9/30/15

සිහින පිළිබඳ ව බෞද්ධ මතය දැක්වීමකි මේ.


මිනිසාට පමණක් නො ව, සතාසිව්පාවන්ටත් නින්ද අවශ්‍ය ය. එසේ ම ගස්-වැල් පවා නිදාගනී. ජීවීන්ට පමණක් නො ව අජීව යන්ත්‍ර-සූත්‍ර, යාන-වාහනවලටත් නින්දක්, විවේකයක් අවශ්‍ය ය. නින්දේ ස්වභාවය එකිනෙකාට වෙනස් ය. දහවල් නිදන රෑ නොනිදන සත්ත්වයෝ ද කඩින් කඩ නිදන සත්ත්වයෝ ද වෙසෙති.
දිනක් එක්තරා දෙවියෙක් බුදුරදුන් හමු වී මෙබඳු ප්‍රශ්නයක් විමසුවේ ය: “භාග්‍යවතුන් වහන්ස, දහවල් ගිනි ගන්නා වූ රාත්‍රියෙහි දුම් දමන තුඹසක් ඇත. එය කුමක් ද?” ප්‍රහේලිකාවක් බඳු වූ මේ ප්‍රශ්නයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ දහවල් ක්‍රියාකාරී වන සිරුරේ සිතිවිලි රාත්‍රියෙහි ක්‍රියාත්මක වන බව යි. පුද්ගලයාගේ දහවල් ක්‍රියාකාරීත්වය රාත්‍රියෙහි සිහින බවට පත් වී ක්‍රියාත්මක වෙයි. එය දහවල් ඇවිළී රාත්‍රියෙහි දුම් දැමීමක් බඳු ය.
අභිධර්මයට අනුව නින්දට පත් වූ තැනැත්තාගේ ඇස, කන, නාසය ආදි පඤ්ච ඉÁද්‍රියයන්ගේ ‘පඤ්චද්වාරවජ්ජන සිත්’ නම් වූ මනසට විවෘත වන දොරවල් ක්‍රියාත්මක නො වේ. එහෙත් මනස අවදියෙන් සිටී. නින්දේදී මනස අවදියෙන් සිටින බැවින් සිහින පෙනේ. එනම් ‘මනෝද්වාරවජ්ජනය’ සිදු වේ. නිදා සිටින කෙනකුගේ ඇස ඉදිරියේ පහනක් දැල්වූයේ නම්, කන සමීපයෙහි ශබ්දයක් ඇති කළේ නම්, නාසය සමීපයෙහි සුවඳ යමක් තැබුවේ නම්, මුඛයෙහි (දිවෙහි) රසවත් යමක් තැබුවේ නම්, කයට යම් ස්පර්ශයක් කළේ නම්, පඤ්චද්වාරවජ්ජන සිත් ක්‍රියාත්මක නො වේ; ඒ කෙරෙහි මනස විවෘත ව තිබේ.
එනම් මනෝද්වාරවජ්ජන සිත ක්‍රියාත්මක වේ. ඒ අනුව බාහිර උත්තේජනයන්ට වහා ප්‍රතිචාර දක්වයි. මේ පඤ්චද්වාරවජ්ජන සිත් මුල් වූ ක්‍රියාවකින් කර්මයක් හෝ කර්ම විපාකයක් හට නො ගනී. සිහිනෙන් සිදු කරන ක්‍රියාවන්හි කුසල් අකුසල් කර්ම විපාක නැත.
බුදු රජාණන් වහන්සේ හා රහතන් වහන්සේ සිහින නොදකින්නේ උන් වහන්සේ වීතරාගී නිසා ය. ථේරවාදී සම්ප්‍රදායට එරෙහි වූ මහා සාංඝික නිකායේ මහාදේව හිමි ප්‍රකාශ කළේ “රහතන් වහන්සේ රාග සහිත පිරිසක් බවත්, එනිසා උන් වහන්සේ සිහින දකින බවත්, ඇතැම් රහතන් වහන්සේ සිහිනෙන් දිව්‍ය ලෝකවල සැරි සරමින් දෙව් ලියන් හා කාමයේ බැඳෙන බවත්” ය මෙය රහතන් වහන්සේ පිළිබඳ මහා සාංඝික නිකායේ මතය යි.
