4/6/15

ඔබ භාවනාවට බිය ද?

ද සමාජයේ සමහරු භාවනාවේ යෙදීමට කැමැති වුණත් ඊට බයයි. මේ පිළිබඳ මොනතරම් විස්තර බුද්ධ දේශනාවල ඇතුළත් දැ යි බොහෝ අය දන්නේ නැහැ. සූත්‍ර දේශනා පමණක් 18,000 ක පමණ ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබෙන බව අදටත් ඇතැම් බෞද්ධයන් නො දන්නා කාරණාවක්.
දැන් මේ දේශනා බොහෝමයක් සිංහලට පරිවර්තනය වී තිබෙන නිසා ඔබට මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතා පහසු වී තිබෙනවා.
තවත් සමහරුන් සිතන්නේ භාවනාවට පුද්ගලයකු යොමුවන්නේ ඒ තැනැත්තා ගේ් ජිවිතයේ පවතින කිසියම් ගැටලුවක් හෝ කරදරකාරී තත්ත්වයක් නිසා බව යි. බුද්ධ දේශනා පිළිබඳ අල්පමාත්‍ර හෝ දැනීමක් ඇත්නම් මෙවැනි මිථ්‍යා මතවල කිසිවකු එල්බ ගන්නේ නැහැ. එහෙත් අද සමාජයේ බහුතරයකට මේ දේශනා ගැන වැටහීමක් නොමැති නිසා මෙවැනි මතමයි වඩාත් ප්‍රචලිත ව තිබෙන්නෙ.
කෙසේ වෙතත් ගරුතර ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙවැනි මත පැතිරී තිබෙන්නේ අප වැනි රටවල පමණක් බව යි. ඉන්දියාවේ බහුතර ජනතාවක ගේ මතය මීට හාත්පසින්ම වෙනස්. බටහිර රටවල පවා මිනිසුන් භාවනාව ගැන අවබෝධයකින් යුතුව යි කටයුතු කරන්නේ.
මම ඔබට මේ සඳහා හොඳ උදාහරණයක් දක්වන්නම්. මා වරක් ධර්ම ප්‍රචාරය සඳහා ඇමරිකාවට යන්නට සූදානම් වූ විට එහි රේගු නිලධාරියෙක් මගෙන් ඇසුවා එහි යෑමට අදාළ හේතුව ගැන. මා කීවා මා එහි යන්නේ භාවනාව ඉගැන්වීමට යි කියා. ඒ පිළිතුරින් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. ඔහු මට කියනවා ඉතා හොඳයි, මාත් ඉතා කැමැතියි භාවනාවට කියා.
ඉතින් බලන්න එවැනි රටක දී භාවනාවට ඉහළ අගයක් හිමිවීමටත්, අපේ වැනි රටක එය එසේ නො වීමටත් හේතුව කුමක් ද කියා. ඇත්තටම බටහිර රටවල උදවිය බුදුදහම කරා යොමු වන්නේ දැනුම ඔස්සේ නො වේ. භාවනාව ඔස්සේ ම යි. බටහිර රටවල ජනපි‍්‍රය මාතෘකා දෙකක් තිබෙනවා. ඒ තමයි යෝග සහ භාවනාව. ඒ අය ශාරීරික සුවතාව සඳහා යෝග යොදා ගන්නවා. භාවනාව යොදා ගැනෙන්නේ මානසික සුවතාව සඳහා යි. දැන් අපේ රටේ බැලුවොත් මේ දෙක ම නැහැ නේද? අපේ මිනිස්සු මේ දෙකට ම ගරහනවා. මොකක්ද මේ පෙරදිග ඇතිවුණු පිරිහීම? මා ඔබට කියන්නම් මේ පිරිහීමේ රහස මොකක්ද කියලා.
මේ රටවල ඉන්නවා මානසිකව ඔද්දල් වූ ජනතාවක් කාම පිපාසිත වූ. මේ අයට ජීවිතයේ කිසි ම අවබෝධයක් නැහැ. වින්දනය පමණක් ඉලක්ක කරගෙන හිස් ජීවිතයි මේ අය ගත කරමින් ඉන්නේ. මේ හිස් පුද්ගලයන් විසින් සමාජය තුළ ඇති කරන ලද මතයක තමයි අපේ බහුතරයක් එල්ලීගෙන ඉන්නේ.
තවත් මතයක් අපේ රටේ බොහෝ ප්‍රචලිතයි. එනම් භාවනා කිරීමෙන් සිහි විකල් වියහැකි යැයි කියන මතය යි. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. භාවනා කළා කියා එහෙම වන්නේ නෑ.
