9/8/16

දේව දූත සුත්‍රය.


නිරයේ නිරි සත්වයො විඳින දුක දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘‘මහණෙනි, දිනක් යම රජුටත් මෙබඳු විතර්කයක් පහළ වුනා.’’
‘‘අනේ ලෝකෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙනවා නම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා නම්, මටත් ඒ ධර්මය අවබෝධ වෙනවා නම් මොන තරම් හොඳද? මේ දුක් සහගත වටපිටාවෙන් මිදෙන්න පුළුවන් නේද?’’ කියලා හිතුනලූ.
අපායෙ විස්තර සඳහන් වෙනවා ඉතාම කෲර කටුක වූ තියුණු වූ දුකක් සතර අපායෙ තියෙන්නෙ. විශේෂයෙන් නිරයේ තියෙන්නෙ. එබඳු වූ ගති වලින් යුක්ත නිරය පින්වතුනි, ධර්මය අවබෝධ නොවුන කෙනාට ගෙදර වගෙයි
කියලයි ධර්මයෙ පෙන්නන්නෙ.

අපි ගෙදරින් පිටවෙලා වෙන ගමනක් ගියොත් අපිට හරි හදිසියි ඉක්මණට ගෙදර එන්න. බස් එක ටිකක් ප‍්‍රමාද වුනත් අපි හරි නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඉතින් පෙර කුසල ධර්මයකට මනුෂ්‍යයෙක් දෙවියෙක් වුනත්, මේ
ලෝකයාට හරි හදිසියිලූ ආපහු අපායට යන්න. පුළුවන් තරම් ඉක්මණට අපායට යන්න හේතු රැස්කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය හොඳට නුවණින් හිතන්න දේශනා කළා. දේව දූතයො හම්බවෙද්දි ඒ අරමුණු ගැන නුවණින් මෙනෙහි නොකළ නිසයි අපිට මේ ආර්ය ධර්මය ප‍්‍රමාද වෙන්නෙ.
ආර්ය ධර්මය කියන්නේ මොකක්ද?
ඒකෙන් පෙන්නන ධර්මතාවය මොකක් ද?
අපි කොහොමද ඒ ධර්මය තේරුම් ගන්නෙ?
අපි ජීවිතෙන් ඒක ඇති කරගන්නෙ කොහොම ද? කියලා ධර්මය විමසන පැත්තට අපි යොමු නොවෙන්නෙ ලෝකය ආශ්වාදයකින් දකින නිසා. අකුසල කර්ම කරන්නෙ, ප‍්‍රමාදීව ඉන්නෙ ආශ්වාදයකින් ලෝකෙ දකින නිසා.
ආශ්වාදයකින් ලෝකෙ දකින්නෙ මේ ලෝකයේ යථා ස්වභාවය පෙන්නන දහමක් නිහ`ඩව දේශනා කරන දේව දූතයො හම්බවෙද්දිත් ඒ ගැන විමසලා බලන්න අපි නුවණ හුරු කරලා නැති නිසා. නුවණින් විමසලා බලන්න හුරු කරන එක තමයි ධර්මය කරන්නෙ.

ධර්මය අහගත්තම ඔය පින්වතුන්ට හැම තැනකදීම මේ දේව දූතයො ටික හ`දුනාගන්න පුළුවන් නම්, හිතන්න පුළුවන් නම් මේ සිතේ තියෙන තද මසුරුකම, ඇලීම, බැ`දීම, ගැටීම මේ ලෝකෙ පවතින රළු කෙලෙස් ටික
අඩුවෙනවා. ආර්ය ධර්මයේ අවශ්‍යතාවය මතුවෙනවා. මේ දේව දූතයො විමුක්තියේ පණිවිඩය දෙනවා. දේව දූතයා කියන්නේ දෙවියන්ගෙ පණිවුඩකරුවා. කුමන දෙවියන්ගෙද?

දෙවියො තුන් දෙනෙක් ඉන්නවා. සම්මුති දේව, උත්පත්ති දේව,විශුද්ධි දේව කියලා. සම්මුති දේව කියනවා රටක රජ කෙනෙකුට හෝ රාජ රාජ මහාමාත්‍යයන්ට. දැන් රජවරුන්ට කතා කරන්නෙ ‘එහෙමයි දේවයන් වහන්ස’
කියලා. ඒ සම්මුති දේව. උත්පත්ති දේව කියනවා චාතුර්මහාරාජිකයෙ ඉඳලා බ‍්‍රහ්මලෝකෙ දක්වා උපන් සියලූ දෙනාට ම. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට කියනවා විශුද්ධි දේව කියලා. පිරිසිදු වීම නිසා දේවත්වයට පත්වෙලා. එතකොට මේ පණිවුඩ කරුවො, ‘විශුද්ධි දේවානං දූතා දේව දූතා’ විශුද්ධි දෙවියන්ගෙ පණිවිඩ කරුවො. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ පණිවිඩයයි මේ අපිට අරගෙන එන්නෙ. මේ ලෝකෙ දුකයි,
ලෝකෙ ස්වභාවය මෙබ`දුයි. ප‍්‍රමාදීව සතුටුවෙලා ඉන්න තැනක් නෙවෙයි මේ, අප‍්‍රමාදීව මේ ලෝකෙන් එතෙර වෙන්න කියන පණිවිඩය දෙනවා මේ දේව දූතයො. ධර්මයෙ පෙන්නන්නෙ,

‘චොදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මානවා’
දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හිත් ඇස් නැත්තෝ, කන් නැත්නෝ වගේ ඒ ගැන මෙනෙහි කරන්නෙත් නැතුව, බලන්නෙත් නැතුව ඉන්නවා නම්,

‘යෙ පමජ්ජන්ති මානවා’
ධර්මයේ ප‍්‍රමාදීව වාසය කරයි නම්, ඒ අය

‘තෙ දීඝරත්තං සොචන්ති හීන කායුපගා නරා’
හීන වූ නිරයට ගොස් බොහෝ කාලයක් ශෝක කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

‘යෙ ච ඛො දේවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ’
මේ ශාසනයෙහි සත්පුරුෂ ස්වභාවය ඇති කෙනා දේවදූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි හොඳට ඒ ගැන හිතනවා. හිතලා ලෝකෙ නිසරු බව තමයි මෙයින් ලැබෙන පණිවිඩය කියලා දැනගෙන ටික ටික හෝ ආර්ය ධර්මයට යොමු වෙනවා.

