10/6/15

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ


බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.
ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.
එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක
මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.
බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා.
සම්බුද්ධ පරිනිර්වාණය.......
මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා.
අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.
මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.
අජාසත් රජතුමා......
ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා.
පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.
කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.
අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන්ගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා.
පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා.
කුක්කුට සම්පාත පර්වත......
අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා.
එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.
මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්
"පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය"
ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.
එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා
කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.
අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා.
පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා.
අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.
ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ.
වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා.
සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා.
බෙන්තර ගලපාත විහාර ස්ථූපය
දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා.
මේ ලිපිය ලියන්න කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන්. ඔහුටත් පින් සිදුවේවා...

9/30/15

සිහින පිළිබඳ ව බෞද්ධ මතය දැක්වීමකි මේ.


මිනිසාට පමණක් නො ව, සතාසිව්පාවන්ටත් නින්ද අවශ්‍ය ය. එසේ ම ගස්-වැල් පවා නිදාගනී. ජීවීන්ට පමණක් නො ව අජීව යන්ත්‍ර-සූත්‍ර, යාන-වාහනවලටත් නින්දක්, විවේකයක් අවශ්‍ය ය. නින්දේ ස්වභාවය එකිනෙකාට වෙනස් ය. දහවල් නිදන රෑ නොනිදන සත්ත්වයෝ ද කඩින් කඩ නිදන සත්ත්වයෝ ද වෙසෙති.
දිනක් එක්තරා දෙවියෙක් බුදුරදුන් හමු වී මෙබඳු ප්‍රශ්නයක් විමසුවේ ය: “භාග්‍යවතුන් වහන්ස, දහවල් ගිනි ගන්නා වූ රාත්‍රියෙහි දුම් දමන තුඹසක් ඇත. එය කුමක් ද?” ප්‍රහේලිකාවක් බඳු වූ මේ ප්‍රශ්නයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ දහවල් ක්‍රියාකාරී වන සිරුරේ සිතිවිලි රාත්‍රියෙහි ක්‍රියාත්මක වන බව යි. පුද්ගලයාගේ දහවල් ක්‍රියාකාරීත්වය රාත්‍රියෙහි සිහින බවට පත් වී ක්‍රියාත්මක වෙයි. එය දහවල් ඇවිළී රාත්‍රියෙහි දුම් දැමීමක් බඳු ය.
