3/19/17

සීවලී මහරහතන් වහන්සේ…..


කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.
පියමතුරා සර්වඥයන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.
එතැන් සිට අති දිර්ඝ කාලයක් මුළුල්ලේ භවයක් භවයක් පාසා සුගති සම්පත් විද “විපස්සි නම් බුදුරජාණන් කාලයේ පිටිසර ගමක මෙතුමා උපන්නේය. තමාගේ ස්වාමීයා වෙත කිරිත් මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා හා විශාල කණ්ඩායමක් එක්වි මහා දානෝත්සවයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලාට පිළියෙල කරන බව දැක‍්කේය. එම මහා දානයට කිරිත් මී පැණිත් පුජා කිරිමට මෙතුමාට අවස්ථාව ලැබුනේය. එම කිරි හා මී පැණි පුජා කළ අවස්ථාවේදීද මෙතුමාගේ ප්‍රාර්ථනාව වුයේ ප්‍රත්‍ය ලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබා ගැනිමට සමත්වේවා යනුයි.
එම ප්‍රාර්ථනාව අනුව අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේගේ මාතෘ පක්ෂ ඥාතියකු වන කෝලිය රජතුමාගේ දුවණියකවන “ සුප්පවාසා” නම් කුමාරියගේ කුස පිළිසද ගත්තේය.
සුප්පවාසා කෝලිය රාජ දුහිතෘවගේ කුස තුළ සීවලී කුමරා සිටිද්දී එම මාතාවට උදය – සවස තෑගි බෝග පන්සියය පන්සියය වශයෙන් පුද පඩුරු නොයෙක් දෙසින් ලැබෙන්නට විය. මෙතුමිය භාජනයෙන් බත් සැන්දක් ගත් සෑම අවස්ථාවකම එම භාජනයේ අඩුවක් නොවුයේය. නිතරම ගත් ගත් දේ පීරි පැවතියේය. වී අටුකොටු ආදියට අත තැබු විට ඒවා පිරි පැවතුනා. වපුරණ වී වලට අත ගැසු කල එයින් ලැබෙන ධාන්‍ය සත් ගුණයක්ව ලැබුණා. මේ හේතුවෙන් මුළු කෝලිය ජනපදයේම සීවලි මාතාවගේ ගුණ ප්‍රකට විය. මෙතුමියට දෙවිකෙනෙකුට මෙන් සලකන්නට පටන් ගත්හ.
කෙසේ වෙතත් කුස තුළ සිටි (සීවලී) කුමාරාත් සුප්පවාසා රජ දුවණියත් පෙර කළ අකුශල කර්මයක් නිසා දස මාසයක් මවු කුස සිටිනවා වෙනුවට සත් අවුරුදු කාලයක් මුළුල්ලේ මේ දරුවාට මවුකුස සිටිමට සිදුවිය. (අවුරුදු හතයි – මාස හතයි – දවස් හතක්)
අන්තිම සත්වන දින මව මරණාන්තික වේදනාවට පත්වුවාය. අන්තිම දිනයේ දී තම හිමි (ස්වාමීයා) වන මහාලී රජුට තම ජිවිතය සැක සහිත බව පැවසුවාය. බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමාගේ නමින් වැද උන්වහන්සේගේ දේශනාවත් අසා එන ලෙස ද පවසා මතක දානයට වඩින්නට බුදුරජුන්ට ආරාධනා කරන ලෙසත් කීවාය.
එම රාජපුත්‍රයාද බුදුන් වහන්සේ කරා ගොස් වැද සුප්පාවාසාගේ වැදීමෙන්ද වැන්දේය. එතුමා ඇගේ ඉල්ලිමද බුදුන් වහන්සේට දැන්වුයේය. බුදුරජානන් වහන්සේ “ මහා කරුණාවෙන් සුප්පාවාසාත් ගැබ තුළ පුතාත් සුවපත් වේවායි වදාරා නිරෝගීව පුතා බිහිවේවායි ද පැතුසේක. ඒ ප්‍රර්ථනාය සමගම වාසනාවන්ත පුත්‍රයා බිහිවිය. බුදුරජාණන් වහන්සේ සමග මහා සංඝයා වහන්සේද එහි වැඩි සේක. සීවලී මාතාව බුදුරජාණන් වහන්සේට මෙසේ දැන්වුවාය. මා ඔබ වහන්සේට ආරාධනා කළේ මතක දානයට වඩින ලෙසය. එහෙත් ඔබ වහන්සේ පුතාගේ ජන්ම දිනයට වැඩිසේක යනුයි. මෙසේ කියා අද පටන් සත් දිනක් මගේ දාන පුජාවට වඩින ලෙස ඇය බුදුන් වහන්සේට ආරාධනා කලාය. උන්වහන්සේද සත් දින දානය පිළිගත් සේක.
සීවලී කුමරා මවුකුස සත් අවුරුද්දක් සිටි නිසා ඔහුට කථා කිරිමටත් ඇවිදිමටත් පුළුවන් විය. සත් දින දානයේ දී සීවලී කුමරා පැන්දිම දන්දීම් ආදි වතාවත් කරන්නට ද හැකිවිය. සත් අවුරුද්දක් මවුකුස වාසය කළත් ඔහුගේ ශරිර ශෝභාව දර්ශනීය විය. ඥාතින්ගේ සිතට අති මහත් සන්තෝෂයක් ගෙන දුන් නිසා මේ කුමාරයා සීවලී නම තැබීය.
සත් දින දානයෙන් පසු සැරියුත් තෙරුන් වහන්සේට කුමරා පැන් දෙනවිට උන්වහන්සේ මෙසේ ඇසුසේක. “ සීවලී ඔබ මවුකුස තුළ සත් අවුරුද්දක් දුක් වින්දානේද? ඔබ පැවිදි වෙන්න කැමතිද? යනුයි. මගේ අම්මා මහණවීමට අවසර දෙන්නේ නම් අදම පැවිදි වන බව සීවලී කුමරා පැවසීය. ඒ ඇසු සීවලී මාතාව කුමරා සසුන් ගත කරවන්නට මහා සංඝයා වහන්සේලාට භාරදුන්නාය. සැරියුත් මහරහතන් වහන්සේ උපාධ්‍යායයෝ වුසේක. මුගලන් මහරහතන් වහන්සේ ආචාර්යවරයෝ වුහ.
කුමරා පැවිදි කරන්නට සියල්ල සුදානම් විය. “ සීවලී ඔබ මවුකුස සිටි දුක සිතා ගෙන එයම භාවනාවට නිමිත්තක් කරගන්න වෙනත් අනුශාසනාවක් ඔබට අවශ්‍යය නැතයි උපාධ්‍යායන්වහන්සේ වදාළ සේක. එසේම හිසකෙස් බාන විට “ තචපංචකය” කර්මස්ථාන භාවනාවට පුහුණු කරවුහ. ප්‍රථම කෙස් රොද කපන විට “සීවලී” කුමාරයා සෝවාන් වුහ. සියලුම හිසකෙස් බාන්ට ප්‍රථම මහරහත් පදවියට පත් වුහ. ත්‍රිවිද්‍යා – ෂඩ් අභිඥාලාභිව සිවුපිළි සිඹියාවත් ලැබුහ. එපමණක් නොව ත්‍රිපිටකධාරි බවට ද පත්වුහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් විමට පසුවය.
මේ සීවලි මහ රහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්‍රත්‍යයද ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පුජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. “ මට මේ පුජා ලැබෙන්නේ නගර වලදී පමණක් ද ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල දීත් ලැබේද? මෙය පරික්ෂාකර බැලිය යුතුයයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමග 1 වර හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්‍යහාර පුජා කළහ. 2 වර පාණ්ඩව පර්වතයටද 3 වර අචිරවති ගංතෙර අසලටද 4 වර සාගර තලයටද 5 වර හිමවන්තයටද 6 වර ඡද්දන්තයයටද 7 වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වහන්සේට දිව්‍යමය ආහාර පුජා කළහ.
8 වර තිස් දහසක් භික්ෂුන් හා සීවලී මහරහතන් සමග බුදුරජාණන් වහන්සේ ඛදිරවනිය රේවත ස්වාමීන් දකින්නට දින 15 ක් ගමන යද්දී සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍යානු භාවයෙන් දෙවියෝ බිමට බැස මිනිස් වෙසින් උන්වහන්සේලාට දානය දුන්හ. ආපසු වඩින විටද එහි ගත කළ දින 15ටද යන දින 45 තුළ සිවුපසය දුන්හ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී සිවුවණක් පිරිස මැදදී සීවලී මහරහතන් වහන්සේට ප්‍රත්‍යලාභීන් අතර ප්‍රධාන තැන පැවරූසේක.

