3/29/15

මුළු ලොවෙහි අධිපතිකමටත් වඩා උතුම් සෝවාන් 

ඵලය



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධි පච්චේන
සෝතාපත්ති ඵලං වරං
සුපින්වතුනි,
ලෝකය විවිධය, විසමය, ලෝ වැසියෝ ද විවිධ විසම චින්තා ඇත්තෝ ය. නානත්තකායා නානත්ත සඤ්ඤා යන ධර්ම පාඨයෙන් ද එය අවධාරණය කරනු ලබයි. කෙනෙක් එක් දෙයක් අගය කරති. තවකෙනෙක් වෙනත් දෙයක් අගයති. මෙලෙස ලොව යථාර්ථය නොදන්නෝ ලෞකික දේවල්ම අගය කරති. උසස් යැයි සලකති. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, රන් රිදී, මුතු මැණික්, මිල මුදල් ආදී අචේතනික දේ පිළිබඳත්, දූ දරු නෑදෑ හිත මිතුරන් ආදී සචේතනික වස්තු පිළිබඳත් විවිධාකාරයෙන් අගය කොට කතා කිරීමට ඔවුහු පුරුදුව සිටිති. එපමණක් නොව තාන්න, මාන්න, ගරු නම්බු, ගෞරවනාම ආදිය කෙරෙහිත් ඔවුහු තදින් ඇලී සිටිති.
එහෙත් ධර්මයෙන් අපට අනුශාසනා කරන්නේ ඒවාට වඩා උත්තරීතර තත්ත්වයක් ලබාගැනීම සඳහා ය. ඉහත සඳහන් ගාථා ධර්මයෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. එම ගාථාවෙන් දැක්වෙන අදහස මෙසේ ය. ‘සක්විති රජකම ලැබුණටත් වඩා ස්වර්ග ලෝකයට යෑමටත් වඩා, මුළු ලොවට දරන අධිපතිකමටත් වඩා සෝවාන් ඵලය ඉතා උතුම් ය.
පින්වතුනි, සක්විති රජකම මනුලොව ලැබිය හැකි උතුම් සැපතක් බව සැබෑය. සව් ඉසුරෙන් සපිරි සක්විති රජුට සප්තවිධ රත්නයක් ඔහුගේ පින් මහිමයෙන් පහළ වෙයි. චක්‍ර රත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගහපති රත්නය, සහ පරිණායක රත්නය යනුවෙන් එම රත්නයන් දැක්වෙයි. අතීත භවයන්හි කරන ලද කුසල කර්මවලට අනුව පහළවන මෙම සම්පත් අනුභව කරමින් ඓශ්චර්ය සාගරයෙහි නිමග්නව ඔහුට ජීවත් විය හැකි එහෙත් ඒ සියල්ල අස්ථිරයි. විනාශවන සුළු යි. සනාතව පැවතීමක් නැත.
ස්වර්ග ලෝකවල ඉපදීම ද සැපයක් බව සත්‍යයක්. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල බලයෙන් සවිසිවැදෑරුම් ස්වර්ග ලෝකවල උපත ලැබිය හැකි ය. සදෙව් ලොව, සොළොස් රූපාවචර බඹතල සහ සතර අරූපාවචර බඹතල සවිසි ස්වර්ග ලෙස දැක්වේ. මිනිස්ලොව ද ස්වර්ගයක් ලෙස සැලකීමෙන් සියල්ල සත්විසි ස්වර්ගයක් වශයෙන් ගත හැකි ය. ‘ඉනො භො සුගතිං ගචං’ යන පාඨයෙහි සුගතිය යනුවෙන් මිනිස් ලොව අදහස් කළ බව සැලකිය යුතු ය. මේ කවර ලෝකයක උපත ලැබුවත් ඒවා අස්ථිරයි. සදාකාලිකව නොපවතීවියි අනිත්‍ය ස්වභාවයට පත්වෙයි.
එසේම මුළු ලොවට අධිපති බව ලැබුවත් වැඩක් නැත. ඒ කිසි තැන ස්ථිර පැවැත්මක් නැත. සැකෙවින් සැලකීමේ දී ‘ලෝක’ නමින් දැක්වෙන කිසිදු තැනක සදාකාලිකත්වයක් විද්‍යාමාන නොවේ. නිර්වාණ ධාතුව ‘ලෝකුත්තර’ යන ව්‍යවහාරයෙන් හඳුන්වනු ලබන්නේ තත්ත්වයෙන් එතෙරව පවතින නිසායි. එය ස්ථිරය, සදාකාලිකය, සත්‍යයය.
එබැවින් යථෝක්ත ගාථාවෙහි සඳහන් ‘සොතාපත්ති ඵලංවරං’ යන පාඨය පිළිබඳ ඔබ අප සැමගේ විශේෂ අවධානය යොමුවීම වැදගත් ය. එයින් අදහස් කෙරෙන්නේ ලොව සියලු සැපයට වඩා සෝවාන්වීම අතිශයින්ම උතුම් බවය. මෙහි ‘සොත’ යන්නෙන් දැක්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සැඩ පහරයි. එයට හසු වූ පුද්ගලයා, නතර වන්නේ උතුම් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් ය. ‘සොත’ වචනය වෙනත් අර්ථයන්හිද යෙදේ. පංච ඉන්ද්‍රියන් හැඳින්වීමේ දී චක්ඛු, සොතාදි වශයෙන් දැක්වෙන තැන ‘සෝත’ වචනය කර්ණේන්ද්‍රියට භාවිත වේ. ඡන්ද සෝතං පරක්තම්ම යන තැන තෘෂ්ණා නමැති සුඛ පහර යන අදහස් ගෙන දෙයි. සෝතාපත්ති යන තැන අරි අටඟි මග නමැති ප්‍රවාහය ගැනේ.
මෙම උත්තරීතර තත්ත්වයට පත්වීමේ දී පුද්ගල සන්තානගතව තිබෙන සංයෝජන ධර්ම තුනක් සමූලෝත්පාඨනය වේ. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනයි. ඒ සමඟම අපායගාමී අකුසල ශක්තිය ද ප්‍රහීණවෙයි. සෝවාන් පුද්ගලයා කිසිවිට සතර අපායට නොවැටේ. ඔහු සුගති භාවයෙහි ද සත්වරකට වඩා නූපදියි. අටවැනි භවයක් ඔහුට නැත. ක්‍රමයෙන් ප්‍රතිපදාවට වඩා ඔහු සසර කෙළවර දකියි. එසේවීම සඳහා සකදාගාමි, අනාගාමි සහ අර්හත් තත්ත්වයට අනුක්‍රමයෙන් පත්විය යුතු ය. කාම රාග, ව්‍යාපාද සංයෝජන ද්වය සකෘදගාමි විරෝධී දුර්වල වී අනාගාමි ඵල ප්‍රාප්තියේ දී සම්පූර්ණයෙන් ප්‍රහීණ වේ. අනතුරුව උතුම් අර්හත් භාවයට පත්වීම සඳහා උද්ධම්භාගිය සංයෝජන වශයෙන් දැක්වෙන රූප, රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජනයන් ප්‍රහීණ කළ යුතු වේ.
මෙසේ දස සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කිරීමෙන් අති උතුම් අර්හත්ඵල සංඛ්‍යාත ආර්ය භූමියට පත් වූ සදාකාලික සැනසිල්ල අත්පත් කර ගනී.
එබැවින් ප්‍රථම ආර්ය භූමිය වූ සෝවාන් ඵලයට පත්වීම යනු සක්විති රජකම ලැබීමටත්, දෙව් ලොව යෑමටත්, මුළු ලොවෙහි අධිපතිකමට පත්වීමටත් වඩා ශ්‍රේෂ්ඨ වේ. ඒ සඳහා අනුවාදීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.
