7/25/20

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා


ගිහිගෙයි දොස් දැකීම.

 

මගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත් මරණයෙන් මෙලොව හැර යාමේදී කිසිවක් ගෙනයාමට නොහැකි වී තියනවා. සියල්ලම අතහැර ගිහින්. එසේනම් මෙම ධනය රැස් කිරීමේ සුරැකීමේ ඵලය කුමක්ද? ඒ සඳහා වැය කරන කාලය මරණයත් හා සමග ගෙනයාහැකි ධනයක් රැස් කිරීමට යොදවන්න ඕනේ. ඒ විතරක් නෙවි. මෙම ජීවිතය ඉපදීම ලෙඩවීම වයසට යාම, මරණය යන මේ උවදුරන් ස්වභාව කොට ගත්තක්. එසේනම් මෙය පිටුදැකිය හැකි ධර්මයක් වේද එය සොයා යා යුතයි. හරියටම එය මේ වගේ දෙයක්. දුක තිබේනම් එයට ප්රතිපක්ෂව සැප තියනවා වගේ උණුසුම ඇති කල්හි සීතල ද ඇති සේ, පාපය ඇති කල්හි කුසලයද ඇති සේ මේ සියලු දුක් ගෙනදෙන ඉපදීමක් ඇත්ද එයට ප්රතිපක්ෂව සියලු දුකින් තොර නොඉපදිමක්ද, නිවනක්ද තිබිය යුතුම බවයි.

 

එසේම අසුචියෙන් ගිලුණු මිනිසෙකු පිරිසිදු ජලාශයක් දැක වත පිරිසිදු කර ගැනීමට එහි නොයන්නේ නම් එය ජලාශයේ දෝෂයක් නොව ඔහුගේම දෝෂයක් වන්නාසේම, රෝගී වූ මිනිසෙකු ඒ රෝගය සුවකලහැකි වෛද්යවරයා වෙත නොයන්නේනම් ඒ වෛද්ය වරයාගේ වරදක් නොව ඔහුගේම වරදක් සේම, කෙළෙස් රෝග දුකින් පෙළෙන පුරුෂයා ඒ රෝග දුකින් මිදෙන නිවන් මග දක්වන ගුරුවරයා වෙත නොයන්නේනම් එය ගුරුවරයාගේ වරදක් නොවන බව සිතා මෙලෙස නොයෙක් උපමා උපමෙයන් සිහියට නගමින් සිත සකසා ගනිමින් ඒ මහා නෙක්කම්ම නික්ම යාමට තීරණය කරනු ලැබුවා.

 

ගිහිගෙයින් නික්මීම.

 

මෙසේ සිතමින් සියලු වස්තුකාමයන්ද රාගාදී ක්ලේශ කාමයන්ද අතහරිමින් ඔහුටවත් සිතා ගැනීමට බැරි තමා සතු ප්රමාණ කල නොහැකි අපමණ ධන සම්පත් දුගී මගී යාචකයනට දන් දෙන්නට නියම කොට ඒ මනරම් අමරවතී නුවරටත්, මාළිගාවටත් සමුදුන්නා. ඒ ගෝෂාකාරී අමරවතී නුවරට සමු දී හිමවත පාමුල ඇති ධම්මික නම් පර්වතයට පිය නගන්න වුනා. මෙතෙක් කලක් අතට පයට ලැබුණු සියලුම සත්කාර වෙනුවට තමා විසින්ම සියල්ල සපයාගත යුතු බව මතක් වෙන්නත් ඇති. එහෙත් දුක කෙලවර කිරීමේ සතුට ඒ සියලු අභියෝගයන් ඉවතලන්නත් ඇති. දැන් ඔබට පෙන්න ඕනේ බෝසත්වරයෙකුගේ සෑම ආත්ම භවයක ම දස පාරමිතා එකක් නොව දානය, ශීලය, නෙක්ඛම්මය, පඤ්ඤා, විරිය, ඛන්ති,සච්ච, අධිට්ඨාන , මෙත්තා, උපෙක්ඛා ආදී වශයෙන් සියල්ලම වගේ වැඩෙන ආකාරය.

 

සක්දෙවිඳුගේ අසුන රත්වීම සහ මනරම් අරන්යයක් මැවීම.