ඕනෑම මානසික රෝගියෙක් මානසික රෝගී බවට පත් වන්නේ කල්පනා කිරීමෙන්. කිසිවෙක් තමන්ට පීඩාවක් ඇතිවන ආකාරයට වැරැදි යමක් කරන බව දිගින් දිගටම කල්පනා කළ විට එහෙම රෝගී වෙනවා. මානසික රෝගයක මූලාරම්භය අමතක වීම. බලාගත් අත බලාගෙන සිටීම, ඒ වාගේ ම විකෘති ආකාරයට දිගින් දිගටම එක ම දෙයක් ගැන සිතමින් සිටීම ආදිය යි. මේ සියල්ල ම පුද්ගලයකුට පහසු වන්නේ ඒ පුද්ගලයා හුදෙකලා වූ විට යි. මානසික රෝගි බවට පත්වීමට සූදානම් පුද්ගලයා හැමවිට ම උත්සාහ දරන්නේ හුදෙකලා වීමටයි. හුදෙකලා වීමට ඇති කැමැත්ත නිසා ම මෙවැනි අය භාවනා කිරීමට යොමු වෙනවා. ඒත් ඇත්ත වශයෙන් ම ඔහුට තියෙන රෝගයක්. ඔහුට ඒ ගැන දැනීමක් නැහැ. ඉතින් මෙවැන්නෙක් කිසි ම විටෙක නිවැරැදි ආකාරයට භාවනාවේ යෙදෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඔහුට ආවේනික කල්පනාවේ නිමග්න වී සිටීමක්. භාවනා ඉරියව්වෙන් සිටිමින් ම කල්ගත වෙද්දී ඔහුගේ රෝගය උත්සන්න වනවා. දැන් මේ පුද්ගලයා ගැන රාවයක් පැතිරෙනවා භාවනා කිරීම හේතුවෙන් සිහි විකල් වී තිබෙන බවට. ඒත් ඇත්තට ම මේ පුද්ගලයා තුළ එතෙක් පැවැති ආබාධයකුයි මෙසේ උත්සන්නව ඇත්තේ.
අනෙක් අතට සිහි විකල් වන්නේ භාවනාව නිසා නම් භාවනා නොකරන අයට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති නො විය යුතුයි. ඒත් අපි දන්නවා කිසි ආගම් බේදයකින් තොරව පුද්ගලයන් ගේ සිහි විකල් තත්ත්වය ඇතිවනවා කියා. බලන්න කතෝලික හා ඉස්ලාම් වැනි ආගම් අදහන අයට භාවනා උගන්වන්නේ නැහැ. ඒ ආගම්වලට භාවනාව අදාළ නැහැ. ඒත් ඒ ආගම්වලට අයත් අය, මානසික රෝගී බවට පත්වන්නේ නැත්ද?
මූලික කාරණාව තමා, අපේ රටේ මිනිසුන් අතර මත ප්‍රචලිත කර තියෙනවා භවනා කළා ම තමයි පිස්සු වැටෙන්නේ කියලා. තවත් දෙයක් තියෙනවා. කසින භාවනාව නම් කිසිම කෙනෙකුට උචිත නැහැ. මා එය කිසිම විටෙක නිර්දේශ කරන්නේත් නැහැ. මෙතැනදී වන්නේ වර්ණයක් දෙස බලාගෙන භාවනා කිරීමයි. ඒත් මේ විදියට භාවනා කළා ම අභ්‍යන්තර වශයෙන් සතිපට්ඨානයෙන් ලබා ගත හැකි දේ ලැබෙන්නේ නැහැ. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී ලෙස යෝනිසෝමනසිකාරයේ යෙදෙන්නට බැහැ. ඒ කෙනා කරන්නේ කිසියම් වර්ණයක් අරමුණු කරගෙන භාවනා කිරීම පමණයි. අන්න එතැන දී මේ පුද්ගලයා තුළ කිසියම් මානසික වශයෙන් දුර්වලතාවයක් පැවතියා නම් එය ඉස්මතු වීමේ ඉඩකඩ ඇති වෙනවා. ඇත්තට ම අතීත කාලේ ආරණ්‍යවල කසින භාවනාව වැඩූ හාමුදුරුවරුන්ට මෙවැනි ප්‍රශ්න ඇති වී තිබෙනවා. මෙන්න මේ දේ භාවනාව ගැන වැරැදි මතයක් පැතිර යෑමට විශාල හේතුවක් වුණා.