පූර්වෝක්ත ගාථා ධර්මය අනේපිඬු සිටුතුමාගේ පුතණුවන් එනම් කාළ සිටුපුත් අරබයා දේශනා කළත් පින්වතුනි, අප සැමදෙනා වෙනුවෙන් දෙසන ලද්දක් බව සැලකිය යුතු යි. ඔබ අප මෙම භයානක සසරේ සැරිසරන්නේ උතුම් ධර්මාවබෝධය සාක්‍ෂාත් නොකළ නිසා ය. එබැවින් ලොව්තුරු සුවය පසක් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපදා සම්පූර්ණ කරගත යුතු ය. ඒ සඳහා බුදු දහමේ අනු පූර්ව ප්‍රතිපදාවක් දක්වා ඇත එනම් සීල, සමාධි, ප්‍රඥාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් විභාග වන්නේ. මෙම ප්‍රතිපදාර්ථ වැඩි එම මාර්ගයේ ගමන් කිරීමෙන් උතුම් ලෝකෝත්තර සුවයෙන් සැනසිය හැකි ය. එය මුළු ලොවෙහි අධිපතිකම ලැබීමටත් වඩා ශ්‍රේෂ්ඨය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, මධ්‍යම පළාත් සංඝනායක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අම්පිටියේ සිරිවිමල නා හිමි
මේ වනාහ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමියි කලින් සිතා ලියන ලද පොතක් නොවේ. මෙය ලියවුනේ මෙසේය.
මහියංගණ චෛත්‍යය රාජයාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදැහැවත් පිරිසක් මා වෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගි වනු පිණිස එහි යෑමට මටද ආරාධනා කළහ. එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි. මම ද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි. එහි ගිය පසු ගාථා කියවා ඔවුන් ලවා වන්දනා කරවීම හා පූජා කරවීම මා විසින් කළ යුතුව තිබිණ.
දැනට රටේ භාවිතා වන “ඉතිපිසෝ භගවා” යනාදී වන්දනා පාඨ ඔවුනට කියවුවද ඒවා නොතේරෙන බැවින් එයින් ඔවුනට ඥාන සම්ප‍්‍රයුක්ත කුශලයක් ඇති නොවේ. තේරුම් සහිතව ඒවා ඒවා කියවුවද ඒ පාඨවලට ඇතුළත් වන ගැඹුරු ගුණ ඔවුනට නොවැටහෙන බැවින් එයිනද ඔවුනට ඥාන සම්ප‍්‍රයුක්ත කුශලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නොවීය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇති වන පරිදි කීමෙන් ඥාන සම්ප‍්‍රයුක්ත කුශලයක් ඇති කර ගත හැකි වන පරිදි පහසුවෙන් තෝරුම් ගත හැකි බුදු ගුණ ඇතුළත් කොට වන්දනා වාක්‍යයක් පිළියෙල කරන ලදි. මේ පොතේ මුලට ඇත්තේ ඒ වන්දනා වාක්‍යය ය.
පහන් පූජාව සඳහා දැනට භාවිතා වන “ඝනසාරප්ප දිප්තේන” යනාදි ගාථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාර කියනුයේ කපුරුවලටය. එබැවින් ඒ ගාථා කියවීමත් මට අප‍්‍රියය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගාථා දෙකක් රචනා කරන ලදි.
දැනට මල් පූජාව සඳහා භාවිතා කරන “වණ්ණ ගන්ධගුණෝ පේතං” යනාදී ගය ද මට අප‍්‍රියය. පූජා කිරීමේ හොඳම ක‍්‍රමය යම් කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදු ගුණයක් නොකියැවේ. තවද ගාථාවෙහිි “සන්තතිං“ යන වචනයත් තැනට ගැළපෙන්නක් සේ නොපෙනේ. මල් පූජාවට භාවිතා කරන “පූජේමි බුද්ධං කුසුමෙනනෙන“ යනාදී ගාථාවෙන් ද යම්කිසි බුද්ධ ගුණයක් නොකියවේ. එහි ර්‍ “පුප්ථං මිලායාති යථා ඉදං මෙ“ යනාදී ගාථාවේ අපරාර්දයෙන් කියැවෙන්නේ ද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදු ගුණ ඇතුළු කොට මල් පූජා කිරීමේ ගාථා දෙකක් රචනා කරන ලදි.
ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන “අධිවාසෙතු නො භන්තේ“ යනාදී ගයත් මට කීමට ප‍්‍රිය නැති ගාථාවෙකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා “අධිවාසෙතු, පතිගන්හාතු“ යි වචන දෙකක් යෙදී තිබීමත් “පරිකප්පිතං“ යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතමුන් එය හැර “අධිවාසෙතු නො භන්තේ භෝජනං පරිකප්පියං“ යිද ඇතමුන් “අධිවාසෙතු නො භන්තේ භෝජනං උපනාමිතං“ යි ද කියනු ඇසේ. මේ ගාථාව ප‍්‍රිය නැති බැවින් ආහාර පූජාවට ගාථා ද අලූතෙන් පිළියෙල කරන ලදි.
පැන් පූජා ගිලන්පස පූජා සුවඳ ඳුම් පූජා දැහැත් පූජා සඳහාද ගාථා අලූතෙන් ම සාදන ලදි. ඒ පිරිස විශාල නෙළුම් මල් පූජාවක් හා කොඩි පූජාවක්ද කිරීමට බලාපොරොත්තු වන බව කීයෙන් නෙළුම් මල් පූජාව සඳහාද කොඩි පූජාව සඳහාද ගාථා දෙකක් රචනා කරන ලදි. ඇතැම් පින්වතුන් විශේෂයෙන් සමන් මල් පිදීම කරන බැවින් ඒ සඳහාත්, කිරි ආහාර පුදන බැවින් ඒ සඳහාත් ගාථා රචනා කරන ලදි. ඇතුම් පින්වතුන් චෛත්‍යයන්ට කප්රුක් පූජාවක් කරන බැවින් ඒ සඳහාද ගාථාවක් රචනා කරන ලදි. මහියංගණයට යන්නට සූදානම් වන පිරිස එහිදී අට පිරිකර කුඩා වටාපත් පාවහන් ඇඳ පුටු ආදී නොයෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකර පිදීමට ගාථාද පිළියෙල කරන ලදි.