‘තෙ ඛෙමප්පත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා’ දේව දූතයන් විසින් චෝදනා කරනකොට ඒ ගැන සංවේගය ඇතිකරගෙන ආර්ය ධර්මයේ අප‍්‍රමාදීව කටයුතු කළොත් ඒ අය ක්ෂේම භූමියකට පැමිණිලා දුක් නැති කරලා මේ ජීවිතයේම ක්ලේශ පරිනිර්වානයෙන් පිරිනිවෙනවා. යම්කිසි කෙනෙක් මේ ආර්ය ධර්මයේ ප‍්‍රමාදී වෙන්නෙ ලෝකයේ මේ දේව දූතයො විසින් තමන්ට නිහ`ඩව දේශනා කරන ඒ ධර්මය නොඇසුව නිසා. ඒ ධර්මය අහලා ඒ අහගත්ත ධර්මයට නැවත නැවත හිත නැඹුරුවෙන්නෙ නැත්නම්, ඒ තුළ යෙදෙන්නෙ නැත්නම්, තේරුම් ගන්න දේව දූතයො පෙන්වා දෙන පණිවිඩය හරියට ලබාගෙන නැති නිසා. ඒ පණිවිඩය හරියට ගත්තා නම් ලෝකය තුළ තියෙන ආශ්වාදය, ලෝකය සැපයි කියන ගතිය අතහැරෙනවා. එහෙම වුනොත් තමයි ආර්ය ධර්මයෙහි අප‍්‍රමාදී වෙන්නෙ. ආර්ය ධර්මයෙහි අප‍්‍රමාදී වුන කෙනාටයි, ක්ෂේම භූමියට පත් වෙලා, මෙලොවදීම සියළු දුක් නැති කරලා කෙලෙස් පරිනිර්වානයෙන් පිරිනිවිලා ශාන්ත වූ ප‍්‍රණීත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් හැමවිටම ලෝකයේ මේ යථා ස්වභාවය නුවණින් විමසමින් ඉන්න. මෙතනදී යථා ස්වභාවය කිව්වෙ, නොපෙනෙන යථාභූත ස්වභාවයක් නෙවෙයි. ඇස් ඉදිරියට අරමුණු ලැබුනම පිළිකුළින් අහක බලාගෙන යන්න එපා. ඒ නිමිත්ත හොඳට අරගන්න. ඒ ගැන හො ඳ ට හිතන්න හුරුවෙන්න. එහෙම හුරුවෙනකොට මුලින්ම ඔය පින්වතුන්ට මේ ලෝකයේ තියෙන වටිනාකම අඩුවෙනවා. වටිනාකම අඩුවුනාම ධර්මය අඛණ්ඩව යොදාගන්න හිතෙනවා.
දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි නුවණක් තියෙන සත්පුරුෂ කෙනා ඒ චෝදනාව ගැන නුවණින් බලලා ආර්ය ධර්මයේ කිසි කලෙකත් ප‍්‍රමාද වෙන්නෙ නෑ.
මේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාගර්ම කියන චතුරාය්‍යර්ම සත්‍යයට තමයි ආර්ය ධර්මය කියන්නෙ. මේ චතුරාය්‍යර්ම සත්‍යය අවබෝධ කරන්න තමයි අපි නොයෙක් නොයෙක් විදියෙන් උත්සාහවත් වෙන්නෙ. එක එක පරියායන්ගෙන් එක එක ක‍්‍රම වලින් ධර්මය තේරුම් ගන්න.
යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය දුකක් හැටියට දකිනවා නව්, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති තණ්හාව, ඡුන්ද රාගය දුක ඇති කරන හේතුව හැටියට දකිනවා නම්, ඒ තණ්හාව නැති කළොත් පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා නේද, දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා නේද කියලා දුක්ඛ නිරෝධය ගැනත් නුවණින් දනී නම් ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න තියෙන මාගය, සම්මා දිට්ඨිය මුල් කාරණාව
කරගත් ආර්ය අෂ්ටාංගික මාගයයි කියලා දන්නවා නම් මෙපමණකින් කියනවා ආර්ය සත්‍යය දන්නවා කියලා.

පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැකලා දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, සමුදය නැති වීමෙන් එන නිරෝධය සාක්ෂාත් කළහම. මග වැඩෙනවා. මග වඩලා ඉවර වෙනකොට කියනවා ධර්මය දකිනවා කියලා. මෙන්න මේ ධර්මය දකින තැනට පත්වුන කෙනාටයි, මේ ජීවිතයේම දුක නැතිකරලා ක්ෂේම භූමියකට පත්වෙලා කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්නට හැකියාව ලැබෙන්නෙ.
මේ ධර්මයේ පරියාය සහ නිෂ්පරියාය කියලා ක‍්‍රම දෙකක් තියෙනවා. සියල්ලම එකට එකතු කරලා කියන ක‍්‍රමය නිෂ්පරියාය. එක එක ක‍්‍රමයකින් කියනකොට පරියාය. චතුරාය්‍යර්ම සත්‍යය නිෂ්පරියායකින් පෙන්නන ක‍්‍රමය තමයි
මං ඔය මතක් කළේ. ඔය තුළ ප‍්‍රභේද තියෙනවා. පංච උපාදානස්කන්ධයම බැරි නම් කෙනෙකුට එකක් ගන්න පුළුවන්.

රූපය, රූපය ඇතිවෙන හැටි, රූපය ඇතිවෙන හේතුව නැති කළාම රූපය නැතිවෙනවා. නොහටගන්නවා කියලා දැනගත්තොත් මෙන්න මේ ප‍්‍රතිපදාවෙන් ගිහිල්ලා රූපය නිරුද්ධ කරන්න පුළුවන් කියන දර්ශනය - සම්මා
දිට්ඨිය තියෙනවා නම් එපමණින්ම චතුරාය්‍යර්ම සත්‍යය කියලා කියනවා. ආර්ය ධර්මය කියනවා.

නිරන්තරයෙන්ම දේව දූතයන්ගෙන් චෝදනා ලබන මේ ලෝකය තුළ හැමදාම අපිට ඉන්න වුනේ ආර්ය ධර්මයේ ප‍්‍රමාදී වුන නිසා. ආර්ය ධර්මයේ අප‍්‍රමාදී වුනා නම් අපි මේ සසර දුක අවසන් කරලා බොහෝ කල්. නමුත් අපි
අප‍්‍රමාදීව සද්ධර්මය තුළ නොහැසිරුන නිසා තවමත් සසරෙ ඉන්නවා. අනවරාග‍්‍ර වූ සසර ස්වභාවය, සසර දුක සිහිපත් කරලා ඒ දුක් සහගත සසරින් එතෙර වෙන්න මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියන අදහසින් හැම කෙනාම එක එක ක‍්‍රමයක් පරියායක් හදාගෙන ඒ ක‍්‍රමයට අනුව ටිකක් හිත හිතා ඉන්න. ඔය පින්වතුන්ට චතුරාය්‍යර්ම සත්‍යය අවබෝධ වෙයි වෙහෙසකින් තොරවම. එතන දී ගොඩක් දේ නෙවෙයි, ප‍්‍රධාන වශයෙන් මේ රූපය කියන එක ගන්න. වැඩි බරක් තියෙන්නෙ, වැඩි දුකක් තියෙන්නෙ, ගරු බරක් තියෙන්නෙ, ගරු දුකක් තියෙන්නෙ මේ ඕරම්භාගිය සංයෝජන වල. ඒ දුක් සහිත වටපිටාව හැදිලා තියෙන්නෙ, ගොනු වෙලා තියෙන්නෙ සියුම් නාම ධර්මර්ම එක්ක නෙවෙයි. සතර මහා ධාතුවෙන් හැදුන රූපයත් එක්ක. රූපය පිරිසිඳ නොදැකීමත් එක්ක.