‘භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම, අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන් අනිත්‍ය භාවනාවෙන්. මේ අනුව චිත්ත සමාධියක් කරා පිවිස වැඩි කලක් ගත කළ හැකි ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන් ම මෙවැනි දේ වෙනත් ආගම්වල නැහැ. බුදු දහමෙන් උපුටා ගත් යමක් මිස, ඒ අයට භාවනා නැහැ. දැන් අපි දන්නවා මේ විදිහට බුදු දහමෙන් ක්‍රම උපුටාගෙන සමහර අය භාවනා කරනවා. ඒත් එවැනි අය භාවනාවේ යෙදෙන්නේ අවබෝධයකින් තොරව නිසා එසේ කිරීමෙන් සිහි විකල් වී යා හැකියි. මෙය භයානක තත්ත්වයක්. ඔබ හොඳින් වටහාගත යුතු කාරණාවක් මා කියන්නම්. මේ කාරණාව වටහා නො ගෙන නම් ඔබ කිසි විටෙක භාවනාවට යොමුවන්නට එපා. මනසක් ගොඩ නංවන්නට නම්, මනස පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කොට ඇති විද්‍යාවක් අවශ්‍යයි. සරල සාමාන්‍ය දෙයක් ගැන ඔබ හිතා බලන්න. කිසිවකුට මාවතක් සකසන්නට වුවමනා නම්, ඒ මාවත සැකසීමට අදාළ විද්‍යාව ඔහු උගත යුතුයි. ගොඩනැගිල්ලක් සෑදීමේදීත් ඊට අදාළ ශිල්පීය දැනුම ලබා සිටිය යුතුයි නේද? එසේ නම් මනසක් ගොඩ නංවන්නට නිකම් පුළුවන්ද? මනස දියුණු කළ හැකි ශිල්පීය ඥානය තිබෙන්නේ කොතැන ද? එය ඇත්තේ බුදු දහම තුළ පමණයි.

අනෙක් අතට පුද්ගලයන් දහසක් ගෙන බැලුවොත් එයින් දෙතුන් දෙනකුට මානසික ප්‍රශ්න තිබෙනවා වන්නට පුළුවන්. ඒත් එහෙමයි කියා අපට අනෙක් නවසිය අනූ අට දෙනා ම අත්හැර දමන්නට පුළුවන්ද?
දැන් මං අපේ භාවනා වැඩසටහන්වල දී භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මොනවා ද? මෛත්‍රී‍්‍ර භාවනාව; මෛත්‍රී චිත්තයෙන් නිතර ඉන්නැයි කියන එක. බුද්ධානුස්සතිය; බුදු ගුණ සිහි කරමින් ඉන්නැයි කියා කීම. ඊළඟට අනිත්‍ය යැයි කියන දේ සිතමින් සිටින්නට උපදෙස් දීම. ආනාපාන සතියේ දී සිත තැන්පත් කර ගැනීමට පෙළඹවීම.
ඉතින් ඔබට ම පෙනෙනවා ඇති මේ සියලු දේ භයානක නම්, යහපත් දේ මොනවා ද? මේවා නොසිතිය යුතු නම්, සිතිය යුත්තේ් මොනවා ගැන ද? එසේ නම් අප නිතරම කල්පනා කරන්නේ රූපවාහිනියෙන් පෙන්වන, රේඩියෝවකින් අසන දෙයක් ගැන. නැතිනම් පත්තරවලින් කියවන දේ ගැන.
ඒ කියන්නේ පුද්ගලයා නිතර ම අසහනයෙන්, රාගයෙන්, ද්වේශයෙන් හෝ මෝහයෙන් සිටිය යුතුය යන්නයි. ඇත්තටම මිනිස්සු මේ විදිහට මානසිකව පීඩා විඳිමින් තමයි හැමවිටම ඉන්නේ. ඒත් ඔවුන් පීඩා විඳිමින් ඉන්නා බව ඔවුන්ම දන්නේ නැහැ. මෙහි අනතුර පොදු ජනතාව දකින්නෙත් නැහැ. මෙය තමයි, බහුතර ජනතාවක් වෙලී සිටින අවිද්‍යාව.
අවිද්‍යා සහගත පුද්ගලයා මනස සුවපත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඉස්සර වඩා දැන් සමාජයට යම් පමණකින් හෝ භාවනාව ගැන අවබෝධයක් තිබෙන බව පෙනෙනවා.
ඉස්සර නම් තරුණ දරුවෙක් භාවනා කළොතින් හැමෝම කලබල වුණා. හැමෝම හිතුවේ, මේ දරුවට මොකක් හරි ප්‍රශ්නයක් කියලා.
හැබැයි ඔබ අතර ම විදේශිකයෙක් එහෙම භාවනා කරනවා නම් අපේ අය ඒ ගැන ඉතා ඉහළින් කතා කරනවා. අපේ අයට ම තමයි, මෙතැනදීත් ගැරැහුම. මෙතැන දී එක දෙයක් අපට වැටහෙනවා. එනම් මේ අය භාවනාව වර්ණනා කරන්නේත්, ඒ වාගේ ම ඊට ගරහන්නේත් අවබෝධයෙන් නොවේ ය කියන කාරණාව යි.