දෙවියන්ට පින් දීමට දැනට භාවිතා කරන “එත්තාවතා ච අම්හෙහි“ යනාදි ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගාථාවකි. එහි “එත්තාවතා“ යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමටය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වලය. දානාදී පින්කම් කළ අවස්ථාවන්හී දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින් “කතං අම්මෙහි මං පුඤඤං සබ්බ සම්පත්තිසාධකං, සබ්බෙ දෙවානුමොදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා“ යන ගාථාව පිළියෙල කෙරිණ.
දැන් මිය ගිය ඥාතින්ට පිං පැමිණවීමට කියන “ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයෝ“ යන ගාථාර්ධය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරෝකුඞ්ඪ සූත‍්‍රයේ ගාථාවක කොටසකි. එයින් මිය ගිය ඥාතින්ට පින් දීම කළ හැකි වුවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකි වීමටත්, අවිශේෂයෙන් මිය ගිය ඥාතීන්ට පින් දීමටත්, මිය ගිය මා පිය පුත‍්‍රකලාත‍්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදි. අනතුරුව ප‍්‍රාර්ථනා ගාථා හා විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින් දීමට ගාථාද පිළියෙල කරන ලදි.
මේවා පිළියෙල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නො ලැබිණ. පසුව ඒ ගාථා පොතක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිත් වූයෙන් බෝධි වන්දනා බෝධි පූජා චෛත්‍යය වන්දනා චෛත්‍යය පූජා කිරීමට ගාථා ද සපයන ලදි. එකම ගාථාවක් කියා බෝධියට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක‍්‍රමානුකූල නොවන නිසා, බෝධියට චෛත්‍යයට පූජා පැවැත්වීමට ගාථා ද මෙයට එකතු කරන ලදි.
මෙකල බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති. එයට විශේෂ ගාථා පිළියෙල වී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට මල් පහන් ආදිය පුදන ගාථාව කියා සීවලි පූජාව කරති. එය තේරුමක් නැති වැඩක් බැවින් සීවලි පූජාව කරනුවන්ට එය ක‍්‍රමානුකූලව කළ හැකි වනු පිණිස එය සඳහා ගාථා පෙලක්ද මෙයට ඇතුළු කරන ලදි.
ගාථා සම්පූර්ණ කිරීමෙන් පසු තවත් අදහසක් පහළ විය. එනම් මෙකල බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාව හා පූජාවය. ගතානුගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරන දෙය මහත් ථල වන පරිදි කරන්නට නො දනිති. ඔවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇති කර ගත හැකි වන පරිදි වන්දනා පූජා කිරීම ගැන හා වැඳුම් පිඳුම් කල යුතු වස්තු ගැනත් ඒවායේ අනුසස් ගැනත් විස්තරයක් ලිවීමය. අදහස පහළ වූ පරිදි එයද කරන ලදි. එයින් ලිපිය තරමක පොතකට සෑහෙන තරම් විය.
ඇතැම්මු ලස්සන ගාථා මිහිරි හඬින් කියා වඳින්නට කැමැත්තෝය. ඔවුන් සඳහා හොඳින් කිය හැකි පැරණි ගත් කරුවන් කීප දෙනෙකුගේ රත්නත‍්‍රය වන්දනා ගාථාද මෙයට එකතු කරන ලදි.
මේ බුද්ධ වන්දනාව විද්‍යානුකූලව කිරීමෙන් පරලොවදී ලබන අනුසස්ම නොව මෙලොවදී නොයෙක් ආකාර අනුසස් ලබා ගත හැකිය. මෙලොවදී යම් යම් දේ ලබා ගත හැකි වන්දනා ක‍්‍රම කීපයක් ද මෙයට එකතු කිරීමේ අදහස පහළ වීමෙන් එය ද කරන ලදි.
ඒ වන්දනා ක‍්‍රම භාවිතා කරත හොත් ඒවායින් නොයෙක් ප‍්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත. අනතුරුව යෝගාවචරයනට සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනා ක‍්‍රමයක්ද දක්වා ඇත. භාවිතා කරත හොත් එයින් යෝගාවචරයනට බොහෝ ප‍්‍රයෝජන වනු ඇත.
බෞද්ධයෝ රෝග සුව කර ගැනීම, අමනුෂ්‍යය භය දුරු කර ගැනීම, ග‍්‍රහ අපල දුරු කර ගැනීම ආදී කරුණු පිරිතෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙති. ඔවුනට ඒවා සිදු කර ගනු හැකි වනු සඳහා පිරිත් හා ඒවායින් ප‍්‍රයෝජන ලැබිය හැකි ගාථාත්, බෞද්ධයන් භාවිතා කරන යන්ත‍්‍ර කීපයකුත් මේ ග‍්‍රන්ථයට ඇතුලත් කර ඇත.
පින උසස් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුණුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිඳුම් කල යුතු වස්ත‍්‍ර ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනවුන්ට එයින් උසස් පිනක් නො ලැබිය හැකිය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක‍්‍රමාණුකූලව එය කරන තැනැත්තාටය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කරගෙන ක‍්‍රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කර ගත හැකි වනු ඇත. මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නොදනිති. මේ පොත කියවුව හොත් ඔබට ඔබේ දැනීමේ අඩු පාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ ද කරගත හැකි වනු ඇත.
සකල සත්වයෝ සුවපත් වෙත්වා!
මෙයට – ශාසනස්ථිකාමී,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර
ග‍්‍රන්ථය භාගත කිරීම සඳහා පිවිසෙන්න:www.maharahathunwadimagaosse.org/…/Reruk…/Punyopadeshaya.pdf