ථේරවාදී බෞද්ධයෝ රහතන් වහන්සේ සිහින නොදකිතැ යි ද, උන් වහන්සේ දුටු දෙය දුටු පමණින් ද ඇසූ දෙය ඇසූ පමණින් ද ගන්නා අතර ඇසූ දුටු දේ පිළිබඳ ප්‍රතිචාර නො දක්වතැ යි ද පිළිගනිති, මේ අනුව “නෙළුම් පතට වැටුණු දිය බිඳ නෙළුම් පත උරානොගන්නා” මෙන් ඇසූ දුටු දේ සිතින් උරාගැනීමක් නැති ව වෙසෙන නිසා රහතුන් සිහින නොදකිතැ යි, පිළිගැනේ. මෙනිසා දහවල් ගිනිගෙන රාත්‍රියේ දුම් දමන ස්වභාවයක් රහතුන් කෙරෙහි නොවන බව ද වටහාගත යුතු ය.
අප අතර සිටින ඇතැමෙක් සිහින නොදකින බව කියති. එය සැබැවින් ම සත්‍යයක් නො වේ. නින්දට වැටුණු සැණින් ගැඹුරු නින්දට වන් ඔවුහු රාත්‍රිය පුරා ම සිහින දකිතත්, එය මතකයට නොනැගෙන බැවින්, සිහින නොදකිතැ යි පවසත්. අප දකිනා සිහිනවලින් මතක තබාගත හැක්කේ සීමිත ප්‍රමාණයකි.
එසේ ම දකින සෑම සිහිනයකට ම කිසියම් අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකි ය. සිහින පිළිබඳ ඵලවිපාක පැවසූ, පැහැදිලි කළ බුද්ධිමත් පිරිසක් පෙරත් විසූ හ. නූතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ඔස්සේ සිහින පිළිබඳ ඵලාපල පවසනු අසන්නට ලැබේ. බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන්ට සිහින ඵලාපල දැක්වීම නුසුදුසු බව වදාරා ඇත. එසේ නමුත් සිහිනවල කිසියම් ම හෝ සත්‍යයක් නැතැ යි මෙයින් අදහස් නො වේ. ඵලාපල දැක්වීම වැනි ගූඪ දේ සඳහා කාලය මිඩංගු කිරීම හේතුවෙන් භික්‍ෂුවගේ පරමාර්ථ දුරස් වීම මෙම පැනවීමට හේතුව යි.
අප දකිනා සෑම සිහිනයකින් ම අනාවැකියක් ප්‍රකට නො වේ. අනාවැකි කිව හැකි සිහින ඇත්තේ ස්වල්පයකි. මක් නිසා ද යත්: සිහින පෙනීම සඳහා බලපාන විවිධාකාර හේතු රැසක් ඇති නිසා ය. සිහින වර්ග සතරක් ඇති බව බුදුසමය දක්වයි:
ධාතුක්ඛෝභ සිහින
අනුභූතපුබ්බ සිහින
දේවතෝපසංහාර සිහින
පුබ්බනිමිත්ත සිහින
මෙහි පළමු වැනි සිහිනය වන ‘ධාතුක්ඛෝභ සිහින’ යනු ධාතු කිපීම නිසා පෙනෙන සිහින ය. පෙරදිග වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන වාත ය, පිත ය, සෙම ය යන මේවායේ අසමතුලිතතාව (තුන්දොස් කිපීම) නිසා කායික මානසික විපර්යාසයන් තුළින් පෙනෙන සිහින ධාතුක්ඛෝභ සිහින නම් වේ. මේ තුන්දොස් කිපීම ශීත, උෂ්ණ හා විෂම ආහාර ආදිය නිසා සිදු වේ.
දෙවැනි සිහින වර්ගය වන ‘අනුභූතපුබ්බ සිහින’ යි මෙම සිහින පෙනීමට හේතු වන්නේ, තමා කලින් ලබා තිබුණු අත්දැකීම් ය. යම් සුවිශේෂ අත්දැකීමක් ලද විට ඒ පිළිබඳ නිතර නිතර සිහි වීම හෝ සිහි කිරීම නිසා චිත්තාභ්‍යන්තරයේ සංසරණය වන ඒ අත්දැකීම නින්දේදී සිහිනයක් වශයෙන් ඉස්මතු ව ආවර්ජනය වීම සිදු වේ. මෙවැනි තත්ත්වයන් නිසා පෙනෙන මෙම සිහින පිළිබඳ අනාවැකි දැක්වීම හා විපාක බලාපොරොත්තු වීම නුසුදුසු ය.