අභිධර්මයට අනුව නින්දට පත් වූ තැනැත්තාගේ ඇස, කන, නාසය ආදි පඤ්ච ඉÁද්‍රියයන්ගේ ‘පඤ්චද්වාරවජ්ජන සිත්’ නම් වූ මනසට විවෘත වන දොරවල් ක්‍රියාත්මක නො වේ. එහෙත් මනස අවදියෙන් සිටී. නින්දේදී මනස අවදියෙන් සිටින බැවින් සිහින පෙනේ. එනම් ‘මනෝද්වාරවජ්ජනය’ සිදු වේ. නිදා සිටින කෙනකුගේ ඇස ඉදිරියේ පහනක් දැල්වූයේ නම්, කන සමීපයෙහි ශබ්දයක් ඇති කළේ නම්, නාසය සමීපයෙහි සුවඳ යමක් තැබුවේ නම්, මුඛයෙහි (දිවෙහි) රසවත් යමක් තැබුවේ නම්, කයට යම් ස්පර්ශයක් කළේ නම්, පඤ්චද්වාරවජ්ජන සිත් ක්‍රියාත්මක නො වේ; ඒ කෙරෙහි මනස විවෘත ව තිබේ.
එනම් මනෝද්වාරවජ්ජන සිත ක්‍රියාත්මක වේ. ඒ අනුව බාහිර උත්තේජනයන්ට වහා ප්‍රතිචාර දක්වයි. මේ පඤ්චද්වාරවජ්ජන සිත් මුල් වූ ක්‍රියාවකින් කර්මයක් හෝ කර්ම විපාකයක් හට නො ගනී. සිහිනෙන් සිදු කරන ක්‍රියාවන්හි කුසල් අකුසල් කර්ම විපාක නැත.
බුදු රජාණන් වහන්සේ හා රහතන් වහන්සේ සිහින නොදකින්නේ උන් වහන්සේ වීතරාගී නිසා ය. ථේරවාදී සම්ප්‍රදායට එරෙහි වූ මහා සාංඝික නිකායේ මහාදේව හිමි ප්‍රකාශ කළේ “රහතන් වහන්සේ රාග සහිත පිරිසක් බවත්, එනිසා උන් වහන්සේ සිහින දකින බවත්, ඇතැම් රහතන් වහන්සේ සිහිනෙන් දිව්‍ය ලෝකවල සැරි සරමින් දෙව් ලියන් හා කාමයේ බැඳෙන බවත්” ය මෙය රහතන් වහන්සේ පිළිබඳ මහා සාංඝික නිකායේ මතය යි.
ථේරවාදී බෞද්ධයෝ රහතන් වහන්සේ සිහින නොදකිතැ යි ද, උන් වහන්සේ දුටු දෙය දුටු පමණින් ද ඇසූ දෙය ඇසූ පමණින් ද ගන්නා අතර ඇසූ දුටු දේ පිළිබඳ ප්‍රතිචාර නො දක්වතැ යි ද පිළිගනිති, මේ අනුව “නෙළුම් පතට වැටුණු දිය බිඳ නෙළුම් පත උරානොගන්නා” මෙන් ඇසූ දුටු දේ සිතින් උරාගැනීමක් නැති ව වෙසෙන නිසා රහතුන් සිහින නොදකිතැ යි, පිළිගැනේ. මෙනිසා දහවල් ගිනිගෙන රාත්‍රියේ දුම් දමන ස්වභාවයක් රහතුන් කෙරෙහි නොවන බව ද වටහාගත යුතු ය.
අප අතර සිටින ඇතැමෙක් සිහින නොදකින බව කියති. එය සැබැවින් ම සත්‍යයක් නො වේ. නින්දට වැටුණු සැණින් ගැඹුරු නින්දට වන් ඔවුහු රාත්‍රිය පුරා ම සිහින දකිතත්, එය මතකයට නොනැගෙන බැවින්, සිහින නොදකිතැ යි පවසත්. අප දකිනා සිහිනවලින් මතක තබාගත හැක්කේ සීමිත ප්‍රමාණයකි.
එසේ ම දකින සෑම සිහිනයකට ම කිසියම් අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකි ය. සිහින පිළිබඳ ඵලවිපාක පැවසූ, පැහැදිලි කළ බුද්ධිමත් පිරිසක් පෙරත් විසූ හ. නූතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ඔස්සේ සිහින පිළිබඳ ඵලාපල පවසනු අසන්නට ලැබේ. බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන්ට සිහින ඵලාපල දැක්වීම නුසුදුසු බව වදාරා ඇත. එසේ නමුත් සිහිනවල කිසියම් ම හෝ සත්‍යයක් නැතැ යි මෙයින් අදහස් නො වේ. ඵලාපල දැක්වීම වැනි ගූඪ දේ සඳහා කාලය මිඩංගු කිරීම හේතුවෙන් භික්‍ෂුවගේ පරමාර්ථ දුරස් වීම මෙම පැනවීමට හේතුව යි.