 

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී ශක්ර දෙවිඳුගේ ආසනය උණුසුම් වන්නට වුනා. ඒ ඇයිදැයි විමසා බලද්දී තමයි සුමේද කුමාරයාගේ ගිහිගෙයින් නික්මීම දකින්නට ලැබුනේ.

 

සක්දෙවිඳුගේ සිත ප්රීතියෙන් පිනා ගියා. ඒ මතු බුදුවන තවත් බෝධිසත්වයෙකුගේ ප්රථම නියත විවරණ සඳහා ගිහිගෙයින් නික්මීම සඵල වීම යන කාරණය දැකීමෙන්. එහෙත් අනේකවිධි සැප සම්පත් විඳිමින් ගතකල රජ මාලිගයකින් නික්ම කිසිත් අහුහරනයක් නැති මහා වනයක් වෙත යන මෙම ඓතිහාසික ගමනට උදවු කිරීම අත්යාවශ්ය කාරණයක්ම මෙන්ම තමන්ගේ යුතුකමක් ලෙසද වැටහුණා. දෙවු රජ තව මොහොතක්වත් ප්රමාද වුනේ නැහැ. ඒ මොහොතේම විශ්වකර්ම දෙවිපුත් එහි කැඳවනු ලැබුවා. ඉන්පසු සුමේධ පඬිතුමා ආරණ්ය ගතවීම සඳහා ගිහිගෙයින් නික්ම හිමවතහි ඇති ධම්මික පර්වතය වෙත පිය නගන බවත් ඔහුට වාසය කිරීමට සුදුසු අරන්යයක් තනා දෙන ලෙසටත් නියම කරනු ලැබුවා. බෝසතාණන් වහන්සේ ධම්මික පර්වතය වෙත ගමන් කරනා කාලය අතර තුර සක්දෙවිඳුගේ අණ පරිදී විශ්වකර්ම දෙවියන් විසින් සිත්කළු අසපුවක්ද, ආරක්ෂා සහිත පන්සලක්ද, මනරම් දෝෂ පසකින් තොර සක්මන් මලුවක්ද මවනු ලැබුවා. මෙම අසපුව මවන ලද්දේ අභිඤ්ඤා බලය සහ විපස්සනා බලය ලබා ගැනීමට සුදුසු ලෙසම කියලයි දේශනාවේ තියෙන්නේ.

 

සක්මන් මලුවක ඇති දොස් පස.

 

1. තද බව සහ විසම බව. - එම නිසා සක්මනේ ගමන් කරන්නාගේ පා රෙදෙයි. සිතෙහි එකඟ බවක් නොල් ලබයි. කමටහන සඵල නොවේ.

 

2. ඇතුලත ගස් ඇති බව - සක්මනේ ඇතුලත හෝ මැද හෝ කෙළවරේ හෝ ගසක් තිබීමෙන් අමතක වීමකින් හෝ නළලෙහි හෝ හිසෙහි ගැටීමෙන් කමටහනට බාධා ඇතිවිය හැක.

 

3. කැලෑවෙන් වැසුණු බව - තණ ගස්වැල් ආදියෙන් ගැවසුණු සක්මනෙහි සක්මන් කිරීම නිසා උරග ආදී සත්තු පෑගීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වීම වගේම ඔවුන් දෂ්ට කිරමෙන් විපතට පැමිණීමද විය හැක.

 

4. ඉතා ලුහුඬු බව - රියනක් හෝ රියන් භාගයක් පමණ පළලින් යුතු සක්මනෙහි සක්මන් කරන්නෙකුගේ පය පැටලීමෙන් නිය, පය හෝ ඇඟිලි බිඳිය හැකිවීම.

 

5. ඉතා විශාල බව - ඉතා විශාල සක්මනෙහි සක්මන් කරන්නා ඔබමොබ දුවයි. සිතෙහි එකඟ බවක් නොලබයි. විශාල බව පස්වෙනි දෝෂයයි.

 

මෙම දෝෂ පහෙන් තොර වූ සක්මන් මලුවක්ද මවා බෝසතාණන් වහන්සේගේ පැමිණීමට පෙරාතුව විශ්වකර්ම දේවරාජෝත්තමයන් වහන්සේ අන්තරස්දහන වුනා.