3/17/17

විඥානස්කන්ධය



විඥානය යනු සිතට ම ව්‍යවහාර කරන නමෙකි. අතීතාදි වශයෙන් භින්න වූ අනේක ප්‍ර‍කාර විඥානයන් එක් සමූහයක් කොට සලකා ඒ සියල්ලට ම විඥාන ස්කන්ධය යි කියනු ලැබේ. සිත් සමූහය යනු එහි තේරුමයි. සිත උපදිනුයේ චක්ෂු ශ්‍රෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා කාය මන යන සදොරෙහි ය. එබැවින් උත්පත්ති ද්වාරයන්ගේ වශයෙන් විඥානස්කන්ධය දක්වන සේක් -
“කතමඤ්ච භික්ඛවෙ! විඤ්ඤාණා? ඡයිමෙ භික්ඛවෙ විඤ්ඤාණකායා, චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං, අයං වුච්චති භික්ඛවෙ විඤ්ඤාණං” යනු වදාළ සේක. “මහණෙනි! විඥානය කවරේද යත්? මහණෙනි! චක්ෂුර් විඥානය, ශ්‍රෝත විඥානය, ඝ්‍රාණ විඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය යන මේ සය විඥාන සමූහයෝ ය. මහණෙනි, මෙය විඥානය යි කියනු ලැබේය” යනු එහි තේරුමයි.

මෙයින් විඥානය චක්ෂුර් විඥානාදි වශයෙන් සවැදෑරුම් වන බව ප්‍ර‍කාශිතය. ඇස ඉදිරියට රූපයක් පැමිණි කල්හි ඇස ඇසුරු කොට, ඉදිරියට පැමිණියා වූ වස්තුව දැන ගන්නා වූ සිතක් පහළ වේ. එයට චක්ෂුර් විඥානය යි කියනු ලැබේ. ඇස කරණකොට ගෙන ඇස ඉදිරියෙහි වූ වස්තූන් දැන ගැනීම සිතක් වුව ද සාමාන්‍ය ජනයා එයට සිතය යි නොකියා, පෙනීම යයි ද දැකීම යයි ද කියති. ශබ්දයක් කණ කරා පැමිණි කල්හි එය දැන ගන්නා සිතක් පහළ වේ. එයට ශෝත්‍ර‍ විඥානයයි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිත යයි නො කියා ඇසීම යයි කියති.

නැහැයට ගඳක් හෝ සුවඳක් පැමිණි කල්හි නාසයෙහි පහළ වන්නා වූ ගඳ සුවඳ දැන ගන්නා සිත ඝ්‍රාණ විඥාන නම් වේ. දිවට රසයක් පැමිණි කල්හි ඒ රසය දැන ගන්නා සිතට ජිව්හා විඥානය යි කියනු ලැබේ. මේ දෙකට ද සාමාන්‍ය ජනයා ගඳ සුවඳ දැනීම රස දැනීම යයි කියති.