ඇත්තට ම භාවනාවට යොමුවීමෙන් පුද්ගලයකුට විශාල සුවපත් භාවයක් ඇතිවෙනවා. සුවදායී මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙය නිවැරැදිව උදා කර ගැනීමට නම් පොදුවේ ඒ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතුයි.
භාවනාවක් පිළිබඳ උපදෙස් අප රහසේ තබාගතහොත්, ඒ කියන්නේ රහස් බණ කියන්නට ගියෝතින් එතැන අනතුරක් තිබෙනවා ම යි. දැන් රටපුරා තැන් තැන්වල පෞද්ගලිකව භාවනා උපදෙස් දෙනවා නේ, රහසිගතව. එහෙම දේ බුදු දහමේ නොමැති බව ඉතා පැහැදිලිව ඔබ වටහා ගත යුතුයි. අප භාග්‍යවතුන්වහන්සේ ගේ ධර්මය, විවෘත වීමෙන් ම යි බබළන්නේ. මේ බව උන්වහන්සේ පැහැදිලිව ම දේශනා කළා. වැසුණා ම එය බබළන්නේ නැත.
එසේ නම් කිසිවෙක් මෙය විවෘත නො කොට සඟවන්නේ නම්, එය කිසියම් සැකකටයුතු යමක්.
මෙය ඉතා බරපතල වන්නේ මේ උපදෙස් ගත් කෙනාට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් පැවතීම යි. ඇයි ද කියනවා නම් මේ කතාබහ ඇතිවන්නේ දෙදෙනෙකු අතර පෞද්ගලිකව මිස, විවෘත පරිසරයක දී නො වන නිසයි.
භාවනාව සම්බන්ධව අද සමාජයේ ප්‍රකටව පවතින විවිධ මති මතාන්තර ගැන වාද විවාද පවත්වමින් සිටින්නට බොහෝ අය කැමැතියි. එහෙත්, ධර්මය යනු පහුරකි. එය උපයෝගී කරගෙන අප එතෙර විය යුතුයි. එයින් බැහැරව තමන්ගේ පාණ්ඩිත්‍යය අන් අයට ප්‍රදර්ශනය සඳහා විවිධ දෘෂ්ටි ගොඩනගාගෙන ඒවා තලු මරමින් සිටීම, කිසිසේත් උචිත නැත. බුදුරජාණන් වහන්සේ තම ධර්මය පහුරකට උපමා කර ඇත්තේ, එතෙරවීමට යන කාරණාව පදනම් කරගෙන ම යි.
අනෙක් අතට රහස් කමටහන් දෙන උදවිය පවසන්නේ, මිනිසුන් අතර සිටින රාග, ශ්‍රද්ධා, දේවේශ, මෝහ ආදී චාරිතානුකූලව උපදෙස් දීමයි මෙතැනදී සිදුවන්නේ කියා.
ඉතින් මේක නම් ප්‍රශ්නෙ, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම දේශනා කොට තිබෙනවා, ද්වේෂය තිබෙන කෙනා මෛත්‍රිය වැඩිය යුතුයි කියා. ඉතින් කිසිවකුට දැනෙනවා නම් තමාට ද්වේෂය නිතර ඇතිවන බව, ඒ පුද්ගලයා මෛත්‍රී භාවනාව අත්හදා බැලිය යතුයි. මමත්වය වැඩිනම් අනිත්‍ය දකින්නට සිත මෙහෙයවිය යුතුයි.
ඉතින් මේ උපදෙස් කිසිවෙක් අද පිළිගන්නවා නම්, මේ ධර්මය අදත් සන්දිට්ඨික යි. (සන්දිට්ඨිකය යනු, මේ ජීවිතයේ දී ම අවබෝධ කළ යුතුය යන්න යි) මේ ධර්මය හැමදාමත් ස්වක්ඛාතයි. (මැනවින් දෙසන ලද) අකාලික යි (ඕනෑ ම කාලයක දී අවබෝධ කළ හැක) බුද්ධ කාලීන ව හෝ වත්මනේ දී ආදී ලෙස ධර්මයේ ස්වභාවය වෙනස් නො වේ. අප ඉතා හොඳින් මේ කාරණා වටහා ගත යුතුයි. මෙයින් පසුව තමයි භාවනාව හුරුකළ යුතු. මේ අනුව බලන කල අප කළ යුතු බුද්ධ දේශනා ප්‍රකට කරවීම ම යි.
අනෙක භාවනාවක් දියුණු කරනවාය යන්නේ් අදහස තමන් ම තමන්ගේ් දුර්වලතා මෙන් ම කුසලතා ද හඳුනාගෙන, තමා තමාව ම පිළිසරණ කර ගැනීම යි. ධර්මය තුළ පිහිටා තමා ගේ දුර්වලතා මැඩ ගැනීමට උත්සාහ දැරීම තමයි, මෙතන දී සිදු වන්නේ. මෙය කිසිසේත් ම, අඳුරේ අතපත ගාමින් යන ගමනක් නො වේ. මේ සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශ සියල්ල ධර්මයේ ඇතුළත්.