 

අසපුවෙහි අලංකාරය , බාධක නවයකින් යුතු වස්ත්රය, දොළොස් ගුණයකින් යුතු වැහැරි සිවුර, අට දෝෂයෙන් යුතු පන්සල, ආනිශංස දහයකින් යුතු රුක්මුල, අට වැදෑරුම් පැවිදි සැප, වස විස නැති ස්වයංජාත ඵලවැල. දීපංකර බුදුන් ලොව පහලවීම….

 

 

මෙතෙක් වත දරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සළුපිළි හිස්වැසුම් වේද මේ සියල්ල මුණි වැලෙහි බහා තබා දිව්යමය හස්තයකින් මවන ලද කොටකරඩු මල් දමක් වැනි වූ රතු වූ වැහිරි සිවුර ගෙන හැඳ ඒ මත්තෙහි රන්වන් වැහැරී සිවුරක් පොරවා දොඹ මල් ඇතිරිල්ලක් වැනි කුර සහිත අඳුන් මුව සම එකාංග කොට ජටා මඩුල්ල මුදා කෙස්වැටිය සමග නිසල බව සදහා හරහිද්ද ගසා මුතුලැල් සමග සාල්ලෙහි පබුලුවන් කෙණ්ඩිය බහා තෙතැනකින් නැමුණු කද ගෙන කදෙහි එක් කොණක කෙන්ඩියද, අංකුෂ පැස හා ත්රිදණ්ඩාදිය ද එල්ලා කද් බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයෙටිය ගෙන පන්සලින් නික්ම සක්මන් මළුව වෙත පිය මනින්නට වුනා.

 

මෙලෙස ගෙනා කද බර සක්මන මැද තිබු ගල් තලාවේ බහා තබා සක්මන් මළුවේ ඔබ මොබ සක්මන් කරමින් තමන්ගේම පැවිදි වේශය දෙස බලමින් මෙසේ සිතන්නට වුණා. "මගේ මනදොළ සඵල වුනා. මේ පැවිද්ද ඉතාමත් පැහැපත්.මේ පැවිද්ද වනාහි බුද්ධාදී සියලු උතුමන් පසස්නා ලද්දක්. මගේ ගිහි බන්ධන සිඳීණී. අභිනික්මණ කළෙමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදී. මහණ දම් පුරමි. මග ඵල ලබමි."

 

මෙසේ සිතමින් පැමිණ සක්මන මැද නිමවූ ගල් තලාවේ රන් පිළිමයක් මෙන් හිඳිමින් අට වැදෑරුම් පැවිදි සැපය ගැන සිතන්නට වුනා.

 

අට වැදෑරුම් පැවිදි සැපය.

 

1. ධන ධාන්ය අයිතිය නැති බව.

2. නිවැරදි පිඬු සිගීමෙන් අහර සෙවීම.

3. නිවුණු ආහාර වැළඳීම.

4.රජවරු රටවැසියන් පෙලා කහවුණු ලබා ගනිද්දී එවැනි රට වාසින් පෙලීමේ ආශාවක් නැති බව.

5. පරිභෝග වස්තුවල කැමැත්තක් නැති බව.

6. සොරුන් පැහැර ගනිතැයි බියක් නැති බව.

7. රජ ඇමති ආදීන් හා සබඳතා නැති බව.

8. සිවු දිගින්ම නිර්භය බව.

 

මෙසේ දවස් භාගයක්ම පැවිදි සුවය ගැන මෙනෙහි කරමින් සිටිමින් ගත කොට සවස් කාලයේ නැවතත් පන්සල වෙතට පිය මැන්නා.

 

ඒ පන්සල මවා තිබුනේ අමුතුම ආකාරයට. හිමවත සිට ගලාගෙන පැමිණි මද වියලි සුළඟ රැගෙන පැමිණි පිරිසිදු වාතය ට ගිරි මුදුන්වල වැවෙන නානාවිදී පුෂ්පයන්ගේ සුවඳ තැවරිලයි තිබුනේ. ඒ සුවඳ මුළු පන්සලම සුවඳවත් කරමින් එක් පසෙක සිට අනෙත් පසට ගලා ගියා නිරන්තරයෙන්ම. තවුතිසා වෙහි පැවති මල් වර්ගයක් ඒ සුළඟ වැදී රිදී සීනුවක හඬ නංවනු ලැබුවා. ඊට අමතරව ඒ සදෙවූ සල් ගස් වල පිපි සල්මල් රැය පුරා විදිලුබුබුළු දල්වලා වගේ එලිය දෙනවා. ඒ එළියෙන් මුළු පරිසරයම දැල්විලා. ඔබ මොබ ඇවිදින රන් මුවන්ගේ ඇඟ විනිවද පේනවා. මෙම සදෙවූ අසපුවේ සිරි නරඹමින් පැමිණි සුමේධ තවුසා එහි ඇති වැල් හාන්සි පුටුවක දිගාවුණා. දිගා වෙලා මෙලෙස හිතන්න පටන්ගත්තා.