භාවනා කරන්න බැරි ඇයි?


භාවනා කරන බොහෝ අය සමඟ පුද්ගලිකව කතා බහ කරන විටදී හෙළිවන කරුණක් වන්නේ සිත එක අරමුණක රඳවාගෙන විනාඩි හත අටක් වත් ඉන්නට නොහැකි නොයෙක් දේවල් මතකයට නැගී හිත වෙනස් වන බවයි. එසේ වන අය ප්‍රකාශ කරන්නේ තවම මට හරියට ක්‍රමය අල්ලා ගන්නට බැරිවුණා. මට භාවනාව පිහිටන්නේ නැහැ. මේක කරන්නට බැරි ඉතා අමාරු කාර්යයක් ආදි ලෙසටයි.
භාවනාවට ලැදි භාවනාවට උනන්දුවක් දක්වන බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් සරණ පතන සදහම් රසය සොයමින් බුදුමඟ ගමන්කරන සැදැහැවතුන්ගේ හිත සුව පිණිස සිත එකම අරමුණක තබා ගැනීමේ රහස හෙවත් නොවරදින ක්‍රමය බුද්ධ භාෂිතයට අනුව සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් පැහැදිලි කර දීමට කැමැත්තෙමි.
භාවනා කරන විටදී සිහිය භාවනා අරමුණෙන් බැහැරවී වෙනත් අරමුණු ඔස්සේ දිවයෑමට හේතු දැනගෙන ඒවාට පිළියම් යොදා බැහැර කර ගත් විට සිත එකම අරමුණක බොහෝ වේලාවක් රඳවා ගැනීමේ හැකියාව දියුණු වෙයි. දිනපතාම එම ක්‍රමයන් භාවිත කරමින් පුරුදු පුහුණු වන විට දිනෙන් දින සිත එක්තැන් කර ගැනීමේ හැකියාව වැඩිදියුණු වන ආකාරය තමන්ටම අත්දැක ගැනීමට හැකියාව ලැබේ.
▬▬▬▬▬ භාවනා අරමුණෙන් සිත ඉවත්වී යෑමට හේතු,
1. මනස නිදහස් කර නොගෙන භාවනා කිරීමට යෑම
2. වර්තමානය හෙවත් එළැඹ ඇති මොහොත තුළ රැඳී නොසිට මනසින් අතීත හා අනාගත සිදුවීම් බලාපොරොත්තු පිළිබඳව ඇති වන වේදනාවන් තුළට බැස ගැනීම
3. භාවනාවේ ගැඹුරු අවධීන් වෙත යෑමට අවශ්‍ය මූලික සිද්ධාන්ත අනුගමනය නොකිරීම
මනස නිදහස් කර ගැනීම
සෑම සත්වයකුගේම ශරීරය නාමරූප හෙවත් සිත, කය යනුවෙන් එකට බද්ධ වූ පැවැත්මක් ඇතිව පවතින අතර නාමය හෙවත් සිතට අනුව රූපය හෙවත් කය නිරතුරුවම ක්‍රියාකරවමින් පවතී. ගමන් බිමන් යන විට වැඩ පල කරන විට කන, බොන විට ආදී බාහිර ක්‍රියාවන් කරන විටදී ක්‍රියාකාරී වන්නේ රූපයයි. භාවනා කරන විටදී රූපය අක්‍රීය කොට මනසින් මනසම ක්‍රියාකරවිය යුතුය. එබැවින් රූපය තුළින් මනස නිදහස් කරගත යුතුය. ඒ සඳහා මෙලෙසින් සිතන්න. ඊයේ රාත්‍රී කවා,පොවා සුව යහනක නිදිකරවන ලද මේ රූපකය උදයේ අවදි විය. උදේ මුහුණ කට සෝදවා පිරිසුදු කර වැසිකිළි, කැසිකිළි තැන්වලට රැගෙන ගොස් මල මුත්‍ර ඉවත් කර නැවත උදේට, දහවලට, රාත්‍රියට ආදී වශයෙන් කවා, පොවා, නාවා ඇඳුම්-පැළඳුම් අන්දවා පිරිසුදු කර පෝෂණය කෙරුවෙමි. මේ රූපයට අදට කළ සත්කාර ප්‍රමාණවත්ය. මේ මොහොතේ නාම කය හෙවත් සිත පිරිසුදු කර පෝෂණය කරගන්නා වේලාවයි. එනිසා දැන් කය පැත්තකට කර වඩා හිඳුවා හෝ නිදිකර තබමි. මේ මොහොතේ කය තුළින් විඳින සැප, දුක, උපේක්ෂා ආදී කිසිම වින්දනයක් අවශ්‍ය නැත.
රූපයට රූපයේ පාඩුවේ ඉන්නට හැර නාමය හෙවත් සිත දෙස බලමි. එහි ඇති අපිරිසුදු සිතිවිලි ඉවත් කරමින් පිරිසුදු කර ගනිමි. අපිරිසුදු සිතිවිලි පහළවන්නට ඉඩ නොදෙමි. පහලවන්නට පෙර හෝ පහලවන මොහොතේදීම ඒවා ක්‍රියාවන් බවට පත්වීමට ඉඩ නොදී ඇතුළතින්ම පළවා හරිමි. රූපයට අයත් පසිඳුරන්ගෙන් සිතට අරමුණු ගලා ඒමට ඉඩ නොදෙමි. රූපය ගැන ඇති සම්පූර්ණ අවධානය අමතක කර දමමි. සියලු අකුසලයන් පලවා හරිමින් කුසලයන් වැඩිදියුණු කරමින් සිත දමනය කර ගනිමි. සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවන් අනුව යමි.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං
ඒතං බුද්ධානු සාසනං
මෙලෙස ස්වකීය ශරීරයෙන් සිත වෙන් කර පසෙක තබාගෙන එම සිතින් කය දෙස බැලීම හෝ භාවනාවට ගත් කමටහන තුළ සිත රඳවාගෙන සිටීමට පුහුණු විය යුතුය.
භාවනා අරමුණෙන් සිත බැහැරට ගිය වහාම දැන් මගේ අරමුණ වෙනස් වී ඇත යන්න තම සිහියට නගාගත හැකි විය යුතුය. එසේ සිත වෙනස් වූ වහාම ඒ බව සිහිකර ගැනීමට හැකිවිය යුතුය. එවිට පෙර පැවැති අරමුණෙන් නැවතත් සිත රඳවා ගැනීමට හැකිවෙයි. එසේ නැතිව භාවනා අරමුණෙන් බැහැර වූ සිත ගෙදර දොර, දූ දරුවන්, රැකී රක්ෂා, ගමන්-බිමන්, වතු-පිටි වැඩපළ ආදී වෙනත් අරමුණකට ගොස් ඒවා ගැන සිතමින් කල්පනා කරමින් සෑහෙන වේලාවක් විනාඩියක් දෙකක් සිටියත් භාවනා අරමුණ සම්පූර්ණයෙන් බිඳ වැටී නීවරණයක් බවට පත් වන්නේ ය. භාවනා කිරීමට පුහුණු වන මුල් කාලපරිච්ඡේදයන් තුළදී බොහෝ දෙනකුට මෙවන් සිදුවීම් ඇතිවන අතර පුහුණුවීම තුළින්ම සිහිය රඳවා ගැනීමේ හැකියාව වර්ධනය වේ.
▬▬▬▬▬ අතීතය හා අනාගත අපේක්ෂා පිළිබඳ සිතුවිලි බරින් නිදහස් වීම
සියලුම ක්ලේෂ ධර්මයන් මනසින් බැහැර කර ගන්නා තුරු සෑම සත්ත්වයෙක්ම තණ්හා. ද්වේෂ, මෝහාදී ඔලොගු හිස මත දරාගෙන එම බරින් නෙක පීඩාවන්ට ගොදුරුවෙමින් විඳවමින් සංසාර ගමනක යෙදෙයි. මෙකී පීඩාව වෙළෙඳපොළට ගොස් දෑතටම බර මලු දෙකක් අරගෙන ගෙදර යන විට දැනෙන කායික පීඩාවට සමකර බලා තරමක් දුරට තේරුම්ගත හැක. එක අතකින් හාල් කිලෝ 10ක මල්ලකුත්, අනිත් අතින් එළවලු තුනපහ ආදී ගෙදරට අවශ්‍ය දේවල් දමාගත් කිලෝ 10ක පමණ මල්ලකුත් වශයෙන් මෙම මලු දෙක උස්සාගෙන ටිකක් දුර යන විට හොඳටම බර වැඩිවී අත්දෙක රිදුම් දෙන විට මලු දෙක බිම තබන්නට සිතෙයි. එවිට මලු දෙක බිම තබා ටික වෙලාවක් ගිමන් හැර නැවත එම මලු දෙක දෙඅතින් එල්ලාගත් විට කලින් පැවැති තරම් බරක් නොදැනී අත් දෙකට සැහැල්ලුවක් දැනෙයි. මෙහිදී දෑතට සැහැල්ලුවක් දැනුනේ බරමලු දෙක මොහොතකට බිම තැබීමෙන් දෙඅතට හා ශරීරයට ලැබුණු විවේකයයි. බර මලු දෙකේ කලින් පැවැති බර ප්‍රමාණයම නොවෙනස්ව පවතී.