ශරීරයෙහි යම් කිසිවක් හැපුන විට එය දැන ගන්නා සිතට කාය විඥානය යි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිතකැයි නොකියා: රිදීමය, දෑමය, කැසීමය, කිතිය, සනීපය යනාදි නම් කියතා. ඉතිරි සියලු ම දැනීම්වලට මනෝ විඥානය යි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා විසින් බොහෝ සෙයින් සිත යයි කියනු ලබන්නේ ඒ මනෝ විඥානයට ම ය. ලෝකයෙහි දැකීමය පෙනීමය ඇසීමය රිදුමය සනීපය දැනුමය යනාදි නොයෙක් නම් වලින් ව්‍යවහාර කරනු ලබන දැනීම් සියල්ල ම විඥානස්කන්ධය වූ සිත ම බව දත යුතු. විඥානය හෙවත් සිත කුශලා’කුශල අව්‍යාකෘත වශයෙන් ද ත්‍රිවිධ වන්නේය. දානාදි ක්‍රියා විෂයෙහි පවත්නා වූ අලෝභ අද්වේෂ අමෝහ ශ්‍රඬාදි කුශල පාක්ෂික චෛතසිකයන් හා යුක්ත වූ විඥානය කුශල විඥාන නම් වේ. ඒ කුශල විඥානය ප්‍රභේද වශයෙන් එක්විසි වැදෑරුම් වේ. ප්‍රාණඝාතාදි අකුශල වශයෙන් පවත්නා වූ ලෝභ ද්වේෂ මෝහාදි අකුශල පාක්ෂික චෛතසිකයන් හා යුක්ත වූ විඥානය අකුශල විඥාන නම් වේ. ප්‍රභේද වශයෙන් අකුසල විඥාන දොළසකි. කුශලාකුශල භාවයට නො පැමිණෙන විඥානය අව්‍යාකෘත විඥානය යි. ප්‍රභේද වශයෙන් අව්‍යාකෘත විඥාන සපනසකි. “ඵෙණපිණ්ඩූපමං රූපං - වෙදනා බුබ්බුලුපමා.
මරීචිකූපමා සඤ්ඤා - සංඛාරා කදලුපමා,
මායූපමඤ්ච විඤ්ඤාණං - දීපිතාදිච්චබන්ධුනා”
“රූපස්කන්ධය පෙණ පිඬකට බඳු උපමා ඇත්තේය. වේදනාස්කන්ධය දිය බුබුලකට බඳු උපමා ඇත්තේය, සංඥාස්කන්ධය මිරිඟුවකට බඳු උපමා ඇත්තේය. සංස්කාරස්කන්ධය කෙසෙල් කඳකට බඳු උපමා ඇත්තේය. විඥානස්කන්ධය මායාවකට - විජ්ජාවකට බඳු උපමා ඇත්තේය. මෙසේ බුදුරජාණන් වහ්නසේ විසින් දක්වන ලද්දේය.” යනු ගාථාවෙහි තේරුමයි.

මතු සම්බන්ධයි! රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

3/16/17

නිවනින් නිවී යාම නම් ඔබගේ අභිප්‍රාය ශ්‍රවණය කරන්න මේ දේශණය ඔබ ඉන්නේ කොතනද හඳුනා ගන්න කල යුත්තේ කුමක්ද තෝරා බේරා ගන්න ...!!

නිවනින් නිවී යාම නම් ඔබගේ අභිප්‍රාය ශ්‍රවණය කරන්න මේ දේශණය ඔබ ඉන්නේ කොතනද හඳුනා ගන්න කල යුත්තේ කුමක්ද තෝරා බේරා ගන්න ...!!

සියලුම රූප (රූපස්කන්ධය)


එතකොට ‘රූපස්කන්ධ කියලා කියන්නේ මෙන්න මේ රූප ටික ඔක්කෝම එකට එකතු කරලා’. රූප එකොළහක් ගැන අපි කතා කළා නේ දැන්. ඒ ඔක්කෝම එකට එකතුකරලා කැටි කරලා, කියනවා රූපස්කන්ධය කියලා.ඒ රූප ස්කන්ධයේ එක එක රූපවල පෞද්ගලික ගති ලක්ෂණ තියෙනවා. ඒ ඒ තැන්වල විසිරිලා, ඒ ඒ තැන වලින් හමුවෙන කොට එකොලොස් ආකාරයකට විසිරිලා වැටිලා තියෙන රූප ටිකක් හම්බවෙනවා. ඒ හම්බවෙන රූප ටික ගැන අපි දැනගන්න ඕනේ. දැන් ඒ රූපය ලෝකයාට හමුවන ආකාර ටික නේ කිව්වේ. ඒ රූපය දැනගන්නකොට ඒ ඒ තැන්වල වැටිලා තියෙන රූපය ගැන දැනගන්න බුදුරජාණන් වහන්සේ මේ ධම්මසඞ්ගණිප්‍රකරණය පෙන්නනවා. ඒකේ රූපය ගැන, එක, දෙක, තුන, හතර, පහ, හය, හත කියලා නිපාත ක්‍රමයට , ඒකාදස , එකොළොස් ආකාරය දක්වා පෙන්නනවා. ඒකයි මම කිව්වේ මේ ස්කන්ධයන්ගේ රූපස්කන්ධය දැනගන්න ගියොත් මේ ධම්මසඞ්ගණියේ රූපස්කන්ධය ගැන ඔක්කොම ටික උගන්වන්න වෙනවා. රූපස්කන්ධය ගැන දැනගන්න, ඒ තුලින් ඒ පමණකට ම කෙලෙස් දුරුකර ගන්න පුළුවන්. අපට සමහරවිට හිතෙන්නේ ‘‘මේවා ඔක්කෝම ඉගෙනගෙන නිවන් දකින්න කොහොමද’’ කියලා. එහෙම ඕනෙ නැහැ. නමුත් මේවා ඔක්කෝම ඉගෙනගත්ත තරමින් නිවන් දකින්න පහසුයි. එතකොට මේ රූප ටිකේ දී හැම රූපයක් අරභයා ම, ‘ඒකාන්තයෙන්’ කියන්න පුළුවන් ධර්මකතා ටිකක් ඒකක නිපාතය තුල තියෙනවා . ඒකක නිපාතය කියල කියන්නේ රූපය ගැන තනි වචනයෙන් රූපය ගැන තනි වචනයෙන් කියන්න පුළුවන්, එක කාරණාවෙන් කියන්න පුළුවන් ආකාරයෙන් සංග්‍රහ කල කොටසට.මේ එකොළොස් පොළක තියෙන 'සබ්බං රූපං' කියල හැම රූපයක්ම ඒකාන්ත කරලා කියන්න පුළුවන් මෙන්න මේ වචන ටිකකින්. 

1. හැම රූපයක් ම 'න හෙතු' - හේතු නෙවෙයි කිසි ම රූපයක්. ලෝභ ද්වේෂ මෝහ, අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු එහෙම නෑ. තනි වචනයෙන් කිව හැකියි. කිසිම රූපයක් න හෙතු. හැම රූපයක් ම අහේතුක යි. එතකොට මේ කිසිම රූපයක කර්ම තියෙනවා, කෙලෙස් තියෙනවා කියලා කාටවත් කියන්න බැහැ.එතකොට ඒකෙන් අපට ප්‍රකට වෙනවා, එහෙනම් රූපය බලාගෙන හිතක්ම ඇතිවෙනවා මිසක, මේ රූපය හින්දා මට මේ තණ්හාව ඇතිවුනා එහෙම නෙවෙයි’. අපට හිතෙන්නේ තණ්හාව තියෙන්නේ (බාහිරට) වගේ නේ. හැම රූපයක් ම න හෙතු. හේතු එහෙම නෙවෙයි. ලෝභ ද්වේෂ මෝහ වත්, අලෝභ අද්වේෂ අමෝහ වත් කුසලවත් අකුසලවත් මොකුත් නෑ. න හෙතු. 