දැන් අපේ භාවනා වැඩසටහන්වලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඇදී ඒමට එක ම හේතුව, ධර්මය ප්‍රකට වීම යි. එසේ නැතිව, ධර්මය යනු මහමෙවුනා අසපු සංචිතයන්හි පෞද්ගලික උරුමයක් නො වේ. එය විවෘත යමක්, එය අප ජනතාවට විවෘත කර දුන්නා, එපමණයි.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 
සාකච්ඡා කළේ -
තනුජා ධර්මපාල

කර්ම චක්‍රයෙන් - ධර්ම චක්‍රයට


ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත...
... මේ ලිපිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ මට ඔබ වහන්සේගෙන් ඇසිය යුතු වැදගත් කාරණාවක් නිසාය. මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්ණ වල දී පාලනය කර ගත නොහැකි කෝපජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති, දඩබ්බර ගැහැණියක් මෙන් මුර ගාමි. මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාව ම එපා වේ. එහෙත් ඉතා ඉක්මණින් යළිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යළි ප්‍රභාවත් වේ. මට සිද්ධිය ද අමතක වේ. මෙය හරියට නිශ්චල ජල තටාකයක, උඩින් හමා යන සුළං පහරක් වැනිය. සුළං පහරට කැළඹෙන ජලය සුළං පහර හමා ගිය පසු යළි නිසල වේ. කැළඹීම ගැඹුරු නැත.
මෙය මට බලනොපෑවාට, මා අවට අයට තදින් බලපායි. ‍මා මෙන් මෙය ඉක්මණින් අවසන් කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්තිද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පත් වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනාය.
ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මෙවන් සිද්ධිවලින් පසු ප්‍රබලව මට ඒ සිද්ධිය විස්තර කිරීමට හැක. මගේ දුර්වලතාවය හොඳින් පෙනේ. දුර්වලතාවය මතු වූ අන්දම ද පෙනේ. එයට පැටළුණු අයගේ දුර්වලතා ද පෙනේ. මා පාලනය කර ගන්නට තිබුණා නේද කියා සිතේ. ඒත් යළි යළිත් මම මේ වැරදි දේ කරමි. එය දැන් පුරුද්දක් මෙන් මතු වේ. වරකට මට මෙය පිටස්තර බලවේගයක් ද කියා ද සිතේ. පිටස්තර බලවේගයක් වූවත් එයට අසු වෙනවා නම් එය මාගේ දුර්වලතාවයකි. ‍
මේ පැහැදිලි කිරීමට තවත් අතුරු කතාවක් මා ඔබ වහන්සේට කිව යුතු ය. ස්වාමීන් වහන්ස, දොළොස් දහසක් වර්ෂයන් ඈතට මට පසුගිය ආත්ම පෙනේ. සියලුම ආත්ම නොව මේ ආත්මයට බලපාන කුසල අකුසල කර්ම කළ ආත්මයන් ය. ඉන් ඉතා ප්‍රබලව බලපාන ආත්ම තුනකි.
1. වසර දොළොස් දහසකට පෙර අත්ලාන්තික් සාග‍රයේ තිබූ ඉසුරුමත් රාජ්‍යයක රාජ කුමරියක් වූ ආත්මය.
2. ඉන් අනතුරුව ලංකා පුරයේ (ලක්දිව) ඉතාම නැණවත්, රූමත්, පිරිමියෙකු ලෙස, දැඩි ප්‍රතාපයෙන් යුත් තේජවන්ත රජ කුමරියක වූ ආත්මය.