මෙලෙසින්ම භාවනා කරන්නට යමෙකු සූදානම් වන විට එම මොහොත දක්වා සිත තුළ රැගෙන යමින් සිටින අතීතය හා සම්බන්ධ දුක, සැප, උපේක්ෂා, වේදනාවන් ගෙනදෙමින් පවතින සියලුම අතීත සිතිවිලි තාවකාලික වශයෙන් හෝ අමතක කර අතීතය හා සම්බන්ධ බරින් නිදහස් විය යුතුය. එසේම අනාගතය සම්බන්ධයෙන් පවතින සැප, දුක අපේක්ෂා සිතිවිලිවලින් පුරවාගත් අනාගත බරෙන් සිත නිදහස් කරගෙන එම මොහොතේ භාවනා කිරීමට අරමුණුකරගත් අනාපානසති, මරණානුස්මෘතිය, පිළිකුල් භාවනාව, මෛත්‍රී භාවනාව ආදී සම සතළිස් කමටහන්වලින් තමා තෝරාගත් අරමුණේම සිත රඳවා ගැනීමට හොඳ සිහි කල්පනාවෙන් යුක්තව විසිය යුතුය. එසේ ටික වෙලාවක් සිටින විට අතීත හා අනාගත බර මලු සිතින් බැහැර වී යන විට එතෙක් වේලා පැවැති එම බරින් සිත මිදීම නිසාම සිතට සැහැල්ලුවක් දැනෙන්ට වෙයි. එය බර මලු දෙකක් දෙඅතට ගෙන ගමනක යෙදෙන අයකු එම මලු දෙක බිම තබා ගිමන් හැර නැවත එම මලු දෙක අතට ගත්තද ටික වේලාවක් යන තුරු බරක් නොදැනී දැනෙන සැහැල්ලු ගතිය හා සමානය.
කුමන හෝ භාවනාවක යෙදී සිට එයින් නැගී සිටිනවාත් සමඟ ටික වේලාවක් යන තුරු තාවකාලිකව සිතට දැනෙන සැහැල්ලුවට හේතුව මෙයයි. එය තේරුම් ගත් පසු තම තමන්ගේ සිත් තුළ පැලපදියම්ව තිබෙන තණ්හා ආශාවන්ගෙන් සමන්විත බරපොදි ඉවත්කර ගැනීමෙන් ලැබෙන සුවය පිළිබඳ ඇතිවන ප්‍රායෝගික අත්දැකීම (අවබෝධය) හේතුකොටගෙන එවන් අය තව තවත් භාවනා කිරීමට උනන්දුවෙමින් සිත දමනය කර ගැනීමට නිතැතින්ම පෙළෙඹෙයි.
භාවනා කිරීමට පුහුණු වන ආධුනිකයන් ඒ සඳහා සුදුසු පරිසරයක් කරා යා යුතුය.
කුමන දෙයක් වුවත් ඉගෙන ගැනීමට ඊට සුදුසු ක්ෂේත්‍රයට යා යුතුමය. වාහන පදවන්නට ඉගෙන ගැනීමට නම් මහා මාර්ගයකට ගොස්ම පුහුණු විය යුතුය. පිහිනීමට ඉගෙන ගැනීමට නම් ජලාශයක් වෙතම ගොස් පුහුණු විය යුතුය. ගොවිතැන් කරන්නට ඉගෙන ගැනීමට ගොවි බිමකට යා යුතුමය. එසේම භාවනා කරන්නට පුහුණුවීමට නම් ඊට සුදුසු තැනකට යා යුතුය. බුදුපියාණන් වහන්සේ ඒ සඳහා යා යුතු තැන් වශයෙන් ආරණ්‍ය ගතොවා, රුක්කමූල ගතොවා, සුඤ්ඤ්‍යාගාර ගතොවා යනාදී වශයෙන් භාවනාවට සුදුසු ස්ථාන ගැන දේශනා කොට වදාළේ එබැවිනි. ඥාතිත්වයෙන් තමාගේම පුතු වූ රාහුල පොඩිහාමුදුරුවන් වහන්සේටද අවවාද කළේ කැලේ තිබෙන ගසක් යටට ගොස් භාවනා කරන්නට පුරුදු වන ලෙසටය. බොහෝ පිරිස් ගැවසෙන ඝෝෂාකාරී කලබල පරිසරයන් තුළ නුපුහුණු සිතක් සන්සුන්කර ගැනීමට නොහැකිය. සමූහ වශයෙන් ඒකරාශී වී බණ භාවනා අසා දැනගෙන තනි තනිව වෙන් වෙන්ව සුදුසු පරිසර වෙත ගොස් භාවනා කරනවා නම් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. මෙය සමූහ භාවනා ක්‍රම විවේචනය කිරීමක් නොව සාර්ථක ප්‍රතිඵල ඇති නොවීමට හේතු පැහැදිලි කිරීමක් බව කාරුණිකව සිතා බැලීම පිණිසයි.
බුදුපියාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස්වලට මෙන්ම රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේටද භාවනා කිරීමට අවවාද අනුශාසනා කළේ නිසංසල වන අරණකට ගොස් හෝ මිනිසුන් නිතර නොගැවසෙන බඩු භාණ්ඩ නැති හිස් ශාලාවකට ගොස් හෝ සිහිල් සෙවණ ඇති අතුරු ආබාධ අනතුරු නැති වෘක්ෂයක් මුලට ගොස් උඩුකය කෙළින් තබාගෙන බද්ධ පර්යංකයෙන් හෝ අර්ධ පර්යංකයෙන් වාඩිවී භාවනා කරන්නට බහුල වශයෙන් පුරුදු පුහුණු වන ලෙසය. මෙකී පසුබිම හා ඉරියව් භාවනා කරන්නට අත්‍යවශ්‍යම මූල සාධක වෙයි.
සෑම ක්‍රියාවකටම පහසු හා ගැළපෙන ඉරියව් පවතී. ඒ අනුව ඊට සුදුසු ඒ ඒ කාර්යන්හිදී මිනිසුන් පමණක් නොව සත්ත්වයන් පවා අනුගමනය කරයි. කෑම ගැනීම, වැසිකිළි යාම, නෑම, නිදා ගැනීම නොයෙක් වැඩපල කරන විටදී ඊට ගැළපෙන ඉරියව්වකින් සිට එම කටයුත්ත කරනවිට එය පහසු වන අතර අදාළ කටයුත්තද හොඳින් සිදුවෙයි. එම නිසා තමාට පහසු ඉරියව්වකින් ඉඳගෙන සිටින්නට හැකි වුවත් එම ඉරියව්වෙන් සිත තැන්පත් කරගැනීමට නොහැකි වන්නට ඉඩ ඇති බව දැනගත යුතුය. කුඩා අවදියේ සිටම භාවනා කරන්නට පුරුදුවනවා නම් වයස්ගත වන විටත් එම ඉරියව් පැවැත්වීමට ශරීරය හැඩ ගැසෙයි.
මෙකී මූල සාධකවලින් බැහැර වී භාවනා කරන්නට දරන උත්සාහයන් බොහෝ විට අසාර්ථක වේ. සිත තරමක් දුරට හෝ භාවනාවට හුරු කර ගැනීමට නම් මෙකී මූලික බුදුන් වහන්සේගේ උපදේශ පිළිපැදිය යුතුය. පැරැණි විහාර ආරාම සෑම එකක්ම ඉදිකර ඇත්තේ සිත සන්සුන් කර ගැනීමට හේතුවන ගස් ගල්, ඇළ, දොළ ගංඟා ආශ්‍රිත සොබා සිරියෙන් සිත් සන්සුන් කර ගැනීමට අදාළ පරිසර පද්ධති තුළය. මෙකී න්‍යාය එදාට පමණක් නොව අදටත්. අනාගතයටත් එසේම වනු ඇත. මෙකල බොහෝ දෙනකු භාවනාවට යොමුවීම අගය කළ යුතු වුවද කරන්නන් හා කියන්නන් වාලේ භාවනා කරන්නට ගොස් අසහනයට පත්වනවාට වඩා භාවනා කරන අය දැනගත යුතු හා පිළිපැදිය යුතු මූලික උපදෙස් අනුව කටයුතු කිරීමෙන්ම සිත ටිකෙන් ටික සුවපත් භාවයට පත් කර ගත යුතුය.
.
කොබ්බෑවල සුමනදාස වීරසිංහ

