර මලු දෙකක් අරගෙන ගෙදර යන විට දැනෙන කායික පීඩාවට සමකර බලා තරමක් දුරට තේරුම්ගත හැක. එක අතකින් හාල් කිලෝ 10ක මල්ලකුත්, අනිත් අතින් එළවලු තුනපහ ආදී ගෙදරට අවශ්‍ය දේවල් දමාගත් කිලෝ 10ක පමණ මල්ලකුත් වශයෙන් මෙම මලු දෙක උස්සාගෙන ටිකක් දුර යන විට හොඳටම බර වැඩිවී අත්දෙක රිදුම් දෙන විට මලු දෙක බිම තබන්නට සිතෙයි. එවිට මලු දෙක බිම තබා ටික වෙලාවක් ගිමන් හැර නැවත එම මලු දෙක දෙඅතින් එල්ලාගත් විට කලින් පැවැති තරම් බරක් නොදැනී අත් දෙකට සැහැල්ලුවක් දැනෙයි. මෙහිදී දෑතට සැහැල්ලුවක් දැනුනේ බරමලු දෙක මොහොතකට බිම තැබීමෙන් දෙඅතට හා ශරීරයට ලැබුණු විවේකයයි. බර මලු දෙකේ කලින් පැවැති බර ප්‍රමාණයම නොවෙනස්ව පවතී.
මෙලෙසින්ම භාවනා කරන්නට යමෙකු සූදානම් වන විට එම මොහොත දක්වා සිත තුළ රැගෙන යමින් සිටින අතීතය හා සම්බන්ධ දුක, සැප, උපේක්ෂා, වේදනාවන් ගෙනදෙමින් පවතින සියලුම අතීත සිතිවිලි තාවකාලික වශයෙන් හෝ අමතක කර අතීතය හා සම්බන්ධ බරින් නිදහස් විය යුතුය. එසේම අනාගතය සම්බන්ධයෙන් පවතින සැප, දුක අපේක්ෂා සිතිවිලිවලින් පුරවාගත් අනාගත බරෙන් සිත නිදහස් කරගෙන එම මොහොතේ භාවනා කිරීමට අරමුණුකරගත් අනාපානසති, මරණානුස්මෘතිය, පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව ආදී සම සතළිස් කමටහන්වලින් තමා තෝරාගත් අරමුණේම සිත රඳවා ගැනීමට හොඳ සිහි කල්පනාවෙන් යුක්තව විසිය යුතුය. එසේ ටික වෙලාවක් සිටින විට අතීත හා අනාගත බර මලු සිතින් බැහැර වී යන විට එතෙක් වේලා පැවැති එම බරින් සිත මිදීම නිසාම සිතට සැහැල්ලුවක් දැනෙන්ට වෙයි. එය බර මලු දෙකක් දෙඅතට ගෙන ගමනක යෙදෙන අයකු එම මලු දෙක බිම තබා ගිමන් හැර නැවත එම මලු දෙක අතට ගත්තද ටික වේලාවක් යන තුරු බරක් නොදැනී දැනෙන සැහැල්ලු ගතිය හා සමානය.
කුමන හෝ භාවනාවක යෙදී සිට එයින් නැගී සිටිනවාත් සමඟ ටික වේලාවක් යන තුරු තාවකාලිකව සිතට දැනෙන සැහැල්ලුවට හේතුව මෙයයි. එය තේරුම් ගත් පසු තම තමන්ගේ සිත් තුළ පැලපදියම්ව තිබෙන තණ්හා ආශාවන්ගෙන් සමන්විත බරපොදි ඉවත්කර ගැනීමෙන් ලැබෙන සුවය පිළිබඳ ඇතිවන ප්‍රායෝගික අත්දැකීම (අවබෝධය) හේතුකොටගෙන එවන් අය තව තවත් භාවනා කිරීමට උනන්දුවෙමින් සිත දමනය කර ගැනීමට නිතැතින්ම පෙළෙඹෙයි.
භාවනා කිරීමට පුහුණු වන ආධුනිකයන් ඒ සඳහා සුදුසු පරිසරයක් කරා යා යුතුය.