3. දෙවන පෑතිස් රජු කල අනුලා බිසවගේ පාරිචාරිකාවක ලෙස සිට ඇය හා මහණව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මහණ දම් පිරූ ආත්මය (මේ කුසලය බොහෝ කලකට බලපායි. සසර හරි මඟට ගෙන යන්නේ මේ කුසලය මතුපිට එන කුසල චිත්තයන් යැයි මට වැටහේ)
මේ ආත්මයේ මම 18 වසරක් තිස්සේ, අන්ත කටුක මානසික පීඩා කරදර මැද හිරකාරියක සේ අප්‍රමාණ වද වේදනා විඳිමින් සිටිය ද, හැම දේකම වැරැද්ද, ප්‍රසිද්ධ අවමානය, තනිවීම, සමච්චලයට ලක් වීම වැනි දේට මුහුණ දුනිමි. මේ, ලංකා පුරයේ රජ කුමරියක වී සිටියදී කළ බරපතල පාපකර්මයේ අවසාන පියවරයි. ඒ කර්මය මා ගෙවා නිම කල ද, තවමත් ටිකක් තිබේ. ගිනි පුපුරු නිවී ගිය ද ඇති උණුසුම මෙනි. මෙහි අන්ත දුක දකුණු ඉන්දි‍යාවේ දේවාලයක දේවදාසියකව ගෙව්වෙමි. එය තිරිසනෙකු සේ වද වින්ද ආත්මයකි. මම අන් ස්ත්‍රියකගේ පුරුෂයාට ලොල්ව, පලි ගැනීමක් වශයෙන් මාගේ රාජ බලය ද, දැඩි ප්‍රතාපය ද යොදවා, ‍මාගේ ‍සහෝදරයා ලවා (අප සමපාලකයෝ වීමු) යට කී පතිභක්තිමත්, සියුමැලි, රූමක් කාන්තාව සිරකාරියක කළෙමි. ඈ බලවත් සේ කම්පාව, තනි ව, භීතියෙන් වද වින්දා ය. ඈට වද දීම (මානසික වධ), මට විනෝදයක් විය. ඈ මේ නිසා සමාජයේ අවමානයට ලක් වූවාය. සැමියා ඇයට ම පරිභව කර ඈ නෙරපා දැමීය. ඈ එවිට ගැබ්බරව සිටියා ය. තනිව ඒ දුක අවමානය ද වින්දා ය. අසරණව මිය ගියා ය.
මම යස රඟට මේ ආත්මයේ ඒ කර්මයේ ශේෂය ගෙවූයෙමි. තනි වීමි. නින්දා ලැබීමි. සැමියා විසින් ද, ඔහුගේ වර්ගයා විසින් ද දරුණු ලෙස පරිභව කරනු ලැබීමි. දරුවන් හා තනිව දුක් ‍වින්දෙමි. නොකළ වැරදි වලට සමා‍ජයේ ගර්හාවට ලක් වීමි. ප්‍රකටව ම පරිභව ලැබීමි. හිරකාරියක වීමි. දරුවන් හා තනිව සිටිමි (සැමියා මා පලවා හැරියේ ය).
මේ දුක් පීඩා එන විට මම කුසල බලය (සිල් රැකීමේ බලය) මතු වීමෙන් මෙයට හේතුව සොයන්නට වීමි. බෞද්ධ දර්ශනයේ ගැඹුර සෙවීමටත්, සත්‍යය සොයමින් යෑමටත්, කියවීමටත්, පින් දම් කිරීමටත්, ධර්මයට ඇලීමටත් පුරුදු වීමි. මාගේ මනැස ද, නැණැස ද ඇරුණේ ය. කර්ම වේගය කෙතරම් බරපතල ලෙස ගෙව්වත් අද මට ඒ ශේෂයක්වත් මනස් පීඩාවක් නැත. දුක් පීඩා මතක නැත. කිසිම වේදනාවක් නැත.
අත්ලාන්තික් සාග‍රයේ රාජ කුමරියක වූ මාගේ නම ‘ඇනීහා’ විය. අවුරුදු 14 දී වෛද්‍ය පූජකවරියක ලෙස පූජකාරාමයට ඇතුළු කරන ලදී. නිල් මහනෙල් තටාකයක් ඉදිරියේ දී කසිණයක් පුහුණු වීමට මට සිදු විය. මට නිල් කසිණ පුහුණු කළෙ, ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ගේ තුවාල සනීප කිරීමට හා වේදනාව නැති කිරීමට මගේ මනසින් ‘නිල් ආලෝක ධාරා’ නිකුත් කිරීමට ය. ඒ යුගයේ වෛද්‍ය විද්‍යාව, මානසික බලය හා සම්බන්ධව කෙරුණේ ය. නිල් ආලෝක ධාරා නිකුත් කිරීමට මට විශේෂ බලයක් තිබුණු බැව්, අධිමානසික බල තිබූ පූජකවරු දැන ගත්හ. එහෙත් පුහුණු වූයේ අවුරුදු 4 ක් පමණි. මට අවුරුදු 18 දී පූජකාරාමයෙන් ද, රටින් ද පැන ගියෙමි.
මේ ආත්මයේ මට නිල් පාට දුටු විටම සිත පහන් වේ. එකඟ වේ. ප්‍රභාමත් වේ. උද්වේගයෙන් පිම්බී යයි. සිත ශාන්ත වේ. නිවේ. නිල් මහනෙල් මල මට ඉතා ප්‍රිය ය. අහස් නිල ඉතා ප්‍රිය ය.
මේ ආත්ම තුන මා දැක්වූයේ, ඒ මේ ආත්මයට ඉතා සම්බන්ධ බැවිනි.
1. මට මතුවන ‘කෝප පිස්සුව’ මගේ අකුසල කර්මයේ කොටසක් ද?
2. නීල කසිණය යළි වැඩීමෙන් මගේ සිත නිවා ගත හැකි ද?
බොහෝ දේ ලිවීම ඔබ වහන්සේට මහත් කරදර බව දනිමි. කරදර කරනවාට දෙපා නැමැද සමාව ඉල්ලමි.
ප.ලි.
පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. තවත් ළඟින් සිටින කොටසක් පරම හතුරෝ ය. මට මේ දෙකොටසම කෙරේ ඇත්තේ, එකම හැඟීමකි.
මේ හැර මේ සංඥා තලයට අයත් නැති නොපෙණෙන කල්‍යාණ මිත්‍රයෝ සිටිති. ඇතැම් ආත්ම (මට මතකයට නොඑන) ගැන ඔවුහු මට කියති. අවුරුදු දොළොස් දහසකට පෙර මා චාතුර්මහාරාජික දෙව්ලොවේ සිට පොළෝ තලයට ආ බවත්, යළිත් මේ ආත්මයෙන් පසු එහි එන බවත් මට දන්වා ඇත.
ඉදිරියේ ඇති ආත්ම දෙකක් මට පෙනේ. එකක් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (ශල්‍ය) ලෙස උපත ලැබීම. ඉන්පසු ආත්මය මහණ දම් පිරීම. මේ ආත්ම දෙක ම පිරිමි ආත්ම ය. ප්‍රබල කුසල බලපාන ආත්මයන් ය. මේ ආත්මයත්, ඊළඟ ආත්මයත් අතර ලොකු පරතරයක් පෙනුන ද, ඒ කා‍ලයේ මා ඉන්නේ කොහේ ද කියා මට නොපෙනුනේ ය. දැන් මට දන්වා ඇති පරිදි ඒ චාතුර්මහාරාජිකයේ ය. මනස ඉතා පැහැදිලි විට ඔවුහු මට කතා කරති.
මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ. තව වසර දහයකින් මට ඒ ග්‍රහලොවට මට එන්නට පවා හැකි වේ යැයි, ඔවුහු මට කියති. අධිමානසික තරංග මත ගමන් කිරීමේ ශක්තිය මේ ග්‍රහ ලොවේ වැසියන්ට තිබේ. ඔවුහු විද්‍යා ඥානයෙන් ද, මානසික බලයෙන් ද අති ප්‍රබල ය. මනැස් සංඥාවෙන් කතා කරති. මේ කල්පයේ වැදගත් සිදු වීම් ඔවුන් ‘ටෙලිවිෂන්’ සේ චිත්‍රගත කර ඇත. ඒ අතර ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඇතැම් කොටස් එහි ඇත.
මේ ගැන සෙවූ මට තාරකා විද්‍යාඥයින් මේ තරු පොකුරේ සෞර ග්‍රහ මණ්ඩලයක් තිබෙන බව සැක කරන බව තාරකා විද්‍යා පොත්වල දක්නට ලැබුණි. විද්‍යාඥයින් සැක පහළ කරන්නේ තර්කානුකූලව ඔප්පු කළ සාධක ඇත්නම් පමණි. හේතු ඇත්නම් පමණි.
මම ද මේ ගැන විමසිලිමත් වෙමි. ඔවුන් ආශ්‍රයට සුදුසු ප්‍රබල මනස් ඇතියවුන් බැවින් ඒ මට මහත් ප්‍රීතියකි. පසුගිය කාලයේ මාස හතරක් තිස්සේ මේ සංඥා මට ලැබුණේ ය. දැන් ඒවා නැවතී ඇත. මගේ කර්ම වේගය හීන වී, මගේ මනැස පැහැදිලි වන තෙක් මට සංඥා දීමට ඔවුන් බලා සිට ඇත.
මේ සියල්ල මට අරුම විශේෂ සිද්ධීන් ලෙස නොදැනේ. මේ සංසාරය විහිදී යන දුර පමණක් පැහැදිලි වේ. දැන් මහ පොළොවේ සිටියත්, එන ආත්මයේ චාතුර්මහාරාජිකයේ උපන්නත් මට එක සේ දැනේ. විශේෂ ප්‍රීතියක් නැත. මේ සියල්ල මනස නම් මායාමය බලවේගය මවන මායාවන් නොවේ ද?
ම‍ගේ එකම අධ්‍යාශයත්, උවමනාවත් සර්වඥතා ඥාණය ප්‍රත්‍යාක්ෂ කිරීම පමණි. මේ මගේ අන්තිම ස්ත්‍රී ආත්මය යි. සසර බරපතල පව් මම මේ ආත්මයේ දී ගෙවා නිම කරමි. ඉන්පසු සසර ඉදිරි මග පැහැදිලි විසල් ඍජු ගමන් මගක් ලෙස මට දැනේ. බාධක කිසිත් නැත. මගේ සිත පැහැදිලි අහසක් මෙන් විශාලව පැතිරී යයි. සියල්ල එක නිමේෂයකට එක්වර මම දකිමි. ඉන්පසු සිත වැසී යළිත් නිශ්චල වෙයි. මෙය ඉතා ප්‍රබලව දැන් මට දැනේ.
මේ ගමන් මගට සුදුසු ධර්ම දානය දෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සසර මේ සන්ධිස්ථාන‍යේ දී මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ ම විය යුතු ය.
මේ දීර්ඝ ලිපිය ලියා ඔබ වහන්සේට කරදර කරනවාට දහස් වරක් සමාය ඇයැදිමි.
ප.ලි.
මේ ලිපිය ලියූ පසු මට කරුණක් නිරවුල් විය. කෝප පිස්සුව බරපතල කර්මය කළ ආත්මයේ තිබූ චරිත ලක්ෂණයකි. එය අද මට මා කෙරේ ම නින්දා පමුණුවන, ගර්හාවට ලක් කෙරෙන ආයුධයක් විය. කර්ම පල දෙන හැටි! දැන් මා මෙයට ප්‍රතිවිරුද්ධව නැගී කර්ම වේගය සිඳිය යුතු ය. එය කරන්නෙ කෙසේ ද? මෙය මතුවන්නේ මා නොසිතූ විට ය. හදිසි කුණාටුවක් මෙනි.
සසර ගමනේ මගේ ස්ත්‍රී භාවය නිමා වූ අන්දම ඔබවහ‍න්සේ හමු වූ විටෙක කියමි. එය කර්ම‍ වේගය පිළිබ ඳ විචිත්‍ර කතාවකි.
-----------------
මෙය කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේට ලැබුණු ලිපියකි. මේ උතුම් කත තවමත් ජීවතුන් අතර සිටියත්, චාතුර්මහාරාජිකයේ සිටියත් ඇයට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරමු. මේ උතුම් බුද්ධෝත්පාද කාලය අප්‍රමාදීව ගෙවන්නට සියලු දෙනාට මේ කථාව දහම් පඬුරක් වේවා !!

4/5/15

සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුව යන්න ධර්මයෙහි අර්ථ නිරුපණය වන්නේ .

සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුව යන්න ධර්මයෙහි අර්ථ නිරුපණය වන්නේ .
භින්න පටි දාරි (බිඳිච්ච පට දරන )පට යනු වස්ත්‍රය .
රාගය නිවීම පිණිස වෙහෙසෙන
...
ද්වේශය නිවීම පිණිස වෙහෙසෙන
මෝහය විද්වංසනය කිරීම පිණිස වෙහෙසෙන
ක්‍රෝධය නැති කිරීම පිණිස වෙහෙසෙන
උපනාහ නැති කිරීම පිණිස වෙහෙසෙන
මක්ඛ නැති කිරම පිණිස වෙහෙසෙන
පලාස නැති කිරීම පිණිස වෙහෙසෙන
ඊර්ෂියාව නැති කිරීම පිණිස වෙහෙසෙන
මච්චරිය නැති කිරීම පිණිස වෙහෙසෙන
මායාව නැතිකිරීම පිණිස වෙහෙසෙන
සාඨෙයිය භාවය නැති කිරීම පිණිස වෙහෙසෙන
ථම්භය නැති කිරීම පිණිස වෙහෙසෙන
සාරම්භය නැති කිරීම පිණිස වෙහෙසෙන
මානය අධිමානය නැති කිරීම පිණිස වෙහෙසෙන
ප්‍රමාදය නැති කිරීම පිණිස වෙහෙසෙන
සියළු කෙලෙසුන්ගෙන් වෙන්වීම පිණිස වෙහෙසෙන
සියළු දුසරිතයෙන් වෙන්වීම පිණිස වෙහෙසෙන
සියළු දර්ථයන්ගෙන් වෙන්වීම පිණිස වෙහෙසෙන
සියළු ප්‍රදාහයන් ගෙන් වෙන්වීම පිණිස වෙහෙසෙන
සියළු සන්තාපයන්ගෙන් වෙන්වීම පිණිස වෙහෙසෙන
සියළු අකුසලයන්ගෙන් වෙන්වීම පිණිස උත්සාහවත් වන සිත් සනසා ගන්න, සිත් ධර්මයෙහි අලවා වාසය කරණ තැනැත්තා `භික්ෂුව` යනුවෙන් තුන් ලෝකාග්‍ර වූ භාගවතුන් වහන්සේගේ ඔරසපුත්‍ර මහ සංඝ රත්නය හඳුන්වා වදාරන්නට යෙදුනු සේක.ඒ ගුණ දහමින් පිරුණු ගුණොත්ම මහා සඟරුවනට මාගේ නමස්කාරය වේවා.!!