අප දකිනා සෑම සිහිනයකින් ම අනාවැකියක් ප්‍රකට නො වේ. අනාවැකි කිව හැකි සිහින ඇත්තේ ස්වල්පයකි. මක් නිසා ද යත්: සිහින පෙනීම සඳහා බලපාන විවිධාකාර හේතු රැසක් ඇති නිසා ය. සිහින වර්ග සතරක් ඇති බව බුදුසමය දක්වයි:
ධාතුක්ඛෝභ සිහින
අනුභූතපුබ්බ සිහින
දේවතෝපසංහාර සිහින
පුබ්බනිමිත්ත සිහින
මෙහි පළමු වැනි සිහිනය වන ‘ධාතුක්ඛෝභ සිහින’ යනු ධාතු කිපීම නිසා පෙනෙන සිහින ය. පෙරදිග වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන වාත ය, පිත ය, සෙම ය යන මේවායේ අසමතුලිතතාව (තුන්දොස් කිපීම) නිසා කායික මානසික විපර්යාසයන් තුළින් පෙනෙන සිහින ධාතුක්ඛෝභ සිහින නම් වේ. මේ තුන්දොස් කිපීම ශීත, උෂ්ණ හා විෂම ආහාර ආදිය නිසා සිදු වේ.
දෙවැනි සිහින වර්ගය වන ‘අනුභූතපුබ්බ සිහින’ යි මෙම සිහින පෙනීමට හේතු වන්නේ, තමා කලින් ලබා තිබුණු අත්දැකීම් ය. යම් සුවිශේෂ අත්දැකීමක් ලද විට ඒ පිළිබඳ නිතර නිතර සිහි වීම හෝ සිහි කිරීම නිසා චිත්තාභ්‍යන්තරයේ සංසරණය වන ඒ අත්දැකීම නින්දේදී සිහිනයක් වශයෙන් ඉස්මතු ව ආවර්ජනය වීම සිදු වේ. මෙවැනි තත්ත්වයන් නිසා පෙනෙන මෙම සිහින පිළිබඳ අනාවැකි දැක්වීම හා විපාක බලාපොරොත්තු වීම නුසුදුසු ය.
තෙවනු ව දැක්වූ ‘දේවතෝපසංහාර සිහිනය’ පෙනීමට බලපාන්නේ දෙවියන්ගේ මැදිහත් වීම ය. යහපත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ධර්මානුකූල ව ජීවත් වන පුද්ගලයන්ට ගරු කරති; වඳිති; පුදති. විපතේදී දෙවිවරු එම පුද්ගලයාට කල්තියා ම ඉදිරියේදී සිදු වන විපත පෙන්නුම් කරන්නෝ එයින් මිදීමට මඟක් සොයාගැනීමට ඉඟි කිරීමක් වශයෙන් එය සිහිනෙන් පෙන්වති. එසේ ම අධාර්මිකයාට කුපිත වූ දෙවිවරු නපුරු සිහින පෙන්වති. ඒ අනතුරු ඇඟවීම් වශයෙනි. මෙයාකාරයෙන් පෙනෙන සිහින දේවතෝපසංහාර සිහින නම් වේ.
සිව්වන සිහින ‘පුබ්බනිමිත්ත සිහින’ යි. මෙම සිහින මගින් සිදු වන්නේ පුද්ගලයා විසින් පෙර කරන ලද කුසල-අකුසල කර්මයන්ගේ විපාක ඉදිරියේදී ඵල දෙන බව ඇඟවීම ය. මේ සිහින ඉතා සියුම් ලෙස විග්‍රහ කොට හේතුඵලවාදී ව බලා, විනිශ්චය කිරීමට හැකියාවක් ඇත. මේ සිහින පෙරනිමිති සිහින වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රචලිත වූ සිහින රැසක් වේ. එම සිහින හා ඒවායෙහි ප්‍රතිඵල දැනගැනීමෙන්, ඔබ දකිනා සිහින පිළිබඳ පෙරදැක්මක් ඔබට ලබාගැනීමට හැකි වනු ඇත. මෙයින් ඉතා ප්‍රසිද්ධ සිහින පරීක්‍ෂාකර බලමු.
* මහාමායා බුද්ධමාතාවගේ සිහිනය: සුදු නෙළුම් මලක් සොඬින් ගත් සුදු ඇත් පැටවකු තම කුසට දකුණු ඇලයෙන් ඇතුළු වන අයුරු ඇය සිහිනෙන් දුටුවා ය. මෙහි සුදු නෙළුම්මලින් සංකේතවත් වන්නේ බුද්ධත්වය යි. නෙළුම් හට ගන්නේ මඬෙහි වුව ද මඬ නොතැවරී පිපෙන ඉතා පිරිසිදු වූ නෙළුම විරාගිකයකුට උපමා කැරේ. සුදු ඇතා දුර්ලභ වූ සත්ත්වයෙකි. ඇතා ශක්තිය සංකේතවත් කරයි. දසබලධාරී බුදු කෙනකුගේ උත්පත්තිය පිළිසිඳගැනීම පිළිබිඹු කෙරෙන මෙම සිහිනය පුබ්බනිමිත්ත සිහිනයකි.