ඒ නිසා මුලින්ම මේ රූපයෙන් ජීවත් වෙන, මේ රූපයට තමන් කියන මිම්මෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. ඒක කරන්න පුළුවන් තමන්ටමයි. පොළවෙ පය ගහලා ජීවත්වෙනවා වගේ අපි මේ කයේ පිහිටලා තමයි හැම දෙයක්ම කරන්නෙ. ඒ පිහිටලා ඉන්න කයේ ඇත්ත නොදකිනකොට ඉබේමයි කය වටා සංයෝජන ගොනු වෙන්නෙ. ඉතින් මේ රූපයේ ස්වභාවය තේරුම් ගන්න ටිකක් උත්සාහවත් වෙන්න.
මේ කය මොකක්ද? කයෙන් කරලා තියෙන වැඩ මොනවාද? එතන තියෙන ධර්මතාවය කුමක් ද? කියලා හොඳට පැහැදිලි කරගන්න. සතිපට්ඨාන සූත‍්‍රයේ කායානුපස්සනාවෙ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඔය ටිකමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් රූපය දන්නවා නම්, රූපයේ ඇතිවීම දන්නවා නම්, රූපයේ නැතිවීම දන්නවා නම්, රූපය නැති කරන ම`ග දන්නවා නම් එපමණකින්ම හේ ලෝකයේ සුපටිපන්නයි. යමෙක් සුපටිපන්න නම් එයා මේ ධර්මර්ම විනයේ බැසගෙන සිටින කෙනෙක්. එයා සද්ධර්මයෙන් බැහැර වෙන්නෙ නෑ කියනවා. සුපටිපන්න, උජුපටිපන්න, ඥාය පටිපන්න ගුණය ඇතිවෙන හැටි පෙන්වනවා බුදුරජාණන් වහන්සේ.
සුපටිපන්න - ධර්මයට මනාව පිළිපන්න කියන ගුණය ඇතිවෙනවා. ඒ සඳහා අපි බලමු රූපය කියන එක. මම හැමදාමත් මතක් කරලා තියෙනවා. මේ රූපය අරබයා ඕනෑවට වඩා මමයි, මමයි, මමයි කියලා අරමුණු ගන්න එපා. මේ ධර්මය අහගත්තම ලැබෙන්නෙ ශ‍්‍රැතමය ඥානය. අහගන්න එක හෝ නොකළොත් අපිට චින්තාමය ඥානයක් ලැබෙන්නෙ නෑ. ඒ දෙක නැවත නැවත නොකළොත් භාවනාමය ඥානය නැහැ. ඒ නිසා මේ අහගත්ත
දහම හොඳට හිතන්න ඕන, හුරු කරන්න ඕන.

මේ තමන් කියන කය දිහා බලන්න. මම අද මේ පෙන්නන විදියට ඔය පින්වතුන් හිතන්න පුරුදු වෙන්න. මේ රූපයෙ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් ආදී කුනප කොටස් තිස් දෙකක් තියෙන්නෙ. මේ කොටස් තිස් දෙක
තමන්ගෙ හෝ අනුන්ගේ හෝ නෙවෙයි.

‘මහණෙනි, මේ කය නුඹලගෙත් නෙවෙයි, වෙන කෙනෙකුගෙත් නෙවෙයි.’
කෙස් ගහක් බිම වැටිලා තිබුනොත් ඒක කෙස් ගහක් කියලා පේනවා මිසක, පුද්ගලයෙක් කියලා හිතෙනවද? ඒ වගේ ලොම්, නිය, දත්, හම්, මස්, නහර, ඇට වෙන වෙනම අරගෙන බලන්න. සත්ව පුද්ගල නොවූ කොටස් ටිකක් තියෙන්නෙ. අද මම කියන හැ`ගීම අපිට දැනෙද්දිත්, හිතෙද්දිත් කයේ තියෙන්නෙ මම නොවෙන කොටස් ටිකක්මයි. මේ කොටස් ටික කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. බත් , පාන්, කව්පි, මුංඇට කියන කන බොන ආහාරයට කියනවා හේතු කියලා. ඒ හේතු නිසා හටගත්ත ඵලය තමයි මේකය. එතකොට මේ රූපය හේතු ප‍්‍රත්‍යයි.
කුනප කොටස් තිස් දෙකකින් යුත් මේ රූපය අනාත්මයි. මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කමර්ම තණ්හා ආහාර කියන හේතු නිසා ඵලයක් හැටියට පැමිණි චිත්ත චෛතසික. ඒකට කියනවා ප‍්‍රතිසන්ධි සිත
කියලා. සිත හා සිතිවිලි මම හෝ මගෙ හෝ තව කෙනෙක්ගෙ හෝ නෙවෙයි. කය සිතට උපකාරයි. සිත කයට උපකාරයි. ඔවුනොවුන්ට උපකාරීව තියෙනවා.

චිත්ත චෛතසික නිසා ආයුෂය හදලා, කුණුවෙලා. දිරලා යන්න නොදී කය පවත්වනවා. චිත්ත චෛතසික නිරුද්ධ වෙන්න නොදී පවත්වා ගන්න රූපය උපකාර වෙලා තියෙනවා. කෙස් ලොම් නිය දත් වලින් යුක්ත රූපය හැම වෙලාවෙම අචේතනිකයි. අවිඥානකයි, විඥානයක් නැහැ. හරියට දර කඩක් වගේ. මළමිනියක් වගේ. කිසිම හැ`ගීමක් දැනීමක් නැති අචේතනික වස්තුවක්.
මළමිනියට හිතෙනවද මළමිනිය තමන් කියලා. එහෙනම් මළමිනිය බ`දු මේ රූපයටත් තමන් කියලා හිතෙන්න බැහැ. එබ`දු කය උපකාර කරලා තියෙනවා තමන් කියලා හිතන්න පුළුවන්කම තියෙන චිත්ත චෛතසිකවලට.
තමන් කියන හැ`ගීම, තමන් කියන ගතිය, මම කියන හැ`ගීම, මම කියන මාන ස්වභාවය තියෙන්නෙ හිතේ. ඒ හිත බැ`දිලා තියෙන්නෙ මේ කයේ නිසා කය මම වගෙයි පෙනෙන්නෙ. නමුත් තේරුම් ගන්න අපි මම කියන තැන
තියෙන්නෙ කන බොන ආහාරය නිසා හැදෙන කුනප කොටස් තිස් දෙකකින් යුක්ත රූපයක්. ඒ රූපය පෙර අවිද්‍යා කමර්ම තණ්හා කියන හේතු නිසා පැමිණි මේ හිතට, සිතිවිලි ටිකට නවාතැනක් හදලයි තියෙන්නෙ. ගෙයක් හදලයි තියෙන්නෙ.

ගේ කියන්නෙ තමන්ද? දැන් අපි ධර්මර්ම ශාලාවෙ ඉන්නකොට ධර්මර්ම ශාලාවත් අපිද? ශාලාව අපේ ජීවිතේ ද? ශාලාව ඇතුළෙ අපි ඉන්නවා. විටෙක මේ ජනේලයකින් එබිලා අරමුණු ගන්නවා. ඒ වගේ ආහාරයෙන් හැදුන මේ රූපය ගෘහයක්, ගෙයක්, චිත්ත චෛතසික වලට නවාතැන් දීලයි තියෙන්නෙ. ගෙදර ඉන්න ගෙහිමියා තමයි විඤ්ඤාණය, චිත්ත චෛතසික ටික. ගෙදර තියෙන ජනෙල්, දොරවල් වගේ තමයි මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය. විටින් විට මේ කවුළුවලින් එළිය බලලා අරමුණු ගන්නවා. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ කියන නිමිති ගන්නවා. නමුත් ගෙහිමියා කියන්නෙ ගේ නෙවෙයි. ගේ කියන්නෙ ගෙහිමියා නෙවෙයි.
හේතු දෙකකින් හටගත්ත ඵල දෙකක් වූ නාම රූප ධර්මතාවය ඔවුනොවුනට උපකාරීව පවතින පැවැත්මක් තියෙනවා. ඒක ධර්මතාවයක්. ආයු සන්තතිය තියෙනකම් පවතිනවා. ඒ ස්වභාවය අපි කවදාවත් අහලා
නැති හින්දා, ඉගෙනගෙන නැති හින්දා, හේතු ඵල දහම දන්නෙ නැති හින්දා අපි මම කියන තැනක, පුද්ගලයා කියන තැනක පවතින ස්වභාවයත්, ඒවා හැදුන හැටි සහ ඒවායින් කෙරෙන කටයුතු ගැනත් නොදන්නා නිසා ඒ
නොදන්නා කමට කියනවා අවිද්‍යාව කියලා.

නාම රූප දෙකක් තියෙන තැනක ඒ බව නොදන්නා අවිද්‍යාව නිසා සත්වයෙක්, පුද්ගලයෙක්, මම කියලා හිතනවා. ඒක තමයි සංසාරයෙ අපේ කමර්ම නිමිත්ත. මම කියලා හිතුවහම මට කැමතියි ආදරෙයි. මගේ අම්මා
තාත්තා දුවා පුතා කියලා හිතනවා. දුවට පුතාට අම්මාට තාත්තාට මම ආදරෙයි කියලා තණ්හාව ඇතිවෙනවා.

අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් අවිද්‍යාව තිබුනොත් තමන් සහ අනුන් කියන මට්ටමේ චේතනා ටිකක් තමයි පහළ වෙන්නෙ. කමර්ම තමයි කෙරෙන්නෙ. සංසාර නිමිති ටිකක් තමයි හැදෙන්නෙ. තමන් සහ අනුන්
කියලා සත්ව පුද්ගල භාවයෙන් දකිනකොට වෙන්නෙ තණ්හාව කියන එක ඇතිවෙනවා. එහෙම වෙනකොට මේ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නාම රූප දෙක නිසා හදාගත්ත පුද්ගල සංඥාවත්, පුද්ගල සංඥාව කෙරෙහි ඇතිවුන කැමැත්තත් මුල් කාරණාව කරගෙන විඤ්ඤාණය නැවත සතර මහා ධාතු රූපෙකට බැස ගන්නවා. ආයෙත් මේ වගේම කයක් සවිඥානක වෙලා දොරටු හය ඇතුළට වෙලා ඉඳගෙන අරමුණු ගනිමින් නාම රූප දෙකක පැවැත්මක් වෙනවා කියන සිද්ධිය වෙනවා. ආයෙත් ඒක නොදන්නකොට, නොදකිනකොට මමයි කියන සත්ව පුද්ගල සංඥාවක් ඇති කරගෙන ඒ තුළ ඇලිලා, ගැටිලා ඉන්නවා. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා.

අතීතයේ දී වුනෙත් එහෙමයි. අපි මීට පෙර කොතනක හරි ඉපදිලා හිටියා නම් එදා තිබුනෙත් කාම භූමියෙ නම් - මේ වගේ කුනප කොටස් තිස් දෙකකින් යුක්ත රූපයක් තියෙන්න ඇති, කන බොන ආහාරයෙන් හැදුන. ඒ කය ඇසුරු කරගෙන එදා අවිද්‍යා කමර්ම තණ්හාවෙන් හටගත් සිත පවතින්න ඇති. එසේ නාම රූප දෙකක පැවැත්මක් තියෙන්න ඇති. කය සිතට උපකාරව, සිත කයට උපකාරව පවතින්න ඇති. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කය නමැති ගෘහයෙ තියෙන කවුළුවලින් ඔළුව දාලා නොයෙක් අරමුණු ගනිමින් එදා ජීවත් වෙන්න ඇති.
නාම රූප දෙකක් පවතින තැනක නාමය මේකයි. එයින් කෙරෙන වැඬේ මේකයි. රූපය කියන්නෙ මේකයි එයින් කෙරෙන වැඬේ මේකයි. නාම ධර්මර්ම හැදිලා තියෙන්නෙ මෙහෙමයි. රූපය හැදිලා තියෙන්නෙ මෙහෙමයි කියලා හාත්පස නාම රූප දෙකත්, ඒකෙන් කෙරෙන වැඩෙත්, ඒකෙ ඇතිවීමත්, කරන වැඩ ටිකත් නොදන්නා නිසා නොදැක්ක නිසා, ඒ අවිද්‍යාව නිසා, මේ නාම රූප දෙක සත්වයෙක් පුද්ගලයෙක් කියන හැ`ගීම ඇති කරගත්තා. ඒ හැ`ගීම නිසා සත්වයන්ට,පුද්ගලයන්ට තණ්හාවක් ඇති කර ගත්තා. හේතු ප‍්‍රත්‍යයෙන් හටගත්ත ඒ නාම රූප දෙකම ඉතිරි නැතිවම නිරුද්ධ වුනා. නමුත් අවිද්‍යාවෙන් හදාගත්ත සත්ව පුද්ගල කමර්ම නිමිත්තත්, ඒකට තියෙන ඇලීම ගැටීමත් නැවත සතර මහා ධාතුවෙන් යුක්ත මේ කයට බැසගෙන අද මේ කය සවිඥානක කරලා තියෙනවා.
අද මම ජීවත් වෙනවා කියන තැන තියෙන මේ ඇත්ත නොදැක්කොත්, සත්ව පුද්ගල ආත්ම භාවයකින් දැක්කොත් තණ්හාව ඇතිවෙනවා. නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඒ නාම රූප දෙක හදන්න හේතුවෙන අවිද්‍යා කමර්ම තණ්හා කියන කෙලේසය නිසා නැවත මේ සිත රූපයකට බැසගෙන මේ වගේම කයක් සවිඥානක කරනවා. අද මේ රූපය, මේ ආයතන හැදිලා තියෙන්නෙ අවිද්‍යා කමර්ම තණ්හා ආහාර කියන මේ නාම ධර්මර්ම මේ කය ඇසුරු කරගෙන පවතින නිසයි. අද මේ රූපය මෙබ`දුයි මේ රූපය හැදුනෙ පෙර මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසයි. අද මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම තිබුනොත්, සත්ව පුද්ගල සංඥාවක් ඇතිකරගෙන, සත්ව පුද්ගල සංඥාව තුළ ඇලීම බැ`දීම ඇති කර ගන්නවා. කෙලෙස් ඇතිකර ගන්නවා. නාම රූප දෙක උදවුවෙන් අපි කරගෙන තියෙන්නෙ එකම දෙයයි. නාම රූප දෙක නිරුද්ධ වෙනකොට අළුතින් කමර්ම නිමිති ටිකක් හදාගෙන තියෙනවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නැති වෙනවා. නාම රූප දෙක නැතිවෙනවා. නමුත් අර හදාගත්ත කමර්ම නිමිත්ත - අවිද්‍යාවෙන් හදාගත්ත සත්ව පුද්ගල නිමිත්තයි. කෙලේසයයි. නැතිවෙන්නෙ නෑ. ඒක ප‍්‍රතිසන්ධි වශයෙන් යනවා.
ඔය පින්වතුන්ගෙ කව්රු හරි මිය පරලොව ගිය කෙනෙක්ව දැන් සිහි කරන්න පුළුවන්නෙ. එතන කුනප කොටස් තිස් දෙකකින් යුක්ත සැබෑම රූපයක් තිබුනෙ, හේතු ප‍්‍රත්‍යයකින්. ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කමර්ම තණ්හා හේතුවෙන් පැමිණි චිත්ත චෛතසික ටිකක් තිබුනා. ඒ කය හිතට උපකාර වෙලා. හිත කයට උපකාර වෙලා නාම රූපයක පැවැත්මක් තිබුනෙ. හේතු නිසා හටගත්ත ඵලයක් තිබුන තැනක නාම රූප දෙක නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් මේ මගෙ දුවය, පුතාය, ඥාතියාය කියලා අපි නිමිත්තක් ගත්තා. අපි නිමිත්ත ගත්තට එතන තියෙන්නෙ ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිරුද්ධ වෙනකොට ඒ හේතුඵල දහම නිරුද්ධ වෙලා නාම රූප ඉතුරු
නැතිවම නිරුද්ධ වෙනවා.

