ඉදින් මේ ලෝකයාගේ දුක නැතිකරගන්න මාවතේ වැරැද්ද දැකපු නිසයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහල වුනේ. අනේ මේ ලෝකයා දුක දන්නේ නැහැ. දුක ඇතිවෙන හැටි දන්නෙත් නැහැ. දුක නැති තැන නැත්නම් සැප තියෙන තැන දන්නේ නැහැ. ඒ සැප ළඟා කරගන්න යන මාවත ගැන දන්නෙත් නැහැ. මෙන්න මේ ටික මම ලෝකෙට පහදලා දෙන්න ඕනේ කියන මහා කරුණාවෙන්මයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහල වෙන්නේ. ලෝකය තුල පහල වෙලා දේශනා කලේ අපි හැමදාම හොයන ප්‍රශ්නෙට පිළිතුරු. අපි නොදන්නවා වුනාට අපි මුළු ජීවිත කාලෙම හෙව්වේ සැප සතුට ජීවිතේ ළඟා කරගෙන දුක ජීවිතෙන් අයින් කරගන්නනේ. අන්න ඒ කාරණාවමයි බුදු දහමෙන් පෙන්වන්නේ. වෙන මොකුත්ම නෙමෙයි සැප සතුට දෙක තියෙන්නේ කොතනද ඒකට තියෙන මඟ මොකක්ද, දුක තියෙන්නේ කොතනද ඒක අයින් කරන්නේ කොහොමද කියන කාරණාවමයි. ඉදින් ඒ ධර්මතා හතර ඉලක්ක කරගනිමින් බුදුරජාණන් වහන්සේ ඊට යන ප්‍රතිපදාව පනවනවා.
මහණෙනි මේ එකම මඟයි. සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්නත්, හැඩීම්, වැළපීම් ඉක්මවන්නටත්, දුක් දොම්නස් නැතිකිරීමටත් - ඔන්න දුකේ නැති පැත්ත පෙන්නුවා. මාර්ග ඵල ලබන්නත්, නිවන අවබෝධ කරන්නත් - සැප ලැබෙන පැත්ත පෙන්නුවා. මෙන්න මේ සතර සතිපට්ඨානය යි. දුක අයින් කරන්නත් සැප ලබාගන්නත් තියෙන්නේ එකම මඟයි කියල ඒකට යන මඟ පෙන්නුවා.
යම්කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය වඩනවා නම් එයා බොහෝ කාරණා, බොහෝ දේ නොදන්නවා වුනාට අනුක්‍රමයෙන් ටිකෙන් ටික එයාගේ ජීවිතෙන් දුක අයින් වෙලා සැප සතුට දෙක සැනසිල්ල කියන එක ජීවිතේට ටිකෙන් ටික ලං වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ ශාන්තියක් මේ ජීවිතේට රැකවරණයක් ලබාගන්න ඕනේ නම් හැම කෙනෙක්ම මේ බුදුහාමුදුරුවන්ගේ වචනය ගැන විශ්වාසය තියාගන්න වෙනවා.
මේ සතිපට්ඨානය විස්තර කරන්න ඉස්සර වෙලා තවත් කරුණක් මතක් කරන්න ඕනේ. ඒක තමයි පින්වතුනි අපි ගොඩක් වෙලාවට තීන්දු තීරණ ගන්නේ අවුරුදු පනහට හැටට පෙනෙන මේ අපේ ජීවිතය දිහා බලලා විතරයි. මේ ජීවිතය පුරා දුකක් නැතුව ඉන්න පුළුවන් නම් අපි සෑහීමකට පත්වෙනවා. සතුටක් තියෙනවා නම් සෑහීමකට පත්වෙනවා. අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ, හොයන්නේ නැහැ. නමුත් මේක මේ අවුරුදු පනහ හැටේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි. අවුරුදු සීයක් ජීවත්වෙන මනුස්සයෙකුට උදේට හරි, දවල්ට හරි, රෑට හරි දවසක එක වේලාක් අපි කන්න දුන්නොත් ඒ මනුස්සයාගේ මුළු ජීවිතේටම අපි යමක් කළා වෙනවද? නැහැ, නිකන් බත් වේලක් දුන්නා විතරයි. ඒ වගේ අනවාරග්‍ර සංසාරයට සාපේක්ෂව එකම ජීවිතයක් දුක් කියන මාත්‍රයක්වත් නොලබා සැපම කියන තැනකින් මුළු ජීවිතේම ජීවත් කලත් හරියට අවුරුදු සීයක් ජීවත් වෙන මිනිහෙකුට එක බත් වේලක් දුන්නා වගේ විතරයි.
මේ අවුරුදු පනහෙන් හැටෙන් පස්සේ කවුද තමන්ගේ ජීවිතේට රැකවරණයක් ලබා දෙන්නේ? කවුද තමන්ගේ ජීවිතේට නිදුක් බව ලබදෙන්නේ? කිව්ව හැකිද අපිට හැම ජීවිතයක්ම සුවපත් වෙනවා කියලා. අවුරුදු සීයක් ජීවත් වෙන මනුස්සයෙක්ට එක බත් වේලක් දුන්නා කියලා ඒ බත් වේලෙන් අවුරුදු සීය පුරාවටම ඉන්න කෙනාගේ බඩගින්න නිවිලාද තියෙන්නේ? නැහැ. ඒ වගේ මේ ජීවිතය පුරාවටම කෙනෙක් සැපවත් වුනත් ඒ සැපෙන් හිතනවද අනන්ත සංසාරේම සැපවත් වෙයි කියලා. ඒක මම මතක් කලේ ඕගොල්ලෝ ඉන්න වටපිටාව දුක පැත්තකින් තැබේවා, සැපවත් නම් ඒ සැපදායක වටපිටාවට බලලා සැප දායක වටපිටාවට තියලා තීරණය කරන්න එපා. මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනවාරග්‍ර සංසාරයට සාපේක්ෂව හිතන කෙනෙකුටයි බලන කෙනෙකුටයි.
ඒ නිසයි බුදු හාමුදුරුවන්ගේ කාලේ රජවරු රජකම් අතහැරියා.සිටුවරු සිටුකම් අතහැරියා. මහා ධනවත්තු ඒ ධනය අතහැරියා. පින්වතුනි ඒ කුමක් නිසාද සදාතනික ජරාමරණ දුකෙන් නිදහස් වෙන මේ ධර්මය නහමක් වරදාවා කියන අදහසින්. මේ ධර්මය මට අතහැරෙන්න එපා. මේ තාවකාලික සැපය නිසා සදාතනික සැපය මට නොවරදීවා කියන අදහසින්. හැම දෙනාටම මතක් කරනවා සදාතනික සැපය ලැබෙන මේ සද්ධර්මය මට නොවරදීවා කියන කලණ සිතින් මේ දේශනාව ශ්‍රවනය කරන්න කියල.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016.02.06 දින මහනුවර දී සිදු කල සතර සතිපට්ඨානය ධර්ම දේශනාව ඇසුරෙන්
දේශනාව ශ්‍රවනය කිරීමට
දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට