බුද්ධ රත්නයේ උතුම් තෙමගුල සමරණ දිනය බුද්ධානුස්මතියෙන් (බුදු ගුණ සිහි කරමින්) ගත කරමු
බුද්ධරත්නයේ අසම සම ගුණ සමුදායෙන් ද උපසෝභිතය. ඒ බුදුගුණ සිත් සතන් හි රඳවාගෙන නැවත නැවතත් සිහි කිරීම ‘බුද්ධානුස්මෘති’ නම් වේ. ‘අනුස්සති’ යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි. බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද, මාර්ග ඵලාවතීර්ණ වූවෝද, පෘථග්ජන එහෙත් නුවණැතියෝ ද තම තමන්ගේ නැණ පමණින් බුදුගුණ හඳුනා ගනිති
යං කිඤ්චි චිත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
නනො සමං අත්ථි තථාගතෙන
ඉධම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
(රතන සූත්‍රය)
“මෙ ලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගයක් වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධරත්නය හා සමාන නොවේ ම ය. බුද්ධ රත්නය උතුම් ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්ත්වයන් සුවපත් වේවා!”
‘බුද්ධ’ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද? තථාගතයන් වහන්සේම “සේල” නම් බමුණාට වදාළ අයුරින් දතයුතු සියල්ලම (තථාගතයන් වහන්සේ විසින්) වෙසෙසින් දක්නා ලදිමි. (අභිඤෙඤයං අභිඤඤාතං) වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. (භාවෙතබ්බං ච භාවිතං) හල යුතු සියල්ල හලෙමි. (පහාතබබං පහීනමෙම) එහෙයින් මම ‘බුද්ධ’ නම් වෙමි. (තස්මා බුදෙධාසමි බ්‍රාහ්මණ) දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග ආදී ආර්ය සත්‍ය, ස්කන්ධ, ආයතන, ධාතු, බෝධිපාක්‍ෂික ධම්ම, පටිච්ච සමුප්පාද අංග ආදී ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද, සත්ව ලෝකය පිළිබඳ වූ උත්පාද, ඨිති, භංගා දී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්‍ෂියෙන් දත් හෙයින් ද ‘සම්මා සම්බුද්ධ’ නම් වන සේකැ’යි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.
බුද්ධරත්නය යනුවෙන් සලකන විට අතීත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වැඩ සිටියාහුද , අපගේ ස්වාමී වූ ගෞතම නම් බුදුන්වහන්සේ ද, අනාගත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වෙත් ද, කාලත්‍රයවර්තී සියලු දෙනා වහන්සේම ඊට ඇතුළත් වෙති. එහි සියලු බුදුවරයන් වහන්සේම බුද්ධරත්නය සතු අනර්ඝ වූ ලක්‍ෂණ සමුදායෙන් සෝභමානය.
සම්මා සම්බුද්ධත්වය යනු කවරේදැයි තථාගතයන් වහන්සේ සතු මහා ප්‍රඥාවෙන් අවබෝධ කට යුතුයි. ත්‍රිපිටකාගත සූත්‍රයන්හි අසදෘෂ්‍ය වූ සම්බුද්ධඤාණය විවිධාකාර ප්‍රභේදයන්ගෙන් විවරණය වී ඇත. සම්මා සම්බුද්ධත්වයෙහි අසිරිය කාරකාරාම සූත්‍රයෙන් “සබ්බඤ්ඤු භූමි, බීණාසව භූමි, සච්ච භූමි, සඤ්ඤාත භූමි, තාදී භූමි” යනුවෙන් ප්‍රධාන කොටස් පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ. එය ගැඹුරින් අධ්‍යයනය කිරීම සම්මා සම්බුද්ධත්වයෙහි විශිෂ්ටත්වය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වේ.
සම්බුද්ධත්වය අති ගාම්භීර ඤාණ සම්පත්තියකින් සමූපලක්‍ෂිතය, සම්බුද්ධත්වය කරා පියවරින්, පියවර ආධ්‍යාත්ම සංවර්ධන කාර්යෙහිලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රොත්සාහිවූ අයුරු වටහා ගැනීම මෙහිලා ඉතා වැදගත් වන්නේ ය. බෝමැඩ කරා වැඩම කොට අපරාජිතපය්‍ය¡ංකයෙන් වැඩ හිඳ මාර පරාජයෙන් අනතුරුව අනාපානසති භාවනා,භ්‍යාසයෙන් චතුර්ථ ධ්‍යානයට එළඹ සිත ඉන් ඉවත්කොට අනේක සංඛ්‍යාත අතීත ආත්මභාවයන් තත්ත්වාකාරයෙන් දකිමින් පුබ්බේනිවාසානුස්සති ඤාණ ප්‍රතිලාභ කොට ගත්හ.