අපි හිතාගෙන ඉන්න විදියේ සත්වයෙක් හෝ පුද්ගලයෙක් බ`දු නිමිත්තක් කවදාවත් තිබුනා නෙමෙයි. තියෙනවත් නෙමෙයි. අපි මෙහෙම නිමිත්තක් ගන්නකොටත් එතන යථාභූත ස්වභාවය වෙන එකක්. ඉතිරි නැතුවම නිරුද්ධ වුන නාම රූප දෙකට තමයි අපිට මැරුණා කියලා හිතෙන්නෙ.
ඒ දිහා බලාගෙන අපි ඇති කරගත්ත නිමිත්ත සහ නිමිත්ත අරබයා අපි තබාගත්ත වැරදි සටහන සහ ඒ සටහන අරබයා අපේ හිතේ ඇති කැමැත්ත තවම නැතිවෙලා නැහැ. නමුත් ඒ කැමැත්ත අපේ මනසෙ ඇති කරන්න හේතු වුන සැබෑම ධර්මතා ටික නිරුද්ධ වෙලා. දැන් මේ අපි ගාව තියෙන නිමිත්ත හොඳටම ප‍්‍රමාණවත් මරණාසන්න මොහොතෙ මේ ධර්මතාවය සිහි කරලා සිතට නැවත රූපෙකට බැසගන්න.
ආපහු විඤ්ඤාණය බැසගත්තම ආධ්‍යාත්මික කය මුල් කරගෙනත්, බාහිර කය මුල් කරගෙනත් ආධ්‍යාත්මික බාහිර කියන දෙකම මුල් කරගෙනත් අපිටයි කමර්ම රැුස්වෙන්නෙ. මොකද ආධ්‍යාත්මික බාහිර කියන බෙදීම තියෙන්නෙ කෙලේසයකට නිසා.
මෙන්න මේ වගේ යම්කිසි කෙනෙක් මේ රූපය පිරිසිඳ දැකලා, නැත්නම් නාම රූප දෙක පිරිසිඳ දැකලා, අතීතයේදිත් මේ ඇත්ත නොදැක්ක කම මුල් වුනා අද මෙහෙම මෙතනට එන්න. අද මෙතන මේ භෞතික ස්වභාවය නොදැක්කොත් වැරදි දැකීමක් ඇති කරගනියි. වැරදි දැකීම තුල ඇලීමක් බැ`දීමක් ඇති කර ගනියි. එහෙම වුනොත් නැවත දුක ඇතිවෙනවා. මෙබ`දු දුක් වූ ස්කන්ධයෝ ඇතිවෙනවා කියලා දැක්කහම එයා රූපයත් රූප සමුදයත් දකිනවා. මේ රූප සමුදය දකින්න දිගටම යන්න වෙනවා.
පුබ්බන්තෙ ඥානං, අපරන්තෙ ඥානං, පුබ්බන්ත අපරන්තෙ ඥානං කියලා පෙර නිසා දැනුත්, දැන් නිසා මතුත්, අනාගතයේදිත් මෙහෙම වෙනවා කියලා දකින්න ඕන. ඊට පස්සෙ අතීතයේ දී නාම රූප දෙක දැකලා තිබුනා
නම්, සත්ව පුද්ගල සංඥාවක් ඇතිකරගෙන ඇලීම් බැ`දීම් නොවුනා නම්, ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට විඥානය නැවත භවයක පිහිටන්නෙ නෑ. අද මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා හේතු ප‍්‍රත්‍යයෙන් හටගත්
ස්කන්ධයෝ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැකලා සත්ව පුද්ගල භාවයෙන් නිමිති ගන්නෙ නැතුව අනාත්ම වූ නාම රූප දෙකක් තියෙන්නෙ. ඒ ද හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ නාම රූප දෙක නිමිත්තක් හැටියට ගන්නෙ නැතුව, නාම රූප දෙක පවතින තැනක, නාම රූප දෙක කියන්නෙ මෙබ`දු ධර්මතාවයක්, ඒක හටගත්තෙ මෙහෙමයි, නැතිවෙන්නෙ මෙහෙමයි කියලා ධර්මර්ම සංඥාවක්ම ගන්නවා නම් මනසට, නාම රූප දෙකක් තියෙන තැනක පවතින ඇත්ත මේකයි කියන සංඥාව තමයි හිතට හොඳට අහුවෙලා තියෙන්නෙ. එහෙම වුනොත් මේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා. නැවත
ප‍්‍රතිසන්ධි වශයෙන් යන්න කමර්ම නිමිත්තකුත් හිටින්නෙ නැති වුනොත් නැවත හිත මේ වගේ කයකට බැහැලා සවිඥානක වෙන්නෙ නැහැ. එහෙම වුනොත් ආයතන ටික හැදිලා ස්පර්ශ වෙලා ජරා මරණ දුක ලැබෙන්නෙ නෑ නේද කියලා රූප නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙන හැටිත් දැකලා මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න ඕන.

මේ රූපය, මේ රූපය ඇතිවෙන හේතුව
මේ නාමය, මේ නාමය ඇතිවෙන හේතුව
නාම ධර්මර්ම ටික රූපයට මෙහෙමයි උපකාර කරලා තියෙන්නෙ රූපය, නාම ධර්මර්ම ටිකට මෙහෙමයි උපකාර කරලා තියෙන්නෙ. රූපයෙන් කෙරෙන වැඩ ටික මෙන්න මේවයි, නාම ධර්මර්ම වලින් කෙරෙන්නෙ මේ ටිකයි කියලා හොඳට දකින්න පුළුවන්කම තියෙන්න ඕනෙ.

ඔන්න ඔය ටික දකිනකොට දන්නවා මේ කෙලෙස් නැති වුනොත් ජරා මරණ දුක නැතිවෙනවා කියලා මේ ටික දකින තැනට මනස ගන්න ඕන.
ඒ සඳහා ශිලයක පිහිටන්න ඕන.
ඒ සඳහා සමථ කමටහනක් වඩන්න ඕන.
ඒ සඳහා ඇත්ත ඇති හැටිය ටික ටික හිතන්න ඕන. කියලා මේ ශීල සමාධි ප‍්‍රඥා කියන ති‍්‍ර ශික්ෂාවම පූරණය කරනවා. එයා දුක් වූ රූපයත්, දුක් වූ රූපය හැදුන හැටිත්, දුක් වූ රූපයේ නිරෝධයත් දැකලා ඒ නිරෝධය ඇති කර ගැනීම සඳහා මෙන්න මේ විදියට කරනවා.

මේ විදියට බලන කෙනාට කියනවා ආර්ය ධර්මයේ අප‍්‍රමාදී වෙන කෙනා කියලා. එබ`දු කෙනා,
‘තෙ ඛෙමප්පත්තා සුඛිිනො දිට්ඨධම්මාභිනිබ්බුතා’
එයා ක්ෂෙම භූමියට පත්වෙලා, සැප ස්වභාවයට පත් වෙලා, මෙලොවදීම පිරිනිවෙනවා.

‘සබ්බවෙර භයාතීතා සබ්බ දුක්ඛං උපච්චගුන්ති’
සියලූ වෛරය, සියලූ භය අවසන් කරලා, සියලූ දුක උදුරලා දැමූ කෙනෙක්, මහා පුරුෂයෙක් කියන තැනකට පත්වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට අපිටත් පත්වෙන්න පුළුවන්. මේ ධර්මය හොඳට අහන්න. අහලා හොඳට හිතන්න ධර්මය අහලා ඒ ගැන හිතන එක ලොකු පිටිවහලක් වෙනවා. ගතවෙන ජීවිතය තුළ දේව දූතයො ගැන හොඳට විමසන්න. දේව දූතයො ගැන හොඳට විමසන, නුවණින් මෙනෙහි කරන කෙනා ආය්‍යර්ම ධර්මයේ ප‍්‍රමාද වෙන්නෙ නෑ. එබ`දු කෙනා මේ ජීවිතේ ම පිරිනිවෙනවා.