තෙවනු ව දැක්වූ ‘දේවතෝපසංහාර සිහිනය’ පෙනීමට බලපාන්නේ දෙවියන්ගේ මැදිහත් වීම ය. යහපත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ධර්මානුකූල ව ජීවත් වන පුද්ගලයන්ට ගරු කරති; වඳිති; පුදති. විපතේදී දෙවිවරු එම පුද්ගලයාට කල්තියා ම ඉදිරියේදී සිදු වන විපත පෙන්නුම් කරන්නෝ එයින් මිදීමට මඟක් සොයාගැනීමට ඉඟි කිරීමක් වශයෙන් එය සිහිනෙන් පෙන්වති. එසේ ම අධාර්මිකයාට කුපිත වූ දෙවිවරු නපුරු සිහින පෙන්වති. ඒ අනතුරු ඇඟවීම් වශයෙනි. මෙයාකාරයෙන් පෙනෙන සිහින දේවතෝපසංහාර සිහින නම් වේ.
සිව්වන සිහින ‘පුබ්බනිමිත්ත සිහින’ යි. මෙම සිහින මගින් සිදු වන්නේ පුද්ගලයා විසින් පෙර කරන ලද කුසල-අකුසල කර්මයන්ගේ විපාක ඉදිරියේදී ඵල දෙන බව ඇඟවීම ය. මේ සිහින ඉතා සියුම් ලෙස විග්‍රහ කොට හේතුඵලවාදී ව බලා, විනිශ්චය කිරීමට හැකියාවක් ඇත. මේ සිහින පෙරනිමිති සිහින වේ.
බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රචලිත වූ සිහින රැසක් වේ. එම සිහින හා ඒවායෙහි ප්‍රතිඵල දැනගැනීමෙන්, ඔබ දකිනා සිහින පිළිබඳ පෙරදැක්මක් ඔබට ලබාගැනීමට හැකි වනු ඇත. මෙයින් ඉතා ප්‍රසිද්ධ සිහින පරීක්‍ෂාකර බලමු.
* මහාමායා බුද්ධමාතාවගේ සිහිනය: සුදු නෙළුම් මලක් සොඬින් ගත් සුදු ඇත් පැටවකු තම කුසට දකුණු ඇලයෙන් ඇතුළු වන අයුරු ඇය සිහිනෙන් දුටුවා ය. මෙහි සුදු නෙළුම්මලින් සංකේතවත් වන්නේ බුද්ධත්වය යි. නෙළුම් හට ගන්නේ මඬෙහි වුව ද මඬ නොතැවරී පිපෙන ඉතා පිරිසිදු වූ නෙළුම විරාගිකයකුට උපමා කැරේ. සුදු ඇතා දුර්ලභ වූ සත්ත්වයෙකි. ඇතා ශක්තිය සංකේතවත් කරයි. දසබලධාරී බුදු කෙනකුගේ උත්පත්තිය පිළිසිඳගැනීම පිළිබිඹු කෙරෙන මෙම සිහිනය පුබ්බනිමිත්ත සිහිනයකි.
* බුද්ධත්වය පිළිබඳ පුබ්බනිමිත්ත සිහින: බුද්ධ චරිතය හා බැඳුණු අනෙක් ප්‍රසිද්ධ සිහින පහක් ඇත. ඒ සිදුහත් තවුසාණන් බුදු වීමට පෙර දුටු සිහින ය. ඒ මෙසේ ය:
පළමු සිහිනය: මහ පොළොව යහනක් ලෙස ගෙන, හිමාල කන්ද කොට්ටයක් බවට පත් කොට, උඩුකුරු ව සයනය කරද්දී දකුණු අත බටහිර සයුරේ ද, වම් අත පෙරදිග සයුරේ ද, දෙපා දකුණු සයුරේ ද බැඳී තිබෙනු දැකීම ය.
දෙවැන්න: බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් නැගී අහස උසට පැතිරී යෑම ය.
තෙවැන්න: කළු හිස් ඇති සුදු පණුවන් පය පාමුල සිට නැගී දණහිස දක්වා වසා සිටීම ය.
සිව්වැන්න: සතර දිසාවෙන් පැමිණි වර්ණ සතරකින් යුත් ළිහිණියන් සතරදෙනකු එක සුදු ලිහිණියකු බවට පත් වී බෝසතුන්ගේ පය පාමුල වැටී සිටීම.