7/25/14

~ ධර්මයේ හැසිරෙන්නා දහම විසින් ආරක්ෂා කරයි ~



තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මංගල දහම් කරුණු අතර ධර්ම චර්යාවද උතුම් මංගල කරුණකි. දැහැමි ජීවිතයක් නම් වූ වදන් පෙළින් ගැඹුරු ධර්මාන්විත අදහසක් ඉදිරිපත් කරයි. එනම් දස අකුසල කර්මයන්ගෙන් වැළකී දස කුසල කර්මයන් අනුගමනය කිරීමයි. මෙහිදී කයින් සිදුවන අකුසල කර්ම තුනක්ද වචනයෙන් සිදුවන අකුසල කර්ම හතරක්ද සිතින් සිදුවන අකුසල කර්ම තුනක්ද විස්තර කෙරේ. නියම ධාර්මික බවක් හෝ ධර්මචර්යාවක් වන්නේ මෙසේ සිත, කය, සහ වචනය නම් වූ ත්‍රිවිධ ආකාරයෙන්ම සිදුවන වැරැදිවලින් ඈත්වීමෙනි.

පළමුවෙන්ම කයින් සිදුවන අකුසල් සඳහන් කරමු. කයින් සිදුවන අකුසල් වන්නේ සත්ව ඝාතනය හෙවත් පරපණ නැසීම, සොරකම හෙවත් අන්සතු දේ පැහැර ගැනීම සහ කාමයෙහි වරදවා හැසිරීම හෙවත් වැරැදි ලෙස ඉන්ද්‍රියන් පිනවීමයි. වර්තමාන පරිසරයෙහි කෙතරම් දුරට මෙම කරුණු ආරක්ෂා වන්නේදැයි නුවණින් සිතා බලන්න. අන් අයට දොස් පවරන්නට පෙර අපි අපගේ පවුල් පරිසරයද, අසල්වැසි පරිසරයද ගැන සිතා බලමු. පර පණ නැසීම අකුසලයකි නම් වූ ශික්ෂා පදය තරමක් ගැඹුරින් විමසිය යුතුය. මෙහිදී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම් පද මෙනෙහි කිරීම වටී.”නිහිත දණ්ඩ, නිහිත සත්ථ ලජ්ජී දයාපන්නා සබ්බපාණ භූත හිතානුකම්පී” දඬු මුගුරු නොදැරිය යුතුය. අවි ආයුධ නොදැරිය යුතුය. අකුසලයට ලජ්ජා විය යුතුය. සියලු ප්‍රාණීන් කෙරේ දයාවන්ත සහ හිතවන්ත විය යුතුය. බොහෝ අයෙක් මිනිසුන් හෝ සතුන් මරන්නේ නැතිබව සත්‍යයකි. එනමුත් ඉතාමත් ස්වල්ප වූ කරුණකට පවා කලකෝලාහල කරගන්නා අය සිටිති. නිසි උගත් කමක් නැති අය පමණක් නොව උගත් යැයි සම්මත අය පවා මහා නපුරු මිනිසුන් ලෙස ගෙදරදී හැසිරෙති. සමාජය ඉදිරියේ ඉතාමත් කරුණාවන්ත සහ දයාවන්ත වන සමහර අය ගෙදරදි තම බිරිඳට පහරදෙති. කෲර ලෙස සළකති. සමාජයේදී ඉතාමත් යහපත් ලෙස හැසිරෙන යම් අය රහසේ අනුන්ට හිංසා කරති. අනුන්ට විපත් කරති. අන් අයගෙන් වංචාවෙන් ගන්නට බලති. දැහැමි වන්නා අන් අයගේ ජීවිතවලට ගරු කළ යුතුය. හදවතින්ම දැහැමි විය යුතුය. ඔබ මෙම අදහස් නම් නොපැවසිය යුතුය. එනම් “අද ධාර්මිකව , තමන්ගේ රැකියාවක් කරගෙන ජීවත්වන මිනිසුන්ට සමාජයේ තැනක් නැහැ. ආදී වශයෙනි. යම් විටෙක එසේ සිදුවුවත් අප රටේද සමාජයේද ධාර්මිකව සහ අවංකව ජීවත්වන අයට ඕනෑ තරම් අවස්ථාව තිබේ. එමෙන්ම පිළිගැනීමක් ද තිබේ.