2.'අහේතුක' යි. හැම රූපයක් ම අහේතුක යි. 

3. 'හේතු විප්‍රයුක්ත යි'. මේ රූපයක හේතු යෙදෙන්නේවත් නෑ. හේතු කියන එකක් යෙදෙනවා නම් යෙදෙන්නේ හිතක මිසක, කයේ රූපයේ එහෙම යෙදෙන්නේ නෑ. හොඳට මේ ටික දැනගන්න ඕනෙ. 

4. රූපය කියන එක හැම වෙලාවෙම 'සප්‍රත්‍යයි' - ප්‍රත්‍යය සහිතයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතරමහාධාතුවේ උපකාරය ලබලා, ඔවුනොවුන්ගේ අඤ්ඤමඤ්ඤතාවයෙන්, ඔවුනොවුන්ට උපස්ථාන, උපකාර කරගන්නා ස්වභාවයෙන්, යුක්තව යි මේ රූපය තියෙන්නේ. සප්‍රත්‍යයි - ප්‍රත්‍යය සහිතයි.

5. හැම රූපයක් ම 'සංඛතයි' - සකස් කරන ලද්දක්. 

6 හැම රූපයක් ම 'රූපයක් '- රූපවත්. 

7. හැම රූපයක් ම 'ලෞකිකයි' - ලොකෙ තුළ. 

8. හැම රූපයක් ම 'සාස්‍රව' යි. ආස්‍රව නෑ. නැත්නම් ආස්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා සාස්‍රව යි. ආස්‍රව සහිත මනසකට යි හැම රූපයක් ම අහුවෙන්නේ. කවදාවත් රූපය තුළ ආස්‍රව එහෙම නෑඅපි කියමු, ආස්‍රව දුරු නො කළ කෙනාට යි රූපය කියන එක අහුවෙන්නේ. ඒ නිසා ආස්‍රවයන්ගෙන් අරමුණු කරන අර්ථයෙන් සාස්‍රවයි කියලා ගනිමු. එතකොට ආස්‍රව සහිතයි කියන අර්ථය ම යි එන්නේ. මොක ද, ආස්‍රව සහිත කෙනාට යි මේක අහු වෙන්නේ. රූපය තුළ ආස්‍රව තියෙනවා කියන කාරණාවක් කියනවා නෙවෙයි. එහෙම වෙන්නේ නෑ කොහොමත්. ‘ආස්‍රවයන්ට අරමුණු වෙන’ අර්ථයෙන් සාස්‍රවයි. රූපය කියන එක හැම වෙලාවෙ ම අහුවෙන්නේ අනාස්‍රව මනසකට එහෙම නෙවෙයි. ආස්‍රව සහිත මනසක ආස්‍රවයන්ටයි අරමුණු වෙන්නේ රූපය කියන එක. තේරුණාද? ඒකත් හොඳට මතක තියා ගන්න. ඒ නිසා සාස්‍රව යි. සාසව, ආසව, අනාසව කියලා ධර්මතා තියෙනවා. අපි ඒවා ඉගෙනගන්න ඕනෙ. 

9. 'සංයෝජනීය' යි. රූපය කිසිම වෙලාවක සංයෝජන නෙවෙයි. දස සංයෝජන කියලා තියෙනවා - සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා. මේ සංයෝජන එකක්වත් නෙවෙයි රූපය. හැබැයි සංයෝජනීය යි - ‘සංයෝජනයට හිතයි’. සංයෝජනය කියන එක හැම වෙලේ ම දකින්න මනසට. හිතේ උපදින්නේ. ඒ කෙලෙස් නේ. රූපය ඒ සංයෝජනවලට හිත එකක් මිසක රූපය සංයෝජනයක් නෙවෙයි. ඒ නිසා රූපය කියන එක, කෙලින් ම, බය නැතුව, එක වචනයෙන් කිව්ව හැකියි, මොකක් ද, රූපය සංයෝජනීය යි. මේ ඔක්කෝම වචන ටික, තනි වචනයෙන් රූපය ගැන හඳුන්වන්න පුළුවන් වචන ටිකක්. සංයෝජනීය යි. 
10. රූපය කියන එක 'ග්‍රන්ථනීය' යි. අභිජ්ඣා කායග්‍රන්ථය, ව්‍යාපාද කායග්‍රන්ථය, ශීලව්‍රතපරාමර්ෂ කායග්‍රන්ථය, ඉදංසත්‍යාභිවේශ කායග්‍රන්ථ ... කියලා මේ කාය ග්‍රන්ථ හතරක් තියෙනවා. ග්‍රන්ථ කියලා කියන්නේ ගෙතෙනවා. 
මේ මට්ටම ඇති තාක් අභිජ්ඣා කායග්‍රන්ථය, දැඩි ලෝභය ධර්මනතාවය කායග්‍රන්ථයක්. ඒක ඇතිතාක් ‘කයක ම ගෙතෙනවා මිසක, මේ වගේ රූපයක ම එලෙනවා මිසක’, ඒකෙන් මිදෙන්නෙ නෑ. ඒ නිසා අභිජ්ඣාව කායග්‍රන්ථයක්. ව්‍යාපාදය කායග්‍රන්ථයක් - තරහව කියන එක ඇතිතාක් කයක ම ගෙතෙනවා මිසක මේ රූපයක ම එතෙනවා මිසක, එයින් මිදෙන්න බෑ. ඒ හින්දා ව්‍යාපාදය කායග්‍රන්ථයක්. ශීලව්‍රතපරාමර්ෂ කායග්‍රන්ථය- මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධි යැයි, ව්‍රතයෙන් ශුද්ධි යැයි, ශීල ව්‍රතයෙන් ශුද්ධි යැයි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්ශයෙක් කුන්මාර්ගයෙක් මිත්‍යාපථයෙක් මිත්‍යාත්වයෙක් තීර්ත්ථායතනයෙක් විපර්ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ශීලව්‍රතපරාමර්ශ කායග්‍රන්ථ යි කියනු ලැබේ. ඉදමෙව සච්චං මොඝමඤ්ඤං කියන එක කායග්‍රන්ථයක්-.මම මේ කියන එක ම යි ඇත්ත, අනික් ඒවා ඔක්කෝ ම බොරු කියලා දෘෂ්ටියක් ඇතිකරගන්නවා නම්, ඇතිවෙනවා නම්, ඒ මානසික මට්ටම කායග්‍රන්ථයක්. ඒ තාක් එයා කයෙන් මිදෙන්නේ නෑ. ඒ හින්දා ග්‍රන්ථ යි කියලා කියනවා මේ කෙලෙස් හතරට. 

11. ඊට පස්සේ 'ඔඝණීය' යි, ඕඝ කියන්නේ සැඩපහර. කාම ඕඝ, භව ඕඝ, අවිද්‍යා ඕඝ, දිට්ඨි ඕඝ කියලා ඕඝ හතරක් තියෙනවා. ඕඝය කියන එක මනස තුළයි. ඒ ‘ඕඝයට, සැඩපහරට, ඒ කෙලේසයට හිතයි’ මේ රූපය. ඒ නිසා ඕඝණීය යි. 

12. ඊට පස්සේ 'යෝගණීය' යි කියලා කියනවා, යොදවනකමට. කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිද්‍යා යෝග කියලා මේ කෙලෙස්වල ලොකෙ යෙදෙනවා. ඒ ‘යෙදෙන එකට හිතයි මේ රූපය’. ඒ අර්ථයෙන් ගන්න. 

13. ඊට පස්සේ 'නීවරණීය' යි. නීවරණ නෙවෙයි මේ රූපය. කාමච්ඡන්ද, ව්‍යපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මණපහක් තියෙනවා නම්, නීවරණ මනස තුළ යි. මේ රූපය නීවරණනීයයි - නීවරණයට හිතයි. ආදරණීය කියලා කියන්නේ. ආදරණීය අම්මා. ඒ කියන්නේ ආදරය මෙහෙ (ආධ්‍යාත්මික), මේ ‘ආදරයට හිත රූපය තමයි බාහිර රූපය 

14. ඊට පස්සේ 'පරාමට්ඨ' යි. පරාමට්ඨ කියලා කියන්නේ ‘පරාමාසයට හිතයි’. පරාමාසය කියලා කියන්නේ තෘෂ්ණා වශයෙන්, දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කෙරෙන අර්ථයෙන් පරාමාස යි. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ සිල් ව්‍රත වශයෙන් ස්පර්ශ කරනවා, පරාමර්ශනය කරනවා. කය පරාමර්ශෙ කරනවා කියන්නේ - ස්පර්ශ කරනවා. එතකොට මේක ‘තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරන්න හිතයි’ - පරාමට්ඨ. ඒ නිසා පරාමට්ඨ කියලා කියනවා. 

15. රූපය 'උපාදානීය' යි. උපාදානය එහෙම නෙවෙයි. උපාදානයට හිතයි. 

16. ඊට පස්සේ 'සංකිලෙසිකා'. කෙලෙස්වලට හිතයි. 

17. 'අව්‍යාකතා', කුසල හෝ අකුසල එහෙම නෙවෙයි. අව්‍යාකෘතයි. 

18. 'අනාරම්මණා'. ආරම්මණයක් නෙවෙයි. රූපය කියන එක ආරම්මණයක් නෙවෙයි. අරමුණක් නෙවෙයි. අනාරම්මණයි කියලා කියන්නේ න ආරම්මණං - ආරම්මණයක් නෙවෙයි කියන එක යි. අපි කියමු: කත මෙ ධම්මං සාරම්මණා වේදනාකන්ධො, සංඤාකන්ධො, සංඛාරකන්ධො - මේ ධම්ම සාරම්මණ යි. ඒ කියන්නේ ‘අපි යමක් අරමුණු කරන්නේ වේදනා, සංඥා, සංඛාරයන්ගෙන්’. රූපයෙන් අරමුණු කරන්න බෑ. රූපයේ උදව්වෙන් තව යමක් අරමුණු කරන්න බෑ. ඒ හින්දා රූපය අනාරම්මණ යි කියන අදහසයි. 

19. 'අචෙතසිකං' - චෛතසිකයක් නෙවෙයි. 

20. 'චිත්ත විප්පයුත්ත' යි. කිසිම දවසක, කිසිම හිතක යෙදෙන්නේ නෑ රූපය. රූපය කියන එක හිතක යෙදෙන්නේ නෑ. 

21. 'නෙව විපාක න විපාක ධම්මධම්මා' - රූපය යනු විපාක ඇතිකරවන්නකුත් නොවෙයි යන්නයි., විපාක දෙන ස්වභාව දහමකුත් නෙවෙයි. ‘විපාක දෙන ස්වභාව කියන්නේ කර්ම ’ යි. රූපය කියන්නේ විපාක ඇතිකරවන්නකුත් නොවෙයි.කර්මත් නෙවෙයි. 

22. 'අසංකිලිට්ඨ සංකිලෙසිකා' - අසංකිලිට්ඨ - රූපය කියන්නේ කිලුටු එහෙම නෙවෙයි. හැබැයි සංකිලෙසිකයි. ‘කිලුට ඇතිවෙන්න එය උපකාරයි’. කිලුට ඇතිකරගන්න හිතෛශී යි. 

23. 'න සවිතක්ක සවිචාරං' - විතක්ක විචාර සහිත දේකුත් නෙවෙයි මේ රූපය කියන්නේ. විතක්ක සහිත, විචාර සහිත වෙන්නේ මනස නේ. හිතනේ. 

24. 'න අවිතක්ක විචාරමත්තං' - අවිතක්ක විචාරමාත්‍ර ධර්මතයකුත් නෙවෙයි රූපය කියන්නේ. රූප පැත්තෙන් ගන්න බෑ. විතක්ක විචාර, අවිතක්ක අවිචාර, විතක්ක විචාරමත්ත කියලා ගන්න බෑ රූපය පැත්තෙන්. 

25.අවිතක්ක අවිචාරං - එහෙම කිව්ව හැකියි. ඒ කියන්නේ විතක්ක විචාර යෙදෙන්නේ නෑ. 

26. 'න පීති සහගතං' - ප්‍රිති සහගත දේකුත් නෙවෙයි රූපය කියන්නේ. 

27. 'න සුඛ සහගතං' - සුඛ සහගත දේකුත් නෙවෙයි රූපය කියන්නේ. රූපයේ කිසිම වෙලාවක සැප සහගත බවක් නැහැ. රූපයට සැප දැනෙන්නේ නැහැ. රූපයට ප්‍රීතිය දැනෙන්නේ නැහැ. ඕවා ඔක්කෝම හිතක ඇතිවෙන චෛතසික. හිතක ගති. 