පස්වැන්න: තමන් වහන්සේ මහත් අසූචි පර්වතයක මත අසූචි නොතැවරී සක්මන් කිරීම ය.
මෙහි පළමු සිහිනයෙන් පැහැදිලි වන්නේ මුහුදු සීමාවන් ඉක්මවා ගිය බුද්ධ රාජ්‍යයේ තමන් වහන්සේ අභිෂේකයට පත් වන බව යි. දෙවැනි සිහිනය වූ ‘බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් නැගී අහස උසට පැතිරී යෑම’ මඟින් කියැවෙන්නේ කුමක් ද? නාභිය යනු සත්ත්වයාගේ උත්පත්ති කේන්ද්‍රස්ථානය යි. මවත් දරුවාත් අතර සම්බන්ධය ගොඩනඟන පෙකණි වැළ ජීවිතයේ කේÁද්‍රස්ථානය වේ. බුදු දහමේ නාභිය හෙවත් කේÁද්‍රීය ඉගැන්වීම පටිච්ච සමුප්පාදය වන අතර, එයින් මුළු විශ්වයේ ම පැවැත්මත් නැවැත්මත් ප්‍රකට කරවයි. මෙම නාභිය මඟින් පැනනැගුණ රතු ඊතණ පඳුර මඟින් සංකේතවත් වන්නේ ඉතා සියුම් වූ කුශාශ්‍ර බුද්ධිය පසක් කරගත් චතුරාර්ය සත්‍යාවබෝධය යි.
එම ධර්මය ලොව පුරා පැතිරී සිටීම ඊතණ ගස අහස පුරා පැතිරී යෑම මඟින් සංකේතවත් වෙයි. තුන්වන සිහිනය වූ ‘කළු හිස් ඇති සුදු පණුවන් පය පාමුල සිට නැගී දණහිස දක්වා වසා සිටීම’ මඟින් පෙන්නුම් කැරෙන්නේ බොහෝ උපාසකඋපාසිකාවන් තම දහමේ අනුගාමිකයන් වන අයුරු ය. සතරවැනි සිහිනය මඟින් කියැවෙන පාට සතරකින් යුතු ළිහිණියන් යනු බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ක්‍ෂුද්‍ර යන සතර කුලයෙහි ජනයා තම සසුනෙහි පැවිදි ව දෑකුලගෝත්‍රයන්ගෙන් තොර ඒකීය භික්‍ෂු සංඝ පිරිසක් බවට පත් වන බව යි. පස්වන සිහිනයෙන් කියැවෙන අනාවැකිය නම්, අසූචි ලෙස සැලකෙන ලාභ සත්කාර කීර්ති කන්දෙහි ඇලීමක් ගැලීමක් නැති ව බුදු රජාණන් වහන්සේ ලොව හැසිරෙන බව යි.
සිහිනෙන් ‘අසූචි’ දැකීම සාමාන්‍ය ලෝකයේදී පිළිගෙන ඇත්තේ ලාභ සත්කාර ලැබීමක පෙරනිමිත්තක් ලෙස ය. මේ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් සඳහන් කරමි. මා ඉන්දියාවට පශ්චාත් උපාධිය සඳහා ගියේ බ්‍රිතාන්‍ය ජාතික සුදු මිත්‍රයකුගේ සහයෝගයෙනි. වසරක් පමණ මා එතුªමාගේ සහයෝගයෙන් අධ්‍යයන පර්යේෂණ කටයුතු කරගෙන ගිය අතර, එතුමාගේ ආයතනයට බැඳී කටයුතු නොකරන්නේ නම්, ඉදිරියේදී ආධාර ලබාදීම කළ නොහැකි බව දන්වා මා වෙත ලිපියක් මඟින් දන්වන ලදි. මෙම බැරෑරුම් අවස්ථාව පිළිබඳ මම නිතර ම කල්පනා කළෙමි. ඉදිරියේදී ඇති වන ආර්ථික දුෂ්කරතා නිසා මාගේ අධ්‍යාපන කටයුතු අඩාල වන තැනට දැන් කටයුතු යෙදෙමින් තිබිණි.