කයින් සිදුවන දෙවන අකුසලය ලෙස පෙන්නුම් කරනු ලැබුවේ සොරකමයි. මෙහිදී ධර්මානුකූල ජීවිතයක එක් කොටසක් ලෙස තමාට අයත් නොවන ,අන්සතු දේ සොරසිතින් නොගැනීම සඳහන් කළ හැකිය. සොරකම ගැන ඉතාම සරලව සඳහන් කළොත් බස් රථයක නැඟී සොර සිතින් යුතුව අවසර පතක් නොගෙන ගමන් කිරීමද සොරකමකි. රැකියා කරන ස්ථානයේ පවා තමන්ට අයත් නොවන දෙයක් වැරැදි ලෙස පරිහරණය කිරීමද තම නිවසට රැගෙන යාමද මේ කොටසටම අඩංගු කළ හැකිය.

සොරකමින් උපයන දේ වැඩිකල් රැඳෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවන ලෙඩ දුක් භයානක ලෙස පැමිණ හෝ පවුල් පරිසරයෙහිම හෝ සණ්ඩු දබර ආදි විපත් පැමිණ සියල්ල අවසන් වේවි. අපහසුවෙන් ලද උතුම් මනුෂ්‍ය ජීවිතය, සොරකම නිසා සතර අපායෙන් එක්තැනකට වැටෙන්නට ඉඩ නොදිය යුතුය. තමා සොරකම් කොට තමා පාපයක් කරගෙන තම දරුවන්ද එම පාපයේම කොටස්කරුවන් බවට පත්නොකරගත යුතුය. ස්වාමි භාර්යාවන් සහ දරුවන්ද සමඟින් අපායට යාමට සූදානම් නොවිය යුතුය

තුන්වනුව කාමයෙහි වරදවා නොහැසිරිමයි. එනම් වැරැදි ලෙස ඉන්ද්‍රියයන් සතුටු නොකිරීමයි. විවාහ ජීවිතයට පත්වන දෙදෙනෙකුගේ අවංකබව, ඔවුනොවුන් කෙරේ ඇතිකරගන්නා වු විශ්වාසය, ඔවුනොවුන්ගේ අදහස් තේරුම් ගැනීම සහ ගරුකිරීම ජීවිත සහ පවුල් ප්‍රශ්න දෙස ඤාණාන්විතවද, කාරුණිකවද උපේක්ෂාවෙන් යුතුව බැලීම් ආදිය මෙහිදී වැදගත්ය. මේ සඳහා බෞද්ධ දර්ශනයෙන් බොහෝ අවවාද උපදෙස් සහ ප්‍රායෝගික ක්‍රියා මාර්ග රැසක් පෙන්වා දී තිබේ. සමහර චරිතවලට තම හැඟීම් පාලනය කරගැනීමට අපහසුය. තම ස්වාමියා හෝ බිරිඳ බොහෝ යහපත් අයෙක් වුවද චරිතයේ පවත්නා අධික ආශාවන් නිසා වරදට පෙළඹෙති. එවැනි චරිත දෙස අප කාරුණිකව බැලිය යුතුය. ඒ ආකාරයේ චරිත ලක්ෂණ ඇති අයට “පටික්කූල සඤ්ඤා” භාවනා පිළිවෙතකින් මනස සන්සුන් කොට යහපත් වු පවුල් ජීවිතයක් සඳහා හැඩගැස්විය හැකිය.

වචනයෙන් සිදුවන අකුසල් හතරකි. එනම් බොරු කීම,කේළාම්කීම, ඵරුෂවචන කීම සහ හිස්වචන කතා කිරීමයි. වර්තමාන පරිසරයේ කියන සහ ඇසෙන කතා සදාචාරාත්මක විහරණයකට සුදුසු ඒවා නොවේ. වචනය අපිරිසුදු වීම නිසා උතුම් මානුෂික ගුණාංග ඉවත්ව ගියොත් මනුෂ්‍යයන් අතර විශ්වාසය සුහදතාව සහ සමඟිය බිඳවැටී අමනුෂ්‍ය ලොවක් බවට පත්වේවි. ඔබම සිතා බලන්න. විශ්වාසය ඔවුනොවුන් අතර රැඳී තිබෙන විට මනුෂ්‍යයෝ ජිවිතය පවා දෙන්න සූදානම් වේවි. එනමුත් බොරු කේළාම් ආදිය නිසා ඔවුනොවුන් අතර විශ්වාසය කැඩී ගිය විට තම ජීවිතය දෙන්නට නොව අනුන්ගේ ජීවිතය පවා ගන්නට සූදානම් වේවි. ඔබම අපේ රටේ සිදුවීම් අනුව සිතා බලන්න. විශ්වාසය සහ අවංකකම බිඳී ගිය පවුල්වල ස්වාමිපුරුෂයා සහ බිරිඳ අතරද දෙමාපියන් සහ දරුවන් අතරද සොහොයුරු සොහොයුරියන් අතරද ජීවිත හානි පවා සිදුවී ඇති බව ප්‍රකට කරුණුය. බොරු කියන්නට පුරුදු වු අයට ඕනෑම පාපයක් කිරීමේ තත්වයට වැටෙනු ඇත.