28. 'න උපෙක්ඛා සහගතං' - රූපය උපෙක්ඛා සහගතත් නෙවෙයි. උපේක්ෂාව හෝ ප්‍රීතිය හෝ සැපය හෝ කියන එක හිත පැත්තෙන් කියන්න වෙනවා මිසක රූපය පැත්තෙන් උපෙක්ෂාවක් කියන්න බෑ. 

29. න දස්සනෙන න භාවනාය පහාතබ්බා, දර්ශණයකින් වත්, භාවනාවකින්වත් පහකටයුත්තක් නෙවෙයි රූපය. දර්ශානය කියලා කියන්නේ සෝවාන් ආදී දර්ශන භූමියකින් දුරුකළයුත්තකුත් නෙවෙයි රූපය. ඉතුරු මාර්ග ත්‍රය වැඩීම් වශයෙන් භාවනාවකින් දුරුකළයුත්තකුත් නෙවෙයි රූපය. 

30. 'න දස්සනෙන න භාවනාය පහාතබ්බ හෙතුකා' - දර්ශනයකින්වත්, භාවනාවකින්වත් දුරුකළයුතු හේතුවක්වත් තියෙනවා නෙවෙයි රූපයේ. රූපය දුරුකළයුතුත් නැහැ. රූපය තුළ එහෙම දුරුකළයුතු හේතුවක් තියෙනවත් නෙවෙයි. දර්ශවනයකින්වත් භාවනාවකින්වත්. මේ ටිකෙන් හොඳට පෙන්නනවා මේ නාමරූප පරිච්ඡෙදයේ පිරිසිඳ දකින එකට එහෙම හරි උපකාරයක් මේ රූපය. ඒ කියන්නේ, ‘රූපය බලාගෙන හැම කෙලේසයක් ම, හැම කර්මරයක් ම, හැම දෙයක් ම හිතකින් කරලා මිසක, ආයෙ රූපය තුළ ගලවන්න දෙයක් නෑ නේ ද’ කියන එක උගන්නනවා මේකෙන්. දැන් අපිට නිකම් කෙලෙස් යන්නේ හැම වෙලේම - මෙහෙ නිසානෙ මේ රාගය, මේ රූපය අයින් කරන්න කියන තැනකින්. මේ රූපය ඇසුරුකර කර ඉන්නේ කියන තැනකින් නේ ලෝකයා මනින්නේ. මෙයා කොහොම ද නිවන් දකින්නේ මෙහෙම රූපයක් ඇසුරු කර කර කියනවා වගේ තැනකින් නේ කතා කරන්නේ. ඔය රූපය නෙවෙයි, කොහොම රූපයක් ඇසුරු කෙරුවත් හිත බේරාගත්තොත් ගොඩයන්න පුළුවන් කියනවා වගේ තැනකට එනවා මේකෙන්. ඇයි දැන් ලෝකයාත් බලන්නේ ‘‘මේ වගේ රූප තියාගෙන කොහොමද මෙයා මිදෙන්නේ’’ කියන තැනකින් නේ. ලෝකයාගේ කෙලේසෙ පෙනෙන්නේ රූපයෙන් නේ. ඒකම යි රූපයට එන්න හේතුව. දැන් මේකෙන් පෙන්නුවා හොඳට රූපය මේ එකක්වත් නෙවෙයි. හේතු නෙවෙයි, කෙලෙස් නෙවෙයි, කර්ම නෙවෙයි, මේ රූප. එතකොට රූපය හේතු, කර්ම, කෙලෙස් කියන ධර්ම ඇතිකරන්න උපකාර කරනවා කියන එක 

31. 'නෙව ආචයගාමී න අපචයගාමී' - රූපය කියන්නේ පිරිහීම පිණිස පවතින එකක්වත් වැඩීම පිණිස පවතින එකක්වත් නෙවෙයි. පිරිහෙනවාද, වැඩීමට පත්වෙනවා ද කියන කාරණාව තියෙන්නේ හිතේ පැත්තේ. මේ රූපය ගැන රාග ද්වේශ මෝහ ඇතිකරගන්න විදියට කටයුතු කළොත් පිරිහෙයි. මේ රූපය අරභයා අලෝභ අද්වේශ අමෝහ ඇතිකරගන්න විදියට කටයුතු කළොත් වැඩීමට පත්වෙයි. එතකොට, ඒ වැඩීමට පත්වෙනවා ද, පිරිහීමට පත්වෙනවා ද, කියන කාරණාව වුනේ තම තමන්ගේ හිත මතින් මිසක මේ රූපයෙන් නෙවෙයි. ඒ නිසා රූපය, නෙව ආචයගාමී න අපචයගාමී - වැඩෙන දෙයක්වත්, පිරිහෙන දෙයක්වත් නෙවෙයි. 

32. 'නෙව සෙඛ නා සෙඛං' - රූපය කියන්නේ සේඛවත් අසේඛවත් නෙවෙයි. සේඛ කියන්නේ හික්මෙනවා, අසේඛ කියන්නේ හික්මිලා ඉවරයි. සප්ත ආර්ය පුද්ගලයාවත් එහෙම නැත්නම් රහතන්වහන්සේවත් නෙවෙයි රූපය කියලා කියන්නේ. රූපයකින් දකින්න බෑ සෝවාන් පුද්ගලයා, රූපයෙන් දකින්න බෑ සකදාගාමී, අනාගාමී කෙනා, රූපයෙන් දකින්න බෑ රහතන්වහන්සේ කියන එක කියනවා මේ කාරණයෙන්. රහතන්වහන්සේ කියලා අපේ පුද්ගලභාවය - රූපය දුරු නොවුණු මනසින් අපි කතාකලාට රහත් වූ හෝ හික්මෙන පුද්ගලයෝ මේ රූපය තුල නැහැ. මොකද, මේ රූපය කියන එක නෙව සෙඛ නා සෙඛ නෙ. කිසිම වෙලාවක රූපය දිහා බලලා අසේඛ කෙනෙක් දකින්න බැහැ. සේඛ කෙනෙක් දකින්න බැහැ. රූපය නෙව සෙඛ නා සෙඛ ධර්මකයක් නිසා. 

33. ඊට පස්සේ 'පරිත්තං' - ඒ කියන්නේ බොහොම ස්වල්ප අර්ථයක් විතරයි මේකෙන් ලැබෙන්නේ, මේ රූපය කියන එකෙන්. රූපය ඇසුරුකරගෙන ඉන්නකොට ලැබෙන්නේ ස්වල්ප අර්ථයක් විතරයි. 

34. 'කාමාවචරං' - රූපය කියන එක කාමාවචරයි. අවචර කියන්නේ හැසිරෙන. ‘කාමයෙහි හැසිරෙන’ කියන ගණයට යනවා. 