මෙසේ උදාසීන ව අසරණ ව සිටි මා මේ අතරතුරදී දිනක් රාත්‍රියෙහි සිහිනයක් දුටුවෙමි. අසූචි පිරුණ මාවතක පිළිකුලෙන් අසූචි නොපාගමින් පරිස්සමින් විත් මාගේ නවාතැන්පළෙහි වූ ඇඳෙහි වැතිරුණෙමි. අවසානයේදී මගේ කොට්ටයේ අසූචි තැවරී ඇති බව දැක පිළිකුලෙන් මම අවදි වුණෙමි. අවදි ව සිහිනය ආවර්ජනය කළ මට සතුටක් දැනිණි. ඒ මා ද මෙම සිහිනය විශ්වාස කළ නිසා ය. එසේ නමුත් ඉන්දියාවේදී එවැනි ලාභයක් මට කෙසේ නම් අත්විය හැකි දැ යි සිතාගත නොහැකි විය.
සිරිත් පරිදි පසු දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනාංශය වෙත ගිය මා අතට ලිපියක් ලැබිණ. එහි සඳහන් වූයේ ඉන්දීය රජය විසින් මා හට ශිෂ්‍යත්වයක් පිරිනමා ඇති බව යි. ඉන් පසු ඉදිරි වසර දෙක නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට මට හැකි විය. එය ද පුබ්බනිමිත්ත සිහිනයකි. ඔබට ද මෙබඳු අත්දැකීම් ඇතුවාට සැකයක් නැත.
ලාභසත්කාර පමණක් නො ව, අතුරු-අන්තරා ද සිහින මඟින් කල් තියා පෙන්නුම් කැරේ. හේතුඵලවාදී ව සිතා ඔබට ම මෙවැනි සිහින පිළිබඳ විනිශ්චයකට පැමිණීමට හැකි වනු ඇත. මධ්‍යම රාත්‍රිය පසු කොට අලුයමට පෙර දකින මෙබඳු සිහින බොහෝ විට සත්‍යය වේ.
බෞද්ධ සාහිත්‍යයේ එන සිහින අතර කොසොල් රජතුමා දුටු සිහින දහසය ද වැදගත් වේ. මහා සුපින ජාතකයේදී අධාර්මික පාලනය නිසා ඉදිරියෙහිදී ඇති වන ආදීනව පෙන්නුම් කරන මෙම සිහින මඟින් අදටත් ගැළැපෙන ගැඹුරු දේශපාලන දහමක් විවරණය කැරේ. රජ වුවත් කාමයෙහි අතෘප්තිකර ව අන්‍ය අඹුවන් තම වසඟයට ගැනීමට උපක්‍රම යොදන කොසොල් රජතුමා, රාත්‍රියේ භයානක (දු, ස, න, සො යන ශබ්ද සහිත) බියකරු සිහිනයක් දුටුවේ ය. තමන් දුටු ශබ්ද සහිත භයානක සිහිනය බුදුරදුන් හමුවේ පවසා සිටි රජතුමාට බුදුරදුන් වදාළේ, රාගාදි සිතිවිල්ලෙන් නිදියහන්ගත වූ රජතුමාට ඉදිරියේදී අත්විඳින්නට සිදු වන භයානක නරක ප්‍රතිඵල සිහිනෙන් පෙන්නුම් කළ බව යි. දු, ස, න, සො යන ශබ්ද පිට කළෝ පෙර අත්භවයක කාමයේ වරදවා හැසිරෙමින් අදටත් ඔසුපත් නිරයේ දුක්විඳින කොසොල් රජතුමාගේ ම ඥාති පිරිසක් බව යි.
ඔබට ද රාත්‍රියේදී සුව නින්දක් අවශ්‍ය නම් රාගාදි සිතිවිල්ලෙන් තොර ව, මෛත්‍රී සහගත ව නිදියහන්ගත වීම වැදගත් ය. එසේ මෛත්‍රී සහගත ව නින්දට පිවිසෙන්නාට භයානක සිහින නොපෙනෙන බවත්, සුව සේ නින්ද ලැබෙන බවත්, සුව සේ අවදි වන බවත් මෙත්ත සුත්තයේදී බුදුරදුන් පැහැදිලි ව ම දේශනාකොට තිබේ. සුවබර නින්දකට නිදි පෙති හෝ වෙනත් මත්ද්‍රව්‍ය ආදිය අවශ්‍ය නො වේ. මෙලොව පරලොව යහපත පිණිස හේතු වන මෛත්‍රිය වැඩීමට ඔබත් හිතට ගන්න. නීරෝගිමත් දිවියක් ගත කිරීම උදෙසා සුවබර නින්දකට එය අත්‍යවශ්‍ය බැවිනි.
මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි