6/18/16

සක් දෙවිඳුගේ නමස්කාරය

දිනක් සක්දෙව්රජ උයන්සිරි දක්නට යාමට සැරසී විජයොත්පහයෙන් බැස රථයට නැගීමට කලින් සතර දිගට  නමස්කාර කෙළේ ය. එය දුටු මාතලී දෙව්පුත් “ද්‍රේවේන්ද්‍රයෙනි, ඔබට, ත්‍රිවිද්‍යා ඇත්තෝ ද සකල භූමස්ථයෝ ද ක්ෂත්‍රියයෝ ද සිවුවරම් රජහු ද යශස් ඇති දෙවියෝ ද නමස්කාර කරති, එසේ වු ඔබ නමස්කාර කරන්නේ කවුරුන්ට දැ’යි ඇසී ය. එකල්හි සක්දෙව් රජ:-

“අභඤ්ච  සීලසම්පන්නෙ - චිරරත්තසමාහිතෙ,
සම්මා පබ්බජිතෙ වන්දෙ - බ්‍රහ්මචරිය පරායනෙ.

යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලී”

“මාතලී, මම ද සිල්වත් වූ බොහෝ කලක් සන්සුන් කළ සිත් ඇත්තා වූ උතුම් පැවතුම් ඇත්තා වූ යහපත් පැවිද්දන් නමදිමි. පින් කරන්නාවූ සිල්වත් වූ යම් ගෘහස්ථ උපාසක කෙනෙක් දැහැමින් අඹුවන් පෝෂණය කෙරෙත් ද ඔවුන්ට නමස්කාර කරමි’යි කීය.
(සක්ක සංයුක්ත)

ශීලගුණය ඇතියවුන්ට සක්දෙවිඳු පවා නමස්කාර කරන බව මේ කථාවෙන් පෙනේ.

මතු සම්බන්ධයි!

රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/3Z3uWk