 

එදා රාජ රාජ අමාත්යවරු හඬා වැටී නැවත නැවත ඇවිටිලි කරද්දීත් රජකම අත් හැරියා පමණක් නෙවෙයි කැමති කෙනෙකුට කැමති ලෙස ගෙනයන්න කියා සියලු භාණ්ඩාගාර විවර කරණු ලැබුවා. ඒ ගිහිගෙයි ආදීනව දැක ප්රමාණ කල නොහැකි දනය සහ යසස අතහැර වනයට පිවිස නිවන් මග සොයන්නට පැවිදි වූ මට තවත් විහාර කුමකටද? මෙතැන් පටන් තව දුරටත් ප්රමාදීව විහාරවාසීව හැසිරීම සුදුසු නොවේ. දැන් මම කාය හා චිත්ත විවේකය වර්ධනය කරන්නට පටන් ගන්න ඕනේ. මෙම බෙලිඵල වර්ණයෙන් පිරියම් කරන ලද රිදී මෙන් බිත්ති ඇති කොළ සෙවිළි කල පියස්ස පරෙවි පිය වර්ණ ඇති අසපුව මගේ රජ ගෙදර තිබු ගිහි සැපයටත් වඩා සැප ඇති තැනකි. නිවන් මගට බාධාවක්. ඒ නිසා මෙතැනින් ඉක්මණට නික්මෙන්න ඕනේ. මෙලෙස සිතමින් පන්සලේ ඇති දෝෂ අටක් දකින්නට වුනා.

 

දෝෂ අටකින් යුතු පන්සල.

 

1. එය නිම කිරීමට මහත් උත්සාහයෙන් දැව ආදී ද්රව්ය රාශියක් සෙවිය යුතු බව එකකි.

2. තණකොළ මැටි ආදිය වැඩුණු වැටුණු පසු නැවත ප්රතිසංස්කරණය කල යුතු බව තවකෙකි.

3. සෙනසුන් වනාහි වැඩිමහල්ලන්ට ලැබිය යුතුය. අවේලාවෙහි නැගිටවන කල්හි සිතේ එකඟ බවක් නැති වෙයි. මෙසේ නොකල්හි නැගිටිය යුතු බව එකකි.

4. ශිතෝෂ්ම වැළකීම නිසා සිරුරෙහි ඇති වන සුකුමාල බව එකකි.

5. ගෙය තුල සිටින්නාට දොස් සහිත දෙය කිරීමට පහසුය. මෙසේ වරද සැඟවිය හැකි බව පස්වෙනි දෝෂයයි.

6. මමත්වයෙන් අල්ලා ගැනීම සයවෙනි දෝෂයයි.

7. ගෙයක හිමිබව දෙවැන්නෙකු සමග සිටීමකි. මේ සත්වෙනි දෝෂයයි.

8. උකුණු මකුණු හිකනළු ආදී ගෘහස්තයන්හි වෙසෙන නානාවිධි සතුන් අටවෙනි දෝෂයි.

 

මේ සියල්ල ගැන මනා ලෙස මෙනෙහි කරමින් හෙට උදැසනම මෙම පන්සල අතහැර දස ආනිසංසයෙන් හෙබි රුක්මුලට යායුතු බව තීරණයට එළඹුනා.

 

ආනිශංස දහයකින් යුතු රුක්මුල, වස විස නැති ස්වයංජාත ඵලවැල. දීපංකර බුදුන් ලොව පහලවීම, බුදු කෙනෙකුන් පහළවීමේදී ඇතිවෙන දෙතිස් පෙර නිමිති, බුදුබව පැතීම, නියත විවරණ සඳහා පුර්ණ කල යුතු අෂ්ඨ ධර්ම. නියත විවරණ ලැබීම, දෙවියන් ඹබුන් ප්රීතිඝෝසා පැවැත්වීම. දස දහසක් සක්වල කම්පාවීම. ....