අතීත විවිධ ආත්මයන්හි උපන් තැන්, ලැබූ නම් ගොත්, විඳින ලද සුව දුක් පැහැදිලි ලෙස දකිමින් අතීතය වසාලන මෝහන්ධකාරය දුරු කිරීමට සමත් වූහ. අනතුරුව සත්ත්වයින්ගේ උත්පත්තිය, පැවැත්ම හා මරණයද සුගති හා දුගති සංඛ්‍යාත භවයද, කුසලාකුසල කර්ම විභාගාදියද දකිමින් ‘දිබ්බචක්ඛු ඤාණ’ සහ චුතුපපාත ඤාණ උපදවා ගත්හ. ඉන් අනතුරුව කෙලෙසුන් සිඳලීමේ සසර බැමි ලිහා දැමීමේ මග කෙරෙහි සිත් යොමු කළෝ සතර මඟ, සතර ඵල පිළිවෙලින් සර්වඥ ඤාණ සම්පත්ති ප්‍රතිලාභී වූහ. එය වනාහි යථාභූත ඤාණ දස්සන අවබෝධයයි. ඒ වනාහි, චක්‍ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් හැඳින්වෙන එම ඤාණ සම්පත්තිය සාධාරණ ඤාණ අටකින්ද, අසාධාරණ ඤාණ හයකින්ද ප්‍රභේදගත වේ.
බුද්ධත්වය හා බැඳී පවත්නා මෙම ඤාණ විභාගයෙහි හරවත් බව අවබෝධ කරගත හැක්කේ ඉතා සියුම්ව හා විචාරක්‍ෂියෙන් යුතුව විමසා බැලීමෙනි. න්‍යාය, චෛශේෂිත, සංඛ්‍ය, වේදාන්ත, යෝග, පූර්ව විමංසා, උත්තර විමංසා, ෂඩ් දර්ශන, උපනිෂද් ආදී ඉගැන්වීම් මඟින් ඉදිරිපත් කෙරෙන ඉන්දීය දර්ශන සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තුලනාත්මකව විමසා බැලීමෙනි. භාරතීය දර්ශනය මඟින් ඉදිරිපත් කළ අධ්‍යාත්ම සංවර්ධන ක්‍රියාවලිය හා විග්‍රහය අවබෝධ කොටගත හැක්කේ විචාරශීලී පරිපූර්ණ මනසක් ඇති ප්‍රතිපත්ති ගරුක, සත්පුරුෂ සාධූන්ට පමණි. බුද්ධිගෝචර බවින් සැබවින්ම ඈත් වූ දේව නිර්මාණවාදී යදමින් බැඳුනු ආගමික නායකයින්ට එය කෙසේවත් කළ නොහැකි ය.
සර්වඥතාඤාණය පාදක වීපවත්නා දාර්ශනික පදනම හේතුඵලවාදය නම් වේ. එය අචින්ත්‍ය වූ ජගන් මණ්ඩලය සංස්ලේෂන හා විශ්ලේෂන වශයෙන් විමර්ශනයට භාජන කළ හැකි වූද, යථාර්ථාවබෝධයට මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නා වූ ද පරම සත්‍ය වූ දාර්ශනික පදනම ලෙස හඳුන්වා දිය හැකි ය.
බුද්ධරත්නයේ අසම සම ගුණ සමුදායෙන් ද උපසෝභිතය. ඒ බුදුගුණ සිත් සතන් හි රඳවාගෙන නැවත නැවතත් සිහි කිරීම ‘බුද්ධානුස්මෘති’ නම් වේ. ‘අනුස්සති’ යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි. බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද, මාර්ග ඵලාවතීර්ණ වූවෝද, පෘථග්ජන එහෙත් නුවණැතියෝ ද තම තමන්ගේ නැණ පමණින් බුදුගුණ හඳුනා ගනිති. අනතුරුව නැවත නැවත මෙනෙහි කරති. එහෙයින්ම බුද්ධ, ධම්ම, සංඝ සංඛ්‍යාත රත්නත්‍රය සරණ යති. මෙම උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින බුද්ධානුස්සතියේ යෙදී ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව ලොවී ලොව්තුරා සැපත් ප්‍රාර්ථනා කටයුතුයි.......
සැමට තෙරුවන් සරණයි!.....