35. 'න රූපාවචරං' - රූපයේ හැසිරෙන ගණයට යන්නේ නෑ. 

36. 'න අරූපාවචරං' - අරූපී භවයේ හැසිරෙනවා යන ගණයට යන්නේ නෑ. . 

 37. 'පරියාපන්නං - . පරියාපන්නයි. චුති, ගති, වට්ට, දුක්ඛ, අනුව ගිය නිසා පරියාපන්න යි. පරියාපන්න කියන වචනයේ තියෙනවා පරියාපන්න - අනුව ගිය. මොකක් ද, ‘චුති, ගති, වට්ට, දුක්ඛ’. සාංසාර වට්ට දුක්ඛ කියන මේ කාරණා අනුව ගිය නිසා පරියාපන්නයි කියනවා. 

38. 'න අපරියාපන්නං' - ලෝකෝත්තර නෙවෙයි. චුති, ගති, වට්ට, දුක්ඛ අනුව යන නිසා අපරියාපන්න නොවේ. 

39. 'අනියතං' - කිසිම වෙලාවක නියතියක් නෑ. මේ රූපය කියන එක හැමවෙලේ ම අනියත යි. නියතයකින් පනවන්න බෑ. නියතො සම්බොධි පරායනො, නියතයි නිර්වාණයට - ඔය තැනකින් රූපය පනවන්න බෑ. අනියත ධර්මයක්. 

40.. 'අනෛර්‍ය්‍යාණිකං' - නිවනට පමුණුවන එකකුත් නෙවෙයි රූපය කියන්නේ. 

41. 'උප්පන්නං' - හටගන්නා ස්වභාවයෙන් යුක්තයි. 

42.'ඡහි විඤ්ඤාණෙහි විඤ්ඤය්‍යං' - උපන්නාවූ හය විඤ්ඤාණයෙන් විඤ්ඤෙය්‍යය යි. චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියන මේ විඤ්ඤාණ හයෙන් විඤ්ඤෙය්‍යය ධර්මයක් රූපය. 

43. 'අනිච්චං' - අනිත්‍ය දෙයක් රූපය. 

44. 'ජරාභූතං' - ජරාවෙන් මඩනා ලද්දක් රූපය. එවං ඒකවිධෙන රූපං රූප සඞ්ගහො. ‘‘මේ රූපය මෙන්න මේ එක් ආකාරයකින් සංග්‍රහ කරන්න පුළුවන්. රූපය ගැන බය නැතුව ඒකාන්ත වශයෙන් මෙන්න මේ කාරණා ටිකකින් කිව හැකි යි’’ කියලා ඔන්න ඔය ටික ගැන අපට තියෙන්න ‍ඕනෙ අනුමාණයට දැනුමක්, කෙනෙක් රූපය ගැන කතා කරන කොට අවශ්‍යයෙන් ම. රූපය කියන්නේ මෙන්න මේ මේ ලක්ෂණයන්ගෙන් යුක්ත, මෙන්න මේ මේ ස්වභාවයන්ගෙන් යුක්ත දෙයක් නේ ද රූපස්කන්ධය කියන්නේ කියන ටික තියෙන්න ඕන. ඕකෙන් ලේසි කෙලේසයක් නෙවෙයි ගෙවෙන්නේ. මේ ටික කරන කොට - ඒ කියන්නේ අපි කියමු දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා, නිමලු යි කමලු යි. දැන් අපි කියනවා අන්න අතන ඉන්නවා නිමල් ගිහිල්ලා හම්බවෙන්නකෝ කියලා අපි කියනවා. නමුත් එතැන ඉන්න දෙන්නගෙන් නිමල් කවුද, කමල් කවුද කියලා අපි දන්නේ නෑ. අපට කියනවා ගිහිල්ලා අතන නිමල් ඉන්නවා ගිහිල්ලා හම්බවෙන්නකෝ කියලා. දැන් අපි දෙන්නා නම් වශයෙන් හඳුනන්නේ නෑ. අපි එතැනට ගිහිල්ලා, ඔයාගේ නම මොකක් ද? කියලා එක්කෙනෙක්ගෙන් අහනවා. "මම කමල්" කිව්වහම මම දන්නවා - දෙන්නා නේ ඉන්නේ, එහෙනම් මෙයා නිමල්. එතකොට ඔයාගේ නම නිමල් ද කියලා අහන්න ඕනෙ නෑ. මේ ඔයාට මෙන්න මේක දෙන්න කිව්වා කියලා නිමල්ට දුන්නහැකි. ඔයාගේ නම මොකක් ද? මම නිමල්. හා එතකොට දන්නවා එහෙනම් මෙයයි කමල්, මේක දෙන්න ඕනෙ නිමල්ට කියලා දුන්නහැකි. මෙයා දැනගත්තොත් එයා දන්නවා; මෙයා දැනගත්තොත් එයා දන්නවා. ඒ වගේ නාම රූප කියලා ධර්මයන් දෙකක් තියෙද්දී රූපය දැනගත්තොත් හා එහෙනම් මේක රූපය නම්, මේවයි නාම කියලා දන්නවා. මේ ටිකයි නාම කියලා දැනගත්තොත්, හා මේ ටිකයි නාම, එහෙනම් මේ ටිකයි රූප කියලා, නාමය දැනගත්තොත් රූපය දැනගන්න පුළුවන්, රූපය දැනගත්තොත් නාමය දැනගන්න පුළුවන්.ඒ වගේ රූපයේ ටික මේ විස්තර වශයෙන් දකිනකොට, රූපය මෙහෙම නම් එහෙනම් මෙහෙම මෙහෙම ගති, මේවා ඔක්කෝම නාම යි නේ. හිතක නේ යෙදෙන්නේ, හිතේ නේ කියලා එනවා. මෙපමණකින්ද මේ ඔක්කෝම හරහා තියෙන්නේ මොකක්ද - මේ දිට්ඨි විශුද්ධිය යි ඇතිවෙන්නේ. මේ ඔක්කෝම දැකීම පිරිසිදුවෙන්න ක්‍රම. එතකොට මෙන්න මේ වගේ ඒකක, එක් වශයෙන් කියන්න පුළුවන් රූපස්කන්ධය මෙන්න මෙහෙම යි කියලා. 
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ ධම්මසඞ්ගණි විවරණය - 1 පොත ඇසුරෙන්