කුමන දෙයක් වුවත් ඉගෙන ගැනීමට ඊට සුදුසු ක්ෂේත්‍රයට යා යුතුමය. වාහන පදවන්නට ඉගෙන ගැනීමට නම් මහා මාර්ගයකට ගොස්ම පුහුණු විය යුතුය. පිහිනීමට ඉගෙන ගැනීමට නම් ජලාශයක් වෙතම ගොස් පුහුණු විය යුතුය. ගොවිතැන් කරන්නට ඉගෙන ගැනීමට ගොවි බිමකට යා යුතුමය. එසේම භාවනා කරන්නට පුහුණුවීමට නම් ඊට සුදුසු තැනකට යා යුතුය. බුදුපියාණන් වහන්සේ ඒ සඳහා යා යුතු තැන් වශයෙන් ආරණ්‍ය ගතොවා, රුක්කමූල ගතොවා, සුඤ්ඤ්‍යාගාර ගතොවා යනාදී වශයෙන් භාවනාවට සුදුසු ස්ථාන ගැන දේශනා කොට වදාළේ එබැවිනි. ඥාතිත්වයෙන් තමාගේම පුතු වූ රාහුල පොඩිහාමුදුරුවන් වහන්සේටද අවවාද කළේ කැලේ තිබෙන ගසක් යටට ගොස් භාවනා කරන්නට පුරුදු වන ලෙසටය. බොහෝ පිරිස් ගැවසෙන ඝෝෂාකාරී කලබල පරිසරයන් තුළ නුපුහුණු සිතක් සන්සුන්කර ගැනීමට නොහැකිය. සමූහ වශයෙන් ඒකරාශී වී බණ භාවනා අසා දැනගෙන තනි තනිව වෙන් වෙන්ව සුදුසු පරිසර වෙත ගොස් භාවනා කරනවා නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. මෙය සමූහ භාවනා ක්‍රම විවේචනය කිරීමක් නොව සාර්ථක ප්‍රතිඵල ඇති නොවීමට හේතු පැහැදිලි කිරීමක් බව කාරුණිකව සිතා බැලීම පිණිසයි.
බුදුපියාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස්වලට මෙන්ම රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේටද භාවනා කිරීමට අවවාද අනුශාසනා කළේ නිසංසල වන අරණකට ගොස් හෝ මිනිසුන් නිතර නොගැවසෙන බඩු භාණ්ඩ නැති හිස් ශාලාවකට ගොස් හෝ සිහිල් සෙවණ ඇති අතුරු ආබාධ අනතුරු නැති වෘක්ෂයක් මුලට ගොස් උඩුකය කෙළින් තබාගෙන බද්ධ පර්යංකයෙන් හෝ අර්ධ පර්යංකයෙන් වාඩිවී භාවනා කරන්නට බහුල වශයෙන් පුරුදු පුහුණු වන ලෙසය. මෙකී පසුබිම හා ඉරියව් භාවනා කරන්නට අත්‍යවශ්‍යම මූල සාධක වෙයි.
සෑම ක්‍රියාවකටම පහසු හා ගැළපෙන ඉරියව් පවතී. ඒ අනුව ඊට සුදුසු ඒ ඒ කාර්යන්හිදී මිනිසුන් පමණක් නොව සත්ත්වයන් පවා අනුගමනය කරයි. කෑම ගැනීම, වැසිකිළි යාම, නෑම, නිදා ගැනීම නොයෙක් වැඩපල කරන විටදී ඊට ගැළපෙන ඉරියව්වකින් සිට එම කටයුත්ත කරනවිට එය පහසු වන අතර අදාළ කටයුත්තද හොඳින් සිදුවෙයි. එම නිසා තමාට පහසු ඉරියව්වකින් ඉඳගෙන සිටින්නට හැකි වුවත් එම ඉරියව්වෙන් සිත තැන්පත් කරගැනීමට නොහැකි වන්නට ඉඩ ඇති බව දැනගත යුතුය. කුඩා අවදියේ සිටම භාවනා කරන්නට පුරුදුවනවා නම් වයස්ගත වන විටත් එම ඉරියව් පැවැත්වීමට ශරීරය හැඩ ගැසෙයි.
මෙකී මූල සාධකවලින් බැහැර වී භාවනා කරන්නට දරන උත්සාහයන් බොහෝ විට අසාර්ථක වේ. සිත තරමක් දුරට හෝ භාවනාවට හුරු කර ගැනීමට නම් මෙකී මූලික බුදුන් වහන්සේගේ උපදේශ පිළිපැදිය යුතුය. පැරැණි විහාර ආරාම සෑම එකක්ම ඉදිකර ඇත්තේ සිත සන්සුන් කර ගැනීමට හේතුවන ගස් ගල්, ඇළ, දොළ ගංඟා ආශ්‍රිත සොබා සිරියෙන් සිත් සන්සුන් කර ගැනීමට අදාළ පරිසර පද්ධති තුළය. මෙකී න්‍යාය එදාට පමණක් නොව අදටත්. අනාගතයටත් එසේම වනු ඇත. මෙකල බොහෝ දෙනකු භාවනාවට යොමුවීම අගය කළ යුතු වුවද කරන්නන් හා කියන්නන් වාලේ භාවනා කරන්නට ගොස් අසහනයට පත්වනවාට වඩා භාවනා කරන අය දැනගත යුතු හා පිළිපැදිය යුතු මූලික උපදෙස් අනුව කටයුතු කිරීමෙන්ම සිත ටිකෙන් ටික සුවපත් භාවයට පත් කර ගත යුතුය.
.
කොබ්බෑවල සුමනදාස වීරසිංහ