* බුද්ධත්වය පිළිබඳ පුබ්බනිමිත්ත සිහින: බුද්ධ චරිතය හා බැඳුණු අනෙක් ප්‍රසිද්ධ සිහින පහක් ඇත. ඒ සිදුහත් තවුසාණන් බුදු වීමට පෙර දුටු සිහින ය. ඒ මෙසේ ය:
පළමු සිහිනය: මහ පොළොව යහනක් ලෙස ගෙන, හිමාල කන්ද කොට්ටයක් බවට පත් කොට, උඩුකුරු ව සයනය කරද්දී දකුණු අත බටහිර සයුරේ ද, වම් අත පෙරදිග සයුරේ ද, දෙපා දකුණු සයුරේ ද බැඳී තිබෙනු දැකීම ය.
දෙවැන්න: බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් නැගී අහස උසට පැතිරී යෑම ය.
තෙවැන්න: කළු හිස් ඇති සුදු පණුවන් පය පාමුල සිට නැගී දණහිස දක්වා වසා සිටීම ය.
සිව්වැන්න: සතර දිසාවෙන් පැමිණි වර්ණ සතරකින් යුත් ළිහිණියන් සතරදෙනකු එක සුදු ලිහිණියකු බවට පත් වී බෝසතුන්ගේ පය පාමුල වැටී සිටීම.
පස්වැන්න: තමන් වහන්සේ මහත් අසූචි පර්වතයක මත අසූචි නොතැවරී සක්මන් කිරීම ය.
මෙහි පළමු සිහිනයෙන් පැහැදිලි වන්නේ මුහුදු සීමාවන් ඉක්මවා ගිය බුද්ධ රාජ්‍යයේ තමන් වහන්සේ අභිෂේකයට පත් වන බව යි. දෙවැනි සිහිනය වූ ‘බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් නැගී අහස උසට පැතිරී යෑම’ මඟින් කියැවෙන්නේ කුමක් ද? නාභිය යනු සත්ත්වයාගේ උත්පත්ති කේන්ද්‍රස්ථානය යි. මවත් දරුවාත් අතර සම්බන්ධය ගොඩනඟන පෙකණි වැළ ජීවිතයේ කේÁද්‍රස්ථානය වේ. බුදු දහමේ නාභිය හෙවත් කේÁද්‍රීය ඉගැන්වීම පටිච්ච සමුප්පාදය වන අතර, එයින් මුළු විශ්වයේ ම පැවැත්මත් නැවැත්මත් ප්‍රකට කරවයි. මෙම නාභිය මඟින් පැනනැගුණ රතු ඊතණ පඳුර මඟින් සංකේතවත් වන්නේ ඉතා සියුම් වූ කුශාශ්‍ර බුද්ධිය පසක් කරගත් චතුරාර්ය සත්‍යාවබෝධය යි.
එම ධර්මය ලොව පුරා පැතිරී සිටීම ඊතණ ගස අහස පුරා පැතිරී යෑම මඟින් සංකේතවත් වෙයි. තුන්වන සිහිනය වූ ‘කළු හිස් ඇති සුදු පණුවන් පය පාමුල සිට නැගී දණහිස දක්වා වසා සිටීම’ මඟින් පෙන්නුම් කැරෙන්නේ බොහෝ උපාසකඋපාසිකාවන් තම දහමේ අනුගාමිකයන් වන අයුරු ය. සතරවැනි සිහිනය මඟින් කියැවෙන පාට සතරකින් යුතු ළිහිණියන් යනු බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ක්‍ෂුද්‍ර යන සතර කුලයෙහි ජනයා තම සසුනෙහි පැවිදි ව දෑකුලගෝත්‍රයන්ගෙන් තොර ඒකීය භික්‍ෂු සංඝ පිරිසක් බවට පත් වන බව යි. පස්වන සිහිනයෙන් කියැවෙන අනාවැකිය නම්, අසූචි ලෙස සැලකෙන ලාභ සත්කාර කීර්ති කන්දෙහි ඇලීමක් ගැලීමක් නැති ව බුදු රජාණන් වහන්සේ ලොව හැසිරෙන බව යි.
සිහිනෙන් ‘අසූචි’ දැකීම සාමාන්‍ය ලෝකයේදී පිළිගෙන ඇත්තේ ලාභ සත්කාර ලැබීමක පෙරනිමිත්තක් ලෙස ය. මේ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් සඳහන් කරමි. මා ඉන්දියාවට පශ්චාත් උපාධිය සඳහා ගියේ බ්‍රිතාන්‍ය ජාතික සුදු මිත්‍රයකුගේ සහයෝගයෙනි. වසරක් පමණ මා එතුªමාගේ සහයෝගයෙන් අධ්‍යයන පර්යේෂණ කටයුතු කරගෙන ගිය අතර, එතුමාගේ ආයතනයට බැඳී කටයුතු නොකරන්නේ නම්, ඉදිරියේදී ආධාර ලබාදීම කළ නොහැකි බව දන්වා මා වෙත ලිපියක් මඟින් දන්වන ලදි. මෙම බැරෑරුම් අවස්ථාව පිළිබඳ මම නිතර ම කල්පනා කළෙමි. ඉදිරියේදී ඇති වන ආර්ථික දුෂ්කරතා නිසා මාගේ අධ්‍යාපන කටයුතු අඩාල වන තැනට දැන් කටයුතු යෙදෙමින් තිබිණි.