තුන්වෙනුව සිතින් සිදුවන අකුසල කර්ම තුනක් විස්තර කොට තිබේ. අභිජිඣා නම් වු විෂම ලෝභයයි. එනම් අන් සතු වස්තූන් කෙරේ ඇතිවන ආශාවයි. දෙවන කරැණ නම් තරහවයි. මෙම කරුණට වෛරය, ක්‍රෝධය ද ඇතුළත්ය.තුන්වෙනි කරුණ නම් මිථ්‍යා දෘෂ්ඨියයි. මේ නිසා තමන්ට නැති අන් අයට අයත් වස්තූන් කෙරේ විෂම ලෝභයක් ඇති නොකර ගත යුතුය. අන් අයගේ වස්තූන් කෙරේ ලෝභයක් ඇතිකර ගැනීම යනු ඊර්ෂ්‍යාවට ,අමනාපයට සහ නොරුස්නා බවට මුල පාදා ගැනීමක් හෙවත් විෂ බීජයක් උපදවාගැනීමකි. තමන්ට යමක් නැති වුවද අන් අයගේ ඇඳුමක් ගෙයක් දොරක්, ඉඩමක්, ධනයක් හෝ අන් අයට ලැබු උසස් වීමක්, තනතුරක ආදී යමක් වෙනුවෙන් ඊර්ෂ්‍යාවක් ඇතිකරගෙන තමා මනසින් දුක් විඳින්නේ ඇයි? අන් අයට තිබෙන දේවල් සහ තමන්ට නැති දේවල් ගැන සිතමින් ගෙදොර දොරේ සිත් අමනාපකම් ඇතිකර ගැනීමෙන් ඔබට අවැඩක් මිස සෙතක් හෝ යහපතක් නම් අත්නොවනු ඇත. ඔබට යමක් අවශ්‍ය නම් ඔබ විසින් කළ යුත්තේ ධර්මානුකූලව ද උත්සාහයෙන් සහ නුවණින් යුතුව උපයා සපයා ගැනීමට කටයුතු කිරීමයි. ඉන්පසුව ලද දෙයින් සතුටු වීමයි. හැබෑ මානසික සන්තෘෂ්ඨිය රඳා පවතින්නේ බාහිර වස්තු හෝ ආටෝපය මතම නොව තමා ඇතිකර ගන්නා වු පිරිසුදු සිතිවිලි අනුවයි. මිථ්‍යා දෘෂ්ටිය බරපතළ පාපයකි. සමාජයේ යහපැවැත්මට බාධාවකි. මෙසේ යහපත් දෘෂ්ටියක් ඇතිකර ගැනීම දැහැමි බවේ ලක්ෂණයකි. එනම් දානයේ විපාක ඇත. පූජාවේ යහපත් ඵල ඇත. සිරිත් විරිත්වල වටිනාකමක් ඇත. කුශලාකුශල කර්මවල විපාක ඇත.මෙලොවක් ඇත. පරලොවක් ඇත. මව සහ පියාට කෙරෙන උපස්ථානය උතුම්ය. දෙවියන් බඹුන් වැනි ඕපපාතික සත්වයන් ඇත. සම්මා ප්‍රඥාවෙන් පිරිපුන් සහ දෙලොව ජීවිතය පිළිබඳ පිරිසිඳ නුවනින් දත් ශ්‍රමණයන් වහන්සේලා ආදි පැවිදි උතුමෝ සිටිති. ඉහත සඳහන් අදහස් සමඟ කටයුතු කරන පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සහ පැවැත්ම පිළිබඳ කොපමණ නම් සුපසන් සිතක් අපටත් ඇතිකර ගත හැකිද? ධර්මපාල ජාතකයේදි පෙන්වා දෙන්නේ ධර්මචර්යාවෙහි යෙදෙන තැනැත්තා අඩු වයසින් නොමියෙන බවත් ධර්මය විසින්ම ආරක්ෂා කරන බවත්ය.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි – ධම්මෝ සුචිණ්ණෝ සුඛෙමාවහාති
ඒසානිසංඝෝ ධම්මේ සුචිණ්ණෝ – න දුග්ගතිං ගච්ඡති

”ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි. මනාකොට පුරුදු කරන ලද ධර්මය දෙලොව සැප ලබා දෙයි. ධර්මයෙහි හැසිරීමෙන් එවැනි උසස් ආනිශංස ඇතිවනු ඇත. ධර්මචාරි පුද්ගලයා දුගතියකට නොගොස් සුගතියකටම යන්නේය” ධර්මචාරි පුද්ගලයෙකුට යම් විටෙක කෝටි ගණන් ධනය හෝ තට්ටු ගණන් ගෙවල් නොමැති වනු ඇත. එනමුත් සිතේ පවතින සැනසීම මුදලකට සමාන කළ නොහැකි වනු ඇත. ධර්මයෙන් ජීවත් වුවත් අධර්මයෙන් ජීවත් වුවත් සියලු දෙනාම මැරෙනු ඇත. මගේ යැයි පැවසූ සියල්ලම මෙහි තබා යනු ඇත. අධර්මචාරි පුද්ගලයා මරණින් මතු දුගතියද ධර්මචාරි පුද්ගලයා මරණින් මතු සුගතියටද යනු ඇත. මෙම දෙකින් වඩා යහපතක් වූ චර්යාව ඔබ විසින් තෝරාගන්නා ධර්මාවබෝධයම වේවා.

උතුම් තුණුරුවන් සරණයි.
බුදුසරණ අන්තර්ජාල කලාපය - මිරිස්සේ ධම්මික හිමි
නිවන් මඟ දහම් පණිවිඩයකි
ශෝකය දුරු කර ගැනීම පිණිස කායානුපස්සනාව ප්‍රමුඛ සතර සතිපට්ඨානය වඩන්න.

( ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, සත්තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරරෝ සතිපට්ඨානා.)

…… පින්වත් මහණෙනි, මේ සතර සතිපට්ඨාන ධර්ම මාර්ගය වනාහී සසරින් එතෙර වීම පිණිස ඇති ඒකායන මාර්ගය වේ. (මේ මාර්ගය වනාහී) සසර දුකට වැටී කෙලෙසුන් නිසා අපිරිසිදු භාවයට පත් වී සිටින සත්වයන් හට එම කෙලෙසුන්ගෙන් මිදී පරම පාරිශුද්ධත්වයට පත්වීම පිණිසද, දුකින් පීඩිතව සෝ සුසුම් හෙළමින් හඬමින් වැළපෙමින් සිටින සත්වයන් හට ඒ සෝ සුසුම් හැඬීම් වැළපීම් ඉක්මවාලීම පිණිසද, කායික – මානසික දුක් දොම්නස්වලින් අනන්ත පීඩා විඳින සත්වයන් හට, ඒ කායික – මානසික දුක් දොම්නසින් අත්මිදීම පිණිසද, චතුරාර්ය සත්‍යය නම් වූ සද්ධර්ම න්‍යායය තමාම ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගැනීම පිණිසද, සසරේ දුක සකස් කරන හේතුව වන තණ්හාව (අවබෝධ ඤාණය තුළින්) ප‍්‍රහාණය කොට සදා සැප වන අමා මහා නිර්වාණ ධාතුව ප‍්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේ සන්තානයේ උපදවා ගැනීම පිණිසද පවතී.
- මහා සතිපට්ඨාන සූත්‍රය (දී.නි. 2)