සංස්කාරස්කන්ධය


රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් - බීම් - නෑම් - ඉඳුම් - හිටුම් - යෑම් - නිදීම් ආදි අනේක ප්‍ර‍කාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍ර‍ධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ. චේතනාව විසින් අවශේෂ චෛතසිකයන් හා සිත ද සහාය කොට ගෙන ඒ ඒ කායික, වාචසික, මානසික ක්‍රියා සිදු කරනු ලැබේ. එබැවින් සත්ත්වයන් කරන සෑම ක්‍රියාවකට ම චේතනාව ප්‍ර‍ධාන වේ. සිතෙහි හා අන්‍ය චෛතසිකයන්ගේ ද සහයෝගය නොමැතිව හුදු චේතනාවටමත් කිසි ම ක්‍රියාවක් සිදු කළ නො හෙන බැවින් එයට අන්‍ය චිත්ත චෛතසිකයන්ගේ සහයෝගය ද වුවමනාය. චේතනාව හා එක්ව ඒ ඒ ක්‍රියා සිදුකරන බැවින් අන්‍ය චිත්ත චෛතසිකයෝ ද, සංස්කාරයෝ ම ය. ක්‍රියා සිදු කරන්නෝ ම ය. එහෙත් චිත්ත, වේදනා, සංඥා යන ධර්ම තුන වෙන් වෙන් වූ ස්කන්ධ තුනක් කොට ගන්නා ලද බැවින්, ඒවාට සංස්කාර යයි නො කියනු ලැබේ. චේතනාව සහිත වූ චෛතසික පනසකට පමණක් සංස්කාරයෝ ය යි කියනු ලැබේ. 

චේතනා ප්‍ර‍ධාන චෛතසික ධර්ම සමූහය විසින් සිදු කරන්නා වූ ක්‍රියා අතුරෙන් කොටසක් මෙලොව පිණිස ද, කොටසක් පරලොව පිණිස ද සිදු කරනු ලැබේ. කෑම් බීම් ඉඳීම් සිටීම් නිදීම් යෑම් හැඳීම් පැළඳීම් ආහාර පාන වස්ත්‍රාදිය සැපයීම් මුදල් සැපයීම් ආදිය මෙලොව පවත්නා ස්කන්ධපඤ්චකය සඳහා කරන්නා වූ ක්‍රියාවෝය. එයිනුදු ඉරියව් පැවැත්වීම් ආහාර වැළඳීම් ආදිය රූපස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. මිහිරි අහර බුදීම්, ක්‍රීඩා පැවැත්වීම්, නැටුම් බැලීම් ආදිය වේදනා ස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. අකුරු ඉගෙනීම් ආදිය සංඥාස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා වීර්යාදිය වර්ධනය කර ගැනීම සඳහා කරන ක්‍රියාවෝ සංස්කාර විඥානයන් සඳහා කරන ක්‍රියාවෝය. සමහර විටක දී කෑම් බීම් ආදි සියල්ල ම ද ස්කන්ධ පඤ්චකය ම සඳහා කරන ක්‍රියාවෝය. අනාගතයෙහි දෙව් ලොව මිනිස් ලොව ඉපදීම සඳහා කරන දාන ශීලාදි ක්‍රියාවෝ අනාගත භවයෙහි පඤ්චස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ඒ ඒ ක්‍රියා සිදු කිරීමෙහි චේතනාව ම ප්‍ර‍ධාන බැවින් පඤ්චස්කන්ධය සැකෙවින් දක්වන නොයෙක් සූත්‍ර‍වලදී තථාගතයන් වහන්සේ විසින් චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාරා තිබේ. “කතමෙව භික්ඛවෙ! සංඛාරා? ඡයිමෙ භික්ඛවෙ චෙතනාකායා, රූප සඤ්චෙතනා, සද්ද සඤ්චෙතනා, ගන්ධ සඤ්චෙතනා, රස සඤ්චෙතනා, ඵොට්ඨබ්බ සඤ්චෙතනා, ධම්ම සඤ්චෙතනා, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සංඛාරා” මේ චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාළ දේශනාවෙකි. “මහණෙනි! සංස්කාරයෝ කවරහුද? “මහණෙනි! රූප සඤ්චේතනාවය, ශබ්ද සඤ්චේතනාවය, ගන්ධ සඤ්චේතනාවය, රස සඤ්චේතනාවය, පොට්ඨබ්බ සඤ්චේතනාවය, ධම්ම සඤ්චේතනාවය යන මේ සය චේතනා සමූහයෝ ය. මහණෙනි! මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්ය” යනු එහි තේරුමයි. මෙයින් සංස්කාරස්කන්ධ සංඛ්‍යාත චේතනාව රූපාදීන්ගේ වශයෙන් සවැදෑරුම් වන බව දැක්වේ. කුශලා’කුශල අව්‍යාකෘත වශයෙන් ද චේතනාව ත්‍රිවිධ වන්නීය. අව්‍යාකෘතය යනු කුශලා’කුශල නොවන දෙය ය. 

චේතනාව මෛත්‍රී කරුණා ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥාදි කුශල පාක්ෂික චෛතසිකයන් හා එක් වූ කල්හි කුසල් වන්නීය. ලෝභ ද්වේෂ මෝහාදි අකුශල පාක්ෂික චෛතසිකයන් හා එක් වූ කල්හි අකුසල් වන්නීය. කුශලා’කුශල නො වන චෛතසිකයන් හා එක් වූ කල්හි අව්‍යාකෘත වන්නීය. චේතනාවට සහාය වන සංස්කාර ස්කන්ධ පර්යාපන්න චෛතසික සතළිස් නවයකි. එයින් :- ඵස්සය, ඒකග්ගතාවය, ජිවිතින්ද්‍රිය, මනසිකාරය, විතක්කය, විචාරය, අධිමොක්ඛය, විරියය, පීතිය, ඡන්දය යන චෛතසික දශය විටෙක කුශල් වන්නා වූ ද විටෙක අකුශල් වන්නා වූ ද විටෙක කුශලා’කුශල නොවන්නා වූ ද චෛතසිකයෝ ය. මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාය, මච්ඡරිය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාවය යන තුදුස අකුසල චෛතසිකයෝ ය. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කාය ලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජුකතා, චිත්තුජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා යන චෛතසික පස්විස්ස විටෙක කුසල් ද විටෙක අව්‍යකෘත ද වන්නා වූ චෛතසිකයෝ ය. 

චේතනාවත් සමග පනසක් වූ මේ චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය නම් වන්නේ ය. මතු සම්බන්ධයි! රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘චතුරාර්‍ය්‍ය සත්‍යය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.