ඒ නිසා මේ දේව දූතයන්ගෙ පණිවිඩය අහලා ජීවිතේට එකතු කරගෙන දුවන්නන් වාලේ දුවන සමාජ රටාවට අහුවෙන්නෙ නැතුව එයින් වෙන්වෙලා ආය්‍යර්ම උත්තමයන් ප‍්‍රශංසා කොට වදාළ ආය්‍යර්ම ධර්මයේ අප‍්‍රමාදී වෙලා තමන්ගේ ජීවිතේට රැුකවරණයක් හදාගෙන, මේ ජීවිතයේ හැම දෙනාටම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්නට, සියලූ සසර දුකෙන් අත මිදෙන්නට මේ දේශනාව හේතු පාරමිතාවක්ම වේවා!
සියලූ දෙනාටම තෙරුවන් සරණයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දේශනා කරන ලද දේවදූත සූත‍්‍රය මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් ඔබ අතට පත් කරමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

කර්මය සත්වය කෙරෙහි කෙතරම් බලපානවද?


කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත් වධයත් බන්ධනයත් ලැබෙන බව ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.
සත්ත්වයකුට කර්මයෙන් සිදු කරන ප්‍ර‍ධාන දෙය මරණින් මතු යම්කිසි භවයක ඉපදවීම ය. සැම සත්ත්වයකු ම උපදින්නේ ඔහු විසින් අතීතයෙහි කළ කර්මයක් විපාක භවයට පැමිණීම් වශයෙනි. මරණයට ඉතා ළංව ඉන්නා පුද්ගලයා හට ඔහු විසින් අතීතයෙහි කොට යටපත් වී ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ සිහි වේ. සමහර විට කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ඔහු ගේ සිතට පෙනෙන්නට වේ. කර්ම නිමිති නම් විපාකදීමට මතුවී ඇවිත් ඇති, කර්මය කිරීමට උපකාර වූ හෝ උපකරණ වූ හෝ වස්තූහු ය. ගති නිමිත්ත නම් මතුවී ඇති කර්ම හේතුවෙන් උපදනා ස්ථානයෙහි ඇති දේවල් ය. මේවායින් කවරක් හෝ මරණාසන්න සත්ත්වයා ගේ සිතට වැටහිමෙන් පරණ වූ කර්මය එකෙණෙහි කරන ලද්දක් මෙන් අලුත් වේ. මැරෙන සත්ත්වයා ගේ ඒ භවයෙහි අන්තිමට උපදනා සිත ඉපද නිරුද්ධ වනු සමග ම මරණාසන්නයෙහි වැටහුණු කර්ම - කර්ම නිමිත්ත - ගති නිමිත්තයන් ගෙන් එකක් අරමුණු කෙරෙමින් ඒ එළඹ සිටි කර්මයාගේ විපාක වශයෙන් දෙවන භවයෙහි පළමුවන සිත පහළ වේ. එයට ‘ප්‍ර‍තිසන්ධිචිත්තය’ යි කියනු ලැබේ. ඒ ප්‍ර‍තිසන්ධිචිත්තය ඇතිවීම මළ සත්ත්වයා ගේ අලුත් භවයකට පැමිණීම ය. එයට මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය යි ද කියනු ලැබේ.
ප්‍ර‍තිසන්ධිචිත්තය නිරුද්ධ වීමෙන් පසු විපාක දුන් කර්මයා ගේ ශක්තියේ සැටියට කෙටි කලක් හෝ දික් කලක් හෝ අනික් සිතක් නැත්තා වූ සැම අවස්ථාවෙහි ම ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් ගත් අරමුණ ම ගනිමින්, ප්‍ර‍තිසන්ධි චිත්තයට සමාන සිතක් ප්‍ර‍තිසන්ධිය ඇති කළ කර්මයා ගේ විපාක වශයෙන් නැවත නැවත උපදින්නේ ය. ඒ හේතුවෙන් ඔහු ගේ සිත් පරම්පරාව නො සිඳී පවත්නේ ය. සිත් පරම්පරාව සිඳී ගිය හොත් සත්ත්ව ජීවිතය කෙළවර වන්නේ ය. භවය එයින් කෙළවර වේ. සිත් පරම්පරාව සිඳී ගොස් භවය කෙළවර වන්නට නොදී ආරක්‍ෂා කරන්නේ ඒ සිත ය. එබැවින් එයට ‘භවාංගචිත්තය’ යි කියනු ලැබේ. එය සත්ත්වයා ගේ ප්‍ර‍කෘති සිත ය. මූල සිත ය. එබන්දක් ඇති බවක් අපට නො දැනේ. අපට නොයෙක් දේ දැන ගැනීමට උපකාර වන්නේ ඒ භවාංග චිත්තය ය. දැකීමට උපකාරවන ඇසට, ඒ ඇස නො පෙනෙන්නාක් මෙන් දැනීමට හෙවත් නොයෙක් දේ දැන ගන්නා සිත් ඇතිවීමට උපකාර වන භවාංග චිත්තය ඇති බව සැලකිය යුතු ය. මෙය හොඳට ම තේරුම් ගත හැකි වීමට නම් අභිධර්මය හොඳින් උගත යුතු ය. මේ භවාංගචිත්තයත් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්මයාගේ ම විපාකයෙකි. එබැවින් සත්ත්වයා භවයෙහි උපදින්නේත් උපන් භවය කලක් නො සිඳී පවත්නේත් යම්කිසි එක් කර්මයකින් බව දත යුතු ය.
කුශල කර්මයකින් උපන් තැනැත්තාහට ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ ජාතියේ දී බොහෝ වූ හෝ මඳ වූ හෝ සැපසම්පත් ඒ කර්මයෙන් ඇති කරනු ලැබේ. අකුශල කර්මයකින් උපන් සත්ත්වයාහට ද ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ කර්මයෙන් බොහෝ වූ හෝ මඳ වූ හෝ දුක් කරදර ඇති කරනු ලැබේ. ඇට බොහෝ ගණනක් එක්වී මහත් එක් ගසක් ඇති නො කරන්නාක් මෙන්, කර්ම බොහෝ ගණනක් එක්වී එක් උත්පත්තියක් ඇති නො කෙරේ. සැම කල්හි ම එක් භවයක උත්පත්තිය සිදු කරන්නේ එක් කර්මයකිනි. සියලු ම සත්ත්වයන්ට කුශල් වූ ද අකුශල් වූ ද බොහෝ අතීත කර්ම ඇත්තේ ය. කුශල වූ හෝ අකුශල වූ හෝ යම් කිසි එක් කර්මයකින් උපන් සත්ත්වයකුට ඒ භවයේ දී ඒ ඒ අවස්ථාවල දී ඔහු විසින් අතීතයෙහි කළ බොහෝ කුශලාකුශල කර්මවල විපාක ද ලැබෙන්නේ ය.
එක් කර්මයකින් උපන්නා වූ පුද්ගලයකුට ඔහු ගේ ජීවන කාලයේ දී තවත් කුශලාකුශල කර්මයන් ගේ විපාක ලැබෙන්නේ තවත් හේතූන් අනුව ය. වී ඇටයක තවත් වී ඇට ඇති කිරීමේ ශක්තියක් ඇත්තේ ය. එහෙත් වී ඇටයක් තවත් වී ඇට නමැති ඵල ඇති කිරීමට සමත් වන්නේ: උපකාරක හේතූන් ලැබීම ය, බාධක හේතූන් නො පැමිණීමය යන කරුණු දෙක අනුව ය. ජලය හා පෝර ඇති බිම, වී ඇටයකට ඵල ඇති කිරීමට උපකාරක හේතු ය. අධික වර්ෂාව - නියඟ ආදිය වී ඇටයට බාධක හේතු ය. ඵල ඇති කිරීම සඳහා වී ඇටයක ඇත්තා වූ බලය ඉතා සුළු ය. එබැවින් උපකාරක හේතු නො ලදහොත් එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලද ද බාධක හේතුවක් පැමිණිය හොත් එකල්හි ද එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක සම්පූර්ණ වුව ද, කාලයෙහි මිස අකාලයෙහි ඵල ඇති කිරීමට ද සමත් නො වන්නේ ය. එමෙන් ඉතාම බලවත් කුශලාකුශල කර්මයන් හැර සාමාන්‍ය කුශලාකුශල කර්මයන් තම තමා ගේ ඵල ඇති කරන්නේ උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක අනුව ය.
ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය යන මේ කරුණු සතර කුශල කර්මයන්හට තමන් ගේ විපාකය ඇති කිරීමෙහි උපකාරක හේතූහු වෙති. අකුශල කර්මයන් ගේ විපාක ඇති වීමට බාධක හේතූහු වෙති.
ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය යන මේ කරුණු සතර අකුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතූහු ය. කුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි බාධක හේතූහු ය.
‘ගති සම්පත්තිය’ යනු කුශල කර්ම බලයෙන් ලබන යහපත් ආත්මභාවය ය. මිනිසකු වීම හා දෙවියකු වීම ගති සම්පත්තිය ය. මිනිස්ව දෙවිව ඉපදීම් වශයෙන් යහපත් ආත්ම භාවයක් ලබා සිටින්නහුට ඒ ගතිසම්පත්තිය නිසා අතීතයෙහි කළ නොයෙක් කුශලයන් ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට ඇත්තා වූ අකුශල කර්මයන්හට විපාක දීමට ඒ කාලයේ දී ඉඩ නො ලැබෙන්නේ ය.
‘උපධි සම්පත්ති’ යනු හොඳින් වැඩුණා වූ අංග සම්පූර්ණ වූ ශෝභන ශරීරය ය. උපධි සම්පත්තිය ඇති කල්හි කුශල කර්මයන් විපාක දීම් වශයෙන් ගිය ගිය තැන දී සැලකිලි ලැබෙන්නේ ය. ඒ අවස්ථාවේ දී ඒ උපධි සම්පත්තිය නිසා අකුශල කර්මයන්හට විපාක දීමට අවකාශ නො ලැබේ.
‘කාල සම්පත්තිය’ යනු හොඳ ආණ්ඩුවක් ඇති, හොඳ මිනිසුන් ඇති, හොඳ සෘතු ගුණය ඇති, ධනධාන්‍ය සුලභ කාලය ය. එබඳු කාලයක උපන්නහුට ඒ කාල සම්පත්තිය නිසා දුබල වූ ද කුශල කර්මයන්ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ කාලයේ දී අකුශල කර්මයන් හට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.
‘ප්‍රයෝග සම්පත්තිය’ යන පව්කම්වලින් වැලකීම හා දානාදි යහපත් ක්‍රියා කිරීම ය. ප්‍රයෝග සම්පත්ති ඇති කල්හි ද ඒ නිසා දුබල වූ ද කුශල කර්‍මයන් ගේ විපාක ලැබෙන්නේ ය. පැවිද්දන්ට ගරුබුහුමන් ලැබෙන්නේ, පූජාසත්කාර ලැබෙන්නේ ඒ අය ගේ අතීත කුශල් නිසා ය. එහෙත් ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම නමැති ප්‍රයෝග සම්පත්තිය නිසා ය. දැහැමින් කල් යවන යහපත් ක්‍රියා කරන ඇතැම් ගිහියන්ට ද නොයෙක් විට ඒ ප්‍රයෝග සම්පත්තිය නිසා පොදු ජනයාගෙන් හා රාජාදීන්ගෙන් නොයෙක් සැලකිලි ලැබෙන්නේ ය. ඒ සැලකිලි ප්‍රයෝග සම්පත්තිය නිසා ලැබෙන කුශල කර්ම විපාකයෝ ය. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්හි ඒ නිසා ඇතැම් අකුශලයන්ට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.
‘ගති විපත්තිය’ යනු අපාය භවය ය. තිරශ්චීන භවාදි අපායට අයත් භවයක උපන්නහුට ඒ අවස්ථාව අකුශල කර්මවලට විපාක දීමට හොඳ අවස්ථාව ය. එබැවින් අපායක උපන් සත්ත්වයාට ඒ අවස්ථාවෙහි දී දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුශල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුශලයකින් ද ඉතා අල්ප විපාකයෙකි.
‘උපධිවිපත්තිය’ යනු ශරීරය යහපත් නො වීම ය. විරූප බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගි ලාදුරු ආදි දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදිය ය. බලවත් කුශල කර්ම ඇත ද උපධිවිපත්තියෙහි සිටියහුට උපධි විපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. රජ වීමට සුදුසු පින් ඇතිව රාජකුලයෙහි ඉපද සිටියත් සමහර විට උපධිවිපත්තිය නිසා රජකම නො ලැබී යන්නේ ය. උපධිවිපත්තියේ සිටියහුට දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ.
‘කාලවිපත්තිය’ යනු නරක කාලය ය. හොඳ පාලකයන් නැති කාල, යුද්ධ පවත්නා කාල, නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල, දුර්භික්ෂ කාලාදිය නරක කාලයෝ ය. නරක කාලවල ජීවත්වන්නහුට ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් ලැබීමට නිසි පින් ඇත්තේ ද කාලවිපත්තිය නිසා ඒවා නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ අල්ප වශයෙනි. අතිප්‍ර‍ණීත භෝජනයක් ලැබීමට නිසි පිනෙන් සමහර විට විපත්ති කාලයේ දී ලැබෙන්නේ අල ටිකක් පලා ටිකක් වැනි අමනෝඥ භෝජනයෙකි. හොඳ කාලයේ දී විපාක දීමට තරම් ශක්තියක් නැති දුබල අකුශල කර්මයෝ ද කාල විපත්තියේ දී විපාක දෙන්නාහ.
ප්‍රයෝග විපත්තිය යනු සූදුව මද්‍යපානය සොරකම කාමමිථ්‍යාචාරය යනාදි පව්කම්වල යෙදීම ය. ශරීරය හා ජීවිතය පරෙස්සම් නො කිරීමත් ප්‍රයෝග විපත්තිය ය. ප්‍රයෝග විපත්තියෙහි සිටියහුට අතීත කුශල බලයෙන් ලැබිය හැකිව තිබෙන උසස් තනතුරු ගරුබුහුමන් ආදිය නොයෙක් විට නො ලැබී යන්නේ ය. ධනවත් වීමට සුදුසු පින් ඇත්තේ ද දිළිඳු වන්නේ ය. දීර්ඝායුෂ්ක වීමට පින් ඇත්තේ ද, අල්පායුෂ්ක වන්නේ ය. ප්‍රයෝග විපත්තියෙහි සිටි තැනැත්තා දුර්වල වූ ද අතීත අකුශල කර්මවලින් දිළිඳු බවටත් රෝගී බවටත් මරණයටත් පමුණුවනු ලබන්නේ ය. තත්ත්වයෙන් පිරිහෙළනු ලබන්නේ ය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

8/29/16

භාර්යා වර්ගීකරණයයි ඔවුන්ගේ චරිත ලක්‍ෂණයි


.
සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.
එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family) ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.
වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා - සොර භාර්යාව
අය්‍යසමා – ආර්ය්‍යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා - සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය
භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.
එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්‍ෂණ මෙසේය.
▬▬▬▬
1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම
▬▬▬▬
2. චෞර භාර්යාව
1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම
▬▬▬▬
3. ආර්ය්‍යා භාර්යාව
1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම
▬▬▬▬
4. මාතු භාර්යාව
1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම
▬▬▬▬
5. භගිනි භාර්යාව
1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම
▬▬▬▬
6. සඛී භාර්යාව
1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්‍රතාව රක්‍ෂා කිරීම
▬▬▬▬
7. දාසි භාර්යාව
1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්‍ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම
මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආය¸ා භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.
මෙම ලක්‍ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.
“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්‍රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.
එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්‍රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.
උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.
සත්තභරියා සූත්‍රය ඇසුරෙනි
.
මුදුන පිටුවෙනි

මේ ධර්මය තියෙන්නේ කාටද ?


මේ ධර්මය ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මේ ධර්මය තියෙන්නේ වීර්යවන්ත කෙනාට. සතිමන්ත කෙනාට. ප්‍රඥාවන්තයාට. මේ දේවල් නැති කෙනාට ඇතිකරගන්න පුළුවන්. අනේ ඕවා එකක්වත් නැහැ කියල අල්ලලා දාන්න එපා. අල්ලලා දැම්මත් කමක් නැහැ හැබැයි මතක තියාගන්න මම පැත්තකට දැම්මේ නිදුක්බව, මගේ අජරාමර බවයි පැත්තකට දැම්මේ. ධර්මය නෙමෙයි පැත්තට දැම්මේ. ගැඹුරුයි කියල පැත්තකට දැම්මේ මගේ විමුක්තිය,මගේ අජරාමර බව කියල. මගේ නිවීම කියන එක මතක තබාගන්න. ඒ හේතුවෙන් මම මගේ නිවීම පැත්තකට දැම්මා නම් අජරාමර බව පැත්තකට දැම්මා නම් මම අරගෙන තියෙනවා ජරාමරණ. එහෙනම් මම දුකට දුක යැයි නොකිය යුතුයි. එහෙනම් දුකේ නොහැඩිය යුතුයි එන්න වෙනවා . නමුත් එහෙම නොවී ඉන්න බැහැ.
මේ මනුස්ස ලෝකේ තියෙන දුකට විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දුක කියල කිව්වේ. සතර අපායේ තියෙන දුකත් එක්කයි. ප්‍රේත, ඇසුර, නිරි, තිරිසන් කියන සතර අපායේ තියෙන දුකටත් එක්කයි. මේ මනසේ තියෙන ගති ටික නිසා කර්ම කෙලෙස් ටිකේ නිරෝධයට පිලිනොපැමිණීමේ අදීනව ලෙස දුක් විඳින චරිත තමයි මේ ඔක්කොම සමස්තයක් වශයෙන් ලෝකෙම. ඇස් නැති, කන් නැති, අත් නැති , කකුල් නැති මිනිස්සු සත්වයෝ දකිනකොට මාවත් ගත්ත හැකි ඕනේ නම්. මේ රූප වල හැටි. මේ හැම රූපයකින්ම කථාවක් කියනවා. මේ රූපය මම නම් මට ගොඩක් දුක හිතෙයි. මේ රූපය මම නම් මට ලැජ්ජා හිතෙයි. නමුත් මේ සතර මහා ධාතු රූපයේ හැටි නම් මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලොන්ටත් පුළුවන් ඒ තත්වයට එන්න. මේ රූපය මම වෙනකොට මේ රූපය මගේ වෙනකොට, මේ රූපය මගේ ආත්මය වෙනකොට ඒ නිසා දුක් දොම්නස් එනවා. ශෝක පරිදේව එනවා. උහුල ගන්න බැරි වෙහෙස වේදනා එනවා.
රූපය මම නෙමයි නම්. රූපය මගේ නෙමෙයි නම්, රූපය මගේ ආත්මය නෙමෙයි නම් ඒ විමුක්තිය සැම විටම එළඹ නොසිටියත් ඒ විමුක්තිය ලබාගන්න හුරු පුරුදු වෙනවා නම් ඒ තුලින් ඇතිවෙන සැනසීම මෙන්න මෙච්චරයි කියල කියන්න බැහැ. මම මේ කියන්නේ හැම කෙනෙක්ටම පෙනෙන මානයේ සිද්ධියක් ගැන. ඕගොල්ලෝ හොදට තර්ක විතර්ක කරලා නුවණින් බැලුවොත් ඕගොල්ලෝ හැමෝටම මේ ටික උපදවා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වගේ දර්ශනයක් තියෙනවා කියන එක මතක් කරනවා. නොතේරෙන්නේ නම් මනසේ තියෙන නීවරණ ධම්ම නිසා කියන එකත් තේරුම් අරගෙන සීලයක පිහිටලා හිත වඩමින් විදර්ශනා කරන්න. ඔය විදිහට විදර්ශනා කරනකොට සීල, සමාධි, ප්‍රඥා නිසා විමුක්තිය ලැබෙනවා. ආශ්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා. සතර මහා ධාතුව දකින කොට ඒවා අම්මා, තාත්තා , දුව, පුතා කියන ගති ටික මනසේ මිදෙනවා. මිදෙන කොට අනිමිත්ත, ශුන්‍යත, අප්පණීහිත කියන චේතෝ විමුක්ති සාක්ෂාත් වෙනවා.මිදුනාම මිදුනා කියන ඥාණ දර්ශනය ලැබෙනවා. ඒ නිසාම සළායතන නිරෝධය මේ ජීවිතේම අත්විදින්න පුළුවන්.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් 2016-06-22 වැනි දින මාකඳුර ශ්‍රී සරණංකරාරාමයේදී පැවැත්වූ සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ දර්ශනය කෙබදු වේද යන්න පිලිබදව පැවැත්වූ ඉතා වටිනා දේශනාව ඇසුරෙන්
සම්පුර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට
http://www.mediafire.com/…/2016-06-22_Sri_Saranankararamaya…
දේශනාවේ වීඩියෝව නැරඹීමට
https://www.youtube.com/watch?v=MVF795a15Yw

දැන දැන ම අලජ්ජි දිශ්ශිල ශ්‍රමණයන්ට දැන් දීම අදින් අනුබල දෙන යට එයින් පාපය නොවේ ද ?


ඇතැම් ගෘහස්ථයෝ අලජ්ජි දුශ්ශීල ශ්‍ර‍මණයන් හා එක් වී ඔවුන් ගේ අලජ්ජිකම් දුසිල්කම්වලට අනුබල දෙමින් ඒ භික්ෂූන්ගෙන් ප්‍රයෝජන ලබති. පව්කම්වලට අනුබලදීමක් වශයෙන් දන් දෙන්නා වූ එබඳු ගිහියන්ට ඒ දන් දීමෙනුත් පව් සිදුවිය හැකි ය.
යමෙක් සංඝරත්නය සලකා ගෙන පින් සිදු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ භික්ෂූන්ට දන් දේ නම් ඔහුට එයින් පින් සිදු වේ.
“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා. තෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති. තදාපාහං ආනන්ද, සංඝ ගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි”
යනුවෙන් “ආනන්දය, අනාගතයෙහි ශ්‍ර‍මණ නාමය පමණක් ඇත්තා වූ කාසාවකණ්ඨක දුශ්ශීලයෝ ඇති වන්නාහ. ඔවුන්හට ද සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය, එකල්හිත් සංඝිකදානයා ගේ විපාකය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය බව කියමි” යි වදාරා ඇති බැවින් සංඝරත්නය සලකාගෙන දුශ්ශීලයන්ට වුව ද දෙන තැනැත්තාට මහා පුණ්‍ය සම්භාරයක් අත්පත්වන බව කිය යුතු ය. දුශ්ශීලයන්ගේත් ගුණ නැත්තේ නො වේ. ඔවුන් කෙරෙහි ඇත්තා වූ යම්කිසි ගුණයක් සලකා දුශ්ශීලයනට පෞද්ගලික වශයෙන් දන් දෙන්නා වූ තැනැත්තාට ද පින් මිස පාපයක් සිදු නො වන්නේ ය. පව් සිදුවන්නේ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබලදීමේ අදහසින් දන් දෙන්නා වූ තැනැත්තන්ට පමණෙකි. පින් ලැබීමේ බලාපොරොත්තුවෙන් දන් දෙන බෞද්ධයෝ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබල දීමේ අදහසින් දන් නො දෙති.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘ධර්ම විනිශ්චය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.