මෙසේ උදාසීන ව අසරණ ව සිටි මා මේ අතරතුරදී දිනක් රාත්‍රියෙහි සිහිනයක් දුටුවෙමි. අසූචි පිරුණ මාවතක පිළිකුලෙන් අසූචි නොපාගමින් පරිස්සමින් විත් මාගේ නවාතැන්පළෙහි වූ ඇඳෙහි වැතිරුණෙමි. අවසානයේදී මගේ කොට්ටයේ අසූචි තැවරී ඇති බව දැක පිළිකුලෙන් මම අවදි වුණෙමි. අවදි ව සිහිනය ආවර්ජනය කළ මට සතුටක් දැනිණි. ඒ මා ද මෙම සිහිනය විශ්වාස කළ නිසා ය. එසේ නමුත් ඉන්දියාවේදී එවැනි ලාභයක් මට කෙසේ නම් අත්විය හැකි දැ යි සිතාගත නොහැකි විය.
සිරිත් පරිදි පසු දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනාංශය වෙත ගිය මා අතට ලිපියක් ලැබිණ. එහි සඳහන් වූයේ ඉන්දීය රජය විසින් මා හට ශිෂ්‍යත්වයක් පිරිනමා ඇති බව යි. ඉන් පසු ඉදිරි වසර දෙක නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට මට හැකි විය. එය ද පුබ්බනිමිත්ත සිහිනයකි. ඔබට ද මෙබඳු අත්දැකීම් ඇතුවාට සැකයක් නැත.
ලාභසත්කාර පමණක් නො ව, අතුරු-අන්තරා ද සිහින මඟින් කල් තියා පෙන්නුම් කැරේ. හේතුඵලවාදී ව සිතා ඔබට ම මෙවැනි සිහින පිළිබඳ විනිශ්චයකට පැමිණීමට හැකි වනු ඇත. මධ්‍යම රාත්‍රිය පසු කොට අලුයමට පෙර දකින මෙබඳු සිහින බොහෝ විට සත්‍යය වේ.
බෞද්ධ සාහිත්‍යයේ එන සිහින අතර කොසොල් රජතුමා දුටු සිහින දහසය ද වැදගත් වේ. මහා සුපින ජාතකයේදී අධාර්මික පාලනය නිසා ඉදිරියෙහිදී ඇති වන ආදීනව පෙන්නුම් කරන මෙම සිහින මඟින් අදටත් ගැළැපෙන ගැඹුරු දේශපාලන දහමක් විවරණය කැරේ. රජ වුවත් කාමයෙහි අතෘප්තිකර ව අන්‍ය අඹුවන් තම වසඟයට ගැනීමට උපක්‍රම යොදන කොසොල් රජතුමා, රාත්‍රියේ භයානක (දු, ස, න, සො යන ශබ්ද සහිත) බියකරු සිහිනයක් දුටුවේ ය. තමන් දුටු ශබ්ද සහිත භයානක සිහිනය බුදුරදුන් හමුවේ පවසා සිටි රජතුමාට බුදුරදුන් වදාළේ, රාගාදි සිතිවිල්ලෙන් නිදියහන්ගත වූ රජතුමාට ඉදිරියේදී අත්විඳින්නට සිදු වන භයානක නරක ප්‍රතිඵල සිහිනෙන් පෙන්නුම් කළ බව යි. දු, ස, න, සො යන ශබ්ද පිට කළෝ පෙර අත්භවයක කාමයේ වරදවා හැසිරෙමින් අදටත් ඔසුපත් නිරයේ දුක්විඳින කොසොල් රජතුමාගේ ම ඥාති පිරිසක් බව යි.
ඔබට ද රාත්‍රියේදී සුව නින්දක් අවශ්‍ය නම් රාගාදි සිතිවිල්ලෙන් තොර ව, මෛත්‍රී සහගත ව නිදියහන්ගත වීම වැදගත් ය. එසේ මෛත්‍රී සහගත ව නින්දට පිවිසෙන්නාට භයානක සිහින නොපෙනෙන බවත්, සුව සේ නින්ද ලැබෙන බවත්, සුව සේ අවදි වන බවත් මෙත්ත සුත්තයේදී බුදුරදුන් පැහැදිලි ව ම දේශනාකොට තිබේ. සුවබර නින්දකට නිදි පෙති හෝ වෙනත් මත්ද්‍රව්‍ය ආදිය අවශ්‍ය නො වේ. මෙලොව පරලොව යහපත පිණිස හේතු වන මෛත්‍රිය වැඩීමට ඔබත් හිතට ගන්න. නීරෝගිමත් දිවියක් ගත කිරීම උදෙසා සුවබර නින්දකට එය අත්‍යවශ්‍ය බැවිනි.
මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි

9/25/15

මෛත්‍රී බුදුන් පහලවන කාලය


මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )
මෛත්‍රී බුදුන් පහලවන කාලය
මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.
උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.
මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)
මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.
මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.
අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.
මෙලොව පහළ වීම.
සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.
අභිනිෂ්ක්‍රමණය
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.
මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )
එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.
දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.
ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.
තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.
අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.
සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.
“ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”
ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.
මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.
මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.
ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.
(උපුටා ගන්නා ලද්දකි...)

9/17/15

බෞද්ධයාගේ අත්පොත 03



සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත‍්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්ම රත්නය යි.

එහි සතර මාර්ගය යනු සොවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්ය්‍ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.

පිටකත‍්‍රය යනු විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

එහි විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ‍්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහ ය. එය පාරාජිකා පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප‍්‍රකරණ වශයෙන් පසෙක් වන්නේ ය. ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

සූත‍්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත‍්‍ර පිටකය දීඝ නිකාය ය,මජ්ඣිම නිකාය ය, සංයුක්ත නිකාය ය, අඬ්ගුත්තර නිකාය ය, බුද්දක නිකාය ය යි නිකාය පසකට බෙදා තිබේ.

එහි දීඝ නිකාය සූත‍්‍ර සූතිසකින් හා බණවර සිවු සැටකින් යුක්ත ය. මජ්ඣිම නිකාය සූත‍්‍ර එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත‍්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඬ්ගුත්තර නිකාය සූත‍්‍ර නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්ත ය. බුද්දක නිකාය කුඩා ග‍්‍රන්ථ සමූහයකි. බුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය යන මේ ප‍්‍රකරණ පසළොස බුද්දක නිකාය ය. සුත‍්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව් ලොව වස් තුන් මස මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය අභිධර්ම පිටකය ය. ධම්මසංගණි පකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාන පකරණය යි අභිධර්ම පිටකයෙහි ප‍්‍රකරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.

මතු සම්බන්ධයි!

අතිපූජනීය රෙැරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නමැති වටිනා ග‍්‍රන්ථය ඇසුරින්, නිවන් මාර්ගය පිටුව විසින් නිර්මාණය කරන ලද මෙම ලිපි මාලාවෙන් බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙම කරුණු තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මෙම කරුණු මිතුරන් අතරේ share කරන්නා කළ්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි. තෙරුවන් සරණයි!

බෞද්ධයාගේ අත්පොත 02


ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් (කල්පයක්) මුළුල්ලෙහි කීව ද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයාණන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාගය, පුත්‍ර පරිත්‍යාගය, භාර්යා පරිත්‍යාගය, අංග පරිත්‍යාගය, ජීවිත පරිත්‍යාගය යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් අති මහා වීරයකුට මිස සැමටම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනෙකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි

බුදු රජාණන් වහන්සේ ආශ්චර්ය පුද්ගලයෙකි. උන් වහන්සේගේ ගුණ තබා ශරීරයද ප්‍රමාණය කළ නොහේ. කොපමණ උස කෙනෙකුට වුව ද උන්වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය

ලෝකයෙහි සැමට ම වඩා ශෝබන තැනැත්තා ද උන් වහන්සේ ය. මිනිස් ලොව තබා දෙව් ලොව බඹ ලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේය. එයින් නිල් කහ රතු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.

සියලු කෙලෙසුන් නැසූ හෙයින් උන් වහන්සේ ගෙ සිත අති පාරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත්‍ර වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්ත ආදී සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ මහා කරුණාව නොවෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසිම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේගේ ඇල්මක් නැත. දේවදත්ත ආදී සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනා හට යහපතක් ම කරන්නේ ය.

උන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වූව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේ ය. උන් වහන්සේට අනුන්ගේ සිත්, අනුන්ගේ අදහස්, අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම් වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.

උන් වහන්සේගේ ඍද්ධිය ඉතා ආශ්චර්යවත් ය. උන් වහන්සේට දිය, ගිනි, සුළං ආදී ඕනෑම දෙයක් සිතින්ම මැවිය හැකි ය. කැමති වෙසක් මවාගත හැකි ය. පොළවෙහි මෙන්ම අහසෙහි ද සියලු ඉරියව් පැවැත් විය හැකි ය. ජලහිද පොළවෙහි මෙන් සියලු ඉරියව් පැවැත් විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයෙ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.

උන් වහන්සේගෙ ධර්ම දේශනය ඉතා ආශ්චර්යවත් ය. දහම් දෙසනා උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිටි දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එකම භාෂාවකින් කරන දේශනය අසන සෑම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬ ට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසාගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තුර්යනාදයකු දු නැත. උන් වහන්සේගෙ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන පිරිස ලොව පුරා සිටියත්, සැමටම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍රකාශ කළා නම් එය එසේමය. උන් වහන්සේට වැරදීම් නැත.

නිතාමානි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස්, පහත්, පොහොසත්, දුප්පත්කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශල ආදී නරේන්ද්‍රයන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර වූ සේක.

මතු සම්බන්ධයි!

අතිපූජනීය රෙැරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නමැති වටිනා ග‍්‍රන්ථය ඇසුරින්, නිවන් මාර්ගය පිටුව විසින් නිර්මාණය කරන ලද මෙම ලිපි මාලාවෙන් බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරයි. මෙම කරුණු තේරුම් ගැනීමෙන් නිවැරදි මිනිසකු විය හැකිය. මෙම කරුණු මිතුරන් අතරේ share කරන්නා කළ්‍යාණ මිත‍්‍රයෙකි. ඔහු උසස් ධර්මදානයේ හිමිකරුවෙකි. තෙරුවන් සරණයි!